සංක්‍රමණික රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අනීතික මෙන්ම සදාචාර විරෝධී ක්‍රියා පිළිවෙත අවම වශයෙන් හෝ ප්‍රශ්න කොට ඇති ආයතනය මානව හිමිකම් කොමිසම් සභාව විසින් පමණි.
ඔවුන් හැරුණු කොට වෙනත් කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර ආයතනයක්, මානව හිමිකම් හෝ සමාජ සේවා සංවිධානයක් මේ පිළිබඳව කිසිදු ප්‍රශ්න කිරීමක් හෝ මැදිහත් වීමක් හෝ කර ඇතැයි දැන ගන්නට නොමැත.
විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම හෝ ළමුන් සහ කාන්තාවන් පිළිබඳ ආයතන ද ඇතුළු වෙනත් කිසිම විදේශිය සහ දේශීය ආයතනයක්, සංවිධානයක් රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කුමක්දැයි විමසා නැත.

මරණ බියේ මියන්මාරයෙන් පලා ආ යුද අනාථයන් පිරිස එරටටම පටවන බවට ජනමාධ්‍යයේ වහසි බස් දෙඩු ආගමන විගමන කටයුතු භාර ඇමැති ආනන්ද විජේපාලට පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් විරෝධය පලවිය. පිටමං කිරීමට එරෙහිව මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේ දී විරෝධය පෑ අවස්ථාවේ දී ඇමැතිවරයා කියා සිටියේ එවැනි තීරණයක් අරගෙන නැති බවයි. අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව පැමිණි රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මුලධර්මය උල්ලංඝනය කිරීමේ කැළල ශ්‍රී ලංකාවට අත්වීමේ අවදානම පිළිබඳව මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා ජනාධිපතිට ලියා දන්වා යවා තිබුණි.
බලහත්කාරයෙන් පිටමං නොකරන බවට කොළඹ විරෝධතාකරුවන්ට පොරොන්දුවක් දුන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මුලතිව්හි විරෝධයක් සංවිධානය කළ ක්‍රියාධරයකු රහස් පොලිසියට ගෙන්වා පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත්තේ මිනිස් ජාවාරමට උඩගෙඩි දෙනවාදැයි අසමිනි. ඒ සීමිත විරෝධතාද මේ වනවිට තද නින්දේ ය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් වාර්තා කොට ඇති පරිදි රොහින්ග්‍යා සරණාගතයන් මුලතිව් ගුවන් හමුදා කඳවුරු අභ්‍යන්තරයේ රඳවා තබා ගෙන සිටින්නේ පිළිගත් සියළු මානුෂිය සහ නෛතික මුලධර්මයන්ට පටහැනිව මෙන්ම ඒවා නොතකා හරිමිනි. කාන්තාවන්, ගැබිනි මව්වරුන්, ළමුන් සහ රෝගීන් වැනි විශේෂ අවධානයට මෙන්ම සැලකිල්ලට ද ලක් විය යුතු පිරිස් පවා එවැනි විශේෂිත ආකාරයේ සොයා බැලීම් හෝ අනුග්‍රහයන්ට ලක් නොවි හුදෙක් සිරකරුවන් පිරිසක් මෙන් ආයුධ සන්නද්ධ සෙබළුන් පිරි හමුදා කඳවුරු භූමියක රඳවාගෙන සිටීම සැබවින්ම පිළිගත හැකි හෝ යුක්ති සහගත කළ හැකි හෝ දෙයක් නොවන්නේ ය.
අතීත කතාව
රොහින්ග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුලතිව් මුල්ලිවයිකාල් වෙරළ තීරයට ගසාගෙන ආවේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වන පෙරවරු කාලයේ ය. සරණාගතයන් බේරා ගත් මුලතිව් ධීවර ජනයාට අනුව ඔවුන් සිට ඇත්තේ “නොමළ මළවුන්” ලෙසය. දශක ගණනාවක් උතුරු නැගෙනහිර යුද්ධයෙන් බැට කෑ එහි සජීවි ගොදුරු බවට පත්ව සිටි මුලතිව්හි දෙමළ ධීවර ජනයා නොවන්නට සංක්‍රමණිකයන්ට දිය පොදක් හෝ දෙන්නට කෙනෙක් ඉදිරිපත් වේදැයි සැකසහිතය. එයින් පැය කිහිපයකට පසුව පැමිණ තිබු නාවික හමුදා කාණ්ඩයක් විසින් දින ගණනාවක් මහා සයුරේ පාවෙමින් කුස ගින්නෙන්, පිපාසයෙන් සහ විජලනයෙන් මෙන්ම ලෙඩ රෝගවලින්ද මිරිකෙමින් සිටිය ළමා ළපටියන්ද ඇතුළු සංක්‍රමණික 116 දෙනා නැවතත් දිගු මුහුදු ගමනක් ඔස්සේ ත්‍රික්‍රණාමලය වරායට රැගෙන ගොස් තිබුණි.
