සංක්‍රමණික සරණාගතයන් 116 දෙනාගෙන් හරි අඩක්ම වයස අවුරුදු 18 ට අඩු වයසේ පසුවන දරුවන් ය. එයින් දරුවන් 35 දෙනෙක් වයස අවුරුදු 6 ත් 15 ත් අතරේ පසු වෙති. වයස අවුරුදු 1 ත් 5 ත් අතර සිටින දරුවන් 17 දෙනාගෙන් 08 දෙනකු දැරියන් ය. අවුරුදු 16 ත් 18 අතර වයස් කාණ්ඩය යටතේ ගත් විට පිරිමි දරුවන් දෙදෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු ද මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින බව මානව හිමිකම් කොමිසම පවසයි. මෙයට සති කිහිපයකට පෙරාතුව උපන් බිළිඳකු ද තුන් මාසයේ දරුවන් දෙදෙනකු ද රොහින්ග්‍යා සංක්‍රමණික ජනයා අතර සිටිති.

සංක්‍රමණික ජනයා අතරේ සිටින බාල වයස්කාර දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා එවැනි කිසිදු මැදිහත්වීමක් හෝ සොයා බැලීමක් සිදුකොට ඇතැයි දැනගන්නට නැත. දරුවන්ගේ පෝෂණය, රැකවරණය සහ ආරක්ෂාව මෙන්ම ශාරීරික හා මානසික සුවතාවය පිළිබඳව මැදිහත් විය යුතු, මැදිහත්වීමට බලය ඇති ආයතන ගණනාවක්ම තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයත්, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් එමෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියත් ඉන් ප්‍රධාන ය. ළමා හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වීමට මෙම ආයතන සතු අයිතිය මෙන්ම බලය දෙවැනි වන්නේ අධිකරණයට පමණි. මන්දයත් මෙම ආයතන සතු කාර්යභාරය සහ බලව්‍යුහය සැකසී තිබෙන්නේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය ඉලක්ක කොටම මිස හුදු දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් කටයුතු කරන්නට නොවේ.

ලියුම්කරු මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් කරුණු විමසා සිටියේය. කිහිප විටක්ම දුරකතන ඇමතුම් ලබා ගනිමින් අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ වෙතින් කරුණු විමසීමට උත්සාහ ගනු ලැබුවද එය ව්‍යවර්ථ වී ගියේ ඒ කිසිදු අවස්ථාවක ඇය පිළිතුරු දීමට ඉදිරිපත් නොවීම හේතු කොට ගෙනය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ තත්වය ද මෙයට නොදෙවැනිය. කොතෙක් උත්සාහ ගත්තද එම ආයතනවල වගකිව යුතු කිසිදු නිලධාරිනියක සම්බන්ධ කර ගන්නට ලියුම්කරුට නොහැකි විය. දුරකතන ඇමතුම තැනින් තැනට හරවා යවනු විනා අවම වශයෙන් විමසා දැන ගන්න අවශ්‍ය කවර නම් දෙයක් දැයි සාවධානව අසා සිටින්නට හැකි එකදු රාජ්‍ය සේවකයකු හෝ හමු නොවිණි. බොහෝ අවස්ථාවල දුරකතන ඇමතුම අංශයෙන් අංශයට මාරු කොට නොදන්වාම අක්‍රිය කර දමන ලදී.
ශ්‍රී ලංකාව තුළ තත්වය එසේ වුව ද දේශපාලන බලාධිකාරිය ජාත්‍යන්තරය හමුවේ තබන්නේ එයට වෙනස් මුහුණකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘1979 කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය’ පිළිබඳ කතිකාවක් වෙනුවෙන් ජිනීවා ගිය ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මෙසේ පවසා තිබුණි.

