The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සඳේ ගින්දර...

T

The Leader Desk

March 10, 2025 • 11:11 AM

සඳේ ගින්දර...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔන්න දවසක් විමල් ආවා මගේ හොඳම මිත්‍රයකුගේ ගෙදර තිබිච්ච පුංචි දානෙකට.
  • ඒක මට එවෙලේ මදි කියලාත් ඔහුට දැනෙන්න ඇති.
  • ඊට කාලෙකට පස්සේ පහුගිය 8 වනදා, සිකුරාදා විමල් එයාගේ එයාගේ පළමු නවකතාව "සඳේ ගින්දර" නිකුත් වන වෙලාවේත් ඔය කතාවම කිව්වා.
  • මම පොතක් අරන් ගෙදර ඇවිල්ලා ඊට පහුවදා පැය තුනක් ඇතුලත කියවලා ඉවර කරා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔන්න දවසක් විමල් ආවා මගේ හොඳම මිත්‍රයකුගේ ගෙදර තිබිච්ච පුංචි දානෙකට... මිත්‍රයා ලංකාදීපෙ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්... සාම්ප්‍රදායික වැඩකටයුතු ඉවර වෙනතුරු අපි උඩ තට්ටුවේ කතාබහක. කුමාරසිරි හෙට්ටියේත් එතන. ඇයි අශෝක ජයතුංග...

"විමල් ජ්‍යෝතිෂය විශ්වාස කරනවද..?" කතාබහ අතරේ මම ඔහුගෙන් ඇහුවේ කවදාවත් අහල නැති ප්‍රශ්නයක්...

"ප්‍රතික්ෂේප කරන්නේ නෑ..."

ඔහු දුන්නේ දෙපැත්තටම නැති උත්තරයක්... ඒක මට එවෙලේ මදි කියලාත් ඔහුට දැනෙන්න ඇති...

"කාලයක් අපේ තාත්තා වස කුප්පියක් සාක්කුවේ දාගෙන හිටියා මම ෆුල්ටයිම් ජේ වී පී කාරයෙක් වුණොත් බොන්න. ජ්‍යෝතිෂකාරයෙක් තමයි ඒ වහ බෝතලේ අයින් කළේ...

මොකක්ද ඒ කතාව...?

 

1711948501 wimal weerawansa 6

"එයා තාත්තට කියලා තියෙනවා... යනවනම් යන්න දෙන්න. මැරෙන්නේ නෑ. දේශපාලනයෙන් ඉහළටම එනවා. ඒ අතර මාරක අපල තුනක් තියෙනවා. බෝධි පූජා කරන්න.... හරියයි..." කියලා.


"මරු කතාවක්නේ ලියන්න..."

මම එහෙම කිව්වට ඒක ඇහුන විදියක්වත් විමල් පෙන්නුවේ නෑ... ඒ කතාව එතනින් ඉවරයි.

 

sade gindara
ඊට කාලෙකට පස්සේ පහුගිය 8 වනදා, සිකුරාදා විමල් එයාගේ එයාගේ පළමු නවකතාව "සඳේ ගින්දර" නිකුත් වන වෙලාවේත් ඔය කතාවම කිව්වා...

මම පොතක් අරන් ගෙදර ඇවිල්ලා ඊට පහුවදා පැය තුනක් ඇතුලත කියවලා ඉවර කරා. පිටු 132යි. සමහරු පැයෙන් කියවයි. එහෙම තමයි නවකතා තියෙන්න ඕන. විශේෂයෙන්ම අද. නිවාඩු දාගෙන වරු ගණන් කියවන්න දෙන්නේ නැතුව...

