The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දේශපාලන සිරකරුවන් සහ යුක්තිය සඳහා වන අරගලය

T

The Leader Desk

March 19, 2025 • 3:38 PM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දේශපාලන සිරකරුවන් සහ යුක්තිය සඳහා වන අරගලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොකළ වරදකට වසර 14ක් වද විඳ මියගිය සහදේවානි තිස්වසරක් සිරගතව සිටින සොහොයුරා වෙනුවෙන් එකම සොහොයුරියගෙන් ආයාචනයක් “දශක තුනක් තිස්සේ මගේ දෙමව්පියන් මගේ සහෝදරයගේ නිදහස වෙනුවෙන් වෙහෙස නොබලා සටන් කළා.
  • එහි ගොදුරු බවට පත්වූවන් අතර දේශපාලන සිරකරුවන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියෝද වෙති.
  • ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමටත්, වධහිංසා පැමිණවීමටත්, බලහත්කාරයෙන් ලබා ගන්නා ලද පාපොච්චාරණ මත පදනම්ව රඳවා තබා ගැනීමටත් මෙම පනත හරහා ඉඩ ලැබී ඇත.
  • මෙම ලිපිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් තිස්සේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටියදී මියගිය දමිළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකුගේ ඛේදජනක කතාන්දර යළිත් ආවර්ජනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
  • නොකළ වරදකට වසර 14ක් වද විඳ මියගිය සහදේවානි
  • තිස්වසරක් සිරගතව සිටින සොහොයුරා වෙනුවෙන් එකම සොහොයුරියගෙන් ආයාචනයක්


“දශක තුනක් තිස්සේ මගේ දෙමව්පියන් මගේ සහෝදරයගේ නිදහස වෙනුවෙන් වෙහෙස නොබලා සටන් කළා... කවදා හෝ අයියා ආයෙමත් ගෙදර එයි කියලා ඔවුන් බලාපොරොත්තු වුණා. ඔවුන් දෙදෙනාම අද මිය ගිහින්... තාත්තාගෙ මරණයෙන් පස්සේ අම්මට මේ සියලු වේදනා දරාගෙන ඉන්න බැරි වුණා. අයියගේ ජිවිතේම සිරගෙදරටම නාස්ති වෙන එක ගැන අම්මා හරි දුකෙන් හිටියෙ. අම්ම මිය ගියෙත් ඒ දුකෙන්මයි. දැං අයිය වෙනුවෙන් සටන් කරන්න ඉතුරු වෙලා ඉන්නෙ මම විතරයි"

වසර ගණනාවක් තිස්සේ තම පවුලට මුහුණ දීමට සිදු වූ වේදනාව සිහි කරන විට වාහිනීගේ හඬ වෙව්ලයි..

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මගින් අත්අඩංගුවට ගන්නා ලද වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා වන අරගලය තවමත් අවසන් වී නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යනු නීතියක් පමණක් නොව එය දශක ගණනාවක් තිස්සේ විරුද්ධ මත පළ කරන්නන් නිහඬ කිරීමට සහ දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීමට භාවිත කරන ලද මර්දනයේ අවියකි.


එහි ගොදුරු බවට පත්වූවන් අතර දේශපාලන සිරකරුවන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියෝද වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමටත්, වධහිංසා පැමිණවීමටත්, බලහත්කාරයෙන් ලබා ගන්නා ලද පාපොච්චාරණ මත පදනම්ව රඳවා තබා ගැනීමටත් මෙම පනත හරහා ඉඩ ලැබී ඇත. මෙම පනත අහෝසි නොකිරීම තුළ එහි මර්දනකාරී භාවිතාව දිගින් දිගටම ක්‍රියාත්මක වීමට ඉඩ සැලසෙන අතර, ශ්‍රී ලංකාව මේ අයුක්තියේ චක්‍රයෙන් මිදෙන්නේ කවදාද යන ප්‍රශ්නය ඉතිරි කරයි.

මෙම ලිපිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් තිස්සේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටියදී මියගිය දමිළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකුගේ ඛේදජනක කතාන්දර යළිත් ආවර්ජනය කරයි. එමෙන්ම තවමත්  මෙම පනත යටතේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටින  දමිළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් සටන්  කරන වාහිනීගේ සහ කෝමහන්ගේ කතාන්දර පිළිබඳ අවධානය යොමු කරයි.

සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන්: දරුවාද යුක්තියද නොදැක මිය යෑම

| සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුවේ රා මදින්නෙකු ලෙස ජීවත් වූ සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන් 1993 දී හමුදා සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලදි. රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම සහ එල්ටීටීඊ  ප්‍රහාරවලට සහභාගී වීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට නොතේරෙන භාෂාවක් වන සිංහලෙන් ලියා ඇති පාපොච්චාරණයක් මත පමණක් පදනම්වය. නව යොවුන් වියේදී මහේන්ද්‍රන් පහළ පෙළේ එල්ටීටීඊ සාමාජිකයෙකුව සිට ඇති නමුත් අත්අඩංගුවට ගැනීමට වසර ගණනාවකට පෙර ඔහු සංවිධානයෙන් ඉවත් වී ඇත. එසේ තිබියදීත් ඔහුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරන ලද අතර නිදහස සඳහා වන සියලු ඉඩ අහුරා ඇත.

ඉන් පසු ගත වූ දශක කිහිපය තුළ, මහේන්ද්‍රන් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නොනවත්වා සටන් කළ අතර ඔහු අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා ඉදිරිපත් කළේය. නමුත් ඔහුට කිසිදා යුක්තිය ඉටු නොවීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ බිරිඳ ගැබ්ගෙන සිටි අතර දරුවා බැලීමට ඔහුට කිසිදා අවසර නොලැබුණි. දශක දෙකකට වැඩි කාලයක් අඳුරු බන්ධනාගාර කුටියක ගත කිරීමෙන් පසු, මහේන්ද්‍රන් මනුෂ්‍යත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලද පද්ධතියක ගොදුරක් බවට පත් වෙමින් වයස අවුරුදු 45දී මියගියේය.


මුත්තයියා සහදේවානි: නොකළ වරදකට ජීවිතයෙන් වන්දි ගෙවීම

dr33de| මුත්තයියා සහදේවානි2005දී, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් නාඳුනන ස්නයිපර්වරයෙකු විසින් ඝාතනය කරන ලදි. ඉන් පසුව, දෛනික වැටුප් කම්කරුවෙකු වූ මුත්තයියා සහදේවානි, ඝාතනයට සහාය දීමේ සැකය මත අත්අඩංගුවට ගැනිණි. ඔහු චෝදනාවට ලක්වන අපරාධය වන්නේ මාරාන්තික වෙඩි තැබීම් සිදු වූ බවට විශ්වාස කෙරෙන නිවසක් අසල ගසක අත්තක් කැපීමයි. එය ඔහු නිවාස හිමියාගේ උපදෙස් යටතේ කළ සාමාන්‍ය කාර්යයකි.

වධ හිංසාවට ලක් කොට කියවා ගැනීමටවත් නොහැකි පාපොච්චාරණයකට අත්සන් කිරීමට සැලස්වූ පසු සහදේවානි වසර 14ක් සිරගතව සිටියේය. ඔහුගේ නඩුව PTA යටතේ බලහත්කාරයෙන් ගන්නා ලද පාපොච්චාරණය මත පමණක් රඳා පැවති අතර, දේශපාලන සම්බන්ධතා සහිත ව්‍යාපාරිකයෙකු වූ නිවසේ සැබෑ හිමිකරුගෙන් කිසි විටෙකත් ප්‍රශ්න කොට නැත. දත් කැඩෙන තුරු පහර දුන් පසුත් ඔහු අධිකරණයට පැවසුවේ "මම නොකළ වරදකට මට පහර දුන්නා" යනුවෙනි.

 ඔහුගේ පවුලේ අයද අසාධාරණයේ බරින් පීඩා විඳින ලදි.  ඔහුගේ බිරිඳ සහ දරුවන්ද ප්‍රශ්න කිරීම්වලටත් හිරිහැරවලටත් ලක් කරන ලද නමුත් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් හමු නොවීය.

සහදේවානිගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් පිරිහෙන තුරුත් ඔහු සිරගතව සිටියේය. 2019දී ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබූ අතර එහිදී ඔහු වකුගඩු අකර්මණ්‍ය වීමෙන් මිය ගියේය. ඔහුගේ මරණය  සාධාරණ නඩු විභාගයක් ලබා නොදුන් නීති පද්ධතියක් විසින් සොරකම් කරන ලද ජීවිතයක අවසානය සනිටුහන් කළේය. ඔහුගේ අභාවයෙන් පසු, අධිකරණය නිහඬව ඔහුගේ නඩුව අවසන් කළ අතර, සහදේවානිගේ ජීවිතය අවසානය දක්වාම  ප්‍රතික්ෂේප වීමටත් නොසලකා හැරීමටත් ලක් විය.

ඔවුන්ගේ ඛේදනීය දෛවයන් අවුරුදු හයක් සිරගතව සිට නිදහස ලැබූ මුරුගයියා කොමහාන් මුහුණ දුන් අත්දැකීම්වල බියකරුබවටත්, අසාධාරණ ලෙස වසර තිහක් තිස්සේ සිරගතව සිටින විග්නේෂ්වර නාදන් පාර්තිබන්ගේ ජීවිතයේ බියකරුබවටත් සාක්ෂි දරයි. යාපනයේදී, අපි පාර්තිබන්ගේ සහෝදරිය වන වාහිනී සමඟ කතා කළ විට ඇය කියා සිටියේ ඇගේ සහෝදරයා බන්ධනාගාරයෙන් කිසිදා පිටව නොයනු ඇතැයි  යන්න ඇගේ ගැඹුරුතම බිය බවයි.

තම ජීවිතයෙන් තුනෙන් දෙකක් සිරගෙදර ගත කළ පාර්තිබන්ගේ කතාව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නොනවතින ම්ලේච්ඡත්වයට බියකරු සාක්ෂියකි. වාහිනීගේ බිය පදනම් විරහිත නොවේ. 2009 සිට, අවම වශයෙන් දෙමළ සිරකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇති අතර, ඔවුන්ගේ නම්, අසාධාරණය පිළිබඳ දීර්ඝ හා වේදනාකාරී ඉතිහාසයේ කොටසක් බවට පත්ව ඇත.


මුරුගයියා කොමහන්: Voice of the Voiceless කැඳවුම්කරු

komahan| මුරුගයියා කොමහන්

සමාජ ක්‍රියාකාරිකයෙකු වන මුරුගයියා කොමහන් හිටපු දේශපාලන සිරකරුවෙකි. කෝමහන් 2010 සිට 2016 දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිට ඇත. දෙමළ දේශපාලන සිරකරුවන් මෙම පනත යටතේ අසාධාරණ ලෙස  රඳවා තබා ගැනීමේ  ඉතිහාසය මතක් කරමින් කෝමහන් මෙසේ පවසයි:

“2009 දී යුද්දෙ ඉවර වුණාට පස්සෙ, මහින්ද රාජපක්ෂගේ රජය යටතේ ආසන්න වශයෙන් 12,000ක් පමණ දමිළ දේශපාලන සිරකරුවන් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා. ඊට පස්සේ ත්‍රස්තවාදීන් ලෙස  සැකපිට අත්අඩංගුවට ගත්ත තවත් බොහෝ දෙනෙකුගේ නඩු විටින් විට විභාග කරමින් ඇතම් අය  නිදහස් කළා. ඇතැම් අයව නැවත අඛණ්ඩව සිරගත කළා. බලයට පත්වීමෙන් පස්සේ සෑම අනුප්‍රාප්තික රජයක්ම යම් දේශපාලන සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කරල තියනවා. එහෙත්, අද පවා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් 10 දෙනෙකු නිදහස පිළිබද බලාපොරොත්තුවෙන් බන්ධනාගාරගතව ඉන්නවා"

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර අධික තදබදයක් සහිතය, බන්ධනාගාර තුළ සනීපාරක්ෂාව හොඳ මට්ටමක නොමැති අතර ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාරද නොමැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටින දේශපාලන සිරකරුවන්ට ඊටත් වඩා දරුණු තත්වයන් විඳදරා ගැනීමට සිදුවන අතර, බොහෝ විට මූලික සෞඛ්‍ය සේවා පවා ඔවුන්ට අහිමිය. කොමහාන් එම යථාර්ථය මෙසේ විස්තර කළේය.

