The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සතුරු දඩයමේ දේශපාලනය | චරිත හේරත්

T

The Leader Desk

March 16, 2025 • 6:09 AM

සතුරු දඩයමේ දේශපාලනය | චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය.
  • වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මීට පෙර සිටි සියලුම ආණ්ඩු වැරදි බවට මතු කළ තර්කයක් හරහාය.
  • ‘නිදහසින් පසු වසර 76 ම අහකට’ යන තර්කය මතු වුණේ ඒ අනුවය.
  • පාර්ලිමේන්තුවේ 225 න් 159 ක්ම ඒ පැත්තට ලබා දුන්නේ මේ කථාව තදින් පිළිගත් නිසා විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ගැන රටේ ලොකු අවධානයක් නැත. රටේ ආර්ථිකය පිළිබඳව බරපතළ අලුත් උත්සාහයක් ගත්තේද නැත. මතු වෙමින් තිබෙන්නේ වෙනමම දේශපාලනයකි. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ පිළිබඳවය.

 



සතුරකු සෙවීමේ දේශපාලනය

ඉහතින් සදහන් කළ ‘අලුත් දේශපාලනයේ’ මහා පොදු සාධකය වන්නේ ‘සතුරකු සෙවීමේ’ ආණ්ඩුවේ උත්සාහයයි. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මීට පෙර සිටි සියලුම ආණ්ඩු වැරදි බවට මතු කළ තර්කයක් හරහාය. ‘නිදහසින් පසු වසර 76 ම අහකට’ යන තර්කය මතු වුණේ ඒ අනුවය. ආණ්ඩුවේ අය මතු කළ ඒ කථාව ජනතාව පිළිගත්තේය. පාර්ලිමේන්තුවේ 225 න් 159 ක්ම ඒ පැත්තට ලබා දුන්නේ මේ කථාව තදින් පිළිගත් නිසා විය යුතුය.

 

ආර්ථික අර්බුදයේ යතාර්ථය - (අජිත් රාජපක්ෂ)

දැන් ආණ්ඩුව අවධානය යොමු කළ යුත්තේ පසුගිය වසර 76 ටම වෙනස්, අලුත් සංවර්ධන ආකෘතියක් හඳුන්වා දීමටය. ආර්ථිකය පසුගිය වසර 76 ටම වඩා ශක්තිමත් ආකාරයෙන් මෙහෙයවීමය. රටේ ආර්ථික ක්‍රියාකාරකම් හෙවත් Economic Activities  වැඩි කිරීමය. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ වෙනමම වැඩක්ය. ඒ අය කරන්නේ අලුතින් වැඩ කිරීම නොව අලුත් සතුරෙක් මවා පෙන්නීමය. පසුගිය කාලයේ රටේ ජනප්‍රිය වූ නාට්‍යයක නමක් වූයේ ‘අලුත් හොරෙක් ඕනෑ.’ කියාය. ආණ්ඩුව පෙන්වන්නේ ඒ අයටත් ‘අලුත් සතුරෙක් ඕනෑ.’ කියාය. ඒ සඳහා දිනෙන් දින සතුරන් සොයා යන දේශපාලනයක් දියත් කර ඇත්තේ ඒ නිසාය.

මේ අලුත් උත්සාහයේ ආසන්නම ගොදුර බවට පත්වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය.

රනිල්ගේ දේශපාලනය

රනිල් විශේෂ ප්‍රකාශයකට සැරසෙයි!
රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවිධ අයට විවිධ ආකාරයේ විවේචන තිබෙනවා විය හැකිය. ඒ අය අතර ඔහු සමග එක පක්ෂයේ දේශපාලනය කළ අයත්, විරුද්ධව දේශපාලනය කළ අයත් සිටිනවා විය හැකිය. එහෙත් වික්‍රමසිංහ මහතා සම්බන්ධ දේශපාලනය මේ මොහොතේ ප්‍රධාන කාරණයක් බවට ඒ කිසිවෙක් පත්කර ගෙන ඇතැයි මා සිතන්නේ නැත. වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මුලදී විරෝධීව සිටි අය පවා 2022 – 24 කාලයේ එතුමාගේ සමහර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැහැදීමෙන් සිටිනවා යැයි කිව හැකි තරමේ තත්වයක් ද ඇත.

මගේ දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඔහුගේ විරුද්ධ පැත්තේ දේශපාලනයක් හැම විටම සිදුකර ඇත්තෙමි. එහෙත් මෙවර ආණ්ඩුව තමන්ගේ ‘සතුරකු සෙවීමේ දේශපාලනය’ තුළට වික්‍රමසිංහ මහතාව දමා ගෙන ඇති ආකාරය සමග මගේ කිසිදු එකඟතාවක් නැත. මෙතන සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවේ අයට තමන්ගේ ඡන්ද දායකයන් සතුටු කිරීමේ පලදායක ක්‍රියාමාර්ග නොමැති වීම හේතුවෙන් ඒ වෙනුවට ‘සතුරෙක්’ ඉදිරිපත් කර සාකච්ඡාව වෙනත් පැත්තකට තල්ලු කිරීමයි.

