The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කච්චතිව්: සීමා නැති දූපතක මංගල රාත්‍රිය | ශබීර් මොහොමඩ්

T

The Leader Desk

March 31, 2025 • 7:46 AM

කච්චතිව්: සීමා නැති දූපතක මංගල රාත්‍රිය | ශබීර් මොහොමඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සරණාගත දිවියේ මතක අහුලන ඉන්දු- ලංකා අසල්වැසියෝ * ඉන්දියානු 'ආක්‍රමණ' ගැන සංවේදී කතාවක් * අරගලයෙන් මිදුණු ස්ටාලින් කච්චතිව් වෙරළේ!
  • දූපත පුරා වන්දනාකරුවන් 8,500ක් පමණ නවාතැන් ගත් අතර, ඔවුන්ගේ පැදුරු සහ කූඩාරම් වෙරළ තීරයේ විසිරී තිබුණි.
  • මෘදු මුහුදු සුළඟ, රිද්මයානුකූල රළ සහ ඉහළින් දීප්තිමත් පූර්ණ චන්ද්‍රයා අප සියලුම දෙනාගේ සිත් තුළ සන්සුන් වාතාවරණයක් ඇති කළේය.
  • ඒ තමිල්නාඩුවේ 27 හැවිරිදි ධීවරයෙකු වන කරුණාය.
අකුරු ප්‍රමාණය (Font Size):

* සරණාගත දිවියේ මතක අහුලන ඉන්දු- ලංකා අසල්වැසියෝ

* ඉන්දියානු 'ආක්‍රමණ' ගැන සංවේදී කතාවක්

* අරගලයෙන් මිදුණු ස්ටාලින් කච්චතිව් වෙරළේ!
 
kc29
 
ඉන්දියාවත්- ශ්‍රී ලංකාවත් අතර පිහිටි කව්චතිව් දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප වූ දේවස්ථානයෙහි වාර්ෂිකව පැවැත්වෙන දේව මංගල්‍යය, ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය බැතිමතුන් සාමූහිකව එක්වන සුවිශේෂ අවස්ථාවකි. දෙරට අතර සංස්කෘතික බැඳීම්, මිත්‍රත්වය හා සංහිඳියාව සංකේතවත් කරන මෙම උලෙළෙහි ඉතිහාසය සහ ඒ වටා ගොඩනැගුණු අපූරු සම්ප්‍රදායන් විස්තර කෙරෙන මෙම ලිපියෙහි පළමු කොටස පසුගිය සතියේ පළ විය.

මධ්‍යම රාත්‍රිය ළං වන විට, කච්චතිව්හි හාත්පසින් නැගුණු ඝෝෂාව ක්‍රමයෙන් සන්සුන්භාවය කරා සීරු මාරු වෙමින් තිබිණි. දූපත පුරා වන්දනාකරුවන් 8,500ක් පමණ නවාතැන් ගත් අතර, ඔවුන්ගේ පැදුරු සහ කූඩාරම් වෙරළ තීරයේ විසිරී තිබුණි. මෘදු මුහුදු සුළඟ, රිද්මයානුකූල රළ සහ ඉහළින් දීප්තිමත් පූර්ණ චන්ද්‍රයා අප සියලුම දෙනාගේ සිත් තුළ සන්සුන් වාතාවරණයක් ඇති කළේය. මෙම නිහඬ පරිසරයේදී, දකුණෙන් පැමිණි අමුත්තන් සහ මිත්‍රයන් කිහිප දෙනෙකුද අපට මුණගැසුණි.
 
5685huy8ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්
ඒ අතර සුවිශේෂී පුද්ගලයකු විය. ඔහුව නිරන්තරයෙන් කොළඹ උද්ඝෝෂණවල, වෘත්තීය අරගලවල සහ මාධ්‍ය සාකච්ඡාවල මුණගැසුණද මෙහි සිටියේ ඊට හාත්පසින්ම වෙනස්  මිනිසෙකි. අරගල හෝ ආවේගය දනවන කිසිවක් නොමැති සාමකාමී දූපතක මුහුදු වෙරළේ ඔහු සන්සුන්ව සුළං පහස විඳිමින් සිටිියේය. ඒ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ය. සිනහමුසුව අප දෙසට ඇවිද ආ ඔහු අපගේ කූඩාරම සැකැසීම සඳහා අපට උදව් කළේය. තමන් අවුරුදු පහක ළදරුවකුව සිටියදී ප්‍රථම වතාවට කච්චතිව් දූපතේ මංගල්‍යය සඳහා පැමිණි අයුරු ඔහු අප හා විස්තර කළේය.  
 
