The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සෞඛ්‍යමත් ජාතියක් බිහි කරන්නට නම් කාබනික වගාව ප්‍රචලිත කළ යුතුයි | ඉන්දු පෙරේරා

T

The Leader Desk

March 2, 2025 • 6:30 AM

සෞඛ්‍යමත් ජාතියක් බිහි කරන්නට නම් කාබනික වගාව ප්‍රචලිත කළ යුතුයි | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කාබනික වගාව අතහැර රසායනික වගාවට යොමු වූ අපේ රටේ ජනතාව දැන් ශීඝ්‍රයෙන් ආපසු හැරෙමින් සිටින්නේ වස මුසු නොවූ ආහාරවල වටිනාකම අවබෝධ කරගෙන සිටින නිසා ය.
  • ගස්වල කොළ පොතු පිදුරු ආදී ස්වභාවික දේවල් කුඹුරුවලට පොහොර ලෙස දමා ඇති අතර එහිදී වැඩිමනත් සත්ව ඇටකටු (ගෙරිකටුු පොහොර ) හා කුකුළු පොහොර වී වගාවේ දී සහ අනිකුත් බෝග වගාවේ දී භාවිතා කර ඇත.
  • දේශීය වී වගාව අපේ රටේ සිදු කෙරුණේ මෙලෙස ය.
  • නමුත් හරිත විප්ලවය හඳුන්වා දීමෙන් පසු වී ද ඇතුළුව එළවළු, පලතුරු ආදියෙහි පමණක් නොව පලා වර්ගවල පවා දෙමුහුන් බීජ මෙම සමාගම් විසින් නිපදවූ අතර ඉතා ඉක්මනින් ඵල දරන මෙම බීජ වර්ග ගොවියන් ට හුරු කරනු ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ස්වභාවික ගොවිතැන පසෙක ලා එක් යුගයක රසායනික පොහොර, කෘමිනාශක ආදිය භාවිතයෙන් කරනු ලබන රසායනික ගොවිතැනට යොමු වීමෙහි අනිටු ප්‍රතිඵල අපි දැන් ඕනෑවටත් වඩා භුක්ති විඳින ජාතියක් වී හිඳින්නෙමු. 
 
දිනපතා වාර්තා වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම, විශේෂයෙන් ළමා පිළිකා රෝගීන් වැඩිවීම මෙන්ම, හේතුවක් සොයාගත නොහැකි රෝග බහුලවීම ඇතුළු මෙකී නොකී බෝ නොවන රෝග ගණනාවකට බලපාන හේතු අතර අංක එක වශයෙන් වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම වන්නේ පලිබෝධනාශක සහ රසායනික පොහොර භාවිතා කර නිපදවූ වස සහිත ආහාර බව කිව යුතුමය.
agri1 
ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කාබනික වගාව අතහැර රසායනික වගාවට යොමු වූ අපේ රටේ ජනතාව දැන් ශීඝ්‍රයෙන් ආපසු හැරෙමින් සිටින්නේ වස මුසු නොවූ ආහාරවල වටිනාකම අවබෝධ කරගෙන සිටින නිසා ය.
       
ලෝකය පුරා වැඩි වන ජනගහනයට ආහාර සැපයීම සඳහා යැයි කියමින් අස්වැන්න වැඩි කළ හැකි නව බීජ වර්ග, කෘෂි රසායන පොහොර පාත්‍රී බීජ වර්ග මත පදනම්ව ඊනියා හරිත විප්ලවය නමින් හැඳින්වූ සංකල්පයක් හැටේ දශකයෙහි හඳුන්වා දෙනු ලැබිණි.  එම බීජ පොහොර වලට ප්‍රතිචාර දක්වන අතර, පළිබෝධීන් ආකර්ෂණය සඳහා ශාකය සකස් කර ඇත. කොටින්ම පළිබෝධකයාට නව බීජ මගින් නිපදවන ශාක රසවත් ආහාරයකි.
 
