The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ ආරක්ෂිත වී තොග රැස් කිරීමත් වඳුරන් ගේ කූඩු තැනීමක් වේද? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

February 26, 2025 • 7:45 AM

ආණ්ඩුවේ ආරක්ෂිත වී තොග රැස් කිරීමත් වඳුරන් ගේ කූඩු තැනීමක් වේද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය නොවැම්බර් මස සිට පෙබරවාරි පටන් ගන්නා තුරු කාලය පුරාම ජනතාව සහල් අර්බුදයෙන් බැට කෑහ.
  • සහල් හිඟයක් ඇතිවීම, සහල් මිල වැඩි වීම, ඇතැම් සහල් වර්ග වෙළඳ පොළේ නැති වීම, සහල් සඳහා කළුකඩ වෙළඳ පළක් ඇතිවීම, ආදී “රෝග ලක්ෂණ” ඒ වකවානුවේ බහුලව දක්නට ලැබුණි.
  • එතෙක් රුපියල් එකසිය ගණන් වල අග්ගිස්ස හා දෙසිය ගණන්වල මුල ආශ්‍රිතව පැවතුණු සහල් මිල මේ අර්බුදය මධ්‍යයේ කාටත් නොදැනෙන්නට දෙසිය ගණන්වල අග හරියටම ඇවිත් යළිත් පසු බැස රු 220-රු 260 අතර තැන්පත් වී ඇත.
  • ප්‍රධානතම වී නිපදවන දිස්ත්‍රික්කය වන අම්පාරේ අස්වනු නෙලීම අවසන් අදියරට ඇවිත් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය නොවැම්බර් මස සිට පෙබරවාරි පටන් ගන්නා තුරු කාලය පුරාම ජනතාව සහල් අර්බුදයෙන් බැට කෑහ. සහල් හිඟයක් ඇතිවීම, සහල් මිල වැඩි වීම, ඇතැම් සහල් වර්ග වෙළඳ පොළේ නැති වීම, සහල් සඳහා කළුකඩ වෙළඳ පළක් ඇතිවීම, ආදී “රෝග ලක්ෂණ” ඒ වකවානුවේ බහුලව දක්නට ලැබුණි. එතෙක් රුපියල් එකසිය ගණන් වල අග්ගිස්ස හා දෙසිය ගණන්වල මුල ආශ්‍රිතව පැවතුණු සහල් මිල මේ අර්බුදය මධ්‍යයේ කාටත් නොදැනෙන්නට දෙසිය ගණන්වල අග හරියටම ඇවිත් යළිත් පසු බැස රු 220-රු 260 අතර තැන්පත් වී ඇත.

මේ වන විට මාස් කන්නයේ අස්වනු නෙලීම උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. ප්‍රධානතම වී නිපදවන දිස්ත්‍රික්කය වන අම්පාරේ අස්වනු නෙලීම අවසන් අදියරට ඇවිත් ඇත. මේ සමඟම පොලොන්නරුව අස්වනු නෙලීම ද ඇරඹෙනු ඇත.

 සහල් ආනයනය අලුත් ආණ්ඩුවේ අනුවණ කමක් ද? - (රේණුකා දමයන්ති ගමගේ)

සහල් අර්බුදය උග්‍ර වෙද්දී අර්බුදයට හේතු සෙවූ ආණ්ඩුව කලින් අවංකවම සිතා සිටියේ හාල් අර්බුදය මහ මෝල් කරුවන් විසින් කෘත්‍රිමව ඇති කළ අටමඟලක් කියා ය. වත්මන් ආණ්ඩුවේ අය විපක්ෂයේ ඉන්න කාලේ රටට පෙන්වා දුන්නේ රටේ සහල් වෙළඳපළ පාලනය රැඳී ඇත්තේ මහ මෝල්කරුවන් අතේ කියා ය. සහල් මිල ඉහල දැමීම එකී මහ මෝල් කරුවන් විසින් සිය ලාභය වැඩිකර ගැනීම සඳහා කරන කූට උපක්‍රමයක් ලෙස එදා ඔවුහු “සහල් මාෆියාව” යන නම ද ඊට ආදේශ කරමින් විශ්වාසයෙන් ජනතාවට පවසනු අපි ද අසා සිටියෙමු.

