The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රූමත් අක්කාව රැක ගන්න නංගී ගෙදරට ගෙනා ගිනි තියන භූතයා

T

The Leader Desk

February 24, 2025 • 7:46 AM

රූමත් අක්කාව රැක ගන්න නංගී ගෙදරට ගෙනා ගිනි තියන භූතයා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ලිපිය පළවූ පසු මා පිළිබඳව දන්නා බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කර කීවේ හැකි නම් එය අද්භූත බලයකින් සිදු නොවන්නක් බව ඔප්පු කර පෙන්වන ලෙස ය.
  • නමුදු 2008 මැයි 19 වෙසක් පෝදා දිනපතා ‘ලක්බිම’ පුවත්පත එම පුවතම ඡායාරූප ද සහිතව විස්තර වශයෙන් පළකර ඇති අයුරු දැකගත හැකි විය.
  • ඒ මෙවන් සිදුවීම් මගින් බුදුදහමේ සත්‍යතාව ලොවට ඔප්පු වන බවට බුදු දහමේ ‘හතර මායිමකවත්’ නැති කතාවක් සමාජගත කරමිනි.
  • මේ තත්වය යටතේ තවදුරටත් මේ භූතයා ‘දඩයම්’ නොකර සිටීමට නොහැකි වූ තැන මම 2008 මැයි 22 දින භූත උපද්‍රවයට ලක්වන නිවෙස සොයා කුරුණෑගල ගියෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ලිපිය පළවූ පසු මා පිළිබඳව දන්නා බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කර කීවේ හැකි නම් එය අද්භූත බලයකින් සිදු නොවන්නක් බව ඔප්පු කර පෙන්වන ලෙස ය. එහෙත්, අයහපත් වෘත්තීය පසුබිමක් තුළ මා ඒ දිනවල දැඩි සේ අවිවේකී වීම නිසා ඒ සඳහා කාලයක් වෙන් කරගැනීමට ඉඩක් නොලැබුණි.

නමුදු 2008 මැයි 19 වෙසක් පෝදා දිනපතා ‘ලක්බිම’ පුවත්පත එම පුවතම ඡායාරූප ද සහිතව විස්තර වශයෙන් පළකර ඇති අයුරු දැකගත හැකි විය. මට දැනගැනීමට ලැබුණු අන්දමට එදින රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වූ බෞද්ධ වැඩසටහනකින් ද මේ භූත සිදුවීම පිළිබඳව ප්‍රචාරය වී තිබුණි. ඒ මෙවන් සිදුවීම් මගින් බුදුදහමේ සත්‍යතාව ලොවට ඔප්පු වන බවට බුදු දහමේ ‘හතර මායිමකවත්’ නැති කතාවක් සමාජගත කරමිනි. ඒ සඳහා එම කථිකයා ‘ලක්බිම’ පුවත්පත ද රූපවාහිනී මැදිරියට ගෙන ගොස් තිබිණි.

මේ තත්වය යටතේ තවදුරටත් මේ භූතයා ‘දඩයම්’ නොකර සිටීමට නොහැකි වූ තැන මම 2008 මැයි 22 දින භූත උපද්‍රවයට ලක්වන නිවෙස සොයා කුරුණෑගල ගියෙමි. එම නිවසේ ප්‍රධානියා ‘ජිනදාස’ නම් වඩු කාර්මිකයෙකි. ඔහු විවාහ වී තිබුණේ 1985 වසරේ ය. වයස අවුරුදු දහනවයක සහ පහළොවක දියණිවරුන් සමඟ දාහත් වියැති පුතෙක් ඔවුනට සිටියේ ය. එම නිවස පිහිටියේ නාගරිකත්වයෙන් මිදුණු ග්‍රාමීය පරිසරයක ය.

