The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අභ්‍යවකාශයේ දිගු කාලයක් ගත කිරීමෙන් මිනිස් සිරුරට සිදුවන 'පුදුම හිතෙන' වෙනස්කම්

T

The Leader Desk

March 19, 2025 • 7:01 AM

අභ්‍යවකාශයේ දිගු කාලයක් ගත කිරීමෙන් මිනිස් සිරුරට සිදුවන 'පුදුම හිතෙන' වෙනස්කම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගගනගාමීන් වන සුනී විලියම්ස් සහ බච් විල්මෝර් කිසිවිටෙකත් මාස නවයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට අදහස් කළේ නැත.
  • නමුත් අභ්‍යවකාශ යානයේ ඇති වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් එයට ඔවුන් නොමැතිව පෘථිවියට ආපසු යාමට සිදු වූ අතර, ඔවුන් අභ්‍යවකාශයේ රැඳී සිටීමට අපේක්ෂා කළ කාලය බලාපොරොත්තු වූවාට වඩා දිගු විය.
  • ඇත්ත වශයෙන් ම, ඔවුන් දෙදෙනාට ම අභ්‍යවකාශ ගමන්වල ඇති කටුක බව අලුත් දෙයක් නොවේ.
  • නමුත් අභ්‍යවකාශයේ ඇති වෙනස්, අඩු ගුරුත්වාකර්ෂණ පරිසරයක දීර්ඝ කාලයක් සිටීම ඔවුන්ගේ ශරීරවලට බලපෑවා විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගගනගාමීන් වන සුනී විලියම්ස් සහ බච් විල්මෝර් කිසිවිටෙකත් මාස නවයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට අදහස් කළේ නැත. 2024 වසරේ ජූනි මාසයේදී බෝයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය ඔවුන්ගේ පළමු ගමන දින අටක් පමණක් වීමට නියමිතව තිබිණි. නමුත් අභ්‍යවකාශ යානයේ ඇති වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් එයට ඔවුන් නොමැතිව පෘථිවියට ආපසු යාමට සිදු වූ අතර, ඔවුන් අභ්‍යවකාශයේ රැඳී සිටීමට අපේක්ෂා කළ කාලය බලාපොරොත්තු වූවාට වඩා දිගු විය.

ඇත්ත වශයෙන් ම, ඔවුන් දෙදෙනාට ම අභ්‍යවකාශ ගමන්වල ඇති කටුක බව අලුත් දෙයක් නොවේ. ඔවුන් දෙදෙනා ම පළපුරුදු ගගනගාමීහු ය. නමුත් අභ්‍යවකාශයේ ඇති වෙනස්, අඩු ගුරුත්වාකර්ෂණ පරිසරයක දීර්ඝ කාලයක් සිටීම ඔවුන්ගේ ශරීරවලට බලපෑවා විය හැකි ය. ඒ කෙසේ ද යන්න තේරුම් ගැනීමට නම්, අපි දිගු කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි අය දෙස විමසා බැලිය යුතු ය.

 



ඇමෙරිකානුවෙකු විසින් මෙතෙක් සිදු කරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමන නාසා ගගනගාමියෙකු වන ෆ්‍රෑන්ක් රූබියෝ විසින් සිදු කරනු ලැබ තිබූ අතර, ඔහු ඇමෙරිකාවේ පාපන්දු පිටියක් තරම් විශාල මොඩියුල සහ සූර්ය පැනලවලින් සැදි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 371ක් ජීවත් විය.

ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය නැවත පෘථිවිය බලා පියාසර කිරීමට නියමිතව තිබූ අභ්‍යවකාශ යානයේ සිසිලනකාරක කාන්දුවක් ඇති වීමෙන් පසුව, 2023 මාර්තු මාසයේදී ඔහු අභ්‍යවකාශයේ ගත කළ කාලය දීර්ඝ වූයේ මීට පෙර අඛණ්ඩව දින 355ක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේ එක්සත් ජනපද වාර්තාව ද පසු කරමිනි.

අවසානයේ ඔහු 2023 ඔක්තෝබර් මාසයේදී පෘථිවිය බලා පැමිණියේ ය. අභ්‍යවකාශයේ ගත කළ අමතර මාස කිහිපය තුළ රූබියෝ 5,963 වරක් පෘථිවිය වටා ගිය අතර කිලෝමීටර් 253.3ක් ගමන් කළේ ය.

