The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාලිමාව සමග මාස හයක් | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 28, 2025 • 5:04 PM

මාලිමාව සමග මාස හයක් | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි.
  • බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත් කරගැනීම සඳහා ඉලක්ක කර තිබෙනවා.
  • වෙරිටෙ රිසර්ච් මගින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇති පරිදි අයවැයෙන් ඉලක්ක කරනු ලබන ආදායමෙන් 12%ක් විතර අඩුවෙන් තමයි හැමදාම ආදායම් ලැබෙන්නෙ.
  • එමගින් රුපියල් බිලියන 300ක පමණ ආදායමක් රජය බලාපොරොත්තු වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙනෙන්නෙ.

අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. ඒ සමගම රජයේ වැය බර වැඩි වෙනවා. ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීම බරපතල අභියෝගයක්.

බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත් කරගැනීම සඳහා ඉලක්ක කර තිබෙනවා. වෙරිටෙ රිසර්ච් මගින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇති පරිදි අයවැයෙන් ඉලක්ක කරනු ලබන ආදායමෙන් 12%ක් විතර අඩුවෙන් තමයි හැමදාම ආදායම් ලැබෙන්නෙ.


මේ සැරේ රජයේ ආදායම්වල ප්‍රධාන කොටසක් තමයි වාහන ආනයනයේදී අය කරන බදු. එමගින් රුපියල් බිලියන 300ක පමණ ආදායමක් රජය බලාපොරොත්තු වෙනවා. එහෙත්, ඒ ඉලක්කය කරා යන්නට අපහසු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. ඔහු පැවසූ පරිදි ඒ සඳහා මසකට වාහන 2000ක් පමණ ආනයනය කළ යුතුයි.


වාහන ආනයනය අඩු වුණොත්, බදු අඩු කරන බවක් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත පසුගියදා පැවසුවා. ඒ නිසා වාහන මිලදී ගන්නට ඉන්න අය කල් බලමින් සිටින බවත්, ඒ වුණත්, මේ අවුරුද්ද ඇතුළත වාහන ආනයන බදු අඩු නොකරන බවත් ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව පැවසුවා.

කෙසේ වෙතත්, ආණ්ඩුව දේශපාලන පෙරමුණ කෙරෙහි විශාල බරක් තබා ඇති බව පෙනෙනවා. පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන් පඩි වැඩි කිරීම, අලුත් අවුරුද්දට දිළිඳු ජනයාට බෙදන බඩු මල්ල, ධාතු ප්‍රදර්ශනය ආදී සියල්ල පාවිච්චි කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව පෙනෙනවා.

විපක්ෂයෙන් ආණ්ඩුව පැරදවීම සඳහා ලොකු උත්සාහයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.


මේ අතර, ආර්ථික පෙරමුණේ තිරසරභාවය ගොඩනගා ගන්නට නම්, ආණ්ඩුව අනිවාර්යයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. පසුබාමින් සිටි මෙම ප්‍රතිසංස්කරණවලට දැන් ආණ්ඩුව අත ගසා තිබෙන බව පෙනෙනවා. කජු සංස්ථාව, මහවැලි අධිකාරිය, ගාලු උරුම පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැනි ආයතන 12ක් විකුණා දමන්නට කැබිනට් අනු කමිටුවක් විසින් නිර්දේශ කර තිබෙනවා.


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය එක කළමනාකාරිත්වයක් යටතට ගෙන ආ යුතු බවට ද කැබිනට් මණ්ඩලය පත් කළ එම කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රීලන්කන් වැනි විශාල ණයබරක් සහිත පාඩු ලබන ආයතන හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයෝජනයට සාපේක්ෂව ආදායම ප්‍රමාණවත් නැති, එහෙත්, ඉල්ලුමක් සහිත ආයතන විකුණන්නට තවමත් ආණ්ඩුව තෙපර බානවා. ඒ වුණත්, ඔවුන් එය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.


පසුගිය හය මාසය තුළ ආණ්ඩුව කළ දේ අතරින් වැදගත්ම දෙය තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම. එමගින් රජයේ මුදල් සංසරණය වැඩි වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. මෙය සමාජයේ සෙසු තීරයන් අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වීමටත් හේතු වෙනවා. සමස්ථයක් විදියට ආර්ථික වර්ධනයට එය දායක වෙනවා.


