The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිමලරාජන් ඝාතනය ගැන ජනාධිපති අනුර කුමාර යුක්තිය ඉටු කරාවි - සොයුරියගේ බලාපොරොත්තුව

T

The Leader Desk

March 10, 2025 • 7:15 AM

නිමලරාජන් ඝාතනය ගැන ජනාධිපති අනුර කුමාර යුක්තිය ඉටු කරාවි - සොයුරියගේ බලාපොරොත්තුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිවිල් යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ යාපනයේ සිට වාර්තා කළ ස්වාධීන මාධ්‍යවේදීන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ නිමලරාජන් මයිල්වාගනම් එවැන්නෙකි.
  • ඔක්තෝබර් 19 වන දින තුවක්කුකරුවෝ ඔහුගේ වාර්තාකරණය නිහඬ කළේ උණ්ඩ වරුසාවක් ඔහු සිරුර මත පතිත කරමිනි.
  • සිය සොහොයුරාගේ ඝාතනයෙන් විසි පස් වසරකට ආසන්න කාලයකට පසු, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තියේ චක්‍රය බිඳ දැමීමට නව රජය ක්‍රියා කරනු ඇතැයි ඔහුගේ සහෝදරිය, නිමලරාණි මයිල්වාගනම්, බලාපොරොත්තු පළකරන්නීය.
  • කොළඹ ළමා කාලය 1970 දශකයේ මුල් භාගයේ කොළඹ හැදී වැඩුණු නිමලරාණි, තම සහෝදරයාගේ උකුලේ වාඩි වී සිටීමට ප්‍රිය කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිවිල් යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ යාපනයේ සිට වාර්තා කළ ස්වාධීන මාධ්‍යවේදීන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ නිමලරාජන් මයිල්වාගනම් එවැන්නෙකි. සිවිල් යුද්ධය අතරතුර සිදු වූ අපරාධවලට අමතරව, පැරාමිලිටරි ක්‍රියාකාරකම් සහ මැතිවරණ ප්‍රචණ්ඩත්වය වැනි සංවේදී මාතෘකා පිළිබඳව ඔහු නිරන්තරයෙන් වාර්තා කළේය. නමුත් ඒ නිර්භීතකම වෙනුවෙන් ඔහුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.

2000 ඔක්තෝබර් 19 වන දින තුවක්කුකරුවෝ ඔහුගේ වාර්තාකරණය නිහඬ කළේ උණ්ඩ වරුසාවක් ඔහු සිරුර මත පතිත කරමිනි. 39 හැවිරිදි නිමලරාජන් නිහඬ කිරීම, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සමයේ මාධ්‍යවේදීන් මුහුණ දුන් භයානක වාතාවරණය අවධාරණය කළ එක් ප්‍රධාන ඝාතනයකි.

සිය සොහොයුරාගේ ඝාතනයෙන් විසි පස් වසරකට ආසන්න කාලයකට පසු, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තියේ චක්‍රය බිඳ දැමීමට නව රජය ක්‍රියා කරනු ඇතැයි ඔහුගේ සහෝදරිය, නිමලරාණි මයිල්වාගනම්, බලාපොරොත්තු පළකරන්නීය.

 

නිමලරාජන්ගේ මාධ්‍ය හැඳුනම්පත හා බයිසිකලය
කොළඹ ළමා කාලය

1970 දශකයේ මුල් භාගයේ කොළඹ හැදී වැඩුණු නිමලරාණි, තම සහෝදරයාගේ උකුලේ වාඩි වී සිටීමට ප්‍රිය කළාය. උදේ, දහවල් හෝ සවස ලෙසින් වෙනසක් නොමැතිව එය ඇගේ ප්‍රියතම ආසනය විය. ඇය උකුළේ වාඩි කරගෙන ඇගේ සහෝදරයා කතන්දර කීවේය. දශක ගණනාවකට පසු, ශ්‍රී ලංකාවෙන් පිටව යන තෙක්ම එය, ඇගේ මතකයෙන් ගිලිහී නොගිය අත්දැකීමකි.