එසේ වුව ද, මිනිසෙකු විසින් මෙතෙක් කරන ලද දීර්ඝතම අභ්‍යවකාශ සැරිය සඳහා වූ වාර්තාව බිඳ දැමීමට ඔහුට තවත් මාස දෙකක පමණ කාලයක් අඩු ය. රුසියානු අභ්‍යවකාශගාමියෙකු වන වැලේරි පොලිකොෆ් 1990 දශකයේ මැද භාගයේදී මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 437ක් ගත කළේ ය.

 

NASAගගනගාමීන් වන සුනී විලියම්ස් සහ බච් විල්මෝර්

තව ද 2024 සැප්තැම්බර් මාසයේදී, රුසියානු අභ්‍යවකාශගාමීන් දෙදෙනෙකු වන ඔලෙග් කොනොනෙන්කෝ සහ නිකොලායි චුබ්, දින 374ක් අභ්‍යවකාශයේ ගත කිරීමෙන් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දීර්ඝතම කාලයක් රැඳී සිටීමේ වාර්තාව බිඳ දැමූහ. ඔවුන් දෙපළ මාස හයක් අභ්‍යවකාශයේ ගත කළ ඇමෙරිකානු ගගනගාමී ට්‍රේසි ඩයිසන් සමග සෝයුස් එම්එස්-25 අභ්‍යවකාශ යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට නැවත පෘථිවිය බලා පැමිණියහ.

කසක්ස්තාන් ස්ටෙප්හි පිහිටි දූරස්ථ නගරයක් වන ජෙස්කස්ගන් අසල දූවිලි වළාවක් නගමින් ගොඩබෑ කොනොනෙන්කෝ නැවත පෘථිවියට පැමිණි යානයෙන් පිටවීමට ඔහුට උපකාර කරන විට ඔහුගේ මුහුණ සිනහවකින් පිරී ගොස් තිබිණි. සෙසු ගමන් ද සැලකීමේදී ඔහු දැන් අභ්‍යවකාශයේ දීර්ඝතම කාලයක් ගත කළ ගගනගාමියාට හිමි වාර්තාව තබා ඇත. එනම්, දින 1,111කි.

කොනොනෙන්කෝ සහ චුබ් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත කළ නවතම මෙහෙයුමේදී පෘථිවිය වටා 5,984 වරක් ගමන් කරමින් සැතපුම් මිලියන 158කට වඩා ගමන් කළහ. නමුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අඩු ගුරුත්වාකර්ෂණ පරිසරයේ එතරම් කාලයක් ගත කිරීම ඔවුන්ගේ සිරුරුවලට දැඩි හානියක් සිදු කළ බැවින්, නැවත පැමිණි යානයෙන් ඔවුන් ඉවතට ගැනීමට සිදු වූයේ මුදා ගැනීමේ කණ්ඩායම්වල සහයෙනි.

 

රූබියෝගේ දීර්ඝ අභ්‍යවකාශ චාරිකාව මගින් මිනිසුන්ට දිගුකාලීන අභ්‍යවකාශ පියාසැරිවල සාර්ථකව නිරත විය හැකි ආකාරය සහ ඉන් ඇති විය හැකි ගැටලුවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේ ය. සීමිත ව්‍යායාම උපකරණ ඇතිව ව්‍යායාම කිරීම මිනිස් සිරුරට බලපාන්නේ කෙසේ ද යන්න පරීක්ෂා කරන අධ්‍යයනයකට සහභාගී වූ පළමු ගගනගාමියා ද ඔහු ය.

ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නොමැති වුව ද, සෞරග්‍රහ මණ්ඩලය ගැඹුරින් ගවේෂණය කිරීම සඳහා වන මෙහෙයුම්වලට කණ්ඩායම් යැවීම කෙරෙහි මිනිසුන් අවධානය යොමු කරන බැවින්, මෙම තොරතුරු අත්‍යවශ්‍ය වනු ඇත. උදාහරණයක් ලෙස, වත්මන් සැලසුම් යටතේ අඟහරු වෙත ගොස් ආපසු පැමිණීම සඳහා දින 1,100ක් (වසර තුනකට වඩා මදක් වැඩි කාලයක්) පමණ ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔවුන් ගමන් කරන අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වඩා බෙහෙවින් කුඩා වනු ඇත. එනම් එයට කුඩා, සැහැල්ලු ව්‍යායාම උපාංග අවශ්‍ය වනු ඇත.

නමුත් යෝග්‍යතාව පවත්වා ගැනීම සම්බන්ධ ගැටලු පසෙක තැබුවහොත්, අභ්‍යවකාශයේ පියාසර කිරීමෙන් මිනිස් සිරුරට සිදු වන්නේ කුමක් ද?