අර වස බෝතලේ කතාව ඒ පොතෙත් විමල් ලියලා. හරි අපූරුවට ලියලා. මම කියපු නිසා නෙවෙයි. හැම තාත්ත කෙනෙක්ගෙම පපුතුරේ පුතෙක් ගැන ඇවිලෙන ගින්දර කියන්න ඒක අපූරු සංකේතයක් නිසා... කටින් කියනවට වඩා සංවේදීව. අවස්ථා සම්බන්ධය ඇතිව. ඇත්තම කියනවනම් එතකොටයි රහ...

bab8f8fd e0b9 4306 946b e20b054f1b89
ජ්‍යොතිෂ කාරයාගේ කීමට අනුව වහ බෝතලය සාක්කුවෙන් අයින් කරලා විමල්ට ඒ ගමන යන්න ඉඩ හැරියට ඒ තාත්තා මොනතරම් තැවුනද. දුක් වින්දද... මැරි මැරි ඉපදෙන්න ඇද්ද... කළුතර පැත්තේ ටයර් සෑයක් සෑයක් ගානෙ ගිහිල්ලා කිසිම හෝඩුවාවක් නැතිව අතුරුදහන් වෙලා ඉන්න තම පුතාගේ දේහය සොයමින්...

එහෙම තමයි තාත්තලා. මට ඔය කතාව කියවනකොට මතක් උනේ මගේ තාත්තා. විමල්ගේ තාත්තා වගේ උගත් ගුරුවරයෙක් නෙවෙයි. රජයේ රියදුරෙක්. හැබැයි මනුස්සයෙක්...

එතකොට 1987 උසස්පෙළ සමත්වෙලා මම කොළඹ විශ්ව විද්‍යාලයට තේරිලා. විමල් කළුතර දිස්ත්‍රික්කේ ශිෂ්‍ය අංශයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වෙනකොට අපිත් පස්සර සෙන්ට්‍රල් ඉස්කෝලේ ශිෂ්‍ය සටන්වල. හැමදාම පන්ති වර්ජන. අරගල... ඒක හරි අමාරු කාලයක්...

ඔන්න ඔය අතරේ තමයි පස්සර පොලිසියේ වැඩ කරපු විලියොන් සාජන් මහත්තයා (අයිලන්ඩ් එකේ සමන් ඉන්ද්‍රජිත්ගේ පියා) අපේ තාත්තට දැඩි අවවාදයක් දෙන්නේ...
"රත්නායක... මම ඔන්න තමුසෙට නොකිව්ව කියන්න එපා. තමුසෙට කොල්ලා බේරගන්න ඕන නම් මෙහෙන් ගෙනිහිල්ල කොහේ හරි හංගලා තියෙනවා. අරුන් ඇවිත් රෑකට කුදලන් ගියාම පස්සේ කුණු කුණු ගහන්න එන්න එපා.."

ඒ කාලේ පස්සර පොලිසියට අමුතුම ජාතියේ එවුන් ටිකක් ඇවිල්ලා හිටියා. ඒකේ නායකයා කුලේ. නිශාචර පක්ෂියෝ. ඒ වෙනකොටත් රෑට රෑට උන් වැඩ පටන් අරන්..

ඔන්න දවසක් උදේ පාන්දර පස්සර නිව් ලංකා හෝටලේ ආරි (තඩිආරි) අයියා එයාගේ නිල්පාට සනී කාර් එකෙන් අපේ ගේ ඉස්සරහා. තාත්තත් එක්ක බර කතාව.

 

gettyimages 637672410 1024x1024 1

"අන්න වලංකඩේ චන්දරේව මරලා. පස්සර කිරිමණ්ඩලේ ඉස්සරා දාලා ගිහින්. නූල් පොටක් ඇගේ නෑ..."

මාව දැක්ක ගමන් ආරි අයියා කියපු ඒ කතාව ඇහුවම මගේ ඇග හීතල වෙලා ගියා. වලංකඩේ රමණි අක්කා බැඳපු චන්දරේ අයියා හරිම සුන්දර මනුස්සයා. රූපයෙනුත්. හදවතිනුත් දෙකෙන්ම. ගම සියඹලාණ්ඩුවෙ. එච්. එම්. ජයවර්ධනගේ ළඟම නෑයෝ. වැඩ කළේ පස්සර මහජන බැංකුවේ. හැබැයි ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙක් කියලා අපි හාන්කවසියක් දැනන් හිටියේ නෑ. මාත් එක්ක වරු ගණන් කලාව ගැන, සාහිත්‍ය ගැන කතා කළත් ජේ වී පී දේශපාලනය ගැන එක වචනයක් කතා කරල නෑ...

