The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොහොසත් රටක් සහ ලස්සන ගැහැනියක්

T

The Leader Desk

March 16, 2025 • 10:18 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොහොසත් රටක් සහ ලස්සන ගැහැනියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තා දිනයට, දින කිහිපයකට කලින් පැවති ට්‍රම්ප් ප්‍රතිපත්ති විරෝධී පෙළපාලියකදී කාන්තාවෝ ඇඳිවත උනා දමා නිරුවතින් ගමන් කළහ.
  • ගැහැනු නිරුවත, පිරිමි නිරුවතට වඩා බලවත් බව ඒ විරෝධතාවේදී ද ලොවට පැහැදිලි වුණි.
  • එවිට කාන්තා අයිතිවාසිකම් හෝ විමුක්තිය පිළිබඳ ලොකු ප්‍රශ්න ඇතිවන්නේ නැත.
  • එහෙත් ඒ සඳහා ක්‍රම සහ විධි ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කාන්තා දිනයට, දින කිහිපයකට කලින් පැවති ට්‍රම්ප් ප්‍රතිපත්ති විරෝධී පෙළපාලියකදී කාන්තාවෝ ඇඳිවත උනා දමා නිරුවතින් ගමන් කළහ. එය බලා සිටි පිරිමි අත්පොළසන් දුන්හ. ගැහැනු නිරුවත, පිරිමි නිරුවතට වඩා බලවත් බව ඒ විරෝධතාවේදී ද ලොවට පැහැදිලි වුණි.

 

459e211155ab2c7b7fb85482bfcb0874

කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය යනු සෑම කාන්තා දිනයකදීම ඉහළින් ඔසවා තැබෙන සටන් පාඨයකි. පිරිමියකු වශයෙන් මම ද එයට අත් ඔසවා සහාය දෙමි.

සාමාන්‍යයෙන් මා ගැහැනුන්ට බය නැත. ගැහැනු ද මට බය නැත. එසේ හෙයින් මගේ ජීවිතයේදී ගැහැනු සබඳතා ඉතා සාමකාමීවත්, සහජීවනයෙන් යුතුවත් පවත්වාගෙන යා හැකිව තිබේ.

“සැමියා බිරිඳගේ දෙවියා” නම් බිරිඳ සැමියාගේ දේවතාවිය විය යුතුය. එවිට කාන්තා අයිතිවාසිකම් හෝ විමුක්තිය පිළිබඳ ලොකු ප්‍රශ්න ඇතිවන්නේ නැත. නිවසේදීම කාන්තා ප්‍රශ්න විසඳා ගත් කල සමාජයට එය ලොකු බරක් වන්නේ නැත.

 

close up women hands with feminism symbol scaled
මෑතකදී සමාජ මාධ්‍ය ජාලයේ මෙවැනි උපහාස කියුමක් පළ විය.

“ඔබේ ජීවිතයේ බොහෝ ගැහැනු වේ නම් ඔබ සාර්ථකය.
උදාහරණය ඩොනල්ඩ් ට්‍රම්ප්.”

“ඔබේ ජීවිතයේ කිසිදු ගැහැනියක නැතිනම් ඔබද සාර්ථකය.
උදාහරණය නරේන්ද්‍ර මෝදි.”

ඔබේ ජීවිතයේ සිටින්නේ එකම ගැහැනියක නම් ඔබ සාර්ථකද නැද්ද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතුය.


ක්‍රමයෙන් අඩුවන විවාහ: 'මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න  කැමතියි'

 

විවාහ සංස්ථාවක් නම් අනිවාර්යයෙන්ම එහි සභාපතිනිය භාර්යාවය. ස්වාමියාට ද යම් තනතුරු හිමි වේ. එහෙත් ඒවා නාමිකවය.

විවාහ සංස්ථාව සමබරව පවත්වාගෙන යාමද ලෙහෙසි පහසු නැත. එහෙත් ඒ සඳහා ක්‍රම සහ විධි ඇත.

ජර්මනියේ විවාහක යුවලක් ඔවුන්ගේ පනස් වැනි විවාහ සංවත්සරය පැවැත්වීමට කටයුතු කළහ. ඒ සඳහා ආරාධිතයකු වශයෙන් පැමිණි මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.