මාංශ පේශී සහ අස්ථි


බලපෑමට ලක්වන්නේ, අපගේ පශ්චාත් කොටස, බෙල්ල, කෙණ්ඩා සහ කලවා ප්‍රදේශය ආශ්‍රිත ඉරියව් පවත්වා ගැනීමට උපකාරී වන මාංශ පේශි වේ. ගුරුත්වාකර්ෂණය අඩු තත්ත්වයන් තුළදී ඒවා තවදුරටත් ක්‍රියාකාරී නොවන නිසා දුර්වල වීම ඇරඹේ. සති දෙකකට පසු මාංශ පේශි ස්කන්ධය 20%කින් පමණ අඩු විය හැකි අතර මාස තුනේ සිට හය දක්වා දිගු මෙහෙයුම්වලදී එය 30%කින් අඩු විය හැකි ය.


 parashutබූස්ටර් සහ පැරෂුට් මගින් වේගය අඩු කළ ද, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියට ආපසු යන ගමන තරමක් දුෂ්කර විය හැකි ය (ඡායාරූපය: Nasa/Getty Images)

ඒ හා සමානව, ගගනගාමීන් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට යටත් වන විට මෙන් ඔවුන්ගේ අස්ථි පද්ධතිය මත බලයක් ක්‍රියා නොකරන බැවින්, ඔවුන්ගේ අස්ථි ද ඛනිජ ඉවත් වී දුර්වල වීමට පටන් ගනී. අභ්‍යවකාශයේ ගත කරන සෑම මසක ම ගගනගාමීන්ට ඔවුන්ගේ අස්ථි ස්කන්ධයෙන් 1-2%ක් සහ මාස හයක කාලයක් තුළ 10%ක් දක්වා අහිමි විය හැකි ය (පෘථිවියේදී, වැඩිහිටි පිරිමින්ට සහ කාන්තාවන්ට සෑම වසරක ම 0.5%-1% අනුපාතයකින් අස්ථි ස්කන්ධය අහිමි වේ). මෙය ඔවුන්ගේ අස්ථි බිඳීමට ඇති අවදානම වැඩි කළ හැකි අතර ඒවා සුව වීමට ගතවන කාලය ද වැඩි කරයි. පෘථිවියට නැවත පැමිණීමෙන් පසු ඔවුන්ගේ අස්ථි ස්කන්ධය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට වසර හතරක් දක්වා ගත විය හැකි ය.

මෙයට එරෙහිව සටන් කිරීම සඳහා, අභ්‍යවකාශගාමීහු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටීමේදී දිනකට පැය 2.5ක කාලයක් තදබල ලෙස ව්‍යායාමවල නිරත වෙති. මෙයට එහි "ව්‍යායාම ශාලාවේ" ස්ථාපනය කර ඇති ප්‍රතිරෝධී ව්‍යායාම උපකරණයක් භාවිතයෙන් කරන ස්කොට්ස්, ඩෙඩ්ලිෆ්ට්, රෝස් ඇන්ඩ් බෙන්ච් ප්‍රෙසස් මෙන් ම ට්‍රෙඩ්මිල් සහ ව්‍යායාම බයිසිකලයක් ද ඇතුළත් වෙයි. ඔවුන්ගේ අස්ථි හැකිතාක් නිරෝගීව තබා ගැනීමට උපකාරයක් ලෙස ඔවුහු ආහාර අතිරේක ද ලබා ගනිති.

කෙසේ වෙතත්, මෑත කාලීන අධ්‍යයනයකින් අවධාරණය කළේ, මෙම ව්‍යායාම ක්‍රමය පවා මාංශ පේශි ක්‍රියාකාරිත්වය සහ ස්කන්ධය අඩුවීම වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බව ය. මෙම මාංශ පේශිවල ස්කන්ධය අහිමි වීමට ප්‍රතිරෝධක අභ්‍යාස සහ අධිතීව්‍රතා විරාම පුහුණුවේදී වැඩි බරක් යොදා ගැනීම උපකාරී වේ ද යන්න පරීක්ෂා කිරීම එමගින් නිර්දේශ කළේ ය.

ගුරුත්වාකර්ෂණ බලය සිරුරු පහළට ඇද ගැනීමේ ඌණතාව නිසා, අභ්‍යවකාශගාමීන්ගේ කොඳු ඇට පෙළ තරමක් දිගු වන බැවින්, ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින කාලය තුළ තරමක් උසින් වැඩෙන බව ද ඔවුන්ට පෙනී යා හැකි ය. පෘථිවියට නැවත පැමිණීමට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවකදී රූබියෝ පැවසුවේ, ඔහුගේ කොඳු ඇට පෙළ වර්ධනය වන බවත් අභ්‍යවකාශ යානය ගොඩබෑමේදී සිදුවන්නේ කුමක්දැයි බැලීමට තම ආසනවලින් නැගිටීමට උත්සහ කරන අභ්‍යවකාශගාමීන්ට ඔවුන්ගේ ගෙළට සිදුවන හානිය වළක්වා ගැනීමට එය උපකාර විය හැකි බව ත් ය.

