The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සකල රාජ්‍ය නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ගෙන් 'උගත මනා ශිල්පයමයි මතු රැකෙනා' | ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

March 28, 2025 • 7:53 AM

සකල රාජ්‍ය නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ගෙන් 'උගත මනා ශිල්පයමයි මතු රැකෙනා' | ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුට හිමි විය හැකි යම් සහනයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හිමි නොවෙයි.
  • නීතියට අවනත වීමට සියලූ පුරවැසියන් සෑම කල්හිම බැඳී සිටින මුත්, පොලිස් නිලධාරීහූ, නීතියට අවනත වීමට අමතරව, එසේ අවනත වන බවට සෑම ආකාරකින්ම සෙස්සන්ට ආදර්ශයක් වීමටත් බැඳී සිටිති.
  • ඒ මැර කණ්ඩායම එන පාරේ ඒ වෙලාවේ වෙනත් ගමනක් යමින් සිටි තවත් මිනිසුන් සිටින්නට ඇත.
  • එසේ නොවුණු බව, මැර කල්ලියේ අභිමතය පරිදිම මැර ප්‍රහාරය දියත් කිරීම මගින් පෙන්නුම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුට හිමි විය හැකි යම් සහනයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හිමි නොවෙයි. එසේ වන්නේ රාජ්‍ය නිලධාරියෙකු වීමට අමතරව ඔහු පොලිස් නිලධාරීන්ගෙත් ප්‍රධානියා වීම නිසා ය. නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ රාජකාරියයි. නීතියට අවනත වීමට සියලූ පුරවැසියන් සෑම කල්හිම බැඳී සිටින මුත්, පොලිස් නිලධාරීහූ, නීතියට අවනත වීමට අමතරව, එසේ අවනත වන බවට සෑම ආකාරකින්ම සෙස්සන්ට ආදර්ශයක් වීමටත් බැඳී සිටිති. පාරේ බීමතින් හැසිරෙන සාමාන්‍ය පුරවැසියෙකුට වඩා, එසේ හැසිරෙන පොලිස් නිලධාරියෙකු සමාජ ගර්හාවට ලක්වෙයි. හරියට, ඕනෑම වරදක් සම්බන්ධයෙන්, ගිහියෙකුට වඩා පැවිද්දෙකු පරිහාසයට ලක්වන්නා සේ ය.

 

දේශබන්දු තෙන්නකෝන්, අපරාධ ගණයේ ලා සැලකිය හැකි වැරදි ගණනාවක් කර තිබේ. ගෝල්ෆේස් අරගලයට පහරදීමට පැමිණි මැර කණ්ඩායම සමග කල්ලි ගැසී පැමිණිම ඉන් එකකි. 'කල්ලි ගැසී පැමිණිම' ලියන්නේ හිතාමතාමයි. ඒ මැර කණ්ඩායම එන පාරේ ඒ වෙලාවේ වෙනත් ගමනක් යමින් සිටි තවත් මිනිසුන් සිටින්නට ඇත. ඒ කිසිවෙකු, අර කල්ලියට වැටෙන්නේ නැත. එහෙත්, මේ කියන දේශබන්ධු තෙන්නකෝන් කොල්ලූපිටියේ සිට ගෝල්ෆේස් පිට්ටනිය දක්වා ආවේ, රාජපක්ෂලාගේ මැර කල්ලිය සමග බඩ බැඳගෙන ගමන් ගන්නා සටන් සගයෙකු මෙනි. ඒ මැරයන් සමග ඔහු එසේ ආවේ ඇයි? මැර ප්‍රහාරය නතර කිරීමටද? එසේ නොවුණු බව, මැර කල්ලියේ අභිමතය පරිදිම මැර ප්‍රහාරය දියත් කිරීම මගින් පෙන්නුම් කර තිබේ.

 

එවැනි නීති විරෝධී ක්‍රියාවක් නතර කිරීමට හැම හැකියාවක්ම සහ හැම බලයක්ම තිබියදීත්, ඒ කිසිවක් නොකර පැහැර හැරීම වූ කලී, එකී මැර කල්ලියේ සක්‍රීය සාමාජිකයෙකු බවට තමන් විසින් තමන්ව පත්කර ගැනීමකි. ඒ දේශබන්ධු තෙන්නකෝන් එදා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය.

