The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උපත් පාලන පෙති භාවිතය කාන්තාවන්ට ඇත්තට ම වැඩි කාංසා තත්වයක් ඇති කරනවා ද?

T

The Leader Desk

March 9, 2025 • 8:57 AM

උපත් පාලන පෙති භාවිතය කාන්තාවන්ට ඇත්තට ම වැඩි කාංසා තත්වයක් ඇති කරනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ තරුණියන් ලෙස ම සාරා ඊ හිල් ද ඇගේ නව යොවුන් වියේ අවසන් කාලයේ මෙන් ම සහ ඇගේ විසි ගණන්වලින් වැඩි කාලයක් උපත් පාලන පෙති භාවිත කළා ය.
  • "මම ඒ ගැන දෙපාරක් හිතුවේ නෑ," යැයි ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි පල්ලියට අනුබද්ධ ආයතනයක් වන ටෙක්සාස් ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලයේ පරිණාමීය මනෝවිද්‍යාව උගන්වන පර්යේශිකාවක් වන හිල් පවසයි.
  • උපත් පාලන පෙති ගැනීම ආරම්භ කර වසර 12 කට පසු, ඇය උපත් පාලන ක්‍රම මාරු කළ විට පමණක් ඇයට යම් අවබෝධයක් ඇති විය.
  • "මගේ ජීවිතයට වඩාත් දීප්තිමත් සහ සිත් ඇදගන්නාසුළු බවක් දැනුණා, හරියට මම 2D කළු-සුදු චිත්‍රපටයකින් එළියට ඇවිත් සම්පූර්ණ වර්ණ, 3D, අර්ථයෙන් පිරුණු යථාර්ථයකට ගියා වගේ," හිල් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බොහෝ තරුණියන් ලෙස ම සාරා ඊ හිල් ද ඇගේ නව යොවුන් වියේ අවසන් කාලයේ මෙන් ම සහ ඇගේ විසි ගණන්වලින් වැඩි කාලයක් උපත් පාලන පෙති භාවිත කළා ය.

"මම ඒ ගැන දෙපාරක් හිතුවේ නෑ," යැයි ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි පල්ලියට අනුබද්ධ ආයතනයක් වන ටෙක්සාස් ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලයේ පරිණාමීය මනෝවිද්‍යාව උගන්වන පර්යේශිකාවක් වන හිල් පවසයි.

උපත් පාලන පෙති ගැනීම ආරම්භ කර වසර 12 කට පසු, ඇය උපත් පාලන ක්‍රම මාරු කළ විට පමණක් ඇයට යම් අවබෝධයක් ඇති විය. "මගේ ජීවිතයට වඩාත් දීප්තිමත් සහ සිත් ඇදගන්නාසුළු බවක් දැනුණා, හරියට මම 2D කළු-සුදු චිත්‍රපටයකින් එළියට ඇවිත් සම්පූර්ණ වර්ණ, 3D, අර්ථයෙන් පිරුණු යථාර්ථයකට ගියා වගේ," හිල් පවසයි.

hterye5464y56
ගිලින පෙති මගින් උපත් පාලනය කිරීමේ ඇගේ අත්දැකීම්, එයට බලපාන විද්‍යාත්මක සාධක අධ්‍යනය කිරීමට සහ 2019 දී "How the Pill Changes Everything" නම් පොත ප්‍රකාශයට පත් කිරීමට ඇයව පොලඹවන ලදී.

මෑත වසරවලදී, බොහෝ කාන්තාවන් උපත් පාලන පෙතිවල අතුරු ආබාධ, විශේෂයෙන් ඔවුන්ගේ මනෝභාවයන් සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇති විය හැකි බලපෑම් ගැන සැලකිලිමත් වී ඇත. ඒ සම්බන්ධයෙන් සැබවින් ම වර්ධනය වන ප්‍රතිවිරෝධයක් පවතින අතර, #quittingbirthcontrol වැනි හෑෂ්ටැග් සමාජ මාධ්‍යයේ මිලියන ගණනක් නරඹා තිබීමෙන් එය වඩාත් තහවුරු වේ. උපත් පාලන පෙත්ත මෑතක දී මුහුණ දුන් විරෝධයට හේතුව මෙයින් තරමක් දුරට පැහැදිලි කෙරෙයි.

බොහෝ දියුණු රටවල ඖෂධ නිර්දේශ කරගැනීමේ සංඛ්‍යා පහත වැටෙමින් පවතී: එංගලන්තයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා වාර්තා කළේ 2020-2021 දී 39% ක් වූ පෙති භාවිත කරන උපත් පාලන ක්‍රම භාවිතය 2021-2022 දී 27% දක්වා පහත වැටී ඇති බව ය. මේ අතර, ඇමරිකාවේ උපත් පාලන පෙති භාවිතා කරන්නන් 2002 දී 31% සිට 2017 සහ 2019 අතර 24% දක්වා පහත වැටී ඇති අතර, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව 2006-2016 සහ 2008-2016 අතර පෙති භාවිතය පිළිවෙලින් 23% සිට 11% දක්වා අඩු වී ඇති බව වාර්තා කරයි.