"මගේ කොඳු ඇට පෙළ ප්‍රමාණවත් තරම් දිගු වෙලා කියලා මට හිතෙනවා. මගේ ආසනයේ උසට ම වගේ. ඒ නිසා මට වැඩිය එහෙ මෙහෙ හැරෙන්න ඕනේ වෙන එකක් නැහැ," ඔහු පැවසීය.

බර අඩුවීම

 

442YQZiEyTG2aajf4NR6LC

අභ්‍යවකාශයේ සිටින විට බර යනු ඉතා සුළු දෙයක් වුව ද අඩු ගුරුත්වාකර්ෂණයක් ඇති පරිසරය යන්නෙන් අදහස් කරන්නේ, මිනිස් සිරුරු ඇතුළුව බැඳ නොමැති ඕනෑ ම දෙයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා නිදහසේ පාවී යා හැකි බව ය. අභ්‍යවකාශයේ සිටින විට සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම අභියෝගයකි. නාසා ආයතනය තම ගගනගාමීන්ට විවිධ පෝෂ්‍යදායී ආහාර වර්ග රාශියක් ඇති බව සහතික කිරීමට උත්සහ ගත්ත ද, [මෑතකදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වගා කරන ලද සලාද කොළ ඇතුළුව] එය තවමත් ගගනගාමියෙකුගේ ශරීරයට බලපෑම් කළ හැකි ය. නාසා ගගනගාමියෙකු වන ස්කොට් කෙලී, දිගුකාලීන අභ්‍යවකාශ සංචාරවලදී සිදුවන බලපෑම පිළිබඳව සිදු කළ පුළුල් අධ්‍යයනයට සහභාගී වූ අතර ඔහු ඒ සඳහා දින 340ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටියේ ය. මේ සඳහා ඔහුගේ නිවුන් සහෝදරයා ද සහභාගී වූ අතර ඔහු රැඳී සිටියේ පෘථිවියේ ය. අභ්‍යවකාශයේ රැඳී සිටියදී ඔහුගේ ශරීර ස්කන්ධයෙන් 7%ක් අහිමි විය.


ඇස් පෙනීම

පෘථිවියේදී, ගුරුත්වාකර්ෂණ බලය රුධිරය අපගේ ශරීරයේ පහළට ගෙන යාමට උපකාර කරන අතර හෘදය එම රුධිරය නැවත ඉහළට පොම්ප කරයි. කෙසේ වෙතත්, අභ්‍යවකාශයේදී මෙම ක්‍රියාවලිය අවුල්සහගත (ශරීරය යම් තරමකට අනුවර්තනය වුව ද) වන අතර සාමාන්‍යය තත්ත්වයට වඩා හිසෙහි රුධිරය එකතු විය හැක. ඉන් කොටසක් ඇසේ පිටුපස සහ දෘෂ්ටි ස්නායුව වටා එකතු වී ඉදිමීමට හේතු විය හැක. මෙය ව්‍යුහාත්මක වෙනස්කම් වැනි දෑ සිදුවී පෙනීමේ වෙනස්කම් ඇති වීමට තුඩු දිය හැක. මෙම වෙනස්කම් අභ්‍යවකාශගත වී සති දෙකකට පසු ඇරඹිය හැකි නමුත් කල් යත් ම අවදානම ඉහළ යාම සිදුවේ. ගගනගාමීන් පෘථිවියට නැවත පැමිණ වසරක් ඇතුළත ඇතැම් පෙනීමේ ගැටලු මග හැරී යන නමුත් අනෙක් ඒවා දිගු කාලීනව පැවතිය හැක.

galaxy 960

මන්දාකිණිවලින් නිකුත් වන කොස්මික් කිරණ සහ අධිශක්තියකින් යුක්ත සූර්ය අංශුවලට නිරාවරණය වීම වෙනත් අක්ෂි ගැටලුවලට ද හේතු විය හැක. පෘථිවි වායුගෝලය මේවායින් අපව ආරක්ෂා කිරීමට උපකාරී වේ, නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන කක්ෂයට පැමිණි පසු මෙම ආරක්ෂාව නැති වී යයි. අතිරික්ත විකිරණ වළක්වා ගැනීම සඳහා අභ්‍යවකාශ යානාවලට ආවරණයක් රැගෙන යා හැකි වුව ද, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් වාර්තා කර ඇත්තේ, කොස්මික් කිරණ සහ සූර්ය අංශු ඔවුන්ගේ දෘෂ්ටි විතානයට සහ දෘශ්‍ය ස්නායු හරහා ගමන් කරන විට එකවර ආලෝක ධාරාවක් දුටු බව ය.

