The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආනන්දපුරම් : බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය | ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

March 24, 2025 • 6:03 AM

ආනන්දපුරම් : බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය | ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය.
  • කෝපි වැවිලි බෝගයක් ලෙසින් මුලින්ම හදුන්වා දුන් අතර පසුව එය තේ,රබර්,පොල්, සින්කෝනා දක්වා වර්ධනය කෙරිණි.
  • කුලී කරුවන් එහෙමත් නැත්නම් අර්ධ වහලුන් ලෙසින් මෙකි පිරිස් රැගෙන යන ගමන් මග කුරුණෑගල දිස්ත්‍රික්කය ඔස්සේ වැටී තිබේ.
  • ඒ අනුව හෙක්ටයාර් 250 කට වැඩි වපසරියකින් යුත් රබර් වතු පහකි.
අකුරු ප්‍රමාණය (Font Size):

1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක් පැවති වැඩවසම් සමාජය ටිකෙන් ටික ධනේශ්වර ක්‍රමයක් කරා පරිවර්තනය වන්නට වුයේ ඉන් පසුවය.  

කෝපි වැවිලි බෝගයක් ලෙසින් මුලින්ම හදුන්වා දුන් අතර පසුව එය තේ,රබර්,පොල්, සින්කෝනා  දක්වා වර්ධනය කෙරිණි. වගාවන්ට කම්කරුවන් රැගෙන ආවේ දකුණු ඉන්දියාවේ දරිද්‍රතාවෙන් පෙළුණු ගම්මානවලින්ය. එසේ රැගෙන එන ඔවුන් මුහුදු මගින් තලෛ මන්නාරමට පැමිණ ඉන් පසු මාධ්‍ය කඳුකරය දක්වා රැගෙන යන්නේ පා ගමනින්ය. දහසකුත් පීඩාවන්ට ලක්ව ගමනාන්තයන් කරා ලඟා වන විට බොහෝ දෙනෙක් රෝගී තත්වයන්ට ගොදුරුව මිය ගිය අවස්ථාවන් එමටය.

 

is 1
කුලී කරුවන් එහෙමත් නැත්නම් අර්ධ වහලුන් ලෙසින් මෙකි පිරිස් රැගෙන යන ගමන් මග කුරුණෑගල දිස්ත්‍රික්කය ඔස්සේ වැටී තිබේ. අද වන විට කෝෆි, තේ වැවිලි දිස්ත්‍රික්කයේ දක්කනට නැතත්, රබර් හා පොල් වගාව යහමින් පවතී.  ඒ අනුව හෙක්ටයාර් 250 කට වැඩි වපසරියකින් යුත් රබර් වතු පහකි. අවසන් වරට 2012 වසරේදී ජන සංඛ්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැත්වූ සංගණන වාර්තාවන්ට අනුව දිස්ත්‍රික්කයේ වෙසෙන මලෛයහ ජනගහනය 2594 කි. ඉන් 147 ක් නාගරිකවත්,1247 ක් ගම් වලත්, 1200 ක් වතු ආශ්‍රිතවත් දිවි ගෙවති.

කම්කරු සටනේ ඇරඹුම

is 10කුරුණෑගල දිස්ත්‍රික් ජනගහණය

කුරුණෑගල - දඹුල්ල  ඒ 6 මාර්ගයේ  ඉබ්බාගමුවෙන්  හැරී "රණවිරු ගම" පාර ඔස්සේ කිලෝ මීටර් තුනක් පමණ ගමන් කළ විට බතලේගොඩ රබර් වතු යාය දිස් වේ. බතලේගොඩ වැව ආසන්නේ පිහිටි නිසා වතු යායට එම නම ලැබී තිබේ. අක්කර 281 කින් යුත් මෙම වත්ත පවුල් දහයක් හරහා හිමිකාරිත්වය බෙදී යන්නකි. වසර 135 කට වැඩි කාලයක් සොච්චම් වැටුපකට කෙතරම් වැඩ කළද වත්තේ කම්කරුවන්ට ඔවුන්ටම කියා නිවසක් හෝ එක් බිම් අඟලක් හිමි නොවිණි. දුෂ්කර වැඩ කොන්දේසි හා දරිද්‍රතාවය ඔවුන්ව තව දුරටත් වත්තේ ලයින් කාමරයට කොටු කෙරිණි. අධ්‍යාපන,සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බතලේගොඩ ලයින් කාමරවල වෙසෙන කම්කරුවන්ට දැඩි පීඩාවක් ගෙන එන්නේ වැසි සමයේදීය. ඔවුන්ගේ වැසිකිළි ඉදිකොට ඇත්තේ ලයින් කාමරවලට මද දුරක් මෙපිටින් බැවින් රාත්‍රියේදී හා වැසි කාලයේදී ඒවා භාවිතය මහත් දුෂ්කරය.

