එම මාධ්‍ය නිවේදනය මගින් ඔහු රජයට කරුණු දහයකින් යුත් යෝජනා මාලාවක් සේම විවේචන කිහිපයක් ද එල්ල කර ඇත. එමෙන් ම මේ වන විට රජය අත ගසා ඇති යම් යම් ක්‍රියාමාර්ග කිහිපයක් පිලිබඳ පැසසිමක් ද කර ඇත.
කෙසේ වෙතත් ඔහුගේ සමස්ත නිවේදනයෙන් ම පැවසෙන්නේ: පසුගිය රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්තියෙන් බැහැරව, වියුක්ත වීම තුළ විදුලිබල කේෂ්ත්‍රය ‘ගන්ධබ්බ’ අවධියකට පත්ව ඇති බව සහ රජය දැන්වත් ‘දෙව් ලොව හෝ අපාය’ කියා සිතා දෙකෙන් එකක් බේරා ගත යුතු බවයි. එසේ නොවුන හොත්, නැවත වරක් විදුලිය - තෙල් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන ආයතන බවට පත් වනු ඇති බව හෙතෙම අවධාරණය කරයි.
මතු දැක්වෙන්නේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
අය වැය විවාදය හා විදුලිබල අමාත්‍යංශය

විදුලිබල හා බලශක්තිය ඉදිරි වසර 5 ට ලංකාවේ වැදගත්ම සංවර්ධන හා ජාතික ආර්ථික වැඩසටහනයි. එය ප්‍රධාන වශයෙන් කුලුණු 10 ක් මත පදනම් වී ඇත.
1. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම - 2025 ජූනි 27 දින නව විදුලි පනත බලාත්මක වන්නේය. පසුගිය මාස 5 තුළ විදුලි ප්‍රතිව්‍යුහගතකරණය සමස්ත ක්‍රියාවලියෙන් 5% ක් වත් ඉදිරියට ගොස් නැත. පසුගිය රජය ඇරඹු තක්සේරුකිරීමේ කටයුතු මන්දගාමී වී තිබුණි. එය දැන් අවසන් දැයි නොදනිමි. පනතේ විධිවිධාන අනුව ඇති කළ යුතු යෝජිත ආයතන 12 තවම සකස් කර නැත. එම ආයතන සඳහා කාර්ය මණ්ඩලය වෙන් කිරීම අවසන් කර නැත. මෙම කාර්යයන් කාල රාමුවක් අනුව පසුගිය රජය විසින් සකස් කරනු ලැබ ඇත.
මේ පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්ති කුමක්දැයි කිසිදු තැනක පැහැදිලිව කියා නැත. කෙටියෙන්ම, විදුලිබල වෘත්තීය සමිතිය රටේ ‘ජාතික විදුලි බල ප්‍රතිපත්තිය’ තීරණය කරමින් ඇත. රටේ විදුලිබල අර්බුදයෙන් 1/3 ක් විදුලිබල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම තුළින් විසඳාගත හැකි ය. නමුත් සිදු නොවන්නේ ද එය යි.
2. 2030 වසර වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සකස් කර ගැනීම, පසුගිය රජයේ ද ප්‍රතිපත්තිය විය. වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද එය එලෙස ම ය. ජනන ධාරිතාව ඉහළ නැංවීමට නම්, දැනට අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක විය යු තුය. එමෙන් ම, සාකච්ඡා සම්මුති ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති ඉදිරියට යා යුතු ය. නමුත් ඒ සියල්ල අවලංගු කිරීමටත්, ඉන් පසුව එළඹිය හැකි දීර්ඝ අධිකරණ ක්‍රියාවලියකටත් ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇත.

සුළං හා සූර්ය බල ව්‍යාපෘති මගින් විදුලි ජනනය ඉහළ නැංවීම හැර වෙන විකල්පයක් නැත. ඉන්දියාවට විදුලිය අපනයන කිරීම ඉලක්කය විය. දැන් මන්නාරම සුළං බලාගාරය අවුල් ය. 2024 සැප්. ‘විදුලි මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කළ’ සියඹලාණ්ඩුව ව්‍යාපෘතිය ආරම්භ වී නැත. ඉඩම් වෙන් කිරීම ගැන 2024 පෙබරවාරි මාසයේ පැවති තත්ත්වයෙන් එක බිංදුවක් ඉදිරියට ගොස් නැත. තරගකාරී ක්‍රමවේදයට නම් ආයෝජකයින් ගෙන්වා ගැනීමට මුලික පියවර හෝ තවමත් ඇරඹී නැත. ඒ නිසාම, ආයෝජකයින් පැමිණෙන්නේ නැත. සාම්පූර් සූර්ය බලගාරයට ඉන්දියාව සමග එකඟතාව පැමිණීම සතුටකි. සැබවින්ම, වෘත්තීය සමිති බලපෑමෙන් මිදී සාම්පූර් බලගාරය සැදීය හැක්කේ මේ ආණ්ඩුවට ම පමණි.
