The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බීර ලොරිය සහ කාල-ක්‍රියාව

T

The Leader Desk

March 23, 2025 • 7:08 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බීර ලොරිය සහ කාල-ක්‍රියාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනික් අතට මෑතකදී සමීක්ෂණයකින් කියැවුණු අන්දමට පුද්ගලයකුට මාසික ජීවන වියදම සඳහා රුපියල් 16334 ක් ප්‍රමාණවත්ය යන නිගමනය ද අවලංගු වීමට “කාල-ක්‍රියාව” බලපානු ඇත.
  • පරණ මිල ගණන්වලට බොන්නට ගියොත් අර ගාණ ඩබල් ට්‍රිබල් වනු ඇත.
  • කසිප්පුවලට යෙදුණු බොකු දිරා, සිමෙන්ති සුදිය, ඇති හිටියා, මිනී සුදිය, ගල් බමුණා ආදී නම්වලින් ඒවායේ කොලිටිය ද කියැවෙයි.
  • එය පැවැත්වුණේ සැප්තැම්බර් 31 දා මධ්‍යම රාත්‍රී 12.31 ට කොළඹ කනත්තේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනික් අතට මෑතකදී සමීක්ෂණයකින් කියැවුණු අන්දමට පුද්ගලයකුට මාසික ජීවන වියදම සඳහා රුපියල් 16334 ක් ප්‍රමාණවත්ය යන නිගමනය ද අවලංගු වීමට “කාල-ක්‍රියාව” බලපානු ඇත. පරණ මිල ගණන්වලට බොන්නට ගියොත් අර ගාණ ඩබල් ට්‍රිබල් වනු ඇත.

බීම හොඳ දෙයක් නොවේ. නරක දෙයක් ද නොවේ. සමහරුන්ට අනුව එය ආහාරයකි. බීමේ හොඳ-නරක තීරණය වන්නේ එය භාවිත කරන්නාගේ භාවිතය මෙන්ම පානය කරන වර්ගය ද අනුවය.

 

කසිප්පුවලට යෙදුණු බොකු දිරා, සිමෙන්ති සුදිය, ඇති හිටියා, මිනී සුදිය, ගල් බමුණා ආදී නම්වලින් ඒවායේ කොලිටිය ද කියැවෙයි.

කලකට පෙර චන්ද්‍ර අනගිරත්නයන් ‘රිවිරැස’ පත්‍රයට ලියූ නරලොව හොල්මන් නම් විකට ලිපි පෙළේ එක් ලිපියක සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ වෘත්තීය සමිතියේ වාර්ෂික සමුළුව පිළිබඳ විස්තරයක් ද පළවුණි. එය පැවැත්වුණේ සැප්තැම්බර් 31 දා මධ්‍යම රාත්‍රී 12.31 ට කොළඹ කනත්තේදීය. මුලසුන දැරුවේ බලුකිස්ථානයේ සිට පැමිණි කසිප්පු චක්‍රවර්තී ශ්‍රීමත් අගුවක් පාසා මහතාය.

එම කසිප්පු සමුළුවේදී කෙරුණු යෝජනා අතුරින් දෙක තුනකි මේ. (සංශෝධන සහිතයි)

 


1. කසිප්පු කර්මාන්තය, ජාතික කර්මාන්තයක් බවට පත් කළ යුතුය. රජයේ සුරා ඒකාධිකාරය නැති කර සුළු හා ගෘහ කර්මාන්තයක් වශයෙන් කරගෙන යාමට අනුමැතිය දිය යුතුය.

2. කසිප්පු පෙරීම, වෘත්තීය අධ්‍යයන පාඨමාලාවලට ඇතුළත් කළ යුතුය.

3. කසිප්පු නිෂ්පාදකයන් අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම වළකා ඔවුන්ගේ මානව හා වෘත්තීය අයිතිවාසිකම් රැකදිය යුතුය.

4. උසස් වර්ගයේ කසිප්පු හඳුන්වාදීම සඳහා පර්‌යේෂණාගාරයක් හා ප්‍රමිති කාර්යාංශයක් පිහිටුවාලිය යුතුය.


සමුළුව අවසානයේදී ජාතික කෂියා ගීතය, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ත්‍රෛයිභාෂාවන්ගෙන්ම ගායනා කෙරුණි.