agri2
 
බහුජාතික සමාගම් විසින් ලෝකයට මෙවැනි දේ හුරු කරන්නට පෙර අපේ රටේ ගොවියන් හුරුපුරුදු වී සිටියේ කාබනික වගාවට ය. ගස්වල කොළ පොතු පිදුරු ආදී ස්වභාවික දේවල් කුඹුරුවලට පොහොර ලෙස දමා ඇති අතර එහිදී වැඩිමනත් සත්ව ඇටකටු (ගෙරිකටුු පොහොර ) හා කුකුළු පොහොර වී වගාවේ දී සහ අනිකුත් බෝග වගාවේ දී භාවිතා කර ඇත. පොහොර වෙන්නට ඉඩ හැරීමට අමතරව කුඹුරු යායවල් වටේට මී ගස් වැවීම තවත් ඉතා සාර්ථක ක්‍රමයක් විය. මී ගස්වලින් වැටෙන කොළ සේම, ඒවායෙහි ලගින කුරුල්ලන්ගේ, විශේෂයෙන් වවුලන්ගේ වසුරු ඍජුවම වැටුණේ කුඹුරුවලට ය. මී ගස් නිසා විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් මෙන්ම ඉතා හොඳ ස්වභාවික පොහොරක් ද කුඹුරුවලට නිරායාසයෙන්ම ලැබිණි. දේශීය වී වගාව අපේ රටේ සිදු කෙරුණේ මෙලෙස ය.
480932977 651763610689071 5082760449038192318 n
 
නමුත් හරිත විප්ලවය හඳුන්වා දීමෙන් පසු වී ද ඇතුළුව එළවළු, පලතුරු ආදියෙහි පමණක් නොව පලා වර්ගවල පවා දෙමුහුන් බීජ මෙම සමාගම් විසින් නිපදවූ අතර ඉතා ඉක්මනින් ඵල දරන මෙම බීජ වර්ග ගොවියන් ට හුරු කරනු ලැබිණි. පලිබෝධ පාත්‍රී හා රසායනික පොහොර පාත්‍රී ලෙස නිපදවූ මෙම බීජවලින් බිහිවන බෝග වර්ගවලට රසායනික පොහොර ම මිස ස්වභාවික පොහොර ප්‍රතිඵලදායක වූයේ නැත. එනිසා ඒවායෙහි වර්ධනයට සහ සාර්ථකව ඵල හට ගැනීම සඳහා රසායනික පොහොර වර්ගම යෙදිය යුතු විය. එම බෝග වර්ගවල ඵල, කොළ ඇතුළු විවිධ කොටස් කෘමීන් හට රසවත් ආහාරයක් බැවින් පළිබෝධ නසන්නට පළිබෝධ නාශක ද එම සමාගම් විසින්ම නිපදවනු ලැබිණි. මෙම රසායනික පොහොර වර්ග සහ පලිබෝධනාශක නිපදවන්නේ පොසිල ඉන්ධන දහනයෙහි අතුරු ඵලයන් ලෙසිනි. අපේ රටේ ද සිපෙට්කෝ සමාගමෙහි තෙල් පිරිපහදුවෙහි මෙලෙසම රසායනික පොහොර සහ පලිබෝධනාශක නිපදවීම සිදු කළේය. මෙය ලෝකයේම තෙල් පිරිපහදු කම්හල්වල සිදු කරන දෙයකි. 
       
මෙම විෂ වර්ග පොහොර, කෘමිනාශක සහ වල්නාශක ලෙසින් බෝගවලට යෙදීමෙන් පසු එවැනි ආහාර අනුභව කරන මනුෂ්‍යයන් වර්ණ අන්ධතාවය, ඇස් පෙනීමේ දුර්වලතා, නොයෙකුත් සමේ රෝග, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, ස්වසන පද්ධතියේ රෝග, ස්නායු රෝග,පිළිකා, දියවැඩියාව, මතක ශක්තිය අඩු වීම හෝ මතකය නැති වී යාම වැනි බෝ නොවන රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වන්නට විය. කිසිදා පිටතට මතු නොවී තැලසීමියා තත්ත්වය සිරුරේ සැඟවී තිබෙන අය සමාජය තුළ සිටිති. නමුත් එවැනි අයගේ තැලසීමියා තත්ත්වය මතු කරන්නට පවා මෙම පලිබෝධ නාශක හේතුවෙයි. එපමණක් නොවේ. මඳ සරුභාවය නිසරුභාවය මෙන්ම ලිංගික බෙලහීනතාවය තවත් මෙහි අතුරුඵලයන් ය. 
 
ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි
 
ඊළඟට එම රසායන ද්‍රව්‍ය නිසා මිනිසුන් තුළ හටගන්නා මෙවැනි විවිධාකාර රෝගවලට ඖෂධ ද එම බහුජාතික ඖෂධ සමාගම් විසින් ම නිපදවිය. වගා කරන්නට බීජ ලබාදී, එම බීජවලට වින කරන පලිබෝධ නසන්නට පලිබෝධ නාශක දී, ඒවායෙන් අපට හැදෙන ලෙඩ රෝගවලට ඖෂධ ද නිපදවමින් බහුජාතික සමාගම් විසින් ලෝකය පුරා සිදු කරන මේ සූරා කෑමේ ක්‍රියාවලිය චක්‍රයක් ලෙසින් නොනැවතීම සිදුවන්නකි. 
මේ තත්ත්වය වෙනස් කරන්නට නම් පරිසර තත්ත්වය වෙනස් කරන පලිබෝධනාශක සහ රසායනික පොහොරවලට එරෙහි ස්වභාවික දේවල්වලට නැවත මිනිසුන් යොමු කරවිය යුතුය. මෙම භාරදූර කාර්යය සඳහා අත ගසා තිබෙන ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරය ( Lanka Organic Agricultural Movement හෙවත් LOAM ආයතනය) කාබනික ගෙවතු වගාව සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් දුර බැහැර පළාත්වල සේම නාගරිකවත් ඉටු කරමින් සිටියි. ලෝම් ආයතනයේ අරමුණ රසායනික පොහොර නිසා අවුල් වී ගිය මහ පොළොව සුවපත් කිරීමයි. 
 
481284156 651763614022404 7005787219796965378 n
       
අපේ දේශීය බීජ වර්ග අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ පරිසරය තුළ තිබිණි. ඒ ජෛවිය බීජ බැංකුවක් ලෙසිනි. බැංකුවක් ලෙස හැඳින්වුවද මෙයින් අදහස් කරන්නේ බීජ ගබඩා කර තැබීමක් නොවේ. ගබඩා කර තැබීමෙන් ඒවා කල් ඉකුත් වීම ඇතුළු විවිධ හානිවලට ලක්වනු ඇත. විවිධ දේශගුණික සහ පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙන මෙම ස්වභාවික බීජ නිරන්තරයෙන් සක්‍රීයව පවතිමින් කොතැනක හෝ වගා බිමක ගසක් පැලයක් ලෙසින් සුවසේ වැඩෙයි. බීජ, බීජ ලෙසින් කොහේ හෝ තැනක පවත්වා නොගෙන තමන් වගා කරන අතරේ එම වර්ගය නොතිබෙන ගොවියෙකුට එයින් බීජ ටිකක් දීමට තරම් අපේ ගැමියෝ අතීතයේ සිටම ගොවිතැන කෙරෙහි සංවේදී වූහ. මෙලෙස හුවමාරු ක්‍රමය තුළින් පාරම්පරික දේශීය බීජ ව්‍යාප්ත වීම සේම, එහි සුරක්ෂිතභාවයත් මැනවින් රැකුණි. අපේ මුතුන් මිත්තන්ගේ පටන් අද දක්වාමත් අපේ දේශීය පාරම්පරික බීජ රැකුණේ එලෙසිනි. එක් එක් ප්‍රදේශවලට ආවේණික එවැනි වගාවන් පරිසර වෙනස්කම්වලට ඔරොත්තු දෙන ලෙස සැකසී ඇත. ලෝම් ආයතනය විසින් එම බීජ ගොවීන් අතර හුවමාරු කරමින් කාබනික වගාවට අවශ්‍ය සියලු නවීන දැනුම, උපදෙස් හා පුහුණුව ලබා දෙමින් කාබනික වගාව රට පුරා ප්‍රචලිත කිරීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි.
 