“එයා මගේ අයිය විතරක් නෙවෙයි, එයා මට තාත්ත කෙනෙක් වගේ,” ඇය මතකය අවදි කළේ, වේදනාව මුසු වූ වෙව්ලන හඬකිනි.

1995 දී කැනඩාවට සංක්‍රමණය වූ නිමලරාණි, විවාහ වී, එහි පදිංචි වූවාය. ඇගේ "පියෙකු වන් සොහොයුරා" පළමු වරට සිය සැමියා සහ දරුවන් මුණගැසුණු 1999 දී ශ්‍රී ලංකාවට කළ සංචාරය පිළිබඳ ඇයට තවමත් තිබෙන්නේ ආදරණීය මතකයන්ය.

“මගේ දරුවෝ දැක්කම එයා හරිම සතුටු වුණා,” ඇය දුක්බර ලෙස සිහිපත් කළාය. එවකට තුන් හැවිරිදි වියේ පසු වූ ඇගේ පුතා ඔහුගේ මාමා පැය ගණනක් තම යතුරුපැදියෙන් යාපනය වටා ගමන් කළ ආකාරය තවමත් සිහිපත් කරයි.

“ඒක තමයි මම අයියව දැකපු අන්තිම වතාව. මම කවදාවත් හිතුවේ නැහැ ඒක අපි හමුවෙන අන්තිම වතාව කියලා.”

nimalarajan 2875698

 

වසරකට පසු, ඇගේ සහෝදරයා අමානුෂික ලෙස ඝාතනය කෙරිණ. යාපනයේ ඔහුගේ නිවසට කඩා වැදුණ තුවක්කුකරුවෝ ඔහුට පස් වතාවක් වෙඩි තැබූහ. ඔවුන්ගේ පියාට පිහියකින් පහර දී අත්බෝම්බයක් විසි කළ ප්‍රහාරකයෝ, ඔහුගේ මවට සහ එවකට ඔහුගේ 11 හැවිරිදි බෑණනුවන්ට ද තුවාල සිදු කළහ. ප්‍රහාරය සිදු වූයේ යාපනයේ අධි ආරක්ෂිත කලාපයේ හමුදා මුරපොලවල් කිහිපයකට ආසන්නව පිහිටි නිවසකය. ඒ මොහොතේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය ද පනවා තිබිණ.

නිමලරාජන් ඝාතනය වන විට, ශ්‍රී ලංකාව දැවැන්ත යුද ගැටුම්වල ගිලී සිටි බව බොහෝ දෙනෙකුට අමතක වී තිබිය හැකිය. ආණ්ඩුවේ හමුදා සහ බෙදුම්වාදී දෙමළ ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය අතර පැවති සිවිල් යුද්ධය හේතුවෙන්, විශේෂයෙන් යාපනයේ මිලිටරිකරණය වූ සහ ධ්‍රැවීකරණය වූ පරිසරයක් නිර්මාණය කර තිබුණි. රටේ දේශපාලන වාතාවරණය අස්ථාවර වූ අතර, යුද කාලීන අපයෝජන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට හමුදාව, පැරාමිලිටරි කණ්ඩායම් සහ එල්ටීටීඊය ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් දැඩි තර්ජන එල්ල වෙමින් පැවතිණ.

 

vayer

එම වසරේ මැයි මාසයේදී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය විසින් යාපනයේ උදයන් පුවත්පත තහනම් කළ අතර බීබීසී ලෝක සේවය සහ සීඑන්එන් විකාශන අවහිර කළේය. පලාලි ප්‍රදේශයේ දී සටන් අතරතුර මියගිය සංඛ්‍යාව වාර්තා කිරීමෙන් පසු, සන්ඩේ ලීඩර් සහ ඉරිදා පෙරමුණ පුවත්පත් වාරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වසා දමන ලදී. සියලුම ප්‍රවෘත්ති වාර්තා නිසි බලධාරියෙකුගේ වාරණයකට යටත් වූ අතර, යුද බිම ගැන සහ විශේෂයෙන් ශ්‍රී ලංකා හමුදාව අත්විඳිමින් සිටි පාඩු පිළිබඳ වාර්තා කිරීම සීමාවන්ට යටත් කෙරිණ.

