The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : ආගම නොහොත් පීඩිතයාගේ සුසුම | මංජුල වෙඩිවර්ධන

T

The Leader Desk

March 21, 2025 • 2:26 PM

බල්සාක් කැෆේ : ආගම නොහොත් පීඩිතයාගේ සුසුම | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඔහු හැම නිතරම පන්සල් ගානේ එකෙළෙ මෙකෙළ වෙමින් සිටියද ඒ කියමන ඔහුට අදාළ වන්නේ නොවේ.
  • පන්සල ඔහුගේ අවසාන නවාතැන්පොළ විය නොහැකි බව ස්ථිරෝම කිව හැක්කේ ඔහු තක්කඩියකු නොවන බැවිනි.
  • මෙම දුර්භික්‍ෂයෙන් මිදීමට නම් වහා දළදාව ප්‍රදර්ශනය කළ යුතු බව සිංහලයෝ ඉංග්‍රීසි පාලකයන්ට පෙන්වා දුන්හ.
  • ඉංග්‍රීසින්, මිත්‍යාවක් ලෙස සලකා එය කනකට නොගත්තෙන් සිංහලයෝ කුසගින්නේ වුව උද්ඝෝෂණ සෙයියාවෙන් නැගී සිටින්නට වන් හ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් ඔහු හැම නිතරම පන්සල් ගානේ එකෙළෙ මෙකෙළ වෙමින්  සිටියද ඒ කියමන ඔහුට අදාළ වන්නේ නොවේ. පන්සල ඔහුගේ අවසාන නවාතැන්පොළ විය නොහැකි බව ස්ථිරෝම කිව හැක්කේ ඔහු තක්කඩියකු නොවන බැවිනි.

දහසකුත් පීඩිත දෙමළ මිනිසුන්ගේ මළමිනී කඳු ගැන කතා නොකර යුද්ධය අවසන් කළැයි යන්න පමණක් ඔජ වඩන සිංහල ජාතියේ මහා ගැලවුම්කාර මහරජාණ මහින්ද රාජපක්ෂ බලහත්කාරයෙන් යුද්දෙට දක්කාන ගියේ බල්ලෙකු නාවන්නට ගෙනයන්නා සේ යැයි ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ කියා ඇතුවාට, ජවිපෙ වත්මන් නායක ජනාධිපති අනුර කුමාර දිසානායක එසේ කියා නැත. එබැවින්, ඔහුට එක් පසෙකින්, මහරජාණන් ස්වකීය විශ්‍රාම මන්දිරයෙන් පලවා හරින්නට පිඹුරුපත් සැකසීම ද, අනෙක් පසින්, දෙමළ මාතාවක් වැළඳ ගැනීම ද ගිල්ටියකින් තොරව කළ හැක්කකි.

 

තක්කඩිකම වෙනුවෙන් බුද්ධාගම පාවිච්චි කරතැයි විශ්වාස කළ නොහැකි ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක දෙනම සහ දියවඩන නිලමවරයා එකඟතාව පළකිරීම නිසා දහසය වසරකට පසු එළඹෙන බක් මහේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා මේ වනවිට "රාජ්‍ය ආරක්ෂාව" තර වෙමින් පවතී.  


දළදා ප්‍රදර්ශන පුරාණයේ මහානුභාවය යටත් විජිත ඉතිහාසය තුළ තීව්‍රව නැගෙන්නේ ඉංග්‍රීසින් පවා සලිත කළ මහා වර්ෂාවකිනි. සිංහලයන්ගේ ආත්මය වන් දළදාව, ප්‍රදර්ශනයෙහි අත්හිටවූ ඉංග්‍රීසි පාලනය ආරම්භක නිල සමයේදී ම, මහා දුර්භික්‍ෂයක වෙළුණි. මෙම දුර්භික්‍ෂයෙන් මිදීමට නම් වහා දළදාව ප්‍රදර්ශනය කළ යුතු බව සිංහලයෝ ඉංග්‍රීසි පාලකයන්ට පෙන්වා දුන්හ. ඉංග්‍රීසින්, මිත්‍යාවක් ලෙස සලකා එය කනකට නොගත්තෙන් සිංහලයෝ කුසගින්නේ වුව උද්ඝෝෂණ සෙයියාවෙන් නැගී සිටින්නට වන් හ.