 

ඒ කාලේ වී මිලදී ගැනීමේදී වෙළඳපළේ පැවති වී මිල ගැන ඔවුන් ප්‍රකාශ කළේ ඒ මහා පරිමාණ මෝල් හිමියන් විසින් ගොවියන්ව සූරා කෑම සඳහා සංවිධානාත්මකව ස්ථාපිත කළ මිලක් කියාය. ඒ අනුව කෝකටත් තෛලය ලෙස එදා පෙන්නූ හේතුවම තමන්ගේ ආණ්ඩුව යටතේ සහල් මිල වැඩිවීමටත් ආදේශ කිරීම හැර වෙනත් අවශ්‍යතාවයක් ආණ්ඩුවට තිබුණේ නැත. ඒ අනුව මහා පරිමාන මෝල් සංකීර්ණ වල වී තොග තත්වය, දෛනික සහල් නිෂ්පාදනය සහ දෛනික වෙළඳපොළ සැපයුම් ආදී තොරතුරු රාජ්‍ය නිලධාරීන් යොදවා ලබා ගනිමින් ඔවුන්ගේ මොළ වලට වැටහුණු “සහල් මාෆියාව”පාලනය කිරීමේ කටයුතු ඇරඹුණි. ඒ යටතට සහල් ආනයනය කරමින් සහල් වෙළඳපොලේ මිල ඉහළ යාම පාලනය ද අයත් විය.

එහෙත්, ඒ කිසිවකින් සහල් හිඟයත් මිල ඉහළ යාමත් නතර කර ගන්නට නොහැකි බව පෙනුණු පසු ආණ්ඩුවේ බලවත්තු තැටිය මාරු කර සහල් මිල පාලනයට රජයට වී තොගයක් අවශ්‍ය බවත් පසුගිය රජයන් වී ඇටයක් වත් මිලට ගෙන නොතිබීම නිසා මේ අර්බුදය ඇතිවූ බවත් කියා සිටියහ. ගොවියාගෙන් තුට්ටු දෙකට වී මිලට ගෙන පාරිභෝගිකයනට වැඩි මිලට සහල් විකුණන “සහල් මාෆියාව” පැරදවීමට රජය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත වී තොගයක් රැස් කිරීමට ක්‍රියා කරන බවට ද ඔව්හු සපථ කළහ. ඒ අනුව වල් වැදුණු ආණ්ඩුවේ වී ගබඩා හා පැරණි මෝල් සංකීර්ණවලට වීඩියෝ කණ්ඩායම් සමග ගිය ආණ්ඩුවේ බලධාරීන් ඒවා ශුද්ධ පවිත්‍ර කර වී මිලට ගැනීමට සූදානම් වනු රූපවාහිනී නාලිකා වලින් පෙන්නූහ. යළි කිසි දින සහල් අර්බුදයක් ඇති නොවනු පිණිස සහල් ප්‍රශ්නය අවසන් කිරීමට ක්‍රියා කරන බවට ආණ්ඩුවේ ප්‍රධානීන් සහතික වූයේ මේ ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යාමේ උපාය මාර්ගය ඉදිරියට දමමිනි.

 



මේ අන්දමින් ආණ්ඩුව ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යාමට සූදානම් වුවත් අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග වී සඳහා වන සහතික මිල ප්‍රකාශයට පත් කිරීමට කඩිනම් වූයේ නැත. ඒ මක් නිසාදයි අදට ද අප හරියට දන්නේ නැත. වී නිෂ්පාදන වියදම පිළිබඳ අධ්‍යයනය කර ගොවියාට ලාබ දායක ලෙස සහතික මිල තීරණය කරන බවට ආණ්ඩුවේ බලධාරීන් තැනින් තැන දී කරන ලද විමසීම් වලට පිළිතුරු දුන්නත් සහතික මිල ප්‍රකාශයට පත් කිරීම දිනෙන් දිනම ප්‍රමාද විය. රට පුරා ගොවීහු සහතික මිල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වීම ගැන කලබල වූයේ මේ හේතුව නිසා පෞද්ගලික ව්‍යාපාරිකයන් තුට්ටු දෙකට තම අස්වනු මිලට ගනු ඇතැයි බිය වූ බැවිනි.