 


කොරෝනා වසංගත සමයේ නිරෝධායන ඇඳිරිය ක්‍රියාත්මක වෙද්දී කසිප්පු කර්මාන්තයට උදා වූයේ සෞභාග්‍යමත් කාලයකි. කෙසේ වෙතත් කසිප්පු නිසා ආදිවාසී ගම්මානයක ඇතිවූ පවුල් අවුල් හා වෙනත් ගැටලුවට විසඳුමක් පතමින් ආදිවාසී කාන්තාවක මාරාන්තික උපවාසයක යෙදුණාය. උඩරට වතුකරය තුළ ද මෙම කසිප්පු අවුල් පවතින බව නොරහසකි.

නීතිවිරෝධී මත්පැන් නැතිකර දීමට නම්, නීත්‍යානුකූල මත්පැන් සුලභ කළ යුතුය (මිල අඩු කළ යුතුය) යනු තර්කයකි. එය එසේ නොවන තැන රුපියල් 16334 කින් මාසයක් ගත කිරීම ද අප්‍රායෝගීය.

පොහොසත් රටක පමණක් නොව දුප්පත් රටක මිනිසුන්ටද සතුටින් ජීවත්වීමේ අයිතිය සතුය. ඒ සඳහා ඔවුනට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරාගත හැකි විය යුතුය.

 

සේවාදායකවාදී රාජ්‍යය නැවත ජය ගනියි ද?- (මහාචාර්ය රොහාන් සමරජීව)
මෑතකදී මහ මග ගමන්ගත් බීර ලොරියක් අනතුරකට පත් විය. එහි ගිය ඇතැම් දෙනා බීර පෙට්ටි පිටින් ඔසවාගෙන යන අයුරු සමාජ ජාලයෙහි දක්නට ලැබුණි. මුදලට ගත නොහැකි දේ පිනට ලැබෙනවා නම් එය මගහරින්නේ කවුරුන්ද? දෙන දෙයියො දෙනකොට පෙට්ටි පිටින් දෙති. නැති එකාට බීරය. ඇති එකාට විස්කිය.

ධනවත් පුද්ගලයකුගේ නිවෙසට පැනගත් සොරෙක් එහි කෑම මේසය මත තිබූ රසවත් ආහාර පාන දැක හොඳින් කා බීම අසල සැටියක ඇලවුණේය. සාදයකට ගොස් සිටි ගෙහිමියා මහ රැයේ ආපසු ආවේ පදමට වැදිලාය. සැටියේ නිදා සිටි සොරා අවදි කළ ඔහු මෙසේ ඇසුවේය.

“ඕයි, තමුසෙ හොරකමේ ආවා නේද?”

“ඔව් සර්”

“ඉතින් මොකද බුදි?”

“මං හොරකම් කරන්නෙ බඩගින්නට. මේ ගෙදර තිබුණු කෑම බීමවලින් මං හොඳට බඩ පුරව ගත්තා. ඉතින් වෙන දේවල් හොරකම් කරන්නෙ මොකටද සර්.”

Cover 2 e1489661038386
ගෙහිමි ධනවතා මොහොතක් කල්පනා කළේය.

“මීට පස්සෙ තමුසෙට හොරකමේ යන්න හිතුණම මෙහෙට එනවා.”

බැලූ බැල්මට මෙය සිනා කතාවක් වුව, එහි ඇතුළත වෙන අරුතකි.

කන බොන හැටියෙන්ද, මිනිසා හා තිරිසනා අතර වෙනස හඳුනාගත හැකිය. එහෙත් සමහර මිනිසුන් “ජරාව” කන්නේ ඌරන් ද පරදවමිනි.

අනුන්ගේ බීර තමන්ගේ මෙන් ඔසවාගෙන යාම සමාජ මාධ්‍යයට අනුව ජරා වැඩකි. මම නම් පෙනෙන්නේ එය දුප්පත් රටක දුප්පත් මිනිසුන් පිළිබඳ ශෝකී සිද්ධියක් ලෙසිනි.

 



මිනිසුන්ට විනෝදය අවශ්‍යය.
සතුට අවශ්‍යය.

එහෙත් මේ රටේ ඒ සියල්ලට වඩා සුරා බද්ද අවශ්‍යය.
නිදහසේ ‘කාල-ක්‍රියා’ කිරීමටත් හරස් වන්නේ ඒ බද්දමය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජනතා අධිකරණයක් ළඟදීම(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...