එහෙත්, රජය මුහුණ දී සිටින ද්විත්ව අර්බුදයෙන් ගැලවෙන එක පහසු නැහැ. මේ ද්විත්ව අර්බුද තමයි, එක පැත්තකින් දේශීයව ගත් ණය ගෙවීම සඳහා රුපියල් ආදායම් ප්‍රමාණවත් නොවීම සහ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් ආදායම් මදි වීම.

ඒ සඳහා රටේ අපනයන වර්ධනය විය යුතුයි. කර්මාන්ත හා සේවා අංශවල වේගවත් සංවර්ධනයක් සිදු විය යුතුයි. ආයෝජකයන් වැදගත් වෙන්නෙ එතැනදියි. ආයෝජන ගලා ඒම දිරිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් ලංකාවට අදානි සමාගම හඳුන්වා දී තිබෙනවා. එහෙත්, මේ වන විට ආණ්ඩුව මන්නාරමේ සුළං බලාගාරය සම්බන්ධයෙන් අදානි සමාගම සමග බාල්දියක් පෙරළාගෙන. අදානි සුළං විදුලි ඒකකයක් අලෙවි කරන්නට ගිවිසගෙන ඇති ඩොලර් ශත 8.26 අඩු කරන්නැයි ආණ්ඩුව ඉල්ලා සිටියත්, ගිවිසගත් මුදල අඩු කරන්නට අදානි එකඟ නැහැ.


පසුගිය මාස හය තුළ ආණ්ඩුව කැපී පෙනෙන සංවර්ධනයක් සිදු කළේ නැහැ. ඒත්, ඔවුන් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ඉවහල් වන බොහෝ දේ කරමින් ඉන්නවා. ඉන් ප්‍රධාන දේ තමයි දේශපාලන නායකත්වයේ තිබෙන සකසුරුවම්කම. ඔවුන් දූෂණය හා නාස්තිය බොහෝ දුරට අඩු කර ඇති බව පෙන්වන්නට සමත් වී තිබෙනවා. එය මත පදනම් වෙලා පෙර සිටි පාලකයන්ට එරෙහි මතවාදය පෝෂණය කරන්නට ඔවුන් සමත් වී තිබෙනවා.


නව දේශපාලන සංස්කෘතිය තුළ, දේශපාලකයා වෙතින් අපේක්ෂා කරන සකසුරුවම්කම අතිශය වැදගත්. ජාතික ජන බලවේගයේ නායකත්වය එය දැඩිව අවධාරණය කරනවා. මෙය නව දේශපාලන සංස්කෘතියකට මුලපිරීමක්. හිටපු කතානායක අසෝක රන්වලගේ ව්‍යාජ ආචාර්ය උපාධි වංචාව හා ඇමතිවරයකු දූෂණ චෝදනාවලට වරදකරුවකු වී සේවයෙන් නෙරපන ලද අයෙකු බවට වාර්තා වීම වැනි සිදුවීම්වලින් නව දේශපාලන සංස්කෘතියට බරපතල හානි සිදු වී තිබෙනවා. එහෙත්, එමගින් පැරණි දේශපාලන සංස්කෘතිය පිළිගැනීමක් සිදුවන්නේ නැහැ.

මාලිමා ආණ්ඩුව පරාජය කරන්නට නම්, එකී අලුත් දේශපාලන සංස්කෘතිය වඩා හොඳින් අනුගමනය කරන විපක්ෂයක් අවශ්‍ය වේවි.

කෙසේ වෙතත්, මෙම නව දේශපාලන සංස්කෘතිය ආණ්ඩුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය වෙත කාන්දු වීම ඉක්මන් කළ යුතුයි. නැතිනම්, මහජනතාවට එයින් ප්‍රයෝජනයක් නැති වෙනවා. කොහොම වුණත්, පඩි වැඩි කිරීමත් සමග රජයේ සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නට බලකිරීමේ අවස්ථාවක් ආණ්ඩුවට ලැබෙනවා.

Ajith parakum jaya(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමාව සමග මාස හයක් | අජිත් පැරකුම් ජයසිංහ | The Leader