 

අනික් අතට මීට පෙර ආණ්ඩු කාලවල ගොවීන්ගේ ගැටළුවල දී ගොවීන් පිරිවරා ගෙන කේසර සිංහ විලාසයෙන් පාරට බැස්ස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධානියා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා වීම නිසා ප්‍රාදේශීය ගොවි සංවිධාන නායකයින් බලාපොරොත්තු වුණේ වී කිලෝ එකකට රුපියල් 150 ක වත් මිලක් සහතික මිල ලෙස රජය නියම කරනු ඇතැයි කියා ය. වී කිලෝ එකක නිෂ්පාදන වියදම ලෙස රුපියල් 154 වැයවෙන බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මීට පෙර ආණ්ඩුව සමයේ කරන ලද ප්‍රද්සිධ ප්‍රකාශයක් ද සමාජ මාධ්‍යවල බෙදාහරිමින් ගොවීන් බලාපොරොත්තු වූයේ වී සඳහා වැඩිම මිලක් සහතික මිල ලෙස ප්‍රකාශයට පත්කරවා ගැනීමට ය.

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද?

 

නමුත් ගොවි සංවිධාන නායකයන්ගේ මේ ඉල්ලීම් දෙස මෙරට නාගරික පහළ මධ්‍යම පාන්තික කොටස් බලා සිටියේ බියමුසුව ය. වී සහතික මිල රුපියල් 150 වුණොත් සහල් මිල කිලෝව රුපියල් 300 සීමාව පනින බව පැහැදිලි වීම ඊට හේතුවයි. එවිට අප රටේ ගොවියා රජ වී තමන් යාචකයන් වනු ඇතැයි ඔව්හු සිතන්නට වූහ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධානියා ගොවීන් වෙනුවෙන් පෙනී සිටින සූර සරදියෙල් කෙනකු සේ පෙනීම ද ඊට හේතු වන්නට ඇත.

ආණ්ඩුවේ විවිධ නායකයන් තමන් දිගු කලක් තිස්සේ ජනතාවට පෙන්වූ “සහල් මාෆියාව” නම්වූ ව්‍යුහය නැති කිරීමට වී තොග තරඟකාරීව මිලට ගැනීමට සූදානම් බව මුල දී අඟවමින් සිටියත් කවර හේතුවක් නිසා හෝ වී මිලදී ගැනීමේ දී පුද්ගලික අංශය හා තරඟ නොකිරීමේ බුද්ධිමත් තීරණයට එළඹීම සහතික මිල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වීමට ද බලපාන්නට ඇත.

 


එමෙන්ම තමන් මන්ත්‍රයක් මෙන් රට පුරා මැතිරූ සහල් මාෆියා කතාව දවල් හීනයක් බව ඔවුන්ට වැටහී තිබිණ. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළ සහතික මිල ගොවියාට එතරම් ගැටළුවක් ඇති කරන්නක් නොවීය. ගොවි සංවිධාන නායකයන් කවර දෝෂාරෝපණ කළත් ආණ්ඩුව වී සහතික මිල පිළිබඳ කඩ ඉම රට පැත්තෙන් සාර්ථකව පැන ගැනීමට ආණ්ඩුව සමත් වූ බව කිව යුතු ය. එහෙත් දේශපාලනිකව එය ආණ්ඩුවට බලවත් ගැටළුවක් වූ බව නම් කිව යුතු වේ. එලෙස දේශපාලනිකව පාඩු විඳගෙන හෝ වී සහතික මිල රුපියල් 120 මට්ටමේ පවත්වා ගැනීම ආණ්ඩුව ගත් යහපත් තීරණයක් බව ද කිව යුතු ය.

