The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දාවිත් පෙන්වා ගොලායත් රකින ලාල්කාන්තගේ 'ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය' | ඥානසිරි කොත්තිගොඩ

T

The Leader Desk

February 26, 2025 • 6:15 AM

දාවිත් පෙන්වා ගොලායත් රකින ලාල්කාන්තගේ 'ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය' | ඥානසිරි කොත්තිගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අයවැය හදුන්වන්නේ කුමන නාමයකින් ද කියලා ආණ්ඩුවේම එක අදහසක්, ප්‍රතිපත්තියක් නැහැ.
  • මේනිසා නිෂ්පාදනයට දායකවන්නා හා කොම්පැණිකාරයා අතර ස්වංසිද්ධ විරෝධයක් ඇතිවෙනවා.
  • කාලය ගෙවෙද්දී මෙය වඩා සංවිධත වූ රාජ්‍ය බවට විකාශනය වෙනවා.
  • මේනිසා කොම්පැණිකරුවන් හා පක්‍ෂ නායකයන් අතර රහස් ගිවිසුම් ඇතිවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අයවැය හදුන්වන්නේ කුමන නාමයකින් ද කියලා ආණ්ඩුවේම එක අදහසක්, ප්‍රතිපත්තියක් නැහැ. තම තමන්ට හිතෙන හිතෙන විදියට මේ අයවැයට අර්ථකතනයන් දෙනව. ඒ අල්ලපනල්ලේ ලාල්කාන්ත ඇමතිවරයා මේ අයවැයට නමක් තියනවා.

"මේ අයවැය බහුජාතික කොම්පැණිකාරයාගේ සිට කම්කරුවා දක්වා එක හා සමානව යුක්තිය ඉටුකරන අයවැයක්. ආර්ථිකයට දායකවෙන හැමකෙනාටම තමන් ගේ පංගුව ලැබෙනෙවා. ඒනිසා මේක "ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අය වැයක්" යි කියලා.

 

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ විශ්වයේ කොහේ හෝ තියෙන එකක් නෙමේ. ප්‍රජාතන්ත්‍රවාදය අද දවසේ හැම විටම ක්‍රියාත්මක වන්නේ ආඥාදායකත්වයක් මත. එක්කෝ නිෂ්පාදකයාගේ, කොම්පැණීකාරයාගේ ආඥාදායකත්වය මත. නැතිනම් නිෂ්පාදනයට දායකවන්නාගේ, කම්කරුවාගේ ආඥාදායකත්වය මත. එහෙම වෙන්නේ ඇයි?

කෙනෙකුට සල්ලි, යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය ඔක්කොම තියෙනවා. හැබැයි මේවා පාවිච්චි කරමින් භාන්ඩයක් නිපදවීමට කෙනෙකුගේ මැදිහත්වීමක්, නැතිනම් ශ්‍රමයක් අවශ්‍යයි. මේ සියල්ල එකතු කරළා කොම්පැණිකාරයා යමක් නිපදවන්නේ ලාභය මුල් කරගෙන. ඒකට තමයි කැපිටලිසම් කියන්නේ. ඔහු ලාභය ලබන්නේ කොහොමද?

 

vet
ලාභය ලබන්නේ නිෂ්පාදනයට හවුල්වෙන්නාට ලැබෙන්නෙ ඕන සාධාරණ පංගුව, සාධාරණ කොටස ලබා නොදී. මේනිසා නිෂ්පාදනයට දායකවන්නා හා කොම්පැණිකාරයා අතර ස්වංසිද්ධ විරෝධයක් ඇතිවෙනවා. එහෙම ගැටුමක්, විරෝධයක් තිබුනත් කම්කරුවාට ජීවත්වෙන්න සල්ලි ඕන. සල්ලි ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමය විකිණිමට කොම්පැණිකාරයා එක්ක සම්මුතියකට යන්න වෙනවා. එතැනදී කම්කරුවාගේ ප්‍රජාතන්වාදය අහෝසි වෙනවා. ඔහුට නිෂ්පාදන බලවතාගේ ආඥාදායකත්වයට යටත්වෙන්න සිදුවෙනවා.