480858300 651763654022400 6669368435937726047 n
       
රත්නපුර දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරකට අයත් ගම්මාන සමිති හැට හතක කාන්තාවන් සම්බන්ධ වී සිටින ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයෙහි මේ වන විට සිටින සමස්ත සාමාජික සංඛ්‍යාව හය දහසකට ආසන්න ය. මේ සියල්ලෝම කාබනික ගොවිතැනෙහි නිරත ගෙවිලියෝය. 
 
ලෝම් ආයතනයෙහි තවත් ප්‍රජා සත්කාරයක් ලෙස මෙම ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය සමඟ සම්බන්ධ වී කාබනික ගොවිතැන ප්‍රචලිත කරවීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. දේශීය වී වර්ග සහ එළවළු වර්ග සම්පූර්ණයෙන්ම රසායන ද්‍රව්‍යවලින් තොරව කාබනික ව වගා කිරීමේ මෙම ව්‍යාපෘතියෙහි එක් අදියරක් ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයට අයත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව, සංඛපාල සහ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගල, ගල්ලෙනයාය සහ තෙලඹුගහඅතුර යන ගම්මානවල මේ වන විට ක්‍රියාත්මක ය.  
agri3
 
අපට හමුවූ කාන්තාවන් පැවසූ පොදු කරුණක් වූයේ ඔවුන් ආහාර සඳහා වෙළඳපොළෙන් මිලදී ගන්නේ කුඹුරු නොමැති අය සහල් සහ පරිප්පු, කරවල, මස්, මාළු, තුනපහ වැනි දේවල් පමණක් බව ය. ගෙවත්තේ නිපදවා ගත හැකි සියලුම දේ ඔවුහු නිපදවා ගනිති. ව්‍යංජනයට අවශ්‍ය රතු ලූනු පවා බොහෝ දෙනෙක් වවාගන්නේ තම ගෙවත්තේම ය. 
 
මාර්තු මාසයෙන් ආරම්භ වන යල කන්නය සඳහා මෙම ගෙවිලියන්ට පාරම්පරික දේශීය බිත්තර වී බෙදා දීමට ලෝම් ආයතනය සැලසුම් කර ඇත. සුවඳැල්, රත්ඇල්, කළු හීනැටි, ගෝනබරු, කහ මාල ආදී වශයෙන් වූ දේශීය වී වර්ග ගණනාවක බිත්තර වී සුදුසු පරිදි බෙදා දීම යල කන්නය ආරම්භ වන විට සිදු කිරීමට අපේක්ෂා කෙරේ. වගාව ආරම්භයේ සිට අස්වැන්න නෙලා ගැනීම දක්වාම අධීක්ෂණය කිරීම සහ උපදෙස් ලබාදීමද ලෝම් ආයතනය සිදු කරයි. 
agri4 
සාමාන්‍යයෙන් මෙම වී වර්ග වගා කළ පසු මාස දෙක හමාරේ සිට මාස හතර දක්වා කාලයක් තුළ දී අස්වැන්න නෙලා ගත හැකිය. බිත්තර වී කුඹුරුවල වැපිරීමක් සිදු නොකරන්නේ එයින් බිත්තර වී අපතේ යාමක් සිදුවන නිසා ය. ඒ වෙනුවට කුඩා තවානක බිත්තර වී පැළ කරගෙන එම පැළ ක්ෂේත්‍රයෙහි සිටවීම සිදු කෙරේ.
     
මේ එක් එක් වී වර්ග වගා කළ යුතු පස ද විවිධ ය. එසේම කාලගුණ තත්ත්වයන්ට ගැළපෙන නොගැළපෙන වී වර්ග ද තිබේ. නිදසුනක් ලෙස බොහෝ දෙනෙක් දන්නා ඇල්වී වර්ගයක් වන සුවඳැල් මඩ සහිත කුඹුරක වගා කළොත් නිසි අස්වැන්න ලබා ගත නොහැකිය. මඩතවාලු, කොක්කාලි, කහරමනා මඩ සහිත පසක වගා කළ හැකි පාරම්පරික වී වර්ගවලට උදාහරණ කිහිපයකි.
 
