The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහාචාර්ය සිසිර ජයසූරිය : සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ බුහුමන් ලද ආර්ථික විද්‍යාඥයෙක් | ලයනල් බෝපගේ

T

The Leader Desk

March 6, 2025 • 6:14 AM

මහාචාර්ය සිසිර ජයසූරිය : සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ බුහුමන් ලද ආර්ථික විද්‍යාඥයෙක් | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුහුමන් ලද ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ඔහු 1972 පටන් ඔස්ට්‍රේලියාවේ වාසය කළද, බොහෝ සෙයින් ශ්‍රී ලාංකීය ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.
  • දශක ගණනාවක් පුරා පැවති අපගේ මිත්‍රත්වය ඕස්ට්‍රේලියාවේ දී ශක්තිමත් බවට පත් වූ අතර එහිදී අපි දේශපාලනය, ආර්ථික විද්‍යාව සහ සමාජ සාධාරණත්වය පිළිබඳ බොහෝ සාකච්ඡාවලට සහභාගි වූයෙමු.
  • සිසිර මට ප්‍රථම වරට මුණ ගැසුණේ 1968 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී ය.
  • සිසිර, ‘විරෝධය’ පුවත්පතේ කතුවරයා ලෙස, කම්කරු අයිතීන් සහ ජාත්‍යන්තරවාදය වෙනුවෙන් ගැඹුරු ලෙස පෙනී සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බුහුමන් ලද ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ඔහු 1972 පටන් ඔස්ට්‍රේලියාවේ වාසය කළද, බොහෝ සෙයින් ශ්‍රී ලාංකීය ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.

දශක ගණනාවක් පුරා පැවති අපගේ මිත්‍රත්වය ඕස්ට්‍රේලියාවේ දී ශක්තිමත් බවට පත් වූ අතර එහිදී අපි දේශපාලනය, ආර්ථික විද්‍යාව සහ සමාජ සාධාරණත්වය පිළිබඳ බොහෝ සාකච්ඡාවලට සහභාගි වූයෙමු. පිළිකා රෝගය සමඟ ඔහු කල සටන දිගු හා වේදනාකාරී එකක් වූ නමුත් ඔහු එය අපූර්ව ශක්තියකින් හා ගරුත්වයෙන් යුතුව විඳ දරා ගත්තේය.

සිසිර මට ප්‍රථම වරට මුණ ගැසුණේ 1968 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී ය. විද්‍යාව හැදෑරීමේ සිට ඔහු සිය ජීවිත කාලය පුරාම දැඩි ආශාවෙන් අනුගමනය කළ විෂයය වූ ආර්ථික විද්‍යාව වෙත සංක්‍රමණය වී සිටියේය. ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව පවත්වන ලද ශිෂ්‍ය විරෝධතාවයක දී අපගේ ආරම්භක හමුවීම සිදු වූ අතර එහිදී ඔහුගේ වාග් චාතුර්යය සහ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව ඔහු සතුව තිබුන දැඩි ග්‍රහණය කැපී පෙනුනේය.

 

sisira jayasuriya
ඔහු පසුව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සහ සමාජවාදී සමානතා පක්ෂය දක්වා පරිණාමය වූ 'විරෝධය' (විරෝධ නය) කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් වූ අතර, මම කොමියුනිස්ට් පක්ෂයේ (පීකිං පිල) සමඟ පෙල ගැසී සිටි සමාජවාදී සංගමයට සම්බන්ධව සිටියෙමි. වෙනස් මාක්ස්වාදී සම්ප්‍රදායයන්ට අයත් වුවත් අපි, ධනේශ්වර සූරාකෑමට අභියෝග කිරීමේදී පොදු කැපවීමක් බෙදා හදා ගෙන සිටියෙමු.

අපගේ ශිෂ්‍ය අවධියේ දී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් විරෝධතා සහ මතවාදී අරගලවලට මං පාදමින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය සැලකිය යුතු පෙරළියකට භාජනය විය. සිසිර, ‘විරෝධය’ පුවත්පතේ කතුවරයා ලෙස, කම්කරු අයිතීන් සහ ජාත්‍යන්තරවාදය වෙනුවෙන් ගැඹුරු ලෙස පෙනී සිටියේය. අපේ කණ්ඩායම් බොහෝ විට දැඩි ලෙස වාද විවාදවල යෙදෙන අතර, කණ්ඩායම් දෙකම රැඩිකල් වෙනසක් අපේක්ෂා කළෙමු. පසුව සංස්ථාපිත දේශපාලනය වැළඳ ගත් ඇතමුන් මෙන් නොව සිසිර සිය ප්‍රතිපත්තිවල නොසැලී සිටියේය.

ඕස්ට්‍රේලියාවට පැමිණි පසු, ඔහු පශ්චාත් උපාධි අධ්‍යාපනයේ නිරත වූ අතර පසුව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය, ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලය, මෙල්බර්න් විශ්ව විද්‍යාලය සහ මොනෑෂ් විශ්ව විද්‍යාලය ද ඇතුළු කීර්තිමත් ආයතනවල විද්වත් තනතුරු හෙබවීය. අනුභූතික ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ ප්‍රවීණත්වය පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර වූ අතර ඔහු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන වැනි ගෝලීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. ඔහුගේ විද්වත් සාර්ථකත්වය තිබියදීත්, ඔහු සතු මූලික සාරධර්ම නොවෙනස්ව පැවතුනි - නව ලිබරල්වාදය පිළිබඳව විවේචනාත්මක වූ ඔහු සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වී සිටියේය.

