The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අය-වැයේ ප්‍රකෘතිය හා විකෘතිය | තිසරණි ගුණසේකර

T

The Leader Desk

March 3, 2025 • 9:33 AM

අය-වැයේ ප්‍රකෘතිය හා විකෘතිය | තිසරණි ගුණසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් අධ්‍යාපනය මෙරටට සම්පතකි.
  • රෝගය වන්නේ මෙරට අධ්‍යාපන ක්‍රමයේත්, ආර්ථිකයේත් ඇති නොපෑහීමයි.
  • මෙම බඳවාගැනීම් සිදුවූයේ හැකියාව හෝ අවශ්‍යතාව මත නොව මැතිවරණ පොරොන්දු ඉටු කිරීමක් හා දේශපාලන ජනප්‍රියතාවක් දිනාගැනීමේ මඟක් ලෙසය.
  • රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට හා සමෘද්ධිලාභී පවුල්වල සාමාන්‍ය පෙළ අසමත් සාමාජිකයන් 100,000කට රජයේ රැකියා දීමට 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ගත් තීරණය මෙරට විකෘති ආර්ථික ප්‍රමුඛතාවන් සංකේතවත් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නිදහස් අධ්‍යාපනය මෙරටට සම්පතකි. අනාගතය වෙනුවෙන් රැකගත යුතු සම්පතකි. අධ්‍යාපනය අයිතියක් වුවද රජයේ රැකියාවක් යනු අයිතියක් නොවේ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය යනු රෝගයක් නොව රෝග ලක්ෂණයකි. රෝගය වන්නේ මෙරට අධ්‍යාපන ක්‍රමයේත්, ආර්ථිකයේත් ඇති නොපෑහීමයි. ඒ ප්‍රශ්නයට පිළියමක් සොයනු වෙනුවට පක්ෂ-පාට- මතවාදී භේදයකින් තොරව සියලු පාලකයන් කළේ රැකියා විරහිත උපාධිධාරීන් හා උසස් පෙළ/සාමාන්‍ය පෙළ සමතුන් වරින් වර රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි. මෙම බඳවාගැනීම් සිදුවූයේ හැකියාව හෝ අවශ්‍යතාව මත නොව මැතිවරණ පොරොන්දු ඉටු කිරීමක් හා දේශපාලන ජනප්‍රියතාවක් දිනාගැනීමේ මඟක් ලෙසය.

sri lanka president gotabaya rajapaksa handing over appointment letter to graduate

 

රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට හා සමෘද්ධිලාභී පවුල්වල සාමාන්‍ය පෙළ අසමත් සාමාජිකයන් 100,000කට රජයේ රැකියා දීමට 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ගත් තීරණය මෙරට විකෘති ආර්ථික ප්‍රමුඛතාවන් සංකේතවත් කරයි. ආර්ථික/සංවර්ධනාත්මක පැත්තෙන් හානිදායක වූ මෙම තීරණය ඉතාමත්ම ජනප්‍රිය එකක් වූයේ රජයේ රැකියා අයිතියක් ලෙස සැලකීමේ සමාජ මානසිකත්වය නිසාය. ඇතැම් රැකියා විරහිත උපාධිධාරීන් වයස 40ද ඉක්මවා සිටි බැවින් ඔවුන් බඳවාගැනීම සඳහා රෙගුලාසි පවා වෙනස් කිරීමට සිදුවිය.

වයස අවුරුදු 40ක් ඉක්මවූ විටත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි උපාධිධාරීන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයේ ඇති වරද කුමක්ද, එය නිවැරදි කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව පුළුල් කතිකාවක් එදත් නොවීය; අදත් නැත.

ඒ වෙනුවට තවත් රැකියා විරහිත උපාධිධාරීන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට වත්මන් ජාජබ/ජවිපෙ පාලනය තීරණය කර තිබේ. අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ මංගල අයවැයෙන් මේ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබේ.

 

පාඩු පිට පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පරණ ණය ගෙවීමට වෙන් කර ඇති මුදල් රුපියල් බිලියන 20කි.

