The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?

T

The Leader Desk

March 3, 2025 • 7:37 AM

ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රධානීහූ මැතිවරණ වේදිකාවල ජනතාව වෙත ප්‍රතිඥා දුන්හ.
  • යටගසා ඇති බවට චෝදනා එල්ල වූ ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි මොනවා ද?
  • වසරේ සිට 2015 වසරේ ජනවාරි මස 8 වනදා දක්වා කාල සීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සිදුවූ, විමර්ශන නොමැතිව යට ගසා තිබූ බවට චෝදනා එල්ල වූ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අපරාධ සිද්ධි කිහිපයක් පිළිබඳ විමර්ශන පසුගිය යහපාලන රජය සමයේ යළි ආරම්භ කෙරිණි.
  • එහෙත් 2019 වසරේ යහපාලන රජය අවසන් වී ගෝඨාභය රාජපක්ෂගේ රජය බිහිවීමත් සමඟම එම විමර්ශන බොහොමයක් අඩාල වී යනු දක්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රධානීහූ මැතිවරණ වේදිකාවල ජනතාව වෙත ප්‍රතිඥා දුන්හ.

 

යහපාලන රජය සමයේ විමර්ශන ආරම්භ කර, පසුව අතරමග නතර වූ අතිශය මතභේදයට තුඩු දුන් නොවිසඳුණු අපරාධ සිද්ධිවලට අදාළ විමර්ශනවල වත්මන් තත්ත්වය සහ මේ දක්වා සිදුවුයේ කුමක් ද යන්න පිළිබඳ බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.

 

යටගසා ඇති බවට චෝදනා එල්ල වූ ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි මොනවා ද?

 

 

2005 වසරේ සිට 2015 වසරේ ජනවාරි මස 8 වනදා දක්වා කාල සීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සිදුවූ, විමර්ශන නොමැතිව යට ගසා තිබූ බවට චෝදනා එල්ල වූ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අපරාධ සිද්ධි කිහිපයක් පිළිබඳ විමර්ශන පසුගිය යහපාලන රජය සමයේ යළි ආරම්භ කෙරිණි.

විශේෂයෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම, රිවිර පුවත්පතේ කතෘ උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳට පහර දීමේ සිද්ධිය, මාධ්‍යවේදී නාමල් දමයන්ත පෙරේරාට පහරදීම, රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් අභිරහස් ලෙස රිය අනතුරකින් මිය යෑම, මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම වැනි සිද්ධි 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ එවක විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවේ දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වූ මාතෘකා විය.

මෛත්‍රි රනිල් සහ ටිප්ටොප් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

 

2015 වසරේ ජනවාරි මස 8 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ යහපාලන රජය යටතේ මෙම අපරාධ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණි.

 

එහෙත් 2019 වසරේ යහපාලන රජය අවසන් වී ගෝඨාභය රාජපක්ෂගේ රජය බිහිවීමත් සමඟම එම විමර්ශන බොහොමයක් අඩාල වී යනු දක්නට ලැබිණි.

 

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය

 

thajudeen1

 

2012 වසරේ මැයි මස 17 වන දා නාරාහෙන්පිට උද්‍යාන පාරේදී අනතුරට ලක්වූ කාර් රථයක් තුළ තිබී රග්බි ක්‍රීඩක වයිම් තාජුදීන්ගේ මෘත ශරීරය පොලිසියට හමුවිය.

 

මෙම මෘත ශරීරයට අදාළ විමර්ශනවලදී නාරාහේන්පිට පොලිසිය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබුණේ මෙම මරණය රිය අනතුරක් හේතුවෙන් ඇතිවූ බවයි.

 

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදු නොවිය.

 

2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව වසිම් තාජුදීන් ක්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයින් කරන ලද පැමිණල්ලකට අනුව සිද්ධිය ගැන විමර්ශන යළි ආරම්භ විය.

ඒ අනුව 2015 වසරේ ජූලි මස 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට වාර්තා කළේ වසීම් තාජුදින්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොවන බවයි.

 

එබැවින් මිහිදන් කර තිබෙන තාජුදීන්ගේ මෘත ශරීරය යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අවසර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

 

ඒ අනුව 2015 වසරේ අගෝස්තු මස 10 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත දෙහිවල ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කර තිබූ වසීම් තාජුදීන්ගේ මෘත ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කරනු ලැබීය.

