The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජයනිගේ රුසියානු කතා : වස්මෝව මාර්තාවට මලින් සැරසෙන රුසියානු ගැහැනු

T

The Leader Desk

March 17, 2025 • 7:31 AM

ජයනිගේ රුසියානු කතා : වස්මෝව මාර්තාවට මලින් සැරසෙන රුසියානු ගැහැනු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානුවෝ කියන්නේ බොහොම සුපර්ස්ටිෂස් පිරිසක් කියල මම කියල තියෙනව නේ.
  • මම එහෙම කිව්වේ රුසියාවේ ගත කරපු කෙටි කාලය ඇතුළේ මට දැනුන දේවල්වලින්.
  • හැබැයි ඉතින් රුසියානු සංස්කෘතියේ පැතිරිලා තියෙන ඒ වගේ සමහර විශ්වාස සහ ඇඳහිලි එයාලගේ සාමාන්‍ය ජන ජීවිතයට ඇතුල් වෙලා අද ඒවා අනෙකාට ගෞරව කරන්න සහ ආචාරශීලිත්වය පෙන්වන ආචාර විධි බවටත් පත් වෙලා තියෙනවා.
  • වස්මෝව මාර්තා* නැතිනම් මාර්තු 8 වැනිදාවේ මොස්කව් මෙට්‍රෝ ස්ටේසමක කාන්තාවන්ට සුබ පතන්න, මල් අත දරාගෙන ඉන්න පොලිස් නිලධාරින්.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියානුවෝ කියන්නේ බොහොම සුපර්ස්ටිෂස් පිරිසක් කියල මම කියල තියෙනව නේ. ඒ වගේම තමන්ටම අනන්‍ය වුන සිරිත් විරිත් මහ හුඟක් තියෙන පිරිසක්. මම එහෙම කිව්වේ රුසියාවේ ගත කරපු කෙටි කාලය ඇතුළේ මට දැනුන දේවල්වලින්.

හැබැයි ටිකක් හොයල බැලුවමත් නැගෙනහිර යුරෝපයේ එහෙම නැත්නම් පැරණි සෝවියට් දේශයට අයත් රටවල් සහ මධ්‍යම යුරෝපයට අයත් රටවල් බහුතරයකත් සාම්ප්‍රදායික විශ්වාසයන්ට වැඩි තැනක් හිමිවෙනවා කියලයි කියන්නෙ.

බොහොමයක් රටවල මිනිස්සුන්ට තමන්ගේම ඇඳහිලි සහ විශ්වාසයන් තියෙනවා නේ. හැබැයි ඉතින් රුසියානු සංස්කෘතියේ පැතිරිලා තියෙන ඒ වගේ සමහර විශ්වාස සහ ඇඳහිලි එයාලගේ සාමාන්‍ය ජන ජීවිතයට ඇතුල් වෙලා අද ඒවා අනෙකාට ගෞරව කරන්න සහ ආචාරශීලිත්වය පෙන්වන ආචාර විධි බවටත් පත් වෙලා තියෙනවා.
 
484634995 9826872950690101 833243992071819364 nවස්මෝව මාර්තා* නැතිනම් මාර්තු 8 වැනිදාවේ මොස්කව් මෙට්‍රෝ ස්ටේසමක කාන්තාවන්ට සුබ පතන්න, මල් අත දරාගෙන ඉන්න පොලිස් නිලධාරින්...
රුසියාවට කවුරු හරි කවදා හරි යන්න හිතන් ඉන්නවා නම් ඒවා දැනගෙන යන එක ඇඟට ගුණයි ඕං.

දවසක් ඇඳිරි වැටීගෙන එන වෙලාවක මම මගේ මිත්‍රයෝ එක්ක කැලෑ රස්තියාදුවක ගිහින් නැවත එමින් හිටියා. කකුලේ සුළු ආබාධයක් තිබුන බාබුෂ්කා (ආච්චි) කෙනෙක් සීතලේ වුනත් ජවසම්පන්නව එයාගේ බෑගයත් ඇදගෙන අපි එක්ක සමෝ සමව ඇවිදගෙන යමින් හිටියා. එයා අපිත් එක්ක බොහොම ලෙන්ගතුව හිනාවුනා... අර අන්ධකාරේත් එයාගේ රත්තරං දත් දිලිසුනා...

