එය විශේෂ වන්නේ ඒ කාලයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඔහුගේ පෞද්ගලික විධාන යටතේ බටලන්ද වධකාගාරය පවත්වා ගෙන ගියේ යැයි වන තොරතුරු හේතුවෙනි. පසුව ජනාධිපති කුමාරතුංග විසින් 1995 සැප්තැම්බරයේදී බටලන්ද වධකාගාර පරීක්ෂණ කොමිසමක් පත් කරනු ලැබුවාය. එහි වාර්තාව 2000 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ කෙටි මතක් කිරීම, අවුරුදු හත අටකට එහා ඉතිහාසය නොදන්නා නැතිනම් අමතක වූ අයගේ දැන ගැනීම සඳහායි.

බටලන්ද වධකාගාරය ගැන කතා ආරම්භ වන්නට පෙර ‘90 දසකය ආරම්භයේ, කැලෑ පැන සිටි ජ.වි.පෙ ක්‍රියාකාරීන්ට විවෘත සමාජයට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් සංවිධානය වීමේදී, කිසිවකු ඔවුන්ට බාධා කෙරුවේ නැත. රනිල් වික්‍රමසිංහ අගමැති වුනු ජනාධිපති ඩී.බී විජේතුංග ගේ ආණ්ඩු පාලනයට අවශ්‍යව තිබුණා නම්, විවෘත දේශපාලනයට පැමිණි බොහෝ ජ.වි.පෙ ක්‍රියාකාරීන්ට එරෙහිව රාජ්‍ය දේපළ විනාශය, මිනිස් ඝාතන, මැතිවරණ කඩාකප්පල් කිරීම ආදී අපරාධ වෙනුවෙන් චෝදනා ඉදිරිපත්කර අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිව තිබුණා යැයි කියුවේ, ඒ වන විට ජ.වි.පෙ ප්‍රධාන ලේකම් වුන සහ 1999 දී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂක වූ නන්දන ගුණතිලක ය. ඔවුන් 1994 දී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණෙන විට ඊට හරස් නොවිය යුතු යැයි එදා රනිල් වික්‍රමසිංහ අගමැති වුනු ආණ්ඩු පාර්ශවය තීන්දුකර තිබුණි යැයිද ජ.වි.පෙට 1994 පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ වලට හවුල් වන්නට හැකි වූයේ ඒ අවසරය නිසා යැයිද නන්දන ගුණතිලක කීවේය.

ඔහු කියූ අනෙක් කතාවත් වැදගත් කතාවකි. මේ රටේ බටලන්දට අමතරව එළියකන්ද, කොළඹ නීති පීඨය, අනුරාධපුර ගොරකෑව කඳවුර, පානදුර පොලීසිය වැනි බොහෝ රජයේ වධකාගාර සම්බන්ධව තොරතුරු සාක්ෂි ඔවුන් ළඟ තිබුණත් ඒවා රැගෙන අධිකරණ ක්‍රියා මාර්ගයකට යෑමට ඔවුන් සූදානම් නොවුනේ යැයි ඔහු කීවේය. ඔහුගේ පැහැදිලි කිරීම වූයේ ජ.වි.පෙට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවට පැමිණීම සඳහා ඒ සියලු අපරාධ සම්බන්ධ කතා ඔවුන්ද එතෙකින් අත හැර දැමූ බව ය.
ඒ පසුබිමෙහි 1994 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයට ජ.වි.පෙ ඉදිරිපත් කළ අපේක්ෂකයා පොදු පෙරමුණු අපේක්ෂිකාව වූ චන්ද්‍රිකාට සහාය පිණිස ඉල්ලා අස්කර ගැනීමට, ඔවුන්ට තිබුණේ එක කොන්දේසියකි. විධායක ජනාධිපති ධූරය සය මසක් ඇතුළත අහෝසි කරන බවට, ලිඛිත පොරොන්දුවක් ඉල්ලා සිටීම පමණි. අවම තරමින් ඔවුන්ගේ නායක රෝහණ විජේවීර, ගමනායක ඇතුළු ප්‍රධානීන් අත් අඩංගුවට ගෙන ඝාතනය කිරීම පිළිබඳ ස්වාධීන කොමිසමක් හෝ ජ.වි.පෙ ඉල්ලා සිටියේ නැත.

ඊළඟට 1994 වසර අවසන් වන විට මිනිස් ඝාතන සම්බන්ධ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියේ, ඔක්තෝම්බර 24 වන දින තොටලග පැවති එ.ජා.ප ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමට එල්ල කෙරුණු දරුණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව, ගාමිණි දිසානායක වෙනුවෙන් තරග කළ ඔහුගේ බිරිඳ වූ සිරිමා දිසානායක මැතිනිය විසින් ය.
