සොෆී වින්කල්මන්
“....නමුත් ඩිජිටල්කරණය මගින් ළමුන්ට සිදුවන විනාසයට අපි වහා මුහුණ දිය යුතුයි” බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය නිළියක්වන, ළමා ආරක්ෂණ ව්‍යාපෘති ගණනාවක ක්‍රියාශීලී, “සමාජ වගකීම් සඳහා වන පුරවැසි සංවිධානයේ” (ARC - Association for Responsible Citizenry) ප්‍රධාන ප්‍රකාශිකාවක් හා “ළමුන් හා පුංචි විද්‍යුත් තිර” සම්බන්ධයෙන් තොරතුරු හා කරුණු දක්වන සොෆී වින්කල්මන් ගෙන් උපුටා දැක්වීමක්.
මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිනි හැටියට අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න සැළසුම්කර තියෙනවා යැයි කියනවා. සංකල්ප, තේමා පාඨ හැටියට කියනවා මිසක, ප්‍රතිසංස්කරණ සඳහාවන කෙටුම්පත් කිසිවක් නැහැ. මේ කතාවල මාලිමාව පොරොන්දු වූ ඔවුන්ගේ ආණ්ඩු පාලනයේ පාරදෘශ්‍ය භාවය ඇත්තෙත් නැහැ. ඒ මදිවට, ගුරු-දෙගුරුන්ට, අධ්‍යාපනවේදීන්ට, වෘත්තීය සමිති වලට, සමාජ ක්‍රියාකාරීන්ට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ණ ලෙස දැන ගැනීමට, සාකච්ඡා කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටද ජවිපෙ/මාලිමා නායකයින්ගේ සැළකීමක් නැහැ. ඒවා නොදන්නවා නම්, මේ සටහන තැබුවේ ඒ වෙනුවෙන්.
හාන්ස් විජේසූරිය
අධ්‍යාපන ඇමතිනි හැටියට ආචාර්ය හරිනි අමරසූරිය කියා ගෙන යන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්සකරණ පසු බිමෙහි ඉතා බරපතල අහිතකර කාරණා කිහිපයක් තියෙනවා. එකක් ජනාධිපති අනුර කුමාර රාජ්‍ය පාලනය මුළුමනින් “ඩිජිටල්කරණය” කිරීමට ආචාර්ය හාන්ස් විජේසූරිය තම විශේෂඥ උපදේශකයෙකු ලෙස පත් කර ගැනීමයි. ඔහු “ඩයලොග් අක්සියාටා” සමාගමේ දීර්ග කාලයක් දැරූ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත්ව නොමිලේ සිය දැනුම, අත්දැකීම් හා සේවය ලබා දෙන බව කියයි. නමුත් ඔහු ඩයලොග් අක්සියාටා සමාගමේ සහ එහි සමූහ ව්‍යාපාරයේ කොටස් හිමියකු හා අධ්‍යක්ෂවරයෙකු බව කියන්නේ නැහැ. එනිසා දේශීය ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වුනත් ඒ සමාගම් සමූහයේ ලාභාංශ ගැන ඔහුට ඇති උනන්දුවේ අඩුවක් වෙන්නේ නැහැ. ඔහු සමග කරන රාජ්‍ය ඩිජිටල්කරණය එවැන්නක්.
ඒවගේම අනෙක් කාරණය නම්, සියලු ක්ෂේත්‍ර ආවරණය කෙරෙන නූතන “තාක්ෂණික ලෝකය” හා හවුල් විය හැකි අපේ ඊළග පරම්පරා ලෝකයට ලබා දීමේ නව අධ්‍යාපනයක් ගැන ආචාර්ය හරිනි අමරසූරිය කියන කතාවයි. එය 2015 යහපාලන ආණ්ඩු කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහ කොළඹ නගරය, “ආසියාවේ තාක්ෂණික කේන්ද්‍රය” හැටියට වර්ධනය කරනවා යැයි කියුව කතාවම තමයි. වෙනසකට ඇත්තේ එදා රාජ්‍ය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීමක් ගැන කතා නොවීමයි. එදා අධ්‍යාපන ඇමති අඛිල විරාජ් උත්සාහ කෙරුවේ පාසල් ළමුන් සියල්ලන්ට “ටැබ්” බෙදන්නයි. පාසල් 4,000 ක පමණ “ලැට්” නැති රටේ, ටැබ් අරන් දුන්නම ඒ ප්‍රශ්න විසඳෙනවද කියලා මං ඉංග්‍රීසියෙන්, සිංහලෙන් දෙකෙන්ම ඇහුවා. උත්තරත් නැහැ, ටැබ් බෙදිල්ලත් ලොකු ප්‍රචාර නැතිව ලාවට කෙරුනා.

