කඩාකප්පල්කාරයා සැබෑ මුහුණ වසා ගැනීම සදහා විවිධාකාරයේ වෙස් මුහුණු භාවිතා කරන්නේය.
සිය මාෆියාවේ පැවැත්ම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය ද මේ ආකාරයට විවිධාකාර වූ වෙස් මුහුණු පැළදීමට පටන්ගෙන තිබේ. එහි අලුත්ම මුහුණුවර ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරිය’ය. ලංවිම නිවේදනයක් නිකුත් කරමින් මේ ගැන සදහන් කරන ලද්දේ පෙබරවාරි විසි වෙනිදාය.
මොකක්ද මේ ජල බැටරිය ?
ලංවිම නිවේදනයට අනුව, මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය, දියත් කිරීම සදහා මණ්ඩලය සුදානම්ය. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට, ඒවා ගබඩා කර, ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සැපයීම අරමුණු කර ගත්තකි.
මණ්ඩලය පවසන්නේ, 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුර්නජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය, සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් බවය.
අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මකවන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක්, මේ ආකාරයට ජල බැටරියක් ලෙස මණ්ඩලය හදුන්වා දෙන්නේය.
මණ්ඩලයේ නිවේදනය දුටු මනම ජනතාවගේ සිතට කාන්දු වෙන අදහස වනුයේ ‘මණ්ඩලය පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් කෙතරම් පරිශ්‍රමයක් දරනවා ද...?’ යන්නය.
සුර්යය සහ සුළං බලය ගබඩා කිරීමේ මාර්ගයක් ලෙස මේ ආකාරයට ජල බැටරියක් භාවිතා කිරීම යනු ඊට සපුරාම වෙනස් කතාවකි. වෙස් මුහුණු බැදන් මේ එන්නේ ඩිසල්, ගල් අගුරු සහ ද්‍රවකෘත ස්වභාවික වායු මාෆියාවමය.
වික්ටෝරියාව උඩුගං බලා යැවීම

මහවැලි ගංගාවේ උතුරු කොටස හරස් වික්ටෝරියා වේල්ල ඉදිකරන්නේ එමගින් ජල විදුලිය නිපදවීමේ ඉලක්කය ඇතිවය. ටර්බයින කරකැවීමෙන් පසුව ඒම ජලය යළිත් ස්ථාන ගණනාවකදී හරස් කර විදුලිය නිපදවීමට යොදා ගන්නා ලද්දේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේය. සරල ආකාරයෙන් කිවහොත් ජල විදුලිය නිපදවීමෙන් පසු වික්ටෝරියාවෙන් පහළට බැස යන ජල කදෙන්, රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු විදුලි බලාගාර සඳහා ජලය සපයා දෙන්නේය.
මෙම ජලාශ සියල්ල සදහාම විදුලිය නිපදවීමට දායක වී, මුහුද දක්වා ගමන් ගන්නා ජල ප්‍රවාහය නැවත වික්ටෝරියාව හෝ ඊට පහළ ජලාශයකටද පොම්ප කර ගබඩා කර ගැනීම, ජල බැටරි කතාවේ පදනමය.
වික්ටෝරියාවට හෝ වෙනත් ජලාශයකට ඉහළින් වැවක් සේ මේ ජල කද රදවා, නැවත විදුලි උත්පාදනය සදහා යොදා ගැනීම පිලිබදව අධ්‍යනය සිදු කරනු ලබන්නේ, ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතියක් ලෙසය. පොම්ප මාර්ගයෙන් උඩු ගං බලා ගෙන එන මෙම ජල කද මගින් නැවත වතාවක් මෙගා වොට් 1200ක විදුලියක් නිපදවීම අධ්‍යනයේ අරමුණය.
මේ සදහා ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඉදිරි මාස 18 තුළ ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම සාර්ථකව නිම කළහොත් 2031 වන විට එහිඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
මේ සදහා වන ශක්‍යතා අධ්‍යයනය දැනටමත් සිදු කර ඇත්තේය.එසේ නමුත් ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම තවමත් අවසන් කර නොමැත. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මූලික පිරිවැය ඩොලර් මිලියන 450 කි. මෙහි සමස්ත පිරිවැය ඩොලර් මිලියන 800 සිට ඩොලර් බිලියන 1 දක්වා පරාසයක පවතිනු ඇතැයි ලංවිම අපේක්ෂාවය.
තවම අරමුදල් නැත
තවමත් මෙම ව්‍යාපෘතිය සඳහා තවමත් ජාත්‍යන්තර අරමුදල් ලබාගෙන නොමැති බව මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ හෙයින් දැනටමත් මෙය අදහසක් පමණක් බව කිව හැක්කේය.