මෙවැනි පසුබිමක පැවැත්වුණ 2000 මහ මැතිවරණය ප්‍රචණ්ඩත්වය හා බරපතල මැතිවරණ වංචා චෝදනාවලින් දූෂ්‍ය වී තිබිණ. නිමලරාජන්ගේ නිර්භීත පුවත්පත් කලාව හේතුවෙන් ඔහු බලවත් කණ්ඩායම්වලට තර්ජනයක් බවට පත් වී සිටි අතර, අවසානයේ ඔහුගේ ඝාතනයට හේතු වූයේද එයයි.

ඔහු මරා දමන විට ඔහුගේ දියණියන් තිදෙනාම වයස අවුරුදු පහට අඩු කුඩා දැරියන් වූවාය.

 

nimalarajan
“එයා හරිම කරුණාවන්ත කෙනෙක්. හැමෝම ඔහුට ආදරය කළා,” නිමලරාණි සිහිපත් කළාය.

“එයා අපේ පවුල ගැන වගේම අනෙක් අය ගැනත් ගොඩක් සැලකිලිමත් වුණා. යාපනයේ, කිලිනොච්චියේ විතරක් නෙවෙයි දකුණේ මිනිස්සුත් තවමත් හැම අවුරුද්දකම එයාව සිහිපත් කරන්නේ ඒ නිසා."

දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙස කොළඹ දී උපත ලැබූ නිමලරාජන් ඔහුගේ වැඩිමහල් සහෝදරිය ප්‍රේමරාණි සහ බාල සහෝදරියන් වන කමලරාණි, සෙල්වරාණි සහ නිමලරාණි සමඟ හැදී වැඩුණි. 1983 කළු ජූලිය වන තෙක් ඔවුහු වත්තල වාසය කළහ.  

අපිව බේරාගත්තේ සිංහල මිනිස්සු

“සමහරු අපිව මරන්න ආවා, නමුත් අපේ අසල්වැසියෝ - එයාල සිංහල අය - අපිව ආරක්ෂා කළා. එයාල අපිව ළඟපාත ගෙදරක තියාගෙන අපට කෑම ගෙනාවා. ඇත්තටම, සේරම අසල්වැසියෝ අපිව ආරක්ෂා කළා. අපි ඒ ගෙදර මාසයක් විතර හිටිය,” නිමලරාණි පැවසුවාය. “නමුත් හැමදාම හැංගිලා ඉන්න බැරි නිසා, යාපනයට යන්න මගේ දෙමාපියෝ තීරණය කළා.”

vba645

 

එය, වාර්ගික ආතතීන් හේතුවෙන් ඔවුන් පදිංචිය මාරු කළ දෙවැනි අවස්ථාව විය. 1979 දී මතු වූ දෙමළ විරෝධී කෝළාහල හේතුවෙන් ඔවුන්ට රාජගිරියේ සිට වත්තල වෙත යාමට බල කෙරී තිබිණ.

නිමලරාජන් ඝාතනය කිරීමෙන් පසු, නැවත වරක් පදිංචිය මාරු කිරීමට මයිල්වාගනම් පවුලට සිදු විය. මෙවර, ඔහුගේ බිරිඳ, දරුවන්, දෙමාපියන් සහ බෑණා කැනඩාවට සංක්‍රමණය වූහ. වර්තමානයේ ඔහුගේ පවුලේ කිසිවෙක් යාපනයේ වාසය නොකරති.

ඝාතනයෙන් පසු, සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් පසු, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය 2021 මැයි මාසයේදී ඔවුන් නිදහස් කිරීමට නියෝග කළේය. ඒ වන විට සැකකරුවන් හය දෙනාගෙන් දෙදෙනෙක් විදේශගතව සිටියහ.