 "PTA සිරකරුවන්ට සාමාන්‍ය සිරකරුවන්ට ලැබෙන වෛද්‍ය වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. අනෙක් අය බරපතළ අසනීපවලදි ඔවුන්ව බාහිර රෝහල් වෙත යොමු කළත්, අපිව ප්‍රමාණවත් පහසුකම් නැති බන්ධනාගාර රෝහල්වලට සීමා කරනවා. 2009 සිට දෙමළ දේශපාලන සිරකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවේ සිටියදී මිය ගිහින් තියනවා. දරුණුම රෝගාබාධවලදී පවා, අපව  සිර මැදිරි තුළ හිර කරලා තියනවා. අනෙක් අයට අවම වශයෙන් රෝහල් ඇඳක් හම්බෙනවා අපිට එහමවත් ලැබෙන්නෙ නෑ‍.

පසුගිය රජයන් විසින් ගනු ලැබූ උත්සාහයන් සහ පොරොන්දු තිබණද, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ද ක්‍රියාමාර්ග වර්තමානය වන විට මන්දගාමී සහ අස්ථාවර වී ඇත.“නිදහස් දිනයේදී ඔවුන් නිදහස් කරයි කියලා අපි  බලාපොරොත්තු වුණා, නමුත් එහෙම වුණේ නැහැ. ඒක විශාල බලාපොරොත්තු සුන්වීමක්. තවම අපි බලන් ඉන්නවා සහ අවදියෙන්  ඉන්නවා. ඔවුන්ට යුක්තිය ඉටු විය යුතුමයි, ”කෝමහන් බලාපොරොත්තුව සහ අධිෂ්ඨානය මුසු වූ හඬකින් පවසයි.


වාගිනි : යුක්තිය සඳහා සහෝදරියකගේ අරගලය

VAgini| වාගිනි

යාපනයේදී   මුණගැසුණු වාගිනි, ඇගේ සහෝදරයාගේ නිදහස සඳහා සටන් කිරීම වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කොට ඇති කාන්තාවකි. ඇගේ සහෝදරයා වසර 30කට වැඩි කාලයක් සිරගතව සිටින අතර, ඔහු ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් බන්ධනාගාරගතව සිටින දමිළ දේශපාලන සිරකරුවා වේ.

 "එයාව අපෙන් අරන් යනකොට මට වයස අවුරුදු 16යි. මගේ අම්මා මට කිව්වා මගේ සහෝදරයාව 1996දී අපි වන්නියේ ඉන්නකොට අත්අඩංගුවට ගත්තා කියලා. එතකොට එයාට වයස අවුරුදු 18යි. දශක ගණනාවක් ගත වෙලා තිබුණත් එයාව තාම හිර කරලා. මේ අවුරුදු ගාණටම එයාට හිරගෙදරින් එළියට යන්න අවසර ලැබිලා තියෙන්නේ දෙපාරක් විතරයි,  ඒ 2017දී මගේ තාත්තා නැති වුණාම සහ 2022දී මගේ අම්මා නැති වුණාම" ඇය පැවසුවාය.

“දශක තුනක් තිස්සේ මගේ දෙමව්පියන් අයියාගේ නිදහස වෙනුවෙන් වෙහෙස නොබලා සටන් කළා... කවදා හෝ අයියා ආයෙත් ගෙදර එයි කියලා ඔවුන් බලාපොරොත්තු වුණා. ඔවුන් දෙදෙනාම අද මිය ගිහින්... තාත්තාගෙ මරණයෙන් පස්සේ අම්මට මේ සියලු වේදනා දරාගෙන ඉන්න බැරි වුණා. මගේ අම්ම මිය ගියෙත් ඒ දුකෙන්මයි. දැං අයිය වෙනුවෙන් සටන් කරන්න ඉතුරු වෙලා ඉන්නෙ මම විතරයි."