480800590 651007757431323 647807014462764844 n
 
අප සාමාන්‍යයෙන් දැක පුරුදු කුඹුරු යායවල්වලටත් වඩා තමන්ගේ ගෙවත්තේ ම කොටසක් වෙන්කර එයට වතුර පාරක් හරවා කුඹුරක් ලෙස සකසා ගන්නා ගොවියන් මෙම ප්‍රදේශවල සුලභ ය. වැලිගෙපොල ප්‍රදේශයේ මෙවැනි ගොඩ කුඹුරු බොහෝ විට දැකිය හැකි වේ. එවැනි මඩ රහිත ගොඩ කුඹුරුවලට ගැලපෙන්නේ ඇල් වී වර්ගයන් ය. සුවඳැල් මෙන්ම රත්කඳඇල්, බටපොළඇල්, ගෝනබරු එවැනි වී වර්ග අතරින් කිහිපයකි. 
මාර්තු මාසයේ මැද භාගයේ දී පමණ යල කන්නයට කුඹුරු වැපිරීම ආසන්න වනවිට මෙම ගෙවිලියන් සඳහා දේශීය වී වගාව පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පැවැත්වීමටත්, බිත්තර වී ලබා දීමටත් ලෝම් ආයතනය බලාපොරොත්තු වෙයි.
       
වී අස්වැන්න සම්පූර්ණයෙන් නෙලා ගැනීමට පෙර මුලින්ම එක් කොටසක හොඳ වී කරල් වෙන්කර ගෙන ඒවා කපා දෙපයින් පාගා වී ඇට ටික ලබාගෙන එය බිත්තර වී ලෙස වෙන්කර තැබීම සිදුවේ. ඊළඟ කන්නය වගා කිරීම සඳහා බිත්තර වී සකස් කරගන්නේ එලෙසිනි. 
 
480249546 646096991255733 4138257543357734537 n
       
ලෝම් ආයතනය මගින් කාබනික එළවළු සහ වී වගාව පිළිබඳ නවීන දැනුම ලබාදීම සහ පුහුණු වැඩසටහන් පැවැත්වීමට අමතරව විශේෂයෙන්ම වගාවන්ට යොදන කොම්පෝස්ට් සහ දියර පොහොර සකසා ගැනීම, වගා හානි කරන කෘමීන් වගාවට පැමිණීම වළක්වන කෘමී විකර්ෂක සකසා ගැනීම ආදිය පිළිබඳවද ගොවීන්ට පුහුණුව ලබා දෙයි. 
     
මෙම ගෙවිලියන් හට තවත් එක් පියවරක් ඉදිරියට තැබීම සඳහා අත හිත දෙමින් ලෝම් ආයතනය මගින් PGS ( participatory Guaranty System) හෙවත් සහභාගිත්ව සහතිකකරණ ක්‍රමවේදය පිළිබඳ සහතිකය තම නිෂ්පාදනවලට ලබා ගැනීම සඳහා පුහුණු වැඩසටහනක් පසුගියදා බඹරගල වසමෙහි, කොලොංගස්යාය ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
     
වස විස යෙදීමෙන් තොරව කාබනිකව වගා කරන බෝග වෙළඳපොළට යවන්නේ නම් එය සම්පූර්ණයෙන්ම කාබනික බවට තුන්වෙනි පාර්ශ්වයක් විසින් සහතික කළ යුතුය. ඒ සඳහා එක්තරා ප්‍රමිතියකට අනුව පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන වෙනම ආයතන පැවතියත්, එවැනි ආයතනයකට එක් දවසක පරීක්ෂාවක් වෙනුවෙන් වුවද ගෙවිය යුතු මිල ඉතා ඉහළ ය. එවැනි වියදමක් දැරීම මෙබඳු කුඩා කණ්ඩායම්වලට කළ නොහැකි දෙයක් බැවින්, වගාවන් අලෙවි කිරීමේ දී PGS සහතිකය පමණක් ප්‍රමාණවත් ය. අනෙක් අතට PGS සහතිකය සහිත ආහාර ද්‍රව්‍යවලට පිටරටවල ද දැන් පිළිගැනීමක් තිබේ.
 