ගැබ් නොගන්න SEX කරන්න - Faculty of Sex

 

නීත්‍යානුකූල ගැටලු සාකච්ඡා කිරීමට අමතරව, සමාජ මාධ්‍යයේ ජනප්‍රිය පුද්ගලයින් උපත් පාලන පෙතිවල මානසික සහ ශාරීරික යන දෙපැත්තේ ම අතුරු ආබාධ, පිළිබඳව වැරදි තොරතුරු ද පතුරුවා හරිනු ලැබ තිබේ. ඒවාට වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක් නොතිබිය හැකි වුවද, එක්සත් රාජධානියේ මෑත කාලීන ගබ්සා කිරීම් වැඩිවීමට හේතුවිය හැකි යැයි සමහර විශේෂඥයින් විශ්වාස කරන ප්‍රවණතාවයක් වන, උපත් පාලන ක්‍රම සම්පූර්ණයෙන්ම අත්හැරීමට පවා සමහරු කාන්තාවන් දිරිමත් කරති.

නමුත් පෙත්තකට පුද්ගලයෙකුගේ පෞරුෂය සහ ජීවිතය පිළිබඳ දැකීම සැබවින් ම වෙනස් කළ හැකි ද? එය කාංසාව සහ මානසික අවපීඩනය වැනි බරපතල මානසික සෞඛ්‍ය තත්වයන්ට දායක විය හැකිද, නැතහොත් වඩාත් නරක ම අවස්ථාවන්හි දී සියදිවි නසා ගැනීමට පවා හේතු විය හැකි ද?

මන්දගාමී ප්‍රතිචාරයක්

පෙනෙන ආකාරයට මේ ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි නැත.

 

gettyimages 514867588 wide 43fec5b388f393e1daaf08d0752a8474afc71ad2

1960 දී උපත් පාලන පෙති ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රථම වරට හඳුන්වා දුන් විට, වසර දෙකක් ඇතුළත එය මිලියන 1.2 ක භාවිත කරන්නන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගත්තේ ය. මෙම කුඩා ලා දුඹුරු පැහැති පෙති, අනවශ්‍ය ගැබ් ගැනීමකින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය හෝ උපාධි කඩාකප්පල් කරනු ඇතැයි යන බියෙන් කාන්තාවන් නිදහස් කරමින්, ලිංගික නිදහසේ සහ කාන්තා සවිබලගැන්වීමේ සංකේතයක් ලෙස, කාන්තාවන් විසින් ප්‍රශංසා කරන ලද විප්ලවීය නව උපත් පාලන ක්‍රමයක් සනිටුහන් කළේ ය.

අද, ලොව පුරා මිලියන 150 ක් පමණ කාන්තාවන් අතර එනම්, ගෝලීය උපත් පාලන ක්‍රම ලබා ගන්නා ජනගහනයෙන් දළ වශයෙන් 16% ක් සඳහා මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම අතර, අසාර්ථක වීමේ අනුපාතය 1% ක් පමණක් (නැතිනම් ඉඳහිට මාත්‍රාව අමතක කිරීම වැනි මානව දෝෂයක් සැලකිල්ලට ගත් විට 9%) වන වඩාත් ජනප්‍රිය තේරීම වේ. උපත් පාලන ක්‍රමයක අසාර්ථක වීමේ අනුපාතය කියැවෙන්නේ කාන්තාවන් 100 ක් වසරක් පුරා එම ක්‍රමය භාවිතා කළහොත් සිදුවන අනපේක්ෂිත ගැබ්ගැනීම් සංඛ්‍යාව ගණනය කිරීමෙන් ය.

 

mini pill 2
වර්ග දෙකක උපත් පාලන පෙති පවතින අතර, එම වර්ග දෙක ම සාදා ඇත්තේ කෘත්‍රිම ලිංගික හෝර්මෝනවලින් ය. පළමුව වඩාත් ජනප්‍රිය වූයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්වල කෘත්‍රිම ආකාරයන් අඩංගු වූ සංයුක්ත පෙත්තයි. අනෙක "මිනි පිල්" ලෙස හැඳින්වුණු ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පෙත්තයි. වර්ග දෙක ම ඩිම්බ මෝචනය මර්දනය කිරීම සහ ගැබ්ගෙල ශ්ලේෂ්මල ඝන කිරීම මගින් ශුක්‍රාණුවක් ඩිම්බයකට විනිවිද යාම හා ළඟා වීම දුෂ්කර කරමින් ගැබ් ගැනීම වැළැක්වීමට ක්‍රම කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

කෙසේවුවත් මුඛ මාර්ගයෙන් ලබා ගන්නා උපත් පාලන ක්‍රමවල අඩංගු හෝර්මෝන වලට කාන්තාවන්ගේ ශරීරයට පමණක් නොව කාන්තාවන්ගේ මොළයට ද දැඩි බලපෑමක් එල්ල කිරීමට හැකි ය.

bct 1උපත් පාලන පෙති කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යට හානිකර විය හැකි බවට ඇතැම් සාධක තිබුණ ද එය සත්‍ය වශයෙන් ම සිදුවන්නේ කෙසේදැයි තවමත් අපැහැදිලි ය.

"මොළයට හොර්මෝනවලින් සිදුවන බලපෑම සංකීර්ණයි," යනුවෙන් ස්විට්සර්ලන්තයේ බාසල් විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය (OBGYN) සහ මනෝචිකිත්සක ජොහැන්නස් බිචර් පවසයි. "සමහර අයට මානසික යහපැවැත්මට පෙති ධනාත්මක ආකාරයෙන් බලපානවා. අනෙක් අය අතර එය නොරිස්සුමක් සහ කාංසාවක් පවා ඇති කරන්න පුළුවන්."