කොම්පැණිකාරයන් හා ඔවුන්ගේ ආයථනවල වැඩකරන්නන් ගේ මේ ගැටුම වර්ධනය වුණොත් බොහෝවිට දිනන්නේ නිෂ්පාදනයට හවුල්වෙන්නන්. මොකද ඒ පිරිස ප්‍රමාණාත්මකව වැඩියි. ඒක මැඬලන්න කොම්පැණිකාරයන් මැරයන්, ආයුද සන්නද්ධ හමුදාවල්, නීතිරීති ගොඩනගනවා. කාලය ගෙවෙද්දී මෙය වඩා සංවිධත වූ රාජ්‍ය බවට විකාශනය වෙනවා.

 

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන්  පෙරේරා
රාජ්‍ය මෙහෙම බිහිවුණත් කොම්පැණිකාරයන්ට පුද්ගලිකව එල්ලවන විරෝධයේ අඩුවක් නැහැ. මර්දනයෙන් තොරව මේ විරෝධය වාෂ්ප කර හැරීම කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔවුන් කල්පනා කරනවා. අන්න එතැනදී තමයි ආණ්ඩුව කියන සංකල්පය මතුවෙන්නේ. කොම්පැණිකාරයන් විසින් අපට අවස්ථාවක් දෙනවා ඔවුන්ගේ රාජ්‍ය යටතේ අපේ ආණ්ඩුවක් පිහිටුවා ගන්න.

 

එහෙම ව්‍යජ ප්‍රජාතන්ත්‍රවාදයක් පෙන්නුවත්, චන්දයට ඉදිරිපත්වෙන ප්‍රධාන පෙළේ පක්‍ෂවලට මැතිවරණ වියදම් ස‍දහා සල්ලි දෙන්නේ කොම්පැණිකාරයෝ. මේනිසා කොම්පැණිකරුවන් හා පක්‍ෂ නායකයන් අතර රහස් ගිවිසුම් ඇතිවෙනවා. රහස් ගිවිසුම් අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරන්නම වෙනවා. ඔවුන් අමනාප කරගත්තොත් බලය පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. අවුරුදු පහට කලින් ගෙදර හෝ හිරගෙදර හෝ අවසන් ගමන් යන්න වෙනවා.

budgetas2 1

 

ඒ අතරේම චන්දයට පෙර චන්දදායකයන් දිනා ගැනීම වෙනුවෙනුත් පක්ෂ විවිද චන්ද පොරොන්දු දෙනවා. බලය ලබාගත්තට පස්සේ ඒවා ඉටු කරගන්න බැරිවෙනවා. චන්ද පොරොන්දු ඉටු නොකරා කියලා අවුරුදු පහක් යනතෙක් ඔවුන්ව ආපසු කැදවීමේ බලයක් චන්දදායකයාට නැහැ. ඒකනිසා චන්දදායකයන්ට පාලකයන් බය නැහැ.

 

දැන් ලංකාවේ තිබෙන්නෙත් මෙවැනි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් හා ලාභය මුල්කරගත්ත ආර්ථික ක්‍රමයක්. ඒක පවත්වාගෙන යන්න තමයි පාර්ලිමේන්තුව කියන ටූල් එක තියෙන්නේ. ඒනිසා පාර්ලිමේන්තුවෙන් බලය අරගෙන රාජ්‍ය වෙනස් කරන්න බැහැ. පොඩි පොඩි ප්‍රතිසංස්කරණයන් විතරයි කරන්න පුලුවන්. හරියට කුලී ගෙදරක ඉන්නවා වාගේ.