කච්චතිව් 4
කූඩාරම ඉදි කළ පසුව අප සියලුම දෙනා සුළු නින්දකට සූදානම් වුවද ගමන් වෙහෙස අභිභවා සිත අවදියෙන් තබන හැඟුම් සමුදායක් නින්ද පලවාහරිමින් තිබිණි. මොහොතකට පසු අපට තවත් ආගන්තුකයකු මුණගැසුණි. ඒ තමිල්නාඩුවේ 27 හැවිරිදි ධීවරයෙකු වන කරුණාය. ඔහු මා අසල නිදා සිටි පැදුර පිරිසිදු කරන විට, “ඔබ කොහෙන්ද” යනු සුපුරුදු ප්‍රශ්නයත් සමග අපගේ සංවාදය ආරම්භ විය. ඉන් පසුව අපේ කතාබහ ස්වභාවිකවම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ධීවර ආරාවුල් දෙසට යොමු විය. මඳ වේලාවකින්, බීබීසී තමිල්නාඩුවේ මාධ්‍යවේදියෙකු වන නටරාජන් ද අපගේ සාකච්ඡාවට සම්බන්ධ වූ අතර, එය ඔහුගේ තීක්ෂණ බුද්ධියෙන් පොහොසත් කළේය.
 
නිදි පැදුරේ දේශපාලන සංවාදය
 
කච්චතිව් 6
කරුණා තම පෞද්ගලික අත්දැකීම් බෙදා ගනිමින්, තම ප්‍රදේශයේ ධීවරයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව කතා කළේය. සැබැවින්ම, එය ඉන්දියානු ධීවරයන්ගේ පැත්තෙන් එම අර්බුදය ගැන අප ඇසූ පළමු අවස්ථාව විය.

"මම අවුරුදු 12 කට ආසන්න කාලයක් මුහුදු යනවා. අවංකවම කිව්වොත්, අපේ මුහුදු තීරයේ කිසිම මාළු සම්පතක් නෑ. අපි ලංකාවේ මුහුදු සීමාවට ආවොත් විතරයි අපිට මාළු හම්බවෙන්නෙ. අපි අල්ලන මාළු විකුණල තමයි අපේ පවුලෙ ළමයින්ගෙ බඩගින්න නිවන්නේ. විවිධ හේතු නිසා අපේ මුහුදු සම්පත විනාශ වෙලා තියෙනවා.”
 
එහෙත් ඇතැම් ධීවරයින් භාවිත කරන නීති විරෝධී පන්න ක්‍රම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළේය:
 
34756
"නීති විරෝධී ට්‍රෝලර් යාත්‍රා භාවිතා කිරීම වැරදියි; මම ඒක පිළිගන්නේ නෑ. හැබැයි අපි මාලු අල්ලන කොට දේශ සීමාව පහු කරාම අපිට වෙඩි තියෙන එක කොතරම් දුරට සාධාරණයිද? ලංකාවේ නාවික හමුදාව මාව දෙපාරක් අත්අඩංගුවට අරන් තියෙනවා. දෙවැනි පාර මට ගැහුවෙ ක්‍රිකට් බැට් එකකින්. එහෙම කරන එක හොඳයිද? මම නම් කියන්නෙ මේ හැමදේටම දේශපාලන විසඳුමක් අවශ්‍යයි; එහෙම නැත්නම්, මෙම ගැටලුව දිගටම හැමදාටමත් තියෙයි."
ඔවුන්ගේ ධීවර කටයුතුවල අනපේක්ෂිත ප්‍රතිවිපාක කරුණා ද පිළිගත්තේය:
 
කච්චතිව් 2
"අපේ විශාල ට්‍රෝලර් යාත්‍රා සමහර විට ශ්‍රී ලාංකික ධීවරයින්ගේ දැල්වලට හානි කරනවා. ඒක හිතාමතා කරනවා නෙවෙයි. එහෙම වුණ සමහර අවස්ථාවල දී, අපි ඒගොල්ලන්ට අලුතින් දැල් අරන්දීල තියෙනවා. ඔයාලට පේන කාරණාවට වඩා ගැඹුරු මුහුදේ ගැටලු සංකීර්ණයි."