මෙම පෙතිවල වයස අවුරුදු 65ක ඉතිහාසයේ වැඩි කොටසක් තුළ වෛද්‍ය විද්‍යාත්මක අනතුරු හැඟවීම් අවම ය. එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ලිංගික සෞඛ්‍ය සේවා සපයන්නන් ඔවුන්ගේ වෙබ් අඩවිවල මෙම පෙතිවල අතුරු මානසික ආබාධ පිළිබඳ ව කිසිදු සඳහනක් කර නැත.

"මම හිතන්නේ ලොකු ම ප්‍රශ්නය ප්‍රසව හා නාරිවේද පුහුණුවේ මානසික සෞඛ්‍ය කියන දේ විෂයක් නොවීම. ඒක අයිති මනෝචිකිත්සකයින්ට," යැයි වසර 40කට ආසන්න කාලයක් ක්ෂේත්‍රයේ සිටින බිචර් පවසයි. දේවල් සෙමෙන් වෙනස්වන නමුත්, "කලින් අපි පෙත්ත ගැන කතා කරනවිට කියවුණේ ලේ නහරයක ලේ කැටි ගැසීම, පිළිකාව, අක්‍රමවත් රුධිර වහනය, බර වැඩිවීම වගේ දේවල්. මානසික සෞඛ්‍යය පිළිබඳ ගැටලුව අඩු වැඩි වශයෙන් බැහැර කළා," යැයි ඔහු පවසයි.
ආතතිය කට්ටිය වැඩි වෙලා !

 
ඇතිවිය හැකි මානසික අතුරු ආබාධ පිළිබඳව එතරම් පර්යේෂකයන් ද විමර්ශනයක් සිදු කර තිබුණේ නැත. නමුත් 2016 දී ඩෙන්මාර්කයේ කණ්ඩායමක් මෙම මාතෘකාව පිළිබඳ වැදගත් පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළ විට වෙනසක් සිදුවීමට පටන් ගත් බව බිචර් පවසර අතර, එය ඉන්පසු වසරවල දී වැඩි පර්යේෂණන් සඳහා මූලිකත්වය ගත්තේ ය.
 
ඩෙන්මාර්ක මුල් අධ්‍යයනය තුළ, පර්යේෂකයන් විසින් වසර 14 ක කාලයක් තුළ වයස අවුරුදු 15ත් 34ත් අතර කාන්තාවන් මිලියනයකට අධික සංඛ්‍යාවකගේ මානසික සෞඛ්‍යය නිරීක්ෂණය කිරීම සඳහා රටේ ජාතික සෞඛ්‍ය දත්ත පද්ධතිය හාරා බලන ලදී. මුඛය හරහා උපත් පාලන පෙති ලබා නොගත් කාන්තාවන්ට සාපේක්ෂව, සංයුක්ත පෙති ගැනීම ආරම්භ කළ කාන්තාවන්ට මාස හයකට පසු විෂාද නාශක ඖෂධ නියම කිරීමේ සම්භාවිතාව 70%කින් වැඩි බව ඔවුහු සොයා ගත්හ. මිනි පිල් ලබා ගැනීම ආරම්භ කළ අයට අවදානම 80%ක් විය.
bye34t
 
2023 දී, විශාල ජානමය සහ වෛද්‍ය තොරතුරු ගබඩාවක් වන UK Biobank හි කාන්තාවන් මිලියනයකින් හතරෙන් පංගුවකගේ සෞඛ්‍ය වාර්තා විශ්ලේෂණය කළ වෙනත් පර්යේෂකයන් කණ්ඩායමක් ද ඊට සමාන ප්‍රතිඵල ලබා ගත්හ. ඔවුන් සොයාගත්තේ උපත් පාලන ක්‍රම ලබා ගැනීමෙන් වසර දෙකකට පසු පෙති භාවිත නොකෙරූ අයට සාපේක්ෂ ව පෙති භාවිත කරන්නන්ගෙන් 71%කට වැඩි පිරිසක් විෂාදයට පත්වීමේ සම්භාවිතාවය ඉහළ බව ය.
"මෙම නිෂ්පාදන භාවිතය ආරම්භ කිරීම සහ පසුව විෂාද රෝග ලක්ෂණ වර්ධනය වීම අතර සැළකිය යුතු කාලීන සම්බන්ධයක් තියෙනවා," යැයි ඩෙන්මාර්ක අධ්‍යයනයට මූලිකත්වය දුන් කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසංගත රෝග විද්‍යාඥ ඔයිවින්ඩ් ලිල්ගාඩ් පවසයි.
කෙසේවුවත්, මෙම අධ්‍යයන දෙක ම "කණ්ඩායම් අධ්‍යයන" වූ අතර, විශාල කාන්තා කණ්ඩායම්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් සහ මුඛය හරහා උපත් පාලන ක්‍රම ලබා ගත් අයගේ මානසික සෞඛ්‍ය ප්‍රතිඵල සහ එසේ නොකළ අයගේ මානසික සෞඛ්‍ය ප්‍රතිඵල සංසන්දනය කිරීමෙන් සිදු කරන ලදී. මෙයින් අදහස් වන්නේ ඔවුන්ට මෙම කරුණු දෙක අතර සම්බන්ධයක් තිබේදැයි හඳුනා ගැනීමට හැකි වූ නමුත්, හේතුව සහ ඵලය අතර සම්බන්ධයක් තිබේ ද යන්න හෙළි වී නැත. නිදසුනක් ලෙස, ප්‍රතිඵල බලපාන කාන්තා කණ්ඩායම් අතර පෙර සිට ම පැවති වෙනස්කම් ද තිබිය හැකි ය.