ඔහුගේ වාර්තාකරණයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සංවිධානය කළ බවට ඊපීඩීපී සංවිධානයට චෝදනා එල්ල වුවද, එම පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. සිවිල් යුද්ධය අතරතුර, විශේෂයෙන් යාපනය අර්ධද්වීපයේ කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ නීති විරෝධී ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වූ බවට ඊපීඩීපී යට චෝදනා එල්ල වී තිබේ.

 

මරාදැමූ නිමලරාජන්ට යුක්තිය සැලසීමට ජාත්‍යන්තර සහාය ඉල්ලයි

නිව්යෝක් නුවර මූලස්ථාන කරගත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) ඝාතනය සිදු වූ අවස්ථාවේ මෙසේ පැවසීය: “මෑත කාලීන පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනයේ ඡන්ද මංකොල්ලකෑම් සහ බිය ගැන්වීම් පිළිබඳ නිමලරාජන්ගේ වාර්තාකරණය ඔහුගේ ඝාතනයට හේතු වන්නට ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යවේදීහු සැක කරති.”

ඝාතනයට පෙර සිය සහෝදරයාට මරණ තර්ජන කිහිපයක්ම ලැබී තිබුණ බව නිමලරාණි සිහිපත් කරන්නීය: "එයා කිව්වා එයාට ගොඩක් තර්ජන ආව කියලා. දවසක් මගේ අම්මා ෆෝන් එක ඉස්සුවම, 'උඹේ පුතා ඉක්මනටම මරල දානවා' කියලා තර්ජනය කරලා තිබුණ.”

ඒ වනවිටත් කැනඩාවේ සිටින සහෝදරියන් සමඟ එක්වන ලෙස පවුලේ ඥාතීහු නිමලරාජන්ට බල කළහ. දෙමව්පියන්ගේ සහ සහෝදරියන්ගේ පීඩනය යටතේ, ශ්‍රී ලංකාවෙන් පිටව යන බවට පොරොන්දු වූ නමුත්, පුවත්පත් කලාව අත්හැරීමට ඔහු කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. නිමලරාජන් බීබීසී වෙත අවසන් වරට යැවූ වාර්තාවේ දැක්වුණේ මහ මැතිවරණය අතරතුර, විශේෂයෙන් ඊපීඩීපී බල ප්‍රදේශවල සිදු වූ අක්‍රමිකතා පිළිබඳව ය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ඊපීඩීපී සාමාජිකයින් වූ නමුත් ඒ හැම දෙනාම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළහ.

Nimalarajan 1

 

මේ අතර 2022 පෙබරවාරි මාසයේදී, ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ යුද අපරාධ ඒකකය නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහු නිදහස් කෙරිණ. පොලිසිය පවසන පරිදි, නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ කිසිවෙකුට චෝදනා ගොනුකර නොමැත.

ඒ පිළිබඳව ලියුම්කරු කළ විමසීමකදී ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රකාශක ඇඩම් ෆ්‍රෙන්ච් (Adam French) මෙසේ පැවසීය: “අත්අඩංගුවට ගත් පුද්ගලයාට විරුද්ධව චෝදනා ගොනුකරල නැහැ කියල මට තහවුරු කරන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධයෙන් දිගටම විමර්ශන පැවැත්වෙනව.”

2024 ජුනි 4 වන දින නිකුත් කරන ලද ප්‍රකාශයක, බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ඝාතනය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා සිටිනු ලැබීය. පොලිස් ත්‍රස්ත විරෝධී අංශයේ අණදෙන ප්‍රධානී ඩොමිනික් මර්ෆි පැවසුවේ නඩුවක් පැවරීම සඳහා “ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි හැකිතාක්” අවශ්‍ය බවයි.

“එයාව මැරුවේ කවුද කියලා හැමෝම දන්නවා, නමුත් කිසිම සාක්ෂියක් නැහැ - ප්‍රහාරකයින්ව කවුරුත් දැක්කේ නැහැ,” නිමලරාණි පැවසුවාය. “උන් ආවේ හොඳටම කළුවර වැටුනට පස්සේ.”