SriLankan Airlines: පෞද්ගලීකරණය කිරීමේ අලුත් ම තත්ත්වය කුමක් ද?

 

ශ්‍රීලංකන් ගුවන් සේවය හා එමිරේට්ස් ගුවන් සේවය අතර වසර 10ක ගිවිසුම අත්සන් කළේ 1998 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේය. මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිමිකමෙන් 44%ක් ඩොලර් මිලියන 70කට එමිරේට්ස් ගුවන් සේවයට විකුණන ලදි. එමිරේට්ස් පාලනය යටතේ එතෙක් පාඩු ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රම ක්‍රමයෙන් ලාබ ලැබීම ඇරඹුණි. 2007/8 වන විට එහි සමුච්චිත ලාභය රුපියල් බිලියන 9.29ක් විය. 2007 වසරේ පමණක් රුපියල් බිලියන 5ක ශුද්ධ ලාභයක් ලැබීමට ගුවන් සේවය සමත් විය. ගුවන් සේවය රටට බරක් නොවූවා පමණක් නොව රජයට ආදායම් උපයන මාර්ගයක්ද විය.

2007දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 35 දෙනකුගෙන් යුතු ගෝල-බාල කණ්ඩායමක් සමග එංගලන්තයට ගියේය. ඒ වන විට ඔහුගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතා එංගලන්තයේ නාවික ඇකඩමියක පුහුණුව ලබමින් සිටි අතර, සංචාරයේ එක් අරමුණක් වූයේ පිය-පුතු හමුවීමක් බව මාධ්‍ය වාර්තාවල දැක්විණි. තම කණ්ඩායමට ව්‍යාපාරික පන්තියේ ආසන ලබාදීම සඳහා පෙර මුදල් ගෙවා ආසන වෙන්කර ගත් සංචාරකයන් පිරිසක් ඉවත් කරන්නයැයි ජනපතිවරයා කළ නියෝගය ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන කළමනාකරු ලෙස කටයුතු කළ පීටර් හිල් මහතා ප්‍රතික්ෂෙප කළේය. ජනපතිවරයාට හා තවත් කිහිප දෙනකුට ආසන ලබාදිය හැකි වුවද මුළු කණ්ඩායමටම ආසන ලබාදිය නොහැකි බව ඔහුගේ මතය විය.

 

03මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම

කෝපයට පත් රාජපක්ෂ ජනපතිවරයා තම ගමන සඳහා මිහින් ලංකා ගුවන් යානයක් වෙන් කර ගත්තේය. ලංකාවට පැමිණි පසු පීටර් හිල් මහතාගේ වීසා බලපත්‍රය අහෝසි කළ ඔහු 2008 වසරේ සිට තවත් වසර 5ක් දක්වා එමිරේට්ස් සමග වූ ගිවිසුම දීර්ඝ කිරීමට පැවැත්වෙමින් තිබුණු සාකච්ඡා අතරමග නතර කොට ශ්‍රීලංකන් ගුවන් සේවය රජයට පවරාගත්තේය. හිල් මහතා ලංකා රජයේ අවශ්‍යතාවන් ඉටු කිරීමට අසමත් වූ නිසා ඔහුගේ වීසා බලපත්‍රය අහෝසි කළ බව ආයෝජන මණ්ඩල සභාපති ලෙස රාජපක්ෂ ජනපතිවරයා විසින් 2007 අප්‍රේල් මස පත්කෙරුණු ධම්මික පෙරේරා මහතා කියා සිටියේය. ශ්‍රීලංකන් ගුවන් සේවය රජයට පවරාගැනීම දේශප්‍රේමී ජයග්‍රහණයක් බවට රාජපක්ෂ අන්තේවාසිකයෝ ජය ඝෝෂා නැගූහ.

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැයේ බොහෝ සාධනීය කරුණු ඇති බව සැබෑය. නමුත් මූල්‍ය ප්‍රමුඛතාවන් තීරණය කිරීමේදී දේශපාලන අවශ්‍යතාවන් හා ජනප්‍රිය පුරුදුවලින් බැහැර වීමට වත්මන් පාලනයද අසමත් බව රැකියා විරහිත උපාධිධාරීන් රජයේ සේවයට බඳවාගැනීමට රුපියල් බිලියන 10කුත් ශ්‍රීලංකන් ගුවන් සේවයට රුපියල් බිලියන 20කුත් වෙන් කිරීමෙන් පෙනීයයි.