අපගේ සංවාදයට එකතු වූ මාධ්‍යවේදී නටරාජන් ආරවුලේ සමාජ-දේශපාලනික මානයන් ඉස්මතු කළේය:
 
"තමිල්නාඩුවේ, බොහෝ ට්‍රෝලර් බෝට්ටු හිමිකරුවන් දේශපාලනඥයෝ. සැබැවින්ම ශ්‍රී ලාංකික ධීවරයින් මේ ප්‍රශ්නවලින් පීඩා විඳිනව වගේම, කරුණා කියපු විදියට ඉන්දියානු ධීවරයින්ගේ ජීවනෝපායත් තියෙන්නෙ ගැටලුවක. දෙපාර්ශ්වයෙන්ම මේ ගැටලුව මානුෂීය විදියට බලන්න ඕන. මේකට තිරසාර දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍යයි."
කච්චතිව් 1
 
අපගේ සාකච්ඡාව ඉන්දියානු සහ ශ්‍රී ලාංකික යන දෙපාර්ශ්වයේම අවට සිටින අනෙකුත් ධීවරයින්ගේ අවධානයට ලක් වූ අතර, ඔවුන් සියලුම දෙනා ඉතාමත් අවධානයෙන් අපට සවන් දුන්නේය. දෙරටේම ධීවර ආරවුලේ සංකීර්ණතා ඓතිහාසික, ආර්ථික සහ දේශපාලන සන්දර්භයන් තුළ ගැඹුරින් මුල් බැස තිබේ. 1974 දී කච්චතිව් ශ්‍රී ලංකාවට පවරා දීම, ඉන්දියානු ධීවරයින් මුහුණ දෙන අභියෝග උග්‍ර කළ බවත්, ඉන්දියානු මුහුදේ අධික ලෙස මසුන් ඇල්ලීම සහ සමුද්‍ර සම්පත් ක්ෂය වීම ධීවරයින් ශ්‍රී ලංකා ප්‍රදේශවලට ඇතුළු වීමට පෙළඹී ඇති අතර එය නිතර ගැටුම් වලට තුඩු දී ඇති බවත් නටරාජන්ගේ අදහසයි.
 
සාගර විද්‍යාඥයින්ට අනුව, ඉන්දියානු ධීවරයින්ට නිරන්තරයෙන් චෝදනා එල්ල වන, මුහුදු පතුල ට්‍රෝලර් කිරීම මගින් සැලකිය යුතු පාරිසරික හානියක් සිදු කරන අතර ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපායන්ට එය සෘජුවම බලපායි.
අහම්බෙන් මුණගැසුණු මිතුරෝ
 
අන්තෝනි සහ ජයකොඩි jpegඅන්තෝනි සහ ජයකොඩි
ඒ අතර නඩරාජ්, දූපතේදී ඔහු දුටු ලස්සන කතාවක් අප සමග පැවසුවේය.  

“ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයකු වන අන්තෝනි අවුරුදු තුනකට කලින් ධීවර රස්සාවට මුහුදු ගිය අවස්ථාවක කච්චතිවු මුහුදේ අතරමං වෙනවා. ඒ වෙලාවෙ ඔහුට උදව් කරන්නේ ශ්‍රී ලංකාවේ ධීවරයකු වන ජයකොඩි. එදායින් පස්සෙ ඔවුන්ට ආයෙ හම්බවෙන්න ලැබිල නෑ. එත් මෙවර කච්චතිව් මංගල්ලෙදි අහම්බෙන් ඒගොල්ලො මුණගැහුණා. ඒ දෙන්නගෙ අපූරු හමුවීම මම දැක්කා. අන්තෝනි තමයි මුලින්ම ජෙයකොඩි දැකල අඳුනගන්නේ."

අන්තෝනි නඩරාජ් සමග සිය අත්දැකීම මෙලෙස විස්තර කර තිබේ.
 