portrait terrified little girl hugging pillow 926199 2230203
“ජිනදාස” මහතා අනාවරණය කළ අන්දමට එම භූත සිද්ධියේ ආරම්භය ඉන් වසර දෙක්කට ඉහත 2006 දක්වා අතීතයට දිව යන්නකි. ඒ වසරේ එක්තරා දිනයක ඔහුගේ බාල දියණිය නිවසේ කාමරයක් තුළ ‘අද්භූත මිනිසෙකු’ හිඳිනු දැකීමෙන් බියපත් වී තිබේ. පසුව කළ ‘තෙල් සාත්තුවකින්’ ඇය තාවකාලිකව යථා තත්ත්වයට පත්වුවත් බිය ඇගේ සිතින් මුළුමනින් පහව ගොස් නැත. මා එම මැයි මාසයේ එහි යන විටත් අප්‍රේල් මාසයේ සිට ඒ නිවසේ භූත ක්‍රියාකාරකම් යළි හිස ඔසවා තිබුණි.

එම භූත ක්‍රියාකාරකම් වලට අනුව නිවසේ ඇඳුම් අල්මාරියේ ඇති ඇඳුම් පිළිස්සීම, අද්භූත අයුරින් පොත්පත් ඉරීයාම, පවුලේ වැඩිමල් දියණිය පාසල් පැළඳගෙන යන පාවහන් යුවළ කැපී තිබීම ආදිය සිදුවන්නට පටන්ගෙන තිබේ. පසුව එම නිවසේ ආරක්ෂාව සඳහා නිවසේ සෙත් පිරිත් දෙසුමක් පවත්වා ඇති අතර, ඉන්පසුව දිනපතා උදය සවස කැසට් යන්ත්‍රය මගින් පිරිත් වාදනය කරන ලෙස ද හිමිවරුන් “ජිනදාස” මහතාට උපදෙස් දී තිබේ. එහෙත්, විස්මයට කරුණ නම් පිරිත් වාදනය කළ කැසට් යන්ත්‍රයට සම්බන්ධ වයරය ද ඊට ආසන්නතම දිනයෙක කිසියම් අද්භූත ආකාරයකින් කැපී වෙන්වී තිබීම ය. මේ තත්ත්වය සම්බන්ධයෙන් “ජිනදාස” මහතාගේ බිරිඳ තම නෑ හිත මිතුරන් නිරන්තරයෙන් දැනුවත් කරමින් සිටින අතරේ ඒ සඳහා යොදාගත් ජංගම දුරකතනයේ සිම්පත ද අතුරුදහන්ව තිබිණි.


මම “ජිනදාස” මහතාගේ නිවසේ සිදුවන මෙම ‘භූත ක්‍රියාදාමය’ පිළිබඳව ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් පොදුවේ සහ වෙන් වශයෙන් ප්‍රශ්න කළෙමි. එහි දී ඒ සම්බන්ධ සුවිශේෂතා කිහිපයක් හඳුනාගැනීමට මට හැකි විය. ඉන් ප්‍රධානතම කරුණ වූයේ භූත උපද්‍රවයේ වැඩිම බලපෑම පවුලේ වැඩිමල් දියණිය වෙත එල්ල වී තිබීම ය. මෙලෙස එවන් භූත ක්‍රියාවන් හි ආකෘතිය හඳුනා ගැනීම ගවේෂණ කටයුතු පහසු කරවන්නකි. ඒ සම්බන්ධයෙන් වැඩි දුර විමසීමේ දී මට වටහා ගත හැකි වූයේ අල්මාරියේ ඇති ඇඳුම්වලට ගිනි ඇවිලීමේදී වැඩිමල් දියණියගේ ඇඳුම් කෙරෙහි එම ‘භූතයා’ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවකි.