මගේ මිත්‍රයෝ එයා ඇදගෙන යමින් හිටපු බෑග් එක ඉල්ලුවා... එයාට ගමන පහසුකරවන්න. ඒත් එයා බොහොම කාරුණිකව ඒක ප්‍රතික්ෂේප කරල කිව්වා මට තාම හයිය තියෙනවා දරුවනේ කියල. ඉතින් කතා බහ අතරේ මගේ මිත්‍රයෝ ඇහුවා කොහෙද ආච්චියේ මේ ඇඳිරි වැටීගෙන එද්දි යන්නෙ කියල.

එයා මගේ මිත්‍රයන්ට කිව්වා කවදාවත් එහෙම අහන්න එපා කියල. ඊට පස්සේ එයා බොහොම සුහදව අපිට පැහැදිලි කළා ඒ වගේ ප්‍රශ්න කෙලින් අහන එක සුදුසු නෑ, ඒක අහන්න ඕන ව්‍යංගයෙන් කියල.  

හරියට ඉස්සර අපේ මිනිස්සු කවුරු හරි ගමනක් යද්දි මුණ ගැහුනම බැහැරක් යනව වගේ කියල අහන්නේ... ආන්න ඒ වගේ.
 
484807032 9826873764023353 8774411023748542241 nවස්මෝව මාර්තාවේ කාන්තාවට මල් සහ සුබ පැතුම්...
රුසියානුවන්ට අනුව කෙනෙක් යන ගමනක් ගැන කෙලින් අහන එක එතරම් ආචාරශීලි නෑ.  

අපි ඉතින් බාබුෂ්කාගෙන් සමාව ඉල්ලලා එයාට සමුදුන්නා.

රුසියානුවන්ට පුදුම මල් පිස්සුවක් තියෙනවා කියල මම කියල තියෙනව නේ. පුංචිම ගමක වුනත් මල් කඩවල් දෙක තුනක් වරදින්නෙ නෑ. පාරේ ගියත් කෝච්චියේ බස් එකේ ගියත් මල් පොකුරු අරන් හිනාවෙවි යන රුසියානු ගැහැනුත්... බලාපොරොත්තු සහගත රොමෑන්තික හමුවීමක් වෙනුවෙන් මල් අරන් යන රුසියානු පිරිමින්ගෙත් අඩුවක් නම් නෑ.

847808
හැබැයි ඉතින් කාට මල් දුන්නත් රුසියානුවෙක්ට මල් දෙනවා නම් ඒ පොකුරේ මල් ඔත්තේ ගාණක් තියෙන්න ම ඕන. එහෙම නොවුනොත් ඒක අසුබ දෙයක් හැටියට තමයි එයාලා සලකන්නේ. අවමංගල අවස්ථාවලදි විතරමයි රුසියානුවෝ ඉරට්ටේ මල් පොකුරක් දෙන්නෙ.  
ඒ වගේම තමයි රුසියානුවෙක් තමන්ගේ ගෙදරට එන්න කියල ආරාධනා කරනවා නම් හිස් අතින් යනව වෙනුවට වයින් බෝතලයක්... මල් පොකුරක්... රසකැවිල්ලක්... වගේ පුංචිම හරි දෙයක් ගෙනියන්න අමතක නොකරනවා නම් හොඳයි.

මොකද සාමාන්‍යයෙන් හිස් අතින් ගෙදරකට යෑම ආචාරශීලි නොවෙන රළු හැසිරීමක් හැටියට තමයි එයාලා සලකන්නේ.
 
484167002 9826873524023377 7493031685125078036 nමේන් මේ ඉන්නේ මගේ ගෙවල් අයිතිකාරයා වුන රෝමා. ඔහු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. බොහෝම සරළ හරිම මිත්‍රශීලී කෙනෙක්... රුසියාවට අඩිය තිබ්බට පස්සේ මුණ ගැහුණු වොඩ්කා තරම් උණුසුම් මිත්‍රත්වයක් බෙදාගත්ත පළමු රුසියානුවා...
හැබැයි ඉතින් බොහොම සමීප වුනාම හැමවිටම එහෙම මොනව හරි අරන් එන එක එයාලා බලාපොරොත්තු වෙන්නෙ නෑ. රෝමාගේ ගෙදර (මගේ ගෙවල් අයිතිකාරයා) කෑමට ආරාධනා ලැබුනම මම මොනව හරි අරගෙන තමයි යන්නේ. ඒත් රෝමා ඒකට සුහද විරෝධයක් දක්වනවා... දවසක් තෑගි දීපු වයින් බෝතලෙ ආයෙත් මට දෙන්න හැදුවා... ඒ වගේම තමයි රෝමා මගේ නවාතැනට ආවොත් කතාබහකට, පුංචි හෝ යමක් අරගෙන එනවා. ඒක තමයි රුසියානුවන්ගේ විදිය.