ආරි අයියා උත්සාහ කළේ මාව කාර් එකේ දාගෙන කොහේදෝ ගෙනිහින් හංගන්න. තාත්තා ඒකට ඉඩ දුන්නේ නෑ. හවස එන්නම් කියල මමත් මග ඇරලා පස්ස පැත්තෙන් පැනලා ගියේ චන්දරේට මොකද උනේ කියල බලන්න... චන්දරේ අයියා ඒ වෙනකොට මගේ ලෙන්ගතු වැඩිහිටි මිත්‍රයා...

A close-up of the foot of a dead person in a morgue.

චන්දරේ අයියගෙ නිසල ලස්සන සිරුර පස්සර ඉස්පිරිතාලේ මිනී කාමරේ මිනී කපන උස පිඟන් ගඩොල් මේසේ උඩ බාවලා. නිරුවතින්... මිනිස්සු වැල නොකැඩී චන්දරේ අයියගෙ මිනිය බලන්න ඇවිත්. විශේෂයෙන් කාන්තාවො.


මොනවා වුනත් පස්සර පොලිසිය ඉතුරු වැඩ ටික කරගන්න මිනිය රමණි අක්කට බාර දුන්නා. අපි මිනිය වලංකඩයට ගෙනාවා. මම ගෙදර ගියේ නෑ. වැඩිහිටියෝ හැම කෙනෙක්ම කිව්වේ කොයි වෙලාවකවත් තනිවෙන්න එපා... එකට එක් වෙලා ඉන්න තරමට ආරක්ෂාව හොඳයි.

මළ ගෙදරට පාරේ අනිත් පැත්තේ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ ඒ වෙනකොට පස්සරට අලුතින් දාපු ආමි කෑම්ප් එක. ආමිඑකේ අය නිතර වැටේ එල්ලිලා අපේ පැත්ත බලාගෙන. අපි බිම බලාගෙන වැඩ...

පහුවදා වේලාසන මිනියේ වැඩ කටයුතු ඉවර කරන්න පොලිසිය අවසර දුන්නා. මමත් පෙට්ටියට කරගහං ගියා. තාත්තා මගේ පස්සෙන්ම... මට බාධා කළේ නෑ...
මිනියේ වැඩ කටයුතු ඉවර වුණ ගමන් තාත්තා මාව ගෙදර එක්ක ගියා. පහුවදා උදෙන්ම ගමනක් යන්න ලෑස්ති වෙන්න කියලා විතරක් කිව්වා... මම තාත්තට එතැන් සිට අවනත වුණා...

පස්සරින් පහුවදා උදේ පාන්දර බදුල්ලට බස්එක හතරහමාර. උදේ පාන්දර ඔළුවේ තලප්පාවක් බැඳ ගත්ත තාත්තා මාවත් කැටිව බස් එක අල්ලන්න ගියා. සුදු පාට බෙට් සීට් එකකින් මගේ ඔළුවේ සිට පාදාන්තය තෙක් වහලා...

 

cooper 1

බස් එකට නැග්ගට පස්සේ තාත්තා මාව උකුලේ නිදි කරවගත්තා...

''ඔලුව උස්සන්නෙ නැතුව ඔහොම හිටපං.'' විධානයක් ලෙස සැරෙන් කිව්වත් තාත්තා. එයාගේ ඇඟිලි මගේ හිස කෙස් අතරින් යවමින් හිස පිරිමැදපු හැටි මට තාම මතකයි. තාත්තලා එහෙමයි... ආදරේ වුණත් දෙන්නේ හංගලා...


මොකද කොල්ලට... තාත්තව දන්න කොන්දොස්තර මහත්තයා එහෙම අහනකොට තාත්තා කිව්වේ "උණ" කියලා. බෙහෙත් ගන්න බදුල්ලට යනවා කියලා.
කරදරයක් නැතුව බදුල්ලට ඇවිත් තාත්ත මාව නැග්ගුවේ මහනුවර බස් එකට. බැලින්නම් මගේ පිටිපස්සෙන් සුමිත්‍ර (සුමිත්‍ර ලියනගේ) සර්. එයත් ඔළුවේ ඉඳන් සුදු රෙද්දක් පෙරවගෙන. එයාටත් හොඳටම උණ. වැඩි කතාබහක් නැතුව මම මහනුවර බස් එකට නගිනකොට එයා නැග්ගේ කොළඹ බස් එකට.

මම මහනුවරට ගිහින් එතනින් පස්සේ අනුරාධපුරේ බස් එකේ නැගලා අනුරාධපුරයට ගියා. අනුරාධපුරේදී මාව බාරගත්ත අපේ ලොකු මාමා. ටි. කේ. ලයනල් තැපැල් මහත්තයා...

 

5654

එයාගේ ගෙදර තිබුනෙ අනුරාධපුරේ ප්‍රීමන් මාවතේ. ගුණදාස කපුගේ හිටියෙත් ඊට ගෙවල් දෙක තුනක් එහා. මම එදා පටන් 88-89 අරගලයේ බරපතල භීෂණ සමය ඉවරවෙනතුරුම ඒ ගෙදර හිටියා...

සඳේ ගින්දර නවකතාව පුරාම තිබුනේ ඊට වඩා දරුණු කතා සමුච්චයක්. ඒ ආඛ්‍යානයේ කතා නායකයා උදය. උදය කළුතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය නායකත්වයෙන් මාරුවක් ලැබ මාතරට යන්නේ මාතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ නායකයා විදිහට වැඩ භාර ගන්න.

eliyakanda wada kadawura 1 scaled

එතකොට තත්ත්වය දරුණු වෙලා. හැම තැනම වැටලීම්. ඊට වැඩියෙන් පාවාදීම්. එළියකන්ද වදකඳවුර සක්‍රිය වෙලා. මුළු දකුණේ පළාතෙම තරුණයින්ට එදා තිබුණේ එතෙන්ට යන බය. මොකද එතෙන්ට ගිය කෙනෙක් ආපහු එන්නෙ කලාතුරකින් බව දන්න නිසා...


එළියකන්ද වද කඳවුරට යන ගමනින් බේරෙන්න උදයලා අනුගමනය කරපු උපායමාර්ග මේ පොත පුරාම සඳහන්. මාතර දිස්ත්‍රික්කය පුරාම ඇවිද ඇවිද ශිෂ්‍යාංශයේ වැඩ කටයුතු සංවිධානය කළත් ඒ උපාය මාර්ගවලට පිටින් යන්න උදයලාට බැරි උනා...

හැමදාම ගමන් බිමන් රාත්‍රී කාලයේ. මහ පාර වෙනුවට අඩි පාර. එළිමහන් තැන්න වෙනුවට කැලෑව. ලන්ද වෙනුවට කන්ද. ඒ තමයි උපාය මාර්ගික තෝරා ගැනීම්...
අන්තිමේ රෝහණ විජේවීර ආණ්ඩුවට හසුවීම හා ඔහුව මරා දැමීම කියන පුවත් උදයගෙ කන වැකීම අහඹුවක්. පාරෙන් නොයා පිළිකණු පැත්තෙන් රාත්‍රී හක්මන බලා ගමනක් යනකොට ඒ ආරංචිය ඈතින් ඇහුනේ ගෙදරක සක්‍රිය කර තිබූ ගුවන්විදුලියකින්...

 

 106372959 78944549 che.jpgරෝහණ විජේවීර

ඒ ඇසුණු ආරංචිය උපායක්ද නැත්නම් යථාර්ථය ද කියලා දැනගන්නත් උදයලාට දවස් ගානක් ගත වුණා.

