* බස් රියැදුරු සහ කොන්දොස්තරලා 10%ක් - 15% ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
* ලෝකයේ රිය අනතුරුවලින් 57% ක් සිදුවන්නේ මනුෂ්‍ය දෝෂ නිසා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්‍ය ජයලත් එදිරිසිංහ දශක 3ක් මුළුල්ලේ රිය අනතුරු පිළිබඳව අධ්‍යයනය කරමින් මාර්ග නිර්මාණය සහ සැලසුම් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන විද්වතෙකි. ඔහු ඒ සම්බන්ධයෙන් විවිධ ආයතනවල උපදේශකයකු වශයෙන් ද කටයුතු කරයි. ඔහු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.
ආචාර්‍ය ජයලත් එදිරිසිංහ
පසුගිය ඉරුදින තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි පිරිසක් ගමන් කළ ත්‍රීරෝද රථය තිදෙනකුට මරු කැඳවමින් අනතුරකට ලක් වූයේ හලාවත මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදීය. කොළඹ - හලාවත බලා යමින් සිටි පුද්ගලික බස් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවන අවස්ථාවේදි ත්‍රීරෝද රථයේ නවදෙනෙකු ගමන් කර තිබේ. ඔවුන් අතරින් මරණයට පත්වූයේ මිනුවන්ගොඩ පදිංචි අවුරුද්දක් වයසැති අයුශි නොවන්සා දැරිය, ඇගේ මව සහ රාගම පදිංචි රියැදුරුගේ ඥාති කාන්තාවකි. අනතුර සිදුවන අවස්ථාවේදි බස් රථයේ රියැදුරු අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවත් ත්‍රීරෝද රථ රියැදුරු ගංජා භාවිත කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
මේ අතර, පසුගිය සඳුදා දඹුල්ල බකමුණ මාර්ගයේ සිදු වූ ජීප් රථයක් කුඹුක් ගසක වැදී සිදු වූ මාරක රිය අනතුරකින් 74 සහ 71 වියැති දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වරකාපොළ අඹේපුස්ස ප්‍රදේශයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙල්තොට පදිංචි ක්‍රිෂ්ණ කුමාර් රොෂාන් සහ කුක්කුසාමි යන දෙදෙනා මිය ගිය අතර ත්‍රීරෝද රථයේ ගමන් කළ දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි. 10 වැනි සඳුදාම ප්‍රකට පරිසරවේදීයකු වන තිලක් කන්දේගමගේ බිරිඳ සහ රියැදුරු මරණයට පත් වූයේ නාඋල සිට ඇලහැර දෙසට ධාවනය කළ රිය යෝධ ඇළට පෙරළීමෙනි. 11වැනි දිනට එළිවන ජාමයේ ලොරි රථයක ගමන් කරමින් සිටි හිඟුරක්ගොඩ පදිංචි අඹුසැමි යුවළක් මිය ගියේ නාඋල - බකමුණ මාර්ගයේ ගමන් කළ ලොරියක ගැටීමෙනි.
දිනකට මරණ 8ක්

මේ ආකාරයට රිය අනතුරුවලින් මිය යන පුද්ගලයන් ගැන අපට දිනපතාම අසන්නට ලැබේ. පොලිස් වාර්තාවලට අනුව ලංකාවේ රිය අනතුරුවලින් දිනකට මිය යන ගණන 8කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ සිදුවන රිය අනතුරුවලින් වසරකට මිය යන සංඛ්‍යාව මිලියන 1.35කි. තුවාල ලබන අය මිලියන 50කි. මෙම වාර්තාවට අනුව රිය අනතුරු හේතුවෙන් ලෝකයේ දවසකට මිය යන ගණන 3000ක් පමණ වෙයි.
අපේ රටේ මාරක රිය අනතුරුවලට හේතු හඳුනාගැනීමේදි ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ අධික වේගයයි. එමෙන්ම අධික තෙහෙට්ටුව නිසා නින්දයෑම, රියදුරන්ගේ ජංගම දුරකතන භාවිතය සහ මත්ද්‍රව්‍ය භාවිතය, වාහනවල කාර්මික දෝෂ යනාදී හේතු රාශියක් මාර්ග අනතුරුවලට බලපානු ලැබේ. එහෙත් අද වන විට මත්ද්‍රව්‍ය භාවිතය රිය අනතුරුවලට වැඩි වශයෙන් ඉවහල් වන බව පෙනේ. පසුගිය ඉරිදා මාදම්පේ සිදු වූ අනතුර පිළිබඳව සලකා බැලීමේදී ත්‍රීරෝද රථයේ රියැදුරු මෙන්ම බස් රථයේ රියැදුරුද මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වී ඇත.

බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් 10% - 15%ක් අතර ප්‍රමාණයක් ගංජා සහ අයිස් පානයට ඇබ්බැහි වී ඇති බව ලංකා පුද්ගලික බස්‍රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කිරීමෙන් මෙහි ඇති බරපතළකම පෙනේ. මෙවැනි බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සිටින බස් රථවල ගමන් කරන මගීන්ගේ ජීවිතවලට දෙයියන්ගේ පිහිටමය. සාමාන්‍යයෙන් ලොකු බස් රථයක මගීන් 64කට වාඩි වී ගමන් කළ හැකි අතර 25ක් 30ක් සිටගෙන ගමන් කරති. මේ අනුව එක් රියැදුරෙකුගේ ගංජා, අයිස් ඇබ්බැහි වීම මගීන් 90කට ආසන්න පිරිසකගේ ජීවිත උගසට ගෙන තිබේ.

“දැන් වැඩිපුර වාර්තා වෙන්නේ බස් රියදුරන් අයිස්, ගංජා පානය කරලා වාහන ධාවනය කළා කියලා. ඒත් මත්පැන් පානය කරලා වාහන ධාවනය කරන්නේ බොහෝ කාලයක ඉඳලා. දුර ගමන් සේවා බස් රථ කන්න බොන්න නතර කරන ඔවුන්ගේ විශේෂ කඩ තියෙනවා. ඒ හෝටල්වල රියදුරන්ට කොන්දොස්තරට සංග්‍රහ කරන්නේ විශේෂ තැනක. අන්න ඒ තැන්වලදි ඔවුන්ට මත්පැන් දෙනවා. ඒක හැමෝම දන්නවා. ඒත් නීතිය රකින අය ඒක දන්නේ නැහැ. ඒ තැන්වලින් පිටත්වෙලා මීටර් 500ක් විතර ඉස්සරහට ගියාම බස් එක අල්ලන්න පුළුවන්. ඒත් ඒක කරන්නේ නැහැ. දැන් ඒ තත්ත්වය මත්පැන්වලින් මත්ද්‍රව්‍ය දක්වා වර්ධනය වෙලා. ඒවා හෝටල්වලින් ලැබෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් දැන් ප්‍රශ්නය ඔඩු දුවලා තියෙන්නේ.” යනුවෙන් පවසමින් සාකච්ඡාවට පිවිසියේ ආචාර්‍ය ජයලත් එදිරිසිංහ ය.
නීතියෙන් ගැලවීම

වර්තමානයේ සිදුවූ රිය අනතුරු පිළිබඳව සැලකිලිමත් වීමේදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනාගෙන තිබෙන්නේ බස්රථවලින් පමණක් නොවේ. ත්‍රීරෝද රථ රියදුරන් මෙන්ම අනෙකුත් වාහනවල රියදුරන්ද මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බවට වාර්තා වේ. ආචාර්‍ය ජයලත් එදිරිසිංහ සඳහන් කළේ ප්‍රභූ වාහන රියදුරන් ද ඉහළින්ම වාර්තා වන බවයි. එහෙත් ඔවුන්ගේ දේශපාලන බලය හෝ වෘත්තීය තත්ත්වය උපයෝගි කරගනිමින් ඔවුන් නීතියෙන් බේරි යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“කොළඹදි එක්තරා වෛද්‍යවරියක් පදවපු ප්‍රභූ වාහනයක් අනතුරකට ලක්වෙලා පොලිස් නිලධාරියෙක් මියගිය පුවත කාටත් මතක ඇති. එතනදි ඒ වෛද්‍යවරියට බැලුන් එකක් පුම්බන්න දුන්නාම එයා ඒක ප්‍රතිකේෂ්ප කරලා එයාට අධිකරණ වෛද්‍යවරයෙකුගෙන් වාර්තාවක් ගන්න ඕනෑ කිව්වා. අධිකරණ වෛද්‍ය වාර්තාවෙ සඳහන් වුණේ ඒ වෛද්‍යවරිය මත්පැන් පානය කරලා තිබුණේ නැහැ කියලා. ඒත් එක් ඉහළ පොලිස් නිලධාරියෙක්ඒ වෛද්‍යවරිය හිටපු තැන්වල CCTV දත්ත අරන් එයා මත්පැන් පානය කළ බව ඔප්පු කරන්න උත්සාහ කළ බව මට මතකයි. ඒත් වෘත්තීය තත්ත්වය සහ නීතිය ගැන දැනගෙන තිබීම වැනි කාරණා නිසා ඒක යට ගියා.” ආචාර්‍ය ජයලත් එදිරිසිංහ විස්තර කළේය.
ඉහතින් දක්වා ඇති අනතුරු ඇතුළු බොහෝ රිය අනතුරු පිළිබඳව අවධානය යොමු කිරීමේදි ඊට හේතු වී තිබෙන්නේ අධික වේගයයි. ඇතැම්විට මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පැදවීමේදි අධික වේගයෙන් ඉගිලී යන බව රහසක් නොවේ.