නැවතත් 1998 – 2001 යුගයේ මෙන්, විදුලි ජනන සැලසුමක් හෝ තිබෙන සැලසුම් ක්‍රියාත්ම නොකිරීමට තල්ලු වෙමින් ඇත. එහි ප්‍රතිඑල අමිහිරි හා විදයම්කාරී හා වේදනාකාරී නොවේවා!
3. විදුලිය සම්ප්‍රේෂණය - අවුල් ජාලාවක් වී ඇත. වඳුරකුට රටේ ම විදුලිය අඩපණ කළ හැකිය. පසුගිය සති අන්තයේ දී සූර්ය පැනල ජාතික පද්ධතියෙන් විසන්ධි කර බිඳවැටීම් වළක්වා ගනු ලැබූ බව බොහෝ පාර්ශව දක්වා තිබුණි. මෙම සමස්ත සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණයටත්, පුණර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා පද්ධතියේ ලබාගත යුතු විශ්වාසනීයත්වය තහවුරු කරන බැටරි ගඩබා පහසුකම් ඇති කර ගැනීමට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් (එනම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුළු මුදලට වැඩි මුදලක්) අවශ්‍ය ය.
මෙම සංවර්ධන ව්‍යාපෘතියට අවශ්‍ය ආයෝජන රජය මගින් දැරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. එබැවින්, විදුලි පනත සකස් කර ඇත්තේ විදේශීය ආයෝජන ලබා ගැනීමට ය. වෘත්තීය සමිති කැමති 100%ක් රජයේ පාලනයේ සිටීමට ය. බැටරි ආරෝපන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පුද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීමට 2024 මැයි මස කැබිනට් අනුමැතිය ලැබුණි. ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමට පසුගිය රජජය අරඹා ඇත. පසුගිය අගෝස්තු සිට කිසිදු ඉදිරි පියවරක් ගෙන නැත. ගෝඨාභය ආණ්ඩුව ගෑස් හිඟය ඇතිවන විට රජය සතු සමාගමක් ඇරඹීමට යෝජනා කළ බව මතක ද? එවැනිම ජලාශ විදුලි බැටරියක් යෝජනා වී ඇත. කරන්න පුළුවන් නම්, මේ සිහින ව්‍යාපෘති හොඳය!
4. අද ඩීසල් විදුලිය ඒකකයක් මිලදී ගන්නේ රු. 80 ආසන්න මුදලකට ය. එල්එන්ජී LNG විදුලි ජනනය රු. 50 ට (ආසන්න) කළ හැකි ය. දැනට ක්‍රියත්මක මෙ.වො. 300 සහ 350 කෙරවලපිටිය බලාගාර සඳහා අවශ්‍ය එල්.එන්.ජී.ලබා ගැනීමට වන වැඩ සටහන් පසුගිය මාස 5 තුළ ඉදිරියට ගොස් නැත.
5. තෙල් සංස්ථාව - සයිනොපෙක් පිරිපහදුව සත්‍ය වශයෙන් ම තවමත් පවතින්නේ 2024 සැප්තෑම්බර් පැවති තත්ත්වයේ ම ය. ඉදිරි කටයුතු පුවත්පත් නිවේදන මගින් නොව මහපොළොවේ ක්‍රියාත්මක යුතුව ඇත.

6. තෙල් පිරිපහඳුව නවීකරණයට සඳහා ඩොලර් මිලියන 25.8 ක මුදලක් සොයා ගැනීමට පසුගිය රජය ගත් පියවර ඉදිරියට යන්නේ දැයි මට නිශ්චිත අදහසක්/තොරතුරක් නැත. විකල්ප සොයා ගැනීමක් නම් ප්‍රකාශයට පත්වි නැති බව ස්ථිරය. ජාජාබ වේදිකාවේ සපුගස්කන්ද ගැන දුන් පොරොන්දු වහා යථාර්ථයක් කර ගත යුතුය.
7. ලංකාවේ මෙහෙයුම් ඇරඹූ ‘යුනයිටඩ්’ සමාගම අමාත්‍යංශය සමග ඇතිවූ ආරවුලක් මත, තෙල් බෙදාහැරීම අතරමග නවතා දමා රටෙන් ඉවත්වී ඇත. දිගු කාලීන නව ආයෝජකයින් පැමිණීම එමගින් අධෛර්යමත් වේ.
8. ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීම් ශක්තිමත් කිරීමේ පූර්ව අවශ්‍යතාව ‘නල පද්ධතිය’ අලුත්වැඩියාව හෝ නවීකරණය යි. පසුගිය රජයේ ක්‍රියාමාර්ගය නැවතී ඇති බව සංස්ථා ආරංචිමාර්ග පවසයි. 2024 දී කුමණ තත්ත්වයක් යටතේ හෝ සේවකයින්ට බෝනස් ලබාදීමට රනිල් රජය කටයුතු කළේ ය. අද සංස්ථා සේවකයින් තුළ බෝනස් සහ වෙනත් පොරොන්දු ඉටු නොකිරීම ගැන ඇත්තේ දැවැන්ත අසහනයකි. එය වහා සමනය කර ගත යුතුය.
9. තෙල් බෙදුම්කරුවන්ගේ ගැටලුව - රජය පටලවා ගත් අර්බුද ඔවුන් ම විසඳාගන්න ක්‍රමයක් සොයා ගත යුතු ය. බෙදුම්කරුවන්ට බදු රහිත මුදලට 3% අදාළ කරන්නේ නම්, දැනට පවතින අති නවීන බෙදාහැරීම් යාන්ත්‍රණය, නඩත්තු කිරීම අතිශයින්ම අපහසු වනු ඇත.
අනෙක් අතට, ඛනිජ තෙල් සංස්ථාව ඔවුන්ගේ ලාභය ලෙස 4%ක් ගන්නේ ද, පරිපාලන විදයම් ලෙස 2% ගන්නේ ද, ‘බදු ඇතුළත්’ මුළු මුදලෙනි. සංස්ථාවට බදු සහිත හැන්දෙන් ද, බෙදුම්කරුවන්ට ‘බදු නොමැති හැන්දෙන්’ ද බෙදීම කළ නොහැකි ය. බෙදුම්කරුවන්ගේ 3% ඔවුන්ට නොගෙවන්නේ නම්, අනිවාර්යයෙන්ම තෙල් සංස්ථාවට ද එයට අනුපාතික ලෙස ඔවුන්ට ලැබෙන ඔවුන්ගේ පංගුව හා පරිපාලන විදයම් අඩුවිය යුතු ය.
සිනෝපැක්, ෂෙල්, ඉන්දියන් ඔයිල් සමාගම් අඛණ්ඩව බෙදුම්කරුවන්ට 3% ලබාදෙමින් ඇත. තෙල් සංස්ථාව පමණක් 3% ලබා නොදීම තුළ සිදුවන්නේ රජය සතු තෙල් බෙදාහැරීම විනාශයට පත්වීම ය. අනෙකුත් සමාගම් 3% තුළ ලබාදෙන්නේ නම්, ඔවුන්ට අලෙවිය වැඩිවීම, අධික ලාභයක් හිමිවීම නොවැළැක්විය හැකි ය. ඛනිජ තෙල් ඉතිහාසයේ මෙවැනි අතයට ගණුදෙනු ඇති තරම් සිදුවී ඇත.

10. ඩීසල් හා පෙට්‍රල් ගබඩා පහසුකම් ඇත්තේ දින 30 ක රටේ අවශ්‍යතාව සඳහා පමණී. එය වර්ධනය කිරීම දිගු කාලයක් අවධානය යොමු වූ දැනටමත් ප්‍රමාද අවශ්‍යතාවයකි. පසුගිය මාස 5 ක කාලය තුළ ප්‍රගතිය නොදනිමි.
ජනතාව ඉල්ලා සිටින්නේ ආණ්ඩුව තෙල් මත පනවන බද්ද අඩු කර ජනතාවට සහනයක් ලබාදීම ය. අවම වශයෙන් අඛණ්ඩව ‘මිල සුත්‍රයට’ අනුව මිල පහත දමන ලෙස ය. අවසනාවකට අද ‘මිල පහත යා යුතු විට’ මිල සුත්‍රයවත් ක්‍රියාත්මක වන්නේ නැත.
මේ ප්‍රධාන කරුණු 10 විදුලිබල හා බලශක්ති අර්බුදයේ 85% කට වැඩි පංගුවක් නියෝජනය කරන්නේ ය. සභාපති ගේ නිල රථය ‘විකුණාගෙන කෑම’ මගින් ලැබෙන මුදල තෙල් සංස්ථාවේ තත්පර ගණනක ආදායම හා සමානය.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්තියෙන් බැහැරව, වියුක්ත වීම තුළ විදුලිබල කේෂ්ත්‍රය ‘ගන්ධබ්බ’ අවධියකට පත්ව ඇත. රජය දැන්වත් ‘දෙව් ලොව හෝ අපාය’ කියා සිතා දෙකෙන් එකක් බේරා ගත යුතුය. නැතිනම්, නැවත වරක් විදුලිය - තෙල් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන ආයතන බවට පත් වනු ඇත.
(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු විධායක අධ්‍යක්ෂ
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com



