The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැටළුව මෙදා සැරේවත් විසඳේ ද? | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

March 23, 2025 • 11:47 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැටළුව මෙදා සැරේවත් විසඳේ ද? | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිදු විශ්‍රාම වැටුපක් නොමැති තමන්ගේ එකම ආදායම් මාර්ගය වන ස්ථාවර තැන්පතු මත උපයන පොලිය 2022 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු යෝජනාවන්ට ලක්ව තිබූ අතර එය පවතින තත්වයන් යටතේ තවදුරටත් අසාධාරණ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔවුහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
  • ඔහු පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහන පොලී අනුපාත කපා හැරීම නිසා ඔවුන් අර්බුද රැසකට මුහුණ දී සිටින බවකි.”ඔවුන් අවශ්‍ය බෙහෙත් ටික ගත්තේ මේ මුදලින්.
  • ඔහු පැවසුවේ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වත්මන් තත්ත්වය යටතේ දැඩි අපහසුතාවට මුහුණ දෙන බවකි.
  • එහෙත්, එය ක්‍රියාත්මක නොවීම මත එය ඉකුත් ජනපතිවරණය ඉලක්ක කර ගත් ඇස් බැන්දුමක් ද යන සැකය ජනතාව අතරේ පැතිර ගිය අතර එය ද ඉකුත් ජනපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බල පෑ බව නොරහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


කිසිදු විශ්‍රාම වැටුපක් නොමැති තමන්ගේ එකම ආදායම් මාර්ගය වන ස්ථාවර තැන්පතු මත උපයන පොලිය 2022 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු යෝජනාවන්ට ලක්ව තිබූ අතර එය පවතින තත්වයන් යටතේ තවදුරටත් අසාධාරණ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔවුහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

රුපියල් මිලියන 10ට අඩු ස්ථාවර තැන්පතු හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පළමු රුපියල් මිලියන 1.5 ඉතිරි කිරීම් සඳහා 15%ක පොලී අනුපාතය නැවත ලබා දීම, බදු හිමියන් නොවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම, ඔසුසලෙන් ලබා දෙන විශේෂ ඖෂධ සහනාධාරය පෞද්ගලික ඔසුසල් සඳහා ද ව්‍යාප්ත කිරීම යන කරුණු කෙරෙහි ඔවුන් තම ලිපිය මඟින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඇත.

 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම කරුණ සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කොට තිබේ. ඔහු පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහන පොලී අනුපාත කපා හැරීම නිසා ඔවුන් අර්බුද රැසකට මුහුණ දී සිටින බවකි.”ඔවුන් අවශ්‍ය බෙහෙත් ටික ගත්තේ මේ මුදලින්. මං මේ කතා කරන්නේ අධි පොහොසතුන් ගැන නොවෙයි. මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගැන,” යනුවෙන් පැවසූ විපක්ෂ නායකයා තවදුරටත් ප්‍රශ්න කළේ, “තැන්පතු සඳහා අයකර ගන්නා රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය කොපමණද?” යන්නයි. ඔහු පැවසුවේ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වත්මන් තත්ත්වය යටතේ දැඩි අපහසුතාවට මුහුණ දෙන බවකි.

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ දෙනකු අද ගත කරන්නේ අතිශය දුෂ්කර ජීවිතයක්. යහපාලන ආණ්ඩුව පමණක් නොව බොහෝ රජයන් සියයට පහළොවක ප්‍රතිශතයක් දුන්නා. එය අවලංගු කළේ පසුගිය රජය සමයේදී. ලක්ෂ විස්සක තැන්පතු දක්වා මෙම පොලි අනුපාතය ක්‍රියාත්මක විය යුතුයි,” යනුවෙන් මෙහි දී විපක්ෂ නායක වරයා පවසා තිබේ.

