The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'රිළා වඳුරු සංගණනය'ට සිනාසීමෙන් පමණක් ඵලක් වේ ද? | රේණුකා දමයන්ති

T

The Leader Desk

March 20, 2025 • 8:32 AM

'රිළා වඳුරු සංගණනය'ට සිනාසීමෙන් පමණක් ඵලක් වේ ද? | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සංගණනය මඟින් රැස්කර ගත් තොරතුරු සහ දත්ත ඇතුළත් මූලික වාර්තාවක් මෙම මස අවසානයේ දී පමණ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා එහි දී පවසා ඇත.
  • පසුව නියෝජ්‍ය ඇමැතිවරයා මාධ්‍යයට සඳහන් කොට ඇත්තේ සංගණනය පැවති දිනයේ දී අදාළ වේලාව තුළ තම ගෙවත්තේ, වගා බිම්වල, පුණ්‍ය භූමිවල වඳුරන්,රිළවුන්, මොනරුන් සහ දඬුලේනුන් සිටි සංඛ්‍යාව සටහන් කර ඇති සංගණන පත්‍රිකා මේ වන විට නැවත ග්‍රාම නිලධාරීන් වෙත ලැබෙමින් පවතින බවයි.
  • එලෙස ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් වන සතුන් සංඛ්‍යාවන් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබීමට සලස්වා ඉන්පසුව ඒවා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට සලස්වන බව ද ඔහු පවසා තිබේ.
  • ඉන්පසු අදාළ දත්ත සහ තොරතුරු සටහන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබීමෙන් පසුව ඒවා වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා වූ කමිටුව වෙත යොමු කෙරෙන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික වගකීමක් ලෙස සලකා ඉකුත් 15 වන දා පෙරවරු 8.00-8.05 අතර කාලය තුළ සිදු වූ මෙම සංගණනය සඳහා දායක වූ රටේ ජනතාවට, නිවාඩු දිනයක් වුවද ස්වේච්ඡාවෙන්ම සහභාගී වූ , රජයේ නිලධාරීන්ට,සේම ගොවි ජනතාවට, ගොවි නායකයන්ට, පරිසරවේදීන්ට, මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍යවේදීන්ට සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කොට තිබේ. මෙම සංගණනය මඟින් රැස්කර ගත් තොරතුරු සහ දත්ත ඇතුළත් මූලික වාර්තාවක් මෙම මස අවසානයේ දී පමණ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා එහි දී පවසා ඇත.

“නිශ්චිත කාලයක් තුළ පොදු ක්‍රියාවලියකට මහජනතාව එක්වී මෙම ජාතික වගකීම ඉටු කළා. මමත් වේරගල රජ මහ විහාරයට පැමිණ මේ සංගණනය සඳහා එක්වුණා. ඇතැම් අය ඒ මොහොතේම සංගණන පත්‍රිකාව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත ලබා දී තිබුණා,” ආදී වශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයා එහි දී පවසා තිබූ අන්දමට එහි දී ඔහු “එකයි දෙකයි තුනයි” ආදී වශයෙන් කියමින් රිළවුන් ගණන් කොට එය හැටක් වශයෙන් ප්‍රකාශයට පත් කළ අන්දමත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.එහි දී ඔහු “දෙසැරයක් ගණන් කළේ නෑනේ” යනුවෙන් එහි සිටි කිසිවකු ගෙන් අසා තම ගණන් තැබීම පිළිබඳ අවිශ්වාසය දුරු කර ගත් අයුරු ද අපි දුටුවෙමු.

 



පසුව නියෝජ්‍ය ඇමැතිවරයා මාධ්‍යයට සඳහන් කොට ඇත්තේ සංගණනය පැවති දිනයේ දී අදාළ වේලාව තුළ තම ගෙවත්තේ, වගා බිම්වල, පුණ්‍ය භූමිවල වඳුරන්,රිළවුන්, මොනරුන් සහ දඬුලේනුන් සිටි සංඛ්‍යාව සටහන් කර ඇති සංගණන පත්‍රිකා මේ වන විට නැවත ග්‍රාම නිලධාරීන් වෙත ලැබෙමින් පවතින බවයි. එලෙස ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් වන සතුන් සංඛ්‍යාවන් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබීමට සලස්වා ඉන්පසුව ඒවා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට සලස්වන බව ද ඔහු පවසා තිබේ.

ඉන්පසු අදාළ දත්ත සහ තොරතුරු සටහන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබීමෙන් පසුව ඒවා වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා වූ කමිටුව වෙත යොමු කෙරෙන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ.

 


ඉන් පසුව මෙම කමිටුව ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් කර, සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව වාර්තාවක් සකස් කිරීමට නියමිත බවත් අදාළ වාර්තාව විශ්ව විද්‍යාල විද්වතුන්, මේ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ ආයතන, පරිසර සංවිධාන, ගොවි ජනතාව, ගොවි සංවිධාන, කෘෂි ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ ආයතන, වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තු, මාධ්‍ය ආයතන ඇතුළු ආයතන ගණනාවකට යොමු කරන්නට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මුල් වරට ය.