“කුරුණෑගල තෝරයායේ බස් අනතුර, පස්සර බස් අනතුර ගත්තොත් අධික වේගය නිසා සිදුවුණ අනතුරු. මේ ළඟදි දවසක ලුණුගම්වෙහෙර ඉඳන් කොළඹ එන බස් එකක් පානදුරේදි පෙරළුණා. මොකද පානදුර කියන්නේ වංගු, කඳු පල්ලම් තියෙන මාර්ගයක් නෙමෙයිනේ. වාසනාවකට මේ අනතුරින් කවුරුත් මැරුණේ නැහැ. මේ අනතුරට හේතුවත් අධික වේගය. තෝරයායේ බස් අනතුරේදීත් පස්සර බස් අනතුරේදීත් මගීන්ගෙන් දැනගන්නට ලැබුණා රියදුරන් ජංගම දුරකථන පාවිච්චි කළ බව. විනයක් තියෙන රියදුරෙක් කවදාවත් වාහනය ධාවනය කරන විට ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නැහැ. විනයක් තියෙන රියදුරෙක් කවදාවත් පැයට කි.මී. 90-100 වේගයකින් රථය පදවන්නේ නැහැ. විනයක් තියෙන රියදුරෙක් කවදාවත් මත්පැන් පානය කරලා වාහනය ධාවනය කරන්නේ නැහැ. යාංගල්මෝදර අනතුර ගත්තොත් රේල් ගේට්ටුව වහලා තියෙද්දි බස් එක දැම්මේ රියදුරුගේ විනය නැතිකම නිසා. රිය පැදවීම කියන්නේ ඇස, කන, කට, අත් පා , හරියටම කිව්වොත් මුළු ශරීරයම එකම අරමුණකට යොදවා කරන කාර්‍යයක්. මානසික ඒකාග්‍රතාවයෙන් කළ යුතු කාර්‍යයක්. ජීවිත රැසක් රියදුරුගේ අතේ තියෙන්නේ. ඒත් අද පදික වේදිකාවෙන් හරි, රේල්පාරෙන් හරි දාලා වාහන පදවනවා. ඉස්සර කරගෙන යන එක විනෝදයක් වෙලා. අද ගොඩක් බස්රථවල බුදු සරණයි දෙවි පිහිටයි කියලා ලොකු අකුරෙන් ගහලා තියෙනවා. සමහර බස්වල ඉස්සරහ හරියට දේවාල වගෙයි. ඒත් ඒ පූජනීය හැඟීම්, පරාර්ථකාමිත්වය හිත්වල නැහැ. හිත්වල තියෙන්නේ තරඟය, ඉවසීමක් නැතිකම .” යනුවෙන් ආචාර්‍ය ජයලත් එදිරිසිංහ පැවසීය.

රිය අනතුරුවලට බලපාන මනුෂ්‍ය දෝෂ
ඔහු සඳහන් කරන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයට අනාවරණය වී තිබෙන්නේ ලෝක ජනගහනය මරණයට පත්වන සාධක අතරින් රිය අනතුරු 12 වෙනි ස්ථානයේ පවතින බවයි. මෙම රිය අනතුරුවලට බලපාන හේතූන් වාහනවල තිබෙන ගැටලු, මාර්ගවල ඇති ගැටලු සහ මනුෂ්‍ය දෝෂ වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අතරින් 57%ක් මනුෂ්‍ය දෝෂ නිසා සිදුවන බව බොහෝ පර්යේෂණවලින් දක්වා තිබේ. ඒ සමඟම මනුෂ්‍ය දෝෂ පරිසර හෝ වාහන දෝෂවල බලපෑමෙන් සිදුවන රිය අනතුරු සියල්ල සැලකිල්ලට ගැනීමේදී මනුෂ්‍ය දෝෂ නිසා සිදුවන රිය අනතුරු 94% බව පෙන්වා දී ඇත.

