The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (දෙවන කොටස) | ලයනල් බෝපගේ

T

The Leader Desk

February 26, 2025 • 10:47 AM

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (දෙවන කොටස) | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • NPP නායකත්වය සියළු පුරවැසියන්ගේ දිවි පෙවෙත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවංකව කැපවී සිටින බව පෙනේ.
  • අයවැයක් යනු ආණ්ඩුවක් අපේක්ෂා කරන ආර්ථික සංවර්ධන ප්‍රතිඵල පිළිබඳව එයට ඉදිරිපත් කළ හැකි ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශවලින් එකක් වේ.
  • වැඩ කරන ජනතාව තව දුරටත් දරිද්‍රතාවයට පත් කර ලන කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව අනුගමනය කරන්නේ නම් මෙම ප්‍රතිඵල අත්පත් කර ගැනීම අභියෝගාත්මක වනවා ඇත.
  • අප ඉදිරියේ ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ ආර්ථික සාධාරණත්වය අත්පත් කර ගන්නට තරම් මතවාදී පැහැදිලි බවක් සහ දේශපාලන අභිමතයක් NPP ආණ්ඩුවට මෙම ක්‍රියාවලියේ දී පවතී ද යන්නයි.
අකුරු ප්‍රමාණය (Font Size):


NPP නායකත්වය සියළු පුරවැසියන්ගේ දිවි පෙවෙත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවංකව කැපවී සිටින බව පෙනේ. අතීතයේ දී විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාලන තන්ත්‍රයේ විනිවිදභාවය සහ වග වීම හීන වන්නට බොහෝ විට මඟ පෑදූ ආකාරයෙන් ඔව්හු අමතර බලතල අත් කර ගැනීම සඳහා උත්සාහයක නිරතව නොමැත.

අයවැයක් යනු ආණ්ඩුවක් අපේක්ෂා කරන ආර්ථික සංවර්ධන ප්‍රතිඵල පිළිබඳව එයට ඉදිරිපත් කළ හැකි ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශවලින් එකක් වේ. වැඩ කරන ජනතාව තව දුරටත් දරිද්‍රතාවයට පත් කර ලන කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව අනුගමනය කරන්නේ නම් මෙම ප්‍රතිඵල අත්පත් කර ගැනීම අභියෝගාත්මක වනවා ඇත.

අප ඉදිරියේ ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ ආර්ථික සාධාරණත්වය අත්පත් කර ගන්නට තරම් මතවාදී පැහැදිලි බවක් සහ දේශපාලන අභිමතයක් NPP ආණ්ඩුවට මෙම ක්‍රියාවලියේ දී පවතී ද යන්නයි. දැනට ආණ්ඩුවේ දූෂණය හා අපතේ යෑම අඩු කිරීමේ ප්‍රවණතාවක් පවතින නමුත්, මෙම වැඩසටහන් ක්‍රියාවට නංවන නිලධරය සහ සම්බන්ධතා ජාල පිළිබඳව එසේ කිව නොහැකිය. ආණ්ඩුව, ජනතාව වෙත සමාජ හා ආර්ථික සාධාරණත්වය සහතික කරන යාන්ත්‍රණ ප්‍රතිනිර්මාණය කර යළි දියත් කිරීම අවශ්‍ය වේ.


ආර්ථික සාධාරණත්වය අත් කර ගැනීමේ දී බොහෝ රටවලට දුෂ්කර තත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ ඒ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට බැඳී සිටීම නිසාම පමණක් නොවේ; ආර්ථික සාධාරණත්වයට අදාල ප්‍රතිපත්ති කෙරෙහි තමන්ගේම වූ කැපවීමක් ඔවුන් සතුව නොමැති වීම ද හේතුවෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි පාලනය යටතේ ක්‍රියාත්මක වීම හේතුවෙන් ආණ්ඩුව IMF නව ලිබරල් කප්පාදු කිරීමේ වැඩ පිළිවෙළේ රූකඩයක් බවට පත්වන තත්වයකට මඟ පෑදිය හැකි බව ආණ්ඩුව හඳුනා ගත යුතුය. ජනගහනයෙන් සැලකිය යුතු කොටසක සහයෝගය ආණ්ඩුවට අහිමි කර ලන්නට මෙය තුඩු දෙනවා ඇත.