එම බෝම්බ ප්‍රහාරයෙන් එ.ජා.ප ජනාධිපති අපේක්ෂක මෙන්ම විපක්ෂ නායක ගාමිණි දිසානායක සමග එ.ජා.පයේ මහ ලේකම් වෛද්‍ය ගාමිණි විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ වීරසිංහ මල්ලිමාරච්චි සහ ඔසී අබේගුණසේකර, හිටපු ඇමතිවරයෙකු වූ ජී.එම්.ප්‍රේමචන්ද්‍ර ඇතුළු 58 කු ඝාතනය විය. 70 ට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. එය සියදිවි නසා ගැනීමේ එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කළ නමුත් පළමු වරට එල්.ටී.ටී.ඊ නායකත්වය එහි වගකීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් නිකුත් කෙරුවේය. එනිසාම එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධව දිසානායක මැතිනිය ඉල්ලූ ස්වාධීන පරීක්ෂණය වැදගත් ඉල්ලීමක් වූවාය. එහෙත් ජනාධිපති කුමාරතුංග ඒ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොපෙන්නුවාය. එවගේම, එ.ජා.ප නායකත්වය අනතුරුව බාර ගත් රනිල් වික්‍රමසිංහද විපක්ෂ නායක වශයෙන් හෝ ඒ බෝම්බ ප්‍රහාරය සඳහා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලුවේ නැත.
ඒ ප්‍රහාරය හා ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඉල්ලීමද නොසළකා හැරි පසු, ඉන්දීය සාම සාධක හමුදාව යටතේ පැවති උතුරු-නැගෙනහිර හැර ‘88-90 යුගයේ රට පුරා පැවති 90 ට වැඩි රජයේ වධකාගාර අතුරින් “බටලන්ද” වධකාගාරය, 1995 අවසන් භාගය වන විට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තරම් විශේෂ වූයේ කෙසේදැයි හේතු දැක්වීම්ද නැත.

ඒ සම්බන්ධ ආරම්භක කාරණාව වන්නේ, ජනාධිපති ඩී.බී. විජේතුංග නොමැතිව වෙනත් එ.ජා.ප ජනාධිපතිවරයෙකු සිටියේ නම්, 1994 අගෝස්තු මැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංගට පොදු පෙරමුණු ආණ්ඩුවක් පිහිටු වන්නට නොලැබෙන්නේ යැයි වන පොදු නිගමනය වන්නේය. ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම මන්ත්‍රී ආසන 113 ඒ මැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ගේ පොදු පෙරමුණට නොලැබිණ. අශ්රෝෆ් සමගින් ආණ්ඩුව පිහිටුවා ගැනීමට චන්ද්‍රිකාට හැකි වූයේ විජේතුංග ජනාධිපතිගේ නිශ්ක්‍රීයත්වය හමුවේ යැයි කතා විය. එහෙත් එය එතරම් ස්ථාවර ආණ්ඩුවක් නොවුනි.
අනතුරුව පැවති නොවැම්බර ජනාධිපතිවරණය, ඉහතින් විස්තර කළ මහා ඛේදවාචකය හමුවේ පැවතුනකි. අස්ථාවර පොදු පෙරමුණු ආණ්ඩුව සඳහා හයියක් ලෙස යොදා ගත හැකි විධායක බලය සහතික වූයේ ඒ ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ලබා ගත් සියයට 62 ක ඡන්දයෙනි. එබැවින් අහෝසි කරන බවට ජ.වි.පෙට පොරොන්දු වූ විධායක ජනාධිපති ධූරය ඇය අහෝසි නොකළාය. එවගේම පාර්ලිමේන්තු බලය විධායක ජනාධිපති බලයෙන් ශක්තිමත් කළ නොහැකි යැයි ඇය තේරුම් ගන්නට ඇත්තේ දීර්ග කාලීන ශ්‍රී.ල.නි.ප සාමාජිකයෙකු සහ ඇයගේ කැබිනට් ඇමතිවරයෙකු වූ ඒ.එච්.එම්. ෆවුසි සමග මුස්ලිම් කොංග්‍රස් නායක ඇමති අශ්රෆ් නිරන්තරව ගැටුම් ඇතිකර ගැනීම නිසා විය යුතුය. විටෙක ආණ්ඩුවෙන් ඉවත් වන බවටද අශ්රෆ් තර්ජනය කර තිබිණ.

