The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය

T

The Leader Desk

March 13, 2025 • 9:29 AM

සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්‍රැති අධ්‍යයනය සඳහා ලැබුණු පිටිවහල අනල්ප ය.
  • ඒ අතරේ ඇතැම් විට මිනිසුන්ගේ ද නෙත ගැටෙයි.
  • ඇතැම් ජන විශ්වාසවලට අනුව මෙම ගොපලු අවතාරය හෝ ගොපලු යකා මංගර දෙවියන්ගේ පිරිවරට අයත් වාමන රූපී අමනුෂ්‍යයෙකි.
  • මෙම ගොපලු අවතාරය ගව මඩුවලට සේන්දු වන බව කියන වේලාව නිශ්චය කරගැනීම පිණිස මම විවිධ ජන කොටස්වලින් කරුණු විමසා ඇත්තෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්‍රැති අධ්‍යයනය සඳහා ලැබුණු පිටිවහල අනල්ප ය. කැලණි නදියේ අතු ගංගාවක් වන සීතාවක නදියේ රොන් මඩ වලින් සැදුම්ලත් මානියම්ගම අතීතයේ සිට ගව පාලනය සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයකි. ඒ සම්බන්ධයෙන් අගනා තොරතුරු රැසක් මා හමුවේ අනාවරණය කළ ධනපාල මහතා වරක් මෙබඳු කතාවක් ද කීය.

‘‘මගේ මුත්තාගේ නම කේ.ඒ.දාවිත් සිඤ්ඤෝ. උන්දෑ ජීවත් වු‍ණේ කිරි රස්සාවෙන්. දවසක් උන්දෑ පාන්දරින් කිරි දොවන්න පට්ටියට යනකොට දැක්කලු, උන්දැට පිටුපාලා ඉන්න සුදුම සුදු ඇඳගත්තු කෙනෙක් එළදෙනෙකුගෙන් කිරි දොවනවා. ඒ සෙම්බුවට කිරි වෑහෙන සද්දෙත් යස අගේට ඇහෙනවලු. ඉතින් උන්දැට තේරුණාලු මේ නම් ගොපලු අවතාරයම තමා කියලා. ඒත් ඒ වෙලාවට එතැන රැඳෙන එක සුබ නැති හින්දා මුත්තා තමන් කරන්න ගිය වැඩේ අතපහු කරලා ආපහු හැරුණලු. කොහොමත් ඔය ගොපලු අවතාරය සැරිසරන පට්ටිවල දෙන්නුන්ගේ කිරි දෙගුණ තෙගුණ වෙනවා කියලා ඉස්සර මේ පැත්තේ ජන විශ්වාසයක් තිබුණා.’’

ඔහු කී ගොපලු අවතාරය හෝ ගොපලු යකා සම්බන්ධ ජන විශ්වාසය අප රටේ බොහෝ ප්‍රදේශවල පැතිර පවතින්නකි. එමෙන්ම ඒ හා සම්බන්ධ රසවත් පුරාවෘත්ත ද තිබේ.

පුවත් - Results from #5370
මෙම ගොපලු අවතාරය හෝ ගොපලු යකා මිනිසුන් කිරි දෙවීමට පෙර ගව පට්ටිවලට විත් එහි සිටින හොඳම එළදෙනගෙන් තමන් ගෙන යන සෙම්බුවට කිරි දොවාගෙන රහසේම පිටව යයි. ඒ අතරේ ඇතැම් විට මිනිසුන්ගේ ද නෙත ගැටෙයි. එසේ අවතාරය නෙත ගැටුණහොත් කළ යුත්තේ වහාම එතැනින් ඉවත්වීම ය. නොඑසේ නම් ගොපලු අවතාරයේ පහරකෑමට ලක්වීමට ඒ තැනැත්තාට සිදුවනු ඒකාන්ත ය. ගොපලු යකාගේ පහර දීම මහසෝනාගේ පහරදීම මෙන් මාරාන්තික නැත. එහෙත් ගොපලු යකා පහර දුන් බොහෝ දෙනෙක් ඉන්පසු ලෙඩ ඇඳට වැටී අවුරුදු ගණන් ඔත්පලව ජීවත් වෙති.

