The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ටියුෂන් පංතියේ විකෘති කාමය | ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

March 14, 2025 • 5:40 AM

ටියුෂන් පංතියේ විකෘති කාමය | ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි.
  • යම් ආකාරයක 'කිතියක්' යෞවනයා/යෞවනිය තුළ ඇති කරවයි.
  • රජයේ පාසලක ඉහළ පංතිවල උගන්වන සම්ප්‍රදායික වැඩිහිටි ගුරුවරු අසාර්ථක වී, නාහෙට නාහන නාගරික ටියුෂන් ගුරුවරයා සාර්ථක වන එක රහසක් ඇත්තේ මේ අපූරු පරිභාෂා ව්‍යවහාරයේ ය.
  • මගේ පාසල් කාලයේ, මීට වඩා දරුණු ලෙස ශිෂ්‍යයන්ට පහර දුන් ගුරුවරු සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක මේ ටියුෂන් ගුරුවරයා සිය පංතියට 'ත්‍රිකෝණයක' අර්ථය පැහැදිලි කර දෙන්නේ, පංතියේ එක ළමයෙකුට එම පංතියේම තවත් ළමයෙකු දිහා බැලීමටත්, ඒ දෙවැනි ළමයාට ඊළඟට තමා දෙස (ගුරුවරයා දෙස) බැලීමටත් කියා, අවසානයේ තමාම පළමු ළමයා දෙස බැලීමේ ක්‍රියාව සාදෘශ්‍යයට ගැනීමෙනි. ජනප්‍රිය ගීතයක කියැවෙන පරිදි, 'සමකෝණි ත්‍රිකෝණයකි, ඔබත් මාත් ඇයත් සිටින' යන ගී කණ්ඩයත් ඔහු එහිදී උද්ධෘත කොට ගනී. ත්‍රිකෝණය හඳුන්වා දීමට ඔහු යොදාගත් හිටිවන ආකෘතිය නැවුම් ය.  

 



ඒ  සඳහා ඔහු පාවිච්චි කරන වචන මාලාව මේ කාලයේ ටියුෂන් ගුරුවරු අතර බහුලව දක්නට තිබේ. බොහෝ ටියුෂන් ගුරුවරු 'උඹ', 'තෝ', 'තොපි' වැනි වචන, සිය ශිෂ්‍යයන් ආමන්ත්‍රණය කිරීම සඳහා යොදා ගනිති. ඊට වෙනස්ව, තවත් සමහරු 'දුව', 'පුතා' වැනි උපාසක වචන යොදා  ගනිති. ඒ දෙවර්ගයම, ඉස්සර වැඩිහිටි ගුරුවරු අනුදැන සිටි ආමන්ත්‍රණ ආකාරයන් ය.

එහෙත් පසු කාලයක, ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට නමින් පමණක් ආමන්ත්‍රණය කිරීමත් සමග ඒවා අභාවයට ගියේය. දැන්, නූතන නාගරික තරුණ ටියුෂන් ගුරුවරයා 'තෝ' 'තොපි' 'බොල' වැනි වචනවලින් යෞවන යෞවනියන් අමතන විට, එතැන එක්තරා 'මැජික්' ගතියක් තිබේ. යම් ආකාරයක 'කිතියක්' යෞවනයා/යෞවනිය තුළ ඇති කරවයි. ටියුෂන් ගුරුවරයා එය අත්දකී. රජයේ පාසලක ඉහළ පංතිවල උගන්වන සම්ප්‍රදායික වැඩිහිටි ගුරුවරු අසාර්ථක වී, නාහෙට නාහන නාගරික ටියුෂන් ගුරුවරයා සාර්ථක වන එක රහසක් ඇත්තේ මේ අපූරු පරිභාෂා ව්‍යවහාරයේ ය.

ත්‍රිකෝණය ගැන නිර්මාණාත්මකව උගන්වන අර කී ගුරුවරයා, ඊළඟ වීඩියෝවේදී කරන්නේ ඊට සපුරා වෙනස් අභ්‍යාසයකි. යම් වරදකට සම්බන්ධ ශිෂ්‍යයෙකු පංතියේ ඉස්සරහට ගෙනැවිත් දණගස්වන මොහු එම පංතියේම තවත් ශිෂ්‍යාවක් ලවා කෝටු ඉපලක් වැනි යමකින් අර ශිෂ්‍යයාගේ පිටට ගස්සවයි. ශිෂ්‍යාව හෙමිහිට තලන විට ගුරුවරයා ඈට සැර වී තව 'හයියෙන්, තව හයියෙන්' යැයි නියෝග දෙයි. එසේ කිහිප වරක් ශිෂ්‍යාව ලවා ශිෂ්‍යයාට තැලීමෙන් අනතුරුව තමාම අර ඉපල අතට ගන්නා මේ ටියුෂන් ගුරා අර ශිෂ්‍යයාට වැරෙන් තලයි.

