ඉලෙක්ට්‍රොනික බදු ගෙවීමේ ක්‍රමයක් සම්පාදනය කළ යුතු බවට කෙනෙකු යෝජනා කළ නමුත්, එය අත්‍යවශ්‍ය e-gov සේවාවක් ලෙස පිළිගැනීමට ලක් වූයේ නැත. එක පැත්තකින් ගත් කල බදු ගෙවීමට කැමති කවුරුද? අනෙක් පැත්තෙන්, ස්මාට් දුරකථන භාවිතයට පෙර කාලයේ එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පහසු වූයේ නැත.
වත්මන් ඩිජිටල්කරණ මුලපිරීම යටතේ පිරිනමනු ලබන මුල්ම සේවාවන්ගෙන් එකක් හැඳින්වෙන්නේ GovPay ලෙසයි. එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් පහසු කිරීමේ ක්‍රමයකි.

මෙම උත්සාහයට නායකත්වය දෙන ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ 2024 දෙසැම්බර් මාසයේදී මෙසේ නිවේදනය කළේය: “ජනවාරි අග වන විට ආයතන 16ක් සමඟ GovPay දියත් කරන අතර, 2025 අප්‍රේල් අවසානයට පෙර අදියර දෙකකින් තවත් ආයතන 30ක් සම්බන්ධ වනු ඇත. GovPay බාධාවකින් තොර පහසු අත්දැකීමක් ලබා දෙන බවට පොරොන්දු වේ. ඔබේ ප්‍රියතම Fintech යෙදුම හෝ මාර්ගගත බැංකු සේවාව හරහා ඕනෑම රජයේ සේවාවක් සඳහා ඉක්මනින් සහ පහසුවෙන් ගෙවීම් සිදුකිරීමට අවස්ථාව ලැබෙනු ඇත.”
GovPay යෝග්‍ය වන්නේ ඇයි?
මෑතකදී, මවිසින් නිර්මාණය නොකරන ලද ගැටලුවක් විසඳා ගැනීම සඳහා දිගු කාලයක් ගත කිරීමට මට සිදු විය. පසුගිය වසරවල බදු වාරික ගෙවීම් ගණනාවක් මවිසින් සිදු කර නොමැති බව කෝවිඩ් අධි වසංගතයේ ලොක්ඩවුන් සීමා කිරීම් මධ්‍යයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මට දැනුම් දෙන ලදී. මා ඒ සඳහා අදාළ චෙක්පත් තැන්පත් කළ බැංකු ශාඛාව පද්ධතිය තුළට ගෙවීම් ඇතුළත් කරන අතරතුර ඉලක්කම් වෙනස් කර ඇති බව සොයා ගන්නා තෙක් ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ගත නොහැකි විය.
එබැවින්, මගේ ගිණුමෙන් මුදල් හර කර ඇති නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තාවල එය නිවැරදිව සටහන් වී නොතිබිණි. මගේ අත් අකුරුවල අපැහැදිලිකම ද එයට හේතු වන්නට ඇත. එහෙත්, වැඩිපුරම වරද සිදු වී තිබුණේ ඉලක්කම් ටයිප් කිරීමෙහිදීය. එය සිදුවන්නට ඇත්තේ වෙහෙසට පත් බැංකු සේවකයෙකු අතින් විය හැකිය.

දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නාගේ ගිණුමෙන් සෘජුවම ගෙවීම අනිවාර්ය කර තිබේ. එබැවින්, ගැටලු සහගත පියවර ඉවත් කර ඇත. බදු ගෙවන්නා තවදුරටත් ඉලක්කම් අතින් ලිවීම අවශ්‍ය නැත. බැංකු සේවකයන් ඉලක්කම් ඇතුළත් කිරීමේ කාර්යයෙන් නිදහස් කර ඇත. මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත සෘජුවම ගෙවීම් කරන අතර, ගෙවීම් අතරතුර මට තහවුරු කිරීම් දෙකක් ලැබේ. ඒ අතරින් එකක් මගේ බැංකුවෙන් වන අතර, අනෙක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතිනි.
2003 දී මෙන් නොව, බොහෝ බැංකු සහ මූල්‍ය තාක්ෂණ ආයතන සතුව IRD සහ රේගුව වැනි ආයතනවලට ඩිජිටල් මගින් සෘජු ගෙවීම් කිරීමට පහසුකම් සපයන ඇප් තිබේ. ඒ්වායේ දෝෂ නිවැරදි කර ඇත. GovPay වේගයෙන් රජයේ ආයතන එකතු කරගනිමින් සිටියි. රජයට ඉක්මනින් මුදල් ලැබෙන අතර ගෙවීම් කර ඇති බව ඔප්පු කිරීමට සිදුවීමේ කරදරයෙන් මිදීමේ හැකියාව ගෙවන්නන්ට ලැබේ. මෙය සෑම පාර්ශ්වයකටම ජයග්‍රාහී විසඳුමකි.
ඒහෙත්, ඇත්තටම බදු ගෙවීමට කිසිවෙකු කැමති නැත. එම නිසා මෙය සැබැවින්ම ජනප්‍රිය විසඳුමක් වන්නේ නැත. බදු ගෙවන්නේ ද සුළු පිරිසක් පමණි (කාර්තුමය ගෙවීම් කළ යුතු පිරිස ඊටත් වඩා අඩුය).
ජනතාව වැඩිපුර සතුටු කළ හැක්කේ කෙසේද?

