The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා; පහුරුස්සා

T

The Leader Desk

March 7, 2025 • 6:22 AM

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා; පහුරුස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය.
  • ඒ කාලයේ අපේ නිවෙස්වලට මඳක් නොදුරින් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වූ පෙදරේරුවෙක් සිටියේ ය.
  • පසුව දැනගන්නට ලැබුණේ ඇය කන්ද උඩරට පිටිසර ගමක තරුණියක බව ය.
  • එම පෙදරේරුවා සිය ගම්මානයේ පෙදරේරු වැඩට පැමිණ සිටියදී තමන් ඔහු සමඟ සාමාන්‍ය දැන හැඳුනුම්කමක් ඇතිකරගත් බවත්, පසුව ඔහුගේ වයස, තරාතිරම ආදී කිසිත් නොතකා ඒ දැන හැඳුනුම්කම ආදරයකට පෙරලුණු බවත් ඉනික්බිතිව ඒ තරුණිය අපේ ගමේ ජීවත් වූ සම වයසේ තරුණියන් හා කියා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය.

ඒ කාලයේ අපේ නිවෙස්වලට මඳක් නොදුරින් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වූ පෙදරේරුවෙක් සිටියේ ය.

ඔහුගේ අසීමාන්තික බේබදුකම නිසා බිරිඳ දරු මල්ලන්ද කැටුව මහගෙදරට ගොස් සිටි බැවින් ඔහු තම පැරණි නිවහනේ ජීවත් වූයේ හුදකලාවේ ය. ඒ වනවිට මැදි විය ද ඉක්මවා සිටි ඔහු එක් රාත්‍රියක තම පාලු නිවහනට සුරූපී තරුණියක රැගෙන විත් තිබිණි. පසුදා පහන් වනවිට ඒ පුවතින් මුළු ගමම ගිනි ගත්ත ද ඉන්පසු තරුණිය එහිම නතර වූ බැවින් ඒ පුවතේ උණුසුම කෙමෙන් පහවී යන්නට විය. පසුව ගම්වාසීහු ඒ තරුණිය අර පෙදරේරුවාගේ බිරිඳ වශයෙන් පිළිගෙන ඇය හා සුහදතාවයක් පවත්වන්නට තරම් කාරුණික වූහ. පසුව දැනගන්නට ලැබුණේ ඇය කන්ද උඩරට පිටිසර ගමක තරුණියක බව ය.

 

images 98

එම පෙදරේරුවා සිය ගම්මානයේ පෙදරේරු වැඩට පැමිණ සිටියදී තමන් ඔහු සමඟ සාමාන්‍ය දැන හැඳුනුම්කමක් ඇතිකරගත් බවත්, පසුව ඔහුගේ වයස, තරාතිරම ආදී කිසිත් නොතකා ඒ දැන හැඳුනුම්කම ආදරයකට පෙරලුණු බවත් ඉනික්බිතිව ඒ තරුණිය අපේ ගමේ ජීවත් වූ සම වයසේ තරුණියන් හා කියා තිබිණි. ඒ සම්බන්ධයට දෙමාපියන් දැඩි සේ විරුද්ධ වූ නිසා ඔහු සමඟ රහසේ පලා ආ බව කී තරුණිය ඒ හිතුවක්කාර ක්‍රියාව මහත් අනුවණකමකැයි පසුව සිතුණු බවද තම සම වයසේ තරුණියන් හා පවසා ඇත. ඊට බොහෝ විට හේතු වූයේ කැන්දාගෙන ආ මුල් දින දෙක තුළ ‘උපාසක බළල්’ චරිතයක් රඟපෑ ඒ පෙදරේරුවා පසුව යළි සුපුරුදු බේබදු චර්යාවට යොමු වීම ය. ඒ අතරේ අලුත් මනාලියගේ අගය ද අඩු වී සුළු කරුණක දී වුව ඇයට පහරදීම ඔහු පුරුද්දක් කරගෙන තිබිණි.

z6fmfq8USQ2RPq WJzaPKQ

ඔය අතරේ මේ තරුණිය සම්බන්ධයෙන් මුලු ගමම මවිත කරන සිදුවීමක් අසන්නට ලැබිණි. එනම් රාත්‍රී කාලයේ පැමිණෙන කිසිවෙකු ඇගේ පිට ප්‍රදේශය සූරා දමා යන බව ය. මෙය බොහෝ විට ඇගේ බේබදු සැමියා පෙදරේරු වැඩ සඳහා දුරබැහැර ගොස් සිටියදී සිදුවූ අතර මුලදී බොහෝ දෙනෙකු සැක කළේ මෙය ඇගේ තරුණ බව හා රූමත් බව මුල්කොට ඇයට අතවර කරනු රිසින් පැමිණි සල්ලාලයෙකුගේ ක්‍රියාවක් බව ය.


එහෙත්, තමන් රාත්‍රියේ නිවසේ ඉදිරිපස සහ පිටුපස දොරගුළු දමා වසා සිටින අතරේ පිටස්තරයෙකුට නිවසට ඇතුළු වීමට කිසිඳු ඉඩක් නොමැති බවට ඇය ගම්මුන් හමුවේ සහතික වූවා ය. ඒ කෙසේ හෝ හැට්ටයෙන් නිරාවරණය වූ ඇත් දළ පැහැයෙන් යුතු ඇගේ පිට පෙදෙසේ කටු ඉපලක ස්වරූපයෙන් රත් පැහැයෙන් සිත්තම් වී තිබූ සීරීම් ලකුණු මට හොඳින් මතක ය.