එමෙන්ම මෙම සංගණනයේ දී ඇතැම් ප්‍රදේශවල ගොවි බිම්, පුණ්‍ය භූමිවල මෙම සංගණනය සඳහා රජයේ නිලධාරීන් පැමිණියේ නැතැයි ජනතාව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබූ බව සඳහන් කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා පවසා තිබුණේ මේ නිලධාරීන් මෙම සංගණනයට දායක වන්නේ ස්වේච්ඡාවෙන් වන අතර ඔවුන්ට ඒ සඳහා එක් වන ලෙස නියෝග නොකළ බවකි.ඒ අනුව ඇතැම් විට ඒ රජයේ නිලධාරීන්ට පැමිණි පෞද්ගලික බාධාවන් නිසා එදින මෙම කාර්යයට දායක වන්නට නොහැකි වන්නට ඇති යනුවෙන් ද ඔහු පවසා තිබේ. එමෙන්ම මෙම කාරිය විහිළු සහගත කටයුත්තක් සේ සැලකූ පිරිස් ගැන ද ඔහු අදහස් දක්වා තිබීම විශේෂත්වයකි.

"ඇත්තෙන්ම මෙම සංගණනය හාස්‍යයට ලක්කරමින් ඒ ගැන අදහස් පළ කළ අය නිසා අපට වාසියක් වුණා. එයින් වුණේ ජනතාව, තවත්වත් මේ ගැන අවධානය යොමු කිරීමයි. නමුත් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, පර්යේෂකයන් මේ ගැන අවධානය යොමු කර තම දායකත්වය ලබා දුන්නා,” යනුවෙන් ඔහු කළ ප්‍රකාශයට ඒ කිසිදු විද්වතකු ගේ පර්යේෂකයකු ගේ නමක් එක් නොවීම ද විශේෂත්වයකි.

තත්වය එසේ තිබිය දීත් ඇතැම් ප්‍රදේශවලට අදාළ සංගණන පත්‍රිකාව ලැබී නොතිබූ බවත් ඔවුනට අදාළ තොරතුරු කොළ කැබැල්ලක සටහන් කර ගෘහමූලික අංකය සහ දුරකතන අංකය ලියා, ග්‍රාම නිලධාරි වෙත ලබා දීමට උපදෙස් දුන් බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ. මේ සියලු තත්වයන් යටතේ “රිළා වඳුරු සංගණනය”නමින් ජනතාව අතර ප්‍රකට වූ ආණ්ඩුවේ මෙම කාරිය සඳහා සිනාසීමෙන් පමණක් ඵලක් නොවන අතර ඒ සම්බන්ධයෙන් දැන් වත් ආණ්ඩුව දැනුවත් කිරීම එම විෂය සම්බන්ධ විද්වතුන් ගේ යුතුකමක් හා වගකීමක් ව තිබේ.

නාමල් කරුණාරත්න පසුගිය 15 වන දා වේරගල රජ මහා විහාර භූමියේ දී
එහි දී පළමුව කිව යුත්තේ ඉහත සඳහන් වගා හානි කරන වන සතුන් සම්බන්ධ තොරතුරු විමර්ශනය “කෘෂි බෝගවලට හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය” යනුවෙන් නියෝජ්‍ය ඇමති වරයා විසින් හඳුන්වා තිබීමම ප්‍රශ්නකාරී බව ය.ඊට හේතුව මෙය විධිමත් සංගණන මූලධර්ම මත සිදු නොවූ සාමාන්‍ය තොරතුරු විමසුමක් බැවිනි.

ඒ අනුව නියෝජ්‍ය ඇමති වරයා ගේ එම සංගණන ප්‍රකාශය අප රටේ දේශපාලනඥයන් ගේ දිව`ග නිතර ලෙල දෙන නිසරු වාගාලාපයක් පමණක් බව අප් ගේ වැටහීම ය. එමෙන්ම මෙය ජන සමාජය තුළ එතරම් පිළිගැනීමට ලක් නොවීමට බලපෑ හේතූන් කිහිපයකි. ඉන් මුල්ම හේතුව වනුයේ ඉහත සඳහන් විමර්ශනය සඳහා යොදා ගත් විද්‍යාත්මක ක්‍රමවේදය හා ඒ සඳහා උපදෙස් දුන් බව පැවසෙන විද්වතුන් ගේ නම් අනාවරණය නොකිරීම ය.කෘෂිකර්ම අමාත්‍යංශය එසේ සිදු කරන ලද්දේ නම් ඒ සම්බන්ධ උනන්දුවක් පළ කරන විද්වත් ප්‍රජාවට ඔවුන් හා සෘජු සංවාදයක් ගොඩනංවා ගැනීමට අවකාශ ලැබෙනු නියත ය.