පොත්වලට බදු ගසා අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන් කිරීම

 

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

අතීත ආණ්ඩු සාමාන්‍යයක් බවට පත් කළ නාස්තිකාර පුරුදු නතර කිරීමට වත්මන් පාලනය ගෙන ඇති පියවර ප්‍රශංසනීයය. මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා නොදීමට ගෙන ඇති තීරණය මීට හොඳම උදාහරණයකි.

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වංචා දූෂණවල යෙදෙන බවක් තවමත් වාර්තා වී නොමැත. එයද සාධනීය තත්වයකි.

නමුත් ආර්ථික ප්‍රතිෂ්ඨාපනයේ බර වැඩි කොටසක් සාමාන්‍ය ජනතාව මත පැටවීම මෙම අයවැයෙන් තවත් උත්සන්නව ඇත.

සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් ඉදිරිපත් කරන අයවැයක ඇස්තමේන්තුගත ආදායම් දත්ත මෙන්ම වියදම් දත්තද යම් තරමකට ප්‍රශ්නකාරීය. යථාර්ථයේදී ආදායම අඩුවීමත් වියදම වැඩිවීමත් සාමාන්‍යයකි. වත්මන් අයවැයටද එම ඉරණමම අත්වනු ඇත්දැයි කිවහැක්කේ කාලයත් සමගය. නමුත් බදු අනුපාතයන් තුළින් ආණ්ඩුවේ ආර්ථික ගමන පිළිබඳ යම් ඉඟියක් ලබාගත හැක.

 

බදු වියදම් කලේ කුමටද කියා නොදැන බදු ගෙවන අරුම පුදුම ලාංකිකයෝ - (ශාන්ත  ජයරත්න)
ඍජු බදු හා වක්‍ර බදු අතර 40:60 අනුපාතයක් හෝ තිබීම ආර්ථික වෘද්ධියේ පිරිවැය හා ප්‍රතිලාභ අවම සාධාරණත්වයකින් බෙදී යාම සඳහා වු මූලික අවශ්‍යතාවකි. නමුත් දශක කිහිපයක් පුරාම ලංකාවේ ඍජු-වක්‍ර බදු අනුපාතය 20:80ක් විය. එනම් බදු බරෙන් 80%-81%ක් පමණ ලැබුණේ වක්‍ර බදු තුළිනි.

2023දී එනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී, මෙම තත්වයේ යම් සතුටුදායක වෙනසක් සිදුවිය. 2023දී ඍජු හා වක්‍ර බදු අතර අනුපාතය 20:80 සිට 33:67 දක්වා වෙනස් විය. (ඍජු බදු 33.5%: වක්‍ර බදු 66.5%) . 2024දී (ඇස්තමේන්තුගත) අනුපාතය 28:72ක් වූ අතර මෙය නොවිය යුතු අවගමනයක් විය.

ජාජබ/ජවිපෙ වාමවාදී/ප්‍රගතිශීලී ප්‍රතිරූපය නිසා ඍජු හා වක්‍ර බදු අතර අනුපාතය යළිත් සාධනීය පැත්තට වෙනස් වනු ඇතැයි වූ බලාපොරොත්තුව මෙවර අයවැයෙන් බිඳී ඇත. ඇස්තමේන්තුවලට අනුව 2024 අවගමනය 2025දී තවත් තීව්‍ර වී ඇත. එනම් 25:75 ලෙසය.

මේ තත්වය ආණ්ඩුවේම ප්‍රකාශිත අරමුණු පරාජය කරන ආකාරය වටහාගැනීමට එක් උදාහරණයක් ම ප්‍රමාණවත්ය.