‘‘මීට අවුරුදු පනහකට විතර කලින් පාන්දරක මාත් අපේ වැස්සියෙකුගෙන් කිරි දොවන්න ගියා. ඉස්සරවෙලාම මම මඩුවේ පැත්තක බැඳලා හිටිය වැස්සිගේ පැටියව ලෙහලා දැම්මා ඉස්සර වෙලා කිරි ටිකක් උරලා බීපන් කියලා. ඒත් වෙනදා හොඳට කිරි දෙන ඒ වැස්සිගේ බුරුල්ලේ එදා එක කිරි බින්දුවක් වත් නෑ. ඒ වගේ දෙයක් වෙන්නේ ගොපලු දේවතාවුන් වහන්සේ වැස්සියන්ගේ කිරි දෙව්වම කියලා අපේ වැඩිහිටියෝ කියනවා මං අහලා තිබුණු හින්දා මං ඒ ගැන අමුතුවෙන් හිතන්න ගියේ නෑ.’’ පසුව ධනපාල මහතා එසේ ද කීය.

අප රටේ ගව මහීෂාදීන්ට අධිපති දෙවියා මංගර ය. එහෙත්, මේ ගොපලු දේවතාවා යනු මංගර දෙවියන් නොවේ. ඇතැම් ජන විශ්වාසවලට අනුව මෙම ගොපලු අවතාරය හෝ ගොපලු යකා මංගර දෙවියන්ගේ පිරිවරට අයත් වාමන රූපී අමනුෂ්‍යයෙකි. මෙම ගොපලු අවතාරය ගව මඩුවලට සේන්දු වන බව කියන වේලාව නිශ්චය කරගැනීම පිණිස මම විවිධ ජන කොටස්වලින් කරුණු විමසා ඇත්තෙමි. එවිට ඒ සම්බන්ධයෙන් ලැබුණු සුලබම පිළිතුර වූයේ ගොපලු යකා කිරි දෙවීම පිණිස ගව මඩුවලට පැමිණෙනුනේ ‘මහ පාන්දර’ බව ය. අපගේ ගැමි ජනවහරෙහි මහ පාන්දර යනු කුකුළන් හැඬලීමෙන් පසු කපුටා හැඬලීමට පෙර එළැඹෙන හෝරාවක, දෙකක කාලයයි. කඨින පූජාව සේම විවිධ සුබ කටයුතු සඳහා ද යොදාගන්නා මෙම කාලසීමාව ආසන්න වශයෙන් වෛදික මතවලට අනුව ‘බ්‍රහ්ම මුහුර්තිය’ ලෙස හැඳින්වෙයි. ඒ අනුව අලුයම කපුටා හැඬලීමට පෙර දෙනුන්ගෙන් කිරි දෙවීමට ගව මඩුවලට නොයා යුතු බවට ජන විශ්වාසයක් ද ඇතැම් ප්‍රදේශවල පවතී. ඒ ‘මහ පාන්දර’ යනු ගොපලු දේවතාවාගේ කිරි දෙවීමේ හෝරාව බැවිනි.

කුකුළන් සත් දෙනාගේ මරණ වලින් හෙළිවෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය - (විශේෂඥ මනෝ  වෛද්‍ය රනිල් අබේසිංහ)

 

කුකුළා හැඬලීමට පෙර වන රාත්‍රී යාමය තුළ අමනුෂ්‍යයන් සැරිසරන බවට පවතින ජන විශ්වාසය මීට සියවස් කිහිපයකට පෙර එංගලන්තයේ ද තිබූ බව මහා කවි විලියම් ශේක්ස්පියර් ලියූ ‘හැම්ලට්’ නාටකයෙන් පෙනේ. කුකුළාගේ හැඬලීම ඇසූ සැණින් ලෝකය පුරා සැරිසරන අමනුෂ්‍යයන් තමන්ගේ අඳුරු ගුහාවලට ගොස් සැඟවෙන බව එහි එක් දෙබස් ඛණ්ඩයක සඳහන් ය.

අපගේ ජන විඥානයේ සඳහන් අන්දමට ගොපලු යකා හෝ අවතාරය මහ පාන්දර ගව මඩුවලට සේන්දු වන විට රැගෙන එන සැරයටිය එසේ මෙසේ එකක් නොවේ. එය රත්‍රන්වලින් නිමවන ලද්දකි. ‘රන් කෙවිට’ කියාද කියනු ලබන එය ‘ඇලඩින්ගේ පුදුම පහන’ මෙන් මහත් හාස්කම් සහිත යෂ්ඨියකි. ඒ අනුව කිසියම් උපායකින් එය පහැර ගන්නෙකු හට සිතූ පැතූ සම්පත් හිමිකරගත හැකි බවට ද පැරණි ජන විශ්වාසයක් තිබේ.