නිදසුන් ලෙස පාර මාරුවන පදිකයෙක් කහ ඉර නොතකා පාර මාරුවීමේදි අනතුරකට ලක් වුවහොත් එහි වරද පදිකයාගේය. මගියකු බසයෙන් බැසීමට පෙර බසය ධාවනය කිරීමේදී මගියා වැටී අනතුරකට ලක් වුවහොත් එහි වරද රියදුරු සහ කොන්දොස්තරවරයාගේය. මගියාද රියදුරුද කොන්දොස්තරද මනුෂ්‍යයන් වන බැවින් ඒ සියල්ල අයත් වන්නේ මනුෂ්‍ය දෝෂවලටය.
වාහනවල තිරිංග ක්‍රියා නොකිරීම, වාහන අබලන් වීම යනාදි ප්‍රශ්න නිසා සිදුවන රිය අනතුරු වාහන ගැටලු නිසා සිදුවන අනතුරු ලෙස දැක්විය හැකිය. මාර්ගය පටුවීම, වංගු සහිත වීම, මාර්ගය අබලන් වීම වැනි කරුණු නිසා සිදුවන අනතුරු මාර්ගවල ඇති ගැටලු නිසා සිදුවන අනතුරු ලෙස සඳහන් කළ හැකිය.
එමෙන්ම රිය අනතුරුවලින් වැඩි වශයෙන් මරණයට පත්වන්නේ අවුරුදු 5 – අවුරුදු 29 අතර පසුවන්නන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. එහි යටි අරුත, රටක අනාගතය භාරගැනීමට සිටින පිරිස සහ රටේ ශ්‍රම බලකාය රිය අනතුරු නිසා රටට අහිමි වන බව නොවේද? එය රටක ඵලදායිත්වයට ඉතා අහිතකර අන්දමින් බලපාන බව අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත.

ඊට අමතරව රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිතව සිටින අය නිසා පවුල් අසරණ වන ආකාරය කෙරෙහි ද අප සැලකිලිමත් විය යුතුය. පවුලක ජීවන බර කරට ගෙන පවුල ජීවත් කළ තැනැත්තෙකු ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඔහුගෙන් යැපෙන අය ඉතා අසරණ තත්ත්වයට පත්වෙති. තවද ආබාධිත තැනැත්තා රැකබලා ගැනීමට සිදුවීමෙන් ඔවුහු කබලෙන් ළිපට වැටෙති. පවුලකට එය ඔරොත්තු නොදෙන්නා සේ ම එය රටක ආර්ථිකයට ද කිසි සේත් හිතකර නැත. රිය අනතුරු වළක්වා ගැනීමට කඩිනමින් පෙළ ගැසිය යුත්තේ එබැවිනි.
මොකක්ද මේ E සංකල්පය?
ආචාර්‍ය ජයලත් එදිරිසිංහ සඳහන් කරන ආකාරයට E - concept පරිදි රිය අනතුරු පාලනය කරගත හැකිය. එය Engineering, Education, Enforcement සහ Encouragement යනුවෙන් දැක්විය හැකිය. Engineering යටතට අයත් වන්නේ මාර්ග සහ අදාළ පහසුකම් ඉදි කිරීමයි. මාර්ග අලුත්වැඩියාව, රියදුරන්ගේ නොහික්මුණු ක්‍රියාවලීන් පාලනය කළ හැකි වේග පාලන ගැටිති වැනි දේ දැමීම, අන්තරාකාරී ලෙස ඉස්සර කිරීමට නොහැකි වන සේ යම් ක්‍රමෝපායන් යෙදීම වැනි දෑ මීට අයත් වේ. Education යනු රියදුරන් දැනුම්වත් කිරීමයි.
එහි ඇති බරපතළම කාරණය වන්නේ රියදුරන් නීතියට බිය නොවීමයි. ඕනෑම වරදක් කර, අල්ලසක් දී හෝ වෙනත් ක්‍රමයකින් වරදින් නිදහස් වීමට උත්සුක වන නිසාම වරදක් නොවන ආකාරයට රිය පැදවීමට ඔවුන් පෙලඹෙනවා වෙනුවට වරදක් සිදු වුවත් ප්‍රශ්නයක් නැතැයි යන සිතිවිල්ලෙන් ක්‍රියා කිරීම කනගාටුදායකය. Encouragement යනු සමාජයෙන් ලැබෙන අනුබලයයි.
“රටේ ජනතාවට වගකීමක් තියෙනවා බස් රථයක වැරැද්දක් වෙනවා නම් ඒ ගැන දැනුම්වත් කරන්න. සමහර වෙලාවට රියදුරුගේත් කොන්දොස්තරගේත් තර්ජන ගර්ජනවලට බයෙන් කතා නොකරනවා වෙන්න ඇති. ඒත් ෆොටෝ එකක් ගන්න, වීඩියෝ කරන්න බැරිකමක් නැහැනේ. රියදුරන්ගේ ස්වයං පාලනය නැතිනම් බාහිරව හෝ පාලනය කරන්න වෙනවා. මෙතනදි මම තව විශේෂ කාරණාවක් මතක් කරන්න කැමතියි. රිය අනතුරු බාහිරව පාලනය කරනවා වගේම බාහිර සාධක නිසාම රිය අනතුරු වෙන අවස්ථාත් තියෙනවා. මම දන්න ප්‍රධාන නගරයක මාර්ගයක එක්තරා ස්ථානයක අනතුරු බහුලව සිද්ධ වුණා. ඒ ගැන සොයා බැලුවාම කාන්තා යට ඇඳුම් ප්‍රචාරය කරන විශාල වෙළෙඳ දැන්වීම් පුවරුවක් එතන සවි කරලා තිබුණා. ඒ වෙළෙඳ දැන්වීම් පුවරුව එතනින් ඉවත් කළාම අනතුරු සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ එතනින් එහා මෙහා වාහන පදවාගන යන රියදුරන් ඒ වෙළෙඳ දැන්වීම් පුවරුව දිහෑ බලන්න ගිහින් තමයි රිය අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ යැයි අනුමාන කරන්නට පුළුවන්.” යනුවෙන් ආචාර්‍ය ජයලත් එදිරිසිංහ තවදුරටත් සඳහන් කළේය.
විදුලි ලාම්පු දැල්වීමේ නීතිය