 

portrait cute girl fire burning girl flame digital art style illustration painting woman fire 743201 9422
එමෙන්ම පාසල් පොත පත අද්භූත ලෙසින් ඉරී ගොස් ඇත්තේ ද වැඩිමල් දියණියගේ පොත පත පමණි. පාසල් පළඳින සපත්තු කැපීමේදී ද ‘භුතයා’ ඇගේ සපත්තු සොය සොයා කපන බවක් ද නිරීක්ෂණය විය. මේ අතර වරක් එම පවුලේ බාල දියණිය ‘අම්මේ අක්කගේ කොණ්ඩේ ගිනි ගන්නවා’ යනුවෙන් මහ හඬින් කෑගසා තිබේ. එවිට ඒ වන විට තම වැඩිමල් දියණිය නිදා සිටි කාමරයට ගිය “ජිනදාස” මහතාගේ බිරිඳට දැක ගැනීමට හැකිවී ඇත්තේ නිවසේ බුදුන් පුදන පහනේ තිබූ දැල්වෙන තෙල් වැටිය තම වැඩිමල් දියණියගේ හිස ආසන්නයෙන්ම දැල්වෙන බවකි. එමෙන්ම එම නිවසේ අල්මාරියේ ඇති ඇඳුම් ගිනි ගැනීම ඇරඹුණු සැණින් බාල දියණිය ඒ බව හනික තම මවට දන්වා සිටීම හේතුවෙන් අවම හානියක් යටතේ ඒ ගිනි පාලනය කරගැනීමට ඔවුනට හැකි වී තිබේ.

f56a5b0c3c68c02812305e3e03eb58cc

මේ සියලු කරුණු විශ්ලේෂණය කර බැලීමේදී එම පවුලේ වැඩිමල් දියණිය ඉලක්ක කොට ගත් මෙම අද්භූත ක්‍රියා පිටුපස පවුලේ බාල දියණියගේ කිනම් හෝ සබැඳියාවක් ඇති බව වටහාගත් මම දිගින් දිගටම ඇයගෙන් ප්‍රශ්න කළෙමි. එවිට ඇය ප්‍රකාශ කළේ තමන් පාසල් ඇරී නිවසට පැමිණෙන පාරේ එක් පාළු තැනකදී තම සිතට අමුතුම බියක්, චකිතයක් පිවිසෙන බවකි. වරක් තමන් ඒ ස්ථානය පසුකරන විට තම සොයුරා එහි හිඳිනු දැක සතුටට පත්වූ බව කී ඇය කීයේ නමුත් තමන් පාසල් ඇරී පැමිණි පසු ඔහු නිවසේ කුමක් හෝ කටයුත්තක යෙදී හිඳිනු දුටු බව ය. ඒ අනුව එම බාල දියණිය දැක ඇත්තේ මනෝභ්‍රාන්තියක් බව පැහැදිලි ය.


එම පවුලේ දියණිවරුන් දෙදෙනාගෙන් වැඩිමල් දියණිය වෙසෙසින් කැපී පෙනෙන රූ සපුවකින් යුත් තැනැත්තියකි. නමුත් මෙහි දී ඇගේ චරිතය සහ චර්යා රටාවන් සම්බන්ධ කිසිදු අධ්‍යයනයක් මා විසින් සිදු නොකරන ලදි. එහෙත්, කිනම් හෝ හේතුවක් මත තම වැඩිමල් සොයුරියගේ ආරක්ෂාව සම්බන්ධ බරපතළ මානසික ගැටුමක් එම පවුලේ බාල දියණියගේ සිත තුළ නිර්මාණය වී ඇති බව එම විමසුමේ මූලික අදියරේ දීම මට වටහා ගත හැකි විය. එහි ඇරඹුම ඇය පාසල් ඇරී නිවසට පැමිණෙන පාරේ හමුවන පාළු තැනකදී අහම්බෙන් දුටු දෙයක් සේම සිතින් මවාගත් පරිකල්පනයක් වීමට ද පුළුවන.