මැතිවරණ පොරොන්දුවලට ගරු කිරීම

 



පද්ධතික දෘෂ්ටි කෝණයකින් බැළු විට, අයවැයක් ආණ්ඩුවේ ආර්ථික දැක්මට අනුකූලව ඉදිරි වසර සඳහා විවිධ අමාත්‍යාංශ වෙත මුදල් ප්‍රතිපාදන පවරා දිය යුතුය. එසේ වෙතත්, IMF අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයක් ඇති කර ගත් පසුගිය ආණ්ඩුව විසින් පනවන ලද මූල්‍ය කප්පාදු කිරීමේ පියවර හේතුවෙන් එවැනි මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඇති ඉඩකඩ දැඩි ලෙස සීමා කර ඇත.

පසුගිය ආණ්ඩුව විසින් පනවන ලද නීතිරීති විසින් මෙම එකඟතාවය ක්‍රියාවේ යෙදවීම බලාත්මක කරනු ලැබේ. මහජනතාව සතුව ඉහළ අපේක්ෂාවන් පැවතුන ද, 2025 අයවැය විසින් ආදායම් විෂමතාවය පිළිබඳ ගැට‍ළුව ආමන්ත්‍රණය කර නැත; එයට එම ගැට‍ළුව ආමන්ත්‍රණය කල නොහැකි ය. එසේ ගත් විට, ආදායම් යළි බෙදාහැරීමේ ගැටළු ඵලදායක ලෙස නිරාකරණය කරන්නට එයට නොහැකි ය.

  poor b

අවශ්‍යතාවයෙන් පෙලෙන සමාජයේ බොහෝ කොටස් වෙත අයවැයෙන් මුදල් වෙන් කර ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ලබා දී ඇති ආධාරය ප්‍රමාණවත් නොවන බවත් වැඩි සහයෝගයක් ඔවුන්ට අවශ්‍ය බවත් ප්‍රකාශ කරමින් කණ්ඩායම් කිහිපයක් නොසතුට පළ කරති. එසේ වුවද, රට වඩා යහපත් රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් වෙතට සංක්‍රමණය කරවීමේ අරමුණ ඇතිව අය-වැය සැලසුම් කර ඇති බව පෙනේ. එය රටේ සම්පත් අවභාවිතා කිරීම, දූෂණය සහ අපතේ යැවීම පිළිබඳ ගැටළු ආමන්ත්‍රණය කරන අතර නිෂ්පාදන හැකියාවන් ඉහල දමන්නටත්, කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන්නටත් අපේක්ෂා කරයි.

අයවැය සමාජ සුබසාධන ප්‍රතිපාදන සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙත දැඩි සේ අවධාරණය කරන බවත්, එයින් ආණ්ඩුවේ වියදම් සැලකිය යුතු ලෙස වැඩි කර ලිය හැකි බවත් ආර්ථික විද්‍යාඥයන් කිහිප දෙනෙකු සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ආදායම සහ වියදම අතර පරතරය පියවා ගනු ඇත්තේ කෙසේදැයි යන්න අපැහැදිලි ව පවතී. අමතර ලෙස ගත් විට, ආර්ථිකය ඩිජිටල්කරණය ට ලක් කරන ලද සහ තාක්‍ෂණය මත පදනම් වන එකක් බවට පරිවර්තනය කිරීමේදී පුද්ගලික අංශයේ, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) කාර්යභාරය ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට ලක් කර නැත. 


නව ආණ්ඩුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය අඩිපාරේ ම ගමන් කරන බව අඟවමින් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු හිටපු ජනාධිපතිවරයා කාර්ය සාධක කළමණාකරුවෙකු සහ නායකයෙකු වූ බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය ජනාධිපති වික්‍රමසිංහගේ පාලන කාලය තුළ, ඔහු සහ ඔහුගේ සගයෝ NPP යේ ජනතාව වෙත නැඹුරු වුනු ප්‍රවේශයට සෘජු ලෙසම වෙනස් වූ ප්‍රබල හා නොමඟ ගිය පියවර බොහොමයක් ක්‍රියාවේ යෙදවූ බව නොතකා හරියි. මෙම පියවර සමහරක් පහත සඳහන් ඒවා ඇතුළත් විය:

1. ප්‍රචණ්ඩ නොවූ ‘අරගලය’ ව්‍යාපාරය යලි යලිත් සාහසික ලෙසත් මර්දනය කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය සතු වග කල නොහැකි බලතල මෙන්ම කුරිරු වූ නීති රීති යොදා ගැනීම.