481506449 10236803358529772 3666853989793799135 n

මොකද මේ සිස්ටම් එක ආරක්‍ෂා විශාල ජාලයක් කොම්පැණිකරුවන් ගොඩනගලා තියෙන්නේ. ජනමාධ්‍ය, ලිබරල්වාදීන්, මැර කණ්ඩායම්, සන්නද්ධ හමුදා එයින් කීපයක්. මූලික පදනම වෙනස් කරන්න ගියොත් මේ සියල්ල ඊට එරෙහිව නැගී සිටිනවා. රාජ්‍ය කුමන්ත්‍රණ කියන්නේ මේවාට තමයි. අලුතෙන් පත්වෙන ආණ්ඩුවකට එතෙක් හිටපු ආණ්ඩුවල රාජ්‍ය අපරාධ හොයන්න බැරි ආණ්ඩු හා රාජ්‍ය කියන්නේ එකක් නොව දෙකක් නිසා. අපි අවුරුදු පහෙන් පහට වෙනස් කරන්නේ රාජ්‍ය නෙමේ ආණ්ඩු.

කොටහේනේ තරුණයන් දෙදෙනෙක් ආයුද බලන්න එක්කරගෙන ගිහින් පොලිසිය විසින් මරා දැම්මා. ඒ ගැන මහාචාර්ය නිර්මාල් දේවසිරියානන් වීඩියෝවක් නිකුත් කරළා තියෙනවා. හෙතෙම පෙන්වා දෙන්නේ රාජ්‍ය විසින් කරන්නා වූ අපරාධ ආණ්ඩුවකට එකවර නැවැත්විය නොහැකියි කියලා. එයින් ගම්‍ය වන්නේ කුමක්ද?  රාජ්‍ය හා ආණ්ඩුව යනු එකක් නොව දෙකක් කියලා නේද.

 



මෙවැනි විෂයබද්ධ තත්වයක් තුළ තමයි ඇමතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය ගැන බලන්න වෙන්නේ. ලාල්කාන්ත ඇමතිවරයා කියනවා අපි තීන්දු කළා හාල් කිලෝවක් විකුණන්න ඕන උපරිම මිල මෙච්චරයි. එතකොට පාරිභෝගිකයාට හොඳයි. අපි තීන්දු කළා වී කිලෝවක අවම මිල මෙච්චරයි. එතකොට ගොවියාට හොඳයි කියලා.

එතුමා කියන මේ අපි කවුරුද? අනුර දිසානායක ජනාධිපතිතුමා මේසෙට වැරෙන් ගහලා රුපියල් 10 ක් හාල්වලට වැඩිකරලා උපරිම මිලක් නියම කළා. මේ මිල නියම කිරීමේදී කතා කළේ කවුරුන් එක්කද? මහ මෝල් හිමියන් එක්ක විතරයි. අඩුම තරමේ මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ මෝල් හිමියන් එක්කවත් සාකච්ඡා කළාද. නෑ. ගොවියොත් එක්ක කතා කළාද. නෑ . එහෙනම් කවුද මේ අපි කියන්නේ. මහමෝල් හිමියන් හා ආණ්ඩුව.

 



රූපවාහිනී විවාදයකට ඇවිල්ලා ලක්මාලී හේමචන්ද්‍ර මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය කීව කතාවත් තව හොඳ නිදර්ශනයක්. වතු කම්කරුවන් ගේ පඩි වැඩිකරනවා කියලා ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වේ වතු හාම්පුතුන් එක්ක කතා කරලලු.

 

ලාල් ඇමතිතුමෝ, කෝ මේකේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. වතු කම්කරුවගෙනුත් අහන්න එපැයි නුඹලාට මේ ප්‍රමානය ඇතිද? නැතිනම් ඕන නිවාසද, මොනවද කියලා. එහෙම නැතිව හාම්පුතුන් දෙනදේ ගන්න බල කිරීම කොහොමද ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්නේ.

