The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රෑ මනමාලියක වූ සුර දූතිය : අකුෂ්ලා | උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

March 17, 2025 • 11:48 AM

රෑ මනමාලියක වූ සුර දූතිය : අකුෂ්ලා | උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිය යනවිට ඇයට වයස අවුරුදු 67කි.
  • එහෙත් යම් අවස්ථාවක -- එය නිශ්චිත ව කුමක්ද යි මට සිහි කැඳවා ගත නොහැක -- මා ස්වර්ණාට පැවසූයේ, ලාංකීය සිනමාවේ මා අගය කරන නිළියන් දෙදෙනෙකු සිටින බව ය.
  • ඒ ඇයත් වෙනත් අයෙකු බවත් ය.
  • ඊට හේතුව ලෙස මා කීවේ, ඔවුන්ගේ මුහුණ, ඉන් යටින් පිහිටි හිස්කබලේ හකු පෙදෙසින් ඉස්මතු කරන සුවිශේෂී මුහුණු ව්‍යුහය, ඇතුළු සෙසු රූප කාය ඒකාකෘතික ලාංකේය ස්ත්‍රී රූපකායයෙන් ඉඳුරා වෙනස් වන නිසා බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිය යනවිට ඇයට වයස අවුරුදු 67කි.

ඇයගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ආචාර්ය උදන් ප්‍රනාන්දුගේ සටහනක් මතු පළවේ. 
 

මීට සති දෙක තුනකට පෙර අශෝක හඳගම මට තම නිවසට රාත්‍රී ආහාර භෝජනයකට ආරාධනය කළේ දැනට ඉතා සාර්ථක ලෙස තිරගත වන රාණි චිත්‍රපටය, ඒ වගේ ම ඒ අරභයා නොකඩවා ඇද හැලෙන ධාරානිපාත විචාර වර්ෂාව හා විදුලි කෙටීම් ගැන පොඩි කතා බහක්‌ කිරීමට ය.

අප හමුවීමට යොදා ගත්තේ සවස හයට වූවත්, මා නොසිතූ පරිදි පැය කාලකට කලින් වාහනය හඳගම නිවසට ළඟා වී ය. වේලාවට කලින් දොරට තට්ටු කිරීම නුසුදුසු නිසා ඔහුගේ නිවසේ කොනකට යාබද පුරන් වූ වෙල්යායක් අවට මම කාලය මරමින් සිටියෙමි. ඉලක්කයක් නොමැතිව ඒ ඇවිදින කාලයේදී එක්වර ම පැහැපත් පෙනුමකින් යුතු හොඳින් හැඳ පැළඳ ගත් සුරූපී කාන්තාවක් එක් වර ම සිනාසෙමින් ප්‍රාදුර්භූත විය. මොහොතකින් ඒ නිල්මිණී සිගේරා යී හඳුනා ගන්නට හැකි වූයේ ඇගේ සුපුරුදු පුළුල් මිත්‍රශීලී සිනහව සහ කටහඬ නිසා ය.

චිත්‍රපට නිෂ්පාදන සැලසුම තිතට ම කරන හඳගම, නිල්මිණි ව කැඳවාතිබුණේ, අපගේ හමුව පහසුකරණය කරනු පිණිස ය. හය වෙද්දී මා හඳගම නිවසට පිවිසි අතර, අපගේ මූලික කතාව පැයක පමණ කරගෙන යන විට ස්වර්ණා මල්ලවාරච්චි ද අප සමග එකතු විය.

මැදියම් රැය වෙනතුරු අපගේ කතා බහ නිල්මිණීගේ රේඛීය නිෂ්පාදනයෙන්, අවැසි අඩුම කුඩුම සහිත ව සුමුදු ව සිදුවිණ. අපගේ කතා බහෙන් සියයට අනූවක් පමණ ගෙවුණේ රාණි චිත්‍රපටය හා එය තිරගතවීමෙන් අනතුරු ව ගොඩනැගුණු හා ගොඩනැගෙමින් සිටින කථිකාව පිළිබඳව ය.
 