එමෙන්ම ගොපලු යකා හෝ අවතාරය වෙතින් පහර කෑමට ලක් නොවී ඒ රන් කෙවිට පැහැර ගත හැකි ආකාරය පිළිබඳව ජන විශ්වාසයක් තිබේ. එසේ සිදුකරනු ලබන්නා ජ්‍යොතිෂ්‍යයට අනුව කලින් නියම කරගත් දිනයක්, වේලාවක් තෝරාගෙන ගොපලු අවතාරය පැමිණෙන බව පැවසෙන ගව මඩුවක සැඟවී බලා සිටිය යුතු ය. එවිට ගොපලු අවතාරය පැමිණ තමන් අත වූ රන් කෙවිට එහි හොඳම එළදෙනගේ සිරුරට හේත්තු කොට තමන් ගෙනයන සෙම්බුවට කිරි දොවනු සැඟවී බලා හිඳින තැනැත්තාට දැකගන්නට ලබේ. එවිට ලැබෙන සුළු අවසරයකින් වහා ඉදිරියට පැන ගොපලු අවතාරයේ බැල්මට හසුවීමට පෙර රන් කෙවිට උදුරාගන්නා තැනැත්තා වහා ඒ ආසන්නයේම ඇති ජලාශයක් වෙතට දිව ගොස් ජලයේ ගිලී සිටිය යුතු ය. එසේ හිඳීමෙන් තමන් ලුහුබැඳ පැමිණෙන ගොපලු අවතාරයේ ග්‍රහණයෙන් මිදීමට ඒ තැනැත්තාට හැකිවෙයි. එහෙත්, ඒ ක්‍රියාවලිය අතරතුර ගොපලු දේවතාවාගේ ප්‍රහාරයට ලක්වුවහොත් සදහටම ගිලන් ඇඳට වැටීමට ඔහුට සිදු වනු ඇත. නොඑසේ නම් එසේ රන් කෙවිට ද රැගෙන දිය යට ගිලී හිඳින කාලය තුළ ඊට ආශා කළ කිසියම් ජලචර අමනුෂ්‍යයකු නැතහොත් දිය රකුසකු ඒ තැනත්තා දියේ ගිල්වා මරා රන් කෙවිට පැහැරගනු ඇත. නමුත් මිහි තුළ ඇති බව පැවසෙන නිදන් රකින බවට ජන විශ්වාසයක් පදනම් කර ගත් බහිරවයා සමඟ ඔට්ටු වී නිදන් හෑරීමට වෙර දරන නූතන සමාජය මෙම ගොපලු යකා මට්ටු කොට සිතූ පැතූ සම්පත් දෙන බවක් පැවසෙන ඔහු ගේ රන් කෙවිට පැහැර ගැනීමට වෙර දරන්නකු පිළිබඳව මා අසා නැත.

 

cows 00010
අප රටේ ගව සම්පත අරමුණු කරගනිමින් පස්ගෝරසය ප්‍රවර්ධනය කර දෙන මෙම ගොපලු යකා හෝ ගොපලු අවතාරය පිළිබඳව දන්නේ දැයි මම මීට කලකට ඉහත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිකවැරටිය සත්ව ගොවිපොළ භාර නිලධාරියෙකුගෙන් ඇසීමි. එවිට ඔහු කීයේ තමන් එවැනි අමනුෂ්‍යයෙකු පිළිබඳව නම් වශයෙන් අසා ඇතත් ඊට වඩා යමක් කීමට නොදන්නා බව ය.

තදබල විශ්වාසයක් සිත තුළ රඳවා කටයුතු කිරීමේදී ඒ විශ්වාසය මත පදනම් වූ ‘ අරමුණු හා නිමිති’ දකින, අසන, ආඝ්‍රණය හෝ ස්පර්ශ ආදී මානසික සංඥා වශයෙන් සිත තුළට පිවිසිය හැක. තමන්ගේ සිත තුළ පවත්වා විවිධ පරිකල්පන මුල්කොට එවැනි රූප, ශබ්ද, ආඝ්‍රාණ, ස්පර්ශ ඇතිවීම හුදෙක් මනෝමය තත්වයක් මිස සැබෑවට අප හමුවේ ඇතිවන තත්වයක් නම් නොවේ.

මීට අඩ සියවසකට කලින් ධනපාල මහතා මුහුණ දුන් අත්දැකීමට අනුව ඒ එළදෙනගෙන් කිරි නොවෑස්සීමට ඇගේ සිරුරේ හෝමෝන විෂමතා වැනි ජෛවමය හේතූන් බලපාන්නට ඇති බවට නවීන විද්‍යාත්මක අදහසක් පහළ කළ හැක. එහෙත්, මානව විද්‍යාත්මක පදනමින් අර්ථ ගැන්විය හැකි මෙබඳු සංසිද්ධීන් සඳහා හුදෙක් භෞතික විද්‍යාත්මක අර්ථ නිරූපණ ලබා දීම කිලෝ ග්‍රෑම් වලින් මැනිය යුතු යමක් කිලෝ මීටර් වලින් විමසා බැලීමක් මෙනැයි මට සිතෙයි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...