දවසින් දවස උඩින් හිටපු නායකයෝ අසුවන, අතුරුදහන් වන, රජයේ හමුදාවන්ට භාරවන, මරාදැමෙන, ටයර් සෑ ගතවන පසුබිමක උදයලාගේ ඉරණම කුමක් වනු ඇද්ද කියා ඔවුන් දෙගිඩියාවක. බරපතල දෙගිඩියාවක.

''බිල්ලො'' කියන වචනය උදයගේ කතාව තුළින් විමල් හරි අපූරුවට කතා කරළියට නගා තිබුණා. බිල්ලෙක් වන්නේ පක්ෂයේ සමකාලිකයෙක්. නැත්නම් නායකයෙක්...
ඒත් මේ පාවාදීම් අතරේ ගයා කවරෙක්ද... උදය කළුතරින් සමුගන්නාවිට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබලයා. නායකයා. ලේකම්වරයා අවසානයේ උදයට කොළඹදී මුහුණට මූණ හමුවෙලා.

 Qa6gQNFipa

හැබැයි ඒ බිල්ලෙක් නෙවෙයි. විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමලාගත් අවිගත් සෙබලෙක් ලෙසින්. කොටුව දුම්රියපොළ ඉදිරියේ සුදු ඉර මතින්. (ඒ කාලය වන විට පදික මාරුවේ වර්ණය කහ ලෙස නිවැරදි විය යුතුය)

ඒ සෙබළාට ඉතා පහසුවෙන් තම ගොදුර ඩැහැගැනීමට ඉඩ තිබියදී ගයා අයියා තමන්ව හඳුනා නොගත්තේ ඇයි.? දැන දැනත් අහකබලා ගත්තේ..? ඔහුගේ නෙත් කෙවෙනි කඳුළින් තෙත බරිත වී තිබුණේ..?

උදයට එදා ඊට උත්තරයක් නොවූවත් ඊළඟ පොතේදී විමල් එය අපට කියනු නිසැකය...

(සටහන | බුලිත ප්‍රදීප් කුමාර)
bulitha@gmail.com

උපුටා ගැනීම - Bulitha's Journal

සබැඳි පුවත් :
විමල්ගේ උපන්දිනය දා සඳේ ගින්දර එළිදකී


"තුංග කඳු මඬල" - Wimal Weerawansa (Official Music Video)

Artist - Wimal Weerawansa
Lyrics - Wimal Weerawansa
Melody, Music and mastering - Isuru Wickrama
Videography - DarkRoom

පද රචනය හා ගායනය - විමල් වීරවංශ
තනුව සහ සංගීතය සංයෝජනය - ඉසුරු වික්‍රම
දෘශ්‍ය සංයෝජනය - DarkRoom

තුංග කඳු මඬල පාමුල
වැන්ද සිරිපතුල සිප සිප
ඉන්න මට දොළක් ඇති බව
දන්න සුමිතුරේ...
වින්ද බිංදුවේ ශක්තිය
ජීවිතය පුරා පැතිරිය
සිරිපා අසිරිය විඳින්න
එන්න සුමිතුරේ...
එන්න සුමිතුරේ...

බැන්ද වැට කඩුලු සිත තුළ
බින්ද බව දැනේ මට නම්
සින්න වෙන සිතක් ඇතුවයි
එන්නේ මිතුරනේ...
කන්ද කොයිතරම් උස වුව
ලන්ද කොයි තරම් ඝන වුව
ඒ කිසිවක් මට නොදැනේ
අපේ මිතුරනේ...
අපේ මිතුරනේ...

වින්ද සිත් තැවුල් නැතිකර
කන්ද තරමටම බර කර
මේ සිරිපා වැඳ පුදන්න
එන්න මිතුරනේ...
කන්ද කොයි තරම් උස වුව
ලන්ද කොයි තරම් ඝන වුව
ඒ කිසිවක් මට නොදැනේ
අපේ මිතුරනේ...
අපේ මිතුරනේ...



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...