483107243 10232181105543230 3149256958672592302 n
එහෙත් යම් අවස්ථාවක -- එය නිශ්චිත ව කුමක්ද යි මට සිහි කැඳවා ගත නොහැක -- මා ස්වර්ණාට පැවසූයේ, ලාංකීය සිනමාවේ මා අගය කරන නිළියන් දෙදෙනෙකු සිටින බව ය. ඒ ඇයත් වෙනත් අයෙකු බවත් ය. ඊට හේතුව ලෙස මා කීවේ, ඔවුන්ගේ මුහුණ, ඉන් යටින් පිහිටි හිස්කබලේ හකු පෙදෙසින් ඉස්මතු කරන සුවිශේෂී මුහුණු ව්‍යුහය, ඇතුළු සෙසු රූප කාය ඒකාකෘතික ලාංකේය ස්ත්‍රී රූපකායයෙන් ඉඳුරා වෙනස් වන නිසා බව ය. එම රූපකායන් හුදු භෞතික තලයක පමණක් පිහිටා නැති බවත්, ඔවුන්ගේ විවිධාකාර ජීවන අත්දැකීම්වලින් සපිරි බලගතු පෞරුෂය එම රූපකායෙන් මනාව දිස් වෙන බව ය. "හරි දැන් කවුද අනිත් එක්කෙනා?" කියා කුතුහලයෙන් ස්වර්ණා විමසූ විට, මා කීවේ ඒ අකුෂ්ලා චෙල්ලයියා කියා ය. මා ඒ නම කියා අවසන් කරන්නත් ප්‍රථම ස්වර්ණා මහත් උද්දාමයකින් හඬ ගා කීවේ "ඕ මයි ගෝඩ්, ශී ඊස් අ හෙල් ඔෆ් ඇන් ඇක්ට්‍රස් ඇන්ඩ් අ පර්සනැලිටි" කියා ය. ඉන් පසු ව අප පැය භාගයක් පමණ කතා කළේ අකුෂ්ලා ගැන ය.
 mangala in'මංගල ඉනසන්ස්' විලාසිතා සංදර්ශන
 
අකුෂ්ලා සිනමාවට ඒමට ගමන් මග සැලසුවේ ඇගේ මුල් වෘත්තීය වූ නිරූපණ ශිල්පය ය. ඇයගේ සුවිශේෂී පෙනුම හා පෞරුෂය නිසා දක්ෂ නිරූපිකාවක ලෙස ඇය මුලින් ස්ථාපිත වී සිටියා ය. 'මංගල ඉනසන්ස්' නමින් මෝස්තරකරුවෙකු ලෙස තම මුල් වෘත්තිය එකල කරගෙන ගිය මංගල සමරවීර (පසුව දේශපාලනයට පිවිසි) ගේ විලාසිතා සංදර්ශනයන්හී ප්‍රමුඛ නිරූපිකාව වූයේ අකුෂ්ලා ය.
 
MV5BNjgzYTg1OTMtZjA5YS00OGMxLTk0ZTgtYTYyOWE3ZWY5OWM2XkEyXkFqcGc. V1 Slave of the Cannibal God චිත්‍රපටය
දේශීය සිනමාවට පිවිසීමට පෙර, අකුෂ්ලා ජාත්‍යන්තර නිෂ්පාදන කිහිපයක ම රඟපෑමට සමත් වී ය. ඒ අතර, Slave of the Cannibal God (1978 ) Rampage (1978) Tarzan the Ape Man, (1981) යන චිත්‍රපට වේ. ඉන් අනතුරු ව අකුෂ්ලා, තවලම (1981), බාඳුරා මල් (1981) , රෑ මනමාලී (1982), හිතත් හොඳයි වැඩත් හොඳයි (1983) හා සුර දූතියෝ (1985) ආදී චිත්‍රපටයන් හී චරිත රඟපෑවා ය.

මේ අතර වඩාත් කැපී පෙනෙන චිත්‍රපටය වූයේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ රෑ මනමාලී චිත්‍රපටය ය. ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරන ලද සියලුම චිත්‍රපට අතර තමන් ප්‍රධාන නළුවා වූ නමුත් රෑ මනමාලී හී ඔහු කිසිදු චරිතයක් රඟ නොපෑම විශේෂත්වයක් විය. රවින්ද්‍ර රන්දෙනිය සමඟ අකුෂ්ලා චෙල්ලයියා එම චිත්‍රපටයේ කළ භූමිකාව ඇයගේ හොඳ ම රඟපෑම ලෙස සැලකේ.
 
