The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආදරය පූජනීයයි ද? | ඉන්දු පෙරේරා

T

The Leader Desk

March 9, 2025 • 7:40 AM

ආදරය පූජනීයයි ද? | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනෝ චිකිත්සකවරුන් වෙත උපදේශන ලබාගැනීම සඳහා පැමිණෙන අයගේ ගැටලු පිළිබඳව විමසා බලන විට මෙවැනි ආදරයක් ඔවුන් හඳුනාගෙන ඇති බවක්වත් වැටහෙන්නේ නෑ.
  • "අපි මෙච්චර අවුරුදු ගණනක් ආදරය කරලා විවාහ වුණේ" කියලා කියන එම කාන්තාවන් සහ පිරිමින්ගෙන් "ඒ කාලේ තිබුණු ආදරය දැන් කොහෙද ගියේ?" කියලා ඇහුවොත් ඒ අයට දෙන්න පිළිතුරකුත් නෑ. ඇත්තටම හිතලා බැලුවොත් සැබෑ ආදරය කියන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, ගෞරවය සහ ඔවුනොවුන් පිළිබඳව ඇති අවබෝධයයි.
  • මේ කරුණු තුන පදනම් කරගෙන දෙදෙනෙක් විතර ඇතිවෙන කොන්දේසි විරහිත සම්බන්ධතාවයක් ලෙස ආදරය හඳුන්වන්න පුළුවන්.
  • නමුත් එවැනි සම්බන්ධතාවයක් කියන්නේ සිතට හරි සහනයක් සතුටක් ඇති කරවන දෙයක්. ආදරයක් ඇතිවීම සඳහා මුලින්ම බලපාන්නේ ආකර්ෂණය.
අකුරු ප්‍රමාණය (Font Size):
       
මනෝ චිකිත්සකවරුන් වෙත උපදේශන ලබාගැනීම සඳහා පැමිණෙන අයගේ ගැටලු පිළිබඳව විමසා බලන විට මෙවැනි ආදරයක් ඔවුන් හඳුනාගෙන ඇති බවක්වත් වැටහෙන්නේ නෑ. "අපි මෙච්චර අවුරුදු ගණනක් ආදරය කරලා විවාහ වුණේ" කියලා කියන එම කාන්තාවන් සහ පිරිමින්ගෙන් "ඒ කාලේ තිබුණු ආදරය දැන් කොහෙද ගියේ?" කියලා ඇහුවොත් ඒ අයට දෙන්න පිළිතුරකුත් නෑ. 
 
ප්ලැටොනික ප්‍රේමයක මිහිර ඔබත් විඳලා තියෙනවාද?
ඇත්තටම හිතලා බැලුවොත් සැබෑ ආදරය කියන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, ගෞරවය සහ ඔවුනොවුන් පිළිබඳව ඇති අවබෝධයයි. මේ කරුණු තුන පදනම් කරගෙන දෙදෙනෙක් විතර ඇතිවෙන කොන්දේසි විරහිත සම්බන්ධතාවයක් ලෙස ආදරය හඳුන්වන්න පුළුවන්. අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය ගෞරවය මේ කරුණු තුන තමයි ආදරයට පදනම් වෙන්නේ. කොන්දේසි විරහිත සම්බන්ධතාවයක් කියන්නේ එකිනෙකා කෙරෙහි නීති දමා ගැනීමකින් තොරව පවත්නා ආදරයක්. නිදසුනක් විදිහට "ඔයා මේ විදිහට කළේ නැත්නම් මං ආදරේ නෑ. අපේ සම්බන්ධය නතර කරනවා" වැනි දෙයක් එක්කෙනෙක් අනෙකාට කියනව නම් එතැන තියෙන්නේ කොන්දේසියක්. ඉහත කී අවබෝධය සහ විශ්වාසය තුළ එකිනෙකාට කොන්දේසි දමා ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ. 
KoskelaMED 
හැමෝම මේ විදිහට ආදරය කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කරන්න ඕනෙ කියලා නීතියකුත් නෑ. නමුත් එවැනි සම්බන්ධතාවයක් කියන්නේ සිතට හරි සහනයක් සතුටක් ඇති කරවන දෙයක්. 
       
ආදරයක් ඇතිවීම සඳහා මුලින්ම බලපාන්නේ ආකර්ෂණය. මුලින්ම ඇතිවෙන ඒ ආකර්ෂණය පසුව ටිකෙන් ටික වර්ධනය වෙනවා. මේ විදිහට දෙදෙනකු අතර ආදර සම්බන්ධතාවයක් පවතිනවා නම් ඒක ඒ දෙදෙනාගේ ම සිත්වලට ඉතා හොඳින් දැනෙන්න ඕනේ. ඒ වගේම ඉතාම වැදගත් වන්නේ මේ සම්බන්ධතාවය නිසා දෙදෙනා තුළම හොඳ මෝටිවේෂන් එකක් ඇතිවීමයි. මොනයම් දෙයක් නිසා හෝ අප තුළ මෝටිවේශන් එකක් ඇතිවෙනවා නම් එයම අපට අපේ වැඩ කටයුතු ඉතා හොඳින් කරගෙන යන්නට, සතුටින් සිටීමට, සැහැල්ලුවෙන් සිටීමට ඉවහල් වෙනවා. ආදරය නිසා ඇතිවෙන මෝටිවේෂන් එක අනිත් හැමදේටම වඩා ප්‍රබලයි. මේ නිසා මානසිකවද වඩාත් ශක්තිමත්භාවයක් ඇතිවෙනවා. ජීවත් වෙන්න ඔක්සිජන් වගේ දෙයක් තමයි මේකත්.
 