අල්ජසීරා සාකච්ඡාව සහ බටලන්ද

 



මේ අලුත් තත්වය ගොඩ නැගී තිබෙන්නේ අල්ජසීරා රූපවාහිනි නාලිකාව සමග වික්‍රමසිංහ මහතා සිදුකළ සාකච්ඡාව හරහාය. මගේ නිරීක්ෂණය වන්නේ වික්‍රමසිංහ මහතාගේ ඒ රූපවාහිනී සාකච්ඡාව අපේ රට පැත්තෙන් සිදුකළ ඉතාමත් ආරක්ෂණවාදී එකක් බවයි. එවැනි සාකච්ඡාවකට සහභාගි විය හැකි මේ මොහොතේ රටේ දේශපාලනය කරන වෙනත් නායකයෙක් සිටිනවාදැයි කල්පනා කර බලන්නේ නම් මේ ප්‍රශ්නය තවත් පැහැදිලි වනු ඇත.

ආණ්ඩුවේ සමහර නායකයන් කතා කරන්නේ ඒ අය ලෝකයේ ජාත්‍යන්තර රූපවාහිනී චැනල සියල්ලම සමතික්ක්‍රමණය කර තිබෙනවා වගේ ආඩම්බර ලීලාවෙන්ය.

මගේ අදහස වන්නේ එකී අල්ජසීරා සාකච්ඡාවේ මතු වූ ප්‍රධාන ගැටලු 03 එනම් 1. 2009 යුද්ධය, 2. ප්‍රශ්චාත් යුධ කළමනාකරණය සහ 3. 2022 ආර්ථික කඩා වැටීම යන ප්‍රශ්න තුනට රනිල්ට වඩා හොඳට ජාත්‍යන්තර මාධ්‍යයට පැහැදිලි කළ හැකි අයෙක් මේ ආණ්ඩුවේ නැති බවය. 

මේ ප්‍රශ්න තුන ජාත්‍යන්තර රූපවාහිනියක ඉංග්‍රීසියෙන්, ශක්තිමත්ව කතා කළ හැකි බුද්ධිමතුන් මේ රටේ සිටින බව සැබෑවක්ය. දයාන් ජයතිලක, රජීව විජේසිංහ වැනි අය ඒ අතර ප්‍රධානය. එහෙත් ක්‍රියාකාරී පාර්ලිමේන්තු දේශපාලනයේ හා ආණ්ඩුවේ මේ මොහොතේ එවැනි එක් අයෙක් වත් නැති බව මගේ අදහසය. එසේ තිබියදී රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව තුළ සැඟවෙන්නට යාම එක් පැත්තකින් විහිලු සහගතය.
 
බටලන්ද වාර්තාව
 

බටලන්ද කොමිසමේ වාර්තාව යළිත් කරළියට පැමිණ ඇත්තේ මේ අනුවය. වික්‍රමසිංහ මහතාගේ දේශපාලනයේ 1989 කාලයේ තත්වය මේ කොමිසම් වාර්තාවෙන් මතු වූ බව සැබෑවක්ය. ඒ කාලයේ සිදුවූ බරපතළ මානව හිමිකම් විරෝධ අතර මේ කොමිසමෙන් මතුකර ගත් කරුණු ද ඉතාමත් සංකීර්ණ කාරණා රාශියක් එළියට ගැනීමට සමත් බව පැහැදිලිය. එහෙත් 1989 සිදු වූ සමස්ත ක්‍රියාවලිය (ජ.වි.පෙ. දේශපාලනය, ගල්කටස් ත්‍රස්තවාදය, ආණ්ඩුවේ මර්ධනය) සමස්තයක් ලෙසින් ගෙන සොයා බැලීමක් කරන්නේ නැතිව බටලන්ද කොමිසම ගැන පමණක් කතා කිරීමෙන් ඒ පළල් ක්‍රියාදාමය සිදුවන්නේ නැත. මේ කරන්නේ ‘සතුරකු සෙවීමේ දේශපාලනයට’ තවත් කොමිසම් වාර්තාවක් දමා ටිකක් කල් අල්ලා සිටීමට උත්සාහ ගැනීමය.

මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මේ වන විටත් තීරණය කර තිබේ. එහි වැරැද්දක් නැත. එහෙත් සංකීර්ණ ක්‍රියාදාමයක් එනම් 1988 – 89 රටේ පැවැති තත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මෙසේ එක වාර්තාවක් හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීම ඉතාමත් දුර්වල උත්සාහයක් පමණක් බව මගේ අදහසය.