 

210620 Lily Theres Tributes 1නිමලරාජන්ගේ මව, ලිලී තෙරෙස්
නිමලරාජන්ගේ මව, ලිලී තෙරෙස්, සහ ඔහුගේ පියා, කනපතිපිල්ලේ මයිල්වාගනම්, සිය පුතාගේ ඝාතනයට යුක්තිය නොදැකම දිවි සැරිය නිම කළහ.

2010 දී, ඔහුගේ පියා කැනඩාවේ සිට බීබීසී සිංහල සේවයට මෙසේ පැවසීය: “පුතාගේ ඝාතනයට වගකිවයුතු අය ඉන්නේ ආණ්ඩුවේ. ඒ නිසා ඝාතකයෝ සොයා ගන්න ආණ්ඩුව කිසි දෙයක් කරන්නේ නෑ.” පසුව එම වසරේම ඔහු Reporters without Borders සංවිධානය වෙත මෙසේ පැවසීය: “තමන්ගේ ප්‍රජාවට සේවය කරපු නිර්භීත මාධ්‍යවේදියෙක් විදියට මගේ පුතාව සිහිපත් කරනවාට මම කැමතියි.”

සැකකරු ශ්‍රී ලංකාවට භාර දෙනවා ද?

බ්‍රිතාන්‍යයේදී අත් අඩංගුවට ගනු ලැබූ සැකකරු, ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කළහොත් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නේද යන්න පිළිබඳව ලියුම්කරු ප්‍රශ්න කළ විට පොලිස් ප්‍රකාශක ඇඩම් ෆ්‍රෙන්ච් මෙසේ පැවසීය: “විදේශ රටක් ඒ වගේ ඉල්ලීමක් කළොත්, බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ ඉල්ලීම සලකා බලාවි. ඒක ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අදාළ කාරණයක්. කොහොම වුණත්, නිශ්චිත පුද්ගලයින් හෝ නඩු විභාග ගැන ප්‍රසිද්ධියේ අදහස් නොදැක්වීම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සාමාන්‍ය ස්ථාවරය බව මම දන්නවා."

 

5 A banner with photos of slain and missing journalists outside the Presidential Secretariat yesterday evening. 1 1200x550
විසි පස් වසරකට ආසන්න කාලයක් තිස්සේ, නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නැත. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද අපරාධ ඇතුළු දිගුකාලීන නොවිසඳුණු අපරාධ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රතිඥා දී තිබේ. එක්සත් රාජධානියේ දී අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන මෙන් මීට ඉහත පැවති කිසිදු රජයක් ඉල්ලීමක් කර තිබේද යන්න පැහැදිලි නැත.

සැකකරු පිටුවහල් කරන මෙන් වත්මන් ආණ්ඩුව බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින්නේ දැයි ලියුම්කරු කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එයට පිළිතුරක් දීමට ප්‍රථම පරීක්ෂණයේ වත්මන් තත්ත්වය සොයා බැලිය යුතු බවයි.

අනුරට උතුරේ ප්‍රසාදය

වසර ගණනාවක් පුරා මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කරන ලෙස CPJ සංවිධානය නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

 

කළු ජනවාරිය' : සුගීර්තරාජන්, ලසන්ත හා එක්නැලිගොඩ සැමරුම්

ලියුම්කරු කළ විමසීමකදී අදහස් දැක්වූ CPJ හි ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරිකා බේ ලිහ් යී (Beh Lih Yi): “නිමලරාජන්ගේ ඝාතනය මෙන්ම වසර 26 ක සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව මාධ්‍යවේදීන්ට එල්ල වූ තවත් දුසිම් ගනනක් වූ බිහිසුණු ප්‍රහාර සම්බන්ධයෙන් නව සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ රජයෙන් අපි ඉල්ලා සිටිමු. සියලු අපරාධකරුවන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කළ යුතුය," යනුවෙන් සඳහන් කළේය.