 


2004 දී මගේ පවුල මෙල්බර්න් නුවර පදිංචියට පැමිණි පසු අපගේ මිත්‍රත්වය වඩා ගැඹුරු බවට පත් විය. ගෝලීය ආර්ථික ප්‍රවණතා, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ධනවාදයේ විකාශනය වන අභියෝගයන් පිළිබඳව අපි නිතර සාකච්ඡා කළෙමු. පද්ධතිමය අසමානත්වයන් විසින් මෙහෙයවනු ලබන අර්බුද පුරෝකථනය කරමින් ගෝලීය මූල්‍ය පද්ධතියේ ප්‍රතිවිරෝධතා විශ්ලේෂණය කිරීමේ දී සිසිර විශේෂයෙන් තීක්ෂ්ණ බුද්ධියකින් යුක්තව කටයුතු කළේය. කොමියුනිස්ට් ප්‍රකාශනය විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා නිර්දේශ පොතක් ලෙස හඳුන්වා දෙමින් ඔහු ආර්ථික අධ්‍යාපනයේ දී මාක්ස්වාදී දෘෂ්ටි කෝණ ඇතුළත් කිරීම වෙනුවෙන් දැඩි උද්‍යෝගයෙන් යුතුව පෙනී සිටියේය.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඔහු තුල පැවතුන නො සැලෙන කැපවීම බොහෝ විට ඔහුව හෙලා දැක්වීමේ ඉලක්කයක් බවට පත් කළ නමුත් ඔහු එයින් නොසැලී සිටියේය. ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ආන්තික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඔහු ජාතිවාදයට සහ ස්වෝත්තමවාදය ට දැඩි ලෙස විරුද්ධ වූයේය. දෙමළ කතා කරන ජනතාවගේ අයිතීන් සහ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරගල වෙනුවෙන් ඔහු දැක්වූ සහයෝගය ඔහුගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය තවදුරටත් විදහා දැක්වීය.

ඔහුගේ සෞඛ්‍යය පිරිහෙමින් තිබියදීත්, සිසිර ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සහ ගෝලීය ආර්ථික අසාධාරණයන් පිළිබඳව සාකච්ඡා කරමින් ඔහුගේ ශාස්ත්‍රීය කටයුතු නොකඩවා කරගෙන ගියේය. ඔහුගේ අවසාන කාලය ඉමහත් වේදනාවකින් පසු වුන නමුත්, සිය විශ්වාසයන්ට අනුකූලව ජීවිතය ගත කළ බවට ඔහු සතුව තිබූ අවබෝධය ඔහු සැනසීමට පත් කලේය. බලය දරා සිටින තනතුරු වෙත අන් අයව රැගෙන ගිය අතරමග සම්මුති ප්‍රතික්ෂේප කල ඔහු ඒ වෙනුවට අවංකත්වයේ සහ විරෝධය දැක්වීමේ ප්‍රකාශකයෙක් ලෙස සිටීම තෝරා ගත්තේය.

 



ඔහුගේ උරුමය ඔහුගේ ශාස්ත්‍රීය දායකත්වයෙන් ඔබ්බට විහිදී යයි - එය, ඔහුගේ උපදෙස් ලද බොහෝ සිසු සිසුවියන්, ඔහුගේ ආභාෂය ලත් ක්‍රියාකාරීන් සහ ඔහුගේ වැඩ කටයුතු තුළින් ඔහුගේ ස්පර්ශය ලද අපමණක් ජීවිත තුළ වාසය කරයි.

ඔහුගේ වියෝව ඉමහත් අහිමි කිරීමකට මඟ පාදා ඇති නමුත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද අදහස් සහ ඔහු ආභාෂය ලබා දුන් ජීවිත තුළ ඔහුගේ උරුමය නොනැසී පවතී. ඔහු හුදෙක් විද්වතෙක් පමණක් නොව යුක්තිය වෙනුවෙන් සටන් කරන්නෙකු, උපදෙස් ලබා දෙන්නෙකු සහ සැබෑ සහෝදරයෙක් වූයේය.

යුක්තිය සඳහා ඔබ තුල පැවතුන නොසැලෙන කැපවීම, ඔබේ බුද්ධිමය දැඩි බව සහ ඔබේ ගැඹුරු මනුෂ්‍යත්වය අප හැම නොකඩවා ප්‍රබෝධමත් කරවනවා ඇත. ඉතින් සිසිර, ඔබ සාමයේ සැතපෙන්න.

ඔහුගේ බිරිඳ ශ්‍රීනි සහ ඔවුන්ගේ දියණිය ටානියා, ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්, මිතුරන් සහ සහෘදයන් වෙත අපගේ හෘදයාංගම ශෝකය පල කර සිටින්නෙමු.

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව

lionel.bopage@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...