“මං දුරදි එයාව දකිනකොට, මටවත් විශ්වාසයක් තිබ්බ නෑ මේ එයාමද කියලා. ඒත් ළඟට ඇවිල්ල ඇහුවා. මේ අන්තෝනි දේවාලයේ දෙවියන්ගේ ඉස්සරහ අපි ආයෙ මුණ ගැහෙනවා කියලා කොහේ හරි ලියවිලා තියෙන්න ඇති. මට හරිම සතුටුයි. අපිව බලන්න බල්ලෙක්වත් හිටියේ නෑ. මෙයා තමයි සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා කෑම දීලා, දුරකථනය පහසුකම් දීල අපිව බේරගත්තේ. මං පොලිසියේ ඉන්නකොට මගේ පවුලේ අයට විස්තර දීල ගොඩක් උදව් කළා.”
kc6
 
එමෙන්ම ශ්‍රී ලාංකික ධීවර ජයකොඩිද, තම අත්දැකීම නඩරාජ් සමග පැවසුවේය.

“ඉන්දියාවේ මගේ ධීවර යාළුවෙක් මට කෝල් එකක් දෙනවා, මෙහෙම අපේ බෝට්ටුවක් කැඩිලා අතරමං වෙලා කියලා. ඉතින් මං ඒක හොයාගෙන ගියා. තොරතුර කියපු යාළුවා හෝ හොයාගෙන යන මම තැන කොහෙද කියලා දන්නෙ නෑ. එතකොට තමයි කච්චතිව් ආසන්නයේ මම බෝට් එක දකින්නේ. ඊට පස්සේ ඔහුව මං අරගෙන ඇවිල්ලා ශ්‍රී ලංකාවේ පොලිසියේ සහය ඇතිව ආරක්ෂාකාරීව ඉන්දියාවට යැව්වා. එතකොට අපි හිතා ගත්තා, හැම අවුරුද්දකම කච්චතිව් දූපතේ පැවැත්වෙන මංගල්‍යයේදී අපි මුණ ගැහෙනවා කියලා. නමුත් ටික දවසකින් එයාගේ විස්තර නැතිවෙලා, සම්බන්ධ කරගන්න බැරිවුණා. එහෙම ඉන්නකොට තමයි අද අහම්බෙන් මට එයාව මුණ ගැහෙන්නේ”

ඔවුන්ගේ මිතුදමේ අනාගත සැලසුම් ගැනද නඩරාජ් සාක්ෂිකරුවෙකි.
 
කච්චතිව් 8
“අවසානයට ඔවුන් දෙන්නම කතා වුණේ, ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන් අපි ආයෙමත් මේ දූපතේදි මුණගැහෙනවා, දෙන්නම තම තමන්ට කැමති දේවල් තම තමන්ගේ රටවල් වලින් අරන් ඇවිත් බෙදාගන්නවා,  ඊළඟ පාර පවුලේ අයත් එක්කගෙන එනවා, අපේ මිත්‍රකමට සලකුණක් විදිහට මේ දූපතයි ශාන්ත අන්තෝනි මුනිතුමයි හැමදාමත් ඉන්නවා කියලයි.”
මෙම කතාව සම්පූර්ණයෙන්ම නඩරාජ් විසින් රූගත කර, ඔහු සේවය කරන DW නම් ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවේ දෙමළ බසින් පළකර තිබුණි. එමෙන්ම ඔහු පැවසූ දකුණු ඉන්දියානු ධීවරයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා එය වාර්තා කිරීමට දකුණු ඉන්දියාවට පැමිණෙන ලෙසද ඔහු අපට සාදරයෙන් ඇරයුම් කළේය.  

නැවත එක්වීමේ ක්ෂේමභූමිය
 
කච්චතිව් 5
කච්චතිව් අහසේ ඈත කොනක පෙනුණු ආලෝකය ඔස්සේ ගිය විට, අවතැන් වීම, ඔරොත්තු දීමේ හැකියාව සහ ආගන්තුකයන්ගේ කරුණාවෙන් ජීවිත හැඩගස්වා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු අපට හමු විය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පලාගොස් වසර ගණනාවකට පසු නව ආරම්භයක් සොයමින් ආපසු පැමිණි අය අතර ඔවුන් ද වූහ.