“කාන්තාව, සාමය හා ආරක්ෂාව සඳහා 2023 -27 දක්වා වන ශ්‍රී ලංකාවේ පළමු ක්‍රියාකාරි සැළැස්ම දියත්කර තිබේ. ක්‍රියාකාරි සැළැස්ම වැඩි දියුණු කරනු ලැබුවේ ගැටුම්වලින් දිවි ගලවා ගත්තවුන් සහ අවදානමේ සිටින කාන්තාවන් හා ළමුන් කැටිව කරන ලද පුලුල් අන්තර්ග්‍රාහී ක්‍රියාදාමයකිනි. කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය මුළුමනින් ම සාක්ෂාත් කර ගැනීමට ආණ්ඩුව බැඳී සිටියි. රටක් නොමැති දරුවන්ට පුරවැසිභාවය ලබා දීම ආණ්ඩුවට කළ හැකි වන්නේ ය. රටක් නොමැති දරුවන් හඳුනා ගෙන ඔවුන් ලියාපදිංචි කිරීම සඳහා ගත හැකි පියවර තිබේ.”
ළමා රැකවරණය ගැන නීති නොදන්නා ළමාරක්ෂක බලධාරින්

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ ( ICCPR) 5 ( 2) වගන්තිය උපුටා දක්වමින් මානව කොමිසම පවසන්නේ අධිකරණ සහ පරිපාලන මෙන්ම ව්‍යවස්ථාදායක බලය යටතේ සිටින කවර හෝ ආයතනයක් හෝ පුද්ගලයකු හෝ වේවා ළමුන් සම්බන්ධයෙන් උපරිම මැදිහත්වීම සිදු කළ යුතුව ඇති බවයි.
පනතේ 5(2) වගන්තියේ ඒ සම්බන්ධව ඇති නෛතික අර්ථ දැක්වීම මෙබඳුය.
“ රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ හෝ සමාජ සුබ සාධන ආයතන, අධිකරණ, පරිපාලන බලධාරීන් හෝ ව්‍යවස්ථාදායක මණ්ඩල යන කවරක් විසින් හෝ ළමයින්ට අදාල වන යම් කාරණයක් භාරගනු ලැබුවේ වුවද, ඒ සියළු කාරණාවකදීම ළමයාගේ උපරිම සුබ සිද්ධියට ප්‍රමුඛස්ථානය දෙනු ලැබිය යුතුය”.
මෙය කෙතරම් බලවත් ද එසේම වැදගත් ද යන වග පෞද්ගලික අංශය නැමැති විෂය ඇතුලත් කිරීමෙන්ම පැහැදිලි වේ.
ළමයා යනු සීමාරහිතව රැකවරණය ලැබිය යුතු අයෙකි. එයට ජාතිකත්වයක්, ආගමික හෝ ඇදහිල්ලක වෙනසක්, රාජ්‍ය හෝ දේශසීමා නිර්ණායක ද ඇතුළු කිසිදු ආකරයක වෙනසක් බල නොපාන්නේ ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ එයට වලංගුභාවයක් ලබා දී නැත.
උතුරේ නවාලි ශාන්ත පීතර දේවස්ථානයට හෙළූ ගුවන් ප්‍රහාර හේතුවෙන් මිය ගිය බිළිඳුන් අප දන්නා පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතියේ බොහෝ තැන්වල ඉහළ සිට පහළටම ධූරාවලි ක්‍රියාත්මක වන්නේ ජාතිය සහ ආගම මත පදනම්වය. සැබවින්ම එය ඔඩු දිවූ සැරව ගලන වණයකි. එය එසේ නොවන්නේ නම් උතුරු නැගෙනහිර යුද මෙහෙයුම් සමයේත් එයින් පසුවත් මුදාහල රාජ්‍ය මර්දනය තුළත් වින්දිතයන් බවට පත්වු සිය දහස් ගණනක් වන දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණයත්, ඔවුනට යුක්තිය ඉටු කරදීම වෙනුවෙනුත් මෙයට වඩා කාර්යයක් කරන්නට මෙම ආයතනවල හැකිව තිබිය යුතුය. එසේ නම් රොහින්ග්‍යා දරුවන් සම්බන්ධයෙන් කවර නම් පිළිවෙතක් අනුගමනය කරනු ඇද්දැයි සිතා ගත හැකිය.
ICCPR පනතේ 5 වගන්තියේ ( ඇ) උප වගන්තිය ද අප විසින් නැවත නැවතත් කියවා ගත යුතුව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව රොහින්ග්‍යා දරුවන් වර්තමානයේ පත්ව සිටින අතිශය ඛේදජනක ඉරණමේ බිහිසුණු බව ඉන් අපට අවබෝධ කෙට ගත හැකි වන බැවිනි.