 

ස්නායු ආවේග මිශ්‍රවීම

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දිගු කාලයක් රැඳී සිටීමෙන් පසුව, කෙලීගේ සංජානන ක්‍රියාකාරිත්වය වෙනස් වී නොමැති තරම් බවත් එය පෘථිවියේ සිටි ඔහුගේ සහෝදරයාගේ මොළයේ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව එලෙස ම පවතින බවත් සොයා ගැනිණි. කෙසේ වෙතත්, කෙලී ගොඩ බැස්ස පසු මාස හයක් පමණ ඔහුගේ සංජානන ක්‍රියාකාරිත්වයේ වේගය සහ නිරවද්‍යතාව අඩු වූ බව පර්යේෂකයෝ නිරීක්ෂණය කළහ. ඇතැම් විට ඒ, ඔහුගේ මොළය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට සහ ඔහුගේ වෙනස් ජීවන රටාව අනුව නැවත සකස් වීම නිසා විය හැකි ය.

2014දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 169ක් ගත කළ රුසියානු අභ්‍යවකාශගාමියෙකු පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, අභ්‍යවකාශයේ සිටියදී මොළයේ යම් යම් වෙනස්කම් සිදුවන බව ය. මොළයේ කොටස්වල ස්නායු සම්බන්ධතා මට්ටම්වල එනම්, මොළයේ මෝටර් ක්‍රියාකාරිත්වයට අදාළ කොටසේ, වෙනත් වචනවලින් කිවහොත්, චලනයට සම්බන්ධ කොටසේ සහ අපගේ චලනය පිළිබඳ සංජානනය, සමබරතාව සහ දිශානතිය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන වෙස්ටිබුලර් බාහිකයේ ද වෙනස්කම් සිදුවන බව එයින් සොයා ගන්නා ලදී. අභ්‍යවකාශයේ සිටින විට බර අඩු වීමේ සුවිශේෂී ස්වභාවය සැලකිල්ලට ගත් විට මෙය පුදුමයක් නොවිය හැකි ය; රැඳී සිටීමට පෘෂ්ටයක් නොමැති සහ ඉහළක් හෝ පහළක් නොපවතින ලෝකයකට අනුවර්තනය වීමට නම්, ගගනගාමීන්ට බොහෝ විට ගුරුත්වාකර්ෂණයෙන් තොරව කාර්යක්ෂමව ගමන් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට සිදුවේ.


scot keliස්කොට් කෙලී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි දින 340ක කාලය පර්යේෂකයන්ට පෘථිවියේ සිටින ඔහුගේ නිවුන් සහෝදරයා හා සසඳන විට අභ්‍යවකාශය ඔහුට බලපාන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීමට ඉඩක් ලබා දුන්නේ ය (ඡායාරූප: Nasa/Getty Images)

දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම්වලදී මොළයේ ව්‍යුහයේ සිදුවිය හැකි අනෙකුත් වෙනස්කම් පිළිබඳව මෑත කාලීන අධ්‍යයනයකින් කරුණු මතු කර තිබේ. එනම්, මොළයේ දකුණු පාර්ශවික කෝෂිකාව සහ තුන්වන කෝෂිකාව ලෙස හඳුන්වන කෝෂිකා (මස්තිෂ්ක සුෂුම්නා තරලය ගබඩා කිරීම, මොළයට පෝෂ්‍ය පදාර්ථ සැපයීම සහ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වගකිව යුතු) ඉදිමීමට ඉඩ ඇති අතර ඒවා සාමාන්‍ය ප්‍රමාණයට නැවත පත් වීමට වසර තුනක් දක්වා ගත වීම ය.

