The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'දැන් මහණ කම කියන්නෙත් හොඳ බිස්නස් එකක්'- ශාසන කතිකාවකට රජය මැදිහත් විය යුතුයි | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

March 2, 2025 • 7:26 AM

'දැන් මහණ කම කියන්නෙත් හොඳ බිස්නස් එකක්'- ශාසන කතිකාවකට රජය මැදිහත් විය යුතුයි | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධර්මධර, විනයධර, ශීලවෘද්ධ, ගුණවෘද්ධ, සුපේශල ශික්ෂාකාමී ආදී වශයෙන් හැඳින්වුණු එම නිර්ණායක වලට අනුව ඉහළ අගයක් හිමිකර ගත් භික්ෂුන් කෙරෙහි සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේම විශේෂ ගෞරවාදරයක් හිමි වූ බව නොරහසකි.
  • එහෙත්, වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථිකය තුළ එම සාම්ප්‍රදායික භික්ෂු ගරුත්වයක් බරපතල අයුරින් අවප්‍රමාණ වී ඇත.
  • එමෙන්ම එම අවකාශය පදනම් කර ගනිමින් මේ වන විට ඇතැම් භික්ෂුහු විවිධ සංවිධාන, ආයතන සේම අනේක විධ ව්‍යාපාර ද පවත්වා ගෙන යනු පෙනෙයි.
  • එමෙන්ම ධර්ම විනයානුකූල ලෙසින් එම යථාර්ථය පහදා දෙන භික්ෂුන් හට ඉහත සඳහන් සංවිධානාත්මක සමාජ ව්‍යුහයෙන් සෘජුව හා වක්‍රව පහර වදින අවස්ථා නැත්තේම නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ධර්මධර, විනයධර, ශීලවෘද්ධ, ගුණවෘද්ධ, සුපේශල ශික්ෂාකාමී ආදී වශයෙන් හැඳින්වුණු එම නිර්ණායක වලට අනුව ඉහළ අගයක් හිමිකර ගත් භික්ෂුන් කෙරෙහි සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේම විශේෂ ගෞරවාදරයක් හිමි වූ බව නොරහසකි.

එහෙත්, වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථිකය තුළ එම සාම්ප්‍රදායික භික්ෂු ගරුත්වයක් බරපතල අයුරින් අවප්‍රමාණ වී ඇත. ඒ වෙනුවට රට ජාතිය ආගම වෙනුවෙන් හඬ නඟන සහ ප්‍රබල සමාජ සේවයක් ඉටු කරන, ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්ත හා ජනතාව උදෙසා බෞද්ධ මුහුණු වරින් යුතු මහා පරිමානයේ ශාන්ති කර්ම මෙහෙයවන ආදී වශයෙන් නම් කෙරෙන නව භික්ෂුත්ව අගැයුම් දාමයක් සමාජගත වී තිබේ.

වඩිනු මැන නිදුකානනේ ... - (මහිම සුජීව ගමගේ)

 

එමෙන්ම එම අවකාශය පදනම් කර ගනිමින් මේ වන විට ඇතැම් භික්ෂුහු විවිධ සංවිධාන, ආයතන සේම අනේක විධ ව්‍යාපාර ද පවත්වා ගෙන යනු පෙනෙයි.


එම කරුණු මුල් කොට අප රටේ බෞද්ධ ජන සමාජයෙන් යම් කොටසක් එම භික්ෂුන් වෙත ආශක්ත වන සේම ඔවුන්ගේ එම සංවිධාන, ආයතන සේම ව්‍යාපාර වෙතට දෙස් විදෙස් වශයෙන් අති විශාල ධනස්කන්ධයන් යොමු වෙමින් තිබේ. බුදු සසුන වශයෙන් ජන සම්මත සමාජ සංස්ථාව හා ශාසනික වශයෙන් බුද්ධ ශාසනය හඳුන්වන චිත්ත දමනය මුල් කොට ගත් සදාචාරාත්මක ව්‍යුහය අතර අහසට පොළොව මෙන් වෙනසක් තිබේ.