සැලසුම් කර ඇති පොම්ප කරන ලද ගබඩාවේ මෙගාවොට් 600 ක් පමණ විදුලි ධාරිතාවයක් ගබඩා කිරීමට අපේක්ෂා කෙරේ. අරනායක සහ නාවලපිටියේ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ගබඩා කිරීමේ යාන්ත්‍රණයක් සේ ක්‍රියා කරනු ඇත. කිලෝමීටර් 2.5 ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ඇති ජලාශ දෙකකින් එය සමන්විත වන අතර, එය විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට උපකාරකයක් ලෙස සේවය සලසනු ඇතැයි මණ්ඩලය අපේක්ෂාවය.
විදුලිබල මණ්ඩල ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ, විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය දියත් කරන බවය. මේ සදහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීමට ලංවිම කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පවසා තිබුණි.
මහ ඔය ද...? වැව තැන්න ද...?
2014 දී, JICA ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව, CEB විසින් 'ශ්‍රී ලංකාවේ උපරිම බලශක්ති ඉල්ලුම සඳහා ප්‍රශස්ත බලශක්ති උත්පාදනය පිළිබඳ සංවර්ධන සැලසුම්කරණය' යන මැයෙන් අධ්‍යයනයක් සිදු කරන ලදී. මෙම අධ්‍යයනයෙන් 600 MW පොම්ප කරන ලද ගබඩා බලාගාරයක් සඳහා විභව ස්ථාන 11ක් හඳුනාගෙන, පාරිසරික, භූගෝලීය, භූ විද්‍යාත්මක සහ තාක්ෂණික අංශ මත පදනම්ව ඒවා ඇගයීමට ලක් කළේය.
පරීක්ෂා කිරීමෙන් පසු, හල්ග්‍රාන් ඔය, මහ ඔය සහ ලොග්ගල් ඔය යන ස්ථාන තුනක් වඩාත් සුදුසු ලෙස මෙහිදී හදුනා ගත්තේය. පසුව මේ සදහා වඩාත්ම සුදුසු ස්ථානය ලෙස මහ ඔය භූමිය හදුනා ගන්නා ලදී. පද්ධති සීමාවන් සහ ටර්බයින සීමාවන් සැලකිල්ලට ගනිමින්, 2025 න් ඔබ්බට උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා මෙම බලාගාරයේ ප්‍රශස්ත ධාරිතාව මෙගාවොට් 600 ක් විය යුතු බව අධ්‍යයනයෙන් තීරණය විය.
2018 විදුලිබල අංශයේ, ප්‍රධාන සැලසුම් අධ්‍යයනයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ නව ස්ථානයක් යෝජනා කරන ලද අතර, මෙගාවොට් 1,400 ක ධාරිතාවක් එය සතු විය. වික්ටෝරියා ජලාශයට ඉහළින් පොකුණක් ලෙස වැවතැන්න ප්‍රදේශය යොදා ගනිමින් මේ සදහා වූ යෝජනාව සකස් කර තිබුණි.
මේ ආකාරයට උඩුගං බලා ජලය පොම්ප කරනුයේ, සුර්යය බලයෙන් දිවා කාලයේ ලැබෙන අතිරික්ත විදුලිය ඒ සදහා යෙදවීමෙන් බව මණ්ඩලය කියන්නේය. සුර්ය බලය යළි බලශක්ති විභවයක් ලෙස පරිවර්තනය කිරීම ශක්ති ගබඩාකරණයක් හෙයින් එය ජල බැටරිය ලෙස නම් වන්නේය. මණ්ඩලයේ ඔල්මොරෝන්දමේ තරම ඒ තර්කයෙන්ම පෙනී යන්නේය. තවම ශ්‍රී ලංකාව සතුව ඇත්තේ තනි ජාතික විදුලි පද්ධතියක් පමණය. සුර්යය බලයෙන් ලැබෙන විදුලිය මේ යැයි හදුනාගෙන, ඒම අතිරික්තය මේ සදහා යොදවන්නේ යැයි කීමේ ශක්‍යතාවයක් අපේ ජාතික පද්ධතියට නැත.
බේබද්දන් දෙදෙනාගේ න්‍යාය
මේ රටේ විදුලිය බෙදාහැරීම සිදු වන්නේ රෙක්රුට් ඕඩර්යකට අනුවය. එහිදී ප්‍රමුඛ වන්නේ අඩු මිලය. ඒ අනුව බලන විට පිළිවෙලින් ජල විදුලිය, සුර්යය බලය ගල් අගුරු, ඩිසල් ආදිය තිබෙන්නේය. මෙම ක්‍රමවේදය අනුව ජාතික පද්ධතිය ඔස්සේ විදුලිය බෙදා හරින්නේ හෙයින් වික්ටෝරියාවෙන් පහළට ගලා බසින ජල කද යළි උඩට පොම්ප කරනු ඇත්තේ ජල විදුලිය මගිනි. බේබද්දන් දෙදෙනා මාරුවෙන් මාරුවට ගෙවල් දෙකට බස්සා ගත්තා සේ මේ ක්‍රම වේදයට අනුව ජල විදුලිය යොදවනු ඇත්තේ, ආයෙමත් උඩට ජලය පොම්ප කිරීම සදහාය.