 

මේ සමස්ත ක්‍රියාව තුළ, ගුරුවරයාගේ මුහුණේ තරහක් හෝ කෝපයක් පෙනෙන්ට නොවුනි. ඒ වෙනුවට, තුනී සිනාවක් සහිත ප්‍රහර්ශයක්, ඔහුගේ සමස්ත ශරීර භාෂාව තුළ අපට දැකිය හැකිය. මගේ පාසල් කාලයේ, මීට වඩා දරුණු ලෙස ශිෂ්‍යයන්ට පහර දුන් ගුරුවරු සිටියහ. ඔවුන් එසේ පහර දෙන හැම විටකම ඔවුන්ගේ මුහුණුවල හදිසි කේන්තියක් තිබුණි. එය, ශිෂ්‍යයාගේ යම් වරදක් හෝ අසමත්කමක් පිළිබඳව ඇති වන නොඉවසිලිවන්ත කේන්තියක් මිස, ශිෂ්‍යයා කෙරෙහි වන වෛරයක් හෝ ද්වේෂයක් නොවුණු බව ඒ ගුටිකන වෙලාවේ පවා අපට දැනී තිබේ. එය සමාන වුණේ, ගෙදරදී අම්මාගෙන් හෝ තාත්තාගෙන් ගුටිකන අවස්ථාවකටයි. එකී දඬුවම් මාදිලිය ශිෂ්ට ලෝකය පුරා අද පිළිගැනෙන්නේ, ගර්හිත සහ තිරශ්චීන චර්යාවක් වශයෙනි. ගුරුවරයා විසින් නොව, දෙමාපියන් විසින් දරුවන්ට තැලීමත්, දියුණු ලෝකයේ අද තහනම් ය.

 

කරුණු එසේ වෙතත්, අපට ඒ කෝපයෙන් තැලු ගුරුවරුන් කෙරෙහිත්, දෙමාපියන් කෙරෙහිත්, අදටත් අප තුළ ඇත්තේ, ආදරයක් සහ ගෞරවයක් මිස අනාදරයක් නොවේ. හේතුව වෙන දෙයක් නොව, ඔවුන් අපට එලෙස තැලූවේ එයින් ඔවුන් යම් පුද්ගල සන්තර්පණයක් ලැබීමට නොව, අප ගැනම ඇති ආදරය නිසා බව අපට ඒත්තුගොස් තිබුණු බැවිනි.

ගුරුවරු විශාල සංඛ්‍යාවක් අතරින්, ඊට වෙනස් අවශ්‍යතාවක් සඳහා අපට දඬුවම් කළ එක ගුරුවරයෙක් පමණක් මගේ ශිෂ්‍ය අතීතය තුළ සිටියේය. ඔහු කිසි දවසක වේවැලක් හෝ කෝටුවක් පාවිච්චි කෙළේ නැත. ඒ වෙනුවට ඔහු පාවිච්චි කෙළේ ඔහුගේ මහපටැගිල්ල සහ දබරගිල්ලයි. එය සිදු වුණේ මෙලෙසයි: අදාළ ශිෂ්‍යයා ඔහු තමා ළඟට ගෙන්වයි. ඊළඟට, ශිෂ්‍යයාගේ එක තට්ටමක් අල්ලා ඇඟිලිවලින් තදින් මිරිකයි. පසුව, අනිත් තට්ටමත් අල්ලා මිරිකයි. ඔහුගේ ඇඟිලි තුඩු අස්සේ හිරවෙන තට්ටමේ මස්ගොබ තුළින් පිටවෙන තියුණු වේදනාවෙන් අප කෑගසන විට ඔහු සිනාසෙයි. 'ඇයි, රිදෙනවද, රිදෙනවද?' කියා එවිට ඔහු අසයි. එය, ස්වයං-තෘප්තියක් ලැබීම සඳහා ඔහු භාවිත කළ දඬුවම් ක්‍රමයක් බව, පසු කලෙක වැඩිහිටි අපට වැටහුණි. ඒ කාලය වන විට, ළමා ලිංගික අපයෝජනය පිළිබඳ චෝදනා සහ අපවාද රාශියක එල්ලය බවට මේ ගුරුවරයා පත්ව සිටියේය.