ගැටලුකාරී ප්‍රතිඵල
 
wgvuy57u6
ඇතැම් මානසික සෞඛ්‍ය තත්වයන් සහ මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම භාවිතය අතර සහසම්බන්ධතාවයට ඇතැම් අධ්‍යයනයන් පටහැණි බවක් පෙනී යයි. නිදසුනක් ලෙස, ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් කලින් සිදු කළ අධ්‍යයන 26ක් සමාලෝචනය කළ විට, ඔවුන් සොයා ගත්තේ ප්‍රොජෙස්ටොජන් පමණක් භාවිතා කරන උපත් පාලන ක්‍රම සහ විෂාදය අතර පවතින්නේ "අවම" සම්බන්ධයක් පමණක් බව ය. ස්වීඩනයේ කාන්තාවන් 200 ත් 340 ත් අතර සංඛ්‍යාවක් සම්බන්ධ කර ගත් සායනික අත්හදා බැලීම් දෙකක දී, පර්යේෂකයින් විසින් වෙන වෙන ම නිගමනය කරනු ලැබුවේ සංයුක්ත පෙති මගින් විෂාද තත්ත්වයට පත්වන්නේ හෝ මනෝභාවය නරක පැත්තට හැරෙන්නේ නැති බවට ය.
 
කුතුහලය ඇති කරන හේතුවක් වන්නේ බොහෝ වර්ගවල සංයුක්ත උපත් පාලන පෙතිවල සෑම මාසයක ම දින හතක විවේකයක් ගැනීම සිදුවන විට ඇතැම් මනෝභාවයන් වඩාත් නරක අතට හැරවෙන බවට ඇතැම් සොයාගැනීම්වලින් අනාවරණය වීම ය. ඇතැමුන් දිර්ඝකලීන ව උපත් පාලන පෙති භාවිත කරන්නන් වූ ඔස්ට්‍රියාවේ කාන්තාවන් 120 දෙනෙකු යොදාගෙන 2023 දී සිදුකළ අධ්‍යයනයකදී, පෙති භාවිතය අත්හිට වූ විට පරීක්ෂණයට සහභාගීවූවන්ගෙන් 7%කට කාංසාව දැනීම ඉහළ ගොස් තිබු අතර, පිළිවෙළින් සෘණාත්මක සිතිවිලි ඇතිවීම සහ මානසික සෞඛ්‍ය පිරිහීමේ ලක්ෂණ 13%කින් සහ 24%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වී ඇත.
birth control depression GettyImages 610451460 c6a1c7d734d8434e9e37574086fa8be9
 
"මේ නිසා මානසික සෞඛ්‍ය දෘෂ්ඨිකෝණයකින්, උපත් පාලන ක්‍රම භාවිතා කරන අය ඒවා අඛණ්ඩව භාවිත කිරීම වඩාත් වාසිදායක වෙන්න පුළුවන්," යැයි කාන්තාවන්ගේ මොළයට හෝර්මෝන ඇතුළත් උපත් පාලන ක්‍රමවල බලපෑම අධ්‍යයනය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතියකට මූලිකත්වය ලබා දෙන සල්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ සංජානන ස්නායු විද්‍යාඥ බෙලින්ඩා ප්ලෙට්සර් පවසයි.

සමහර කාන්තාවන් උපත් පාලන පෙති ලබා ගන්නා විට මානසික ව දුර්වල වී පීඩා විඳින බවත්, මෙම රෝග ලක්ෂණ බැරෑරුම් ලෙස සැලකිය යුතු බවත් ප්ලෙට්සර් ප්‍රතික්ෂේප කරන්නේ නැත. "නමුත් ඒ කාන්තාවන් ඉතා ම අඩු ප්‍රතිශතයක්," ඇය පවසයි.

'මුඛ මාර්ගයෙන් ලබා ගන්නා උපත් පාලනවල මානසික අතුරු ආබාධ සම්බන්ධයෙන් ඇති සොයාගැනීම්වල විශාල වෙනසක් තිබීම පැහැදිලි කිරීමට එක් හේතුවක් වන්නේ ඒවායේ ස්වභාවය ම බව' ස්වීඩනයේ ස්ටොක්හෝම් ආසන්නයේ ඩැන්ඩරිඩ් රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක වන හෙලේනා කොප් කල්නර් පවසයි. එනම්, මානසික සෞඛ්‍ය තත්ත්වයන් බොහෝ විට ආත්මීයව මනිනු ලබන අතර, ඒවා අධ්‍යයනය කිරීම දුෂ්කර බවට ප්‍රචලිත ය. ඊට අමතර ව විවිධ පෙති වර්ග රාශියක් තිබෙන නිසා (සංයුක්ත පෙති වෙළඳ නාම 30කටත් වැඩියෙන් ඇත), බොහෝ විට විද්‍යාඥයින් සම්පුර්ණයෙන් ම වෙනස් සහ සංසන්දය කළ නොහැකි වර්ග දෙකක් අතර සංසන්දනයක් සිදු කිරීමට ඉඩ ඇති බව ඇය පවසයි. එක් එක් අධ්‍යයනයේදී යොදාගෙන ඇත්තේ ද වෙනස් ක්‍රමවේදයන් බව ද ඇය පෙන්වා දෙයි.

bct 2එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සමහර උපත් පාලන පෙති සඳහා නිර්දේශිත දින හතක "විවේකය" ගැනීමෙන් කාන්තාවන්ගේ මානසික තත්වය වඩාත් නරක අතට හැරිය හැකි බව ය.
 
