The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශසීමාවලට සරදම් කරන ‘අන්තර් කලාපීය වායු දූෂණය’ | අරුන්දි ජයසේකර

T

The Leader Desk

March 19, 2025 • 8:06 AM

දේශසීමාවලට සරදම් කරන ‘අන්තර් කලාපීය වායු දූෂණය’ | අරුන්දි ජයසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජල දූෂණය පිළිබඳව කලක පටන් යම් තරමක කතිකාවතක් සමාජයේ ඇති වී තිබුණද, ගැටලුව උග්‍ර වන තුරුම වායු දූෂණය පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් ඇති නොවීම අභාග්‍යයකි.
  • ඒ අතරිනුත් විශ්කම්භය මයික්‍රොමීටර 2.5ට අඩු ක්ෂුද්‍ර අංශුවලට පෙනහළුවලට සහ රුධිර සංසරණ පද්ධතියට ඇතුළුවීමට හැකියාව පවතින බැවින් එය වායු තත්ත්ව දර්ශකය (Air Quality Index) පිළිබඳ ප්‍රබල නිර්ණායකයක් ලෙස සැලකේ.
  • වායු දූෂණයේ බලපෑම් පසුගිය දෙසැම්බරයේ වැහි වලාවක අඳුර කැටිවුණ තෙතබරිත මීදුමක් ගත වෙලාගනිද්දී දැනුණු කෙඩෙත්තුව ඔබට තවම මතක ඇතැයි සිතමි.
  • වායු දූෂණයෙන් අහිතකර බලපෑම් එල්ලවෙන්නේ හුදෙක් වායුගෝලයට හෝ මිනිස් සෞඛයට පමණක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජල දූෂණය පිළිබඳව කලක පටන් යම් තරමක කතිකාවතක් සමාජයේ ඇති වී තිබුණද, ගැටලුව උග්‍ර වන තුරුම වායු දූෂණය පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් ඇති නොවීම අභාග්‍යයකි. මේ ලිපියේ විපරම, 'හුස්ම හිර කරන තරම්' බරපතළ ගෝලීය අර්බුදයක් වූ අන්තර් කලාපීය වායු දූෂණය පිළිබඳවයි.

අන්තර් කලාපීය වායු දූෂණය යනු කුමක් ද?

 

reducing indoor and outdoor pollution.jpg
භූමිය භූගෝලීය සාධක සහ පරිපාලනයේ පහසුව පිණිස දේශසීමාවලින් බෙදා වෙන් කර තිබුණද එකී සීමා වායුගෝලයට අදාළ නොවන්නේ එහි ගතික ස්වභාවය හේතුවෙනි. එහෙයින් වායු දූෂණය ද නගර මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින්, පළාත් මට්ටමින් නොව මහාද්වීප මට්ටමින්වත් බෙදා වෙන් කිරීම අසීරුය. 'එක්තරා ප්‍රදේශයකින් වායුගෝලයට මුසුවන දූෂණ කාරක, සුළං ධාරා ඔස්සේ පාව ගොස් තවත් ප්‍රදේශයක වායුගෝලය අපවිත්‍ර කිරීම' අන්තර් කලාපීය වායු දූෂණය හෙවත් “transboundary air pollution” නමින් හැඳින්වේ.

බෙංගාල බොක්ක ආශ්‍රිත නිතර අවපීඩන කලාප හටගන්නා ඉසව්වක පිහිටා තිබීමත්, මෝසම් වර්ෂා රටාවත්, ශ්‍රී ලංකාව කෙරෙහි අන්තර් කලාපීය වායු දූෂණයේ බලපෑම් උග්‍ර වීමට හේතු වේ.

Impact of Indian Air Pollution Conditions to Sri Lanka 1

ඉන්දියානු අර්ධද්වීපය ඇතුළු දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ මැදපෙරදිග රටවලින් වායු ගෝලයට මුසු වන දූෂණ කාරකවල බලපෑම ඊසානදිග මෝසම සක්‍රීයව පවතින සමයේදී වඩාත් ප්‍රබලව දැකගත හැකි අතර නිරිතදිග මෝසම් සමයේදී බස්නාහිර පළාත ආශ්‍රිත කාර්මික කලාපවලින් නිකුත් වන විෂ රසායන මහනුවර වැනි කඳුකර ප්‍රදේශවල තැන්පත් වන බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත.

සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු හැරුණු විට කාබන් අංශු, බැර ලෝහ අංශු වැනි ද්‍රව්‍ය ද කර්මාන්ත ආශ්‍රිතව වායුගෝලයට මුදා හැරෙන දූෂණ කාරක අතරට අයත්ය. ඒ අතරිනුත් විශ්කම්භය මයික්‍රොමීටර 2.5ට අඩු ක්ෂුද්‍ර අංශුවලට පෙනහළුවලට සහ රුධිර සංසරණ පද්ධතියට ඇතුළුවීමට හැකියාව පවතින බැවින් එය වායු තත්ත්ව දර්ශකය (Air Quality Index) පිළිබඳ ප්‍රබල නිර්ණායකයක් ලෙස සැලකේ.