මේ වන විට පෞද්ගලික අංශය සුපුරුදු ලෙස ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම කිසිදු තරඟයකින් තොරව සිදුකරමින් සිටී. මේ වන විට සුදු නාඩු වී කිලෝව 128 පමණ මිලකටත් රතු නාඩු වී කිලෝව රුපියල් 140 පමණ මිලකටත් අලෙවි වන බව දැනගන්නට ඇත. එමෙන්ම මෙවර වී අස්වැන්නේ යම් අඩුවක් ද වාර්තාවන බව ගොවීහු පවසති. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරයකින් වෙනදාට ලැබෙන අස්වැන්නට වඩා කිලෝ250ක පමණ අඩුවක් දැකිය හැකි බව ගොවීහු පවසති. එසේම වී සහල් බවට පත් කිරීමේදී ද සහල් ප්‍රතිශතයේ ද යම් අඩුවක් දැකිය හැකි බව ද දැන ගන්නට ඇත. මේ පසුගිය අයහපත් කාලගුණයෙන් ඇතිවූ බලපෑම්‍ ය.

 

මේ සියල්ලේම ඊළඟ ප්‍රතිඵලය වන්නේ ලබන අගෝස්තු දක්වා සහල් මිල දැනට පවතින තත්වයෙන් පවත්වා ගැනීමේ අභියෝගයයි. වෙළඳපළේ පවතින වී මිල අනුව නම් රුපියල් 230 මිලට නාඩු සහල් කිලෝ එකක මිල පවත්වාගෙන යාම බෙහෙවින්ම අසීරු වන බව පෙනේ. විශේෂයෙන් සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සව සමය තුළ ඇතිවන අධික කැකුළු සහල් ඉල්ලුම සමඟ සහල් මිල පාලන මිල සීමා ඉක්ම යාමේ දැඩි අවදානමක් පවතී.

ආණ්ඩුවේ බලධාරීන් හා සහාය දෙන පාර්ශවයන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටි ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යාමේ උපාය මාර්ගය අසාර්ථක වී ඇති බව පෙනේ. ගොවීන් සහතික මිලට රජයට වී විකිණීම දැනට සිදුව නැති ගාණ ය. මුලු රටේම තවම වී ටොන් දෙකක් වත් ආණ්ඩුවට ලැබී නැත. කලින් වල් බිහිව තිබී මහජන මුදලින් ප්‍රතිසංස්කරණය කළ අසූවක් පමණ වන වී ගබඩා තවමත් හිස් ය. අනික් අතට මෙවර වී මිලට ගැනීමට ආණ්ඩුවෙන් වෙන් කර ඇති මුදල දෙස බැලීමේදී වී ටොන් 41000කට වඩා මිලදී ගැනීමට ද නොහැකි බව පැහැදිලි ය.

 

474592079 926545832975407 2167039642484870661 n
ආණ්ඩුවේ දේශපාලනය සමග ඒකබද්ධ වී සිටින ගොවීන් අයත් වන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සංවිධාන ශක්තිය ද බලවත් බිඳවැටීමකට ලක්වීමක් ද මින් පෙන්නුම් කෙරේ. නොඑසේ නම් එහි සාමාජික ගොවියෙකු ගෙන් වී කිලෝ දහස බැගින් මිලට ගැනීමට වැඩපිළිවෙලක් සංවිධානය කර ටොන් 40000ක වී තොගයක් එකතු කිරීමට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයාට පහසු හැකියාවක් තිබුණි.

ආණ්ඩුව එසේ ස්වකීය ගොවිජන සම්මේලනය වත් ආණ්ඩුවට වී විකිණීමට මෙහෙය වන්නේ නැත්තේ එක්කෝ ආරක්ෂිත වී තොගයක් රැස්කිරීම පිළබඳ උපාය මාර්ගය අත හැර දැමීම නිසා ය. නැතිනම් සමස්‍ත ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධාන ජාලය බිඳ වැටී ඇති නිසා ය. එසේත් නැතිනම් කලබල වූ පසු කොරොස් කටෙත් අතදාගන්න බැරි වී ඇති නිසාය.

ආරක්ෂිත වී තොගයක් රැස්කර සහල් අර්බුදයකට මුහුණදීමේ උපාය අත හැර ඇත්නම් එය මේ කාලයේ වඩාත් ප්‍රකට සත්ව කොටසක උපහැරණයකින් මෙසේ දැක්විය හැක. එනම් ආණ්ඩුව වැහි කාලෙට ගෙවල් හදන්න කතා කරන වඳුරන්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටින බවකි.


(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...