2. වඩාත්ම අහිතකර ලෙස බලපෑ එකඟතාවයකට නොපැමිණෙන ලද IMF පදනම් කර ගත් කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් හිතුමනාපයේ ක්‍රියාත්මක කිරීමෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ශුභ සාධනය පිළිබඳව සැලකිල්ලක් නො දැක්වීම.

3. ආර්ථික කොල්ලකරුවන් බොහෝ දෙනෙකුගෙන් සැදුම් ලත් 'රාජකීය කුස්සි කැබිනට්ටුවක්' මත විශ්වාසය තැබීම සහ ජනතාවගේ ඕනෑ එපා කම් රකිනවාට වඩා කුස්සි කැබිනට්ටුවේ දිගු කාලීන දේශපාලන පැවැත්ම සහතික කිරීම අරමුණු කරගත් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාවේ යෙදවීම.

 

drt4444

4. ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ කාර්යසාධකත්වය ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ක්‍රියාවට නංවන්නට අපොහොසත් වීම; එමගින් ඥාති සංග්‍රහය, ගජ මිතුරු කම්, බලය අනිසි ලෙස යෙදවීම සහ ආර්ථික කොල්ලකෑම දිගටම පවත්වාගෙන යාම.

5. ජනතාවගේ දුෂ්කරතා අවම කරනු වෙනුවට ඔවුන්ගේ තත්ත්වය වඩාත් නරක අතට පත් කිරීමෙන් සහ මානව හිමිකම් බිඳ හෙලන්නට කටයුතු කිරීමෙන් ආර්ථික අභියෝග වෙත ප්‍රතිචාර දැක්වීම.

6. බදු ගෙවන්නන්ගේ සම්පත් අවභාවිතා කිරීම, නාස්තිය සහ අපතේ යැවීම පහත හෙලන්නට ප්‍රායෝගික පියවර ගැනීම නොසලකා, දූෂිත පුද්ගලයන්ට ආවරණය සැපයීම සහ පෙර පැවති පාලනයේ අධිකාරවාදී චරිත ඔහු වටා ගොනු කර ගැනීම.

7. වැටුප් උපයන්නන්ට බදු සහන සහ රජයේ සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩි වීමක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම; ජනාධිපතිවරණය ආසන්නයේ එම වැටුප් වැඩි වීම ක්‍රියාත්මක කරන්නට නරුම ලෙස පොරොන්දු වීම.

 

WhatsApp Image 2024 10 03 at 20.38.19 4a287674

NPP ජනාධිපති පදවිය වික්‍රමසිංහ ජනාධිපති පදවියට වඩා මූලික ලෙසම වෙනස් බව පෙන්නුම් කර ඇත. NPP ය පෙර පැවති පාලනය පෙරළා දැමීම අරමුණු කර ගත් මර්දනය හෝ ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම තුලින් බලයට පැමිණියේ නැත. අයවැය සමාජවාදය ස්ථාපිත කිරීමට හෝ ධනේශ්වර විරෝධී දේශපාලන න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා නොකරන බව යලිත් අවධාරණය කළ යුතුය.

ඒ වෙනුවට, NPP න්‍යාය පත්‍රය විදේශ ආයෝජන පිළිගන්නා නිදහස් වෙළෙඳාම සහ අපනයනය වෙත නැඹුරු වුනු ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටියේය. නියාමනය කරන ලද පෞද්ගලික සුව සේවාවන් සහ අධ්‍යාපනික සේවාවන් තුල පුද්ගලික අංශයේ මැදිහත් වීම පුළුල් කරන්නට ද NPP ජනාධිපති පදවිය සහාය ලබා දෙනවා ඇත.

NPP 250211

NPP ය යනු කේඩරය මත පදනම් වූ පක්ෂයක් වන JVP ය (ජනතා විමුක්ති පෙරමුණ) නොවන බව සඳහන් කළ යුතුය. බොහෝ ප්‍රගතිශීලීන්ගෙන් සමන්විත එය, මධ්‍යයෙන් වමට බර සන්ධානයකි. ඔවුහු රට සංවර්ධනය කිරීමටත්, දූෂණය පිටුදැකීමටත්, විනිවිදභාවයෙන් හා වග වීමෙන් යුක්තව ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුණු කර ලන්නටත් ප්‍රතිඥා දී ඇත. මෙය පිළිබිඹු කරන්නේ ධනවාදයේ සිට සමාජවාදය දක්වා ආර්ථිකයේ සිදු කරන විප්ලවීය පරිවර්තනයක් නොවේ; ‘ක්‍රම’ වෙනසක් අපේක්ෂා කළ ඡන්දදායකයන්ගේ සහ අරගලය ව්‍යාපාරයේ අපේක්ෂාව යි.