 

අපේ කතානායක ටියුෂන් ගුරුවරයාගේ මුහුණේ කෝපයක් වෙනුවට ප්‍රහර්ශයක් දිස් වීමෙන්ද, දඬුවම ක්‍රියාවේ යෙදවීම සඳහා ඔහු යොදාගන්නා සුවිශේෂී දණ්ඩන මාදිලියෙන්ද පෙන්නුම් කෙරෙන්නේ, තමාගේම වන ගැඹුරු සන්තර්පණයක මානසික අවශ්‍යතාවකින් මේ ගුරුවරයා පෙළෙන බවයි. එය මුළුමනින්ම ලිංගිකයි. පරපීඩා-කාමුකත්වය නමින් එය හැඳින්වෙයි. මේ තත්වය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන 'සේඩිසම්' යන වචනයට අපූරු ඉතිහාසයක් තිබේ.

marමාකී දෙ සාද්

17-18 සියවසේ විසූ මාකී දෙ සාද්, ප්‍රංශයේ රජ පවුලට සමීප, ඉතා ධනවත් රදලයෙකි. කෘතහස්ත ලේඛකයෙකි. නවකතාකරුවෙකි. ඔහු ලියා ඇති නවකතා අතර, ''ගුද මෛථුන්‍ය පිළිබඳ දින 120 ක්'' සහ ''නිදි යහනේ චින්තනය'' නමැති කෘති ලෝ ප්‍රකටයි. ඔහුගේ ජීවිතාශාව වුණේ ගැහැනුන්ට කස පහර දෙමින්, තවත් විවිධ වධ බන්ධන පමුණුවමින්, ඔවුන්ගේ රුදුරු විඳවීම දෙස බලා ලිංගික ආශ්වාදයක් ලැබීමයි. ඔහුගේ මේ නපුරු පුරුද්දට හෙවත් පරපීඩා-කාමුකත්වයට ගොදුරු වූ ඇතැම් ගැහැනු මියගියහ. තවත් ගැහැනුගේ සිහිවිකල් විය. තවත් අය ආබාධිත වූහ. විශේෂත්වය වන්නේ, ඔහු සේවය සඳහා යොදාගත් අති-බහුතරයක් ගැහැනු ඔහුට ඛෙහෙවින් ආදරය කළ බවයි. කෙසේ වෙතත්, ඔහුගේ පවුල් බලයෙන් සහ ධන බලයෙන්, මේ සාපරාධී චර්යාව නීතියෙන් වසං කර තබාගැනීමට ඔහුට නොහැකි විය. දිග කතාවක් කෙටියෙන් කිව්වොත්, ඔහු ජීවත්ව සිටි වසර 74 න් වසර 30 කට ආසන්න කාලයක්, එනම්, වැඩිහිටි වයසෙන් අඩකටත් වැඩි කාලයක් ඔහු සිටියේ සිරගතවයි. ප්‍රංශ විප්ලවය කාලයේ සිරෙන් නිදහස ලැබූ ඔහු, ඒ  සමගම ගිලටීනයෙන් ඛෙල්ල බේරාගත්තේ අනූනවයෙනි. කෙසේ වෙතත්, අවසානයේ ඔහු මහලූ වියට පත්ව ස්වාභාවිකව මරණයට පත්වන්නේ පැරිසියේ කුප්‍රකට පිස්සන්කොටුවකයි.  

1321863001
'සේඩිසම්' යන ඉංග්‍රීසි වචනය ව්‍යුත්පන්න වන්නේ, මේ කියන සාද්ගේ නමින් උපත ලත් 'සැදිස්ම' යන ප්‍රංශ වචනයෙනි. අද වන විට, සාද්ගේ ඒ  අපූරු ලිංගික චර්යාව, නූතන මනෝවිද්‍යාව සහ මනෝව්‍යාධිවේදය ඇතුළු සමාජ අධ්‍යයනයන් රාශියකට මූලාශ්‍ර නිමිති වී තිබේ. (මේ මිනිස් චර්යාව ආරම්භ වුණේ ඔහුගෙන් ය යන්නක් මින් අදහස් නොවේ. එය, චිරාත් කාලයක් තිස්සේ පැවත එන මිනිස් ලිංගික ආශයකි. එහෙත්, 'පරපීඩා-කාමුකත්වය' යන සුවිශේෂී නූතන භාෂාමය යෙදුම ප්‍රභවය ලබන්නේ ඔහුගෙනි). ජර්මානු ජාතික පීටර් වෙයිස්ගේ නාට්‍යයක පරිවර්තනයක් වශයෙන් සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් වන ''මරා-සාද්'' වැනි නාට්‍යවලට සේම, ලෝකයේ විවිධ කලා කෘතිවලටත් ඔහුගේ චරිතය පාදක වී තිබේ.

