The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ කාගේ ද?

T

The Leader Desk

March 11, 2025 • 7:12 AM

‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ කාගේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලයට පත් වූ මාලිමා ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට අදාළව ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්'( කෙටුම්පතක් ) සකස් කර ඇතැයි පසුගිය දින කිහිපයේ සිට වාර්තා විය.
  • එය කරළියට පැමිණියේ ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ ඇතුළු මාධ්‍යයට අදාල නීති ඉදිරියේදී ඉදිරිපත් කරන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයෝ ජනමාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී පැවසීමෙන් අනතරුවය.
  • එහිදී නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ ජූනි මාසයේ දී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවයි.
  • ඒ වගේම ජනමාධ්‍යට ද, ජනමාධ්‍යවේදීන්ටද ආචාරධර්ම ඇතුලුව ක්‍රියාත්මක තළයේ පවතින විනිවිදභාවයකින් වගේම ‘සමාජ වගකීමක්’ සහිත ප්‍රතිපත්ති, ප්‍රකාශන තිබීම වැදගත් නොවේ යැයි කිසිවෙක් පවසන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


බලයට පත් වූ මාලිමා ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට අදාළව ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්'(කෙටුම්පතක්) සකස් කර ඇතැයි පසුගිය දින කිහිපයේ සිට වාර්තා විය. එය කරළියට පැමිණියේ ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ ඇතුළු මාධ්‍යයට අදාල නීති ඉදිරියේදී ඉදිරිපත් කරන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයෝ ජනමාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී පැවසීමෙන් අනතරුවය.

 

 

එහිදී නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ ජූනි මාසයේ දී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවයි. රටකට මාධ්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ඒ වගේම ජනමාධ්‍යට ද, ජනමාධ්‍යවේදීන්ටද ආචාරධර්ම ඇතුලුව ක්‍රියාත්මක තළයේ පවතින විනිවිදභාවයකින් වගේම ‘සමාජ වගකීමක්’ සහිත ප්‍රතිපත්ති, ප්‍රකාශන තිබීම වැදගත් නොවේ යැයි කිසිවෙක් පවසන්නේ නැත.

එසේ නම් ප්‍රශ්ණය කුමක්ද?

mic

කෙටියෙන්ම පැවසුවහොත් එය මෙසේය. ආණ්ඩුව විසින් විෂයට අදාළ සියලු පාර්ශවකරුවෙක්ගේ සහභාගීත්වයෙන්, අදහස් විමසීමකින් තොරව මෙන්ම විනිවිදභාවයකින් සහ විවෘතභාවයකින් තොරව ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ එළිදැක්වීමට නියමිත යැයි පැවසීමය. මෙය මාධ්‍ය නිදහසට සේම රටක ප්‍රජාතන්ත්‍රවාදයටත් හිතකර තත්ත්වයක් නොවේ. මෙසේ අදාළ පාර්ශවරුවන්ගේ පුළුල් සහභාගීත්වයකින් හෝ මැදිහත්වීමකන් තොරව ‘ආණ්ඩුවක්’ විසින් ජනමාධ්‍යට අදාළ ප්‍රතිපත්ති තීරණය කිරීම අතිශය බියකරු තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතියට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද තර්ජනයට ලක් නොකරනු ඇතැයි කාට නම් කිවහැකි ද?

ආණ්ඩුව විසින්, පාර්ශවකරුවන්ගේ (ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය සංවිධාන, ජනමාධ්‍ය හිමිකරුවන්, සිවිල් සමාජය ඇතුලු පාර්ශවකරුවන්) සහභාගීත්වයකින් තොරව තනි තීරණයකින් මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම බරපතල ගැටලු රැසකට හේතු විය හැකිය. මෙවැනි තත්ත්වයකදී, ප්‍රතිපත්තිය රජයේ දේශපාලන අභිලාෂයන්ට යටත් වී, මාධ්‍යවල ස්වාධීනත්වය, නිදහස සහ විවිධත්වය තර්ජනයට ලක්විය හැකිය. ශ්‍රී ලංකාවේ අතීතයේදී, රජයන් විසින් මාධ්‍ය මර්දනයට යොදාගත් උපක්‍රම  (උදා: රාජ්‍ය මාධ්‍යවලට අනවශ්‍ය බලපෑම් කිරීම ඇතුලු තවත් බොහො දේවල්) මෙයට එක් උදාහරණකි. මෙවැනි ඒකපාර්ශ්වික ප්‍රතිපත්තියක් ජනතාවගේ විශ්වාසය අහිමි කරන අතර, එය මාධ්‍යවල විශ්වසනීයත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාවට ද හානි කරයි. එබැවින්, පුළුල් සහභාගීත්වයකින් තොරව සකස් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී ජන විරෝධතා, නීතිමය අභියෝග සහ සමාජ අස්ථාවරත්වය ඇති වීමේ අවදානමක් පවතින බව මාළිමා ආණ්ඩුවට නොදන්නේ ද?

මාධ්‍ය මර්දනයේ මෙවලමක්

sanjana 1200x550
මෙසේ ආණ්ඩුව විසින් ඒකපාර්ශවීය ලෙස ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී එය ‘මාධ්‍ය මර්දනයේ මෙවලමක්’ බවට පත්විය හැකි බවට සිදුකරන තර්ක සාධාරණීකරණයවීම වැළැක්විය නොහැකිය. එසේම මාධ්‍ය ප්‍රතිපත්තියක් ආණ්ඩුවක තනි තීරණයකින් සකස් වූ විට, එය මාධ්‍ය මර්දනයේ මෙවලමක් බවට පත්වීමේ අවදානම ද ඉතා ඉහළය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සලකා බැලූ විට, රජයන් විසින් මාධ්‍ය නිහඬ කිරීමට නීති හා රෙගුලාසි භාවිතා කළ අවස්ථා බහුලය. ආණ්ඩුවක් තනි තීරණයකින් ප්‍රතිපත්තියක් සකසූ විට, එය බලයේ සිටින පාලකයන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව යොදාගත හැකි ආයුධයක් විය හැකිය. උදාහරණයක් ලෙස, “ජාතික ආරක්ෂාව” හෝ “මහජන යහපත” වැනි යෙදුම් යටතේ අපැහැදිලි නීති හඳුන්වා දී, විවේචනාත්මක මත දරන මාධ්‍යවේදීන්ට ඇතුලු පුරවැසියන් හෝ ආයතනවලට දඬුවම් පැමිණවිය හැකිය.(උදාහරණයක් ලෙස,අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉතාමත් දැඩි ලෙස තර්ජනයට ලක්කරන නීතියක් වන Online Safety Act(OSA), දැනටමත් අපගේ නීතියට ඇතුලත් වී හමාරය. ආණ්ඩුව නිහඩය!) එසේම 2009 යුද්ධයෙන් පසු මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකල අපරාධ, ප්‍රභල සහ පැහැදිලි සාක්ෂි සපයයි. එසේම, ඩිජිටල් යුගයේදී සමාජ මාධ්‍ය පාලනයට යොදාගන්නා ප්‍රතිපත්ති මගින් පුද්ගල නිදහස මත ප්‍රකාශනයට බාධා ඇති විය හැකිය. OSA යටතේ දැනටමත් එය සිදුවෙමින් පවතී. මෙවැනි තත්ත්වයකදී, ප්‍රතිපත්තිය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට වඩා, දේශපාලන බලය රඳවා ගැනීමේ මෙවලමක් බවට පත්වීමේ අවදානමක් පවතී. එබැවින්, මෙම අර්බුදය වළක්වා ගැනීමට විනිවිදභාවය සහ වඩා පුළුල් සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ.

Generative AI ඇතුළු නව ප්‍රවණතා සමග..

 

vrtrt
ඉතාමත් වේගයෙන් සහ මිනිසාට සිතාගැනීමටත් නොහැකි ලෙස දියුණුවන වර්තමාන ඩිජිටල් යුගයත්, විශේෂයෙන් එහි දියුණුම කලාපයක් වන Generative AI වැනි නව තාක්ෂණයන් මෙම අවදානම තවත් වැඩි කරයි. උදාහරණයක් ලෙස, GenAi භාවිතයෙන් සමාජ මාධ්‍යවල ජනතා මතයන් නිරීක්ෂණය කිරීම, විරුද්ධ මත ප්‍රකාශ කරන්නන් හඳුනාගැනීම හෝ ‘පාලකයන් අකමැති’ තොරතුරු, ව්‍යාජ තොරතුරු ලෙස ලේබල් කරමින් ඔවුන්ගේ අන්තර්ගතයන් අවහිර කිරීම රජයකට පහසු විය හැකිය. ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම වැනි සිදුවීම්, GenAI සමග ඒකාබද්ධ වුවහොත් තවත් බලවත් මර්දන යාන්ත්‍රණයක් බවට පත්විය හැකිය. මෙවැනි තත්ත්වයකදී, මාධ්‍ය ප්‍රතිපත්තිය ජනතාවගේ තොරතුරු අයිතිය තහවුරු කිරීමට වඩා, බලයේ සිටින්නන්ගේ අභිලාෂයන් ඉටුකිරීමට සහ විරුද්ධ හඬවල් මැඩලීමට යොදාගත හැකි බව පැහැදිලිය. එබැවින්, GenAI වැනි ප්‍රවණතා සමග මෙම අවදානම වැඩි වන බැවින්, ප්‍රතිපත්ති සැකසීමේදී එවැනි දියුණු තත්ත්වයන් ගැඹුරින් නොසලකා ‘ආණ්ඩුවක්’ තනි මතයටකට මාධ්‍ය ට අදාළ ප්‍රතිපත්ති සැකසීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයකි.

ආණ්ඩුව විසින් සිදුකිරීමට යන මේ බියකරු තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ආපස්සට හැරවීම වැළැක්වීම සදහා සලකා බැලිය යුතු කරුණු සහ කළ යුතු ක්‍රියාකාරකම් කිහිපයක්,

 

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන මුහුණ දෙන අභියෝග
ශ්‍රී ලංකාව වැනි රටක ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ සකස් කිරීම යනු සංකීර්ණ හා සංවේදී කාර්යයකි. මෙය පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සංස්කෘතික, සමාජීය, දේශපාලනික සහ ආර්ථික තත්ත්වයන් මත රඳා පවතින බැවින්, එම සියලුම අංශ සමතුලිතව සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. මාධ්‍ය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන මෙන්ම රජයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නංවන මූලික ආයතනයකි. එබැවින්, මෙවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී පහත සඳහන් කරුණු සහ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

1. ප්‍රකාශන නිදහස සහ එහි සීමාවන්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් ප්‍රකාශන නිදහස තහවුරු කර ඇතත්, එයට යම් සීමාවන්ද පනවා ඇත. මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී මෙම නිදහස ආරක්ෂා කිරීමත්, එය ප්‍රවර්දනය කිරීමත් මූලික කරුණක් වේ.

2. බහුසංස්කෘතික සහ බහුභාෂිත තත්ත්වය

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සියලු භාෂාවන්ට සහ සංස්කෘතීන්ට සමාන අවස්ථා ලබාදෙන ලෙස සකස් විය යුතුය. (ඛේදවාචකය නම්, ඉදිරිපත් කර ඇති ‘ජාතික මාධ්‍ය කෙටුමපත’ ඇත්තේ ද ඉංග්‍රීසි පමණක් වීමය. (“කෙටුම් පතෙහි සිංහල හෝ දෙමළ පරිවර්තනයක් මුදා නොහැරීම තුළම මේ තුළ සැඟවුනු න්‍යාය පත්‍රයක් ඇති බව අපට නිරීක්ෂණය වී තිබේ.” ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය)

3. තාක්ෂණික දියුණුව සහ ඩිජිටල් මාධ්‍ය

 
සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත සංශෝධනට රජය තීරණය කරයි
වර්තමානයේ ඉතාමත් දියුණ සමාජ මාධ්‍ය ඇතුලු Online වේදිකා ශ්‍රී ලංකාවේ ජනතාව අතර අතිශය ජනප්‍රිය මෙන්ම මේවන විට පුරවැසියන් ඔවුන්ගේ අදහස්, මතවාද, සාකච්ඡා ප්‍රමුඛව සිදුකරන්නේ සමාජ මාධ්‍ය වේදිකාවන් වලය. එය සාම්ප්‍රදායික මාධ්‍යට වඩා ඉදිරියෙන් පවතින්නකි. ඇතැම් විට ප්‍රභල දේශපාලන ප්‍රශ්න විසදා ගැනීම සදහා වන ක්‍රියාවලියන් හී දී ප්‍රධාන සන්නිවේදනය මාධ්‍යක් බවට පත්ව ඇත්තේ සමාජ මාධ්‍ය වේදිකාවන්ය. මේ නිසා, මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සමාජ මාධ්‍ය ඇතුලු ඩිජිටල් මාධ්‍යවලට අදාළ නීතිරීති, ආචාරධර්ම සහ වගකීම් ගැනත් සලකා බැලිම අතිශයින් වැදගත් වනු ඇත. Disinformation, Misinformation බහුලව ශ්‍රී ලංකාව තුළ පැතිරීයන බැවින් එම අතිශයින් වැදගත් කලාපය පිළිබදව ද දැඩි අවධානයක් යොමු කළ යුතුය. Ex: Social Media Declaration – socialmedialanka.org

 

disinfo23423
4. රජයේ මැදිහත්වීම සහ ස්වාධීනත්වය

ශ්‍රී ලංකාවේ අතීතයේ ආණ්ඩු විසින් මාධ්‍ය මර්දනය කිරීමේ සිදුවීම් බොහෝ ඇති බව රහසක් නොවේ. එබැවින්, මාධ්‍යවල ස්වාධීනත්වය තහවුරු කිරීමට නිශ්චිත යාන්ත්‍රණයන් (උදා: ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාවක්) ප්‍රතිපත්තියට ඇතුළත් කිරීම වැදගත් වනු ඇත.

5. රාජ්‍ය මාධ්‍ය ‘මහජන සේවා ජනමාධ්‍යක්’ බවට පත්කිරීම

මේ පිළිබද සංවාදය වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන විසින් ආරම්භ කළේය. ඒ සදහා පර්යේෂන, විද්වත් සාකච්ඡා, ජාත්‍යන්තර අත්දැකීම් වැනි පැති ගණනාවකින් ආරම්භ වූවකි. එය නැවත ආරම්භ කිරීමත්, ඒ සදහා ප්‍රමුඛත්වය ලබා දීමත් ලංකාවේ මාධ්‍ය නිදහසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්දනයටද දැඩි ලෙස උපකාරී වනු ඇත.

6. මාධ්‍ය නිදහස සහ තොරතුරු අයිතිය

 

ලෝක ජනමාධ්‍ය නිදහස දිනයදා ලංකාවේ ලේඛක ලේඛිකාවන් 17ක් හිරේ
ප්‍රතිපත්ති බොහෝවිට පුරවැසියන්ට තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කිරීම සහ මාධ්‍යයට සිදුකරන මැදිහත්වීම් නොමැතිව ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි ‘ආරක්ෂිත පරිසරයක්’ උදෙසා කටයුතු කරයි.

7. සමාජ වගකීම,වගවීම සහ බහුත්වවාදය

මාධ්‍ය ප්‍රතිපත්ති, සමාජ වගකිමක් සහ පුරවැසියන් වෙනුවෙන්, පුරවැසියන් සදහා විය යුතුබව අවධාරණය කරයි. මෙයට ආචාර්ධර්ම සහ නීතිමය ආවරණ ඇතුලු සම්මතයන් සහිතව වීම සහ විශේෂයෙන් පෞද්ගලිකත්ව සහ දත්ත අයිතිවාසිකම් ද ඇතුළත් වේ. අප වැනි පශ්චාත් යුද සමාජයක ජනමාධ්‍ය හි පැවතිය යුතුම තවත් එක් ප්‍රධාන ලක්ෂනයක් වන ‘බහුත්වවාදය’ සහ එහි අර්ථයන් නිරූපනය වන පරිදි මාධ්‍ය අන්තර්ගතයන් නිශ්පාදනය සහ මෙහෙයවීම අතිශය වැදගත්ය. මෙම කලාපයද මගහැර යා නොහැකි අත්‍යවශ්‍ය කලාපයක් සේ සැලකිය යුතුය

8. ජනමාධ්‍ය ආචාරධර්ම

 

විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබට ද 1 ? - (ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ)

ජනමාධ්‍ය ආචාරධර්ම සකස්කර ගැනීමත්, එය කාලානුරූපීව වර්ධනය කරගනිමින් නූතන මාධ්‍ය ලෝකයට අනුව හැඩගස්වා ගැනීමත් ජනමාධ්‍ය සතු ක්‍රියාවලියකි. වගකීමකි. අවශ්‍යනම් එයට විනිවිදබාවයකින් යුතුව පහසුකාකරත්වය සැපයීමට ආණ්ඩුවකට යම් ඉඩක් ඇත. නමුත්, එම ආචාරධර්මවලට මැදිහත්වෙමින් ඒවා සකස් කිරීම පිළිබද ඒකපාර්ශවීය ලෙස තින්දු ගැනීම අතිශයින් දරුණුය. එය මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයකි. (07.34 – 07.49 – පාර්ලිමේන්තු මංත්‍රීනි නිලන්ති කොට්ටහච්චි විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය බලන්න.)

සමාජ වගකීමකින් යුතු ජනමාධ්‍යක් වෙනුවෙන් ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් නම්’ කළ යුත්තේ මොනවාද?

1. වඩා පුළුල් සාකච්ඡාවන් සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය අවශ්‍ය වන්නේ නම් එය සකස් කිරීමට පෙර, මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන, විෂය පිළිබද විද්වතුන්, සිවිල් සමාජය සහ ජනතාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගත යුතුය. මේ සඳහා විවෘත සංවාද, වැඩමුළු සහ මහජන මත විමසීම් පැවැත්විය හැකිය. එසේම මාධ්‍යවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ‘පැහැදිලි’ ‘පැහැදිලි නිර්වචන’ නීතිරීති(අවශ්‍යතාවය පිළිබද ගැඹුරු තක්සේරුවකින් පසු) සහිත රාමුවක් සකස් කළ යුතුය. නමුත් ගෝලීය පවතින දියුණ තාක්ෂණික තත්ත්වයන් සමග නීති මගින් ඇතැම් ගැටලු විසදීමට නොහැකි බව ලෝකය තුළින්ම ඔප්පූ වී අවසානය. එබැවින් දැඩි ලෙස අවධානය යොමුකළ යුතු වන්නේ ස්වයං නියාමන යාන්ත්‍රණයක් ඇතුලු ආචාරධර්ම මත පිහිටා කටයුතු කිරීමට උනන්දු කිරීමය. තොරතුරු දැනගැනීමේ අයිතිය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, සහ වාර්තාකරණයේ ආචාරධර්ම පිළිබඳ මාර්ගෝපදේශ එයට ඇතුළත් විය යුතුය. නීති මගින්, මාධ්‍ය පාලනයත්, මාධ්‍ය මර්දනයත් නොවන බවට පාරදෘෂ්‍ය ක්‍රියාවලියක් තුළින් පැහැදිලිව පෙන්නුම් කළ යුතුය.

2. මාධ්‍යවේදීන් සඳහා පුහුණුව සහ ධාරිතාව ඉහළ නැංවීම

මාධ්‍යවේදීන්ට වෘත්තීයමය පුහුණුව ලබාදීමෙන් ඔවුන්ගේ කුසලතා සහ වගකීම් පිළිබඳ දැනුම වැඩි කළ හැකිය. උදාහරණයක් ලෙස, ගවේෂණාත්මක ජනමාධ්‍යකරණය, විශේෂයෙන් Generative AI, ඩිජිටල් මාධ්‍ය භාවිතය සහ ආචාරධර්ම පිළිබඳ ප්‍රතිඵල කේන්ද්‍රීය වැඩසටහන් ඇතුලත් කළ හැකිය.

3. ජනතාව අතර මාධ්‍ය සාක්ෂරතාව වැඩි කිරීම

 

මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන් -ආචාර්ය  ප්‍රදීප් වීරසිංහ

ජනතාවට Disinformation, Misinformation ඇතුළු සංකීර්ණ තත්ත්වයන් හඳුනාගැනීමට සහ විවේචනාත්මකව මාධ්‍ය භාවිතා කිරීමට හැකියාව ලබාදීම සඳහා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, ඩිජිටල් අයිතිවාසිකම් පිළිබද දැනුවත් කිරීමත්, ‘ඩිටිටල් අයිතිවාසිකම්’ ද මානව හිමිකමක් යන්න පිළිබද අවබෝධය ලබා දීමත් ඉතාමත් වැදගත් වනු ඇත. මෙය පාසල් මට්ටමේ සිටම ආරම්භ කිරීමත් ඉතාමත් වැදගත්ය.

ශ්‍රී ලංකාව වැනි රටක මාධ්‍ය ප්‍රතිපත්තියක් සාර්ථක වීමට නම්..

ශ්‍රී ලංකාව වැනි රටක මාධ්‍ය ප්‍රතිපත්තියක් සාර්ථක වීමට නම්, එය ජනතාවගේ අවශ්‍යතාවන්ට සහ ලෝකයේ නව ප්‍රවණතා ගැඹුරින් සළකා බලමින් එයට ගැළපෙන ලෙස සකස් විය යුතුය. ප්‍රකාශනයේ නිදහස, ස්වාධීනත්වය, ඩිජිටල් අයිතිවාසිකම්, නිදහස සහ තාක්ෂණික දියුණුව ඇතුලු තවත් බොහෝ කරුණු මූලික කරගනිමින්, පුළුල් සහභාගීත්වයක් සහිතව මෙම ප්‍රතිපත්තිය සැකසීමෙන් රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවිය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ද හේතුවනු ඇත.

sfse

එපමණක් ද නොවේ. තවත් ඉතාමත් සංකීර්ණ වැදගත් කලාපයක් අමතක කර ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ පිළිබද සාකච්ඡාවන් වත් සිදුකිරීම අපහසුය. එනම්, ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යට එල්ල කරන ලද අපරාධයන්ය. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කරන ලද කිසිදු අපරාධයකට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට කිසිදු පාලකයෙක්ට මේ දක්වා නොහැකි වී තිබේ. එය තවත් ලෙසකට පවසන්නේ නම්, දණ්ඩමුක්තිය සුවසේ වැඩීමට අවශ්‍ය සරු පසක් තවමත් ශ්‍රී ලංකාව තුළ පෝෂනය කරමින් තිබේ. එබැවින් දණ්ඩමුක්තිය පෝෂනය කරමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටක අදාළ පර්ශවයන් ඇතුලු පුළුල් සහභාගීත්වයකින්, විනිවිදබාවයකින් සහ විවෘතභාවයකින් තොරව ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ සැකසීම යනු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පෝෂනය කරන ආණ්ඩුවක ‘වැඩක්’ නම් නොවේ. ‘චීන උපදෙස් මේකත් එක්ක තියනවා වෙන්න බැරිද’ මිතුරෙක් පැවසීය.

පසු සටහන

sfrtyry56768678ආණ්ඩුව විසින් එළිදැක්වීමට නියමිත යැයි ප්‍රකාශ කර ඇති ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ පිළිබදව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධානයක් වන “ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, එය සිදුකරමින් ඇති ක්‍රමවේදයට ඔවුන්ගේ බලවත් විරෝධය ප්‍රකාශ කර තිබේ. එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.


“මෙම කෙටුම්පත මුලික වශයෙන් සැකසීම ඇරඹෙන්නේ පසුගිය පාලන සමයේදී වන අතර එය හුදෙක් එවකට සිටි රජය විසින් තමනට බරපතල තර්ජනයක්ව පැවති ජනමාධ්‍ය හා මාධ්‍යවේදීන් මර්ධනය කිරීමට හෝ හීලෑ කරගැනීම සඳහා තමනට හිතවත් විද්වතුන් කණ්ඩායමක් යොදවා දරණ ලද උත්සාහයක් වශයෙන් අප ඒ අවස්ථාවේදී ද අදහස් පළ කළෙමු. වර්තමාන ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයක් පමණක් ගතව තිබිය දී කළ යුතුව පවතින ඉතා වැදගත් ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා මුලපුරාවත් නොමැති පසුබිමක පසුගිය ආණ්ඩුව සැකසූ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුව කඩිනම් වී ඇත්තේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබේ. මෙම කෙටුම්පතෙහි සිංහල හෝ දෙමළ පරිවර්තනයක් මුදා නොහැරීම තුළම මේ තුළ සැඟවුනු න්‍යාය පත්‍රයක් ඇති බව අපට නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම එවැනි මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් වර්තමාන රජයට ඇත්නම් කළ යුතුව ඇත්තේ ජනමාධ්‍ය සමාජය (මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්, ජනමාධ්‍ය ආයතන පාලනාධිකාරිය, මාධ්‍ය වෘත්තීය සංගම්, මාධ්‍ය උපදේශකයින්) හා සිවිල් සමාජය නියෝජනය කරන සියළු පාර්ශවකරුවන් සමඟ ඵලදායි ලෙස සාකච්ඡා කොට සැමගේ පොදු එකඟතාවය සහිතව ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා නව කෙටුම්පතක් සකස් කිරීම බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අදහසයි.” 

slwja8734823
 sampath samarakoon

සම්පත් සමරකෝන් | Sampath Samarakoon

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...