The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෙදරට අඳින ඇඳුම් පිටින් මඟුල් ගෙවල් වල යාම හෙවත් රටේ දේශපාලන භාවිතය ලොවට ඇඳා ගැනීම

T

The Leader Desk

March 28, 2025 • 10:31 AM

ගෙදරට අඳින ඇඳුම් පිටින් මඟුල් ගෙවල් වල යාම හෙවත් රටේ දේශපාලන භාවිතය ලොවට ඇඳා ගැනීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සම්බාධකවල අරමුණ සිවිල් යුද්ධය අතරතුර සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා වගවීම සෙවීම සහ දණ්ඩ මුක්තියේ සංස්කෘතියක් වැළැක්වීම බව ද පැවසෙයි.
  • ඉහත සඳහන් සිව් දෙනාට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වධහිංසා සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළුව බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් ලෙස නම් කරමිනි.
  • ඒ අනුව ඔවුන්ට එක්සත් රාජධානියේ සංචාරයන් සහ වත්කම් තහනම් කිරීම ආදිය සිදු වනු ඇත.
  • නමුත් ඒ සම්බාධක පැනවීම හා සම්බන්ධ නිර්නායක මොනවා දැයි නිශ්චිතව සඳහන් ව නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සම්බාධකවල අරමුණ සිවිල් යුද්ධය අතරතුර සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා වගවීම සෙවීම සහ දණ්ඩ මුක්තියේ සංස්කෘතියක් වැළැක්වීම බව ද පැවසෙයි.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ශ්‍රී ලංකා හමුදාවේ හිටපු අණදෙන නිලධාරී, ජගත් ජයසූරිය සහ පසුව ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් කටයුතු කොට පැරාමිලිටරි කරුණා කණ්ඩායම නිර්මාණය කර නායකත්වය දුන් බවක් පැවසෙන දෙමළ ඊලාම් විමුක්ති කොටි නම ත්‍රස්තවාදී කණ්ඩායමේ හිටපු හමුදා අංශ ප්‍රධානී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එම සිව් දෙනා ය .

 

dgr4t34

ඉහත සඳහන් සිව් දෙනාට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වධහිංසා සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළුව බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් ලෙස නම් කරමිනි. ඒ අනුව ඔවුන්ට එක්සත් රාජධානියේ සංචාරයන් සහ වත්කම් තහනම් කිරීම ආදිය සිදු වනු ඇත. නමුත් ඒ සම්බාධක පැනවීම හා සම්බන්ධ නිර්නායක මොනවා දැයි නිශ්චිතව සඳහන් ව නැත.

ඒ අතර ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුවේ සාමාජිකයෙකු ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දක්වමින් සහ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තාක්ෂණික සහාය ලබා දෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා එක්සත් රාජධානිය සහාය ලබා දී ඇති බවක් ඔවුන් ප්‍රකාශ ඇති අතර එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අධ්‍යාපන පද්ධති හරහා ද ඇතුළුව ශක්තිමත් සංස්කෘතික, ආර්ථික සහ ජනතාව අතර සබඳතා බෙදා ගන්නා බව ද සඳහන් කොට තිබේ.

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලබා දීම සඳහා ඉංග්‍රීසි භාෂා පුහුණුව සහ අන්තර්ජාතික අධ්‍යාපනය පිළිබඳ කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කොට තිබේ. ඉන් එක්සත් රාජධානිය අනියමින් පවසා ඇත්තේ ඉහත සඳහන් සුදුසුකම් ද පදනම් ව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට “ඇඟිලි ගැසීමට”තමන්ට අයිතියක් ඇති බවකි.

 

7f18475ccc98ed9636b09de9728b1a09 XL
නමුත් ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනුයේ එකී සම්බාධක එම රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බවත් එවැනි තීන්දු මගින් තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවත් ය.

ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් වෙත 26 දා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ ය.

kfj8575

“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවු දෙනකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහූ වෙති. “වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේයැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්” සම්බන්ධයෙන් ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් ඇත.

 

අදාල පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි.වෙනත් රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ. වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ”(උපුටා දැක්වීම අවසන්)

ඒ අතර එම සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කර තිබේ.

“අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බව සැලකිය යුතු ය. එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මම ය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවෝ එම තීරණය ක්‍රියාත්මක කළහ.”යනුවෙන් සඳහන් එහි මෙසේ ද දැක්වේ.

 

mahinda R

“දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේ ද ජීවිත නැති විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වෙන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බව ද අප මෙහි දී සිහිපත් කළ යුතු ය. එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි.

යුද්ධය අවසන්වී මාස කිහිපයකට පසු, තත්කාලීන යුද හමුදාපති වරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත්තේ ය. බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින් ද නිෂ්ප්‍රභා වේ. 2004දී කොටි සංවිධානයෙන් ඉවත් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම එල්ටීටීඊ විරෝධී දෙමළ ජාතිකයන්ට දඬුවම් කිරීම තුළින් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව පිනවීමට ගත් පියවරක් බව පැහැදිලිය.”(උපුටා දැක්වීම අවසන්)


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල් ජසීරා සමඟ මෑතකදී කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාව ද කිසියම් නිශ්චිත දේශපාලනික අරමුණක් පෙරදැරිව සිදු කළ එකක් බව එහි ප්‍රශ්න විචාරක බ්‍රිතාන්‍ය ඇමරිකානු සම්භවයක් සහිත මේදි හසන් හිටපු ජනපති වරයා අසීරුවට පත් කෙරෙන ආකාරයෙන් කළ ප්‍රශ්න විචාරීමෙන්ම පැහැදිලි වනු ඇත.