dr.kapila ranasingheවිශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ
එමෙන්ම එවන් හේතූන් මත තම වැඩිමල් සොයුරියට උපරිම ආරක්ෂාව සැලසිය යුතු මට්ටමකට පත්ව ඇති බව ඇයට වැටහී තිබේ. තම දෙමාපියන්ට ඍජුව කියාගත යුතු වුවත් ඒ සඳහා අවශ්‍ය මානසික ජවය, ශක්තිය, පන්නරය ඇගේ පෞරුෂය තුළින් හිමි ව නැත. එම පවුලේ බාල දියණිය තම වැඩිමල් සොයුරියට බලපෑම් කරන ‘භූතයා’ නම් වන ද්විතීයික පෞරුෂයක් සිත තුළින් ගොඩනගා ගනිමින් වැඩිමල් සොයුරියගේ ඇඳුම් ගිනි තැබීමේ සිට ජංගම දුරකතනයේ සිම්පත් අතුරුදන් කිරීම දක්වා වන සියලු කටයුතුවලට උප විඥානගතව පෙළඹු‍ණේ එබැවිනි.

පසුව මම එම පවුලේ බාල දියණියගෙන් ඇගේ වැඩිමල් සොයුරියට පෙම්වතෙකු සිටින්නේ දැයි අසා සිටියෙමි. එවිට ඇය කීයේ ඇය තම වයසේ පිරිමි ළමුන් කිහිප දෙනෙකුම ඇසුරු කරන මුත් ඇයට පෙම්වතෙකු හිඳින්නේ දැයි තමන් නිශ්චිතවම නොදන්නා බවකි. කෙසේ හෝ ඒ වන විට තම වැඩිමල් සොයුරියට ඒ වයසේ යුවතියකට හිමි විය යුතු අන්දමේ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව බාල දියණිය එකහෙලාම පිළිගත්තා ය. ඒ අනුව මෙම නිවසේ සිදු වන භූත ක්‍රියා එම පවුලේ බාල දියණිය හා සබැඳි ඒවා බව සහේතුකව නිගමනය කිරීමට මට හැකි විය.

boys friends girl men
පසුව මෙම නිවසේ සිදුවන මේ කිසිවක් අද්භූත ක්‍රියා නොවන බවටත් එම බාල දියණියගේ සිත තුළ තම වැඩිමල් සොයුරියගේ අනාරක්ෂිත බව මුල්කොට හටගත් මානසික ගැටුම මතින් නැගුණු උප විඥානගත ද්විතීයික පෞරුෂයක් මඟින් සිදු කරනු ලබන චර්යාවන් විය හැකි බවත් මම ඔවුනට සරලව වටහා දුන්නෙමි. ඉන්පසුව තම වැඩිමල් දියණියට මෙතෙක් නිසි ආරක්ෂාවක් නොමැති බවක් හැඟී යන බැවින් ඇයට උපරිම ආරක්ෂාවක් සලසන මෙන් එම දෙමාපියන්ට තරයේම අවධාරණය කළෙමි. නමුදු මෙම භූත උවදුර පිටුදැකීම පිණිස ගන්නා ලද ගුප්ත ශාස්ත්‍ර පිළියම් වෙනුවෙන් මේ වනවිට තම කුඹුරක් පවා උගස්කොට ඇතැයි “ජිනදාස” මහතා කීයේ කාරිය නිමවී මා ආපසු එන්නට සැරසෙන විටදීය.

කෙසේ හෝ ම’වෙතින් මෙම භූත උවදුර පිළිබඳව ම වෙතින් අසා දැනගත් මේ වන විට අංගොඩ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍යවරයා ද වන මා හිතවත් මනෝ වෛද්‍ය කපිල රණසිංහ ද ඊට ආසන්නම දිනයෙක කුරුණෑගල පිහිටි එම නිවසට ගොස් “ජිනදාස” මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන් හමුවී ඒ සම්බන්ධව මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුකොට එම තත්වය දුරලීම පිණිස වන විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කොට තිබිණ.

WhatsApp Image 2024 06 24 at 14.19.45
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...