2024 වසර ආරම්භ වූයේ රනිල් වික්‍රමසිංහ පාලනය සිදු කළ වැට් බදු වැඩිවීමත් සමගය. මෙම වැට් සංශෝධනයේ බරපතළම අංගය වූයේ මෙතෙක් වැට් බදුවලින් නිදහස් කොට තිබූ පොත් (ලංකාවේ ප්‍රකාශිත හා ආනයනික-අධ්‍යාපන ග්‍රන්ථද ඇතුළුව) මත 18%ක වැට් බද්දක් පැනවීමය. 

 

නිදහස් අධ්‍යාපනය ඔළුවෙන් සිටුවන 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'

 
මෙම අධ්‍යාපන -විරෝධී පිළිවෙත ක්‍රියාත්මක කිරීමට දින කිහිපයකට පෙර වික්‍රමසිංහ පාලනය චීනයට අයත් ආයතනයකට වසර 15ක් සඳහා ආදායම් හා ලාභාංශ බදුවලින් නිදහස් කිරීම තුළින් ඒ ආණ්ඩුවේ විකෘති ප්‍රමුඛතාවන් පැහැදිලි විය.

විපක්ෂයේ අනෙක් පක්ෂ මෙන්ම ජාජබ/ජවිපෙද පොත් මත 18%ක වැට් බද්දක් පැනවීම නිර්දය ලෙස විවේචනය කළේය. තමන් බලයට පත්වූ පසු එම බද්ද ඉවත් කිරීමට පොරොන්දු විය.

නමුත් එම පොරොන්දුව වත්මන් අයවැයෙන් කඩවී තිබේ.
 
අස්වැසුම ගැන ජනපතිගෙන් නියෝගයක්
 
අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට පොත් මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක මුදලක් ලබාදීම වත්මන් පාලනය මෙම ප්‍රශ්නයට ඉදිරිපත් කර ඇති පිළිතුරයි. අස්වැසුම නොලබන නමුත් දරිද්‍රතාවේ හිණිපෙතේ සිටින පවුල්වල හෝ සමස්තයක් ලෙස පහළ මධ්‍යම පන්තික හා මධ්‍යම පන්තික පවුල්වල දරුවන්ට මෙයින් ලැබෙන සහනයක් නැත. අඩුම තරමින් අධ්‍යාපන ග්‍රන්ථවලට හෝ බදු සහනයක් ලබා දුන්නා නම් එය දෙමව්පියන්ටත් දරුවන්ටත් අස්වැසිල්ලක් වනු ඇත. නමුත් එවැනි පියවරක් ගැනීම ගැන පාලකයන් සිතන බවක් හෝ නොපෙනේ. විපක්ෂයටද මේ පිළිබඳව වැඩි කැක්කුමක් නොමැත.
ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ ලොකුම මුදල මෙවර අයවැයෙන් විය. එය අගය කළ යුත්තකි. නමුත් අධ්‍යාපනය හා පොත් යනු වෙන් කළ නොහැකි ලෙස එකට බැඳී ඇති අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වන කරුණු දෙකකි. අධ්‍යාපනයෙන් තොරව පොත් නැතුවා මෙන්ම පොත්වලින් තොරව අධ්‍යාපනයක්ද නොමැත. තම මැති ඇමතිවරුන්ගේ උගත්කම් ගැන (ඇතැම් විට අතිශයෝක්තියෙන්) කියවන වත්මන් ආණ්ඩුවට මෙම සරල සත්‍යය නොවැටහෙන්නේ කෙසේද? අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කොට පොත්වලට 18%ක බද්දක් ගැසීම දකුණතින් දුන් දේ වමතින් යළිත් ගැනීමක් නොවේද?

අයවැය මගින් කැසිනෝ මත අයකරන විශේෂිත බද්ද 15%ක් දක්වා ඉහළ දමා ඇත. එය හොඳ පියවරකි.
 
කැසිනෝ බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කරයි
ඒ වැඩිවීමෙන් පසුව වුවද කැසිනෝ මත 15%ක බද්දක් ඇති රටේ පොත් මත ඇති බද්ද 18%කි.
 