is 9වැසිකිළි

 

වත්තෙන් කොටසක් පෞද්ගලික ආයෝජකයෙකු වෙත විකිණීමට හිමිකරුවන් සුදානම් වීමත් සමගින් 2023 මැයි මාසයේදී  කම්කරුවෝ බලහත්කාරයෙන් බිම් කැබලි අත්පත් කර ගත්හ. ඒ රබර් වගාව අත්හැරිමෙන්  වල් වැවී තිබුණු වත්තේ ඉඩම් කොටසකි. සෑම පවුලකටම පර්චස් 20 බැගින් සීමා මායිම් සටහන් කෙරිණි. මුල් කාලීනව පවුල් 300 ක් පමණ දිවි ගෙවුවද, වැඩ කප්පාදුව ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති කම හේතුවෙන් 200 කට වැඩි පවුල් ප්‍රමාණයක් බතලේගොඩ වත්ත හැර දමා ගියහ. අවසානයේ ඉතිරි වුයේ කිසිදු හව්හරණක් නොමැති පවුල් 28 ක් පමණි.ඉන් පවුල් 18 කට පමණක් වත්තේ වැඩ ලැබුණු අතර සෙසු කම්කරු පවුල් ලයින් කාමර වලින් පිටමං කිරීමේ ප්‍රයත්නය වතු හාම්පුතුන් විසින් අඛණ්ඩව දියත් කෙරිණි.

 

is 3

ඉඩම් ප්‍රශ්නය මුල් කරගනිමින් කම්කරුවන්ව වත්තෙන් දොට්ට දැමීමේ අරමුණින්, පොලිසිය කැඳවූ වතු හිමිකරුවෝ ස්ත්‍රියක්  ඇතුළු කම්කරුවන් හය දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගොනු කළේ ඓතිහාසික 1953 කම්කරු හර්තාලයට 70 වසක් සපිරෙන 2023 අගෝස්තු 12 වැනිදාය. ඒ වත්තට අයත් ඉඩමක් අයුතු ලෙස එළිපෙහෙළි කිරීම, වගාවන්ට හානි කිරීම වැනි චෝදනා එල්ල කරමින්ය. එම  ඉඩම් කොටසේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන අතුරු තහනම් නියෝගයක් පනවන්න යැයි ද බතලේගොඩ වතු හිමියෝ ඉල්ලා සිටියහ. එහෙත් මෙම අසාධාරණ ක්‍රියාවලියට එරෙහිවූ  ගොවි -කම්කරු හා ආන්තික සමාජ කොටස්වල ප්‍රශ්න කෙරෙහි මැදිහත්වීමේ ඉතිහාසයකට හිමිකම් කියන ඉබ්බාගමුව දේවසරණ සංවර්ධන කේන්ද්‍රය, මහනුවර සමාජ සංවර්ධන ආයතනය ඇතුළු කොළඹ  සිවිල් සමාජ සංවිධාන වල පෙනී සිටීම කම්කරුවන්ට මහත් අස්වැසිල්ලක් විණි.