හිතකාමී බැක්ටීරියා


මෑත වසරවල සිදු කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ, යහපත් සෞඛ්‍යයක් සඳහා ප්‍රධාන වන කාරණයක් වන්නේ, අපගේ ශරීර තුළ සහ මත ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන්ගේ සංයුතිය හා විවිධත්වය බව ය. මෙම ක්ෂුද්‍රජීවීන්ට අප ආහාර ජීර්ණය කරන ආකාරය කෙරෙහි බලපෑම් කළ හැකි ය. එමෙන් ම ඒවාට අපගේ ශරීරයේ ප්‍රදාහ ඇතිවන මට්ටමට බලපෑම් කළ හැකි අතර ම අපගේ මොළය ක්‍රියා කරන ආකාරය පවා වෙනස් කළ හැකි ය.

 
merlin 93580205 15285d56 cb56 4091 939b 780b9a0f11f4 articleLarge
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය ගමනෙන් පසු කෙලීව පරීක්ෂා කළ පර්යේෂකයන් සොයා ගත්තේ, ඔහු අභ්‍යවකාශයට පියාසර කිරීමට පෙර තිබූ තත්ත්වයට සාපේක්ෂව ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීවත් වූ බැක්ටීරියා සහ දිලීර ප්‍රබල ලෙස වෙනස් වී ඇති බව ය. ඔහු ආහාරයට ගත් ඉතා වෙනස් ආහාර සහ ඔහු ගත කළ කාලය තුළ මිනිසුන්ගේ වෙනස (අප අසල ජීවත් වන මිනිසුන්ගෙන් අපට ආන්ත්‍රයික සහ මුඛය ආශ්‍රිතව ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් ලැබේ) සලකන විට මෙය සම්පූර්ණයෙන් ම පුදුමයට කරුණක් විය නොහැකි ය. නමුත් විකිරණවලට නිරාවරණය වීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ ජලය භාවිතය මෙන් ම ඔහුගේ ශාරීරික ක්‍රියාකාරකම්වල වෙනස්කම් ද යම් කාර්යයක් සිදු කරන්නට ඇත. (ව්‍යායාම කිරීම ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවීන්ට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව වැඩිදුර දැනගන්න.)
 
සම

දින 300කට වඩා වැඩි කාලයක් අභ්‍යවකාශයේ ගත කළ නාසා ගගනගාමීන් පස් දෙනෙකු මේ වන විට ඇතත්, අභ්‍යවකාශයේ රැඳී සිටියදී සම ක්‍රියා කළ ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීමට කෙලීගෙන් ද වැදගත් තොරතුරු ලැබී ඇත. ඔහු අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආපසු පැමිණ, ගත වුණු දින හයක පමණ කාලය තුළ ඔහුගේ සමේ සංවේදීතාව ඉහළ ගිය අතර සමේ කුෂ්ට සහිත බවක් ද ඇතැයි සොයා ගන්නා ගැනිණි. මෙහෙයුම අතරතුර සමට උත්තේජනයක් නොමැතිකම ඔහුගේ සමේ රෝග ඇතිවීමට හේතු වන්නට ඇතැයි පර්යේෂකයෝ අනුමාන කළහ.


nasa 1ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරය මිනිස් සිරුරට සැලකිය යුතු බලපෑම් ඇති කළ හැකි අතර එය මිනිසුන් සෞරග්‍රහ මණ්ඩලයේ තවත් දුර ගවේෂණය කරන විට අභියෝගයක් වනු ඇත. (ඡායාරූපය: Nasa)

ජාන

කෙලීගේ දීර්ඝ අභ්‍යවකාශ ගමනෙන් ලැබුණු තවත් වැදගත් සොයා ගැනීමක් වූයේ, එය ඔහුගේ DNAවලට ඇති කළ බලපෑම ය. DNAවල සෑම දාමයක ම අවසානයේ ටෙලමියර් ලෙස හැඳින්වෙන ව්‍යුහයන් ඇති අතර, ඒවා අපගේ ජානවලට හානි වීමෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන බව සැලකේ. අපි වයසට යන විට මේවා කෙටි වන නමුත් කෙලී සහ අනෙකුත් ගගනගාමීන් පිළිබඳ සිදු කළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, අභ්‍යවකාශ ගමන් මෙම ටෙලමියර්වල දිග වෙනස් කරන බව ය.

"කෙසේ වෙතත්, වඩාත් ම කැපී පෙනෙන දෙය තමයි අභ්‍යවකාශ පියාසැරියක් අතරතුර සැලකිය යුතු ලෙස දිගු ටෙලමියර් සොයා ගැනීම," කෙලී සහ ඔහුගේ සහෝදරයා අධ්‍යයනය කළ කණ්ඩායමේ පාර්ශවකරුවෙකු වූ කොලරාඩෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පාරිසරික හා විකිරණ සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සූසන් බේලි පවසයි. ඇය මාස හයක පමණ කාලයක් කෙටි මෙහෙයුම් සඳහා සහභාගී වූ තවත් එකිනෙක සම්බන්ධයක් නොමැති ගගනගාමීන් 10 දෙනෙකු සමග වෙන ම අධ්‍යයනයන් සිදු කර ඇත. "ඒ වගේ ම හැම කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ම පෘථිවියට ආපහු ආවා ම ඒ අයගේ ටෙලමියර් දිග වේගයෙන් කෙටි වීම ත් අනපේක්ෂිත දෙයක් වුණා. අභ්‍යවකාශ ගමන්වල යෙදීමෙන් පසු සාමාන්‍යයෙන් ගගනගාමීන්ට පෙරට වඩා කෙටි වූ ටෙලමියර් රාශියක් තිබුණා. ඒවා දිගුකාලීන සෞඛ්‍ය ගැටලු සහ වයස්ගත වීමට බලපාන්න පුළුවන්."