කඳුළු සලමින් ඇය බලධාරීන්ට පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවටද දැඩි ආයාචනයක් කරයි. “බලාගෙන  ඉන්න, අහන් ඉන්න, මේක කියවන අයගෙන්, මම අයදිනවා, අපේ වේදනාව තේරුම් ගන්න. මගේ සහෝදරයා අවුරුදු තිහකට වැඩි කාලයක් සිරගතව ඉන්නේ. යුද්ධය බොහෝ කලකට පෙර අවසන් වුණා. බොහෝ දෙනෙක් දැන් නිදහස් වෙලා. මගේ සහෝදරයා තවමත් සිරගතව සිටින්නේ ඇයි? මම ඉල්ලන්නේ ඔහුට සමාව ලබා දෙන්න කියලා විතරයි. ඔහුට ගෙදර එන්න දෙන්න. ඔහුට දැන් හරි අපිත් එක්ක  ජීවත්වෙන්න ඉඩ දෙන්න. මට වෙන කිසිවක් අවශ්‍ය නැහැ.” ඇගේ වචන ශෝකයෙන් බරයි, නමුත් ඇගේ අධිෂ්ඨානය නොසැලී පවතී. දශක තුනක් බලා සිටීමෙන් පසුත් ඇය තම සහෝදරයා නිදහස් වේවි යැයි බලාපොරොත්තු සහිතව තවමත් සටන් කරයි.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත: කුරිරු නීතියක්

sxt46f

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, සැකකරුවන්  නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගත හැකි අතර, බොහෝ විට එසේ රඳවා තබා ගන්නේ වධහිංසාවට ලක් කොට බලහත්කාරයෙන් ලබා ගන්නා පාපොච්චාරණ මත පමණකි. දෙමළ දේශපාලන සිරකරුවන්, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මෙන්ම සියලු ප්‍රජාවන්ට අයත් විරුද්ධවාදීන්ද මෙම පනත යටතේ පීඩාවටත් මර්දනයටත් ලක් වී ඇත. සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන් සහ මුත්තයියා සහදේවන් සිරකරුවන් රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා ඔවුන්ට හිමි  යුක්තිය ප්‍රතික්ෂේප කිරීමේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳ සංකේතයන්ය.

ප්‍රතිසංස්කරණ ගැන කෙතරම් රජයන් පොරොන්දු වුවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් නොවෙනස්ව පවතින අතර, නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනයන්ට ලක් නොවීමේ අයිතිය, නීතිමය ආරක්ෂාව සදහා වන අයිතිය සහ වධහිංසාවලින් ආරක්ෂා වීමට ඇති අයිතිය  වැනි මූලික අයිතිවාසිකම් මෙම පනත මගින් උල්ලන්ගනය කොට ඇත. කලින් කලට බලයට එන රජයන් විසින් විරුද්ධවාදීන් නිහඬ කිරීමට සහ ජනතාව පාලනය කිරීමට මෙම පනත භාවිත කර ඇති අතර ආරම්භයේදී විශේෂයෙන් උතුර හා නැගෙනහිර ආශ්‍රිතව  මර්දනයේ අවියක් ලෙස මෙම පනත ක්‍රියාත්මක විය.

 2009දී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම පනත    දෙමළ ජනතාවගෙන් ඔබ්බට ගොස් සිංහල දේශපාලන ක්‍රියාකාරීන්, කවියන් සහ මුස්ලිම් ලේඛකයින් මර්දනය කිරීමට පුළුල් ලෙස භාවිත විය. 2022 ජනතා අරගලයේදී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන්ට එරෙහි මර්දනයේ අවියක් ලෙසද මෙම පනත ක්‍රියාත්මක විය. මෙකී ඉතිහාසය සලකා බැලීමේදී පෙනී යන්නේ යුක්තිය පසිඳලීමේ වගකීම උදෙසා නොව රාජ්‍ය විසින් මර්දනයේ මෙවලමක් ලෙස මෙම පනතේ භූමිකාව  දිගින් දිගටම ක්‍රියාත්මක කොට ඇති බවයි.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ NPP ආණ්ඩුව

2024 නොවැම්බර් 11 වන දින වවුනියාවේ පැවති මහජන රැස්වීමකදී, ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ප්‍රතිඥා දුන්නේය. ඔහු තේරී පත් වුවහොත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි මර්දනකාරී නීති අහෝසි කර ඒවා අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන බවට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් විය. කෙසේ වෙතත් මෙම පනතට විකල්පයක් හඳුන්වා දීමට පියවර ගන්නා තෙක් දිගටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විවේචන එල්ල වෙමින් පවතී.