ස්මාර්ට් ෆෝන් මගින් රථවාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීම කළ හැකි තවත් දෙයකි.
මෙහිදී ද, අප 2003දී සිතුවාක් මෙන්, බදු සහ දඩ මුදල් ගෙවීමට මිනිසුන්ට උදව් කිරීම ඔස්සේ ජනප්‍රිය විය නොහැකිය. එහෙත්, එමගින් බොහෝ දෙනෙකුගේ අසතුට අඩු කළ හැකිය (එය ඔවුන් සතුටු කිරීම හා සමානය). මෙම විසඳුම ජනාධිපතිවරයාගේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපාරයට ශක්තියක් ද වනු ඇත.
චෙක්පත්වල කැත අත්අකුරු මගින් වැරදි කිරීමට අමතරව, මම මහා මාර්ගවලදී වේග සීමාව ඉක්මවා යමින් ඇතැම් විට ඉරි කැපීම ද කරමි. මම කොළඹින් බොහෝ දුර සිටින විට මෙම වරද සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ග ගත් විට මට ලැබෙන සත්‍ය දඬුවම දඩ මුදල නොවේ. තැපැල් කාර්යාලයකින් දඩය ගෙවා, දුර බැහැර පොලිස් ස්ථානයක් විසින් අත්අඩංගුවට ගන්නා ලද රියදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීම විශාල කරදරයකි. ඒ වෙනුවෙන් රස්තියාදු වීමට සිදු වීම නිසා මා ගිය කාර්යය කරගැනීමට නොලැබුණු අවස්ථා තිබේ.

මෙම ක්‍රියාපටිපාටිය වෙනුවෙන් පිරිවැය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් සති අන්තයේ දුර බැහැර ප්‍රදේශවලට ගමන් කරන ඇතැම් මෝටර් රථ රියදුරෝ ඒ වෙනුවෙන් ‘වංගුවක් ගසාගැනීමට’ පෙළඹෙති. රථවාහන දඩ මුදල් ජංගම දුරකථනයෙන් සෘජුවම ගෙවීමට සැලැස්වීම වෙරළ පිරිසිදු කිරීම් සියයකට වඩා ක්ලීන් ශ්‍රී ලංකා සඳහා දායක වනු ඇත්තේ මේ නිසාය.
මෙය පහසු කාර්යයක් නොවේ (මෙතෙක් එය සිදු කර නොමැති වීමට හේතුව පැහැදිලි කරමින් දිය හැකි පිළිතුර එයයි). මාර්ග නීති උල්ලංඝනයන් වාර්තා කිරීමේ ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීමට සිදුවනු ඇත. 2019දී සියලුම පොලිස් නිලධාරීන්ට නිල ජංගම දුරකථන තිබුණි; මේ වන විට ඔවුන්ට ස්මාර්ට්ෆෝන් ලබා දී තිබිය හැකිය (නැතිනම්, ඔවුන්ට ඒවා සැපයිය හැකිය). පාර අයිනේ සිටින නිලධාරියාට දඩ මුදල ගෙවා ඇති බවට විශ්වාසදායක දැනුම්දීමක් ලැබිය යුතුය. එවිට ඔහුට රියදුරු බලපත්‍රය නිදහස් කළ හැකිය. මෝටර් රථ රියදුරාගේ ස්මාට් දුරකථනයේ ගෙවීම් සඳහා ඇප් එකක් තිබිය යුතු අතර එය භාවිතා කරන්නේ කෙසේදැයි රියදුරා දැන සිටිය යුතුය.
රියදුරු බලපත්‍රය ආපසු ලබාගැනීම සඳහා දැනට දැරීමට සිදු වන පිරිවැය යනු, ක්‍රමයේ දෝෂයක් නොව අනතුරු අඟවන සංඥාවකැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ක්‍රියාවලියේ කරදරකාරී ස්වභාවය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවලදී මම වඩාත් ප්‍රවේශම් සහගතව රිය පදවමි. එය ඉහත දක්වන ලද කරුණ පිළිබඳ සාක්ෂියකි.

එහෙත්, දැන් මාර්ග නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කර ඇත. නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ ලකුණු හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත. එම ලකුණු රක්ෂණ වාරිකවලට බලපාන්නට පටන් ගත් පසු සැබැවින්ම හැසිරීම් වෙනස්කම් දක්නට ලැබෙනු ඇත. එබැවින්, වෙනස්කම් ගැන කරදර වන්නේ කුමටද?
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