“අපි සරණාගතයින් විදියට තමිල්නාඩුවට පලාගිය වෙලාවේ, ඉන්දියාවෙ මිනිස්සු තමයි අපට රැකවරණය ලබා දීලා අපට උදව් කළේ,” ඔවුන්ගෙන් කෙනෙකු අතීතය සිහිපත් කළේය.
 
“දශකයකට වැඩි කාලයක්, අපි සරණාගතයින් විදියට ඉන්දියාවේ ජීවත් වුණා, අපේ දුෂ්කරම කාලවලදී අප සමඟ සිටි අය එක්ක ගැඹුරු මිත්‍රත්වයක් ගොඩනැගුණා. ඒක වචන වලින් කියන්න අමාරුයි. යුද්ධය අවසන් වුණාට පස්සෙ, අපි ශ්‍රී ලංකාවේ නැවත පදිංචියට ආව නිසා, ඒ මිත්‍රයන්ව කවදාවත් ආයේ බලන්න බැරි වුණා. වියදම් කරගෙන ඉන්දියාවට ගිහිල්ල බලල එන්න තරම් අපි පොහොසත් නෑ. නමුත් හැම අවුරුද්දකම මේ උත්සවය තමයි අපට ඔවුන්ව නැවත මුණගස්වන්නේ. හැම අවුරුද්දකමින් අපි මෙහේදි මුණගැහිලා කෑම ජාති තෑගි සහ රසවත් අතීත මතකයන් හුවමාරු කරගන්නවා. ඒක අපේ ජීවිතේ හරි ලස්සන මොහොතක්...”
කච්චතිව් 3
 
ශාන්ත අන්තෝනි දේවස්ථානය වටා, එවැනි හෘදයාංගම නැවත හමුවීම් දිග හැරුණේ මංගල්‍යයේ ආගමික අරුතට තවත් බොහෝ මානුෂීය අරුත් එක් කරමිනි. වසර ගණනාවකට පසු හමුවන මිනිසුන්ගේ වැලඳගැනීම්, අතීතාවර්ජනයන් මෙන්ම අලුත් මිත්‍රත්වයන්ට මුල පිරීම්ද සහිත එම භූමිය දේශසීමා, කාලය සහ ඛේදවාචක අමතක කරවන ක්ෂේම භූමියක් විය.

කච්චතිව්, එහි ජනතාවගේ කතාව සහ මෙම ආගමික මංගල්‍යය, පල්ලිය කැප කර ඇති පාදුවාවේ ශාන්ත අන්තෝනි සාන්තුවරයාගේ ජීවිතය හා පරිත්‍යාගය පිළිබිඹු කරයි. අසීමිත දයානුකම්පාව සහ පරාර්ථකාමී ප්‍රේමය සඳහා ප්‍රසිද්ධ ශාන්ත අන්තෝනි, අන් අයට සේවය කිරීමට සියල්ල ලබා දුන්නේය, අහිමි වූවන්ට නවාතැන් සහ බිඳුණු අයට බලාපොරොත්තුව ලබා දුන්නේය. මෙම වන්දනාකරුවන්ගේ ගමන මෙන් ඔහුගේ ජීවිතයද පරිත්‍යාගශීලී, දුෂ්කරතා හමුවේ ඇදහිල්ල සොයා ගැනීමේ සහ කිසිවක් අපේක්ෂා නොකර පරිත්‍යාග කිරීමේ ගමනකි.