පර්චස් 10 ක ඉඩම් උරුමය

is 5
අවසානයේ වත්ත විකිණීමට එරෙහිව සිවිල් සංවිධානවල මැදිහත් වීමෙන් කුරුණෑගල දිසා අධිකරණයේ නඩු මගට පිවිසි කම්කරුවන්ට ඔවුන්ගේ පවුල් 28 ක් වෙනුවෙන් පර්චස් 10 බැගින් ලබාදීමට වතු හිමියෝ එකඟ වුහ. ඒ දෙපාර්ශ්වය අතර 2024 ජුලි මාසයේදී අත්සන් තැබුණු ගිවිසුමක් අනුවය. වත්තේ හින්දු කෝවිල පිහිටා ඇති ඉඩම කම්කරුවන්ගේ ආගමික වතාවත් සඳහා ලබා දීමට වතු හාම්පුතුන් එකඟ වූ අතර කෝවිල් සභාවේ අනුමැතිය පරිදි ළමා, කාන්තා,තරුණ ක්‍රීඩා හා සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ද අවසර ලැබුණි.

වතු කම්කරුවන්ට ලබා දෙන පර්චස් 10 ක ඉඩම වෙනුවෙන් ස්ථිර ඔප්පු ලැබෙන අතර  මාස හයක් ඇතුලත එනම් 2025 ජනවාරි 23 වැනිදා වන විට කම්කරුවන් සිය ලයින් කාමර වලින් ඉවත් විය යුතුය. ඊට ප්‍රථම ලැබුණු ඉඩමේ තාවකාලිකව හෝ නිවසක් ඉදිකරගැනීමේ අභියෝගයට  ඔවුන් මුහුණ දෙන්නේ ඊට අවශ්‍ය මුදල් නොමැතිකමය.

 

is 2නව නිවාස

2024 අප්‍රියෙල් මස වන තෙක්ම බතලේගොඩ කම්කරුවන්ගේ දිනෙක වැටුප වුයේ රුපියල් 750කි. දේවසරණ සංවර්ධන කේන්ද්‍රය හා සමාජ සංවර්ධන ආයතනය ඇතුළු සිවිල් සවිධානයන්ගේ  මැදිහත්වීමෙන් කම්කරු දෙපාර්තමේන්තුව හරහා  ඔවුන්ගේ වැටුප රුපියල් දහස දක්වා හිඟ මුදල් ද සමගින් ලබාගැනීමට හැකි විය. ඒ අනුව සේවක භාරකාර අරමුදල් ද ක්‍රමවත් කර ගැනීමට ඔවූහු සමත් වූහ. එහෙත් නව නිවසක සිහිනය සැබෑ කරගන්නට එම මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවිණි.

ඉතාමත් පහල ආර්ථික මට්ටමක සිටිය ද, කම්කරු පවුල් 10 ක් තමන්ගේ උත්සහයෙන් නිවාස ඉදිකිරීමේ පදනම දමා ගැනීමට සමත් විය. එහෙත් ඉතිරි පවුල් 18 ට තාවකාලිකව විසීමටවත් ඉදිකිරීමක් කරගන්නට හැකියාවක් නොමැතිව අසරණ වුයේ  හිස් ඉඩම් කැබැල්ල පමණක් අතැතිවය.

iPEN-පැල්මෙරා සුසංයෝගී දායකත්වය

 

iPEN නියෝජිතයන් හා වතු කම්කරුවන්iPEN නියෝජිතයන් හා වතු කම්කරුවන්
නිවාස සිහිනයක සැබෑ කරගන්නට වෙර දැරූ බතලේගොඩ කම්කරුවෝ මෙතෙක් තමන්ගේ සහායට සිටී සිවිල් සංවිධාන වල පිහිට පතන්නට වුහ. විශේෂයෙන් මලෛයහ ජනයාගේ සුභාසාධනය වෙනුවෙන් මැදිහත් වන අංකුර සිවිල් සංවිධානයක් වූ  iPEN [Institute for People Engagement and Network] මේ කාර්යයට අත ගසන්නේ මේ අතර තුරය. එම සංවිධානයේ ඉල්ලීම මත අඩු ආදායම්ලාභී ජනයාගේ ජිවිත ඉහලට ඔසවා තබන්නට දායකත්වයක් ලබා දෙන ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් `පැල්මෙරා` ආයතනය  නිවාස  28 ක් ඉදිකිරීමට සිය මුල්‍ය දායකත්වය ලබා දෙන්නට තීරණය කිරීම බතලේගොඩ කම්කරුවන්ගේ තවත් ජයග්‍රහණයකි.