පනවන ලද සීමාවන් හේතු කොට ගෙන මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, කලින් එකඟ වන ලද ණය තිරසාරත්ව විශ්ලේෂණය දරා සිටින අතර ඒ එකඟතාවයේ ඇතැම් කරුණු ගැන යලි සාකච්ඡා කරන්නට ආණ්ඩුව කැමැත්ත පළ කලේය. IMF අරමුදලේ මීළඟ සමාලෝචනය මේ සතියේ පැවැත්වීමට නියමිත යි.

fb8c5610 7eb6 11ee 8cbc 65f3a83b2703.jpg

සිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උදෙසා ආණ්ඩුව පසුගිය පරිපාලනයන් විසින් පිහිටුවා ලන ලද දෝෂ සහගත වැඩසටහන් සහ යාන්ත්‍රණ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. අඩු ආදායම්ලාභීන් මත පනවා ඇති බදු බර පහත හෙළන්නටත්, රජය සතු ඇතැම් ව්‍යවසායයන්ගේ පොදු අයිතිය පවත්වාගෙන යාමටත්, දේශීය කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වඩා සාධාරණ මූල්‍ය ඇප දීමක් පිළිබඳව සාකච්ඡා කිරීමටත් ආණ්ඩුව අදහස් කළේය. මෙම අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම විසින් මූල්‍යමය ඒකාබද්ධ කිරීමට පහසුකම් සලසා දිය යුතුය.


දුෂ්කර නමුත් සාධාරණ හා ස්ථාවර තීරණ සඳහා පවතින අවශ්‍යතාවය

 

ertwert4

පරීක්ෂාවට ලක් නොවන NPP යේ තීරණ ගැනීමේ ක්‍රියාවලියන් ගේ විනිවිද නොපෙනෙන ස්වභාවය හේතුවෙන් වඩාත් අපහසු බවට පත් කරනු ලබන මෙම අවශ්‍යතාවය අභියෝගාත්මක කර්තව්‍යයක් වන්නේය. නිලධරයේ සමහර සාමාජිකයෝ හුරුපුරුදු පරිදි මඟ හරවා ලීමේ උපක්‍රම භාවිතා කරති. නිදසුනක් ලෙස, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරනවා වෙනුවට, ඔවුහු ත්‍රස්තවාද-විරෝධී පනත (ATA) වැනි අළුත් ප්‍රති ත්‍රස්ත නීතිරීති සම්පාදනය කරන්නට යෝජනා කරති. මෙම නව නීතිරීති මගින් විසම්මුතිය යටපත් කර දමන්නට සහ නීතියට පරිබාහිර ඕනෑම ක්‍රියාවක් වසන් කර තබන්නට බලධාරීන් වෙත වැඩි බලයක් ලබා දිය හැකිය.

 

201810asia srilanka main

මීට අමතරව, සුළු ජාතීන් බැහැර කරන බොහොමයක් වෙනස්කම්වලට ලක් කරන ප්‍රතිපත්ති තවමත් පවතී; කෙසේ වෙතත්, පවතින තත්ත්වය වෙනස් කළ හැකි අන්දමේ ජනනාත්මක ප්‍රවණතාවයක් ඉස්මතු වෙමින් පවතින බව පෙනේ. තවද, කලින් දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන්ට අයත්ව තිබූ උතුරු නැගෙනහිර ඉඩකඩම් හමුදාව තවදුරටත් අත්පත් කරගෙන සිටියි. සන්නද්ධ ගැටුම් සමයේ සිදු කරන ලද මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් පවත්නා ජාත්‍යන්තර බලපෑම් මඟ හැරවීමේ ප්‍රයත්නයක යෙදෙමින් ‘ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කොමිසම’ ක් ස්ථාපිත කර තිබේ. කෙසේ වුවද, අර්ථවත් වෙනස්කම් ඇති කරන්නට ඊට ඇති හැකියාව අවිනිශ්චිත ව පවතී.