 

සම්මා ත්‍රීසම් - (චින්තන ධර්මදාස)

එමෙන්ම බුදු සසුන වශයෙන් වර්තමානයේ හැඳින්වෙන සමාජමය ව්‍යුහය ඉතා ශීඝ්‍රාකාරයෙන් සැබෑ බුද්ධ ශාසනික ව්‍යුහයෙන් දුරස් වෙමින් තිබේ. එහෙත්, මෙම තත්වය සාමාන්‍ය ජන සමාජයට පහසුවෙන් අවලෝකනය නොවන අතර ඒ සම්බන්ධයෙන් ධර්ම විනයානුකූලව කරුණු පහදා දෙන භික්ෂු ප්‍රජාවේ ද සැලකිය යුතු අඩුවක් දක්නට ලැබේ. එමෙන්ම ධර්ම විනයානුකූල ලෙසින් එම යථාර්ථය පහදා දෙන භික්ෂුන් හට ඉහත සඳහන් සංවිධානාත්මක සමාජ ව්‍යුහයෙන් සෘජුව හා වක්‍රව පහර වදින අවස්ථා නැත්තේම නොවේ.

එකම බුද්ධ චීවරයක් පෙරවීම මත බාහිර සමාජයට හඳුනා ගත නොහැකි වුව ද භික්ෂුත්වය යනු සාමනේර සහ භික්ෂු යනුවෙන් කොටස් දෙකකි. සාමනේර යනු ගිහි ගෙයින් නික්ම උපාධ්‍යායයන් වහන්සේ නමක මුල් කොට දශ ශීලය පදනම්ව භික්ෂුත්වය උදෙසා පුහුණු වන පැවිදි මානවකයෙකි. එහි දී එලෙස පැවිදි වීමට අපේක්ෂා කරන තැනැත්තා විසින් උපාධ්‍යායයන් වහන්සේ වෙත සිවුරු පිරිකර ලබා දී තමන් පැවිදි වීමේ අරමුණ තෙවරක්ම පවසා ආයාචනාවක් කළ යුතු ය. එය ප්‍රකට ආයාචනා වාක්‍යය ලෙස අප සමාජයේ ප්‍රකටව තිබේ.

 

මේ සමාජයේ කවුද රහත් පල ලබන්න මහණ උනේ? - (කුසල් පෙරේරා)
“ඔකාසා: අහං භන්තෙ, පබ්බජ්ජං යාචාමි.
දුතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.
තතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.”


මේ වාක්‍යය කියා ඉක්බිති උපාධ්‍යායයන් වහන්සේ අතට සිවුරු පිළිගැන්විය යුතු ය.

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ,අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.“සකල දුඃඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.” යනු එහි අරුත ය.

 

බෞද්ධයෙක් නම් නිරාගමිකයි - (චින්තන ධර්මදාස)

ඉහත සඳහන් ආයාචනා වාක්‍යයට අනුව තමන් පැවිදි වනුයේ රට, දැය, සමය නඟා සිටුවීමට , දේශපාලනය හෝ සමාජ සේවය කිරීමට නොවේ. ඒ සියල්ල ගිහියන් ගේ ක්‍රියාකාරකම් වන අතර ඒ සඳහා නිබඳවම සැදී පැහැදී හිඳින ගිහි පිරිස් ඕනෑ තරම් සිටිති. අනෙක තමන් තුළ එවන් වෙනයම් අපේක්ෂාවක් තිබේ නම් පැවිදි නොවී හිදීමට හෝ පැවිදි වීමෙන් පසුව එබඳු අපේක්ෂාවක් ඇති වුවහොත් උපැවිදි වීමට හෙවත් සිවුරු හැරීමට කිසිදු ශාසනික බාධාවක් නැත.

එමෙන්ම අද සමාජයේ බොහෝ දෙනකු නොදන්නා මුත් සිවුරු හැරීම සම්බන්ධ කිසිදු විරුද්ධත්වයක් හෝ ඊට බාධා කිරීමක් බුදුන් විසින් සිදු කොට නැත. ශාසනික වශයෙන් බරපතල ගැටළු අර්බුද පවතිනුයේ උපසම්පදා භික්ෂුවක් භික්ෂුත්වයට අනුරූප නොවන අයුරින් කටයුතු කිරීමෙන් පමණි.