කොරෝනා සමයේ පාසල් අධ්‍යාපනය දරුණු කඩා වැටීමකට හසු වුනා. නමුත් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් ගුරු වර්ජන කෙරුනු අතර, නිවෙස්වල ඉන්නා ළමුන්ට “මාර්ග ගත පාඩම්” (Online Classes) පැවැත්වීමට ලොකු හඬක් නැගුවේ ඉංග්‍රීසියෙන් සියලු දෛනික කටයුතු කර ගන්නා කොළඹ වරප්‍රසාදිත මැදපංතිකයින්. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය, “මාර්ග ගත” ඉගැන්වීම් අනිවාර්ය කරනවා.
ගුරුවරුන් සිසු සිසුවියන් ළඟ Smart phones තිබුණට ඒවායෙන් අන්තර්ජාලය පිරික්සා අවශ්‍ය තොරතුරු සොයා ගන්නේ කෙසේද, විද්‍යුත් තැපෑලක් ජංගම දුරකතනයට ගෙන්වා ගන්නේ හා යවන්නේ කෙසේද සහ මාර්ග ගත ඉගැන්වීම් කියන්නේ මොනවටදැයි කියලා අති බහුතරයක් ගුරුවරුන් හා අධ්‍යාපන නිලධාරීන් දන්නේ නැති බව මම කිව්වා. ඔවුන් දන්නේ කතා කරන්නයි, කෙටි පණිවිඩ යවන්නයි, ඡායාරූප ගැනීමට සහ ඒවා තමන්ගේ ෆේස් බුක් ගිණුමට එකතු කරන්නට විතරයි කියලා කිවුවා. Smart phones වලින් එහි තියෙන පහසුකම් පූර්ණ ලෙස භාවිත කිරීම “සංස්කෘතික” ඇබ්බැහියක්. ඒ සියලු සීමා සමග වඩාත් බරපතල කාරණය, මාර්ග ගත ඉගැන්වීම් දෛනිකව කිරීමට මේ ගුරුවරුන්ට හා දරුවන්ට අවශ්‍යවන විශාල “දත්ත” (Data) ප්‍රමාණ සඳහා වියදම් දරුන්නේ කවුද කියන එකයි.

එනිසා මේ කියන මාර්ග ගත ඉගැන්වීම් අනිවාර්ය කළ පමණින් සාර්ථක වෙන්නෙ නැහැ. නාගරික සමාජයේ පමණක් සියයට 20 ක් පමණ දරුවන් හවුල් වෙන්න ඉඩ තියෙනවා කියලා මම කිව්වට, මාර්ග ගත ඉගැන්වීම් අසාර්ථක බවත් ඊට සහභාගී වී තිබුණේ සියයට 15 ක් පමණක් බවත් පසුව කරන ලද සමීක්ෂණයක දත්ත උපුටා දක්වමින් කලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය වූ ආචාර්ය තාරා ද මැල් මාධ්‍යයට කියා තිබුණා.
තාරා ද මැල්මේ තත්ත්වයෙහි පොඩි වෙනසකට ඇත්තේ දැන් අර්ධ නාගරික සමාජයෙත් මැදපංතික අපේක්ෂාවන් වෙනුවෙන් තරමක උනන්දුවක් ඇතිව තිබීමයි. ඒත් ආචාර්ය තාරා ද මැල් ගේ තක්සේරුව වෙන්නේ හවුල් වෙන්න ඉඩ තියෙන්නේ සියයට 40 ට අඩු ප්‍රමාණයක් කියලයි. “මේ රටේ සාමාන්‍ය දරුවන්ට නිවසේ සිට මාර්ග ගත ඉගැන්වීම් වලට හවුල්වන එක ඉතාම සුඛෝපභෝගී වරප්‍රසාදයක් කියලා අපි නිහතමානීව පිළිගනිමු. අන්තර්ජාල ඉගැන්වීම් සඳහාවන වයසේ සියලු දරුවන්ට සුදුසු ජංගම දුරකතන සහ අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමේ පහසුකම් ආණ්ඩුව හදලා දෙන්න ඕනේ. එතෙක් මාර්ග ගත අධ්‍යාපනය කියන්නේ වරප්‍රසාදිත සුළු පිරිසකට සීමා වෙන්නක් විතරයි” ආචාර්ය තාරා ද මැල් කියා තිබුණා.
මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නේ සියලු ළමුන් නතුකර ගන්නා නමුත් “මාර්ග ගත අධ්‍යාපනය වරප්‍රසාදිත සුළු පිරිසකට සීමාවන” ඒ අසාධාරණ සමාජ පසුබිකයි. අඩු වැඩි වශයෙන් බහුතරයක් ඩිජිටල්කරණයට ගොදුරු කෙරෙන නමුත් ඉන් කිසිදු වාසියක් නොලබන පසු බිමකයි.
මෙහි මම අවධාරණය කරන කාරණාව ඒ සේරටම වඩා බරපතලයි. මේ ඩිජිටල් ලෝකයේ යෝධ ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් ළමුන්ට සිදුවන බරපතල අගතීන් ආබාධ නොතකා පාසලට හා නිවෙසට තල්ලු කරන ඩිජිටල්කරණය, ලාභ උපරිමකරණයක් පමණයි. මාලිමා ආණ්ඩුව ඒවා කර ගැසීමෙන් නූතන “තාක්ෂණික ලෝකය” හා හවුල් විය හැකි අපගේ ඊළග පරම්පරා ලෝකයට ලබා දීමේ සාඩම්බර කතා, අපට අලුත් වුනාට, ඒවා දැන් කල් පැනපු පරණ කතා. හරිනිලාගේ කතාවල නැති බරපතල ඇඟවීම් ගැන සොෆී වින්කල්මාන් ඇයගේ “ARC - 2025” දේශනයෙදි කියු කතා කිහිපයක් ඒ නිසා මම පහතින් සටහන් කරනවා.

“අපි කාරණා කිහිපයක් හා දත්ත ටිකක් බලමු. ජොනතන් හයිට්ස් ගේ ‘කණස්සලු පරම්පරාව’ පොතේ ඉස්මතු කරන කාරණාවක් තමයි, ළමුන් ‘නවීකරණය’ කරන මේ මහා ඩිජිටල් ව්‍යාපාර මගින් අපේ ළමුන් විවිධ මානසික රෝග වලට ගොදුරුකර තිබීම. 2020 දක්වා දසකයේ බාල වයස්කාර ළමුන් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව, දැරිවියන් අතර සියයට 167 ක් වුනා. පිරිමි ළමුන් අතර එය සියයට 91 ක්. ළමුන්ගේ කෑම ගැනීමේ අවුල් නිසා එංගලන්තයේ රෝහල්ගත කෙරුණු ළමුන් ප්‍රමාණය 06 ගුණයකින් වැඩි වෙලා. වසංගත මෙන් බෝවන සමාජ මාධ්‍ය මෙවලම් වලට ඇබ්බැහිවීම් ඊට ප්‍රධානම හේතුව හැටියට සඳහන් වෙනවා. 2022 දී ගතවුනු අවුරුදු 09 ක කාලයේ යෞවනය අතර ‘ස්වයං-හානි’ සිදුකර ගැනීම් සියයට 50 කින් වැඩි වෙලා. අවුරුදු 03 ට පෙර බි්‍රතාන්‍යයේ කෙරුණු සමීක්ෂණයකට අනුව සෑම ළමුන් 03 ක් ගෙන් 01 ක් අයකුගේ ඇස් පෙනුම දැන් ළඟ දැක්මකට (Short sighted) හැඩ ගැහිලා. මගේ (සොෆීගේ) ඇස්තමේන්තු අනුව 2050 වන විට, ලෝකයේම ළමුන්ගෙන් බිලියනයක් පමණ මේවට ගොදුරු වෙනවා. ඇත්ත අපරාධකරු ළමුන්ට ඇති ‘විද්‍යුත් තිරයේ රැඳී සිටීමේ’ දිගු කාලයයි. මෙතෙක් වූ පරම්පරා ගොදුරු නොවුනු යෝධ විද්‍යුත් තිර ආකර්ශනයකට වර්තමාන පරම්පරා නතු වෙලා ඉන්නේ. විද්‍යුත් තිරයේ ක්‍රියාකාරකම් විසින් නිවෙසක සිදුවන සියලු ක්‍රියාකාරකම් වලින් ළමුන් ඉවත් කරනවා. ඩග්ලස් ජෙන්ට කියන අයුරු, විද්‍යුත් තිරය දෙස බලන් ඉන්න කාලය කියන්නේ, වෙනත් කිසිවකට කාලය ගත කරන්නෙ නැහැ කියන එකයි. යහපත් නිරෝගී ළමා ජීවිතයකට, විනෝදය සතුට ඇති තරම් තිබිය යුතුයි. දුවන්න පනින්න, සෙල්ලම් කරන්න, පිට්නියක පා පන්දු ගහන්න, පොත පත කියවන්න, කෙටි කතා ලියන්න ළමුන්ට කාලය තියෙන්න ඕනෙ. නමුත් දැන් ඒ මොනවත් නැහැ.”
“මෑතකදී වඩා යහපත් විද්‍යුත් තිර භාවිතයක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විශේෂඥ සෞඛ්‍ය වෘත්තිකයින් කිව්වා, වයස අවුරුදු 11 ත් 17 ත් අතර දරුවන්ට මුලු දවසටම පැයකට දෙකකට වඩා වැඩි විද්‍යුත් තිර භාවිතයක් නොතිබිය යුතුයි කියලා. එයට ජංගම දුරකතන, ටැබ්, අයි-පෑඩ්, නෝට් බුක්ස්, පාසලේ හා නිවසේ ලැප්ටොප් වැනි සියලු විද්‍යුත් උපකරණ අයත්. නමුත් පාසලෙන් බැහැර කාලයේ දරුවකු දළ වශයෙන් පැය 07 ට වැඩි කාලයක් ගත කරන්නේ විද්‍යුත් තිරයේ”.
“මේ කිසිත් නොසිතා ඇනලොග් වල ඉඳන් ඩිජිටල්කරණයට මාරුවීම ළමුන්ගේ කතා කිරීමට බරපතල ලෙසත් අර්ථාන්විතව සිතීමේ හැකියාවටත් හැඟීම් පාලනයටත් දැඩිව බලපානවා. හැමවිටම අස්වාභාවිකව උනන්දු කරවන ළමුන් කොහොමද සිතන්න, කල්පනා කරන්න, නිර්මාණකරණයේ යෙදෙන්න නැතිනම් නිදහසේ ඉන්න ඉගෙන ගන්නේ? කෙටිම උත්තරය, ඉගෙන ගන්නේ නැහැ. කවුද මේ ඩිජිටල් අධ්‍යාපනය අපේ ළමුන්ට හොඳයි කියලා ඔප්පු කරලා තියෙන්නේ? කවුරුත් නැහැ.”

“මෑතක ස්වීඩනයේ කළ සමීක්ෂණයකින් විද්‍යාත්මක සාධක මත ඔප්පු කරලා තියෙනවා මේ ඩිජිටල් අධ්‍යාපනය ළමුන්ට ඉගෙන ගැනීමට ප්‍රයෝජන වනවාට වඩා හානි කරනවා කියලා. ඒ ගැන දැඩි තීරණයක් ගෙන, තාක්ෂණය පංතිකාමරයෙන් පිටතට විසිකර දමන්න තීන්දු කරපු පළමු රට ස්වීඩනයයි. ඒ වෙනුවට ඒගොල්ලෝ ඒ ආයෝජන නැවත පොත් වලට, පෑන් පැන්සල් වලට සහ කඩදාසි වලට වියදම් කරන්න තීන්දු කෙරුවා. ඒ ගොල්ලන්ට ආත්ම ශක්තියක් තිබුණා ඩිජිටල් අධ්‍යාපනය අසාර්ථක අත්දැකීමක් කියලා පිළිගන්න”.