මෙය සිදුවන්නේ ඇයි ද යන්න තවමත් හෙළිදරව් වෙමින් පවතින බව ඇය පවසයි. "අපට යම් ඉඟි තිබෙනවා, නමුත් අභ්‍යවකාශයේ වසරක් ගත කළ රූබියෝ වැනි දිගු අමතර කාලයක් අභ්‍යවකාශයේ ගත කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් අවශ්‍ය වෙනවා මේ ප්‍රතිචාරය තේරුම් ගන්න සහ සෞඛ්‍යයට වෙන බලපෑම තේරුම් ගන්න."

එක් හේතුවක් විය හැක්කේ, අභ්‍යවකාශයේ සිටියදී සංකීර්ණ විවිධ වර්ගයේ විකිරණවලට නිරාවරණය වීම ය. අභ්‍යවකාශයේ සිටියදී දිගුකාලීනව මේවාට නිරාවරණය වන ගගනගාමීන් DNA හානිවල සලකුණු පෙන්නුම් කරන බව ඇය පවසයි.


exerciseගගනගාමීන්ට තම මාංශ පේශි ස්කන්ධය සහ අස්ථි ඝනත්වය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දිනකට පැය 2.5ක් දක්වා ව්‍යායාම කළ හැකි ය (ඡායාරූපය: Nasa)

එමෙන් ම, කෙලීගේ ජාන ක්‍රියාකාරිත්වයේ (gene expression) ද ඇතැම් වෙනස්කම් දක්නට ලැබිණි. [DNAවල ප්‍රවේණික තොරතුරුවලට අනුව සෛල තුළ ප්‍රෝටීන නිපදවීමේ යාන්ත්‍රණය] එය ඔහුගේ අභ්‍යවකාශ ගමනට සම්බන්ධ වන්නට ඇත. මේවායින් සමහරක් DNA හානිවලට ශරීරය දක්වන ප්‍රතිචාරය, අස්ථි සෑදීම සහ ආතතියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය සමග සම්බන්ධ වේ. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් බොහොමයක් ඔහු පෘථිවියට නැවත පැමිණ මාස හයක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් විය.

2024 ජූනි මාසයේදී, නව අධ්‍යයනයකින් ඉස්මතු කළේ, පිරිමි සහ කාන්තා ගගනගාමීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති අභ්‍යවකාශ පියාසැරිවලදී ප්‍රතිචාර දක්වන ආකාරයේ ඇති වෙනස්කම ය. 2021 සරත් ඍතුවේදී අභ්‍යවකාශයේ දින තුනකටත් අඩු කාලයක් ගත කළ SpaceX Inspiration 4 මෙහෙයුමේ කාර්ය මණ්ඩලයෙන් ලබාගත් සාම්පලවලින් ලබාගත් ජාන ක්‍රියාකාරිත්වය පිළිබඳ දත්ත භාවිත කරමින්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, වයසට යාම සහ මාංශ පේශි වර්ධනයට අදාළ ප්‍රෝටීන 18ක වෙනස්කම් හඳුනා ගැනිණි.

පෙර මෙහෙයුම්වල යෙදී සිටි අනෙකුත් ගගනගාමීන් 64 දෙනෙකුගේ ජාන ක්‍රියාකාරිත්වය සමග සංසන්දනය කිරීමේදී, ගුවන් ගමනට පෙර හා සසඳන විට ප්‍රදාහ සඳහා දායක වන ප්‍රෝටීන තුනක් වෙනස් වී ඇති අයුරු අධ්‍යයනයෙන් සොයා ගන්නා ලදී. පිරිමින් අභ්‍යවකාශ ගමන් සඳහා වඩාත් සංවේදී වීමට නැඹුරු වූ අතර, ඔවුන්ගේ ජාන ක්‍රියාකාරිත්වයට වැඩි බාධා ඇති විය. එමෙන් ම පෘථිවියට නැවත පැමිණීමෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ඔවුන්ට වැඩි කාලයක් ගත විය.