දෙසැම්බර් 20 දින ත්‍රිකුණාමලය අශ්රෝෆ් ජැටියේ නැංඟුරම්ලන ධීවර යාත්‍රාවේ සිටි සරණාගතයන් ජමාලීයා විදුහලේ තාවකාලිකව නතර කර ඇත්තේ ඒ වන විටත් සැලකිය යුතු නිසි වෛද්‍ය ආධාර හෝ වෙනත් සුබ සාධන පහසුකම් සැපයීමකින් තොරවය.
සරණාගතයන් සිටින මුලතිවු ගුවන් හමුදා කඳවුර
සංක්‍රමණික සරණාගතයන් පරික්ෂා කර තිබු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණේ ඔවුන්ව එදිනම මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත පිටත් කර හරින ලෙසයි. නමුත් ත්‍රිකුණාමලයේ සිට මිරිහාන තෙක් යන අතර මඟ හබරන ප්‍රදේශයේ දී සරණාගතයන්ව ආපසු හරවා මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යවා තිබුණේ ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී දුන් නියෝගයක් අනුවය. අධිකරණ නියෝගය අභිබවා යන මට්ටමේ තීරණයක් පොලිස් අධිකාරිවරයෙකු විසින් ගනු ඇතැයි සිතීම උගහටය. එම තීරණය පිටුපස යම් දේශපාලන හස්තයක් තිබුණා විය යුතුය. එහෙත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් හෝ නිසි පැහැදිලි කිරිමක් කර නැත.
මානව හිමිකම් කොමිසමට ඉහළින් තංහචි

එයින් දින කිහිපයකට පසුව එනම්, දෙසැම්බර් 26 දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ පරික්ෂණ හා අධික්ෂණ අංශයේ අධ්‍යක්ෂ පුමුඛ කණ්ඩායමක් මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබුණේ සංක්‍රමණික සරණාගතයන් මුණ ගැසී තොරතුරු ලබා ගැනීමේ අරමුණෙනි. එහෙත් ව්‍යවස්ථාපිත වර පත්‍රයකින් පවා බලය හිමිව තිබෙන මානව හිමිකම් කොමිසමේ විමර්ශන කණ්ඩායමට ගුවන් හමුදා කඳවුරු භූමියට හෝ ඇතුළු වීමට කඳවුරු බලධාරින් අවසර ලබා දී නොතිබුණේ ඒ සඳහා ඉඩ නොදෙන ලෙස වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය විසින් කර තිබු නියෝගයක් හේතුවෙන් යැයි කොමිසම විසින්ම පවසා තිබුණි.
ආගමන විගමන පාලකවරියගෙන් එල්ල වූ තහංචි පිළිබඳව මානව හිමිකම් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර ( විශ්‍රාමික) එල්.ටී.බී දෙහිදෙණිය විසින් පසුගිය දෙසැම්බර් 27 දා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යවා ඇති ලිපියෙහි ඒ බව දැක්වෙන්නේ මෙසේය.
“ සරණාගතයන් බැලීම සඳහා ප්‍රවේශය ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව ලබා දිය නොහැකි බව ප්‍රකාශ කොට ගුවන් නිලධාරීන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. මානව හිමිකම් කොමිසම් සභාව විසින් ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් ප්‍රවේශ පහසුකම් ලබා දිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු දුරකතනය මඟින් දන්වන ලද අතර, ඊට අනුකූලව කොමිසම් සභාවේ ලේකම්වරයා විසින් අදාල ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලා ආගමන විගමන පාලක ජනරාල්වරිය වෙත ලිඛිත ඉල්ලීමක් කරන ලදි. ඉන් අනතුරුව උක්ත ලිපියට ප්‍රතිචාර ලෙස ආ.වි.දෙ.සහකාර පාලකවරයා විසින් වාචිකව දන්වන ලද්දේ මෙම රැකවරණ පතන්නන් වෙත ප්‍රවේශය ලබා ගැනීම සිය දෙපාර්තමේන්තුව මගින් නොව මහජන ආරක්ෂක, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා වෙතින්ම ලබා ගන්නා ලෙසයි.”