Oxytocin Love Hormone Brain Concept
       
නමුත් මෙහෙම තත්වයක් ඇති වෙන්නේ දෙදෙනා තුළම දෙදෙනා කෙරෙහි ඉහත කී ආකාරයේ සම්බන්ධයක් පවතින විටයි. අපි මේ ගැන තව ටිකක් පැහැදිලි කර ගනිමු. 
 
A සහ B අතර සම්බන්ධතාවයක් තිබෙනවා කියා සිතන්න. A, B ට ඉතා හොඳින් ආදරය කරනවා. එයා ආදරේ කළත් නැතත් A, B ට ආදරේ දෙනවා. හැම විටම පහසුව සලසනවා. එයාව සතුටු කරන්න පුළුවන් හැමදේම කරනවා. කොටින්ම Bගෙ සතුට තමයි A ගෙ සතුට වන්නේ. B එම ආදරය ලබා ගන්නවා. නමුත් A, B වෙනුවෙන් දක්වන කැපවීම, B තුළ දකින්න නෑ. B සතුටු වන්නේ A ට ආදරය දෙනවාට වඩා A ගෙන් ලබන ආදරයෙන්. තමන් A ට ආදරෙයි කියලා කියනවාට වඩා තමන්ට A ආදරෙයි කියලා කියනවා අහන්නයි B කැමති. මෙවැනි අවස්ථාවකදී බොහෝ විට සිදුවන්නේ A, B ගෙන් ආදරය ලබනවාට වඩා A, B වෙනුවෙන් පාවිච්චි වීමයි. සැබෑ ආදරය තුළ ආදරය දීම වගේම ලැබීමත් සිදු වෙනවා. ඒ නිසා ආදරය කිරීම තුළ පෙරළා අනෙකාගෙන් ආදරය ලැබීම අපේක්ෂා කරන්නෙ නෑ කියලා දෙයක් නෑ. එහෙම නැති වුණොත් සම්බන්ධතාවයක් සාර්ථක වෙන්නෙත් නෑ. 
55593625c16154907aba1bb61f75fe14 couple date at museum purple sweaters l
 
එයාගේ සතුට තමයි මගේ සතුට කියලා තමන්ගේ සතුට අමතක කිරීම තුළ සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අසීරු විය හැකියි. මොකද, එම කැපවීම කරන පුද්ගලයා යම් දවසක එයින් හෙම්බත්වෙලා එයාටම ඒක එපා වෙන්නත් පුළුවන්. නමුත් අනිත් කෙනා තුළත් ඒ විදිහටම කැපවීමක් තියෙනවා නම් එවිට ඒ දෙදෙනා අතර සම්බන්ධතාවය ඉතා සාර්ථක වේවි. ඒ නිසා සම්බන්ධතාවයක් සාර්ථක වෙන්න, හැම විටම තමන්ගේ අවශ්‍යතාවය වගේම, අනෙකාගේ අවශ්‍යතාවනුත් හඳුනා ගත යුතුයි. 
       
සැබෑ ආදරයක තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි චිත්තවේගීය ආරක්ෂාව. එහි අදහස තමයි විනිශ්චයට බයක් නැතිව විවෘතව සහ අවංකව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව. ඒක තවදුරටත් සරලව කිව්වොත්, " මම මෙහෙම කිව්වම එයා කවදාවත් මං කියන මේ කතාව උලුප්පා දක්වමින් මට ඉමෝෂනල් ඩැමේජ් එකක් කරන්නෙ නෑ" කියන විශ්වාසය. මේක ටිකක් අසීරු දුර්ලභ දෙයක්. නමුත් කවුරුන් හෝ යුවළක් මේ තත්ත්වයට පත්වීම තුළ එතැන පවතින්නේ ස්ථිරසාර ආදරයක්. 
 
tru456u756
අන්‍යෝන්‍ය ගෞරවය කියන්නේ අනිත් කෙනාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම. පුද්ගලයන් ලෙස අපි දවසින් දවස සිතිවිලිවලින් වර්ධනය වෙනවා. ඒ වගේම කොයිතරම් බැඳීමක් තිබෙන දෙදෙනෙකු තුළ වුවත් තම තමන් කැමති දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කැමති දේවල්වලට ගරු කිරීම සහ ඊට ඉඩ දීමට අනෙකාට හැකි විය යුතුයි. ඒ කියන්නේ හැම කෙනෙකුටම ස්වාධීනව තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාවක් සහ ඊට නිදහසක් තිබිය යුතුයි. ඒ නිදහස තුළ තමන්ගේ සීමාවන් හඳුනා ගැනීමත්, තමන් ආදරය කරන පුද්ගලයාගේ ගෞරවය සහ විශ්වාසය ආරක්ෂා කිරීමත් තමන් ට අයිති දෙයක්. මේ ලෙස ආදර සම්බන්ධතාවයකදී හැමවිටම දෙදෙනා ම ඔවුනොවුන්ගේ පෞද්ගලික වර්ධනයට ඉඩදීමත් එය අගය කිරීමත් සිදුවීම හරිම වැදගත් දෙයක්. මේ තත්ත්වය ඇති වන්නේ ගැඹුරු ආදරයක් තුළ යි. 
234534
 