මේ ගැටළුවට වඩාත් සාර්ථක දේශපාලන විසඳුම කුමක්දැයි ඇය දැන සිටියා දැයි සැකයකි. දෙවරක් අගමැතිනිය වූ සහ 1977 දී දෙවන වරට විපක්ෂ නායිකා වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුරවැසි අයිතිය 1980 මැයි මාසයේදී අහෝසිකර, ඇයට දේශපාලනය තහනම් කිරීමෙන් ජයවර්ධන ජනාධිපති එදා විපක්ෂය අඩාල කළ ආකාරය චන්ද්‍රිකාගේ ද දේශපාලන අත්දැකීමක් වූවාය. විපක්ෂ නායක හා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ ඒ අච්චුවේම දමා විපක්ෂය මෙල්ල කර ගතහොත් අශ්රෆ් එතරම් තර්ජනයක් නොවනු ඇතැයි ඇය සිතන්නට ඇත. ඇයගේ අවාසනාව වූයේ ඇය 1995 සැප්තැම්බරයේදී පත් කළ ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගෙන් යුත් බටලන්ද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම, ඇය අපේක්ෂා කළ තීන්දු හා නිර්දේශ ලබා නොදීම ය. එබැවින් 2000 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බටලන්ද කොමිසම් වාර්තාවට වැදගත් අවධානයක් නොලැබිණ.
බටලන්ද කොමිසම් වාර්තාවේ X වන පරිච්ඡේදයෙහි සඳහන් නිර්දේශ 05 න් එකකවත් කිසිදු පුද්ගල නාමයක් නැතිවාට අමතරව, එහි ඇති නිර්දේශ නීති සංශෝධන, ගුරුපදේශ මාලාවක් සකස් කිරීම, මන්ත්‍රීවරුන්ට ආචාර රීති පද්ධතියක් සකස්කර ගැනීම වැනි අනාගතවාදී නිර්දේශ වලට සීමා විය.
ඊට පෙර, බටලන්ද කොමිසම් වාර්තාවේ “තීරණ” මැයෙන් වන IX වන පරිච්ඡේදයෙහි බටලන්ද නිවාස සංකීර්ණයෙහි වධකාගාරයක් පවත්වා ගෙන යාම සම්බන්ධවත් එහි සාකච්ඡා සඳහා සහභාගි වූ පොලිස් නිලධාරීන් එසේ සහභාගි වී ඇත්තේ නිත්‍යානුකූලව නොවන බවත් එවැනි අනීතික සාකච්ඡා කර්මාන්ත ඇමති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබූ බවත් එහි නිවාස වෙන් කරන ලදුව ඇත්තේද අමාත්‍ය වික්‍රමසිංහගේ විධාන අනුව බවත් ඒ සියල්ල නීතියට පිටතින් සිදුකර ඇති බවත් (පිටුව/147 සිට පිටුව/159) සවිස්තරව සඳහන් කෙරෙන්නේය.

එහි අංක XI යටතේ “වික්‍රමසිංහ මහතාට එබඳු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැතිවූ බවත් ඒ සම්බන්ධයෙන්ද ඔහු තම බලය අයථා ලෙස පාවිච්චිකර ඇති බවත් කොමිසම් සභාවේ අදහසයි” යනුවෙන් වන සඳහනට පසු අංක XIV යටතේ සඳහන් කෙරෙන්නේ “රනිල් වික්‍රමසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස වෙන්කර මුදාලන ලෙසට දෙන ලද උපදෙස් වලින් අංක B2" B8" B34 yd A1$8 යන නිවාසවල නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පැවැත්වීමට අනියමින් වගකිව යුතු වන්නෝය” යනුවෙනි.
කොමිසම් වාර්තාව රනිල් වික්‍රමසිංහගෙන් නතර වී නැත. එහි අවසානයට වන “සමාප්ති නිරීක්ෂණ සටහන්” මැයෙන් වන කොටස ආරම්භ කරන පරිච්ඡේදයෙහි පළමු වාක්‍ය වන්නේ, “ප්‍රාරම්භක ඡේදයෙහි සඳහන් කරන ලද පරිදි, 1988 සිට 1990 දක්වා වන කාල සීමාව භීෂණ සමයක් විය. ජනතා විමුක්ති පෙරමුණ (JVP) දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමෙහි යෙදුනු අතර, ඊට එරෙහිව එවකට පැවති රජය ඇතුළත හා පිටත වූ බලවේග විසින් ඒ හා සමානම සාපරාධි ක්‍රියා සිදුකරන ලදී” (පිටුව/160) යන්න ය. කොමිසම මෙහි කියන්නේ, ජ.වි.පෙ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනු හෙයින් ඊට ප්‍රතිචාර වශයෙන් රජය හා අනුබද්ධ බලවේග ඒ හා සමාන සාපරාධි ක්‍රියාවල නිරත වූ බවය.