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම සඳහා අයවැයෙන් බිලියන 10 වෙන් කර තිබේ. දැනටත් සේවයේ නියුතු ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීන්ගෙන් මේ පුරප්පාඩු පිරවිය නොහැකිද? ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් බඳවා ගෙන කරන්නට වැඩක් නැතිව රජයේ කාර්යාලවල නිකරුණේ කල් ගෙවන උපාධිධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදී මෙම පුරප්පාඩු පිරවිය නොහැකිද? මේ නාස්ති කරනුයේ හෝඩි පොතේ සිට සියලුම පොත් මත පනවා ඇති 18% බද්දෙන් උපයන මුදල ඇතුළු ජනතාවගේ බදු මුදල් නොවේද?
 
ජනාධිපතිවරයා කාසි හා නෝට්ටු නැති ආර්ථිකයක් ගැන කතාකරයි. මේ කතා කරනුයේ ආරක්ෂිත ජල පහසුකම් නැති පාසල් 500ක් ඇති රටකය. වත්මන් අයවැයෙන් පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියනයක් වෙන් කොට ඇත. මෙය සතුටුදායක පියවරකි.
 
collage 63
 
නමුත් ශ්‍රීලංකන් සමාගම වැනි ජනජීවිතයට අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය ආයතන පවත්වාගැනීමට, දැවැන්ත හමුදාවක් නඩත්තු කිරීමට, හිටපු ජනපතිවරුන්ට නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් සැලසීමට වෙන් කොට ඇති මුදල් හා සසඳන විට මේ බිලයනයක වෙන්කිරීම (හෝ පෙර පාසල් ළමුන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීමට වෙන් කර ඇති බිලියනය හෝ පාසල් ගුණාත්මක වර්ධනය සඳහා වෙන් කළ රුපියල් බිලියන 135) සොච්චමක් නොවේද?

මෙරට පුද්ගලික උපකාරක පන්ති වාර්ෂිකව රුපියල් බිලියන 65ක ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා හේතුවෙනි. ටියුෂන් වර්ධනයත්, පාසල් ක්‍රමයේ පරිහාණියත් එකිනෙක පෝෂණය කරන සිද්ධි දාමයන්ය. උපකාරක පන්ති නියාමනය කිරීම අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ පාලනය පිළිගත්තේය. 
 
වත්මන් ආණ්ඩුවෙන් ඒ අවශ්‍යතාව ඉටු වේද යන්න පිළිබඳව සැක මතුවනුයේ පාසල් ගුරුවරුන් තම පාසලේම සිසු-සිසුවියන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් වූ චක්‍රලේඛයට අත්වූ ඉරණම හේතුවෙනි. ගුරු සංගම් නායකයකු වූ නියෝජ්‍ය ඇමතිවරයෙකු ප්‍රසිද්ධියේම විරුද්ධ වීමත් සමග චක්‍රලේඛය පැය 24ක් යාමට පෙර අකුලා ගැනිණි.
 


උපකාරක පන්ති ව්‍යාපාරයට දොර විවර වූයේ පාසල්වල ඉගැන්වීමේ ගුණාත්මක බව පිරිහීම නිසාත්, ලංකාව තුළ තෘතීයක අධ්‍යාපනයක් ලැබීමට ඇති සීමිත ඉඩකඩ නිසාත්ය. ගුරුවරුන්ට වැඩි වැටුප් හා පහසුකම් දීම අත්‍යවශ්‍ය වුවද එයින් දැනට සේවය කරන ගුරුවරුන්ගේ ගුණාත්මක ඌනතාවන් සම්පූර්ණ වන්නේ නැත.
 
උගැන්වීමේ පුහුණුවක්, නිපුණතාවක් හෝ උවමනාවක් නැති, වෙනත් රජයේ රැකියාවක් නොලද නිසා (දේශපාලන සබඳතා ඇතිව හෝ නැතිව) ගුරු වෘත්තියට එන ගුරුවරුන් නිසා මෙරට පාසල් පද්ධතිය පිරිහීමට විශාල දායකත්වයක් ලැබුණු බව නොරහසකි. මේවා සරලව විසඳිය හැකි ප්‍රශ්න නොව ආර්ථික හේතුන්ට එහා ගිය මිනිස් ස්වභාවය, සමාජ අපේක්ෂා වැනි බොහෝ කරුණු ඇතුළත් සංකීර්ණ ගැටලුය.
 