 

බාල අපචාර කරන භික්‍ෂුන් සිවුරෙන් ඉවත් කළ යුතුයි - බුද්ධ ශාසන ඇමති
බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ විනය ප්‍රඥප්තීන්ට අනුව භික්ෂුව ගිහි සමාජය හා සහසම්බන්ධ විය යුතු ආකාරය නොයෙක් අයුරින් විස්තර කොට තිබේ. භික්ෂුවක කිසියම් කුල ගෙයකට දෙවන දිනයෙත් වැඩම කරන්නේ නම් ඒ දෙවන දිනයේ ද ආගන්තුක ස්වරූපයෙන්ම එහි වැඩම කළ යුතු බව දක්වන බෞද්ධ විනය ග්‍රන්ථ යම් භික්ෂුවක ගිහි සමාජය අවලෝකනය කළ යුත්තේ ගැඹුරු ළිඳකට සමීපයේ සිට එහි පත්ල නිරීක්ෂණය කරන ලෙසින් බව ද අවධාරණය කොට තිබේ. ඒ අනුව පැවිද්දේ දී තම ගිහි නම පවා වෙනස් කරන භික්ෂුව එමගින් තම ජීවිතය සාකල්‍ය වශයෙන්ම පරිවර්තනය කළ යුතු බව හැඟවෙයි.

එහෙත්, අද එලෙස ගිහි පැවිදි සබඳතා පිළිබඳ එම ශාසනික ප්‍රඥප්තීන් කොතෙක් බිඳ වැටී තිබේද? යන්න ගිහියන් සමඟ උරෙ`නුර ගැටෙන සේම වඩාත් සරල ලෙසින් කිවහොත් ගිහියන් ගේ කරට අත දා ගන්නා සේම ගිහියන් උදෙසා සාද ප්‍රිය සම්භාෂණ පවත්වන භික්ෂුන් ද කොතෙකුත් දක්නට තිබේ.

වත්මන් බෞද්ධ සමාජය තුළ භික්ෂු ප්‍රජාවේ සමාජයීය හා ආර්ථික වර්ධනයට සාපේක්ෂව ශාසනික වශයෙන් ප්‍රවර්ධනයක් දක්නට නොලැබෙන බව අප අවංකවම පිළිගත යුතු සත්‍යයකි. ඒ සඳහා බලපාන පොදු හේතු ඒ පිළිබඳ විශ්ලේෂණ වලදී පෙනී යනුයේ ශ්‍රමණ ප්‍රතිපදා මත පදනම් වන භික්ෂු ස්වරූපයෙන් දිවි ගෙවීම සම්බන්ධ ශාසනික ආකල්ප ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම මත බොහෝ භික්ෂුන් උපැවිදිවීම කෙරෙහි උනන්දුවක් නොදක්වන බවයි.

සංඝ කල්ලි, සිවුරු අඳින රස්තියාදුකාරයෝ සහ මංගල කරුණු -ශ්‍රීලාල් සෙනෙවිරත්න

 

ඉන් ප්‍රධාන හේතුව ලෙස වත්මන් බොහෝ භික්ෂුන් ශාසනික ප්‍රතිපදාවනට ඉඳුරාම පටහැනි බහු භාණ්ඩකත්වය හෙවත් ලෞකික සම්පත් ග්‍රහණය කර ගැනීම හා අධිකාම භෝගීත්වය කෙරෙහි යොමු වීම හා නූතන සමාජය විසින් ඊට අනුමැතියක් ලබා දීම ය.

එමෙන්ම ගිහි සමාජයේ කිසිවකුටත් හිමි නොවන පැවිදි බව පදනම් කරගත් සුවිශේෂ වරප්‍රසාද රාශියක් නිරායාසයෙන් හිමිකර ගැනීමට හැකි වීම මත බොහෝ භික්ෂුන් තම භික්ෂුත්වය සමාජ ආර්ථික වරප්‍රසාද සඳහා යොදා ගන්නා බව පෙනේ. ඒ අතරේ සමාජ ජාල ආදී විවිධ මාධ්‍යයන් ඔස්සේ විවිධ සමාජමය කටයුතු කරන බව පෙන්වන තරුණ භික්ෂු පිරිසක් ද ඉස්මතු වී තිබෙන අතර එම සමාජය ආර්ථික ප්‍රතිලාභ උදෙසා පැවිදි බිමට පත් පිරිස් ගැන ද අසන්නට තිබේ. වරක් ඒ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ සැබෑ භික්ෂු ප්‍රතිපදාවනට අනුව දිවි පෙවෙතක් ගත කරන නා හිමි නමක පවසා සිටියේ “දැන් ඉතින් මහණ කම කියන්නෙත් හොඳ බිස්නස් එකක් නේ” යනුවෙනි. හුදෙක් ප්‍රාචීණ පඬි රුවනක් ද වන එම නාහිමියන් ගේ එකී ප්‍රකාශය වත්මන් නව ගෝලීයකරණ සමාජය තුළ ඉතා පැහැදිලි සත්‍යයක් බව අපගේ ද වැටහීම ය.