එම වගන්තියේ මෙසේ දැක්වෙයි
“ හිංසා කරනු ලැබීමෙන්, නොසලකා හරිනු ලැබීමෙන් අපයෝජනය කරනු ලැබීමෙන් හෝ අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාව ලැබීමට”
අපයෝජනය විවිධ වේශයෙන් පැමිණිය හැකිය. ඒ බව අපට වඩා විශේෂඥ මට්ටමින් දැනුම් තේරුම් ඇත්තේ ජාතික ළමා රක්ෂක අධිකාරිය ප්‍රමුඛ ළමා හා කාන්තා රැකවරණ ආයතනවල සේවයෙහි නියුතු වූවන්ටය. රොහින්ග්‍යා සරණාගත කාන්තාවන් සහ දරුවන් දැනට රඳවා සිටින හමුදා කඳවුරු භූමිය එසේ ඔවුන්ගේ වාසස්ථානයට සුදුසු තැනක් නොවන වග මේ විශේෂඥවරුන්ට නොතේරෙන්නේ ද? හමුදා කඳවුරක් යනු බාහිර සමාජයට විවෘත නොවන, පිටස්තර පාර්ශවයන්ට නිසි පරිදි ගැවසීමට අවසර නොමැති අධිආරක්ෂිත භූමියකි. එහි එකම පාලනය, විධානය මිලිටරි ආඥාවයි. කොමිසමේ නිලධාරින්ට පවා මුලතිව් ගුවන් හමුදා කඳවුරට ඇතුළුව පරීක්ෂා කිරීමට ඉඩක් නොලැබුණේ නම් අන් අය පිළිබඳව කවර නම් කතාවක්ද? විශේෂයෙන්ම කාන්තාවන් සහ දැරියන් ගේ ආරක්ෂාව හමුදා කඳවුරක් තුළ සහතික වන බව පැවසීම ම විහිළුවකි.
එනිසාම මානව හිමිකම් කොමිසම මෙසේ නිර්දේශ කොට තිබේ.
“ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින සරණාගත කාන්තාවන්ට සෑම විටකදීම පුහුණු කාන්තා පොලිස් නිලධාරිනියන් යටතේ ආරක්ෂාව ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවත්, පොලිසියත් පියවර ගත යුතුව ඇත”

බොහෝ විට මේ දරුවන්ගේ සමීපතමයන් ඔවුන්ගේ දෑස් ඉදිරිපිටම වධහිංසාවට ලක්වන්නට ඇත. කුඩා දරුවන් සමඟ පැමිණි සංක්‍රමණික පිරිස අතරේ වැඩි වශයෙන් සිටින්නේ කාන්තාවන් ය. එසේ නම් ඒ කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයන් එසේත් නැත්නම් මේ දරුවන්ගේ පියවරුන් මියන්මාර හමුදාව විසින් මරා දමන්නට ඇත. නොඑසේ නම් පැහැර ගෙන ගොස් අතුරුදහන් කරන්නට හෝ සිරකර දමා තිබෙනවා හෝ විය හැක. ඒ කවර තත්වයක් යටතේ වුව ද මේ කුඩා දරුවන් වනාහි ම්ලෙච්ඡත්වය ඇස් පනා පිට දැකගත් ජීවමාන සාක්ෂිකරුවන් ය. ඒ ම්ලෙච්ඡත්වය නිසාම කම්පනයන්ට ගොදුරුව ශාරීරිකවත් මානසිකවත් වධවේදනා විඳින්නවුන්ය. ඔවුන් මානසික අවපීඩනයෙන් පෙලෙමින් සිටිනවා ද විය හැකිය.