 

ඒ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් මීට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 

එම අධිකරණ වෛද්‍ය වාර්තාව හා සෙසු සාක්ෂි නිරීක්ෂණය කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වසීම් තාජුදීන්ගේ මරණය මිනී මැරුමක් යැයි තීන්දු කළ අතර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

ඒ අනුව වසීම් තාජුදීන් ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත එවක නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

anura s මහාචාර්ය ආනන්ද සමරසේකර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක

 

ඉන් අනතුරුව වසීම් තාජුදීන් ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීම සහ විනාශ කිරීම යන චෝදනා මත එවක බස්නාහිර පළාත භාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ වසිම් තාජුදින්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය කළ වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

 

පසුව මෙම සැකකරුවන් තුන්දෙනා වරින්වර අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබීය.

 

වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැදගත් කරුණු ගණනාවක් අධිකරණය හමුවේ වාර්තා කර තිබුණි.

 

මෙම විමර්ශනවලදී දුරකථන ඇමතුම් අතිවිශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමසීමට භාජනය වූ අතර ඒ ඔස්සේ අනාවරණය වූ කරුණූ රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව රිය අනතුර සිදුවීමෙන් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කතා කොට තිබූ බව අනාවරණය වී ඇතැයි, පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

එමෙන්ම ඝාතනය සිදුවූ දින රාත්‍රියේ ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුම් ගණනාවක් ලැබී තිබූ බව දුරකථන විශ්ලේෂණ වාර්තා වලින් අනාවරණය වී තිබුණේ යැයිද පොලිසිය විසින් අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.

ඊට අමතරව වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට රතු කුරුස සංගමය විසින් " සිරිලිය සවිය පදනමට පරිත්‍යාග කළ ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධ බවට තොරතුරුද පොලිසිය විසින් අධිකරණයට වාර්තාකර තිබිණි.

 

 

ඉන් අනතුරුව සාක්ෂි වසන් කිරීම සහ විනාශ කිරීමේ චෝදනා මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන ලදී.

 

එම අධි චෝදනා විභාගය ආරම්භ වූ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් දෙදෙනා ම මරණයට පත්වීම හේතුවෙන් එම නඩු විභාගය අවසන් කෙරිණි.

 

ඉන් අනතුරුව 2019 වසරේ නොවැම්බර් මස ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමගම තාජුදීන් ඝාතන සිද්ධියට සම්බන්ධ නඩුකරයට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමද නතර වීම දකින්නට තිබුණි.

 

වසින් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ වරදට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදුවුවද මෙම ඝාතනය කුමන්ත්‍රණය කළ කිසිදු සැකකරුවකු මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

 

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය

 

ලසන්ත ඝාතනය කර වසර 14 ක් - ඝාතකයන් නිදැල්ලේ !
සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී යුද හමුදා සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ප්‍රශ්න කොට පසුව නිදහස් කොට තිබිණි.

 

මෙම සිද්ධිය පිළිබඳව යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව නැවත විමර්ශන ආරම්භ කරන ලදී.

 

ඒ අනුව අධිකරණ නියෝග මත මිහිදන් කර තිබූ ලසන්ත වික්‍රමතුංගගේ මෘත ශරීරය යළි ගොඩ ගෙන අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

ඒ අනුව විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ යුද හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේම ආනන්ද උදලාගම, ඝාතනය සිදු වූ වකවානුවේ නුගේගොඩ ප්‍රදේශයේ භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ සිද්ධිය වූ වකවානුවේ ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක තිස්ස සිරි සුගතපාල යන අය එම සිද්ධිය සැකකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලදී.

එදා ලසන්ත කවුද කියලා අහපු කෙනාට දැන් තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය අහගන්න පුළුවන්

 

එම සැකකරුවන් සම්බන්ධයෙන් නඩු පැවතීමට අදාළව විමර්ශන ගොණු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

 

ලසන්ත වික්‍රමවතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවකුට එරෙහිව චෝදනා ගොනුකර නොමැත.

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම

 

යුක්තිය උදෙසා සටන් වදින අපේ කාලයේ දිරිය ගැහැණිය : සන්ධ්‍යා (VIDEO)


2010 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෑලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කර තිබිණි.

 

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකර නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරන ලදී.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්න, ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් නම් කර තිබේ.