තමන්ගේ ගෙදරට පළමු වතාවට එන අමුත්තෙකුට වොඩ්කා හෝ කොනියැක් අඩියක් පිළිගන්වනවා කියල මම කියල තියෙනවා නේ. ඒක ඉතින් අමුත්තෙකුට දෙන්න පුලුවන් ඉස්තරම් පිළිගැනීමක්. හැබැයි ඉතින් මේ වීදුරු ගාණ අනිවාර්යෙන්ම ඔත්තේ අගයක් වෙන්නම ඕන. ඉරට්ටේ වීදුරු ගාණක් පිළිගැන්වීම අසුබ දෙයක් හැටියටයි එයාලා සලකන්නේ.
රුසියානුවෝ බොහොම තද ඔත්තේකාරයෝ කියල පේනව නේ.
 
484393205 9826873140690082 3603386245326599181 nමේ මගේ අල්ලපු ගෙදර හිටපු ඉරීනා ආච්චි... මගේ අතේ ගුලි වෙලා තියෙන්නේ එයාගේ ගෙදරට යන හැමවෙලාවකම එයා අතමිට මොළවන රසකැවිලි, රුසියානු ටොෆිවර්ග වලින්
කොහොම වුනත්, තමන්ගේ නිවසට එන අමුත්තන්ව දොරකඩ ළඟදි පිළිනොගැනීම රුසියානුවන්ගේ සිරිතක්. මම ඉරීනා ආච්චිගේ ගෙදර බෙල් එක ගැහුවම එයා දොර ඇරලා මාව ඇතුළට අරන් තමයි බොහොම උණුසුම්ව... මව්වත්ව... පිළිගන්නෙ.  

රුසියානුවෝ අමුත්තව නිවස ඇතුළට අරගෙන හරි අමුත්තා එක්කම දොරකඩින් එළියට ගිහින් හරි තමයි වැළඳ ගැනීමකින්... අතට අත දීමකින් අමුත්තන්ව පිළිගන්නේ. දොරකඩ දෙපස ඉඳන් නම් රුසියානුවෙක් තමන්ගේ ගෙදරට කවුරුවත්ම පිළිගන්නේ නෑ. ඒක අවාසනාවන්ත දෙයක් හැටියටයි සලකන්නේ.  

ආන්න එහෙම තමන්ගේ නිවසට පිළිගන්න අමුත්තා, පැළඳ ගෙන ඉන්න පාවහන් ගලවල තමයි නිවසට ඇතුල් වෙන්න ඕන. පාවහන් වලින් නිවසට ඇතුල් වෙන්න පුලුවන් දුවිලි සහ විසබීජ ගැන එයාලා බොහොම සැලකිලිමත්.

කොහොම නමුත් එහෙම පාවහන් ගලවද්දිම නිවස ඇතුළේ පලදින්න පාවහන් යුගලයක් අමුත්තාට පිළිගන්වනවන එක රුසියානුවන්ගේ සිරිතක්. එයින් තමන්ගේ නිවසට ආපු අමුත්තගේ දෙපා සීතලෙන් ආරක්ෂා කරලා නිවස ඇතුළේ සුවපහසුව සලසනවා කියන එක තමයි අර්ථගන්වන්නෙ.
 
WineParty
බොන්න ගියාම රුසියාව වගේම පැරණි සෝවියට් දේශයට අයත් රටවල අනිවාර්ය දෙයක් තමයි සව්දිය පිරීම. ඒක ඉතින් නිරෝගී සුවය... මිත්‍රත්වය... වගේ කාරණා වෙනුවෙන් පටන් ගත්තම හාස්‍යජනක කතා දක්වා ගිහින් සව්දිය පුරනවා... අපි වගේ චීයර්ස් කියල විතරක් වැඩේ ඉවර වෙන්නේ නෑ.  