මේ වගේ ගැඹුරු ආදරයක් එකිනෙකා තුළ තිබෙන විට ඔවුන්ට මානසික වශයෙනුත් දැඩි ආරක්ෂිත බවක් දැනෙනවා. "මොන දේ වුණත් එයා මා එක්ක හිටගන්නවා" කියන හැඟීම තුළ තියෙන්නේ ම පුදුමාකාර ආරක්ෂිත බවක්. 
       
මෙවැනි තත්ත්වයක් දක්වා සම්බන්ධයක් වර්ධනය වන්නට අවබෝධය වගේම ඉවසීමත් හරිම වැදගත්. මෙහිදී ඉවසීම කියලා කියන්නේ අනෙකාගෙන් වෙන ඕනෑම හිරිහැරයක් කරදරයක් ඉවසීම නෙවෙයි. දුර්වලකම් අඩුපාඩු හඳුනාගෙන ඒවා හදාගන්න අනෙකාට ඉවසීමෙන් උදව් කිරීම වැදගත්. දෙදෙනා අතර තිබෙන මේ සම්බන්ධතාවය නිසා පුද්ගල ජීවිතය වගේම වෘත්තිය ජීවිතයත් වර්ධනය විය යුතුයි. 
 
ක්‍රමයෙන් අඩුවන විවාහ: 'මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න  කැමතියි'
       
සැබෑ ආදරය කියන්නේ නීතියෙන් අයිති කර ගැනීම ම නොවෙයි. එවැනි අයිතියක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. "එයා මගේ" කියලා හිතන්න පුළුවන් වෙන්න ඕන තමයි. නමුත් "එයා මට" කියලා හිතාගෙන තමන් සතු කරගෙන පාවිච්චි කිරීමක් සිදුවිය යුතු නෑ. මේ නිසයි කිව්වේ දෙදෙනාම දෙදෙනාට කැපවන අතරේ, දෙදෙනාම ⁣දෙදෙනාට ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ දෙන්න තරම් ලොකු අවබෝධයක් ඔවුන් අතරේ තිබිය යුතුයි කියලා. 
       
මේ වගේ හැඟීම් ඇතිකර ගන්න බොහෝ විට තරුණ වියේදී අසීරු වෙන්න පුළුවන්. ඊට හේතුව මේ තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් ඔවුන් තුළ ඇතිවෙන්න නම් දෙදෙනාම හැඟීම්වලින් පරිණත විය යුතුයි. නමුත් තරුණ අය අතරේ මෙවැනි පරිණත වූ හැඟීම් නැහැයි කියලාම කියන්නත් බෑ. මේකට කියන්නේ චිත්තවේගීය පරිණතභාවය කියලා. 
 
timeless relationship advice that can help you to achieve an old school love 1
අනිත් කාරණය තමයි මේ වගේ චිත්තවේගීය පරිණතභාවයක් ඇති සැබෑ ආදරය තාවකාලික ආකර්ෂණයක් හෝ තාවකාලික හැඟීමක් එක්ක ඇතිවන දෙයක් නොවෙයි. නොයෙකුත් ගැටලුවලට, අර්බුදවලට, දුෂ්කරතාවලට මුහුණ දෙමින්, සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඒවත් එක්කම තෙම්පරාදු වෙමින් දෙදෙනාම එක්ව යන ගමනකදී කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් ඇතිවෙන දෙයක් මේක. මේ විදිහට ආදරය කියන හැඟීම දවසින් දවස කාලයත් සමග පෝෂණය වෙනවා. මේක වෙහෙසකර දෙයක් කියලා කෙනෙකුට හිතෙන්න බැරිකමක් නෑ. නමුත් ක්ෂණිකව ඇතිවන තාවකාලික ආදරයක් වගේ නෙවෙයි මෙලෙස කලක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් ලියලා වැඩෙන ආදරයක් තුළ අන්‍යෝන්‍ය බැඳීම, ගෞරවය, අවබෝධය සහ විශ්වාසය ද ඒ හා සමගම වර්ධනය වෙනවා. යහපත් සහ හොඳ දේවල් ලැබෙන්නේ වෙහෙසකර වූ අත්දැකීම් රාශියක් එක්කයි. අනික් හැමදේටම වගේ සැබෑ ආදරයකටත් ඒක පොදුයි. ඒකට පූජනීය ආදරය කියලා කියන්නත් පුළුවන්.
 
උපදෙස් ප්‍රවීන මනෝ චිකිත්සක 
ආචාර්ය සුරංග අමරකෝන් 
 
සටහන : ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...