අධ්‍යාපනය සහ මුලීක අවශ්‍යතා


සරණාගතයන් සඳහා අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම්, ආහාර බෙහෙත් ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ද, ළමුන් සඳහා අවශ්‍ය දෑ ද පරිත්‍යාගශීලින් වෙතින් ලබා ගැනීම සඳහා ගුවන් හමුදාව මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මධ්‍යම ඒකකයක් පිහිටවිය යුතුව ඇතැයි කොමිසම් වාර්තාවේ දැක්වෙයි. එම නිර්දේශය සැලකිල්ලෙන් බලන විට පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? කොමිසම ඔවුන්ගේ විමර්ශනය සිදු කරන මොහොත වන විටත් සංක්‍රමණික ජනයා, විශේෂයෙන්ම දරුවන් එම මූලික අවශ්‍යතා පවා නොමැති පිරිසක් ලෙස දිවි ගෙවමින් සිටින බව නොවේද? ඒ වෙනුවෙන් කිසිදු ප්‍රසිද්ධ ඉල්ලීමක් ඒ කිසිදු අධිකාරියක් විසින් අද වන තුරු කර නැතිවීම එලෙසින්ම තිබියදී අනෙක් පසින් ගත් විට සරණාගයන් රැකබලා ගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමකි.
රටේ සමාජ සේවා දෙපාර්තමේන්තුවක් තිබේ. නීතිමය වශයෙන් මෙම පිරිසේ රැකවරණය සහ භාරකාරත්වය යටත් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවටයි. එසේ නම් බාහිර පරිත්‍යාගශීලීන්ගෙන් ඇප උපකාර ලැබෙන තුරු බලා සිටිය යුතුද? මේ පිරිස ත්‍රිකුණාමල වරායේ කුඩාරමක ලා සිටියදී ආහාර පානාදිය ලබා දුන්නේ අහම් නම් රාජ්‍ය නොවන සංවිධානය වීමම එම නොසැලකිල්ල මැනවින් පෙන්නුම් කරයි. නොතකා හැරිය නොහැකි අනෙක් විශේෂිතම දෙය නම් මේ දරුවන්ගේ අධ්‍යාපනය යි. ළමුන් 58 දෙනාගෙන් අවම වශයෙන් 40 දෙනකු හෝ ඊට මදක් වැඩි පිරිසක් හෝ අධ්‍යාපනය ලබන වයසේ පසුවන්නන් ය. එහෙත් ඒ දරුවන්ට සුදුසු හෝ ගැලපෙන අධ්‍යාපනයක් ලබා දෙනවා දැයි අපි නොදන්නෙමු.

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඇති වෙමින් තිබෙන අභ්‍යන්තර දේශපාලන හා සමාජ පෙරලි මෙන්ම දිනෙන් දින යළිත් ඉහළ යන අපරාධ රැල්ලත්, එයට සමාගාමිව ඉදිරියේදී මුදාහැරීමට නියමිත රාජ්‍ය මර්දනයත් අභිමුව සංක්‍රමණික රොහින්ග්‍යා සරණාගතයන් යනු කිසිවකුටත් නොවැදගත් මාතෘකාවක් විය හැකිය. මේ මිනිසුන්, ගැහැනුන් හා දරුවන් තව කොතෙක් කාලයක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබාවි දැයි කියන්නට කිසිවකුත් නොදනිති. රජය මේ තාක් කිසිදු පැහැදිලි නිල ප්‍රකාශයක් රට හමුවේ තබා නැත. මානව හිමිකම් කොමිසම ඔවුන් විසින් කරන ලද මූලික විමර්ශනයෙන් අනතුරුව වර්තමාන තත්වය සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ නියමයන්ට යටත්ව අනෙකුත් ආයතන කෙසේ කටයුතු කරන්නේ දැයි හෝ පසු විපරම් කරන්නේ දැයි කිසිදු සඳහනක් නොමැත. ශ්‍රී ලංකාවේ නාමධාරි මානව හිමිකම් සංවිධානවලට හෝ ක්‍රියාකාරීන්ට ද මේ මොහොතේදී ‘රොහින්ග්‍යා ප්‍රශ්නය’ වැදගත් යැයි හැඟෙන ආකාරයක්ද පෙනෙන්නට නැත.

එතෙක් ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු බලධාරින් මුණිවත රැක සිටිම යෙහෙකි.
නිදහස් මාධ්‍යවේදී