ජෝර්ජියාව කියන්නේ මේකට බොහොම සුප්‍රසිද්ධ රටක් කියලයි කියන්නෙ. උපන්දින සාද, විවාහ මංගල්‍ය උත්සව වගේ නම් ඉතින් කෙළවරක් නැති... තත්පර දිගු වෙන කතා කෙළවර තමයි සව්දිය පුරනවා කියල කියන්නෙ.  

484150889 9826873374023392 8277614607332054841 nවස්මෝව මාර්තාවට මලින් පිරෙන රුසියානු වීදී සහ මල් සාප්පු...
 
වස්මෝව මාර්තා* නැතිනම් මාර්තු 8, ජාත්‍යන්තර කාන්තා දිනය කියන්නේ රුසියාවට බොහොම වැදගත් දවසක්. ඒක රුසියාවේ ජාතික නිවාඩු දිනයක්. රුසියාවේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් දැන් පෙළපාලි වලින් මල් කළඹ හුවමාරුවට පරිවර්තනය වෙලා නේ. අතිබහුතරයක් රුසියානු පිරිමි තමන්ට සමීපතම ගැහැනිය හෝ ගැහැනුන් වෙනුවෙන් මල් පොකුරු මිලදී ගන්න හරි... කැලෑවෙන් කඩාගෙන මල් පොකුරක් පිළිගන්වන්න හරි... පුංචි පුංචි තෑගි හුවමාරු කරගන්න හරි අමතක කරන්නේ නෑ. පවුලේ අය, මිතුරන්, කාර්යාල සඟයන් නාට්‍ය, චිත්‍රපටි, සංගීත සංදර්ශන බලන්න හරි... කෑමකට එක්කාසු වෙන්න හරි අමතක කරන්නෙත් නෑ. ආන්න එදාට සාද කතා මේස පිරිලා ඉතිරිලා යන්නේ බුබුළු දාන ෂැම්පේන්වලින්... උණුසුම් වොඩ්කා වලින් වීදුරු පිරෙමින් සහ ගැහැනුන් වෙනුවෙන් නොනැවති සව්දිය පුරමින්.
ආන්න ඒ සාද කතා මේසවල බීලා අවසන් වෙන වයින්, වොඩ්කා බෝතල් වහාම මේසේ යටට යන විදිය බලන් ඉන්න ලස්සන වැඩක්.

රෝමාගේ ගෙදර එළිමහන් උද්‍යාන මේසේදි  හිස් වෙන බෝතල් ඒ සැණින් මේසේ යටින් තියන්න රෝමා පමාවෙන්නෙ නෑ. ඒක රුසියානුවන්ගේ බීම සංස්කෘතියෙ තියෙන මහ හුඟාක් ආචාර විධි අතරේ ප්‍රධානම දෙයක්. අවන්හළක බිව්වත් ගෙදරදි බිව්වත් රුසියානුවෝ හිස් බෝතල් මේසය උඩ තියාගන්නේ නෑ. ඒක අවාසනාව, අඳුර ගෙන එන සලකුණක් කියලයි කියන්නේ.  

එහෙව් රුසියානුවන්ගේ බීම සංස්කෘතිය කියන්නේ අත්දකින්න වටින ආශ්වාදජනක දෙයක්.
 
Mid adult man pulling the chair for his wife at the restaurant.
මම, රුසියානුවෙක් එක්ක හරි රුසියාවේ කලක් තිස්සේ ජීවත් වෙන ලාංකික මිතුරන් එක්ක එයාලගේ නිවසකට හරි අවහන්හළකට හරි යද්දි අත්දැකපු ලස්සන දෙයක් තමයි එයාලා හැම වෙලේම මට සහය වුනා මගේ සීත කබා ගලවලා එල්වල තියන්න... පුටුව පිටුපසට ඇඳලා වාඩි වෙන්න ඉඩ සලස්වන්න... මොනයම් ම හෝ තැනකට ඇතුල් වෙනවා නම් දොර ඇරලා මුලින්ම එතන ඉන්න කාන්තාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්න... වාහනයක වුනත් දොර ඇරලා කාන්තාවට වාඩි වෙන්න සලස්වලා නැවත ඒ දොර වහලා මිසක් රුසියානුවෙක් කවදාවත් රියදුරු අසුනට නගින්නෙ නෑ.
ඒක රුසියානු පිරිමින්ගෙන් මම දැකපු අනිවාර්ය හැසිරීමක් වගේම ගැහැනියට ගෞරව කිරීම පිළිබඳ එයාලාගේ ආචාර විධියක්.