SANDAMALI SENEVIRATHNE සඳමාලි සෙනෙවිරත්නසඳමාලි සෙනෙවිරත්න"මේ නිවාස ව්‍යාපෘතියට සියයට සියයක්ම දායකත්වය දෙන්නේ 'පැල්මෙරා' ආයතනය. කම්කරුවන් එක්ක කතා බහ කරලා ඔවුන්ට අවශ්‍ය විදිහට තමයි මේ ගෙවල් හදන්නේ. ඒකට මැදිහත් වෙලා වැඩ කරන්නෙත් මේ බතලේගොඩ ජනයාම තමයි." යැයි  iPEN සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක සඳමාලි සෙනෙවිරත්න පවසන්නීය.

 

is 4is 6is 7
වතු හාම්පුතුන් හා කම්කරුවන් අතර වූ ගිවිසුම් ප්‍රකාරව මේ වන විට ඔවුන් සිය ලයින් කාමර වලින් ඉවත් විය යුතුය. එහෙත් නිවාස ඉදිකිරීම් තවමත් නිම කර නොමැත. ඒ ගැන අදහස් දක්වන iPEN මාධ්‍ය සම්බන්ධිකාරකවරිය; "කම්කරුවෝ දැන් තමන්ගේ ඉඩම් කැබැල්ලේ තාවකාලිව ඉදිකරගත්තු තැන් වල ඉදන් වැඩ කරගෙන යනවා. කොහොමත් අපි මාර්තු 31 වැනිදා වෙනකොට මේ පවුල් වලට ඔවුන්ගේ අලුත් නිවාස බාර දෙනවා."  

ලේ,කඳුළු, දහදිය කැප කරමින් රටේ ආර්ථිකය නංවාලීමට මලෛයහ ජනයා කෙතරම් වෙහෙස වුවද ඔවුන් බොහෝ සුභසාධන ක්‍රියාවලින් බැහැර කර ඇත. එමෙන්ම කිසිදු බිම් අඟලක අයිතිය පවා ඔවුන්ට අහිමිය. එහෙත් බතලේගොඩ කම්කරුවන් නිවෙසක, ඉඩම් කැබැල්ලක උරුමය දැන් හිමි කරගෙන තිබේ. ඒ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමෙන්ය.

JEEWARATHNAM SURESH ජිවරත්නම් සුරේෂ්ජිවරත්නම් සුරේෂ්

"පාරම්පරිකව මලෛයහ ජනතාව මුහුණ පා සිටී ලයින් කාමර දිවියට අවුරුදු 200ක් ඉක්මවුවද, පැවති රජයන් කිසිවෙක්ගේ අවධානය යොමු වුනේ නැහැ. බතලේගොඩ වත්තේ මිනිස්සුන්ගේ හිනයක්ව තිබුණු ලයින් කාමරයෙන් ස්ථිර වහලක් යට ට යාමේ සිහිනය සැබෑ කරන්නට පැල්මෙරා - iPEN සුසංයෝගය අවශ්‍ය සහාය දුන්නා. ඇත්තටම මෙය ඉඩම් හා නිවාස අයිතිය වෙනුවෙන් අඛණ්ඩ අරගලයක ඉන්න සමස්ත මලෛයහ ජනයාට ශක්තියක් වනවා නිසැකයි." යැයි  iPEN සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ජිවරත්නම් සුරේෂ් පැවසුවේ අපේක්‍ෂා සහගතවය.

is 8
බතලේගොඩ වතු හාම්පුතුන් හා කම්කරුවන් අතර ඇතිවූ ගිවිසුම ප්‍රකාරව මෙම නිවාස ව්‍යාපෘතියත් සමග බිහිවෙන නව ගම්මානය "ආනන්දපුරම්" ලෙස නම් තැබෙනු ඇත.

(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනී
ishanka.singhe@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආනන්දපුරම් : බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය | ඉෂංඛා සිංහආරච්චි | The Leader