484548434 1172075334588557 4797971881946083456 nරෑ මනමාලී
සාර්ථක ව තිරගත වූ වාණිජ චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවක් රඟ පෑමෙන් අකුෂ්ලා ජනප්‍රිය තලයට පැමිණියේ රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සුරදූතියෝ හී ය. "චාලීස් ඒන්ජල්ස්" නමින් එකල ප්‍රසිද්ධ ඉංග්‍රීසි ටෙලි නාට්‍ය මාලාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ එම චිත්‍රපටයේ සුරදූතියන් තිදෙනා වූයේ රෝසි සේනානායක, විශාඛා සිරිවර්ධන හා අකුෂ්ලා චෙල්ලයියා ය. එහෙත් කෙටි කලකින් අකුෂ්ලා සිනමාවෙන් ද නිරූපණ ක්ෂේත්‍රයෙන් ද අතුරුදහන් වී සිටියා ය.

දශකයක පමණ කාලයක් විදේශගත ව සිට, මා නැවත ලංකාවට පැමිණ පර්යේෂණ ආයතනයක සේවය කරනට පටන් ගත්තේ 2011/12 කාලයේ ය. ඉන් වසරකට පමණ පසු එම ආයතනයේ ප්‍රධාන වගකීම දැරීමට මට සිදු වූ අතර, අපගේ වැඩ කටයුතු දැඩි ලෙස ව්‍යාප්ත වීම නිසා, මාගේ කාල සටහන කළමනාකරණයට හා ප්‍රධාන පාර්ශවකරුවන් සමග සම්බන්ධීකරණය හා ම'විසින් අත්සන් තැබිය යුතු ලිපි සම්පාදනයට කැප වූ ලේකම්වරියකගේ සේවය අවශ්‍ය විය. මෙම තනතුර සඳහා අප කීප දෙනෙකු ම සම්මුඛ පරීක්ෂණයට කැඳ වූ අතර, අප බලාපොරොත්තු වූ කුසලතා මට්ටම හා වෘත්තීය පරිණතභාවය හා පෞරුෂය ඔවුන් අතර නොවී ය. අවසානයේ අප හමුවට සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ වෙන කවුරුවත් නොව අකුෂ්ලා ය.

474948362 2265326523950246 6132425542564207076 nSlave of the Cannibal God චිත්‍රපටය
නිරූපිකාවක හා නිළියක ලෙස අපගේ මතකයේ රැඳී තිබුණු අකුෂ්ලාගේ සෙලිබ්‍රිටි සේයාවේ නෂ්ටාවශේෂ ලෙස රැඳී තිබුණේ ඇයගේ පෞරුෂය හා කටහඬ පමණි. එය ද එක්තරා ආකාරයකට නිහතමානී, සරල, නිස්සරණ ස්වරූපයේ දර්ශනයක් හා ආකල්පයක් බවට පෙරළී තිබුණ බව අපට හැඟිණ. අප බලාපොරොත්තු වන වෘත්තියට ඔබින ලෙස ඇයගේ කුසලතාවය ධාරිතාවය මනා ලෙස තිබූ නිසා අකුෂ්ලා අප වහා සේවයට බඳවා ගත් අතර, ඈ අපගේ කාර්යාලයේ සියලුම මට්ටමේ අය සමඟ වැඩ කටයුතු කළේ සෙලිබ්‍රිටිවරියක් ලෙස නොව සරල සාමාන්‍ය ගැහැණියක ලෙස ය.

අකු ලෙස අපගේ කාර්යාලයේ සියලු දෙනා ඇමතූ ඈ සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ ද ඉන් පසු කාර්යාලයට දිනපතා පැමිණියේ ද කිසිදු ආකර්ෂණයක්, හැඩයක් හා ලකයක් නැති වැරහැලි මෙන් දුරට පෙනෙන පාණ්ඩු පාටැති සායක් හා කමිසයක් ඇඳගෙන ය. සාය ගෝනියක හැඩයක් ගත් අතර එය ඇයගේ වළලුකර දක්වා දික් ව තිබිණ. සැලූනයකට අවුරුදු ගණනාවක් නොගිය බවක් මුහුණෙන් හා කොණ්ඩයෙන් හැඟවුම් කළ අතර, සිනාසෙන විට හැළුණු දතක හිඩැස එලෙස ම තිබිණ.