 

ඊළගට ලාල්තුමා කියනවා ගොවියන්ට ආණ්ඩුව සහන දෙනවා. ඒ නිසා ගොවියන් මෙච්චර වී ප්‍රමාණයක් අපට දෙන්න ඕන. මේක නියෝගයක් නේද. ගොවියත් එක්ක කතා කළාද ඔවුන්ට උවමනා පෝරද, සල්ලිද මොනවද කියලා. නෑ එහෙම සාකච්ඡා කළේ නෑ. ආණ්ඩුවට ඕන දේ ගොවියන්ට දීලා ඊට පස්සේ තගදානවා. අයවැයෙන් පඩි වැඩි කරන්නේත් ආණ්ඩුවට ඕන අයට විතරලු.  

ලාල් ඇමතිතුමනි එතකොට කෝ ප්‍රජාතන්ත්‍රවාදය. මේක ආඥදායකත්වයක් නේද? ඒතුළ ආර්තිකයට දායකවෙන සියලු දෙනාට තම තමන් ගේ සාධාරණ කොටස, සාධාරණ පංගුව ලැබෙන්නේ නැහැ නේද?

 

imfteter
අපි දන්නා විදියටනම් මේ අයවැය ගැන පූර්ව සාකච්ඡා කලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් එක්ක විතරයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයක් තමයි ප්‍රවිචාරණ ක්‍රියාවලිය නොහොත් අදහස් විමසීම. ඒක IMF එකත් එක්ක විතරක් නෙමේ සියලුම වෘ‍ත්තීයන් එක්කත් කළ යුතුයි.

මේ සියල්ල අපට පසක් කරන්නේ ලාල්කාන්ත ඇමතිවරයා කියන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ හදන්න බැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. චන්දදායකයන් ගොනාට ඇන්දවිල්ලක්. මොකද ලංකාවේ තියෙන්නේ කොම්පැණීකාරයන්ගේ ආඥදායකත්වයක්. IMF නියෝග මත දුවන ආර්ථිකයක්. ඒතුළ ආර්ථිකයට දායකවෙන සියලු දෙනාට තම තමන් ගේ සාධාරණ කොටස, සාධාරණ පංගුව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කොම්පැණිකාරයන් තීන්දු කරන ප්‍රමාණය විතරයි. ඔවුන් ඒ ප්‍රමාණය තීන්දු කරන්නේ තමන් ගේ ලාභය ඉතිරි කරගෙන.

කොම්පැණිකාරයන් ගේ රාජ්‍ය බලය බිඳදාලා අපි නිර්ධනයන් ගේ ආඥාදායකත්වයක් හදන්නේ නෑ.  පාර්ලිමේන්තු බලයකින් සාධාරණ, යුක්තිගරුක පාලනයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන වැඩකරපු නායකයෝ ඉතිහාසයේත් හිටියා. ඒවා අවසන් වුනේ ලේ ගංගාවලින්.

 

chillieas1972 ඔක්තෝබර් මාසයේ, ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේට විරුද්ධ විරෝධතාකරුවන් සහ ඇලෙන්ඩේ රජයේ ආධාරකරුවන් අතර ගැටුම
1871 ප්‍රංශයේ බලය ගත් අරාජිකවාදීන් හිතුවේත් එහෙම තමයි. අන්තිමේ නැපෝලියන් බොනපාට් ඒක අවසන් කළේ ලේ ගංගාවකින්. 1914 දෙවන ලෝක යුද්දයෙන් පස්සේ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැවන්ත පක්‍ෂයේ නායකයන් වුණේ රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නේක්ට්. ඔවුන් ගේ පිලිගැනීම වුනේත් පවතින රාජ්‍ය එලෙසම තබා ගනිමින් පාර්ලිමේන්තු බලයකින් හැම කෙනෙකුගේම සාධාරණ කොටස, පංගුව දෙන පාලනයක් ගෙනියන්න පුලුවන් කියලා. අන්තිමේ ඔවුන් ගේ මළසිරුරු හමුවුණේ කාණුවක තිබිලා. 1972 චිලියේ අයන්ඩේත් මේ වගේම අත්හදා බැලීමකට ගියා. අවසානයේ හමුදා නායක පිනෝචේ ගේ කුමන්ත්‍රණය හමුවේ ඔහු වෙඩි තියාගෙන සියදිවි නසා ගත්තා. මෙවැනි ඉතිහාස කතා අපමණයි.