 
පෝය දෙක තුනකින් පාතාලය හා කුඩු ප්‍රශ්නත් පෑන් පාරකින් දෙකකින් සහල් ප්‍රශ්නයත් විසඳිය හැකියැයි කියූ (හා ඇතැම්විට සිතූ) මාලිමාවට මේ සංකීර්ණත්වය ග්‍රහණය කළ හැකිවේද යන්න ප්‍රශ්නයකි.

හාල්-පොල් -ලුණු

2024 ජනපතිවරණයෙන් හා මහා මැතිවරණයෙන් ජයගත්තේ ජවිපෙ සීනුව නොව ජාජබ මාලිමාවයි. යම් පමණකට හෝ වෙනස් නොවුණහොත් 3% සීමාව ඉක්මවිය නොහැකි බව ජවිපෙ නායකත්වය තේරුම් නොගත්තා නම් අද ජනපති අනුර කුමාර දිසානායක නොවේ.
 
dty57g
මාලිමා අයවැය සමාජවාදී අයවැයක් නොවේ යැයි කීම විකාරයක් වන්නේ එබැවිනි. මාලිමා ඡන්දදායකයන්ගෙන් බහුතරයකට අවශ්‍ය වූයේ පවතින ක්‍රමයේ වූ බරපතළ වැරදි හා අඩුපාඩු නිවැරදි කර එය නිසිමග යැවීම විනා ඒ ක්‍රමය පෙරළා දමා අලුත් ක්‍රමයක් නිර්මාණය කිරීම නොවේ. ජනතාවට එවැනි උවමනාවක් තිබුණා නම් 2024 වසරේ ජයග්‍රාහකයා වනුයේ ජාජබ නොව ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.

මාලිමාව මේ යථාර්ථය වටහා නොගත්තා නම් අනුර කුමාර දිසානායක මේ වන විට ගෝඨා 2 වී හමාරය.
 
මාලිමාවේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් තුළ නිමවූවක් බව සැබෑය. ජනපතිවරණයෙන් හා මහා මැතිවරණයෙන් සජබ දිනුවද එජාපය දිනුවද 2025 අයවැය නිර්මාණය වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුකූලවය. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පාලනය මේ රටට උරුම කර දුන් බංකොලොත්භාවය තුළ අපට ගත හැකි වෙනත් මගක් නොමැත. ඒ සහේතුක පථයෙන් ලංකාව ඉවත් වීමට යම් ඉඩක් තිබුණා නම් ඒ පොහොට්ටුවේ ජයකින් පසුවය. එසේ නම් දෙවන ආර්ථික කඩාවැටීමක අබියස ලංකාව මේ වන විටත් සිටිනවා නිසැකය.
 
2025 අයවැයේ ප්‍රශ්නය නම් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් තුළ ස්ථානගත වීම නොවේ. ඒ සීමාවන් තුළ කළ හැකිව තිබු ඇතැම් දේ නොවීමත් නොකළ යුතුව තිබූ යම් යම් දේ වීමත්ය.
 
imf
උදාහරණයක් ලෙස 2025 ක්‍රියාත්මක විමට නියමිතව තිබූ දේපළ බද්ද කල් දමා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමට මාලිමාව සමත්ව ඇත. දේපළ බද්ද බලපානුයේ මෙරට බහුතර ජනතාවට නොව ඉහළ ආදායම්/වත්කම් ඇති සුළුතරයකටය. අඩු ආදායම්ලාභී ජනතාව මත ඇති බදු බර අඩුකිරීමේ හා ඇති නැති පරතරය තුනී කිරීමේ ප්‍රධාන මගක් ලෙස ලොව පුරා වාමාංශික හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු දේපළ බද්ද භාවිත කිරීම පුරුද්දකි.
 
