මගේ ජීවිතයේ කෙදිනකවත් සජීවීව හමු නොවුනු නමුත් සජීවීව හඳුනන්නෙකුට වඩා හොඳින් මා කියවා ගෙන තිබූ, මහාචාර්ය ගනනාත් ඔබේසේකර ඔහුගේ දිගු දිවි ගමන අවසන් කළ පුවත, එය විය.
මා විශ්වාස කරන අයුරු, පසුගිය දසක හතරක පහක කාලයේ දකුණු ඉන්දීය හා ආසියානු බෞද්ධ රටවල සමාජ ව්‍යුහ හා ආගම් පරිනාම වූ ආකාරය සම්බන්ධ පර්යේෂණාත්මක ලිපි, නිබන්ධන හා කෘතීන් රචනා කළ බුද්ධිමය දැවැන්තයෙකු වූ ගනනාත් අපටද බෞද්ධාගම, කුලය, සිංහල සංස්කෘතිය හා යටත් විජිත පාලනය පිළිබඳව ඉතා වැදගත් ශාස්ත්‍රීය දැනුවත් කිරීම් කළ මානව විද්‍යාඥයෙකු විය.

ඔහු සමග සම කළ හැකි ප්‍රාඥයෙකු මේ සිංහල සමාජයේ මෙතෙක් බිහිව නැතැයි මා මෙහි සටහන්කර තබන්නේ මහාචාර්ය ගනනාත් ඔබේසේකර තම පරමාදර්ශී බුද්ධිමතා ලෙස තෝරා ගැනීමට තරම් ඔහු හඳුනා ගත් කිසිවකු පසුගිය කාලයේ විශ්ව විද්‍යාල තුල හෝ නොසිටියේ යැයි වන අනුමානය සමග ය.
තව කලෙකින් හෝ මහාචාර්ය ගනනාත් ඔබේසේකර සමග එක පෙළට සිටුවිය හැකි විනීත විද්වතුන් කිහිප දෙනෙකු හෝ මේ සමාජයේ බිහි වේවා යැයි ගනනාත් වෙනුවෙන් වන මගේ අවසන් පැතුම වන්නේය.
ගනනාත්ගේ “සිංහල-බෞද්ධයා”
ලාංකීය “බෞද්ධයා” මහාචාර්ය ගනනාත් ඔබේසේකර විසින් “සිංහල-බෞද්ධයා” යැයි ඉතා දැඩිව හඳුන්වන්නට වූයේ 1970 දසකයේ දෙවන භාගයේ පමණ සිට ය. මෙය භාවිතයට ආවේ ගනනාත් සහ රිචඩ් ගොම්බ්රිච් විසින් 1970 මුල් භාගයේ ආරම්භ කළ පර්යේෂණ අවසානයේ ඔවුන් දෙදෙනා විසින් රචනා කරනු ලැබූ “Buddhism Transformed: Religious change in Sri Lanka” (පරිවර්තනයවූ බුද්ධාගම ඃ ශ්‍රී ලංකාවේ ආගමික වෙනස්වීම) නම් කෘතිය සමගින් ය. ශ්‍රී ලංකාවේ බෞද්ධාගම පරිවර්තනය වූ අදියර තුනක් ඔවුහු හඳුනා ගත්හ. ඉතා දැඩි, හිතුවක්කාර බසකින් නමුත් පැහැදිලි විස්තරකතන හා සාක්ෂි සමග ඔවුන් පළමුව “සාම්ප්‍රදායික” නැතිනම් බුදුන්, සංඝයා හා පාලි ගාථා සමග වූ “ථෙරවාද” හෙවත් ශාස්ත්‍රීය බෞද්ධ පිළිපැදීමක් තිබිණැයි පිළිගත්හ. අනතුරුව ඔවුන් “ආත්මවාදී” බෞද්ධ ආගමක් හා පසුව “ප්‍රොතෙස්තන්ත” බුද්ධාගම යැයි අදියර දෙකක් ගැන සඳහන්කර ඇත.

“ආත්මවාදී” බෞද්ධ ආගම ලෙස සඳහන් කෙරුණේ අතිශය දීර්ග කාලයක සිට විශ්නු, නාථ, සමන්, කතරගම සහ පසුව පත්තිනි වැනි දේව වන්දනා සමග ග්‍රහ ලෝක හා යක්කු එකතු වූ, ලෞකික ජීවිතයේ අරමුණු වෙනුවෙන් බෞද්ධාගම භාවිත කෙරුණු ඇදහිලි ගොනුවකටය. එහි බෞද්ධාගමික විමුක්තිවාදයක් නොවුනි.
අනගාරික ධර්මපාල විසින් 19 වන සියවස අගදී ප්‍රචලිත කරන්නට වූ බෞද්ධාගම සඳහා “ප්‍රොතෙස්තන්ත” බුද්ධාගම යැයි වන හැඳින්වීම මහාචාර්ය ගනනාත් ඔබේසේකර 1970 දී පමණ යෙදූවකි. එය ආරම්භයේදී බැලූ බැල්මට යටත් විජිත පාලනයේ ක්‍රිස්තියානි ආගමික බලපෑමට අභියෝගයක් යැයි පෙණුනකි. එහෙත් එහි වැඩ ශෛලියේ හැඩය යම් පමණකට “ප්‍රොතෙස්තන්තවාදී” වැඩ ශෛලිය අනුකරණය කිරීමක් ලෙසද පෙණුනි. ගනනාත් ගේ නිරීක්ෂණයක් වූයේ, “ප්‍රොතෙස්තන්ත” බුද්ධාගම එකල නාගරික සිංහල මැදපංතිකයින් අතර වඩා ජනප්‍රිය වූවක් බවය. එය ඉහළ මැදපංතික “ප්‍රොතෙස්තන්තවාදී” ක්‍රිස්තියානි සංස්කෘතියෙහිද ලක්ෂණයක් විනැයි ඔහුගේ නිරීක්ෂණයක් විය.

පසුකාලීනව “ආත්මවාදී” බෞද්ධ ආගමෙහි ඇතිවූ වෙනස්කම් විසින් එය “ප්‍රොතෙස්තන්ත” බුද්ධාගම වැන්නක් යැයි කියනු ලැබිණ. එහෙත් එය වඩාත් සමීප වූයේ හින්දු ආගමෙහි වූ භක්තියාදරය සමග වන ආත්ම තෘප්තියට ය. විශේෂයෙන් බෝධි පූජා සමගින් එය දැකිය හැකි විය. සිංහල-බුද්ධාගමෙහි මෙම වෙනස්වීම් පුළුල් මනෝවිද්‍යාත්මක අර්ථ දැක්වීම් සමගින් විස්තර කරනු ලැබ ඇත. මෙම විශාල වෙනස්වීම් සඳහා හේතු වන්නේ ජනතා අපේක්ෂාවන් ඉටු කළ හැකි ආර්ථිකයක් නොවීම සහ ඉටු නොකළ හැකි අපේක්ෂාවන් සඳහා අවකාශ ලබා දෙන දේශපාලන ක්‍රමය යැයි ගනනාත් හා ගොම්බ්රිච් කරුණු දක්වා ඇත.
(මෙය Buddhism Transformed: Religious change in Sri Lanka කෘතිය ගැන 2005 මැයි මාසයේ The Island පුවත් පතට ප්‍රේමකුමාර ද සිල්වා විසින් ලියන ලද්දකින් උපුටා ගත්තකි)
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 මාර්තු 26