 
1540181 11 20240611155144 women seem less affected stresses space
විශේෂයෙන්, පර්යේෂකයන් සොයා ගත්තේ, ශරීරයේ ප්‍රදාහ පාලනය කිරීමට උපකාරී වන ඉන්ටර්ලියුකින්-6 ලෙස හඳුන්වන ප්‍රෝටීන දෙකක ජාන ක්‍රියාකාරිත්වය සහ ආසාදන ස්ථාන කරා ප්‍රතිශක්තිකරණ සෛල මෙහෙයවීම සඳහා නිපදවන ඉන්ටර්ලියුකින්-8, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් තුළ වැඩි බලපෑමක් ඇති කරන බව ය. රුධිර කැටි ගැසීමට සම්බන්ධ වන ෆර්බ්‍රිනෝජන් නම් තවත් ප්‍රෝටීනයක් පිරිමි ගගනගාමීන් තුළ ද වැඩිපුර බලපෑමට ලක් විය.

නමුත් අභ්‍යවකාශ පියාසැරිවල මෙම විශේෂිත බලපෑම්වලට කාන්තාවන් අඩු සංවේදී බවක් දක්වන්නේ, මන්දැයි තවමත් සොයා ගැනීමට ඇති බව පර්යේෂකයෝ පවසති. ඇතැම් විට එය ආතතියට ඔවුන් දක්වන ප්‍රතිචාරයට සම්බන්ධ විය හැකි ය.

නාසා ගගනගාමිනී පෙගී විට්සන් අභ්‍යවකාශයේ ගත කළ කාලය සිය ශරීරය වෙනස් කළ ආකාරය විස්තර කරන ආකාරය පහත වීඩියෝවෙන් ඔබට ශ්‍රවණය කළ හැක.
 
 

දින 675ක් අභ්‍යවකාශයේ ගත කර ඇති ඇය, වෙනත් ඕනෑ ම ඇමෙරිකානුවෙකුට වඩා වැඩි කාලයක් අභ්‍යවකාශයේ ගත කර ඇතත්, ලෝක වාර්තාව දැනට රුසියානු අභ්‍යවකාශගාමියෙකු වන ඔලෙග් කනනියන්කා සතු වන අතර ඔහු අභ්‍යවකාශයේ දින 878ක් ගත කර ඇත.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය

කෙලී අභ්‍යවකාශ ගමනට පෙර, අතරතුර සහ පසුව එන්නත් මාලාවක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සාමාන්‍ය පරිදි ප්‍රතිචාර දක්වන බව සොයා ගන්නා ලදී. නමුත් බේලිගේ පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ, ගගනගාමීන්ට අභ්‍යවකාශයේ සිටින විට ලැබෙන විකිරණ ප්‍රමාණවලට අනුකූලව සුදු රුධිරාණු ගණනෙහි යම් අඩුවීමක් සිදුවන බව ය.

 
rubiyo
කෙසේ වෙතත්, පෘථිවියේ ජීවත් වීමට පරිණාමය වූ ද්විපාද, විශාල මොළයක් ඇති විශේෂයකට අභ්‍යවකාශ ගමන් මගින් ඇති කළ හැකි බලපෑම පිළිබඳව තවමත් පිළිතුරු දීමට බොහෝ ප්‍රශ්න තිබේ. රූබියෝ අභ්‍යවකාශයේ ගත කළ දින 371න් පසු ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ, රුධිර සාම්පල සහ ස්කෑන් පරීක්ෂණ පර්යේෂකයන් විසින් සිදු කරනු ලබන විට, ඔවුන් වැඩි අවබෝධයක් ගනු ඇතැයි ඔවුන් නිසැකව ම බලාපොරොත්තු වනු ඇත.

*මෙම ලිපිය මුලින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 2023 සැප්තැම්බර් 27 වන දින ය. එය 2024 ජූනි 12 වන දින SpaceX Inspiration 4 මෙහෙයුමේ අධ්‍යයනයේ විස්තර ඇතුළත් කිරීමට සහ 2024 සැප්තැම්බර් 25 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔලෙග් කනනියන්කා සහ නිකොලායි චුබ්ගේ අභ්‍යවකාශ පියාසැරිය පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට යාවත්කාලීන කරන ලදී. එය 2025 මාර්තු 13 වන දින සුනී විලියම්ස් සහ බුච් විල්මෝර් පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට යාවත්කාලීන කරන ලදී.

(සටහන | රිචඩ් ග්‍රේ)

BBC සිංහල සේවය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...