 

Ranil and Mehedi Hassan
අල් ජසීරා යනු එවැනි “නූල් සූත්තර” සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක් උසුලන නාලිකාවක් බව ද බොහෝ දෙනෙක් කියති. එහෙත්, එහි දී හිටපු ජනපති වරයා ගැමි වහරට අනුව කිවහොත් “ජාං බේරා ගත්” අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ යුද අපරාධ චෝදනා සෘජුවම ප්‍රතික්ෂේප කළ බවක් එහි දී මනාව නිරීක්ෂණය විය.

එහෙත් 1998 වසරේ නිකුත් කළ බටලන්ද ජනාධිපති කොමිෂන් වාර්තාව 2001 වසරේ පැවැති චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ එවක විපක්ෂ මන්ත්‍රී වරයකුව සිටි විජයපාල මෙන්ඩිස් විසින් සභා ගත කරන විට නිහඬව සිටි එම රජයේ හවුල්කාර පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන වත්මන් සභානායක බිමල් රත්නායක එය අලුතින් පහළ වූවක් සේ සළකා “වැලි කොස් ඇට භාවිතා කරන්නක් මෙන්” එය යළි කාලයේ වැලි තලාව අතුරින් මතු කොට පාර්ලිමේන්තුවේ සභාගත කොට තිබේ.

 

එමෙන්ම පසුගිය මාර්තු 07 ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ කරමින් ඔහු කියා සිටියේ ෆෙරාරි බලපත්‍රයක් ඇති හිටපු ජනාධිපතිවරයා අල් ජසිරා සම්මුඛ සාකච්ඡාවේදී අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බවයි. “අර ෆෙරාරි ලයිෂන් එකක් තියෙනවා කියපු එක්කෙනා අල් ජසීරා එකේ හැප්පිලා කුඩුපට්ටම් වෙලා. ඒකෙන් එතුමාගේ මොළයට සෑහෙන්න හානිවෙලා තියෙනවා. ඒ නිසා විකාර කියවනවා. ඒ නිසා එයාට අපි කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.” යනුවෙන් ඔහු එහි දී පවසනු අපි අසා සිටියෙමු.

මේ අතර ඔහු ගේ මෙවන් අපරිනත වාගාලාප සම්බන්ධ තවත් ආසන්නතම නිදසුනක් ද තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා  මාධ්‍ය වේදීන් හමුවේ පැවසීය. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් එම ගුවන් අනතුර ගුවන් නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවු බවට පසුගියදා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය බිමල් රත්නායක පැවසූ බවත් ගුවන් අනතුර සම්බන්ධයෙන් කමිටු වාර්තාව නිකුත් නොවී තිබිය දී එවැන්නක් ප්‍රකාශ කිරීම සුදුසු ද යන්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයා ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ය.

 

jet
එයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කර සිටියේ, ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව නිකුත් වී ඇති මුත් ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව තවමත් නිකුත් වී නොමැති බවත් අමාත්‍ය බිමල් රත්නායක එම ප්‍රකාශය කොට ඇත්තේ ගුවන් යානය සම්බන්ධ වාර්තාව පදනම් කර ගනිමින් පමණක් බවත් ය.

ඒ කෙසේ හෝ අදාල විෂය පථය භාර ඇමති වරයා ද නොවන බිමල් රත්නායක එම අනතුර සම්බන්ධ නිසි හැදෑරීමකින් තොරව හා අනවබෝධයෙන් අත්තනෝමතික ලෙස ගුවන් නියමුවන් වෙත වරද පැටවීම තුළ දේශපාලනය පසෙක තිබිය දී බරපතල සදාචාර අර්බුදයක් ද තිබේ. ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වනුයේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය බිමල් රත්නායක ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම සමාව ද ගත යුතු බවකි.

 



හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වරයා ගේ ප්‍රකාශයේ මෙසේ ද දැක්වෙයි.

“ගුවන් හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් විය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ය. ඒ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කරන ප්‍රකාශවල කිසිදු වැදගැම්මක් නැත.ඒ පිළිබඳව වග විය යුතු ප්‍රකාශය ආරක්ෂක අමාත්‍යංශය විසින් කළ යුතු වන්නේ ය. එසේම තමන්ට අදාළ නොවන වැඩකටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම සමාව ද ගත යුතු ය” (උපුටා දැක්වීම අවසන්).

අපට වැටහෙන අන්දමට තමන් පිට පැටවෙන්නට එන වරද කාගේ හෝ පිට පටවා නිදොස් වීමේ බාල දේශපාලන න්‍යාය බිමල් රත්නායක අමාත්‍ය වරයා මෙහි දී ද යොදා ගෙන තිබේ. එමෙන්ම ජාතික දේශපාලනය තුළ කරන වගකීම් විරහිත ප්‍රකාශයන් ජාත්‍යන්තරය සම්බන්ධයෙන් කිරීම ද ගෙදරට අඳින ඇඳුම පිටින් මඟුල් ගෙදරක යාමක් බව ඔහුට පෙන්වා දිය යුතු ය. ඒ අනුව ඔහු රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළ “එතුමා ගේ මොළයට සෑහෙන්න හානිවෙලා තියෙනවා. ඒ නිසා විකාර කියවනවා” යන වාගාලාපය නැවත ඔහු වෙත පාරා වළල්ලක් වීමේ පහසු හැකියාවක් තිබේ. ඒ “උන්නැහේට නම් එහෙම හානි වෙන්න හරි මොළයක් තිබිලා තියනවා. ඒත් අනේ ඉතින් ඔබ තුමාට?” යනාදී වශයෙනි.


(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...