නව ආණ්ඩුව NPP මැතිවරණ ව්‍යාපාරවල දී දෙන ලද පොරොන්දු ඉටු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසු වෙති. වැඩ කරන ජනතාවගේ ජීවන තත්වයන් කෙරෙහි නිෂේධාත්මක ලෙස බලපාන IMF කප්පාදු වැඩ පිළිවෙළෙහි ඇතැම් අංග ලිහිල් කර ලීම, NPP ය මුහුණ දෙන ප්‍රධාන අභියෝගවලින් එකක් වෙයි. ඒ සමඟම, උපයා ගන්නා ප්‍රමාණයට වඩා වියදම් කිරීමෙන් වැළකීම සඳහා ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය ඵලදායී ලෙස වියදම් සීමා කරන බවට ආණ්ඩුව වග බලා ගත යුතුව ඇත. එසේ කිරීමට අපොහොසත් වීමෙන් අදහස් වනු ඇත්තේ ආදායම සහ වියදම් අතර පවතින පරතරය පියවා ගැනීම සඳහා නිරන්තරයෙන් ණය ලබා ගැනීම් මත රඳා පැවතීමේ පැරණි ආකෘතිය දිගටම අනුගමනය කරන බව යි.

Gamini viyangoda 241108
වත්මන් සමාජ ආර්ථික දේශපාලන සන්දර්භය ජනතාව කෙතරම් හොඳින් තේරුම් ගන්නේ ද යන්න මත රටේ අනාගතය රඳා පවතිනවා ඇත. මෙම අවබෝධය බොහෝ දුරට රඳා පවතිනු ඇත්තේ ආණ්ඩුව ඩයස්පෝරාව ද ඇතුළු රටේ බහුවිධ ජනගහණය සමඟ සම්බන්ධ වෙමින් කෙතරම් දුරට ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්නේ ද, ඔවුන් ඇතුළත් කර ගන්නේ ද සහ ඔවුන් සමඟ කටයුතු කරන්නේ ද යන්න මත යි. NPP ය බලයට ගෙන එන ලද්දේ මෙම බහුත්ව ඡන්දදායකයින් විසින් වන අතර, නව ආණ්ඩුව අව කළමනාකරණයෙන්, අපතේ යැවීමෙන් සහ දූෂණයෙන් තොර ජනතාව වෙත නැඹුරු වූ දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නට උත්සාහ දරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. බොහෝ දේශපාලනඥයින් සහ නිලධාරීන් විසින් නොකඩවා භුක්ති විඳිනු ලබන දණ්ඩ මුක්තිය අවසන් කරන ලෙස ද ඔව්හු ඉල්ලා සිටිති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවටත්, යුද්ධය සමයේ බලයෙන් අත් කර ගන්නා ලද පෞද්ගලික ඉඩම් නිදහස් කරන බවටත් ජනාධිපතිවරයා සහ NPP ය මැතිවරණ ව්‍යාපාරයේ දී දුන් පොරොන්දු තවමත් ක්‍රියාවට පරිවර්තනය වී නැත. ඇතැම් කැබිනට් ඇමතිවරු විසින් මෑත කාලීනව කරන ලද ප්‍රකාශ හේතුවෙන් කලින් ලබා දෙන ලද ප්‍රතිඥා සම්බන්ධයෙන් ඔවුන් සතු කැපවීම පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ. දේශපාලන සිරකරුවන් නොමැති බවටත්, එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රමිතීන් ට අනුකූල වන පරිද්දෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සංශෝධනය කරන බවටත් ඔවුහු ප්‍රකාශ කර ඇත. ස්වභාවික ලෙස, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සහ ඒවා රැක ගැනීමට කටයුතු කරන අය මෙම ප්‍රකාශ ගැන කනස්සල්ලට පත්ව සිටිති.

muslim 06 11 24 1000x600

එසේම, මුස්ලිම් විවාහය හා සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණ මුස්ලිම් ප්‍රජාව තුළ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම මත රඳා පවතිනු ඇතැයි ආණ්ඩුව අදහස් කරන බව පෙනේ. මේ හේතුවෙන් මෙම ගැටළු වල පවතින අත්‍යාවශ්‍ය මෙන්ම ගැටළුකාරී ස්වභාවය පිළිගැනීම පිළිබඳව ප්‍රශ්න මතු කරයි. මෙය එසේ නොවනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුව යි. එසේ වන්නේ නම්, රටේ ජනතාවට සහ වමේ ශක්‍යතාවය ට සැලකිය යුතු හානියක් සිදු කරමින්, ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉවත දැමූ 1970 තත්ත්වය යලි ඇති කරවීමට මඟ පෑදිය හැකිය. ඡන්දදායකයින්ට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වෙත NPP ය මුළුමණින් කැප විය යුතු වේ.


