The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අදානි ගෙන් තොර අපේ රටේ සුළං බල ව්‍යාපෘති කොහොම වේද? | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

March 4, 2025 • 8:16 AM

අදානි ගෙන් තොර අපේ රටේ සුළං බල ව්‍යාපෘති කොහොම වේද? | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පැවැති NXT ජාත්‍යන්තර සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
  • අපේ මූලික අදහස වුණේ ඉන්දියාවට පුනර්ජනනීය බලශක්තිය අලෙවි කරන්න.අපි උත්සාහ කළේ ගිගා වොට් 25ක් හෝ 50ක් ලබා දෙන්න.
  • දෙවනුව ත්‍රිකුණාමලය කලාපීය සැලසුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීම.නාගපට්නම් තුළින් එන තෙල් නළ හරහා අපි එම ස්ථානයේ පිරිපහදුවක් හදලා ඒක සංවර්ධනය කරනවා.
  • ඔවුන් ගේ පසුගිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වල දී ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත අදානි ව්‍යාපෘති විස මුසු ආහාර බවක් පැවසෙන අදහස් නිතරම ප්‍රචාරය කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පැවැති NXT ජාත්‍යන්තර සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

හිටපු ජනාධිපති වරයා මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හමු වී සාකච්ඡා පවත්වා තිබේ.සමුළුව අවසානයේ පැවති සම්මුඛ සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ඔහු මෙසේ පවසා තිබේ.

“අගමැති මෝදි සහ මම සාකච්ඡා කළේ අපේ ගිවිසුම් සහ ව්‍යාපෘති එක්ව සිදුකරන්න. අපේ මූලික අදහස වුණේ ඉන්දියාවට පුනර්ජනනීය බලශක්තිය අලෙවි කරන්න.අපි උත්සාහ කළේ ගිගා වොට් 25ක් හෝ 50ක් ලබා දෙන්න. දෙවනුව ත්‍රිකුණාමලය කලාපීය සැලසුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීම.නාගපට්නම් තුළින් එන තෙල් නළ හරහා අපි එම ස්ථානයේ පිරිපහදුවක් හදලා ඒක සංවර්ධනය කරනවා. අපි බැලිය යුතුයි ඒ කොරිඩෝව සංවර්ධනය කරන්නේ කොහොමද? කියලා. අපි එය තමිල්නාඩුවේ මදුරායි දක්වා සම්බන්ධ කළ යුතුයි. මේවා තමයි ඒ සම්බන්ධ ප්‍රශ්න.අවාසනාවට අපේ පළමු ව්‍යාපෘතිය වුණ සුළං විදුලි ව්‍යාපෘතියට ප්‍රශ්නයක් ආවා. මම හිතන්නේ එම ව්‍යාපෘතිය සිදුකළ යුතුයි. නව රජය කුමක් කරයිද කියලා අපි බලන් ඉන්නවා”. ඔහු ගේ අදහස මෙය වුව ද වත්මන් ජාතික ජන බලවේග රජයට අදානි නාමයම එතරම් ප්‍රිය මනාප නැත.



ඔවුන් ගේ පසුගිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වල දී ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත අදානි ව්‍යාපෘති විස මුසු ආහාර බවක් පැවසෙන අදහස් නිතරම ප්‍රචාරය කෙරිණ. ඒ අනුව වත්මන් ජාතික ජන බලවේග රජය ප්‍රගතිශීලී මාවතක ගමන් කරන්නේ නම් අදානි හා “පයුරුපාසාන” ඇති කර ගත ගත යුතු නැති බවට ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සිට හඬක් නැඟුණි.

මේ අතර ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු පැවසූ බවක් මාධ්‍ය වාර්තා කොට තිබිණ. ඒ 2004 දෙසැම්බර් 01 වන දා ය.අදාළ සමාගමට වඩා මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇතැයි පැවසූ ඔහු මෙරට විදුලි උත්පාදනය විදේශීය සමාගම්වලට නතු වීම අනතුරුව දායක බවත් එම වාර්තා වල සඳහන් විය.

එම වාර්තා වල සඳහන් අන්දමට විදුලිය නිපදවීම සඳහා මිල අඩු කර ගැනීමට නම් ඉන්ධන භාවිතය අඩුකර වෙනත් පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු විය යුතු බවත් ස්වභාවික බලශක්ති උත්පාදනයට නවීන තාක්ෂණය යොදාගත යුතු බවත් ඔහු පවසා තිබේ.

 



නමුත් ඉහත සඳහන් සුළං විදුලි ව්‍යාපෘතිය අවලංගු කර ඇතැයි රට පුරා ආරංචි පැතිර ගිය අතර පළවන වාර්තා අසත්‍ය සහ නොමඟ යවන සුළු වාර්තා බව 2025 ජනවාරි 25 වන දා නිවේදනය කරමින් අදානි සමූහය ද පවසා තිබිණ. එම සමූහයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් කරන ආයෝජන සඳහා තම සමාගම තවදුරටත් කැපවී සිටින බවකි.

මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල මෙගා වොට් 484ක සුළං විදුලි ව්‍යාපෘතියක් සඳහා අදානි සමූහය අමෙරිකානු ඩොලර් බිලියනක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටින බව පැවසූ අදානි සමූහයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේ මෙම ව්‍යාපෘතිය කෙසේවත් අවලංගු කර නොමැති බවකි. 2025 ජනවාරි දෙවනදා ගත් කැබිනට් තීරණයට අනුව සිදුවන්නේ 2024 වසරේ මැයි මාසයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව නැවත සළකා බැලීම යැයි එම නිවේදනයේ සඳහන් විය.

cghrtyg

එමෙන්ම වත්මන් බලශක්ති ප්‍රතිපත්තිය යටතේ ප්‍රමුඛතා කාර්යයන් සලකා බලමින් ඊට අනුගතවන ආකාරයෙන් ගාස්තු ක්‍රමය සකස් කිරීම මෙහි දී සලකා බලන බව අදානි සමූහය පවසා තිබිණ. එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ, පුනර්ජනනීය බලශක්ති ඉලක්ක හා ආර්ථික අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කිරීමට යන ඩොලර් බිලියන එකක ආයෝජනය වෙනුවෙන් තම සමාගම තවදුරටත් කැපවී සිටින බවයි.


මේ අතර මන්නාරම වෙඩිතලතිව් සුළං විදුලි බල ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම සමග රජය ඇති කරගෙන තිබෙන එකඟතාව සම්බන්ධ පාරිසරික නිෂ්කාෂණයන් නිකුත් නොවීම මත එම ගිවිසුම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.වී. කරලියද්ද අභියාචනාධිකරණ විනිසුරු වරයා ඉදිරියේදී කැඳවිණි. එහි දී එම සුළං විදුලිබල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමඟ ඇතිකර ගත් ගිවිසුම සම්බන්ධයෙන් රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා 2025 ජනවාරි 16දා එම නඩුව කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණයට දැනුම් දී තිබිණ.

එකී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොනුකර ඇති තවත් වැදගත් නඩු කර කීපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා අභියාචනාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 23 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.වී. කරලියද්ද අභියාචනාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.ඒ අනුව මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති සුළං බලශක්ති ව්‍යාපෘතිය එකිනෙකට පරස්පර පුවත් මවන්නක් වී තිබේ.

 

businessindia 2024 03 217d96f2 f7ec 4dcc a6ad 17ee2715670e Mannar wind park Sd1gUcR
තත්වය මෙසේ තිබිය දී මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් සිය කැමැත්තෙන්ම ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම පසුගිය මාසයේ තීරණය කරන ලදුව ඒ බව ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී තිබේ. ඒ 2025 පෙබරවාරි 25 වන දා ය.මෙය ,ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්, බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිශ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බව ද පවසන අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ දක්වා ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන පහක් පමණ වැය කර තිබෙන බවත් තම ලිපියේ සඳහන් කර ඇත.

 

නමුත් මන්නාරමේ සුළං විදුලි බල ව්‍යාපෘතිය සඳහා අදානි සමාගමට විශේෂ සැලකිලි ලබා දීම අදානි ව්‍යාපෘතියේ විදුලි ඒකකයකට අධික මිලක් ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මන්නාරම සහ පුනරීන් හි අදානි ව්‍යාපෘතියේ සුළං විදුලි මිල ගණන් රටේ අඩුම මිල ලෙස මහජන උපයෝගීතා වෙබ් අඩවියේ සඳහන් වේ. නමුත් මෙම ටෙන්ඩරයේ දී අදානි සමාගම ලන්සු ඉදිරිපත් කොට ඇත්තේ ඒකකයක් ඩොලර් ශත 8ක් වශයෙනි. එය සුළං විදුලි නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව ඉහළ මිල ගණනක් බව පැවසෙයි. 

 
ඒ අනුව මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ප්‍රමුඛතම දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් ආයතනයට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ. මුල් අවස්ථාවේදී හේලීස් ෆෙන්ටන්ස් සමාගම ඉදිරිපත් කළ ලංසුව තාක්ෂණික හේතුවක් මත බැහැර කර තිබුණු අතර පසුව ඔවුන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බලා ඔවුන්ගේ ලංසුව පිළිගැනීමට ටෙන්ඩර් මණ්ඩලය තීරණය කර තිබේ.
 


ඒ අනුව රටට විදුලි පාරිභෝගිකයන්ට වඩාත්ම වාසිදායක ගනුදෙනුව වශයෙන් අඩුම ලංසුව වන ඒකකයක් ඩොලර් ශත 4.65ක හේලීස් ලංසුවට එම ව්‍යාපෘතිය ලබාදීමට තීරණය වී ඇත. මෙම ටෙන්ඩරයේ දී ලන්සු ඉදිරිපත්ව තිබී ඇත්තේ අදානි සමාගම ඩොලර් ශත 8ක්, වින්ඩ් ෆෝස් සමාගම ඩොලර් ශත 4.85 ක් සහ හේලීස් ෆෙන්ටන්ස් සමාගම ඩොලර් ශත 4.65 ක් වශයෙනි.

MixCollage 17 Dec 2024 06 40 PM 3973
ඒ අනුව දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් මීට සම්බන්ධ කර ගැනීම වත්මන් රජයේ ප්‍රගතිශීලීත්වය ඉස්මතු කරන්නක් බව බැලූ බැල්මටම කිව යුතු ය.එහෙත්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ඉන්දිය අගමැති මෝදි සමඟ ඇති කර ගෙන ඇති සෙසු එකඟතාවන් මත එම සුළං බල ව්‍යාපෘතිය අදානි සමාගමට භාර නොදීම සම්බන්ධ ඉදිරි තත්වයක් කෙබඳු වේදැයි දැන්ම කිසිවකුටත් කිව නොහැක. ඒ අනුව අපට කළ හැක්කේ ද රනිල් වික්‍රමසිංහ කරනවාය කියූ කාරියම ය.එනම් රජය කුමක් කරනු ඇත්දැයි බලා හිඳීම ය.


(සටහන | රේණුකා දමයන්ති ගමගේ)

නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...