The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අපි නොදන්න ට්‍රම්ප්

T

The Leader Desk

March 2, 2025 • 8:32 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අපි නොදන්න ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයටම බලපෑම් කළ හැකි පුද්ගලයෙකි.
  • ඇමෙරිකානු දේශපාලනය ගැන කියැවෙන උපහාස කතාවක් ඇත.
  • ඡන්ද උණුසුම පවතින කාලයේ නිව්‌යෝක් නුවර අවන්හලකට ගොඩවැදුණු රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දෙදෙනෙක් ඉතා සුහද ලෙස කතාවේ යෙදෙමින් බීර පානය කරන්නට වූහ.
  • ඇතැම් දේශපාලන විචාරකයන් පවසන අන්දමට ට්‍රම්ප් උන්නැහේට ලෝකයා හිතන තරම් පිස්සුවක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ට්‍රම්ප් ද “පිස්සු” නටයි. එය තරමක් බරපතළය. ඔහු ඇමෙරිකාවේ ජනාධිපතිය. ලෝකයටම බලපෑම් කළ හැකි පුද්ගලයෙකි. එසේ හෙයින් ට්‍රම්ප් වැනි කෙනෙක් බලයට පත් කළේ ඇමෙරිකානුවන්ගෙන් වැඩි දෙනෙක්ගෙත් “මොළේ කචල්” නිසා දැයි කෙනකුට සිතෙන්නට බැරි නැත.

 

ට්‍රම්ප්ට කලින් සිටියේ බයිඩ්න්ය. ඔහු අන්තිම ඡන්ද සටනේදී යන යන තැන පය පැකිලී වැටෙන්නට ගත්තේය. කතාව අතරමග නම්ගම් අමතක වන්නට ගත්තේය. අන්තිමේදි කමලා හැරිස්ට අවස්ථාව දී පැත්තකට වුණේය. ඇමෙරිකානු දේශපාලනය ගැන කියැවෙන උපහාස කතාවක් ඇත.

ඡන්ද උණුසුම පවතින කාලයේ නිව්‌යෝක් නුවර අවන්හලකට ගොඩවැදුණු රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දෙදෙනෙක් ඉතා සුහද ලෙස කතාවේ යෙදෙමින් බීර පානය කරන්නට වූහ.

කවුන්ටරය අසල හිඳ සිටි ඉන්දියානුවෙක් එහි සිටි සේවකයාගෙන් මෙසේ ඇසීය.

“කොහොමද මේ දවස්වල දේශපාලන තත්වෙ?” සේවකයා ඈතින් හිඳ සිටින ඇමෙරිකානුවන් දෙදෙනා පෙන්වීය.

 

repub democ

“අන්න අර වගේ... එක්කෙනෙක් රිපබ්ලිකන්. අනිකා ඩිමොක්‍රටික්... උත්තර ධ්‍රැවයයි දක්ෂිණ ධ්‍රැවයයි වගේ වෙනස්. හැබැයි කනබොන තැනදි දෙන්නම ඇමෙරිකන්.”

මීට තරමක් වෙනස් කතාවක්ද මෑතකදී කියැවීමට ලැබුණි.

ඇමෙරිකාවේ ගොවිපළක් ආසන්නව පිහිටි අවන්හලක් වෙත ගවයකුද සමඟ යන හැඩිදැඩි පුද්ගලයෙක් බීර බෝතලයක් බොන්නට විය.

 

ඡන්දෙ දැම්මොත් නොමිලේ බියර්
බීම අවසානයේ ඔහු තම අතැති තුවක්කුවෙන් ගවයාට වෙඩි තබා මරයි. කැබලි වී යන ආමාශයේ කොටස් අවන්හල තුළ විසිරෙයි. පසු දිනයේද ඒ පුද්ගලයා තවත් ගවයකු සමඟ අවන්හලට පිවිසෙයි.

“මට බියර් එකක් දෙනවා.”

අවන්හලේ සේවකයා හිස කසමින් බලයි.

“බියර් එකක් නං දෙන්ඩ පුළුවන්. ඒත් අද නං හරකට වෙඩි තියන්ඩ එපා. ඊයේ කෑලි බෑලිත් අපි තාම අස්පරස් කරනවා.”
“නෑ නෑ... අද මං මේකව දුර යවල වෙඩි තියන්නෙ.”