 

බෞද්ධයින් දැන් රාමඤ්ඤ නිකාය වටා එකතු විය යුතුයි -කුසල් පෙරේරා
උපසපන් භික්ෂුවක තුළ තමන් විසින් රැක ගත යුතු ශීලය පිළිබඳව මනා වැටහීමක් තිබිය යුතු බව මහාවග්ග පාළි විනය ග්‍රන්ථය සඳහන් කරනුයේ බුද්ධ කාලීන භාරතයේ ප්‍රධානතම වෘත්තියක් වූ ගව පාලනය හා සම්බන්ධ රමණීය උපමාවක් ද දක්වමිනි.

“යො ගවං න විජානාති

න සො රක්ඛති ගො ගණං.

එවං සීලං අජානන්තො

කිං සො රක්ඛෙය්‍ය සංවරං.”

 

“යම් ගොපල්ලෙක් තමන් රකින ගවරැලේ ගවයන් නො හඳුනා නම් ඔහු ගව රැල රැකීමට සමත් නො වන්නේය. ඔහුගේ ගවරැල ක්‍ර‍මයෙන් පිරිහී යන්නේ ය. එමෙන් තම ශීලය නො දන්නා වූ පැවිද්දා ද තමන් විසින් රැකිය යුතු උපසම්පදාශීලය රැකීමට සමත් නොවන්නේ ය. ඔහුගේ ශීලය ක්‍ර‍මයෙන් පිරිහෙන්නේ ය. සමහරවිට පාරාජිකාපත්තියට පැමිණීමෙන් ඔහු සම්පූර්ණයෙන් ම උපසම්පදාශීලයෙන් පිරිහෙන්නේ ය” යනු එහි අරුත ය..

නමුත් මේ සියළු තත්ත්වයන් හමුවේ අප ඉහත සඳහන් කළ ධර්මධර විනයධර ශීලවෘද්ධ ජනවෘද්ධ සුපේෂල ශික්ෂාකාමී යන නිර්වචනයන්ට සාකල්‍යයෙන් අනුරූප භික්ෂුන් ඉතා සුළුතරයක් ද වැඩ වසන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.

 

චරථ භික්ඛවේ කියන්නේ එක එකාට කඩේ යාමද? - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


එහෙත්, සංඛ්‍යාත්මක වශයෙන් එය ප්‍රමාණවත් නොවනුයේ වත්මන් බුදු සමය තුළට පිවිස ඇති ශාසනික නොවන හා ශාසන විරෝධී බලවේග විසින් උන් වහන්සේට නිහඬව සිටීමට කටයුතු යොදා ඇති බැවිනි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් ඉතා වැදගත් වන අතර අප රටේ සංඝ සම්මුතියකින් යුතුව විවෘත ශාසන කතිකාවක් මගින් දැනට වේගවත්ව පිරිහෙමින් පවතින සැබෑ ශාසනික ව්‍යුහය පුනර්ජීවනයට ලක් කිරීම රජයේ බලධාරීන් අතින් නොවැරදීම ඉටු විය යුතු යුතුකමක් හා වගකීමකි.

ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ විනය කඩ කිරීම් සඳහා පනවනු ලබන දණ්ඩන ඇතුළත් ‘ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත’ඉකුත් කාලයේ සමාජය තුළ මහත් සංවාදයකට බඳුන් විය. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අදහස් දැක්වීමක් නොකරන මම මේ වන විට වේගවත්ව පිරිහෙමින් පවතින සැබෑ ශාසනික ව්‍යුහය පුනර්ජීවන වැඩ පිළිවෙලක අවශ්‍යතාව නැවතත් හුවා දක්වමින් මේ සටහන නිමා කරමි.

අලියාට ඇහැ තියන ක්‍රමයට අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද? | ප්‍රණීත්  අභයසුන්දර(සටහන | ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය
(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...