ඒ කියන මොහොත දක්වා සාමකාමී අරගලයක් වූ ගෝල්ෆේස් විරෝධතාව, රට පුරා මොහොතකින් ඇළලී යන ලැව්ගින්නක් වන් හිංසාකාරී සහ විනාශකාරී ව්‍යාපාරයක් බවට එක රැයකින් පරිවර්තනය වන්නේ, දේශබන්ධු තෙන්නකෝන්ගේ පොලිස් ආරක්ෂාව යටතේ සිදු කළ එකී මැර ප්‍රහාරය හේතුවෙනි. එහිදී මියගිය පුද්ගලයන් ඇතුළු රට පුරා ඇති වූ සියලූ දේපළ විනාශයන්ට වගකිව යුතු ඉහළම නෛතික බලධාරියා දේශබන්ධු තෙන්නකෝන් ය.  

 

GCqv3wobEAACHO4
වැලිගම ප්‍රදේශයේ 'වික්‍රම ක්‍රියාන්විතයක්' දියත් කෙරුණි‚. එය සිදු වුණේ වැලිගම සංචාරක හෝටලයකට වෙඩි තැබීමෙනි. පාතාලයන් විසින් නොව, ශ්‍රී ලංකා පොලීසිය විසිනි. ඒ පොලිස් කණ්ඩායම කොළඹ සිට වැලිගමට පිටත් කර හරින ලද්දේ මේ දේශබන්ධු තෙන්නකෝන් විසිනි. එවැනි ප්‍රහාරයක් හෝටලය වෙත එල්ල කිරීමට හේතු විය හැක්කේ, අත්අඩංගුවට ගත යුතු යම් ත්‍රස්තවාදී කල්ලියක් හෝ භයානක අපරාධකරුවන් පිරිසක් ඒ හෝටලයේ සැඟවී සිටී නම් සහ ඔවුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙතොත්, එය මැඩලීම සඳහා ය. එහෙත් එවැනි කිසිවෙක් එහි නොවූහ.

කෙසේ වෙතත්, අපරාධය සිදු වීමෙන් පසුව එහි බරපතළකම සැඟවීමට පොලීසිය (එනම්, දේශබන්දු තෙන්නකෝන්) කියා සිටි හේතුවාචකය වුණේ, 'හරක් කටා' හෝ වෙනත් එවැනි පාතාල අපරාධකාරයෙකු ඒ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කිරීම සඳහා මෙකී පොලිස් කණ්ඩායම එහි පිටත් කර හැරිය බවයි. දීර්ඝකාලීන පොලිස් සේවයේ අත්දැකීම් සහ පළපුරුද්ද ඇති නිලධාරියෙකු එවැනි රාජකාරියක් සඳහා අනුගමනය කරන නෛතික ක්‍රමවේදය වන්නේ, කොළඹින් කණ්ඩායමක් පිටත් කර යැවීමට කලින් ඒ  බව අදාළ පොලිස් වාර්තා පොතක සටහන් කර තැබීමයි. එහෙත් එවැනි කිසිවක් සිදුව තිබුණේ නැත. එසේ නම් ඇයි මෙවැනි ප්‍රහාරයක්? හෝටල් හිමිකරුවා සමග ඇතිව තිබූ ව්‍යාපාරික කෝන්තරයක් පිරිමැසීම සඳහා ය! . එවැනි කොන්ත්‍රාත්තුවක් සාමාන්‍යයෙන් භාර කෙරෙන්නේ කුලී පාතාලකරුවන්ටයි. එහෙත් මෙහිදී, දේශබන්ධු තෙන්නකෝන් නමැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ම ඒ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත!.

WhatsApp Image 2024 01 05 at 3.18

DSC03668මියගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර මෙය, නීති විරෝධී මෙහෙයුමක් වන නිසාම, කල්තියා වැලිගම පොලීසිය දැනුවත් කිරීමට දේශබන්දු තෙන්නකෝන්ට පුළුවන්කමක් නොවුනි. ඉතිං සිදු වුණේ කුමක්ද? වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ ඒ ප්‍රදේශයේ ජංගම රාජකාරියේ යෙදී සිටි වැලිගම පොලිස් නිලධාරීන් පිරිසක්, මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් යැයි සලකා මෙම පිරිසට පෙරළා වෙඩි තැබීමයි. එය, එක පොලිස් කණ්ඩායමක් විසින් තවත් පොලිස් කණ්ඩායමකට වෙඩි තැබීමකි. කොළඹින් ගිය එක් පොලිස් සැරයන්වරයෙකු එකී වෙඩි තැබීමෙන් මියගියේය.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ සමස්ත සිද්ධිය ගොඩින් බේරාගැනීම සඳහා මියගිය නිලධාරියාට රුපියල් ලක්ෂ 40 ක වන්දියක් ගෙව්වේය. එහෙත්, ඒ නීති විරෝධී මෙහෙයුමට නායකත්වය දුන් දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිව, නෛතික හෝ ආයතනික මට්ටමේ කිසි පියවරක් ගත්තේ නැත. එපමණක් නොව, එවැනි පොලිස් පාතාලයෙකු, සියලූ සාරධර්ම පසෙක ලා, අදාළ නීති හිතේ හැටියට නවා, එම මේ රටේ පොලිස්පති තනතුරටත් පත්කෙළේය!.