මෙම විත්තිකරුවන්ට අදාළ නඩුව මේ වන විටත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වෙමින් පවතී.

 

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම

 

දඩබිමක බේරුණු කීත් නොයාර්! - (රංජිත් කුමාර සමරකෝන්)


2008 වසරේ මැයි මස 22 වනදා මාධ්‍යවේදී කීත් නොයාර් සිය රාජකාරී කටයුතු අවසන් වී රාත්‍රියේ නිවස කරා යමින් සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් ඔහු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී බරපතළ වධහිංසාවට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා විය.

 

දෙහිවල පොලිස් වසම ආසන්නයේ පිහිටි ඔහුගේ නිවස අසළදී මෙම පැහැර ගැනීම සිදුවූ අතර ඉන් පැය කිහිපයකට පසුව ඔහු දොම්පේ ප්‍රදේශයේ දී මුදා හැර තිබිණි.

 

මෙම සිද්ධිය පිළිබඳව 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය.

 

මෙසේ පැහැරගත් මාධ්‍යවේදී කීත් නොයාර්, ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය පවත්වාගෙන යන දොම්පේ ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක නිවස්නයකට රැගෙන ගොස් අමානුෂික වධහිංසා පමුණුවා මුදා හැර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ එම විමර්ශනවලදී අනාවරණය විය.

 

එම පැහැර ගැනීම සිදුවූ කාලසීමාවේ හුවමාර වූ දුරකථන ඇමතුම් සහ වෙනත් පර්වේෂණීය සාක්ෂි ඔස්සේ පොලිසිය විසින් මෙම විමර්ශන ආරම්භ කරනු ලැබීය.

 

දඩබිමක බේරුණු කීත් නොයාර්! - (රංජිත් කුමාර සමරකෝන්)

ඉන් අනතුරුව මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඉන් අනතුරුව හෙළිදරව් වූ කරුණු මත තවත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව, ඇපමත මුදා හැර තිබිණි.

 

මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

 

යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක් වසර 6කට පසු අත්අඩංගුවට

keeth67මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු (01 වැනිදා) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

 

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු (01 වැනිදා) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් දසලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය (2025 මාර්තු 02 වැනිදා) නියෝග කළාය.

 

මෙලෙස ඇප මත මුදාහැරියේ මදුරාධිපති ගමගේ උපාලි සේනාරත්න හා රංබණ්ඩාගේ නිමල් රත්නායක යන යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී නීතිපති උපදෙස් අනුව අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ඇයි දැයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ජනවාරි මස මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා ය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාළව 11 වන හා 12 වන සැකකරුවන් වන මෙම විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මෙලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

 

සැකකරුවන්ට ඇප ලබා දීමෙන් නඩුවට යම්කිසි බලපෑමක් ඇති වේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසූ අවස්ථාවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී වසර හයක් පමණ ඉක්ම ගොස් ඇති බවත් ඒ කාලය තුළදී හෝ සැකකරුවන් නඩුවට අදාළ කිසිවෙකුට කිසිඳු බලපෑමක් කර නැතැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණය හමුවේ පැවසීය.

 OLYMPUS DIGITAL CAMERA

 

සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

2008 වර්ෂයේ මැයි මස 22 වැනිදා දෙහිවල වෛද්‍ය පාරේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී තිබුණු අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි අමල් කරුණාසේකර සහා යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ආර්.ඩී.එම්.ඩබ්ලිව්. බුලත්වත්ත ඇතුළු සැකකරුවන් දහ දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටී.

මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 13 වන දින නැවත කැඳවීමට නියමිතයි.

 

මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහරදීම

 

Namal in Hospital


2008 වසරේ ජුනි මස 30 වැනිදා සවස මාධ්‍යවේදී නාමල් පෙරේරා සිය මිතුරකු සමග වාහනයෙන් ගමන් කරමින් සිටියදී නාරාහෙන්පිට යුද හමුදා කඳවුර අසල දී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් ඔහුට පහර දී බරපතල තුවාල සිදු කළේය.

 

සිද්ධිය වූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කළද ඒ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනුනේ නැත.

2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මෙම අපරාධය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය නව විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් වන මේජර් ප්‍රභාත් බුලත්වත්ත ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අනතුරුව පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී පහර කෑමට ලක් වූ මාධ්‍යවේදී නාමල් පෙරේරා සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගත්තේය.