නිමලරාණි ද ඒ අදහසට එකඟ වන්නීය. “මගේ අයියට විතරක් නෙවෙයි, ගොඩක් දෙනෙකුට තවමත් යුක්තිය ඉටු වුණේ නෑ," ඇය පැවසුවාය. “ලංකාවේ ගොඩක් දෙනෙකුට සහෝදරයෝ, පුතාල, තාත්තල, දූලා අහිමි වෙලා තියෙනව … ඒ හැම දෙනාටම යුක්තිය ඉටු වේවි කියල මම බලාපොරොත්තු වෙනව."

එහෙත් වරින් වර සිය සොහොයුරාගේ ඝාතනය සිහිපත් කිරීම ඇයට දරාගත හැක්කක් නොවීය. "මට හරි අමාරුයි ඒ ගැන කතා කරන කොට. ඒක මට අමතක කරන්න බෑ, ඒත් මම හැමදාම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. ඒක හරිම අමාරුයි."

මඳ විරාමයකින් පසුව දිගු සුසුමක් හෙලා ඇය යළිත් හඬ අවදි කළාය. "ඔවුන් මැරුවේ මගේ සහෝදරයාව විතරක් නෙවෙයි." ඇගේ කටහඬ මෘදු වුවත් එහි ගැබ්ව තිබූ අධිෂ්ඨානශීලී බව මට පැහැදිලිව දැනිණ. "උන් මගේ තාත්ත වගේ හිටපු අයියව මරල දැම්ම. දැන් මට හිතෙන්නේ මේ ලෝකේ මා වෙනුවෙන් කවුරුවත් ඉතිරිවෙලා නැහැ කියල."

 

475452664 1189601469836062 1595011253676778805 n
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතිහාසයේ අන් කවර නායකයෙකුටත් වඩා උතුරු නැගෙනහිර බොහෝ වැසියන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් වී තිබෙන බව පැහැදිලිවම දකින්නට ලැබෙන කරුණකි. ජනාධිපතිවරයා උතුරේ කළ සංචාරයන්හිදී එහි වැසියන්ගෙන් පළ වූ ප්‍රතිචාරය මෙන්ම ලියුම්කරු සමග විදේශගත ශ්‍රී ලාංකික දමිළ ජනතාව පළ කළ අදහස්වලින් ද ඒ බව තවදුරටත් සනාත කරන්නකි. 

 
නිමලරාණිගේ ද බලාපොරොත්තුව වසර ගණනාවක් පුරා සිදු කරන ලද බරපතල අපරාධ සඳහා ජනපති අනුර කුමාර යුක්තිය ඉටු කරනු ඇති බවය. එසේ වුවහොත්, එමගින් වගවීම සහ සංහිඳියාව සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයේ තීරණාත්මක පරිවර්තනයක් පෙන්නුම් කරනු ඇත.
 
“ජනාධිපතිතුමා ගොඩක් හොඳ වෙනස්කම් කරමින් ඉන්නවා කියල මට අහන්න ලැබුණ. මගේ අයියගේ ඝාතනය ගැනත් එතුමා යුක්තිය ඉටු කරාවි කියල මම බලාපොරොත්තු වෙනව," ඇය පවසන්නේ, සන්සුන් එහෙත් අධිෂ්ඨානශීලී හඬකිනි.  

“මට අයිය නැතිවෙලා අවුරුදු 25කුත් ගෙවිල ගිහින්. හැමදේම තීරණය කරන්නේ දෙවියන් වහන්සේ, ඒත් යුක්තිය ඉටු වෙනවා නම් මට ගොඩක් සතුටුයි."

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සටහන | සරෝජ් පතිරණ)
Pulitzer Ocean Reporting Network Fellow
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සිහිපත් කරන කළු ජනවාරි සැමරුම වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ලිපි මාලාවක් අතරින් එක් ලිපියකි)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිමලරාජන් ඝාතනය ගැන ජනාධිපති අනුර කුමාර යුක්තිය ඉටු කරාවි - සොයුරියගේ බලාපොරොත්තුව | The Leader