The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පුස්ස බින්ඳා වැනි සත්ව සංගණනය | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

March 31, 2025 • 9:30 AM

පුස්ස බින්ඳා වැනි සත්ව සංගණනය | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙන් මෙහෙන් වාර්තා කොටස් එළියට පනිමින් තිබුණත් සමස්‍ත දිවයිනේම වාර්තාව එළියට එන ලකුණක්වත් නැත.
  • එසේ වුණත් නිසි දත්ත නැතුව සත්ව ගහනය කළමණාකරනය කළ නොහැකි බවට කැට තබා දෙසමින් සිටි ආණ්ඩුවේ ලොක්කන්ගෙන් සමහරුන් දැන් රිලවුන් ගෙන ගොස් දැමීමට දූපත් හොයමින් ජලාශවල කරක් ගහන්නේ දත්ත හොයාගත් නිසාදැයි කවුරුවත් අහන්නේ ද නැත.
  • ඒ අතර සංගණනයේ ලැබුණු දත්ත ගැන සැක අවස්ථාවල දී අදාල ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂාවන් කර ඒවා සංඛ්‍යාත්මකව තොරතුරු නිවැරදි කරන බවට ද තොරතුරු හෙලිවෙමින් පවතී.
  • මේ සියල්ලෙන් හෙලි වන්නේ ආණ්ඩුව බලයට පත්වූ පසු තමන් විසින්ම සැලසුම් කරමින් කරන ලද දෙවන වැඩසටහනත් හබක් වී ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙන් මෙහෙන් වාර්තා කොටස් එළියට පනිමින් තිබුණත් සමස්‍ත දිවයිනේම වාර්තාව එළියට එන ලකුණක්වත් නැත.

එසේ වුණත් නිසි දත්ත නැතුව සත්ව ගහනය කළමණාකරනය කළ නොහැකි බවට කැට තබා දෙසමින් සිටි ආණ්ඩුවේ ලොක්කන්ගෙන් සමහරුන් දැන් රිලවුන් ගෙන ගොස් දැමීමට දූපත් හොයමින් ජලාශවල කරක් ගහන්නේ දත්ත හොයාගත් නිසාදැයි කවුරුවත් අහන්නේ ද නැත.

 



ඒ අතර සංගණනයේ ලැබුණු දත්ත ගැන සැක අවස්ථාවල දී අදාල ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂාවන් කර ඒවා සංඛ්‍යාත්මකව තොරතුරු නිවැරදි කරන බවට ද තොරතුරු හෙලිවෙමින් පවතී.

 

1736412380 CLEAN SL

මේ සියල්ලෙන් හෙලි වන්නේ ආණ්ඩුව බලයට පත්වූ පසු තමන් විසින්ම සැලසුම් කරමින් කරන ලද දෙවන වැඩසටහනත් හබක් වී ඇති බව ය. ආණ්ඩුව මුලින්ම පටන්ගත්තේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන ය. එය බස් වල හා ත්‍රීවීල් වල එල්ලූ වැඩිපුර කෑලි ගැලවීමත් පලාත් පාලන ආයතන වලින් කළ යුතු කුණු කසල ඉවත් කිරීම ශ්‍රමදානයෙන් කිරීමත් යන වැලි බත් ඉවීම් කීපයකින් අවසන් විය. දැන් නිකමටවත් කවුරුවත් ඒ ගැන කතා කරන්නේ ද නැත.

වන සත්ව සංගණනය ආණ්ඩුවේ නිර්මාණශීලි දෙවන වැඩ සටහන ය. ඒකත් අර “ක්ලීන් ශ්‍රී ලංකා” පාරේම යන ලකුණු පහළ කරමින් තිබුණේ ආරම්භයේ පටන්ම ය.

වන සත්ව ව්‍යාප්තිය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලට අවහිරයක් වීම දැන් සෑහෙන කලක සිට පවතින ගැටලුවකි. ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්ම ක්‍රියාකාරකම් කෙරෙහි වන සත්ව ව්‍යාප්තිය දැඩිසේ අහිතකර ලෙස බලපෑමක් එල්ල වී ඇත. වන සතුන්ගෙන් කොතරම් අහිතකර බලපෑමක් එල්ල වුවත් අතිතයේ තිබූ වන ව්‍යාප්තිය අඩු වීමත් මිනිසුන් වන සතුන් දඩයම් කිරීමට පෙළඹවීමක් නොමැති වීමත් සතුන්ට මිනිස් නිවාස හා වගාබිම් ආශ්‍රිතව වඩා හොඳ තත්වයේ ආහාර ලබාගත හැකිවීමත් නිසා බොහෝ වන සතුන් මේ වන විට ගම් සතුන් බවට දැන් පත්ව තිබේ.

 

1157
රිලවුන්, වඳුරන්, දඬුලේනුන් මොනරුන්‍ යන සිව් වර්ගයම දැන් බහුල වශයෙන් වසනුයේ ගම් ආශ්‍රිතව මිස වනාන්තරයේ නොවේ. මේ සතුන්ගේ බෝවීම පාලනය වන ස්වාභාවික විලෝපිකයන් හිඟ වීමත් මොවුන්ගේ ව්‍යාප්තිය වැඩිවීමට බලපා ඇති බව පෙනේ.

කෙසේවුව ද මේ සතුන්ගේ ව්‍යප්තිය පාලනය සඳහා යම් අයුරක ක්‍රමවේදයක් හඳුන්වාදීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතුව ඇත. එසේ වුව ද මුල සිටම වන සතුනට වෛරී බවක් පළ කොට රිළවුන් ත්‍රස්තවාදීන් ලෙස හැඳින් වූ ආණ්ඩුව මුලින්ම සැලසුම් කළේ රිලා වඳුරු දඬුලේන් මොනර සංගණනයක් පැවැත්වීමට ය. හාල් හිඟ වෙද්දී බත් කන සංඛ්‍යාව හරිහැටි ගණනය නොකිරීමේ අඩුව නිසා එම හිඟය ඇති වන්නට ඇතැයි නොකියා කිව්වේ ආණ්ඩුවේ ඉහලම ලොක්කන් ය. ඒ අනුව ගෙදර බල්ලාට දමන බත් ටික පවා ගණනය කළ යුතු බවක් ඔවුහු කීහ.

“සත්ව සංගණනය” නමින්ම මේ පටන් ගත් මෙම ගණනය ආරම්භක පියවරේ සිටම ජනතා විශ්වාසයක් දිනා නොගත් වැඩ සටහනකි. ඒ පිළිබඳව ජනතා අවධානය නම් නොඅඩුව ලැබුණේ මෙය ලොකුම විහිළුවක් ලෙස ආරම්භයේදීම ජනතාව විසින් හඳුනා ගැනීම නිසා ය.

 



අවසාන පියවර එනම් සතුන් ගණනය කරන අවස්ථාව වන විට ඊට නායකත්වය දුන් සහ ඊට සහාය දුන් පිරිසට ද එය විහිළුවක් වී තිබුණි. ගණනය පැවැත් වූ නියමිත වෙලාව තුළ සතුන් ගණන් කළ පිරිසට ද තමන් ගණනය කළ යුතුව තිබුණේ තමන්ගේ ඉඩමේ හතර මායිම තුළ ඒ අවස්ථාවේ දකින සතුන් ප්‍රමාණය ද තමන්ගේ ඉඩමේ සිට බැලූ කල අවට ප්‍රදේශවල දැකගත හැකි වූ සතුන් ප්‍රමාණය ද නො එසේ නම් තමන්ගේ ඉඩමට නිතිපතා පුරුද්දක් ලෙස පැමිණෙන සතුන් ප්‍රමාණය ද යන්න ගැන පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත. ඒ බව සනාථ වූයේ විවිධ ප්‍රදේශවල මේ කාර්යය සම්බන්ධ වූ කීප දෙනෙකුගෙන් විමසීමේදී ය.

අප පදිංචි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි තුමිය නම් දින කීපයක්ම වෙහෙසෙමින් කොට්ඨාශය පුරා අදාල ආකෘති පත්‍ර බෙදාදෙමින් තමන්ගේ ඉඩමේ නියමිත වෙලාවේ දී දකින්නට ලැබෙන වඳුරන් රිලවුන් දඬුලේනුන් හා මොනරුන් ප්‍රමාණය පැහැදිලිව සටහන් කරන ලෙසට දැනුවත් කළ බව මා දන්නේ එතුමිය මා හටත් ආකෘති පත්‍රයක් ලබාදී ඒ උපදෙස පෞද්ගලිකවම දුන් නිසා ය. ඒ අනුව මාත් නියමිත වෙලාවේ මගේ නිවසේ බැල්කනියට ගොස් ඉඩමේ පසුපසත් ඉදිරිපසත් පරීක්ෂා කර කිසිම සතෙකු නොදුටු බව සටහන් කර ඒ බවට දුරකතන ඇමතුමකින් ද ග්‍රාම නිලධාරි තුමිය දැනුවත් කළෙමි. ඒ අවස්‍ථාවේ මා හට ඇති වූ තවත් ගැටලුවක් විය. එනම් මගේ නිවසේ වහලය උඩ ඒ වෙලාවේ වඳුරන් හෙම හිටියා නම් නිවස තුළ සිට උන් ගණන් කරන්නේ කෙසේද යන්නයි. (හොඳ වෙලාවට ඒ අවස්ථාවේ වහලය මත වඳුරන් සිටියේ නැත.).

 

1000 F 368536549 4fDYSgTjmGdRM991VVDnLWZbWEhdoZrj

පර්චස් විස්සක තිහක ඉඩමක නිවාසයක් ඇති කිසිම කෙනෙකුට නිවසේ වහලය මත සිටින සතුන් ප්‍රමාණය එම ඉඩම තුළ සිට දැක ගත නොහැකි ය. නිවස දෙමහල් නිවසක් නම් තත්වය තවත් අසීරු ය. ඒ අනුව නියමිත වෙලාවේ දී වහලය මත සිටින සතුන් ගණන සඳහන් කළ හැක්කේ අඩමානයට ය. අනික් අතට සංගනනයේ දත්ත එක්‍ රැස් කරන්නවුන් තමන්ට නියමිත සංගණන ඒකකය ගැන පවා පැහැදිලි අවබෝධයක නොසිටින තත්වයක දී ආසන්නයේ වෙනත් ඉඩමක ඒ අවස්ථාවේ සිටින සතුන් ගණනය කිරීමටත් ඉඩ ඇත.

අනෙක සියලුම ගෙවතු හා කෘෂිකාර්මික ඉඩම් සඳහා සංගණන දත්ත රැස්කරන්නන් පත්කර සිටියාදැයි පැහැදිලිතාවයක් ද නැත. එවන් තත්වයකදී එක්‍ රැස්වන තොරතුරුවල නිරවද්‍යතාව ද බලවත් සේ සැක සහිත ය. මේ ආදී වශයෙන් සෑම අංශයක් ඔස්සේම සලකා බැලීමේදී හෙලිවන්නේ මෙම සත්ව ගණනය මගින් නිවැරදි දත්ත එක්‍ රැස් කර ගැනීමට තිබුණු අවස්තාව අතිශයින්ම අඩු වීම මත එය විධිමත් “සංගණනයක්” නොවන බව ය.

මෙම ගණනයේ වාර්තා ක්‍රමයෙන් ඒකරාශී වන විට සාධාරණව පිළිගත නොහැකි මට්ටමේ සංඛ්‍යවන් ඒකරාශී වන බව සංගණන පරිපාලකයින්ට වැටහී ඇති නිසාදෝ වාර්තා දත්‍ත ගැන සැකයක් ඇති වන අවස්ථාවල යළි නිරීක්ෂයන් සිදුකර නිවැරදි කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පැහැදිලි වෙයි. ඉන් අදහස් වන්නේ මේ සංගණනයේ වැරදි තොරතුරු වාර්තා වන බව සංගණන පරිපාලකයන් විසින්ම පිළිගන්නා බවයි.

 

Flickr Rainbirder Giant Squirrel Ratufa macroura

දැනට මිහින්‍තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සත්ව සංගණන තොරතුරු ලෙස දැක්වෙන විස්තරයක් සමාජ මාධ්‍යයේ පළ කෙරී තිබුණි. එය දුටු සැනින් ