The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජන මාධ්‍ය ඔස්සේ ඔබ දකින්නේ සැබෑ අලි මිනිස් ගැටුම නොවේ | ජේ. රත්නායක

T

The Leader Desk

March 11, 2025 • 9:17 AM

ජන මාධ්‍ය ඔස්සේ ඔබ දකින්නේ සැබෑ අලි මිනිස් ගැටුම නොවේ | ජේ. රත්නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ගමුව අවට වන ගහනයන් හි සැරිසරමින් සිටිය දී නොමනා මානව ක්‍රියාකාරකම් නිසා 2010 වසරේ නොවැම්බර් 23 වන දා ඛේදනීය අකල් මරණයට ලක් වූ සියඹලංගමුවේ ඇත් රජු ගේ ප්‍රියතම වාස කලාපය සියඹලංගමුව ය.
  • එනම් 1999 සිට 2003 දක්වා මා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ මෙම පැනය එතරම් උණුසුම් ලෙසින් මා වෙත යොමු නොවීම ය.
  • ඉන් ඉතා පැහැදිලි ලෙසම පැවසෙන දෙයක් තිබේ.
  • එනම් 1990 දශකයේ අග භාගය තෙක් නොතිබූ අලි මිනිස් ගැටුම පිළිබඳ භීතිය මුසු කුතුහලයක් සමාජය පුරා, 90 දශකයෙන් පසුව පැතිර පවතින බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගල්ගමුව අවට වන ගහනයන් හි සැරිසරමින් සිටිය දී නොමනා මානව ක්‍රියාකාරකම් නිසා 2010 වසරේ නොවැම්බර් 23 වන දා ඛේදනීය අකල් මරණයට ලක් වූ සියඹලංගමුවේ ඇත් රජු ගේ ප්‍රියතම වාස කලාපය සියඹලංගමුව ය. මා ද එම කලාපයේම වැසියකු වීම හේතුවෙන් එම පැනය මා වෙත වැඩිම වාර ගණනක් යොමු වූවා විය හැකිය.

 

දහනක බණ්ඩාර දෙවියන් මෙන් ගල්ගමු අලි ඇතුනට ඇල්ම බැල්ම පාන අපූරු මිනිසා 'අලි  බණ්ඩාර'

නමුත් මෙහි දී කිව යුතු විශේෂත්වයක් ද තිබේ. එනම් 1999 සිට 2003 දක්වා මා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ මෙම පැනය එතරම් උණුසුම් ලෙසින් මා වෙත යොමු නොවීම ය. ඉන් ඉතා පැහැදිලි ලෙසම පැවසෙන දෙයක් තිබේ. එනම් 1990 දශකයේ අග භාගය තෙක් නොතිබූ අලි මිනිස් ගැටුම පිළිබඳ භීතිය මුසු කුතුහලයක් සමාජය පුරා, 90 දශකයෙන් පසුව පැතිර පවතින බවකි. මෙම බිය ප්‍රධාන වශයෙන් ගල්ගමුව කේන්ද්‍රගතව පැවැතීම මත ගල්ගමුව සියඹලංගමුවේ වැසියකු ලෙසත් ගල්ගමුව, සෙනරත්ගම පුලංචිය වැව අද්දර ඉදි කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය හෙවත් ඇත් පිළිරුවේ නිර්මාණ ශිල්පියා ලෙසත් ඒ සම්බන්ධ යම් අදහසක් ඉදිරිපත් කළ යුතු යැයි මට හැඟේ.

පුවත් - Results from #3900

 

ගල්ගමුව සේම අප රටේ සෙසු ප්‍රදේශවල පවත්නා අලි මිනිස් ගැටුම් පිළිබඳව ත්‍රාසජනක පුවත් සමාජගත වන්නේ කෙසේද? පැහැදිලිවම ඒ සඳහා මාධ්‍ය පෙරමුණ ගන්නා බව නිසැක ය. ඔවුන් එසේ ප්‍රචාරය කරන පුවත් මඟින් සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජය පුරා; ඇතැම් විට විදෙස් රටවල පවා පැතිර ගොස් ඇති ප්‍රබල දුර්මතයක් තිබේ.

එනම් වන අලි ඇතුන්ගෙන් සිදුවන ජීවිත දේපළ හා වගා හානි සම්බන්ධයෙන් ඒ ප්‍රදේශ වාසීන් එම වන අලින් සම්බන්ධයෙන් ”‍කුපිත වී”‍ හිඳින බවකි. නමුත් මගේ පෞද්ගලික දැනීම හා වැටහීම අනුව එහි කිසිදු සත්‍යතාවක් නැත. ඊට හේතු වනුයේ වන අලින් යනු බුද්ධිමත් සත්ව කොටසක් වුව ද ඔවුන් සොබා දහමින් උරුම වූ නෛසර්ගිකත්වය මත පදනම් වන හැඟීම් ආවේග මත ක්‍රියාකරන තිරිසනුන් කොටසක්ය යන හැඟීම හා වැටහීම මෙම ප්‍රදේශවල සෑම ගැමියකු ගේම පාහේ හදවත් තුළ රෝපණය වී තිබීම ය.

එමෙන්ම අප ජීවත් වන මෙම ගම් ප්‍රදේශය අතීතයේ අලි ඇතුන් ඇතුළු වන සතුන් ගේ පාරම්පරික නිජ බිම් බව ප්‍රඥාවෙන් වටහා ගෙන තිබූ අපගේ වැඩිහිටි පරපුර එම අදහස් අප බාල වියේ සිට අපගේ හදවත් තුළ රෝපණය කොට තිබේ. ඒ අනුව අප ප්‍රදේශවල වෙසෙන බහුතරයක ගේ සිත් සතන් තුළ වනඅලි ඇතුන් ප්‍රමුඛ කොට ගත් වනසත්ව ප්‍රජාව කෙරෙහි අති මහත් දයානුකම්පාවක් පවත්නා බව සහතිකවම ප්‍රකාශ කළ හැකිය.

 

zdt345f

ගල්ගමුව ඇතුළු ප්‍රදේශවල ජනතාව එහි වෙසෙන වන අලි ඇතුන් කෙරෙහි ”‍කුපිතව”‍ හිඳින බවට ඇතැම් ජන මාධ්‍යවලින් පතුරුවා හැර ඇති මිථ්‍යාව ඉබේ ඇති වූවක් නොවේ. එය සැලසුම් සහගතව හා සංවිධානාත්මක ලෙස පුබුදුවන ලද්දකි. නමුදු වනඅලි ඇතුන් යනු මෙම ප්‍රදේශවල බහුතරය ගේ සිත් සතන් තුළ නිරතුරුවම යම් ආදර ගෞරවයකට ලක් වූ සුවිශේෂතමයන් බව පැහැදිලි ය. ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි බොහොමයකි. ඒ සඳහා හොඳම නිදසුනක් වනුයේ මෙම ප්‍රදේශවල පාරම්පරික ගැමියන් කිසිවකුත් වනඅලින් හැඳින්වීම පිණිස ”‍අලි”‍ යන වදනවත් නිතර දෙවේලේ නොයෙදීම ය.

පැරණි ගැමියන් බොහෝ විට තම වාස භූමි අවට සැරිසරන වනඅලින් හඳුන්වනු ලැබුවේ ”‍ලොකු මහත්තුරු”‍යන ගෞරවය මුසු වූ සරදම් නමිනි. මේ වන විට ඒ තත්වය යම් පසුබෑමකට ලක්ව ඇතත් එය මුළුමනින්ම නිමා වී ඇති වගක් නොහැඟේ. වර්තමානයේ එළැඹී ඇති තත්වයන් මත මෙම ප්‍රදේශවල ජනතාවට වනඅලින් නිසා මිනිසුන්ටත්, මිනිසුන් නිසා වනඅලියාටත් විවිධ විපත් පීඩා ඉහළ නැංවීමේ සම්භාවිතාවක් දක්නට ලැබේ. එහෙත්, පොදුවේ ගැමි සිත් සතන් තුළ වනඅලි ඇතුන් කෙරෙහි මෝදු වන හැඟීම වෛරයකට ක්‍රෝධයකට පෙරැළී නැත. වඩාත් සරල හා පැහැදිලි ලෙස කිවහොත් මෙම ප්‍රදේශවල පාරම්පරික ගැමියන් තුළ වනඅලි ඇතුන් සම්බන්ධයෙන් ඇත්තේ තමන් සේම වනඅලි ඇතුන් ද සොබා දහමේ දූ පුතුන් ය යන්න නුවණැසින් හඳුනා ගත් එක්තරා ආකාරයක ”‍පවුල්මය සබඳතාවයකි”‍.

 

ගල්ගමු අලි ඇතුන් ගෙන් දෙනෙතට තුටු කඳුළු නංවන ක්‍රියාවක් - (රේණුකා දමයන්ති  ගමගේ)
මා මෙසේ පවසනුයේ එකම පවුලක් තුළ පවා වරින් වර යම් යම් ගැටලු‍ අර්බුද අඬ-දබර ඇති වීමට ඇති අවකාශය සැලකිල්ලට ගනිමිනි.එහෙත් එය නිති පවත්නා වෛරයක් ක්‍රෝධයක් සේ වටහා ගත යුතු නොවේ. ගල්ගමුව වැනි වනඅලි ඇතුන් බහුලවම ගැවසෙන ප්‍රදේශවල වැසියන් එම වනසතුන් කෙරෙහි කෙතරම් සංවේදී වන්නේ ද යන්න රූපවාහිනී පුවත්, පුවත්පත් වාර්තා ආදියෙන් පිටස්තරයකුට නිසි පරිදි ග්‍රහණය කර ගත නොහැකිය. ඒ සඳහා වන හොඳම මං පෙත එම ජනතාව ගේ සිතුම් පැතුම් මුල් කොට සියුම් විශ්ලේෂණයක් කිරීම ය. මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අලි මිනිස් ගැටුම නම් වන සංසිද්ධියෙන් බැහැරව මෙම ප්‍රදේශවල ජනතාව වනඅලි ඇතුන් කෙරෙහි කෙතරම් සානුකම්පිත දෘෂ්ඨියක් යොමු කරන්නේ ද යන්න එවිට ඔබට ද මනාව වටහා ගත හැකි වනු ඇත.

තම ජීවිත, දේපළ සහ බවබෝගවලට වනඅලි ඇතුන්ගෙන් වරින් වර සිදුවන හානිය කෙබඳු වුවද තමන් ජීවත් වන සහ තමනට තොරතුරු ලබා ගත හැකි ඉසව්වක වනඅලියකුට ඇතකුට කිසියම් විපතක් සිදුව ඇතැයි දැන ගත් සැණින් දරුණු සිත් පීඩාවකට පත් නොවන ගැමියකු මෙම ප්‍රදේශවලින් සොයා ගත හැකි වුවහොත් ඒ ඉතා අහම්බෙනි. නිදසුනක් ලෙස මෙම ප්‍රදේශවල මිනිස් ජනාවාසයන්හි හෝ මිනිසුන් ගේ අවධානයට ලක් වන කලාපයන් තුළ කිසියම් වනඅලියකු ඇතකු කිනම් හෝ විපතකට පත්ව සිටියහොත් ඒ සතා ඉන් අත්මිදෙන තුරු එය දැක ගත්තවුන් ගේ නිවෙස්වලිබත් මුට්ටියක් ලිප නොතැබෙන’ කතාව එදා සිට අද තෙක් අප නොයෙක් වර අසා දැක ඇති සත්‍යයකි.

WhatsApp Image 2022 10 13 at 19.57.09

 

යම් වනඅලියකු, ඇතකු හෝ අලි ඇත් පැටවකු ගොඩ ඒමට නොහැකි ගොහොරුවක එරී ගිය හෝ වගා ළිඳකට වැටුණු සෑම අවස්ථාවකම ඒ සම්බන්ධ වගකීම් දරන වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතනවල දුරකථනවලට ”‍නිවනක් නැති වනුයේ”‍ මෙම ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් කරනු ලබන අඬෝවැඩියාවන් හා කන්නලව් නිසා ය. එමෙන්ම එම සතා කොයි මොහොතේ එම විපතින් මිදෙනු ඇත්දැයි යන නොඉවසිල්ලෙන් කට්ට අව්වේ වේලෙමින් ඒ ආසන්නයේ රැඳී සිටින ගම්මුන් අප කොතෙකුත් දැක තිබේ. ඒ අතර තම කිරි දරුවන් ඇකයේ හොවා ගෙන එදෙස සුසුම්ලමින් බලා හිඳින මව්වරු ද කොතෙකුත් වෙති. මේවා මෙම ප්‍රදේශවල දී පිටස්තරයකුට වුව ද මනාව පසක් කර ගත හැකි තත්වයන් ය.

 

vqrq
වන අලි ඇතුන් අතරේ ද මිනිස් සමාජයේ මෙන් සෞම්‍ය, මෘදු, කාරුණික, දරුණු, ප්‍රචණ්ඩ ආදී වශයෙන් වන චරිත ප්‍රභේද දක්නට ලැබේ. මෑත භාගයේ ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන සද්දන්තයන් දෙදෙනා එලෙස කාරුණික චරිත ස්වභාවයන් ඇත්තෝ වෙති. අප විසින් ගල්ගමුවේ සෙනරත්ගම, පුලංචිය වැව අද්දර නිම වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකයේ ප්‍රධානතම මූර්තීන් එම සද්දන්තයන් ගේ වන අතර නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා අකාලයේ ඛේදනීය අකල් මරණවලට ලක් වූ ඔව්හු අදත් බොහෝ ගැමියන් විසින් බෝධිසත්වාරෝපණයෙන් හා දේවත්වාරෝපණයෙන් යුතුව ගරු බුහුමන් ලබන්නෝ වෙති.

ඒ හැරුණු කොට පසුගිය කාලයේ ගල්ගමුව අවට ජීවත් වූ චණ්ඩි හෙවත් තනි දළයා සේම නියපොත්තා ආදී ප්‍රචණ්ඩ හස්තීන් ද ගැමියන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වූ බව නොරහසකි. ඒ වනහස්තීන් වුව ඉඳ හිට දවාලක තමන් ගේ ගේ දොර ඉඩකඩම් අතුරින් ගමන් කරන විට ඔවුන්ට තමන් ගේ පාඩුවේ යාමට ගම්මුන්ගෙන් ඉඩ ලැබුණු අතර අඩුම තරමින් ඔවුනට කැට මුගුරකින් පහර දුන් කොලු‍ කුරුට්ටකුවත් මේ ප්‍රදේශවල ඇත්තේම නැත.

වරක් මෙම ප්‍රදේශවාසීන්ට විවිධ හිරිහැර සිදු කරන බවට චෝදනා ලත් නියපොත්තා හස්තියා වන ජීවී නිලධාරීන් විසින් අල්ලා ගනු ලදුව හොරොව්පතාන අලි අනාථාගාරය වෙත රැගෙන යනු පිණිස ට්‍රක් රථයට පටවා ගන්නා අවස්ථාවේ ගම්මුන් තම නිවෙස්වල තිබූ කෙසෙල්, කොමඩු ,බඩ ඉරිඟු‍ ආදී අතට හසුවන දෙයක් රැගෙන විත් ”‍අනේ පුතේ එහෙනම් මේකත් කාලාම පලයන්”‍ කියමින් ඒවා නියපොත්තා දෙසට වීසි කරන ලද්දේ ඒ මොහොතේ පැවැති නොකල් වැස්ස පිළිබඳව ද වගේ වගක් නොමැතිව ය. ”‍මේ වැඩේට වැස්ස වලාහක දෙවියෝ නම් කැමති නෑ වගේ”‍ ඒ අතුරින් සමහරෙක් මුමණා ගත්හ.

image 1471946269 edee4c18b2

 

ඒ එය සොබා දහමට පටහැනි වූවක් බවට තම හදවත්වලින් නැඟෙන අඳෝනාවට දේව කැමැත්තක් ආරෝපණය කරමිනි. ඒ අතර එම සිදුවීම සම්බන්ධයෙන් අතිශය සංවේදී වූ ගල්ගමුව ප්‍රදේශයේ යුවතියක් එසේ නියපොත්තා කඹවලින් බැඳ වනජීවී ට්‍රක් රථයට නංවන ඡායාරූපයක් තම මුහුණු පොතට ඇතුළත් කොට ඒ සමඟ මෙම සටහන ද තැබීය. ”‍බුදුසරණයි යන තැනක ගිහින් පරිස්සමින් ගෙදර එන්න”‍. එමෙන්ම ඇය ගේ එම පැතුම පරිදි ම නියපොත්තා දින කිහිපයකට පසු හොරොව්පතාන අලි අනාථාගාරය බිඳ දිගු මඟ කතරක් ගෙවා යළි ගල්ගමුවට පැමිණ තිබිණ.

පසුගිය කාලයේ ගල්ගමුව ප්‍රදේශයේ නිතර සැරි සැරූ චණ්ඩි හෙවත් තනි දළයා තම ජීවිතයේ අවසන් භාගයේ දෘශ්‍යබාධිත බවින් පෙළුණි. ඒ අනුව තම හොඬවැලෙන් කණ වැල අල්ලමින් ගම් පියසේ ඒ මේ අත සක්මන් කරන ඔහු තම ගෙවත්තේ ඇති බවබෝග කා දමනවාට සෘජු විරෝධයක් පළ නොකළ ගැමියන් සැවොම කියා සිටියේ ”‍අනේ දරුවෝ උඹත් සා ගින්දරෙන්නේ ඇත්තේ. ඒ හින්දා අපිටත් කන්න ඩිංගක් තියලම ටිකක් කාලා පලයන්”‍යන්න ය. අද වන විට මේ සතුන් දෙදෙනාම ජීවතුන් අතර නැත. නමුත් ඔවුන් පිළිබඳ මතකයන් මෙහි ජනතාව ජීවිත කාලය පුරාම තම හදවත්වල සුරැකිව තබා ගනු නියත ය.

 

මෙම ප්‍රදේශවල ජනතාව අලි ඇතුන් මුල් කොටගත් සංහිඳියාව එසේ වුවද ජනමාධ්‍ය මගින් එය සමාජයට ඉදිරිපත් කරනුයේ ඊට ඉඳුරාම වෙනස් ආකාරයකට ය. මගේ නිගමනය අනුව එය එම පුවත්වල යථාර්ථය ඉක්මවන මවාපෑමක් වන අවස්ථා ද බහුල වේ. කිසියම් ප්‍රදේශයක ජනතාව වනඅලින්ගෙන් පීඩාවට පත් වනුයේ නම් ඊට ආසන්නතම නගරයක ඒ සම්බන්ධ උද්ඝා්ෂණයක් පැවැත්වීම කෙරෙහි බොහෝ විට ජනතාව පොළඹවනු ලබන්නෝ ද ජනමාධ්‍යවේදීහුම ය. ඔවුන් එහි දී එලෙස රැස්ව උද්ඝෝෂණය කරන ජනතාවට ”‍අපොයි ඔහොම මදි හොඳටම මදි තවත් හයියෙන් කෑ ගහන්න ඕනේ”‍ යනුවෙන් පෙළඹවීම් කරන බව ද ප්‍රසිද්ධ රහසකි. එහිදී ඇතැම් විට ඔවුන් පවසන අන්දමට අත් පා වීසි කරමින් හොඳින් කෑ ගසන්නවුන් ඉදිරියට ගනිමින් හා සෙස්සන් පිටුපසට කරමින් එම ප්‍රවෘත්තිය අධ්‍යක්ෂණය කිරීමට පෙළඹෙන ජනමාධ්‍යවේදීහු ද සිටිති.

වරක් එවන් වනඅලි උවදුරට එරෙහි උද්ඝෝෂණයක දී (ගල්ගමුවේ නොවේ)කෝ අර වෙනදා මේවට එන අක්කා නැද්ද? එයා හිටියා නම් වැඩේ සුපිරියටම දෙනවා. යනුවෙන් එහි රැස්ව සිටියවුන් ගෙන් විමසනු මම විස්මයෙන් බලා සිටියෙමි. එමෙන්ම මෙවන් බොහෝ උද්ඝෝෂණ වීඩියෝ සහ සාමාන්‍ය කැමරා ඉදිරියේදී සිදු කෙරෙන්නක් වන අතර එම උද්ඝෝෂණ විනාඩි කිහිපයකට පමණක් සීමා වීම ද සාමාන්‍ය තත්වයකි. එහෙත්, වනඅලි ඇතුන් වෙසෙන ප්‍රදේශවල ජනතාව ගේ සිතුම් පැතුම් ආවේග නිරූපණයන් ලෙස ජනමාධ්‍ය මගින් බොහෝ විට සමාජගත වනුයේ මෙවැනි මවා පෑම් බව පිටස්තර බොහෝ දෙනෙක් නොදනිති. එම දර්ශන හා පුවත් දකින ඔවුන් සිතනුයේ තම ජනාවාස ආශ්‍රිතව ජීවත් වන අලි ඇතුන් කෙරෙහි එම වැසියන් නිරතුරු වෛරයෙන් හා ක්‍රෝධයෙන් දැවෙමින් පසුවන බවකි. මෙම සිදුවීම් ඇත්ත වශයෙන්ම ගත හැක්කේ රූපගත කිරීම් හෙවත් ”‍ෂූටින්”‍ ලෙසිනි.

 

එහෙත්, එම ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් බලපාන වෙනම ඛේදනීය තත්වයක් ද වෙයි. එනම් තමන් එම රූපවාහිනී මාධ්‍ය ආයතනයට යවන වීඩියෝව එහි ප්‍රවෘත්ති අතරේ ප්‍රචාරය කිරීමට නම් දැඩි උණුසුම්කාරී බවක් තිබිය යුතු වීම ය. ඔවුන්ගේ භාෂාවෙන්ම කිවහොත් එසේ ”‍හොඳටම පත්තු වන”‍ යමක් මාධ්‍ය ආයතනයට නොයැව්ව හොත් එය ප්‍රචාරය නොවේ. නොඑසේ නම් ඒ මාධ්‍යවේදියාට ඉන් සතයක්වත් නොලැබේ.

කලින් වන ගතව තිබී පසුව මානව ජනාවාසයක් වූ මින්නේරිය, සමඟිපුරට 2015 සැප්තැම්බර් 08 වන දා අලු‍යම වනඅලියකු කඩා වැදී ඇතැයි යන ආරංචිය මත හිඟු‍රක්ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක එදින පෙරවරු හතට පමණ සමඟිපුර ට ගියේ තම ජීවිකාව සරිකර ගැනීම පිණිස ඉහත සඳහන් ආකාරයේ හොඳටම පත්තු වෙන වීඩියෝවක් ගෙන තමන් සේවය කළ මාධ්‍ය ආයතන දෙක වෙත යැවීමට ය. ආරංචියේ හැටියට ඉන් රුපියල් හාර දහසක පමණ මුදලක් ඔහුට ලැබීමට නියමිතව තිබිණ. දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු වූ ඔහුට ස්ථිර නිවසක් ද නොතිබූ නිසා ඔවුන් ජීවත් වූයේ කුලී ගෙදරක ය. ඔහු ගේ බිරිඳට ද රැකියාවක් නොතිබිණි. කුඩා පොත් කඩයකින් එම පවුලේ ආර්ථිකය යම් මට්ටමකින් හෝ ගැට ගසා ගත් අතර ප්‍රවෘත්තියක් වාර්තා කිරීමෙන් ප්‍රියන්තට ලැබුණු මුදල ද ඊට මහෝපකාරී විය. 

 
එලෙස සමඟිපුර ප්‍රදේශයට ගිය ප්‍රියන්ත ඒ වන විට ගම් වැදී සිටි වනඅලියාට තරමක් සමීපව සිය රූ ගත කිරීම්වල යෙදෙමින් සිටියේය. එදින අළුයම් යාමයේ සිට පැය ගණනක් තිස්සේ ගම්මුන් ගේ තාඩන පීඩනවලින් කුපිතව සිටි වනඅලියා එසැණින් පැන යන්නට සැරසෙත්ම ඒ පසු පස පියවර කිහිපයක් ගිය ප්‍රියන්ත එය ද රූපගත කිරීමට සැරසුණි. ඒ එය එදින රූපවාහිනියේ නොවරදින පුවතක් බවට පත් කරවීමට ය.
 
COYKlm6UwAUCeMp
නමුදු කිසිවකුත් නොසිතූ ලෙස වනඅලියා ආපසු හැරී ඔහු වෙතට දිව එනු සහ කැමරාව ඔහු අතින් ගිලිහී වැටෙනු ද ප්‍රියන්ත ගේ වීඩියෝ කැමරාවේ සටහන් විය. එහෙත්, ඔහුට එය අදාළ මාධ්‍ය ආයතනයට යැවීමට නොහැකි විය. මන්ද යත් තම වෘත්තිය වෙනුවෙන් කැපවූ ප්‍රියන්ත රත්නායක නම් ඒ මාධ්‍යවේදියා ඒ වනඅලියා ගේ ප්‍රහාරයෙන් එතැනම ජීවිතක්ෂයට පත් වූ බැවිනි.ඒ අනුව ප්‍රියන්ත රත්නායක ගොනු කළ ඒ පුවත වෙනුවට ඔහුට තම වෘත්තිය වෙනුවෙන් දිවි පුදන්නට සිදුවීමේ ඛේදනීය පුවත එදින සෑම මාධ්‍යයකින්ම ප්‍රචාරය කරන ලදී.
 
අපට හැඟී යන ප්‍රධානතම කරුණ නම් මෙම සකල විධ අයහපත් තත්වයන් දුරලීම පිණිස අලි මිනිස් ගැටුම නම් වන සංසිද්ධිය සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ යථාර්ථවාදී දැනුමක් ජනිත කළ යුතු බවකි. අතීතයේ සිට අපට හුරු පුරුදු වනඅලි මිනිස් සංහිඳියාව හා සහජීවනය වෙත යා හැකි එකම මං පෙත එයයි.

galigamuwa q(සටහන | ජේ.රත්නායක)
චිත්‍ර හා මූර්ති ශිල්පී ගල්ගමුව

උපුටා ගැනීම - vinivida


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...