 

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර නොමැත.

 

රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය

 


2009 වසරේ ජනවාරි මස 23 වනදා අලුයම රිවිර පුවත්පතේ කතෘවරයා වශයෙන් කටයුතු කළ උපාලි තෙන්නකෝන් සිය බිරිඳ සමග නිවසේ සිට වාහනයෙන් කොළඹ බලා ගමන් කරමින් සිටියේ ය.

 

මෙසේ ගමන් ගනිද්දී කඩවත ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් හතර දෙනක් ඔහුගේ වාහනය හරස් කොට නවතා පහරදීමක් සිදු කළහ.

 

ඉන් බරපතල ලෙස තුවාල ලැබූ උපාලි තෙන්නකෝන් රෝහල් ගත කෙරිණි.

 

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ පොලිසිය විසින් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබුණද විමර්ශන කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවීය.

 

2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මේ පිළිබඳව නව විමර්ශනයක් ආරම්භ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර් ප්‍රභාත් බුලත්වත්ත ඇතුළු බුද්ධි අංශ සාමාජිකයින් අට දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී තමන්ට පහර දුන් සැකකරුවන් ලෙස යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් වූ ප්‍රේම ආනන්ද උදලාගම සහ ලලිත් රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනා උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳ විසින් හඳුනා ගන්නා ලදී.

ඉන් අනතුරුව ප්‍රේමානන්ද උදලගම සහ ලලිත් රාජපක්ෂ යන සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලදී.

 

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හය දෙනෙකු සම්බන්ධයෙන් නඩූපැවරීමට සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා දුන් උපදෙස් මත ඔවුන් නිදහස් කර හැරීමට ද අධිකරණය පියවර ගත්තේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහම් ඝාතනය

 

joseph


2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා නත්තල් දින රාත්‍රී මඩකලපුව ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංගම් වෙඩි තබා ඝාතනය කෙරුණි.

 

එම ඝාතනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ විධිමත් පරීක්ෂණයක් නොවූ බවට චෝදනා එල්ල විය.

 

ඉන් අනතුරුව 2015 වසරේ බලයට පත් වූ යහපාලන රජය ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයාගේ ඝාතනය පිළිබඳව අලුතින් විමර්ශනයක් ආරම්භ කළේය.

 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 2015 වසරේ ඔක්තෝම්බර් මස 11 වැනිදා නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ප්‍රශ්න කරන ලදී.

 පිල්ලයාන් CIDයට - පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කළ පරීක්ෂණය  කුමක් ද?

එම සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලයාන් වසර පහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගර ගතව සිටියේය.

එහෙත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව නීතිපතිවරයා මඩකලපුව මහාධිකරණයට දැනුම් දී තිබුණේ පිල්ලයාන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවයි.

 

ඒ අනුව පිල්ලයාන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමටද අධිකරණය විසින් තීන්දු කර තිබිණි.

 

මිග් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව

 

මිග් ගනුදෙනු වංචාවේ CID පරීක්ෂණ කඩිනම් වෙයි


2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රහාරක මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද මහින් රාජපක්ෂ රජය සමයේ චෝදනා එල්ල වී තිබිණි.

 

එහෙත් එම චෝදනා සම්බන්ධයෙන් එම වකවානුවේ විමර්ශනයක් සිදු නොවීය.

 

එහෙත් 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මෙම ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කළේය.

 

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහූ එම විමර්ශනවලට අවශ්‍ය නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කළහ.

 

එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල

ඒ යටතේ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ගණනාවකගෙන් ප්‍රකාශ සටහන් කරගත් එම පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් එහි සැකකරුවකු වශයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සැකකරුවකු වශයෙන් නම් කළහ.

මෙම විමර්ශනවලදී අනාවරණය වූ ඉතා වැදගත්ම කරුණ වූයේ මෙම ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ යුක්‍රේන ගුවන් යානා නිෂ්පාදන සමාගම අතර ඇති කරගත් ගිවිසුමේ මුල් පිටපත අස්ථානගත වී තිබීමයි.

මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ය..

 

එහෙත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමගම විමර්ශන ඉදිරියට යාමක් දක්නට ලැබුණේ නොමැත.

 

මීට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.


| BBC සිංහල සේවය



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...