ආසන්න වශයෙන් මෙම පනත භාවිත කරන ලද අවස්ථා අතර ආරුගම්බේ ඊශ්‍රායල සංචාරකයින්ට ආරක්ෂක තර්ජනයක් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, මාවීරර් නාල් සැමරුම් අතරතුර LTTE ආශ්‍රිත සංකේත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම , ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් සහ මිද්දෙනිය වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමද දැක්විය හැකිය.


යුක්තිය සඳහා නව සන්ධිස්ථානයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 1979දී ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සහ ජාතික ආරක්ෂාව පවත්වා ගැනීමේ ප්‍රකාශිත අරමුණ ඇතිවය. එහෙත්, දශක ගණනාවක් තිස්සේ එය දේශපාලන විරුද්ධවාදීන්ට, ක්‍රියාකාරීන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව මර්දනකාරී ලෙස ක්‍රියාත්මක වූ අතර එය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවාට වඩා රාජ්‍ය මර්දනයේ මෙවලමක් බවට පත් විය. වර්තමාන  ශ්‍රී ලංකාව සංවිධානාත්මක අපරාධ සහ පාතාල ප්‍රචණ්ඩත්වයේ නැගීම නිසා ගොඩනැගුණු නව ආරක්ෂක අර්බුදයකට මුහුණ දෙමින් පවතී. 2025 පෙබරවාරි මස 28 වන දින අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති දිසානායක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ වැදගත් ප්‍රකාශයක් කළේය.

dyte546
"අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරනවා. අපි තරම් එය අවලංගු කිරීමට කිසිවෙකු බලපෑම් කර නැහැ. නමුත් සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී තර්ජන මැඩපැවැත්වීම සඳහා අපට නීතිමය රාමුවක් අවශ්‍යයි. එවැනි රාමුවක් ක්‍රියාත්මක වන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ නොහැකියි," ඔහු පැවසීය.


රජයේ ස්ථාවරය පැහැදිලි වුවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඳුරු ඉතිහාසය  නොසලකා හැරිය නොහැකිය. ජාතික ආරක්ෂාව නාමයෙන් වරක් හදුන්වා දෙන ලද මෙම පනත පසුකාලීනව වධහිංසා පැමිණවීමේත් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමේත් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේත් මෙවලමක් බවට පත්විය.

dy56f
පසුගිය සතියේ පෝරාලිහල් සුභසාධක සංගමය (Poraalihal Welfare Association), ජනාධිපති දිසානායක වෙත අත්සන් 18,000 ක් සහිත පෙත්සමක් ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. මානව හිමිකම් සංවිධාන බොහෝමයක් දිගු කලක් තිස්සේ හෙළා දකින ලද නීතියක් වන මෙම පනත යටතේ සිරගත කර සිටින සිරකරුවන් නිදහස් කිරන මෙන් ඉල්ලමින් රැඳවියන්ගේ පවුල්, සමාජ ක්‍රියාකාරීන් සහ  පුරවැසියන් ඇතුළු දහස් ගණනක් පුද්ගලයින් මෙම  පෙත්සමට එක් වී ඇත.

සැබෑ ප්‍රශ්නය වන්නේ ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මානය වේවිද යන්නයි. නව ත්‍රස්ත විරෝධී නීතියක් හඳුන්වා දුන්නොත්, එය සැබවින්ම ජනතාව ආරක්ෂා කරයිද නැතහොත් එය තවත් දරුණු මර්දනකාරී මෙවලමක් බවට පත්වේවිද? රජය මෙම පනත වෙනුවට නව නීතියක් ගෙන එන්නේ නම් එය පුරවැසියාට වගකියන මර්දනකාරී අවියක් ලෙස අවභාවිත කළ නොහැකි සහ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන නීතියක් විය යුතුය. එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාව දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මුහුණදුන්  මර්දනකාරී චක්‍රය තුළම යළි යළිත් ගමන් කරනු ඇත.

(මනුලි ලාවන්‍යා සිරිකුමාර)
ශබීර් මොහොමඩ්

byshabeer@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...