අවසන, ආණ්ඩුකාරවර එඩ්වඩ් බ්‍රාන්ස් දළදා ප්‍රදර්ශනයෙහිලා අනුමැතිය ලබාදුණි. ඒ 1828 මැයි 29 දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක දා ය. ශ්‍රී දන්ත ධාතුව එනමින් යුත් මැදුරෙන් මහමළුවට වඩම්මා, පෙරහර පණ ගැන්වීමත්  සමඟ මහා අසිනි වැසි වැටී මුළු නුවරම ජලයෙන් යටවූ ප්‍රාතිහාර්යය ගැන එකී විශ්මිත ප්‍රදර්ශන පුරාණයේ සඳහන්ය. දුර්භික්‍ෂයක් අවසන් කරන්නට තරම් වන බලගතු දළදාවේ මහිමය එයාකාරය.

 

President Anura Kumara Dissanayake Blessed with a Paritta String 1024x576

ගතව යන මොහොතේ ශ්‍රී ලාංකිකයා, කවරාකාර හෝ දුර්භික්ෂයකට මුහුණ පා නො සිටියත් දළදා ප්‍රදර්ශනයේ වැදගත් කම, "ආගම අබිං" යන මාක්ස් සංකල්පයේ ගැඹුර මැනවින්දත් අනුර කුමාර ජනාධිපතිවරයා හොඳින්ම දනී. එය පැහැදිලිවම තක්කඩිකමක් නොවූව ද, න්‍යායික ප්‍රවේශයක් නොවන්නේ නොවේ.

998 1

 

මගේ මෙම ලියවිල්ලට පදනම වැටී ඇත්තේ එකී නොකී තක්කඩි කතා නිසා නොවේ. ඒ වෙනත් කරුණු දෙකක් නිසාය. අවසන් වරට දළදා දැක්මක් සිදුකර තිබෙන්නේ 2009 වසරේදීය. පළමු කරුණ එයයි. දෙවැන්න, අනුර කුමාර ජනාධිපතිවරයා සහ දෙමළ මාතාවක ප්‍රහර්ෂයෙන් සිටින ඒ ප්‍රකට ඡායාරූපයයි. 2009 වසරේ යුද්ධයේ අවසානය එළඹෙමින් තිබියදී මා ලියූ කවියක් තිබේ. 'අවසාන කවිය' මැයෙනි. මා 2010 වසරේ පළ කළ "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" කෘතියේ අවසාන කවිය වන්නේ මෙම කවියයි.

 

NYT2009042609180059C


වසර දාසයක් පැරණි ඒ කවිය, වසර දාසයකට පසු එළැඹෙන දළදා ප්‍රදර්ශනය හා කිසිදු සම්බන්ධයක් නැත. එබැවින් ඒ කවිය 2009ට අදාල වුවත් ඉක්ම යන මේ මොහොතට කිසිදු අදාළකමක් තිබ්බ නොහැකිය. කවිය මෙබඳුය.

  Wediwardena Demala Kavi Book Cover- අවසාන කවිය -
‘‘කොටි පාලන ප‍්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප‍්‍රදේශයට’’
"විශේෂ දළදා ප‍්‍රදර්ශනය ඇරඹේ’’
 - එකම දින ප‍්‍රවඃත්ති දෙකක්-

එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට.

මැදින් පුරහඳ මැදින්
සිහ ධජය ළෙලදෙයි.
සඳින් වුව සැළෙන්නේ
රැස් නොවේ කෙසරයි.
හදින් හද සෙත් පිරිත් නිනද වෙයි.

එන්න බෝඩර් පැනගෙන දකුණට
ඒ නයින් මඟ විවරයි.

මිනිස් පළිහෙන් මෑත්වුණු මිනිසුනි දුටුවාද මුලතිව් වනයෙන් එතෙර පෙන්වන
සඳ කෙසර එළියේ
සඳ වුවත් දෙපලු කළ හැකි
සඳේ ළෙලදෙන අසිපත.

වනය පීරා එනවිට
අතේ පොඩිවෙන නියඟලා මල
අතින් පිසහැරලන්න.
පයේ හැපෙනා නියඟලා අල
අතින් අරගෙන එන්න.

වන්නියට වසන්තය ලබන විට
නුවර ගිම්හානයයි
වැසි නොඑයි.

එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට.

බුදුන් මුව වූ දන්ත ධාතුව
ඔබට සරණයි.
සඳේ ළෙලදෙන සිංහ දත් පෙළ
සිතට නිවනයි.

Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
mwediwardena@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...