එය වඩා පැහැදිලි වන්නේ “ආරක්ෂක තත්ත්වය පිරිහීම හා ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීම” මැයෙන් වන ෂෂෂ වන පරිච්ඡේදයේ “ජනතා විමුක්ති පෙරමුණ” ලෙස ඇති විස්තරයෙනි. “1987 අගෝස්තු මාසයේ සිට රටේ ආරක්ෂක තත්ත්වය අනුක්‍රමිකව හා අඛණ්ඩව පිරිහින. දේශපාලනඥයින්ගේ ජීවිත වලට බරපතල තර්ජනයක් එල්ල විය. ප්‍රධානම ඉලක්ක වූයේ රජය කරවූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයෝ ය. සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවල නායකයෝද මෙම තර්ජනවල ඉලක්ක විය. ඉහළ මට්ටමේ දේශපාලනඥයින් හැරුණු විට, සාමාන්‍ය පොදු ජනතාව අතර වූ දේශපාලන හිතවත්තුද තර්ජනවල ඉලක්ක බවට පත් වූවෝය. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 1960 දෙනෙකු පමණ ඝාතනය කරනු ලැබූ බව ඇස්තමේන්තුකර තිබේ.” (පිටුව/29)
“තවද, මොවුන්ගේ ප්‍රහාර වලට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහුද ඉලක්ක බවට පත් වූහ. එවකට ජනතා විමුක්ති පෙරමුණේ ‘ක්‍රියා’ ගැන රහස් තොරතුරු එක්රැස් කිරීමේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ක්ලැරන්ස් පෙරේරා මහතා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබිණ. ඉන්පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බෙනට් පෙරේරා මහතාද (මොහු කඩකප්පල්කාරී ක්‍රියා ගැන විමර්ෂණ කිරීම ගැන තද උනන්දුවක් දැක්වූ නිලධාරියෙකි) ඝාතනය කරන ලදී. රජයේ දේපළ වලට සිදු කරන ලද හානිය, බිය උපදවන තරමින් විශාලය. පර්යන්ත ප්‍රදේශවල පිහිටි රජයේ ආයතන ගිනිබත් කරන ලදී”. (පිටුව/29)
ඒ සියලු නිගමන හා විස්තර කතන කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි මත, කොමිසම ස්වාධීනව පැමිණි එකඟතා වන්නේය. එවගේම බටලන්ද කොමිසම් වාර්තාව, බටලන්දෙන් එහාට යන, පෙරටුගාමී සමාජවාදීන් යැයි වෙන් වීමට පෙර සියල්ලන් එකට රට විනාශ කළ 88-90 ජ.වි.පෙ ම්ලේච්ඡත්වයද විස්තර කෙරෙන වාර්තාවකි.
බටලන්ද කොමිසම් වාර්තාවෙහි සඳහන් කෙරෙන රජයේ දේපළ වලට සිදු කරන ලද හානිය, රජයේ ආයතන ගිනිබත් කරනු ලැබීම, පුද්ගල ඝාතන කිසිවක් අභියෝග නොකළ හැක්කේ ලාල් කාන්තද කිසිදු අඩුවක් නැතිව ඒ සියල්ල ප්‍රසිද්ධියේ සනාථ කරනු ලබන හෙයින් ය.
එනිසා දැන් අප බටලන්ද රැගෙන යා යුත්තේ ජ.වි.පෙ නායකයෙකු වූ නන්දන ගුණතිලක ඉල්ලා සිටින, “මාත් ඒ සියල්ලට සම්බන්ධයි. ජ.වි.පෙ ඒ සියල්ලට වගකිව යුතුයි. ඒ නිසා අපවත් පරීක්ෂණ වලට ඇතුළු කරන්න” යන ඉල්ලීමට ය. රනිල් ඉලක්ක කරමින් මහා ගෝසා නැගුවත් පෙරටුගාමීන්ටද නන්දන ගුණතිලක කරන ඉල්ලීමෙන් ඉවත් වන්නට නොහැකිය. බටලන්ද ඒ සියල්ලන්ගේ කෙරුවාවන් කියන්නකි.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 මාර්තු 20