පසුව මෙය කිසියම් අමනුෂ්‍ය දෝෂයක් යැයි සැක කළ ගම්මු එය දුරලීම පිණිස ඇයට ගුප්ත සෙත් ශාන්තියක් කිරීම පිණිස මිදෙල්ලවිට නම් යාබද ගමින් ‘ඒබරන්’ නම් ප්‍රසිද්ධ කපු මහතා ගෙන්වා ගත්හ.

Shaman

‘‘ඕකා අමනුස්සයෙක්! ඕකාට කියන්නේ පහුරුස්සා කියලා. පරුස්සා කියලත් කියනවා. හැබැයි ඕකාට කරන්න පුළුවන් රෑට කාගේ හරි ළඟට ඇවිත් පුළුවන් තරම් පිට හූරන එක විතරයි. ඒත් ඉතින් දැන් උන්දැගේ සෙල්ලම් කම්මුතුයි.’’ එම තරුණියට කළ ශාන්ති කර්මය නිමාවේ පෙදරේරු නිවස වටා එක්රොක් වී සිටි තිහ, හතළිහක් වන ගම්මුන්ට ඇසෙන සේ ඒබරන් කපු මහතා කීය. ඔහු කී ලෙසින්ම අපේ ගමේ බේබදු පෙදරේරුවා සමඟ දීග ආ කන්ද උඩරට සුරූපී තරුණියට ඉන්පසු පහුරුස්සාගෙන් කිසිදු අතවරයක් සිදුවූ බවක් මට මතක නැත.


නමුදු ඊට පසු කලෙක හේවාහැට ප්‍රදේශයේ විහාරස්ථානයකද දී එහි විහාරාධිපති හිමියන් හඳුන්වා දුන් අලුත විවාහ වූ තරුණයෙකු මා හා කියා සිටියේ තම බිරිඳ රාත්‍රී කාලයට නිවසින් පිටත ‘එළිපහලියට’ ගොස් නැවත නිවසට පැමිණෙන විට පිටේ සීරීම් තුවාල දක්නට ලැබෙන බව ය. නමුදු ඒ තරුණ බිරිඳ පිටස්තරයෙකු වන මා හමුවේ ඒ පිළිබඳව විස්තර කිරීමට ලැජ්ජා වූ බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමසීමට මට අවකාශ නොලැබිණි.

 

Females sunburned back

මේ අතර 2015 වසරේ ජූනි මාසයේ තඹුත්තේගම රාජපක්ෂ ගමේ ගැමියන් කීපදෙනෙකුම එක්වරම මෙම අත්දැකීමට මුහුණ දුන් බව දැනගත් වහාම මම එහි ගොස් එම සිදුවීම් දාමය පිළිබඳව ද තොරතුරු විමසා දැනගතිමි. ඔවුන් මේ පහුරුස්සා යන ජන විශ්වාසය පිළිබඳව කලින් අසා නොතිබුණු මුත් මෙය කිනම් හෝ අමනුෂ්‍යයකු ගේ ක්‍රියාවක් බව තදින්ම විශ්වාස කළහ.

නමුදු මෙම පහුරුස්සා හෝ පරුස්සා යනු අදෘශ්‍යමාන යකෙකු නොව මිනිසුන්ගේ මානසික ගැටුම්වලම එක් දර්ශකයක් බව පසුකලෙක මා පැහැදිලි කරගතිමි. කිනම් හෝ හේතුවක් මත තම සිත තුළ පැළපදියම් වන අනාරක්ෂිත බව හමුවේ එය පිටුදැකීමට සමහරෙක් විවිධ උප විඥානගත ක්‍රියාවන්ට පෙළඹෙති. ඒ සඳහා මා කුඩා කාලයේ අත්දුටු පෙදරේරු බිරිඳ කදිම නිදසුනකි.

7878110 HSC00923 7

දෙමාපියන් සමීපයේ සිටියදී ආරක්ෂිත වටපිටාවක ජීවත් වූ ඇය පෙදරේරුවා හා විවාහ වීමෙන් පසු පැහැදිලි අනාරක්ෂිත බවකට පත්වන්නට ඇත. විශේෂයෙන් ඔහුගේ අධික බීමත්කමත්, කායික මානසික තාඩන පීඩන හමුවේ ඇතිවන හුදකලා භාවයටත් පිළියම් වශයෙන් අන්‍යයන්ගේ අවධානය දිනාගැනීමේ උප විඥානගත ආශාවක් ඇය තුළ හටගෙන තිබේ. ඒ අනුව ඒ හැඟීම තීව්‍රව දැනුණු රාත්‍රි යාමයේදී ඇයට පීඩාකාරී ලෙස පහුරුස්සා හෝ පරුස්සා ලෙස කටයුතු කරන ලද්දේ ඇගේම ඇඟිලි තුඩු බව මට වටහාගත හැකි වූයේ ඉන් බොහෝ කලකට පසුවය. අසාමාන්‍ය චර්යාවන් ( Abnormal behaviors) වශයෙන් සැළකෙන මේවා ඇතැම් විට මානසික රෝග ලක්ෂණ වීමටද පුළුවන.


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...