 

h5656
දේශබන්ධු මේ සියලූ නොපනත්කම් කෙළේ, රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා දිගටම බලයේ සිටිනු ඇතැයිද, ඔවුන් වෙනුවෙන් තමන් කරන මෙවැනි අනීතික ක්‍රියා සඳහා ඔවුන්ගේ ආරක්ෂාව හැමදාමත් තමන්ට නොමදව ලැඛෙනු ඇතැයිද යන දැඩි විශ්වාසයෙන් විය යුතුය. එහෙත් ඔහුගේ අවාසනාවට ආණ්ඩු මාරු විය. යළිත් වරක්, නීතිය ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණි. මේ දේශබන්ධු තෙන්නකෝන්ගේ චරිතයේ අනිත් පැත්ත රටට දැකගැනීමට ලැඛෙන්නේ එහිදී ය. අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගය නිකුත් වීමටත් කලින්ම මොහු අතුරුදහන් විය. ඔහු ඉන්නා තැනක් සොයාගැනීමට ඔහුගේම පොලීසිය අසමත් විය. ඛෙල්ල ගියත් භාර නොවෙමි ය යන දැඩි අධිෂ්ඨානය මත ඔහු සිටින්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය. ඉහතින් කී, ඔහු කළ අපරාධ සියල්ල කේක්ගෙඩියක් නම්, එහි අයිසින් තට්ටුව අපට හමුවන්නේ මෙහිදී ය.

 

සාමාන්‍ය අපරාධකරුවෙකු ස්වේච්ඡාවෙන් නීතියට භාර වන අවස්ථා අනන්තවත් තිබේ. අපරාධය සඳහා තමන් භාවිත කළ අවියත් රැගෙන ගොස් පොලීසියට භාරවන අවස්ථාද තිබේ. එහෙත්, සංවිධානගත අපරාධකරුවෝ සහ බිහිසුණු පාතාලයෝ එසේ භාර නොවෙති. තමන් කරන ලද අපරාධයේ ප්‍රහර්ශය වඩාත් තීව්‍ර තලයක ඔවුන් එකදිගට පවත්වාගන්නේ, නීතියට හසු නොවී, පොලීසියට වෙට්ටු දමමින්, වැඩිම කාලයක් ගත කරන, 'වීරත්වයකට' ආසන්න එකී රහස්‍ය කල්ක්‍රියාව තුළිනි. අපේ පොලීසියේ ප්‍රධානියා වන දේශබන්දු තෙන්නකොන්, අධිකරණ වරෙන්තු තිබියදීත් නීතියෙන් කට්ටි පනිමින් සිටියේ, වෙළේ සුදා හෝ වෙනත් එවැනි පාතාල අපරාධකරුවෙකුගේ ක්‍රියාකලාපය තමන් විසින්මත් අනුකරණය කරමිනි. අඩුම වශයෙන්, තමන් අධිකරණයට ඉදිරිපත් නොවී සිටින දවසක් පාසා, තමන් විසින්ම අවමානයට සහ අපකීර්තියට පත්කෙරෙනු ලැඛෙන්නේ, දීර්ඝ කාලයක් තමා සේවය කළ සහ අවසානයේ තමා විසින්ම නායකත්වය දෙමින් සිටි එකී පොලීසියම බව සිතීමට තරම්වත් හැදියාවක්, දීර්ඝකාලීන ස්වකීය පොලිස් සේවය විසින් තමා තුළ රෝපණය කර නැති බව නොවේද ඔහු එයින් පෙන්වා සිටියේ?

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

 

නීතිය කඩකරන්නන් මැඩලීමේ රාජකාරිය පැවරී ඇති ආයතනයේ ප්‍රධානියා වශයෙන් අධිකරණ නියෝගයකට හිස නැමීම පැහැර හැරීම තරම් අනර්ථකාරි චර්යාවක් පොලිස් නිලධාරියෙකුට තවත් තිබිය නොහැකි බවක් ඔහුට නොහැඟුණේ ඇයි?  