වායු දූෂණයේ බලපෑම්

 

Indoor Air Pollution vs. Outdoor
පසුගිය දෙසැම්බරයේ වැහි වලාවක අඳුර කැටිවුණ තෙතබරිත මීදුමක් ගත වෙලාගනිද්දී දැනුණු කෙඩෙත්තුව ඔබට තවම මතක ඇතැයි සිතමි. වයස්ගත පුද්ගලයන්, කුඩා දරුවන් සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි දිනවලදී දැඩි අපහසුතාවලට මුහුණදෙන්නට සිදු වේ.

වායු දූෂණයෙන් අහිතකර බලපෑම් එල්ලවෙන්නේ හුදෙක් වායුගෝලයට හෝ මිනිස් සෞඛයට පමණක් නොවේ. අම්ල වැසි වැටීමෙන් පසේ සහ ජලයේ pH අගය පහතවැටීම, සංවේදී පරිසර පද්ධති විනාශ වීම, පෞරාණික ගොඩනැගිලි ප්‍රතිමා ආදියට හානි සිදු වීම, ප්‍රභාසංස්ලේෂණය අඩාළ වීම නිසා භෝග නි‍ෂ්පාදනය අඩාළ වීම වැනි ඍජු හා වක්‍ර පාරිසරික බලපෑම් රැසක් ද වායු දූෂණය හා බද්ධ වී ඇත.

එකී පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් නිසා රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට සහ ආර්ථිකයට එල්ල වන තර්ජනය ද සුළුපටු නැත. එහෙයින් වායු දූෂණය පිළිබඳ අධ්‍යයනයන්ට සහ වායු දූෂණය අවම කිරීමේ ක්‍රියාවලීන් වෙනුවෙන් රජයක් වශයෙන් යම් පිරිවැයක් දැරීම අතිශයින්ම යුක්ති සහගත කාලීන අවශ්‍යතාවකි.

වායු දූෂණය 1

පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට කාර්මීකරණය අතින් ඉදිරියෙන් සිටින රටවල් අන්තර් කලාපීය වායු දූෂණයට වැඩි වශයෙන් දායක වන නිසා, ඔවුන් වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කර ගත යුතු අතරම අන්තර්කලාපීය වායු දූෂණයෙන් බැට කන දිළිඳු රටවල්වල වායු තත්ත්ව කළමනාකරණ ව්‍යාපෘති සඳහා මූල්‍යමය සහ තාක්ෂණික සහාය සැපයිය යුතුය.

විකල්ප නියාමන ක්‍රමවේදවල අවශ්‍යතාව

 

නාවලපිටියේ ස්ථාපිත කර ඇති වායු ගුණ මැනීමේ උපකරණයක්නාවලපිටියේ ස්ථාපිත කර ඇති වායු ගුණ මැනීමේ උපකරණයක්
අන්තර් කලාපීය වායු දූෂණයට වැට බැඳීමේ පළමු පියවර විය යුත්තේ වායු තත්ත්ව නියාමනය සඳහා දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි. පරිසරය, දේශගුණය හා තාක්ෂණය පිළිබඳ සම්මේලනයේ (Federation for Environment, Climate and Technology) විද්‍යාඥයන් විසින් මේ වන විට වායු තත්ත්ව නියාමනයට අදාළ උපකරණ 15ක් සහ ජංගම කාලගුණ නිරීක්ෂණාගාර 15ක් දිවයිනේ ස්ථාන කිහිපයක ස්ථාපනය කර ඇති බව සඳහන්ය. අන්තර් කලාපීය වායු දූෂණය කාලගුණික රටා සමග අවියෝජනීයව බැඳී පවතින බැවින් වායු තත්ත්ව නියාමන ක්‍රියාවලිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වීම වැදගත්ය.

 

Hyophila involutaHyophila involuta නම් පාසි වර්ගය
වායු තත්ත්වය පිළිබඳව ජෛව දර්ශකයක් ලෙස Hyophila involuta නම් පාසි වර්ගය යොදාගැනීම පිළිබඳ පර්යේෂණයක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ කණ්ඩායමක් සාර්ථකව සිදුකර තිබිණි. පර්යේෂකවරුන් පෙන්වා දෙන්නේ වායු තත්ත්ව කළමනාකරණයේදී මෙවැනි අඩු වියදම් විකල්ප සඳහා යොමු වීම ආර්ථික වශයෙන් බෙහෙවින්ම ලාබදායී බවයි.

අන්තර් කලාපීය වායු දූෂණයට තිත තැබිය හැක්කේ පාරිසරික, ආර්ථික හා සමාජීය වශයෙන් වඩාත් තිරසර විකල්ප කරා යොමු වීමත්, පොදු පාරිසරික ගැටලු සම්බන්ධයෙන් එකිනෙකා සමග කුලල් කාගන්නවා වෙනුවට ඒකාබද්ධව විසඳුම් සෙවීමත් ඔස්සේය.


Arundi Jayasekara (සටහන | අරුන්දි ජයසේකර)
arundijayasekara@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...