 
monkeys 3
අප ඉතා පැහැදිලිව දන්නා අන්දමට රිළවා, වඳුරා, මොණරා සහ දඬු ලේනා යන බෝග වගාවන්ට හානි කරන සතුන් කෙරෙහි ඔවුන් ගැවසෙන මානව ජනාවාස වල ජීවත් වන්නවුන් තුළ බරපතල නොරිස්සුමක් තිබේ. ඒ අනුව එම සතුන් කෙසේ හෝ තම වාස භූමි වලින් ඉවත් කර ගත යුතු යැයි සිතන බොහෝ දෙනකු එම සතුන් ගේ සංඛ්‍යාවන් දැක්වීමේ දී හිතෙන හිතෙන ගණන් යෙදීමේ පහසු අවකාශයක් තිබේ. ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන එම දත්තයන් ඒ සම්බන්ධ ද්විතීයික පරීක්ෂාවකට ලක් කිරීමට නොහැකි වීම ඊට හේතුව ය.

 ඒ අනුව මෙවන් වගකීම් විරහිතව ලබා දෙන දත්ත සහ මූලාශ්‍ර වලින් සිදු කෙරෙන තොරතුරු විමර්ශනයක් සඳහා සංගණනය යන වදන යෙදීම පවා අනුචිත බව ඉතා පැහැදිලි ය.ඊට හේතුව ගණන් කිරීම යන අරුත සහිත ගණනය යන වදනට ‘සං’ යන උප සර්ගය යෙදීමෙන් ඉන් මනා, යහපත්,විධිමත් ආදී අරුත් පළවන බැවිනි.

monkey sri lanka afp 1211344 1681986269
ඒ කෙසේ හෝ මෙය රිළා වඳුරු ගහණයන් පිළිබඳ සත්‍ය දර්ශකයකට වඩා අපේ රටේ බොහෝ දෙනකු තුළ මෙය රිළා වඳුරන් කෙරෙහි පවත්නා නොරිස්සුම පිළිබිඹු කරන දර්ශකයක් වනු ඇති බව අප ගේ වැටහීම ය.නමුත් අප මීට සිනහ සී පමණක් නිහඬ විය යුතු නොවන්නේ පසුගිය පහලොස් වන දා සිදු කළ එම තොරතුරු විමර්ශනයෙන් මානව ජනාවාස ආශ්‍රිතව වෙසෙන රිළා, වඳුරු, මොණරා, දඬු ලේනා යන සත්ව විශේෂ සම්බන්ධ කිනම් හෝ සංඛ්‍යා ලේඛන ගොන්නක් සමාජය හමුවට ගෙන ඒමට කෘෂිකර්ම අමාත්‍යංශයට හැකි බැවිනි.
එහෙත්, එය පදනම් කොට ජාතික ප්‍රතිපත්ති සැකසීම දක්වා වන බරපතල තැනකට යා යුතු යැයි අමාත්‍යංශය තීරණය කරන්නේ නම් එය සේයාරුවකින් දුටු පමණින් යමකු ඒ කාන්තාව හෝ පිරිමියා හා විවාහ වීමට තීරණය කරන්නක් බඳු බාල බොළඳ විහිළුවක් ම වනු ඇත.

ඉහත සඳහන් තත්වයන් යටතේ මෙම තොරතුරු විමසුම මගින් අනාවරණය වන තොරතුරු සම්බන්ධ නිරවද්‍යතාව තහවුරු කර ගැනීම පිණිස අමාත්‍යංශයට කළ හැකි ප්‍රධාන කාර්යයක් තිබේ. එනම් මෙම ක්‍රමවේදය හෝ මෙවන් තොරතුරු විමර්ශනය සඳහා යොදා ගත හැකි වෙනයම් නිශ්චිත ක්‍රමවේදයක් මගින් ඉහත සඳහන් විමසුම නැවත සිදු කොට එම විමසුම් දෙකෙන් ලැබෙන ප්‍රතිඵල වල සමානතා සහ පරස්පරතා පිළිගත් සංඛ්‍යාත්මක දත්ත අධ්‍යයන ක්‍රමවේදයක් මගින් සංසන්දනාත්මකව විමසා බැලීම ය.

ri 23414 1
අප එසේ පවසනුයේ මෙම බෝග හානි කරන වන සත්ව තොරතුරු විමසීමට අන් සෙසු න්‍යයායන් කෙසේ වුවත් “කන්න හිතුණු කල කබරයා ද තලගොයා කර ගැනීමේ න්‍යාය”ට අනුව සිදු වූ බවට සාධාරණ සැකයක් අප කා තුළත් ජනිත වී ඇති බැවිනි.ඒ අනුව දැන්වත් මේ සම්බන්ධයෙන් අතිශය වගකීම් සහගතව කටයුතු කිරීමෙන් මෙවන් විහිළු යළි සමාජ ගත වීමේ අවකාශය අවප්‍රමාණ කර ගැනීමට ආණ්ඩුවට පුළුවන.

Renuka Damayanthi
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...