අපරාධකරුවෙකු නීතිය මඟහරිමින් සිටීම අපට තේරුම්ගත හැකිය. අපේ පොලීසියේ ඈත අතීතය තුළත්, පොලිස් අත්අඩංගුවේ සිටියදී රහස් පොලීසියේ හතරවැනි තට්ටුවෙන් බිමට පැන ජීවිතය නැති කරගත්ඩ දොඩම්පෙ මුදලාලිලා සිටියහ. සැඟවූ ආයුධ ඇති තැන් පෙන්වීමට ගෙන ගොස් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වෙනත් අපරාධකරුවන් රාශියක් ගැන මෑතකාලීන දීර්ඝ ඉතිහාසයකුත් අපට තිබේ. ඒ  නිසා, යම් අපරාධකරුවෙකු හැකිතාක් පොලීසියට හසු නොවී සිටීමට උත්සාහ කිරීම අපට තේරුම්ගත හැකිය. එහෙත්, එවැනි තර්ජනයක් තමන්ට පැමිණෙතැයි ඈතින්වත් සිතිය නොහැකි දේශබන්දු තෙන්නකෝන් වැනි පොලීසියේ ප්‍රධානියාම, අර අපරාධකරුවන් ගිය මඟම යමින්, නීතියට සහ අධිකරණයට එතරම් කාලයක් කට්ටි පනිමින් සිටියේ ඇයි? නීතිය සහ අධිකරණය සහ පොලීසිය කෙරෙහි තමන් තුළ ඇති පාච්චල්සහගත ආකල්පය නිසාම ය!.  ඒ  ගැන ඔහුට වෙනම නඩුවක් පවරා දඬුවම් කළ යුතුව තිබේ.

 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

තවත් හේතුවක් ඒ පිටුපස තිබුණා වන්නටත් පිළිවන. එනම්, රජයේ අනුග්‍රහය සහිත යම් දහංගැටයක් මගින් මේ සිද්ධිය යටපත් කර ගැනීමේ විභවයක් පිළිබඳ විශ්වාසයකින් කටයුතු කළා වන්නටත් බැරි නැත. ඒ පිළිබඳ ඕනෑ තරම් අතීත අත්දැකීම් ඔහුට තිබේ. ඔහු පොලිස්පති තනතුරට පත්කිරීම 'ව්‍යවස්ථා සභාවෙන්'  අනුමත කෙරුණේ නැත. 'ව්‍යවස්ථා සභාව' යනු, මෙවැනි උසස් පත්වීම් සඳහා අනුමැතිය ලබාගත යුතු ස්වාධීන ආයතනයයි. එහෙත් ඒ  'ව්‍යවස්ථා සභාව' විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මේ තෙන්නකෝන්ට ප්‍රශ්නයක් වුණේ නැත. ඔහුගේ සහායට, එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, එදා කතානායක මහින්ද යාපා අබේවර්ධනත් සිටියහ. ඒ දෙන්නා එක් වී තෙන්නකෝන්ව පොලිස්පති තනතුරට ඔසවා තබන ලදි.

පොලිස්පති දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට කියන්න ලු !

 

දැන්, මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව, මොහුව පොලිස්පති තනතුරෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය, කොහොමත් සිදු විය යුත්තකි. එහෙත් ඒ ආයතනික ප්‍රශ්නයට එහා ගිය, ඊට වැඩි සමාජ සාධාරණත්වයක් අපේක්ෂා කෙරෙන තවත් ඉසව්වක් තිබේ. එනම්, ගෝල්ෆේස් අරගලයට කෙරුණු මැර ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම හෝ ඒ  ප්‍රහාරයට අනුබල දීමත්, වැලිගම හෝටලයේ 'වික්‍රමාන්විතයක්' කිරීමට ගොස් පොලිස් නිලධාරියෙකුගේ ජීවිතය බිල්ලට දීමත් පිළිබඳ සාපරාධී වගකීම පැවරෙන අධිකරණමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමයි.  

අවනත විය යුත්තේ නීතියේ බසට මිස දේශපාලනඥයන්ගේ බසට නොවන බව සෑම රාජ්‍ය නිලධාරියෙකුම හිතට ගත යුතු පාඩමයි. දේශපාලනඥයා සහායට සිටින්නේ, බලය ඇතිතාක් පමණි. එහෙත්, දේශපාලනඥයාගේ බලය මොන ලෙසකින්වත් ස්ථීර නැත. 69 ලක්ෂයක ඡන්දවලින් බලයට පත් ගෝඨාභය රාජපක්ෂට පවා බලයේ සිටීමට හැකි වුණේ වසර තුනකටත් අඩු කාලයකි. ඔහු වැට්ටූ අගාධයෙන් රට ගොඩගත්තේ යැයි පුරසාරම් දෙඩූ රනිල් වික්‍රමසිංහටත් ඊළඟ ඡන්දයෙන් අත්වුණේ තෙවැනි ස්ථානයයි. ඒ දෙපාර්ශ්වයටම කැඹුරූ දේශබන්දු තෙන්නකෝන් අද 'වෙල මැද තනියෙනි.'

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(සටහන | ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...