වාහනයක විදුලි ලාම්පු (ලයිට්) දැල්වීම පවා ජාත්‍යන්තර සම්මුතියට අනුව සිදු විය යුතු බව ආචාර්‍ය ජයලත් එදිරිසිංහ පැහැදිලි කළේය. ඒ අනුව වාහනවලට සවි කළ හැක්කේ සුදු, කහ සහ රතු වර්ණ ලයිට් පමණි. වාහනයේ ඉදිරිපස දැල්විය යුත්තේ සුදු සහ කහ ලයිට් පමණි. පිටුපස සවි කළ යුත්තේ සුදු, රතු සහ කහ ලයිට් පමණි.
නැතහොත් වාහනයේ පිටුපසින් පැමිණෙන රථයේ රියදුරුගේ ඇසට විදුලි ආලෝකය වැදී රිය ධාවනය අපහසු වීම නිසා අනතුරක් සිදුවීමේ ඉඩකඩ තිබේ. වාහනයක නිවෙමින් පත්තු විය යුත්තේ කහ වර්ණ විදුලි ලාම්පු පමණි. ජාත්‍යන්තර සම්මුතිය මෙසේ පැවතියද අපේ රටේ මහමඟ ගමන් කරන සැලකිය යුතු වාහන සංඛ්‍යාවක තිරිංග ලාම්පුද නිවි නිවී දැල්වෙන ආකාරයට වෙනස් කර ඇත. එවැනි නීති විරෝධී වාහන කොපමණ ප්‍රමාණයක් නීති සුරකින්නන්ගේ දෑසට නොපෙනී ධාවනය කරන්නේද යන්න මහමඟ පැය භාගයක් සිටියහොත් අවබෝධ වනු ඇත.
“පිටරට තියෙනවා රියදුරන්ට අප්‍රසාද ලකුණු දීමේ ක්‍රමයක්. ඒකේදි වෙන්නේ රියදුරන්ගේ වැරදිවලට ලකුණු කපනවා. ලකුණු අඩුවෙන හැටියට රියදුරු බලපත්‍රය සති 2කට, මාස 6කට අත් හිටවනවා.ලකුණු ගොඩක් අඩු වුණාම අවලංගු කරලා දානවා. ඒ ක්‍රමය මෙහාටත් හඳුන්වන්න තියෙනවා නම් හොඳයි. ඒ ගැන අපි යෝජනා කරලා තියෙනවා.” යනුවෙන් ආචාර්‍ය ජයලත් එදිරිසිංහ පැවසීය.

(සටහන | හර්ෂා සුගතදාස)නිදහස් මාධ්‍යවේදිනී
harshasugathadasa@gmail.com