ව්‍යාපෘති වර්තාවේ අද තත්ත්වය අනුව, උඩට ගෙන එන, ජල කද ගබඩා කර තබා ගැනීම පිණිස වික්ටෝරියාවට ඉහළින්, ස්ථානයක් තවම සොයාගෙන නැත. සියල්ල අවිනිශ්චිත යෝජනා පමණය. ඒ ආදී සමීක්ෂණ සහ ගවේෂණ ගණනාවක් කළ යුතුව තිබේ. තවම ඇත්තේ මාතෘකාවක් පමණය. සම්පුර්ණ වාර්තාව සකස් කිරීමට අවම වශයෙන් තවත් මාස 18 ක් ගතවෙන බව ලංවිම පවසන්නේය.
ඊළගට එන්නේ වර්තාව ක්‍රියාවට නැගීමය. මේ රටේ ප්‍රොජෙක්ට් කිරීම වනාහි අමු වහකි. මෙම වාර්තාව, ව්‍යාපෘතියක් බවට පත් කිරීමෙන් පසුව ටෙන්ඩර් කැදවිය යුතුය. ආසියානු සංවර්ධන බැංකු වාර්තා අනුව සැකසෙන ව්‍යාපෘති සදහා ක්‍රමවේදය එයය. නව පනත අනුව ද මෙවැනි ව්‍යපෘති අනිවාර්යෙන්ම ටෙන්ඩර් පටිපාටි අනුව කළ යුත්තේය. ඒ ආකාරයට, සිහිනය සැබෑ කර ගැනීමට මණ්ඩලයම කියන ආකාරයට 2031 වසර තෙක් බලා සිටිය යුතුය.
පුනර්ජනනීය බකල් කිරීම

මණ්ඩලය ගේම ගහන්නේ එහෙමය. මෙම ව්‍යාපෘතිය සිදු කරන තෙක් පුනර්ජනනීය කප්පාදු කිරීම ලංවිම ඉලක්කයය. ජල බැටරිය සම්බන්ධයෙන් මණ්ඩලය සකසා ඇති මාධ්‍ය නිවේදනය කියවන විට සිතෙන්නේ, අද හෙටම ජල බැටරිය සවි කර පුනර්ජනනිය විදුලියට පණදීමට මණ්ඩලය සැරසෙන බවය. ඇත්තටම මණ්ඩලය අටවා ඇත්තේ තොන්ඩුවකි. ජල විදුලිය සහ පුනර්ජනනීය ප්‍රභවයන් වසර පහකට වළ පල්ලට යැවීමේ ‘සැබෑ මුහුණ’ පෙනෙනුයේ මේ ආකාරයේ විග්‍රහයක් දන්නා අයෙකුට පමණය. රටේ වාසනාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට, මේ පිළිබදව වැටහීමක් ඇත්තේය. එසේ වුවද ජවිපෙන් පත් කර ඇති බලශක්ති උපදේශක පුබුදු නිරෝෂණට සහ ලංවිම සභාපති ආචාර්ය තිලක් සියබලාපිටිය සිටින්නේ, ඊට වෙනස්ම මනයකය.
ඔවුහු දිවා රෑ නැතිව වලිකන්නේ සුර්යය බලයෙන් විදුලිය නිපදවීම සදහා මරණය කැදවිමටය. දැනටමත් ඒ සදහා වරෙන්තු ගණනාවක් ඍජුවම නිකුත් කර හමාරය. සුර්යය බලයෙන් විදුලිය නිපදවීම සදහා ඉඩම් ලබා ගැනීමට තහංචිය පරිසර අමාත්‍යංශය පැත්තෙන් දමා අවසන්ය. මෙම ව්‍යපෘති සදහා ඉඩම් වෙන් කර ගැනීමට අවශ්‍ය අනුමැතිය සදහා කමිටුවක් පත් කර ඇති අතර, කමිටුවට දී ඇති උපදෙස වන්නේ, කිසිදු ඉඩමක් සදහා අවසර නොදෙන ලෙසය.