අපේ කතානායක ටියුෂන් ගුරුවරයා පැහැදිලිවම පරපීඩා-කාමුකයෙකි. දඬුවම සඳහා අවැසි කෝපය ව්‍යුත්පන්න වන්නේ වරද කෙරෙහි ජනිත වන ස්වාභාවික ප්‍රතිචාරයක් වශයෙන් නොව, තමා තුළම පවතින ආශාවක් සංසිඳවාගැනීම සඳහා පමණක්ම බව, එවේලේ මේ ගුරුවරයාගේ මුහුණේ ඇඳී තිබූ තුනී සිනාවෙන් පෙන්නුම් කරයි.

 

මේ සිද්ධිය මහා හාහෝවක් වී ගුරුවරයා කෙරෙහි සමාජ විරෝධයක් මතුවීමට වැඩි දවසක් ගියේ නැත. එවිට, තවත් අපූරු දෙයක් සිදු විය. එනම්, ගුරුවරයාගේ නියෝගය මත අර ශිෂ්‍යාවගේ අතින් පහරකෑ ශිෂ්‍යයා සිය ගුරුවරයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමයි. මේ සිද්ධිය ගැන කෑකෝගහන අයට වෙන වැඩක් බලාගන්නැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් කියා තිබුණි. ගුරුවරයා කෙරෙහි කිසි අහිතක් තමන් තුළ නැතැයි කී ඔහු, මෙය තමා සහ ගුරුවරයා අතර ප්‍රශ්නයක් මිස වෙන කිසිවෙකුට අදාළ ප්‍රශ්නයක් නොවන බවත් කියා දී තිබුණි.

 

56ur676
මේ කතාවේ අනිත් පැත්තට හැරීම සඳහා එකී ශිෂ්‍යාගේ ප්‍රකාශය අපට යොදාගත හැකිය. මර්වින් සිල්වා විසින් ගහේ බඳිනු ලැබූ රාජ්‍ය සේවකයා ඊට පසු අවස්ථාවක කීවේ, තමා කැමැත්තෙන් තමාව ගහේ බැඳගැනීමක් සිදු කළ බවයි. එය, එදා මර්වින් සිල්වාගේ මැර බලය කෙරෙහි පැවති බිය නිසා සිදු කළ ප්‍රකාශයක් යැයි අනුමාන කළ හැකිය. මේ ශිෂ්‍යයාත්, සමහරවිට ගුරු භක්තිය නිසා දැන් මෙසේ කියනවා විය හැකියි. ඒ කෙසේ වෙතත්, ගුරුවරයාගේ සුවිශේෂී ලිංගික ආශයේ අනිත් පැත්ත ගැනත් සලකා බැලීමට එය අපට බාධාවක් නොවේ.

ඒ පැත්ත හැඳින්වෙන්නේ, ස්වපීඩා-කාමුකත්වය වශයෙනි. එනම්, තමාටම වධ හිංසා පමුණුවාගැනීමෙන් මානසික ආශ්වාදයක් ලැබීමයි. මෙය, පරපීඩාකාමයට වඩා සංකීර්ණ මෙන්ම, වඩාත් ප්‍රචලිතව ජීවිතයේ සහ සමාජයේ විවිධ අංශ කෙරෙහි විහිදෙන මිනිස් ස්වභාවයකි. ඒ ගැන විස්තරයකට මෙය අවස්ථාව නොවන හෙයින්, 'ලිංගික' අංශයට පමණක් එය අප සීමා කළොත්, අර කී මාකී දෙ සාද්ගේ සියලූ වධහිංසා ඉදිරියේ සැබවින්ම ඔහුට ආදරය කළ හෝ ආශා කළ ගැහැනු, අනිවාර්යයෙන් මේ කියන ස්ව-පීඩාකාමුකත්වයේ සජීවී නිරූපණයන් වී ඇති බවට සැකයක් නැත. එහෙත්, සිය ගුරුවරයා වරදක් කර නැතැයි කියන අපේ ශිෂ්‍යයා එකී පිරිසට අයත් යැයි කීමට තරම් තොරතුරු අපට තවම නැති බවත් ඒ සමගම කිව යුතුය.