481448402 651130324085733 235901180213945192 n
 
මෙය සිදු කරන්නේ එම කුඩා කණ්ඩායම් මගින්ම ය. ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයේ කුඩාම ඒකකය වන කුඩා කණ්ඩායම් සෑදී තිබෙන්නේ සාමාජිකාවන් 5 - 7 අතර ප්‍රමාණයකිනි. මෙහි එක් කාන්තාවකගේ ගොවිපොළක් එම කණ්ඩායමේ අනෙක් අයට පරීක්ෂා කිරීමට පුළුවන. නැතහොත් වෙනත් කණ්ඩායමකට වුව පරීක්ෂා කළ හැකි මුත් තමන්ගේ ගොවිපොළ තමන් පරීක්ෂා කිරීම මෙම සහතිකය ලබා ගැනීම සඳහා වලංගු නොවේ. මෙහිදී එම කණ්ඩායම් තුළ පිළිගත් නීති රීති පවතී. සාමාජිකාවන් ලෙස ඔවුහු තමන්ගේ බෝග නිෂ්පාදනය සඳහා දේශීය බීජ වර්ග පමණක් යොදාගන්නා බවත්, ජාන විකෘති කරන ලද බීජ තම ගොවිපොළට කිසිසේත් භාවිතා නොකරන බවත්, රසායනික පොහොර වර්ග හෝ කෘමිනාශක තම බෝග සඳහා නොයොදන බවත් ආදී වශයෙන් පොරොන්දු පත්‍රයකට අත්සන් තැබිය යුතු වෙයි. එක් ගෙවිලියකගේ ගොවිපොළ පරීක්ෂා කරන කණ්ඩායම මේ සියලු දේ පිළිබඳව පරීක්ෂා කරනු ඇත. PGS සහතිකය ලබාදෙන්නට නම් අදාළ ගොවිපොළ අපේක්ෂා කරනු ලබන සියලු ප්‍රමිතීන් ට අනුකූල විය යුතුය. පසුගියදා ලෝම් ආයතනය මේ කාන්තාවන්ට ලබා දුන්නේ එම පුහුණුවයි. 
 481041345 651766550688777 9121366554017321628 n
 
මේ ලෝම් ආයතනය මගින් සිදුකරන සේවාවන් අතරින් එකක් පමණි. මේ හැරුණු විට මෙම ආයතනය කාබනික වගාව සඳහා ගොවියන් පුහුණු කරන්නේ වසර දහයක පමණ කාලයක සිටම ය. 
       
ඇහැලියගොඩ, ඇල්පිටිය, බූන්දල යන ප්‍රදේශවල ගොවියන් කාබනික වී වගාව සඳහා පුහුණු කර බිත්තර වී ලබා දී මේ වන විට ලෝම් ආයතනයේ අධීක්ෂණය යටතේ එම වී වගාව සිදු කරගෙන යමින් සිටියි. 
 
481069069 651007024098063 6130122732501340718 n
       
මොනරාගල, බිබිල යන ප්‍රදේශවල රබර් වගාව සමග කෙරෙන අතුරු බෝග වගාවන් ලෙස කෝපි, ගම්මිරිස්, ඉඟුරු, කහ යන බෝග කාබනික ව වගා කිරීමට ගොවීන් ව පුහුණු කිරීම ලෝම් ආයතනය මගින් සිදු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට එම වගාවන් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යාම සිදු වේ.
 
කොළඹ අවට හෝමාගම, පිළියන්දල, මත්තෙගොඩ වැනි ප්‍රදේශවල කුඩා කණ්ඩායම් සාදා නාගරිකව කාබනික වගාව සිදු කිරීම සඳහා උපදෙස් සහ පුහුණුව ලබාදීම ද මෙම ආයතනයෙහි තවත් ඉදිරි පියවරකි. මේ ක්‍රමයට නාගරිකව ද කාබනික ගෙවතු වගාව ප්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරේ.
agri5
 
මෙලෙස ක්‍රම ක්‍රමයෙන් රට පුරා ඒ ඒ ප්‍රදේශවලට අනුවර්තනය වූ ශාක වර්ධනය කරමින් කාබනික වගාව ප්‍රචලිත කිරීමත්, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමත්, ඒ ඔස්සේ නිරෝගිමත් අනාගත පරපුරක් රට තුළ බිහි කිරීමත් ලෝම් ආයතනයේ අරමුණයි. 
 
සටහන - ඉන්දු පෙරේරා
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...