නිරූපිකාවක ලෙස එක් අක්ෂයක සිට මෙලෙස තවත් අක්ෂයකට තමන් පැමිණියේ ඇයි ද යී මා ඇයගෙන් වරක් විමසූ විට, අකුෂ්ලා අර හිඩැස ද පෙනෙන ලෙස සිනාසෙමින් ඈ කීවේ "හූ කෙයාර්ස් මෙන්.." කියා ය. ඇය ඉතා දක්ෂ හා විශ්වාසය තැබිය හැකි සේවිකාවක නිසා, අප මුලින් ගත් තනතුරට වඩා ඉහළ තනතුරකට හා වගකීමකට අකුෂ්ලා උසස් කිරීමට අප ආයතනය උත්සාහ කළ නමුත් ඇය ඊට ප්‍රතිචාර ලෙස ස්තුති කර කීවේ තමන් කැමති සීමිත වගකීමක් ඇති, සරල, පොඩි පහේ රස්සාවක් කිරීමට පමණක් බව ය.
 
MV5BNjkwMWE0ZjQtZWJlZC00MWY5LWIwMDAtOThhOTE4Y2UwMmQ0XkEyXkFqcGc. V1 Slave of the Cannibal God චිත්‍රපටය
කුමන හේතුවක් නිසා හෝ අකුෂ්ලා අපගේ සේවයෙන් පහ ව ගිය අතර 2015 වසරෙන් පසු මංගල සමරවීර විදේශ ඇමැති වූ කාලයේ, අකුෂ්ලා එංගලන්තයේ පිහිටි ශ්‍රී ලාංකීය මහ කොමසාරිස් කාර්යාලයේ පරිපාලන මට්ටමේ රැකියාවකට පත්වීම ලද බව මට දැන ගන්නට ලැබිණ. ඒ කාලයේ අප දෙදෙනා ඉඳහිට ආගිය තොරතුරු කතාබහ කරනට පුරුද්දක් ව තිබූ අතර එම ඉඳ හිට කෙරෙන කතාබහ එය ලංකාවට නැවත පැමිණීමත් පසුව ද අප කරගෙන ගිය බව මතක ය.

මෑත කාලයේ, එනම් වසර දෙක තුනකට පමණ පෙර, මට අකුෂ්ලා ගැන තොරතුරු දැනගැනීමට හැකි වූයේ, වෘත්තීය කලාපයක ඇයගේ දියණියක වන රොඑල් (Roel) රේමන්ඩ් සමග මට ගනුදෙනු කිරීමට සිදු වූ නිසා ය. සන්නිවේදන මාධ්‍ය ආයතනයක ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කළ රොඑල්, තම මව මෙන් ම, කලින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත ව සිටි බව මට දැනගන්නට ලැබිණ. රොඑල් සමග මා කීප වරක් ම කතා කළේ, අම්මාගේ ජීවිතය අලලා අපට කෙටි චිත්‍රපටයක් හෝ වාර්තා වැඩසටහනක් කළ හැකිද කියා ය. දියණියගේ අනුමානය වූයේ මව ඊට කිසිදු අනුකූලතාවයක් හෝ උනන්දුවක් දක්වන්නේ නැතැයි කියා ය. කුමන අඩව්වක් හෝ අල්ලා ජනප්‍රිය වීමට දත කන සමාජයක සිනමාව හා නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනාගත් අකුෂ්ලා වැන්නන් විරල සේ ම එක්තරා පරස්පරයක් ද වන බව යි. පරස්පරය වන්නේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියභාවය පදනම් වූ වෘත්තීය කලාපයක සිටින අයෙකු ඉහලින් පතිත වෙන ලයිම්-ලයිටය වෙතින් පලා යෑමයි.
 
ak1
රෑ මනමාලි යන වදන හා යෙදුම ඉඩියමැටියාත්මක ලෙස භාවිතා වන්නේ නිශ්චිත ව කුමකටදැයි මම නොදනිමි. ඉර බැස ගිය පසු රාත්‍රියේ උදා වූ විට පිපෙන මල් වර්ගයකට රෑ මනමාලී ලෙස කියන බව මා අසා ඇත. බහුතරයක් මල් පුබුදින්නේ හිරු නැගීමත් සමඟ ය. උදෑසන හා දිවා කාලය තුළ පිපී ඇති මේ මල් නින්දට යන්නේ සවස් භාගයේදී ය. ඒ සියලු මල් ගැඹුරු නින්දක ගිලී ඇති විටෙක ය රෑ මැනමාලි ඇතුළු තවත් මල් වර්ග අල්පයක් සුවඳ හමමින් ඇහැරෙන්නේ. සුරදූතිය යන යෙදුම විශේෂයෙන් අපට මතුවන්නේ ආබ්‍රහාමික ආගමීකත්ව සංදර්භය තුල ය. මා හිතන්නේ එය ඒන්ජල් යන ඉංග්‍රීසි වචනය සිංහලට පරිවර්තනය වී ඇති ආකාරය බව ය. ඉහත ආගමිකත්ව සම්ප්‍රදායන් අනුව, දේවදූත / සුර දූත කාර්යභාරය වන්නේ, දෙවියන් හා මිනිසුන් අතර පණිවිඩකරුවන් හෝ සම්බන්ධීකරුවන් ලෙස කටයුතු කිරීම ය. දෘශ්‍ය කලාවේදී සුර දූතයන් අතිශය සුරූපී හා කරුණාබරිත මානව රූපයක හැඩය ගන්නා අතර ඊට අමතර ව දෙඋරට ඉහළින් කුරුලු අත්තටු දෙකකින්ද යුක්ත ය.
 