සමහර හැන්දෑ වරුවලට, මම හිටපු ගමේ දුම්රියපොළ ආසන්නයට යනවා. මිනිස්සු බොහොම නිස්කාන්සුවේ ඔංචිල්ලා බංකුවල පැද්දි පැද්දි බියර් බොනවා...
 
484548390 9826874107356652 6766870052536307049 nමේ ඉතින් කැලෑමල්... කඩෙන් ගන්න තරම්ම ලස්සන මල් කැලෑවේ ඇවිදිද්දි එකතු කරගන්න කාගෙන්වත් කිසිම බාධාවක් නෑ...
කනවා... මිතුරන් හමුවෙනවා... තමන්ගේ ප්‍රේමවන්තිය... බිරිඳ... ඊළඟ දුම්රියෙන් එනකම් බලන් ඉන්නවා... සමහර වෙලාවට කැලෑවෙන් කඩාගත්ත මල් පොකුරකුත් අතේ තියාගෙන... මම අයිස්ක්‍රීම් කකා ඒ දිහා බලන් ඉන්නවා... එහෙම වෙලාවට මට සිනා සංග්‍රහ ලැබෙනවා... ස්ද්‍රාස්විතේ කියල සුබ පතනවා.

ඉලෙක්ත්‍රීච්කා එකෙන් බැහැල එන තමන්ගේ බිරිඳව පෙම්වතියව හාදුවකින් පිළිගන්න රුසියානු මහත්තුරු ඊළඟට වහාම ඇගේ ගමන්මළු තමන් අතට ගන්නවා.  

ඒක ඉතින් හැම රුසියානු පිරිමියෙකුගෙම අනිවාර්ය හැසිරීමක්. රුසියානු පිරිමියෙක් එක්ක කාන්තාවක් ඇවිදිනව නම් ඇගේ කුඩා අත්බෑගය ඇරෙන්න අනිත් ගමන් මල්ල තමන් අතට ගන්න එක රුසියානු පිරිමින්ගේ සම්ප්‍රදායක්.

රුසියාව කියන්නේ ඒ වගේ මහ අපූරු සංස්කෘතියක් තියෙන රටක්.  

484821657 9826873960690000 3345228376962339370 nවස්මෝව මාර්තාවේ මල් සාප්පුවලට තියෙන ඉල්ලුම...
සමහර දේවල් සාම්ප්‍රදායික විශ්වාස මත පදනම් වුන හැසිරීම් වුනත් ඒවා මිනිස් සබඳකම් විචිත්‍රවත් කරනවා. ආන්න ඒ නිසාම රෝමා... ඉරීනා ආච්චි වගේම කඩපිල්වල... ගම්ගොඩවල්වල... මහනගර වල... උද්‍යානවල... මෙට්‍රෝවල මුණගැහුණු රුසියානුවන්ගෙන් ලද හැම පුංචි ආදර සංග්‍රහයක්ම සිහිපත් වෙද්දි මහා ආදරයකින් හිත උණුසුම් වෙනවා.

jayani
(සටහන | ජයනි අබේසේකර)
නිදහස් මාධ්‍යවේදිනී
jayaniabeysekara89@gmail.com

(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )



සබැඳි පුවත් :

ජයනිගේ රුසියානු කතා : ගෙවිලියන්ගේ සරාෆන් වලින් සැරසෙන  රුසියානු බෝනික්කෝ  

ජයනිගේ රුසියානු කතා : රුසියානු ඉස්කෝල, දරුවන් සහ බාබූෂ්කලා...

ජයනිගේ රුසියානු කතා : මාළු වැල් එක්ක බියර් බොන රුස්සන්, ජෝර්ජියන් කචාපූරි සහ උස්බෙක් ප්ලෝෆ්

ජයනිගේ රුසියානු කතා : රුස්සන්ගේ මල් පිස්සුව සහ එලවලු පලතුරු පිකල්

ජයනිගේ රුසියානු කතා : ලෙමන් පෙති එක්ක සෙයිලෝන්ස්කි චායි බොන රුසියානුවෝ

බිරියෝසා ජූස් සහ ඔත්තේ වීදුරු බොන රුස්සෝ

රුසියානු කතා - (ජයනි අබේසේකර)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...