අලුතෙන් එල්.එන්.ජි. ව්‍යපෘති හතරක්
රිනුබල් හෙවත් පුනර්ජනනීය විදුලිය සදහා සහයක් ලබාදීම අවශ්‍ය නම්, මෙවන් ඇදි ඇදී යන ජල බැටරි කතා වැඩක් ඇත්තේම නැත. එසේම ජල බැටරි බාල්දි පෙරලන්නේ මේ රටේ අනාගත සංවර්ධන ඉලක්කයටය.
දැනටමත් යටින් ගේම ගසමින් මෙගා වොට් හාරසියයක ධාරිතාවයකින් යුත් එල්.එන්.ජි ව්‍යපෘතියක් සදහා මණ්ඩලය සුදානම් ශරීරයෙන් පසු වන්නේය. ගල් අගුරු තව දුරටත්, මේ රටට ගාල් කිරීම, ලංවිම සභාපති ගල් අගුරුප්‍රේමි ආචාර්ය සියබලාපිටියගේ වුවමනාවය. හෙතෙම කැපුවත් ගල් අගුරුය. එවන් ස්වභාවයක් සහිත අයෙකු මණ්ඩලයේ මුලසුන හොබවන කල්හි, පුනර්ජනනියට මේ ආදීනව අත්දැකීමට සිදු වන්නේය.
ශ්‍රී ලංකාවේ විදේශ ආදායම ඩොලර් බිලියන අටේ සිට 36 දක්වා ගෙන යෑම ජනාධිපතිවරයාගේ ඉලක්කයය. ඒ සදහා අපනයන ආදායම පස් ගුණයකින් පමණ වැඩි කර ගත යුතුය. ආපනය ආදායම වැඩි කර ගැනීම සදහා ප්‍රමුඛ සාධකය වන්නේ බලශක්ති සුරක්ෂිතභාවය සහ එහි අවම පිරිවැයය. ඒ සදහා අනගි පිළියම පුනර්ජනනිය මුලයන් මගින් විදුලිය නිපදවීමය. අනෙක් අතට අද ලෝක වෙළද පොලේ අපනයන ආර්ථිකය සදහා සහනය ලැබෙනුයේ, කාබන් ක්‍රෙඩිට් සදහාය. මීට පෙර ලබාදුන්නා සේ එම සහනය දැන් ආයතන විෂයෙහි ලබා දෙන්නේ නැත. නවීන තීරණය වී ඇත්තේ ඒ සදහා එක් එක් රටට ජීඑස්පී සහනය මෙන් අපනයන බදු සහන ලබාදීමටය. ශ්‍රී ලංකාව පුනර්ජනනිය බලශක්තියෙන් පුර්ණ වෙන කල්හි, අපනයන වෙළද පොළ විෂයෙහි එය ඩබල් ඇක්ෂන් බලපෑමක් සිදු කරන්නේය.
අපගේ අපනයන ආදායම වැඩි කරගැනීම සදහා අත්‍යවශ්‍යම කොන්දේසිය බවට පුනර්ජනනිය විදුලියෙන් පුර්ණ වීම පත් වන්නේ මේ නිසාය. එසේ නොමැති නම් අපනයන ආදායම ඩොලර් බිලියන අටේම නලව නලවා තබා ගැනීමට අප සිදුවෙන අතර, රටේ විදේශ විනිමය ද තෙල්, ගල් අගුරු සහ ද්‍රවිකෘත ස්වභාවික වායු ආදී එතෙරින් ගෙන්වීමට වියදම් කිරීමට ද සිදුවෙනවා ඇත. ආණ්ඩුවේ අගේ ඉදගෙනම බලශක්ති ලොක්කෝ සෙට් එක සිදු කරන්නේ කන කෑම බව, ජනාධිපතිවරයා තේරුම්ගත යුත්තේ මේ නිසාය. යන ක්‍රමවේදය අනුව ගියහොත් අනෙක් ආණ්ඩු සේම මේ ආණ්ඩුවට ද, රට පාඩුවට කරගෙන යෑමට සිදුවෙන බව දන්නා හෙයින් මේ ඇමති, නිලධාරී කුට්ටම ඉදිරියේදී ඇනීමට ජනාධිපතිවරයා පියවර ගැනීම නිසැකය.
අවසානයේ කිව හැක්කේ ජල බැටරිය පෙන්වා පුනර්ජනනිය විදුලියට සහය දෙන බව කියන ලංවිම, බුදු සරණයි උඩින්ම ගසාගෙන, හොර හරක් පටවාගෙන යන ලොරියක් තත්ත්වයට පත්ව ඇති බවය.
(සටහන | විශේෂ ලියුම්කරුවෙකු විසිනි)
සබැඳි පුවත :
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතියට සැරසේ !
සුර්යය බල විදුලියට විනාශය කැදවයි - පියවරෙන් පියවර ක්‍රියාවට නැගෙන ආකාරය මෙන්න