 
ඇත්තටම මෙය සමාන වන්නේ අල්ජසීරා සාකච්ඡාවේ නිවේදකයාගේ ‘2009 උතුරේ යුද්ධය සම්බන්ධව සිදුකළ ප්‍රකාශය වගේ දුර්වල එකකටය. ඔහුට අනුව 2009 යුද්ධයේ අවසාන සතිවල සිදුවූයේ කුමක්ද කියා හරියටම  තියෙන්නේ දරුස්මාන් වාර්තාව තුළය. ඔහු ඉදිරිපත් කළ දත්ත සියල්ලම මතු වී තිබෙන්නේ ඒ වාර්තාව තුළ පමණය. 2009 යුද්ධයේ අවසානය ගැන සිදුකළ අනෙක් කොමිසම් වාර්තා තුනම ගැන කිසිදු දැනීමක් ඔහුට නැත. එවැනි ඒක පාර්ශ්වීය තේරුම් ගැනීමකින් බරපතළ හා සංකීර්ණ 2009 යුදමය තත්වය වටහා ගත නොහැකිය. එය සමාන වන්නේ වත්මන් ආණ්ඩුව 1988 – 89 ගැටුම්කාරීත්වය බටලන්ද කොමිසමෙන් බලනවා වැනි ක්‍රියාවකටය.
 
ප්‍රාදේශීය සභා ඡන්දය හා රිළා සංගණනය

බටලන්ද කොමිසම් වාර්තාව හා රනිල් වික්‍රමසිංහ පිළිබඳව කථා කරන්නට ගොස් එළඹෙන ප්‍රාදේශීය සභා ඡන්දය පිළිබඳව යමක් කතා කිරීමට නොහැකි විය. ප්‍රාදේශීය සභා ඡන්දය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. එය ඉතාමත් හොඳ ප්‍රවණතාවකි. මේ මොහොතේ ඡන්දයක් පවත්වා රටේ ජනතාවගේ මතය විමසීම වැදගත්ය.
 
පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ !
මෙවර පළාත් පාලන ඡන්දයේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ ‘ජාතික දේශපාලනයේ බොරු ගමට එපා.’ යන්නය. පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තුළ ආණ්ඩුවේ අය ඉදිරිපත් කළ බොහෝ කරුණු බොරු බව මේ වන විටත් ඔප්පු වී ඇති තත්වයක ඒ නැවතත් ගමේ ඡන්දයට ගේන්න එපා කියන එක වැදගත් කාරණයකි. මෙවර පළාත් පාලන මැතිවරණය යොදා ගත යුත්තේ ගමේ දේශපාලනය හා ප්‍රාදේශීය පාලනය සඳහා ශක්තිමත් කණ්ඩායමක් පත්කර ගැනීම සඳහාත් ආණ්ඩුවේ පාලනය සම්බන්ධයෙන් තමන්ගේ විවේචනය ප්‍රකාශ කිරීම සඳහාත්ය. ඒ සඳහා ජනතාවට ලැබෙන අවස්ථාවක් ලෙසින් මේ ඡන්දය භාර ගැනීම සුදුසුය.

පළාත් පාලන ඡන්දයට අමතරව මේ දිනවල සිදුකරෙන තවත් වැඩක් වන්නේ වනසතුන් ගොවිබිම් වලට පැමිණීම සංගණනය කිරීමය. මම මුලින් සිතුවේ මේ වැඩේ කාගේ හරි ‘ජෝක් එකක්’ කියාය. ඒ කියන්නේ මේ සංගණන කතාව කාගේ හරි විහිලුවක් කියාය. එහෙත් එය බරපතළ ආකාරයෙන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාදාමයක් බව පෙනී ගියේ මගේ නිවසටත් එම සංගණනයේ ආකෘති පත්‍රිකාව යම් නිලධාරියෙක් විසින් ගෙනත් දී තිබෙනු දැකීමෙන්ය.
 
පානදුරේ වඳුරා නොහොත් කරන්ට් කවි | මංජුල වෙඩිවර්ධන
අපේ ගම්වල මේ ගැටලුව ඉතාමත් බරපතළ එකක් බව මෙහිදී සටහන් කළ යුතුය. දඬුලේනුන් සහ අලුත් වර්ගයක වවුලන් සමූහයක් නිසා පොල් වගාව බරපතළ අර්බුදයකට පත්වී ඇත. ඒ මගේ ඇහේ ප්‍රමාණයට සිදුවන දේය. මේ කාරණය පිළිබඳ බරපතළ පර්යේෂණයක් ගොවියන්ට නම් අවශ්‍ය නැත. අවශ්‍යව ඇත්තේ විසඳුමකි. ඒ විසඳුම දෙන්නට නම් මෙවැනි සංගණනයක් සිදුකළ යුතු යැයි ආණ්ඩුව සිතන්නේ නම් ඒ පිළිබඳව වෙන කරන්නට දෙයක් නැත. එහෙත් බැලූ බැල්මටම පේන්නේ මේ වැඩෙත් මා මුලින් කී ‘සතුරෙකු සොයා ගැනීමේ’ දේශපාලනයටම සම්බන්ධ එකක් බවය.
 
සතුරෙක් හොයන්නට නොහැකි වෙන විට වඳුරෙක් වත් සොයාගත යුතු යැයි ආණ්ඩුව සිතුවේ දැයි මා දන්නේ නැත. එහෙත් මේ වැඩේ රටේම විහිලුවක් බවට පත්වීම නම් අනිවාර්යයි.

WhatsApp Image 2025 03 16 at 3.19.32 AM(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com


(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2025 මාර්තු මස 16 වන ඉරිදා)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...