නිගමනය

 

srt45frr

බලයට පත්ව ගත කරන පළමු දින 100 බොහෝ විට හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ "මධු සමය" ලෙස යි. මෙම කාලයෙන් පසු ආණ්ඩුව සිය න්‍යාය පත්‍රය කඩිසර ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි බහුතර ජනතාව අපේක්ෂා කරති. සාධනීය කතා සහ මූලාරම්භයන් තිබුණේ වූවද, ආණ්ඩුව නොකඩවා "පුරුදු පරිදි කටයුතු කිරීමේ" ප්‍රවේශයක් අනුගමනය කර ඇත. ඡන්දදායකයන් විසින් දේශපාලන අක්‍රීයත්වය, අපරිණත බව, දුබල නායකත්වය සහ සම්බන්ධීකරණයේ ඌණතාවය ඉවසා සිටිනු ඇතැයි අපේක්ෂා කිරීම මාරාන්තික වැරැද්දක් විය හැකිය. ආණ්ඩුවක් පවතින්නේ ජනතා ඕනෑ එපා කම් නියාමනය කරන්නට, පාලනය කරන්නට සහ රැක දෙන්නට මිස නිලධාරිවාදය සහ පරිපාලන අකාර්යක්ෂමතාවයන් ආරක්ෂා කිරීමට නොවේ!

මැතිවරණ සමයේ දී පොරොන්දු වූ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කැපවී සිටින නිසා ඡන්දදායකයෝ යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු රඳවා ගෙන සිටිති. මෙම වැඩපිළිවෙළ යහපාලන රාමුවක් තුළ සාර්ථක කරගත හැකිය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ආණ්ඩුව වාණිජමය ආයෝජන සහ බදු ආදායම ඉහළ නැංවිය යුතුවා මෙන්ම සැලකිය යුතු වෙළඳ පරතරය ද පියවා ගත යුතු වේ.

475962022 1025525956273691 4533973479005142557 n

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය නිදහස් දින දේශනයේ දී මෙසේ ප්‍රකාශ කලේය: “කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන් කර පාලනය කළ ජනවාර්ගික බේද, ආගමික බේද, කුල බේද පමණක් නොවේ, දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර, … … මුල් බැස ගෙන ඇති අගතීන් සෝදා හැර මේ සමාජය පවිත්‍ර කර කළ යුතුව තිබෙනවා … …මේ නිසා අප මතක තබා ගත යුතුයි රටට ආර්ථික, සමාජයීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගල බිමක අරගල කරුවන් වන බව … … ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟ හැර යාමට අපට කිසිදු යුක්ති සහගත අයිතියක් නොමැති වන නිසයි.”


ජාතිය ගොඩනැගීම ආණ්ඩුව, විරුද්ධ පක්ෂ, නිලධාරීන් සහ පුරවැසියන් අතර බෙදා හදා ගත් සාමූහික වගකීමක් වන්නේය. රෝමය එක දවසකින් ගොඩ නො නඟන ලද නිසා දේශපාලන ඉවසීම අවශ්‍යව තිබේ. ආධුනික ආණ්ඩුව නිර්භීතව සහ අවබෝධයෙන් යුතුව තම ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරද්දී අපි එය ධෛර්යමත් කරමු.

images 24

ජනතාව ඡන්දය ප්‍රකාශ කලේ වෙනසක් ඇති කිරීම සඳහා මිස, පාලන තන්ත්‍රයට පවතින තත්ත්වය, විශේෂයෙන්ම, යටත් විජිත සහ යටත් විජිත ගැති කාලවල දී පනවන ලද නීති රීති, ක්‍රියා පටිපාටි සහ භාවිතාවන් පවත්වා ගෙන යාම සඳහා නොවන බව මතක තබා ගැනීම වැදගත් වේ!


(නිමාව)

සබැඳි ලිපිය :

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) | ලයනල් බෝපගේ


lionel bopage(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව

lionel.bopage@gmail.com

2025 පෙබරවාරි 24 වන දා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...