ශ්‍රී ලංකාවේ ඕනෑම රැඳවුම් මධ්‍යස්ථානයක්, පොලීසියක්, බන්ධනාගාරයක්, සිර මැදිරි මෙන්ම සිවිල් වැසියන් රඳවා සිටින හමුදා කඳවුරු ද ඇතුළු නාමික හෝ හඳුනා නොගන්නා නිල වශයෙන් සනාථ නොකර ද ඇති ඕනෑම ස්ථානයක්, පරිශ්‍රයක් පෙර අවසර ලබා ගැනීමෙන් තොරව ගොස් පරීක්ෂා කිරීමේ හිමිකම ඇති, අර්ධ අධිකරණමය බලය සහිත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පවා ඉහළින් දේශපාලන සහ මිලිටරි අණක් ක්‍රියාත්මකව වී ඇති බව මෙවන් තහංචි මඟින් පෙන්නුම් නොකෙරෙන්නේද? එකී හේතුව නිසාම කොමිසමේ නිලධාරින්ට සිදුව තිබුණේ සරණාගතයන් පිළිබඳව සොයා බැලීමකින් තොරව හිස් අතින්ම ආපසු හැරී පැමිණිමට ය.
පසුව මානව හිමිකම් කොමිසමේ නිලධාරින්ට ගුවන් හමුදා කඳවුරු භූමියට ගොස් සරණාගතයන්ගේ තත්වය විමසා බැලීම සඳහා අවසර ලැබී තිබුණේ වැඩබලන ආ.වි.පා.ජ.ගේ නියෝජිතයෙක්, ගුවන් හමුදාපතිවරයාගේ නියෝජිතයෙක් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙක් ද සමඟ කර ඇති සාකච්ඡාවකින් අනතුරුවය. ඒ දෙසැම්බර් 31 වැනි දිනය. එයින් අනතුරුව මානව හිමිකම් කොමිසමේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් පසුගිය ජනවාරි 09 වැනි දින අදාල විමර්ශනය සඳහා කඳවුරු පරිශ්‍රයට ගොස් තිබුණි. කොමිසම විසින් මේ වන ප්‍රකාශයට පත් කොට ඇති රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධ කෙරෙන්නේ එම මූලික විමර්ශනයෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා රජය මානුෂීය නීති නොතකා හැරීමක


ප්‍රධාන නිර්දේශ 8 න් සමන්විත මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාවේ මූලිකම ප්‍රකාශනය වන්නේ ශ්‍රී ලංකා රජය විසින් රොහින්ග්‍යා සංක්‍රමණික සරණාගතයන් ජාතික හා ජාත්‍යන්තර මානුෂවාදි නීතී සහ අණ පනත් ප්‍රකාරව ආරක්ෂා කළ යුතු බවයි. විශේෂයෙන්ම 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනතේ 18 (1) වගන්තිය ප්‍රකාරව කටයුතු කරන්නැයි කොමිසම රජයෙන් ඉල්ලා ඇත.
ආණ්ඩුව පිළිගත් ජාත්‍යන්තර නීතිය

උක්ත පනත ජාත්‍යන්තර මානූෂිය නීතිය යටතේ ගැනෙන්නකි. එය 2015 දෙසැම්බර් 10 වන දින ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද්දකි. පසුව 2016 මැයි මස 25 දින සාධන පත්‍රයක් මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හමුවේ අපරානුමත කරන ලදි. 2016 ජූනි මස 24 වන දින සිට ශ්‍රී ලංකාව තුළ බලාත්මක වන මෙම පනත වෙතින් රැකවරණය සැලසෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ පාලන සීමාව යටතේ සිටින කවර හෝ පුද්ගලයෙකුගේ ජීවිතාරක්ෂාව , නිදහස සහ රැකවරණය සහතික කළ යුතු ආකාරයෙන් ක්‍රියාත්මක වන්නකි.
කොමිසම විසින් ස්වකීය විමර්ශන වාර්තාවේ දක්වා තිබෙන උක්ත පනතේ 18 ( 1) වගන්තියේ දැක්වෙන්නේ මෙවන්නකි.
“ යම් තැනැත්තෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අවදානමක් ඇති බවට විශ්වාස කිරීමට සැලකිය යුතු හේතු ඇති විට කිසිම තැනැත්තෙකු වෙනත් රාජ්‍යයකට පිටමන් කිරීම, ආපසු යැවීම, භාරදීම හෝ උදර්පණය කිරීම නොකළ යුතය”
එහි කිසිදු දෙගිඩියාවක් නැත. සංක්‍රමණිකයන් යළි ඔවුන් පැමිණි මියන්මාරය වෙත පිටමන් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු කරන්නේ නම් පැහැදිලිවම එය ජාත්‍යන්තර මානුෂිය නීතියක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය මඟින් අනුමත කොට බලාත්මක කර ඇති පනතක් ද අමු අමුවේම උල්ලංඝණය කිරීමකි. අදාල වගන්තියේ 18 (2) උප වගන්තියේ වැඩිදුරටත් මෙසේ දැක්වෙයි.