ආණ්ඩු බලය ගැනීම වෙනුවෙන් කියපු වීර කතා නිසා අද JVP, මාලිමා රජයත් පත්වෙලා ඉන්නේ මග සිටිය තෝ නසී, ගෙදර ගිය අඹු නසී කියනා තත්වයට. JVP , මාලිමා ආණ්ඩුව පත්වෙලා ඉන්න උභතෝකෝටියට සමාන රසවත් කතාවක් බයිබලයේ තියෙනවා දාවිත් හා ගොලායත් යෝධයා ගැන.

දාවිත් හැම විටම පෙනී හිටියේ, සටන් කළේ මිනිසුන් ජීවත් කරවීම වෙනුවෙන්. ඔවුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේනිසා මිනිස්සු දාවිත් වටා නිරායාසයෙන් එකතු වුණේ දැඩි විශ්වාසයකින්. පොඩි කාලයේත් යම් යම් දස්කම් පෙන්වා තිබුණ නිසා මේ විශ්වාසය දෙගුණ තෙගුණ වුණා.

ගොලායත් යෝදයා ඉතාම නපුරු, මිනිසුන් ගේ එළු, බැටළුවන් මරාකන ජන පීඩකයෙක්. අන්තිමේ මහ හැඩිදැඩි ගොලායත්ට ඔහුගේ දණහිසට වඩා උස නැති දාවිත්  සටනට අභියෝග කළා. දෙදෙනා අතර සටන ආරම්භ වුණා. දාවිත් විද්ද එක ගල් පහරකින් ගොලායත් යෝධයා මැරී වැටුණා.

 

imf 2 2

අපේ රටේ මිනිස්සුත් හිතුවේ දන්න දවසේ ඉදලා අනුර කුමරා හා JVP සටන් කෙරුවේ කොම්පැණිකාරයන්ට හා IMF එක කියන ගොලායත් යෝධයන්ට විරුද්ධව තමයි කියලා. ඒනිසා මෙවර පාර්ලිමේන්තුවේ ආසන 159 ක්ම දුන්නා. නමුත් දැන් දැන් බලන කොට ඔවුන් කරන්නේ ගොලායාත් ආරක්‍ෂා කිරීමයි කියලා චන්දය දීපු මාලිමාවන්ට පවා තේරෙන්න පටන් අරන්. ගොලායත් නිසි ලෙස ආරක්‍ෂා කරනවාද නිරීක්‍ෂණය කිරීම සඳහා IMF එක විසින් ආර්ථිකේ ප්‍රධාන මර්මස්තානයන්ට දෙදෙනෙක් දාලා තියෙන්නේ.

 

ඒ මහ බැංකු අධිපතිකමට හා මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට. 159 ක් හිටියත් ඒ දෙදෙනා එකී ස්ථානනයන්හී වැඩ හිඳිනාතාක් මොන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක්ද ලාල් ඇමතිතුමෝ. මේ අයවැයත් ජේආර් ගේ සිට පසුගිය රනිල් දක්වා ආපු නව ලිබරල්වාදයේම තවත් දිගුවක්. භාවිතා කරන වචන වෙනස්. කොකාට තැටියේ හොදි දුන්නා වාගේ.

ඉර, හඳ සහ සත්‍යය කිසිදා සගවන්න බැහැ.

මහින්දත්, රනිලුත් එකඟනම් යුක්තිය මඟහැර යන තවත් කොමිසන් මක්කටෙයි -(ඥානසිරි  කොත්තිගොඩ)(සටහන | ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

koththigoda@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දාවිත් පෙන්වා ගොලායත් රකින ලාල්කාන්තගේ 'ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය' | ඥානසිරි කොත්තිගොඩ | The Leader