“මේ තරම් කාලයක් ඔබ දෙදෙනා අතර කිසිම ගැටුමක්, මතභේදයක් ඇතිවුණේ නැද්ද?”

“ඇත්තෙන්ම නෑ.” සැමියා කීය.

ශ්‍රී ලංකාව ලොව අඩුම දික්කසාද ප්‍රතිශතය දරන්නේ ඇයි?
“හරි සන්තෝසයි. එහෙම විවාහ ජීවිතයක් ගැන අහන්න ලැබෙන්නෙත් හරි කලාතුරකින්. ඔබ දෙදෙනා කොහොමද එහෙම සමගියෙන් කල්ගත කෙරුවෙ?” එවිට සැමියා දිගු පිළිතුරක් දුන්නේය.

“අපි විවාහ වෙලා මධුසමය ගත කරන්න ගියේ කඳුකර හෝටලයකට. අපිට එහෙදි අශ්වයන් පිට නැගිලා වනාන්තරයේ පාරක ගමන් කරන්න ලැබුණා. මට ලැබුණු අශ්වයා නම් හරි කීකරුයි. ඒත් නෝනට ලැබුණු අශ්වයා ටිකක් අකීකරුයි. වැඩි දුරක් යන්න ලැබුණෙ නෑ. අශ්වයා නෝනව බිම දැම්මා. ඒත් නෝනා තරහ ගත්තෙ නෑ.”

“මේ පළවෙනි වතාවනෙ. කමක් නෑ.”

“එහෙම කියපු නෝනා ආපහු අශ්වයා පිට නැග්ගා. ටික දුරයි ගියෙ. ආයෙත් සැරයක් අශ්වයා උඩ පැනලා නෝනව බිම දැම්මා. ඒ පාරත් නෝනා තරහ ගත්තෙ නෑ.”

“මේ දෙවැනි වතාවනෙ. කමක් නෑ.”

තුන්වැනි වතාවටත් අශ්වයා උඩ පැනලා නෝනව බිම වැට්ටුවා.

 

360 F 193739050 Q7k0Szenosily6lPPTdxZVjQuL8UbRFs
ඒ පාර නෝනට යකා නැග්ගා. එයාගෙ රිවෝල්වර් එක අරන් අශ්වයට වෙඩි තිබ්බා. ඌ එතැනම වැටිලා මැරුණා.

මේක දැකපු මට තරහක් වගේම ලොකු දුකකුත් ඇතිවුණා.

“මොකද ඒ කරපු වැඩේ! ඇයි ඒ අහිංසක සතාට වෙඩි තිබ්බෙ?” මම තරහෙන් කිව්වා.

නෝනා මගෙ දිහා හැරිලා බැලුවා. මුල්ම වතාවේ අශ්වයට කිව්ව විදිහටම මටත් මෙහෙම කිව්වා.

“මේක ඔයාගෙ පළවෙනි වතාවනෙ. කමක් නෑ.”

“එදා ඉඳන් අද වෙනකල් අපි අතරෙ කිසිම ගැටුමක් නෑ. අපේ ගෙදර වෙඩින් ෆොටෝ එක ළඟින්ම තියෙන්නෙ අර අශ්වයගෙ ෆොටෝ එක.”

 

52786786

මාලිමා ආණ්ඩුවේ තේමා පාඨය වූයේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන්නය. පොහොසත් රටවල පොහොසත් ගැහැනු ලස්සනය. ඒ ඔවුනට ලස්සන වීම සඳහා අවශ්‍ය සැප පහසුකම්, ආහාර පාන හා මුදල් හදල් තිබෙනා බැවිනි.

 

සිරි ලංකාව තවමත් දුප්පත් රටකි. එහෙත් එහි ගැහැනු ලස්සන වීමට දනිති. ඔවුන් එය කොතරම් හොඳින් ඉටුකර ගන්නේද කිවහොත්, මඟුලකට ගිය විට සැමියාට අල්ලපු ගෙදර ගැහැනිය පමණක් නොව, තමන්ගේම භාර්යාව ද හඳුනා ගැනීම අපහසුය. මඟුල් නැකත් යෙදෙන දවසට මුළු සිරි ලංකාවම එකම රූපලාවණ්‍යාගාරයකි.

ලස්සන ගැහැනු පිරි පොහොසත් රටක් බිහිවේවා!

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොහොසත් රටක් සහ ලස්සන ගැහැනියක් | The Leader