 

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම වහා නැවත ඇරඹිය යුතු වැඩිහිටි අසරණ සරණ සේවාවකි |  ප්‍රණීත් අභයසුන්දර

මේ අතර අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02ක කාලයක් සඳහා ලබා දීම පිණිස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාව පසුගිය අගෝස්තුවේ; එනම් ජනපතිවරණය ආසන්නයේ දී එවක අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමත කළ බව මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණ.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ  එළිපත්තට ඇද දැමීම - (රේණුකා දමයන්ති)

 

එහෙත්, එය ක්‍රියාත්මක නොවීම මත එය ඉකුත් ජනපතිවරණය ඉලක්ක කර ගත් ඇස් බැන්දුමක් ද යන සැකය ජනතාව අතරේ පැතිර ගිය අතර එය ද ඉකුත් ජනපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බල පෑ බව නොරහසකි. එතෙක් රුපියල් ලක්ෂ දහයක උපරිම තැන්පතුවකට යටත් ව තිබූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුව රුපියල් ලක්ෂ පහලොව දක්වා ඉහළ නැංවීම 2017 මාර්තු පළමු වන දා සිට මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු යහ පාලන ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක වූ ඉන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අසීමිත සහනයක් අත් වූ බව නොරහසකි.

එහෙත්, එම ස්ථාවර තැන්පතු වල පොලිය සඳහා භාණ්ඩාගාරයට අති විශාල වියදමක් දැරීමට හේතු වීම මත 2022 වසරේ සැප්තැම්බර් 22 දා ගත් කැබිනට් තීරණයකට අනුව එම ගිනුම් අවලංගු කොට සාමාන්‍ය ස්ථාවර තැන්පතු බවට පත් කරවන ලදී.එමෙන්ම එම ක්‍රියා මාර්ගය එවක පැවැති ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත සිදු කරන ලද්දක් බව විපක්ෂ දේශපාලකයන් විසින් ජනතාවට ප්‍රකාශ කරන ලදී.

මේ අතර පසුගිය රජය වෙත කෙරුණු ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දීම සම්බන්ධ ඉල්ලිම් වල දී එය නැවත ක්‍රියාත්මක කළ හොත් රජයට වසරකට රුපියල් මිලියන 8000 ක් වැය කිරීමට සිදු වන බව එවක මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබිණ. ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වල බැංකු ගිණුම්වල පොලිය මුල් කොට එකම පුද්ගලයා ගිනුම් කිහිපයක් පවත්වා ගෙන යාම හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නම් වලින් අනෙකුත් පුද්ගලයන් ගිනුම් පවත්වාගෙන යාම ආදී අවභාවිතයන් සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බවකි.

ස්ථාවර තැන්පතු මතින් ජීවත්වන ජේෂ්ඨ පුරවැසියන් අනාතයි : බෙහෙත් ටික ගන්නවත්  නොලැබෙන හැඩයි !!

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට සියයට 15ක පොළියක් පසුගිය කාලයේ දී දීම හේතුවෙන් රජයට අති විශාල හිඟ මුදලක් ඒ වන විටත් ගෙවීමට සිදුව ඇති බැවින් මේ වන විට එම පොලිය සියයට දහසයේ සිට සියයට නවය දක්වා අඩුකර ඇති බව පැවැසූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා පවතින මුදල් ප්‍රවාහයන් අනුව මෙම ගැටලුව සඳහා විසඳුම් දීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පෙන්වා දුන්නේය.මේ අතර මාසික පොලිය ලක්ෂයකට වඩා අඩු පිරිසකගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කීය. නමුත් එය එවක ක්‍රියාවට ක්‍රියාවට නැංවූයේ නැත.

නමුදු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අත්පත් කර ගත් මෙම පොලී සහනය සම්බන්ධයෙන් අදහස් පළ කළ සමහරකු මෙය අර්ථ දක්වන ආකාරයක් ද විය.එනම් මෙය අප සමාජයේ මධ්‍යම පාන්තිකයන්ට පමණක් හිමි වන වරප්‍රසාදයක් බව ය. ස්ථාවර තැන්පතු වෙනුවෙන් යම් මුදලක් ආයෝජනය කිරීමට හැකියාවක් පැවතීමම මධ්‍යම පාන්තික භාවය විදහා දක්වන්නක් වශයෙන් ඔව්හු හැඳින්වූහ.

 

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !

නමුත් එහී සිදු වූයේ අනෙ`කකි.එනම් ඔවුන් සතු මේ හැකියාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා හිමිව තිබූ පොලිය අඩු කිරීමත් සමඟම බිඳ වැටීම සමඟ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර පිණිස පැමිණෙන වැඩිහිටි ජනගහණය ඉහළ යාම ය.ඒ බව මේ වන විට අනාවරණය වී තිබේ.එය මෙරට අඩු ආදායම් ලාභීන් මෙතෙක් භුක්ති විඳි සෞඛ්‍ය පහසුකම් අව ප්‍රමාණ වීමට ද හේතු වී තිබේ.ඒ අනුව ඇතැමුන් මධ්‍යම පාන්තික ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව ලෙස හඳුන්වන මෙම පිරිස වෙත ලබා දෙන මෙම මූල්‍ය සහනය එවන් විකල්ප මාර්ග ඔස්සේ සමාජයේ අඩු ආදායම් ලාභීන් වෙත ද වක්‍රාකාරයෙන් ලැබෙන බව නිසැක ය.

නමුත් මේ තත්වය යටතේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පසුගිය 20 දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ලබන ජූලි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි.


මෙය නියත ලෙසම එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහනශීලී පුවතක් වනු නියත ය.නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂ දහයට අඩු තැන්පතු සඳහා අමතර සියයට තුනක තැන්පතු පොලියක් ලබා දීමට අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති බවකි.

 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය ගන්න අවස්ථාව
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වරයා ගේ ප්‍රකාශයට අනුව, මෙම නව පොලී යෝජනා ක්‍රමය වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාළ වේ. එක් තැන්පත්කරුවකුට බැංකු කිහිපයක තැන්පතු තිබුණ ද උපරිම තැන්පතු මුදල ලක්ෂ දහයක් දක්වා පමණක් මෙම පහසුකම වලංගු වන බව ඔහු පැහැදිලි කළේය.

ඒ සම්බන්ධයෙන් අයවැය යෝජනාවේ මෙසේ සඳහන් වේ.

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජිත ය. මෙම යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා රුපියල් මිලියන 1 ක් දක්වා වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳ පොළේ පවතින පොලී අනුපාතවලට වඩා සියයට 3 ක වාර්ෂික අතිරේක පොලී අනුපාතයක් ලබාදීමට යෝජිත ය. මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3 ක අමතර පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීමට රජය යෝජනා කරන අතර මෙය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත.

ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් පණ පිටින් අපාගත කරවීමක් - (රේණුකා දමයන්ති)

 

”එහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “තැන්පත්කරුවන්ගේ මුදල් ලක්ෂ දහය නොඉක්මවන තාක් කල් බැංකු කිහිපයක වුවද මේ ස්ථාවර තැන්පතු විවෘත කළ හැකි” බවකි. මෙම විශේෂ යෝජනා ක්‍රමය වසරක කාලයක් ක්‍රියාත්මක වන අතර, ලැබෙන පොලිය මාසිකව ආපසු ලබා ගත යුතු බව ද ඔහු අවධාරණය කොට ඇත.ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රජයේ ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේ දී වට්ටම් ලබාගත හැකි බවයි.

ඔහු පැවසූ පරිදි,කාඩ්පත් භාවිතයෙන් ඖෂධ මිලදී ගන්නේ නම් සියයට තුනක වට්ටමක්ද, මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට පහක වට්ටමක්ද ලැබෙනු ඇත. ඒ අනුව ඉකුත් ජනපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලත් සුවිශිෂ්ට ජයග්‍රහණය හමුවේ එම භාරදූර සමාජමය වගකීම ඊට වඩා ප්‍රශස්ථ ලෙස ඉටු කිරීම වත්මන් ආණ්ඩුවේ සුවිශේෂ කාර්ය භාරයක් ව පවතී.ඒ අනුව එය ඉතා විධිමත්ව ඉටුවනු ඇතැයි අපි දු අපේක්ෂා කරමු.

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදා ද? - (රේණුකා  දමයන්ති)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

 

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...