සිනමාවේ දිගු ගමනක් යෑමට අවැසි සියලු ම කොන්දේසි තිබුණත්, අකුෂ්ලා එය චිත්‍රපට කිහිපයකට පමණක් සීමා කිරීම ඛේදයක් මෙන් ම සුවිශේෂයක් ද වන්නේ ය. එම චිත්‍රපට අල්පය අතර වඩා කතා බහට ලක්වූ හා ජනප්‍රිය වූ චිත්‍රපට දෙකෙහි නම් රෑ මනමාලි හා සුරදූතියෝ වීම ඊටත් වඩා සුවිශේෂයක් යැයි මට සිතේ. අකුෂ්ලාගේ විශ්වාසය අනුව, සුරදූතයන් හා සුරදූතියන් වසන අඩවියක සුවඳ හමන රෑ මනමාලියක ලෙස සඳ ඇති රැයක ඇයට දැන් සුපිපිය හැක.  
 
481788650 667192255657686 6124247654088948254 nසුර දූතියෝ
තමන් උපත ලද වසරේ ම ඉපදුණු නමුත් කල් තබා ම මෙලොවෙන් තුරන් කළ අකුෂ්ලාගේ ඥාති සොහොයුරා වන රිචඩ් ද සොයිසා ද සුරදූතයන් දූතියන් වසන අඩවියෙහි ම ඇයට හමු විය හැක. ඇයගේ නිළි භාවිතය දිගට ම කරගෙන ගියා නම්, රාණි චිත්‍රපටයේ තම මවගේ චරිතය (සත්‍ය ජීවිතයේ මනෝරානී සරවනමුත්තු අකුෂ්ලාගේ නැන්දනිය විය) අකුෂ්ලාට ම කළ හැකි ව තිබුණා නොවේ ද යි, සමහර විට රිචඩ් ඇයට විහිළුවට මෙන් චෝදනාවක් ද නගනට ද ඉඩ ඇත.  

එහෙත් බොහෝ කලකට පෙර, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ, නාට්‍යයක් අවසානයේ වැස්සක් පතිත වීම නිසා, එලියට යෑමට නොහැකි ව සිටි පිරිස අතර ඉදිරි පෙළින් ස්වර්ණා ද පිටුපසින් රිචඩ් ද සිටි බව ද, දෙදෙනා මීට පෙර දැන හඳුනාගෙන නොසිටියත්, භද්‍ර යෞවනයේ සිටි කඩවසම් රිචඩ් සෙනග අතුරින් පීරා ගෙන ස්වර්ණා වෙත අවුත්, "හෙලෝ ස්වර්ණා,ආ'ම් රිචර්ඩ්; අයි රියලි ඇඩ්මය(ර්) යො(ර්) ඇක්ටින්" කියා කී බව ද ඔහුට මතක් විය හැක (මේ කතාව ස්වර්ණා අතින් කියැවුණේ මීට සති දෙක තුනකට පෙර හඳගම නිවසේ පැවැති අපගේ සාමිචියේ ය). ඒ බව සමාවාචීව රිචඩ් තම ඥාති සොහොයුරී අකුෂ්ලාට කියන විට, ඇයගේ සුපුරුදු සිනහ මුසු සැහැල්ලු කටහඬින් "හූ කෙයාර්ස් මෙන්..!" කියා රිචඩ් වෙත පෙරළා පිළිතුරු දීමට ද ඉඩ ඇත.

කතා කියන කත (ස්ත්‍රී ස්වයං චරිතාපාදන) - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රෑ මනමාලියක වූ සුර දූතිය : අකුෂ්ලා | උදන් ප්‍රනාන්දු | The Leader