පර්යේෂකයන් තම අධ්‍යයනය අවසානයේ බලාපොරොත්තු වන දේ ඔවුන්ගේ සොයාගැනීම් වලට ද බලපාන බව බිචර් එකතු කළේ ය. නිදසුනක් ලෙස, ඩෙන්මාර්ක අධ්‍යයනයේ දී, "ඔයාට නියම කෙරුණු විෂාද නාශක ඖෂධ ලබා ගැනීම අනිවාර්යයෙන්ම විෂාදය හඳුනා ගැනීම සමඟ සම්බන්ධ වෙන්නේ නැතත් වෛද්‍යවරයාගේ භාවිතය සමඟ ඒක සම්බන්ධ වෙනවා. ඒ හේතුව නිසා ඔයාගේ ප්‍රතිඵල මැනීම තරමක් ගැටලු සහගත වෙනවා", ඔහු පවසයි.

ප්‍රතිඵල කෙරෙහි බලපෑම් කළ හැකි ජාන විද්‍යාව සහ කෙනෙකුගේ පරිසරය වැනි වෙනත් සාධක තිබිය හැකි බැවින් එවැනි නිරීක්ෂණ අධ්‍යයනයන්ගෙන් හේතු ඵල සම්බන්ධතා ඔප්පු කිරීම ද දුෂ්කර බව ස්වීඩනයේ ගොතන්බර්ග් හි භෞත චිකිත්සකවරියක වන සොෆියා සෙටර්මාර්ක් පවසයි. නිදසුනක් ලෙස ඇය ස්වීඩනයේ ජාතික ලේඛනාගාරවල මිලියනයකට ආසන්න කාන්තාවන්ගේ සෞඛ්‍ය වාර්තා විශ්ලේෂණය කළ විට, හෝර්මෝන ඇතුළත් උපත් පාලන ක්‍රම නිසා මනෝභාවයේ වෙනස්කම් අත්විඳීම අඩු ආදායම්ලාභී සහ සංක්‍රමණික පවුල් පසුබිම්වල කාන්තාවන් අතර වඩාත් වැඩි වශයෙන් සිදුවෙතැයි සොයා ගත්තා ය.
 
ලිල්ගාර්ඩ් ඔහුගේ පැත්තෙන් පෙන්වා දෙන්නේ ඔහුගේ අධ්‍යයනය පුළුල් සන්දර්භයක් තුළ තේරුම් ගත යුතු දෙයක් බවයි. "හෝර්මෝන ඇතුළත් උපත් පාලන ක්‍රම භාවිතය ආරම්භ කළ ඇතැම් කාන්තාවන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයේ විශාල වෙනස්කම්වලට මුහුණ දෙනවා කියන එක ගැන සැකයක් නෑ," ලිල්ගාර්ඩ් පවසයි. "කොහොම වුණත් බොහෝ මානසික සිදුවීම්වලට මුහුණ දෙන නිසා ඖෂධ ගැනීම නතර කරන්න වෙන්නේ 7% ත් 8% ත් අතර පිරිසකට පමණක් කියන එක තේරුම් ගැනීම වැදගත්... මේක පාවිච්චි කරන කාන්තාවන්ගෙන් බහුතරයකට මානසිකව දැඩි අපහසුතාවයක් දැනෙන්නේ නෑ."
200206 pmdd laura liedo 2000 35671ac467fa40d7ae8e54803edb6e28 1080x675
 
එමෙන් ම සැබෑ වශයෙන් ම සමහර කාන්තාවන්ට ඕනෑම අතුරු ආබාධයකට වඩා මුඛ මාර්ගයෙන් ලබාගන්නා උපත් පාලනවල ප්‍රතිලාභ වැඩි විය හැකි ය. ඉතා ඵලදායී උපත් පාලන ක්‍රමයක් වීමට අමතර ව, සංයුක්ත සහ මිනි පිල්ස්වලට වෙනත් ධනාත්මක භෞතික බලපෑම් ඇති කළ හැකි ය. "ඔයාට එන්ඩොමෙට්‍රියෝසිස් [කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයක්] තියෙනවා නම්, වැඩියෙන් රුධිරය පිටවෙනවා නම්, හෝ PMDD [දෛනික ජීවිතයට බාධා පමුණුවන මනෝභාවයන්, අධික කෝපය සහ ශාරීරික රෝග ලක්ෂණ ඇති කරන පූර්ව ඔසප් සින්ඩ්‍රෝමයේ දරුණු ආකාරයක්] තියෙනවා නම්, ඒ තත්ත්වයන් මග හරවා ගන්න උපත් පාලන පෙතිවලට ඇත්තට ම හැකියාවක් තියෙනවා," යැයි කොප් කැල්නර් පවසයි.

විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල ගැබ් ගැනීම් ද සැලකිය යුතු සෞඛ්‍ය සංකීර්ණතා ඇති කිරීමට මැදිහත් විය හැකි ය. මේ අතරේදී, සැලසුම් නොකළ ගැබ් ගැනීම් සහ මානසික අවපීඩනයේ වැඩි අවදානමක් ඇතිවීම අතර සම්බන්ධයක් අධ්‍යයන කිහිපයක් සොයාගෙන තිබේ.

මොළයේ රසායන වෙනස් කිරීම
 
Depression pill social
කෙසේනමුත් මානසික සෞඛ්‍යට සිදුවන බලපෑම් සිදුවන්නේ කොහේ ද සහ නිශ්චිතව ම මෙසේ සිදුවන්නේ කෙසේ ද? යන්න විමසීම වටියි.

මුඛය හරහා උපත් පාලන ක්‍රම ලබාගන්නා කාන්තාවන්ගේ මනෝභාවයන්ට බාධා කළ හැකි බොහෝ ක්‍රම තිබේ.

උපත් පාලන පෙති වල එක් අතුරු ආබාධයක් වන්නේ ඒවා විසින්, සංජානනය මෙන්ම ස්නායු ආරක්ෂණ බලපෑම්, රුධිර ප්‍රවාහය මොඩියුලේට් කිරීම, ප්‍රදාහය සහ සංඥා කිරීම ඇතුළු මොළයේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන ස්වාභාවික ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන නිෂ්පාදනයට ඇති කරනු ලබන බලපෑම ය.
 
ඒ වෙනුවට සංයුක්ත සහ මිනි පිල්ස් මෙන් ම හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාවල (HRT) මෙම හෝර්මෝනයන්ගේ කෘත්‍රිම ආකාරයන් අඩංගු වන අතර එමඟින් ඔසප් චක්‍රයේ ස්වාභාවික ප්‍රගතියට බාධා ඇති කරයි. මෙහි ප්‍රොජෙස්ටින් අඩංගු වන අතර එය විවිධ ආකාරවලින් නිපදවිය හැකි කෘත්‍රිම ප්‍රොජෙස්ටොජන් හෝර්මෝන සමූහයක් වන නමුත් වැඩි කොටසක් ටෙස්ටොස්ටෙරෝන් වලින් සෑදී තිබේ. කෘත්‍රිම ඊස්ට්‍රජන් හෝ ප්‍රොජෙස්ටින් ශරීරයෙන් ස්වභාවිකව නිපදවන හෝර්මෝනවලට රසායනිකව සමාන නොවේ.
මෙය ප්‍රතිවිපාක ගණනාවක් ඇති කරන බව සලකයි. එයින් එකක් වන්නේ උපත් පාලන පෙති ගන්නා කාන්තාවන්ගේ මොළයේ ස්වාභාවික "මනෝභාවය වැඩි කරන"බවට බොහෝ විට හඳුන්වන ස්නායු සම්ප්‍රේෂක සෙරොටොනින් සම්බන්ධ මාර්ගයන්ට බාධා ඇති කළ හැකි බව ය.

එක් අධ්‍යයනයක දී, ඩෙන්මාර්ක පර්යේෂකයන් කණ්ඩායමක් සෙරොටොනින් පද්ධතියේ [මනෝභාවය නියාමනය කරන ස්නායු සම්ප්‍රේෂක පද්ධතිය] ක්‍රියාකාරිත්වය තක්සේරු කිරීම සඳහා නිරෝගී කාන්තාවන් 53 දෙනෙකුගේ මොළයේ ස්කෑන් විශ්ලේෂණය කළ අතර ඔවුන්ගෙන් 16 දෙනෙකු මුඛය හරහා උපත් පාලන පෙති ලබා ගත් අය විය. මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම භාවිතා කරන කාන්තාවන්ගේ සෙරොටොනින් සංඥා මට්ටම, එම ඖෂධ නොගන්නා කාන්තාවන්ට සාපේක්ෂව 9-12%කින් අඩු බව ඔවුහු සොයා ගත්හ.
 
beautiful young woman holding contraceptive pill o VTKQ8VW min 2 1024x683 1
තෝරාගත් සෙරොටොනින් නැවත ලබා ගැනීමේ නිෂේධක (SSRI) විෂාදනාශකවලින් සාමාන්‍යයෙන් මෙම විශේෂිත වර්ගයේ සෙරොටොනින් සංඥාකරණයට ඇති කරන බලපෑම මෙන් දෙගුණයක් ප්‍රබල ය. මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම සහ විෂාදය අතර සම්බන්ධයට වගකිව යුතු යාන්ත්‍රණය මෙය විය හැකි බව පර්යේෂකයෝ අනුමාන කළහ.

මුඛය හරහා ලබා ගන්නා උපත් පාලනවල අඩංගු කෘත්‍රිම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටින්, විශේෂයෙන් මනෝභාවය නියාමනය කිරීම සහ ශරීරයේ ආතති ප්‍රතිචාරයට වැදගත් මොළයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන තවත් හෝර්මෝනයක් වන ඇලෝප්‍රෙග්නනොලෝන් නිෂ්පාදනයට බාධා කළ හැකි බවට සාක්ෂි තිබේ. 2019 දී, පසු ප්‍රසව විෂාදයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම හෝර්මෝනයේ ඖෂධීය සැකැස්මක් ඇමරිකා එක්සත් ජනපදයේ අනුමත කරන ලදී.
 