“ මේ වගන්තියේ ( 1) වන උප වගන්තියේ සඳහන් හේතු තිබේද යන්න තීරණය කිරීමේ කාර්ය සඳහා අදාල අවස්ථාවලදි මානව හිමිකම් බරපතල ලෙස, සාහසික ලෙස හෝ විශාල වශයෙන් උල්ලංඝණය කිරීම් අදාල රාජ්‍යයේ පැවතීම ඇතුළු සියළු අදාල සලකා බැලීම් සැළකිල්ලට ගතු යුතුය”

මිලටරි පාලනයක් පවතින මියන්මාරයේ රොහින්ග්‍යා ජාතිකයන් ඉලක්ක කරමින් වසර ගණනාවක සිට මුදා හැරෙමින් තිබෙන සාහසික ප්‍රචණ්ඩත්වය ගැන අමුතුවෙන් කිසිවක් පැවසිය යුතු නැත. පසුගිය වසර කිහිපයේ පමණක් සිය දහස් ගණනක් රොහින්ග්‍යා ජාතිකයන් අමු අමුවේ මරා දමා තිබේ. ඝාතන, පැහැර ගැනීම්, වධ බන්ධන, සිරගත කිරීම් පමණක් නොව කාන්තාවන්ට එරෙහි ලිංගික හිරිහැර, අඩංතේට්ටම්, ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි සියළු ආකාරයේ අපරාධ තොග ගණනින් දැක්වෙන ශ්‍රව්‍ය දෘශ්‍ය වාර්තා මෙන්ම සංඛ්‍යා ලේඛන ද ප්‍රකාශයට පත් කොට තිබේ. මේ සියල්ල අතරවායේ එවැනි අති කෲරතර හිංසා පිඩාවන්ට ලක්වු ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයේම ජීවමාන සාක්ෂි, ප්‍රකාශ ආදියෙන් ජාත්‍යන්තර තලයේ මානව හිමිකම් වාර්තා ද පිරී පවති. මියන්මාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කරුණු සොයා බැලීමේ ජාත්‍යන්තර විමර්ශන කමිටු වාර්තාවක් මඟින්ද ඒ බව ලෝකයට හෙළිදරවු කරනු ලැබුවේ මේ මෑතකදීය.
මේ වන විටත් ශ්‍රී ලංකාවේ නීතියක් ලෙස බලාත්මක, එමෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීතියේ ප්‍රමුඛ තත්වයෙහිලා ගැනෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත ( ICCPR) යටතේ ගත් කලද රොහින්ග්‍යා සරණාගතයන් පිටුවහල් කීරීමෙන් වැළකීමට සහ ශ්‍රී ලංකා භූමිය තුළ දි ඔවුන්ට අවශ්‍ය නිසි රැකවරණය මෙන්ම ආරක්ෂාව , සමාජ සුබසාධනය සැලසීමට රජය බැඳී සිටියි. එය කවර තත්වයක් යටතේ වුව නොතකා හැරිය නොහැකි නෛතික මෙන්ම සදාචාරමය බැඳියාවකි.
ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලකමානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක විසින් ද මෙයට පෙර අවස්ථාවකදී දැඩිව අවධාරණය කරන ලද්දේ සංක්‍රමණික රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා රජයට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙන් පිට පැන කටයුතු කරන්නට කිසිදු ඉඩක් නොමැති බවකි.
“දේශියව බලාත්මක මේ සියළු නීති ප්‍රතිපාදනයන් ඒ ආකාරයෙන්ම සංක්‍රමණික රොහින්ග්‍යා සරණාගතයන්ගේ ආරක්ෂාව, සමාජ සුබ සිද්ධිය සහ රැකවරණය වෙනුවෙන් යොදා ගැනීමේ වැදගත් කම පෙන්වා දෙන අතරම, 1951 වසරේ සම්මත කරන ලද සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කරන ලෙසද කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී,” යනුවෙන් කොමිසන් වාර්තාවේ සඳහන්ය.
(සටහන | කේ. විජේසිංහ)
නිදහස් මාධ්‍යවේදී