ඇමරිකාවේ නිව් ඩීල් ක්‍රමයේ මෙන්ම යුරෝපීය සුභසාධක රාජ්‍යවලත් දේපළ බද්ද ප්‍රධාන කාර්යයක් ඉටු කළේය. රනිල් වික්‍රමසිංහ ‘දක්ෂිණාංශික ධනවාදියා’ දේපළ බද්දට එකඟ වීමත්, අනුර කුමාර දිසානායක ‘සමාජවාදියා’ ඊට එකඟ නොවීමත් සැබැවින්ම ලාංකීය සුවිශේෂත්වයකි.

මාලිමා පාලනය දේපළ බද්ද පමා නොකළා නම් පොත් මත, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා බෙහෙත් ද්‍රව්‍ය මත හා කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මත අය කරන බදු අඩු කර ගැනීමට හැකියාව තිබුණි. එවැනි පියවරකින් ප්‍රතිලාභ ලැබෙනුයේ මෙරට බහුතර ජනතාවටය. නමුත් මාලිමාව තෝරාගත්තේ ඡන්දදායක බහුතරයකට සහන සැලසීමට වඩා තමන් වටා සිටින ව්‍යාපාරික සහ වෘත්තීයවේදීන් සුළුතරයකට අලුත් බරක් වැටීම වැළැක්වීමය. හාල්, පොල්, ලුණු ප්‍රශ්නයේ බරපතළකම මාලිමාවට නොවැටහීම පුදුමයක් නොවන්නේ මෙම සංදර්භය තුළය.
 
The Leader | We Lead the Nation
මාලිමාවට ග්‍රහණය නොවන මෙම සරල සත්‍යය පොහොට්ටුවට වැටහේ. ‘හාල් නෑ; පොල් නෑ; ලුණු නෑ’ යන්න පොහොට්ටුවේ ඇතැමුන්ගේ ජනප්‍රිය සටන් පාඨයක්ව ඇත්තේ එබැවිනි. මේ හිඟයන් ඉතාම තාවකාලිකය යන විශ්වාසය තවමත් මාලිමා ඡන්දදායකයන් බහුතරයක් තුළ තිබෙනවා නිසැකය. 
 
එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයගැනීමට මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනේ හිඟයන් හා ඉහළ මිල බාධාවක් නොවනු ඇත. නමුත් මෙම ප්‍රශ්න යළි යළිත් මතුවේ නම් දූෂණය මැඬීමට වඩා කරදරයකින් තොරව බතක්, පොල් සම්බෝලයක්, කිරි හොද්දක් සාදා ගැනීමට ඇති හැකියාව වැදගත්ය යන තැනට බහුතර ඡන්දදායකයන් පත්වීමට ඉඩ තිබේ. එයට ජාතිවාදය/ ආගම්වාදය එක්කොට ජයග්‍රාහී සංයෝජනයක් නිර්මාණයට කිරීමට හැකිවනු ඇත්තේ සජබට හෝ එජාපයට නොව පොහොට්ටුවටය.
අලුත්කඩේ උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට 
අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවු වෙඩි තැබීමෙන් පෙනීයනුයේ ආණ්ඩු කිරීම විපක්ෂයේ සිටීමට වඩා සංකීර්ණ ක්‍රියාවක් බවයි. අයවැයේ ඇතැම් ප්‍රතිපාදනවලින් (උදාහරණයක් ලෙස රැකියා විරහිත උපාධිධාරීන් 30,000ක් බඳවාගැනීම සඳහා බිලියන 10ක් හා ශ්‍රීලන්කන් ගුවන් සේවයට බිලියවන 20ක් වෙන් කිරීම) පෙනී යනුයේ රාජ්‍ය පාලනයේ සංකීර්ණත්වය මාලිමාවට තවමත් වැටහී නොමැති බවය.
 
පොල් පලදාව අඩු කාලවලදී පොල් අපනයනය සීමා කළ යුතු බවවත් වටහා ගැනීමට මාලිමාවට නොහැකි වූයේ මන්දැයි මාලිමාවට තවමත් තේරුම් ගත නොහැකි නම් අයවැයේ සාධනීය අංග පවා වචනයට පමණක් සීමා වීමට ඉඩ තිබේ.

(සටහන | තිසරණි ගුණසේකර)

උපුටා ගැනීම - අනිද්දා පුවත්පත
February 27, 2025



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...