“ඇයි මිස්ටර් මේ සත්තුන්ට වෙඩි තියන්නෙ?”

 

“මට හෙට වැඩක් තියෙනවා. ඒකට තුවක්කු ෂුවර් කරගන්ඩ ඕනෙ. ගිය සැරෙත් ෂොට් එක වැරදුණා. යාන්තං කණේ වැදීගෙන ගියා විතරයි.

“ආ එහෙමද? අද බියර් එක මගෙ ගාණෙ. ඕන නං හරකටත් මෙතනම වෙඩි තියන්ඩ.”
සේවකයා පැවසුවේ මහත් සතුටිනි.

5c5b9040 f617 11ef 9e61 71ee71f26eb1

 

ඇතැම් දේශපාලන විචාරකයන් පවසන අන්දමට ට්‍රම්ප් උන්නැහේට ලෝකයා හිතන තරම් පිස්සුවක් නැත. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ තේමා පාඨය වූයේ “Make America Great Again” ය. ඔහු ගාසා තීරයේ යුද්ධය නතර කරන බව කීය. බලයට පත් වූ වහාම සටන් විරාමයක් ඇති කළේය. රුසියා - යුක්රේන් යුද්ධයද අවසන් කළ යුතු යැයි කීය. ඒ සඳහා ඔහු අත දිගු කළේ මිතුරු යුක්රේනයට නොව සතුරු රුසියාවටය. සෙලෙන්ස්කි කවටයකු යැයි සරදම් කළේය.

2035 වන විට ලෝකයේ ආර්ථික බලවතා වීමට සැලසුම් කරන්නේ චීනයයි. ට්‍රම්ප් ඊට එරෙහිය. චීනයෙන් ඇමෙරිකාවට ගෙනෙන වෙළෙඳ භාණ්ඩ සඳහා ලොකු බද්දක් පැනවීමට ඔහු කටයුතු කළේද එනිසාය. එහෙත් පසුව ඔහු විසින්ම එය ලිහිල් කළේය. උපහාස තීරු ලිපිකරුවෙක් ඊට හේතුව වශයෙන් දැක්වූයේ ට්‍රම්ප්ට චීනයේ නිපදවන වාජීකරණ ඖෂධ නැතිවම බැරි බවය.

චීන්නුන්ට ඉංග්‍රීසි බැරිය. ඇමෙරිකානුවන්ට චීන අරහංය. සන්නිවේදනය කෙරෙන්නේ තාක්ෂණයේ පිහිටෙනි.

මැක්ඩොනල්ඩ් සහ මකරා

 

ට්‍රම්ප්ට චීන ඉගෙනීමට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා රූමත් චීන තරුණියක යොදා ගත්තේය. තම අවශ්‍යතාවය නිසාම ඔහු ඉතා ඉක්මනින් චීන බස කතා කිරීමට උගත්තේය. අවසානයේ ඔහු චීන තරුණියට සමුදෙමින් මෙසේ කීවේය.

“දැන් මට හොඳට චීන පුළුවන් බව කාටවත් කියන්න එපා.”
තරුණිය පුදුමයට පත්ව මෙසේ ඇසුවාය.

“ඒ ඇයි? ඔබතුමා චීන භාෂාව භාවිත කරන්න යන්නෙ නැද්ද?”

“නෑ. මම චීන ඉගෙන ගත්තෙ චීනුන්ගෙ හොර අල්ලන්න විතරයි.”

ටික දවසකින් දැනගන්නට ලැබුණේ ට්‍රම්ප්ගේ තරුණ බිරිඳ මෙලනියාටද හොඳින් චීන පුළුවන් බවය. චීන තරුණිය ට්‍රම්ප්ට චීන පන්ති පවත්වන හැමවිටකම මෙලනියා ද ඔවුන්ට සොරෙන් අසල තැනක සැඟවී සවන් දී සිට ඇත. ඒ ඇය ට්‍රම්ප්ගෙ ‘තරම’ දන්නා නිසාය.

නිල නොවන ආරංචියකට අනුව ඊයේ පෙරේදා ට්‍රම්ප්ගෙන් සිරි ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ජුලි චුන්ග්ට පෞද්ගලික ඇමතුමක් දී ඇත. ඒ හැකි ඉක්මනින් “වියපත් බඹරා” නමැති චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපතක් තමාට එවන ලෙස ඉල්ලමිනි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : උසාවියේ 'රඟපෑම'(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...