“නූතන ලෝකයේ නවීකරණය තීන්දුකරනවට වඩා පහසු තාක්ෂණය සමග අප සිටිය යුතුයි කියන කතා දැන් වලංගු නැහැ. ලොව පුරා හමුවන තොරතුරු අනුව පෙන්වන්නේ දියුණු, බුද්ධිමත්, තාර්කිකව සිතන්න හැකි, විහිළුවක් රස විඳින්න හැකි පරම්පරා දැන් හැදෙන්නෙ නැහැ කියලා. පුංචි ප්‍රශ්නයක්. ගූගල් වලින් හොයා ගන්න තොරතුරක් කොපි කරගෙන අලවා ගැනීම, පොතක් කියවලා තේරුම් අරගෙන, ඒ ධාරණය කරගන්න දැනුම තමන්ගේ අත් අකුරෙන් ලියා ගන්නවාට වඩා සාර්ථක වෙන්නේ කොහොමද?

මම යෝජනා කරනවා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට සහ ඇයගේ විශේෂඥ අධ්‍යාපන කල්ලියට සොෆී වින්කල්මන්ගෙ මේ දේශනය (The Most Compelling Argument Against Tech In Schools | Sophie Winkleman) මුල සිට අගට සම්පූර්ණයෙන් අහන්න කියලා. එවගේම දෙගුරුන්ටත් පුළුවන් ප්‍රමාණයකට එයට සවන් දෙන්න කියලා. ඇයගේ දේශනයෙන් මේ දිග උපුටා ගැනීම් සටහන් කෙරුවේ, එක මූලික හා අතිශය වැදගත් කාරණාවක් අවධාරණය කරන්නයි. තාක්ෂණික අධ්‍යාපනය පංතිකාමරයට ඇතුළු කිරීම මහා ප්‍රාතිහාර්යක් වගේ හිතුමතේ කිරීම, අවසානයේ ළමුන්ගේ අනාගතය සම්බන්ධයෙන් දීර්ග කාලීන වගකීම් බාර නොගන්නා දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට බාර නොදිය යුතු යැයි කියන්නයි.

යෝජනා කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනාධිපතිගේ සමස්ථ රාජ්‍යයම ඩිජිටල්කරණය කිරීම සමග අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරියගේ සියලු ක්ෂේත්‍ර ආවරණය කෙරෙන නූතන “තාක්ෂණික ලෝකය” හා හවුල් විය හැකි අපගේ ඊළග පරම්පරා ලෝකයට ලබා දීමේ කතාව අති භයානක යෝජනා යැයි මම කියමි. ඒවා අධ්‍යාපනයෙන් එහා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ප්‍රකාශනයේ අයිතිය යන සියල්ල බුද්ධි තොරතුරු ගොනු කිරීමේ අධිකාරී බලයකටද යටත් කෙරෙන නිසයි.
ඒ නිසා නැවතත් මම කියන්නේ, ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම්පත් වහා ප්‍රසිද්ධ කරන්න. ඒවායේ අන්තර්ගතය හා භාවිතය ළමුන්ට කෙතරම් ආරක්ෂා සහිතදැයි දැන ගැනීමේ අයිතියක් දෙගුරුන්ට තියෙනවා. ඒවා ඉල්ලා සිටීමේ අයිතියත් ගුරු-දෙගුරුන්ට තියෙනවා. ඒ නිසා දෙගුරුන් සමාජ වගකීම් සඳහාවන පුරවැසි බලයක් ලෙස කටයුතු කරන්න ඉදිරිපත් විය යුතුයි.