සමුගැනීමේ හෝරාව
 
756
කච්චතිව්හි අපේ දිගු සංවාදශීලී මංගල රාත්‍රිය, පසුදා හිමිදිරියට ඇති කාල පරාසය පටු කළේය. දූපත්වාසීහු අලුයම තුනහමාර හතර වන විට අවදිවීමට පටන්ගත්තේ, නව ලෝකයක නව සම්ප්‍රදායකට අනුගත වූවාක් මෙනි. මුහුණකට සේදීම හා ශරීරකෘත්‍ය වෙනුවෙන් පහසුකම් සලසා තිබූ පෙදෙස හිරු උදාවට පෙර සිටම ජනාකීර්ණ විය. එහෙත් ඒ සැම තැනකම තිබුණේ පුදුමාකාර ඉවසීමකි, සහයෝගයකි. දේශ, ජාති, ලිංග ආදී කිසිදු බේදයකින් තොරව හැමෝම එකිනෙකාට උපකාර කර ගනිති. නිතර අප අත්දකින, තමන්ට අවස්ථාව ලබා ගැනීමේ පොරය වෙනුවට එහි වූයේ අනෙකාට පළමුව අවස්ථාව දීමේ තරගයකි. ඇතැම් විටක කරදරයක් වන තරමට අන්‍යයන්ගේ අවස්ථා පිරිනැමීම්ය. කෙටි රැයක්, එකිනෙකාට සමීප දුරක නිදා සිටි මිනිසුන් සමූහයක් හිමිදිරියේ අවදි වන විට මෙතරම් සහෝදරත්වයකින් බැඳී සිටීම කවර නම් අසිරියක්ද?
kc31
 
උදෑසන දේවමෙහෙය ආරම්භ වීමට තිබුණේ පෙරවරු 6.00ටය. ඊට පෙර  ඇතැම්හු සීතල මුහුදු වතුරේ ගිලී නාති. තවත් පසෙකින් නාවික හමුදාව බැතිමතුන් සඳහා උදෑසන ආහාරය ලබා දෙමින් සිටියේය. කෙටි වේලාවක් හෝ බැතිමතුන් නිදා ගත්තද, නාවික හමුදාව රාත්‍රිය පුරා සිටියේ අවදියෙනි.

කච්චතිව් මංගල්‍යය සඳහා මා ගියේ, මගේ උපවාස සමයේදීය. අන්‍යාගමික බැතිමතුන්ගේ මංගල්‍යයක අසිරි දකිමින්, ඔවුන්ගේ සහෝදරත්වය අත්විඳිමින් උපවාසයෙහි යෙදීම හා යාඥාවේ නිරත වීම මට අපූර්ව අත්දැකීමක් විය.

සමුගැනීමේ මොහොත ක්‍රමයෙන් එළැඹෙන විට, දූපත යළි කාර්යබහුල වෙමින් පැවතිණි. බැතිමතුන් සඳහා සියලුම ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව විසින් සූදානම් කර තිබුණි. අවුරුද්දේ එක් රාත්‍රියක් පමණක් මුණගැසෙන ආගන්තුකයින් තමන්ගේ මිත්‍රයන් සමඟ තමන් ගෙන ආ භාණ්ඩද හුවමාරු කරගනිමින් ආදරයෙන් වැලඳගෙන වෙන්වන අයුරු, හාත්පසින්ම දක්නට ලැබුණු සංවේදී දසුනයි. බෝට්ටුවෙන් යළි යාපනය බලා යාත්‍රා කළ පැය හයක කාලය පුරාම ඒ අසිරිමත් දූපතේදී ලැබුණු අත්දැකීම් පිළිබඳ මතකයන්, සිනමා පටයක් සේ යළි යළිත් මනසෙහි දර්ශනය විය.
 
kc34
ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ උරුමය පල්ලියේ බිත්ති අතර මුමුණන යාච්ඤාවන් තුළ නොනැසී පවතිනවා සේම, එහි රැස්ව සිටින බැතිමතුන්ගේ නොබිඳිය හැකි ආත්මයද එසේමය. සෑම වසරකම, ලුණු සහිත සුළං සහ රළ පහරවල රිද්මයානුකූලව ගැටීම මධ්‍යයේ, ‘කච්චතිව්’ දූපතකට වඩා වැඩි යමක් බවට පත්වේ. එය ආදරය, පරිත්‍යාගය සහ නැවත එක්වීමේ ක්ෂේභූමියක් බවට පරිවර්තනය වේ. ඉතිහාසය, ඇදහිල්ල සහ මනුෂ්‍යත්වය... එකිනෙකාගේ වැලඳගැනීමෙන් සැනසීම සොයා ගන්නා භූමියක්!

Shabeer Mohammed(සටහන | ශබීර් මොහොමඩ්)
byshabeer@gmail.com

ඡායාරූප - සකුණ ගමගේ

සබැඳි ලිපිය :
කච්චතිව්: දේශසීමා යා කරන මිත්‍රත්වයේ මංගල්‍යය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...