 

certificate 928092345

එසේ වෙතත්, සිය ගුරුවරයා පරපීඩාකාමුකයෙකු බව පමණක් නොව, ඔහු වංචාකාරයෙකු බවත් ශිෂ්‍යයා නොදන්නා බව නම් අපට නිරීක්ෂණය කළ හැකිය. මුලින්ම, මේ ගුරුවරයා තමන්ව හඳුන්වාගන්නේ 'ආචාර්ය' උපාධියක් ඇත්තෙකු සේ ය. ආචාර්ය උපාධියක් තියා, ඔහු කියන පළමු උපාධිය පවා හොර සහතිකයක් බව දැනට සොයාගෙන තිබේ. ඒ සහතිකය මුද්‍රණය කර ඇති පිටපතේ ඉංග්‍රීසි පවා වැරදි බව දැක ඇති යම් පිරිසක් අදාළ විශ්ව විද්‍යාලයෙන් ඔහුගේ උපාධියේ සත්‍යාසත්‍ය බව විමසා ඇත. එවිට විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් ලැබී ඇති පිළිතුර වන්නේ, මේ පුද්ගලයා එම විශ්ව විද්‍යාලයේ කිසි උපාධියක් සඳහා පෙනී සිට නැති බවයි.

482029584 9441335612594542 3152202347428969632 n

 

ඒ මදිවාට, එක්තරා මානව හිමිකම් සංවිධානයක තමා ප්‍රධානියෙකු වන බවටත් ඔහු ප්‍රචාරය කර තිබේ. ඒ  සඳහා ඔහු දී තිඛෙන වටිනාකම කෙතෙක්ද යත්, එකී මානව හිමිකම් සංවිධානයේ සාමාජිකත්වය දක්වන සහතිකය, ඔහු රාමු කර ප්‍රදර්ශනය සඳහා තබා ඇති බව වාර්තාගතයි. ඒ  ඇයි? ව්‍යාපාරික තක්කඩියෙකුට, තමා කෙරුමෙකු බව පෙන්නුම් කිරීම සඳහා යොදාගත හැකි ඕනෑම දෙයක්, අගනා 'සාක්ෂියක්' වන බැවිනි. හරිනි අමරසේකර අගමැතිනිය සමග යම් අවස්ථාවකදී ගත් ඡායාරූපයක් ඔහු ප්‍රයෝජනයට ගෙන ඇත්තේද එවැනි 'සාක්ෂියක්' වශයෙනි.

 

481981573 9393322217448166 8996027218850293875 n

එහෙත් එක තැනකදී ඔහුට වැරදුණි. එනම්, තමාගේ එක සාක්ෂියක් තමාගේම තවත් සාක්ෂියකට ඉඳුරා පටහැනි විය හැකි බව ඔහු නොදැන සිටීමයි. මානව හිමිකම් සංවිධානයක ප්‍රධානියෙකු යැයි කියාගන්නා කෙනෙකු, ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව පිළිබඳ හෝඩියවත් නොදන්නා බව, ඉහත කී දඬුවම් පමුණුවන 'සාක්ෂියෙන්' තමාට විරුද්ධව තමා විසින්ම ගොඩනඟාගෙන ඇති බව ඔහුගේ ටිකිරි මොළයට වැටහී නැත. එහිදී එළියට පැන ඇත්තේ, දක්ෂ ටියුෂන් ගුරුවරයා නොව, තමා රෝගියෙකු බව නොදන්නා, අසරණ ලෙඩා ය. පරපීඩාකාමුකත්වයේ එක ආලවට්ටමක් වන්නේ එයයි. එනම්, ප්‍රදර්ශනකාමයයි. මේ කියන වීඩියෝව පටිගත කර ඇත්තේ ඔහුමයි!. එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කර ඇත්තේද, ඔහුගේ හතුරෙකු නොව, ඔහුමයි!.

මාකී දෙ සාද්ට වැරදුණු තැනත් එතැනයි.              

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(සටහන | ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ටියුෂන් පංතියේ විකෘති කාමය | ගාමිණී වියන්ගොඩ | The Leader