කෘත්‍රිම ලිංගික හෝර්මෝන ලබා නොගන්නා කාන්තාවන් තුළ ප්‍රොජෙස්ටරෝන්, ඇලෝප්‍රෙග්නනොලෝන් බවට පරිවර්තනය විය හැකි ය. නමුත් උපත් පාලන පෙති භාවිතා කරන කාන්තාවන් හට මෙම ක්‍රියාවලියට බාධා සිදුවිය හැකි බව සැලකෙයි. ප්‍රොජෙස්ටින් ඇලෝප්‍රෙග්නනොලෝන් බවට නොහැරෙන අතර, එයින් අදහස් කරන්නේ ඔවුන්ට එම හෝර්මෝනයෙන් ලබාගත හැකි කාංසා නාශක සහ විෂාද නාශක බලපෑම් කිහිපයක් මග හැරිය හැකි බව ය.
 
මීයන් යොදාගෙන සිදු කරන ලද එක් අධ්‍යයනයක දී, මුඛය හරහා උපත් පාලන ලබා ගත් මීයන්ගේ මොළයේ ඇලෝප්‍රෙග්නනොලෝන් සාන්ද්‍රණය අඩු බව නිරීක්ෂණය විය. මීයන් යොදාගෙන කළ තවත් අධ්‍යයනයක දී අධ්‍යනය සිදු කළ අය අනුමාන කළ මුඛය හරහා උපත් පාලන ලබා ගන්නා කාන්තාවන්ට සම්බන්ධ විය හැකි මේ ආකාරයේ සාන්ද්‍රණ අඩු වීම සමාජ හැසිරීම් සහ ලිංගික අභිප්‍රේරණය අඩු වීම සමඟ සම්බන්ධ වී ඇති බව සොයා ගන්නා ලදී.
 
bct 3උපත් පාලන පෙති ගැනීම ආරම්භ කිරීමට පෙර, කාන්තාවන්ට මේ නිසා ඇති විය හැකි මානසික අතුරු ආබාධ පිළිබඳ ව බොහෝ විට අනතුරු හඟවන්නේ නැත.
තත්වය තවත් නරක අතට හරවමින් උපත් පාලන පෙති කාන්තාවකගේ ආතතියට දක්වන ප්‍රතිචාරය නරක තත්ත්වයට පත් කළ හැකි අතර, එය කාංසාව සහ විෂාදයට හේතු විය හැකි ය. "පර්යේෂකයෝ හොයාගත්ත දෙයක් තමයි, සාමාන්‍ය ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ප්‍රමාණයට වඩා උපත් පාලන පෙති ලබා ගත් කාන්තාවන්ට දුර්වල කෝටිසෝල් ප්‍රතිචාරයක් තියෙන්නේ කියන එක," හිල් පැහැදිලි කරයි. "කෝටිසෝල් නොමැතිකම ආතතිය නෑ කියන එකට සමානයි, ඒක මතුපිටින් හොඳ දෙයක් ලෙස පේන්න පුළුවන්. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ එහෙම නොවෙයි, කෝටිසෝල් ආතතිය ඇති කරන්නේ නෑ, ඒක තමයි අපේ ශරීරය ආතතියට මුහුණ දීමට සහ එයින් සුවය ලබා ගැනීමට උපකාරී වන විදිහ."
 
නව යොවුන් තරුණියන්ට ඇතිවිය හැකි අවදානම
 
ලිල්ගාර්ඩ් වැඩි වශයෙන් සැලකිලිමත් වන විශේෂ කණ්ඩායමක් වන්නේ නවයොවුන් වයසේ පසුවන ගැහැනු ළමුන් ය. ඔහුගේ අධ්‍යයනයෙන් හෙළිවූයේ වයස අවුරුදු 15ත් 19ත් අතර ඔවුන් සංයුක්ත පෙති ගැනීම ආරම්භ කිරීමෙන් පසු විෂාද නාශක බෙහෙත් වට්ටෝරුවක් ලබා ගැනීමට ඇති ඉඩකඩ උපත් පාලන පෙති නොගත් අයට සාපේක්ෂ ව දෙගුණයකට ආසන්න ව (1.8 ගුණයකින්) වැඩි වී ඇති බව ය. මිනි පිල්ස් ලබා ගත් අයට, අවදානම දෙගුණයකටත් වඩා වැඩි වී තිබුණි (මෙම කණ්ඩායමට උපත් පාලන පෙති නොගත් අයට වඩා 2.2 ගුණයකින් විෂාදනාශක නියම කිරීමේ සම්භාවිතාව වැඩි වී තිබුණි).
hormone pills
 
ඊට සමාන ව, සැටර්මාර්ක්ගේ අධ්‍යයනයෙන් හෙළි වූයේ නව යොවුන් වියේ ගැහැනු ළමයින් හෝර්මෝන සහිත උපත් පාලන ක්‍රම සමග විෂාද නාශක සහ කාංසා නාශක ඖෂධ භාවිතය අතර ශක්තිමත් ම සම්බන්ධතාවය පෙන්නුම් කරන බව ය. බොහෝවිට සංයුක්ත පෙති හෝ මිනි පිල්ස් ලබා ගැනීම ආරම්භ කර වසරක් ඇතුළත ඖෂධ නියම කෙරුණු වයස අවුරුදු 12 සිට 14 දක්වා ප්‍රතිශතය 240%ක් සහ 190%ක් වූ අතර, ඔවුන් වයස අවුරුදු 15 සහ 17 වූයේ නම් එම ප්‍රතිශතය පිළිවෙළින් 52% සහ 83% විය.

UK Biobank සමඟ සම්බන්ධ වූ කාන්තාවන් 264,557 දෙනෙකුගෙන් ලබාගත් දත්ත මත පදනම්ව කරන ලද තවත් අධ්‍යයනයක දී, පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබුවේ, ජීවිතයේ යම් අවස්ථාවක දී මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම ලබා ගත් අයට ඔවුන්ගේ ජීවිත කාලය තුළ විෂාදය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව වන නමුත් භාවිතයේ පළමු වසර දෙක තුළ ඇති අවදානම වඩාත් කැපී පෙපෙනෙන බව ය.
 
නව යොවුන් තරුණියන්ට අමතරව, බොහෝ වෛද්‍යවරුන් මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම නියම කිරීමට මැලි වන තවත් කණ්ඩායමක් සිටිති. "ඔයා මීට කලින් විෂාදයෙන් පෙළුණා නම්, නැවත නැවත විෂාදය ඇති වෙනවා නම් හෝ වෙනත් මානසික ගැටලු ඇති වෙනවා නම්, ඔයාට උපත් පාලන පෙති ගැනීමෙන් විෂාදය ඇතිවීමේ අවදානම වැඩිවෙනවා," කොප් කැල්නර් අනතුරු හඟවයි.
කොප් කැල්නර් වැනි විශේෂඥයින් පවසන්නේ ඔබ මුලින්ම පෙති ගැනීම ආරම්භ කරන විට හෝ එක් වෙළඳ නාමයකින් තවත් වෙළඳ නාමයකට මාරු වන විට මාස කිහිපයක් ඔබේ මනෝභාවය නිරීක්ෂණය කළ යුතු බවට වන ස්වයං දැනුවත්භාවය ඉතා වැදගත් බව ය. ඔබේ උපත් පාලන ක්‍රම ඔබේ මනෝභාවයට බලපාන ආකාරය පිළිබඳව ඔබට ගැටලු තිබේ නම්, ඔබේ සෞඛ්‍ය සේවා සපයන්නා සමඟ කතා කිරීමට කටයුතු කළ යුතු ය. විවිධ ප්‍රොජෙස්ටින් වර්ග රාශියක් සහ කෘත්‍රිම ඊස්ට්‍රජන් සමඟ මේවායේ සංයෝජනයන්, විවිධ මාත්‍රාවන් සහ සුදානම් විය යුතු ආකාරය ගැන සඳහන් නොකර, නිවැරදි ගැළපීම සොයා ගැනීම "පොඩි කලාවක්" යැයි බිචර් පවසයි.
 
0b257ecc05334f68b3478cdcebc68445

කෙසේවුවත්, හෝර්මෝන අඩංගු නොවන හෝ මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රමවලට වඩා අඩු [හෝර්මෝන] මාත්‍රාවක් අඩංගු තවත් බොහෝ උපත් පාලන ක්‍රම තිබෙන අතර, ඒවාට පිරිමි සහ ගැහැනු කොන්ඩම් (ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීමටද උපකාරී වේ), යෝනි වළල්ල , IUS (හෝර්මෝන වෙළුම), IUD (තඹ වෙළුම) සහ වන්ධ්‍යාකරණය ඇතුළත් වේ.

හිල්ට අනුව, ඇය භාවිතා කළ උපත් පාලන ක්‍රමය වෙනස් කිරීම ජීවිතය වෙනස් කරන දෙයක් විය.

"ඔයාට වෙන්න ඕනි පුද්ගලයා ලෙස දැනෙන්න පුළුවන් උපත් පාලන ආරක්ෂණ ක්‍රමයක් සොයා ගන්න වෙලාව ගන්න," ඇය උපදෙස් දෙයි.

"කාලය, ඉවසීම සහ ස්වයං අනුකම්පාවත් එක්ක ඔයාට ගැලපෙන දෙයක් හොයාගන්න ඔයාට පුළුවන් වෙයි."

*මෙම ලිපියේ ඇති සියලු ම තොරතුරු සාමාන්‍ය තොරතුරු පමණක් වන අතර, වෛද්‍යවරයෙකුගේ හෝ වෙනත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේ වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස නොසැලකිය යුතු ය. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය මත පදනම් ව පරිශීලකයෙකු විසින් සිදු කරන ඕනෑ ම ආකාරයේ රෝග විනිශ්චයක් සඳහා බීබීසී වගකීමට බැඳී නොසිටියි. ලැයිස්තුගත කර ඇති කිසිඳු බාහිර අන්තර්ජාල වෙබ් අඩවියක අන්තර්ගතය සඳහා බීබීසී වග නොකියන අතර, කිසිඳු වෙබ් අඩවියක සඳහන් කර ඇති හෝ උපදෙස් දෙන කිසිදු වාණිජ නිෂ්පාදනයක් හෝ සේවාවක් අනුමත නොකරයි. ඔබ ඔබේ සෞඛ්‍යය ගැන කිසියම් ආකාරයකින් සැලකිලිමත් වන්නේ නම්, සෑම විටම ඔබේ ම වෛද්‍යවරයා හමුවන්න.
 
සැන්ඩි ඔන්ග්
Role,BBC Future
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උපත් පාලන පෙති භාවිතය කාන්තාවන්ට ඇත්තට ම වැඩි කාංසා තත්වයක් ඇති කරනවා ද? | The Leader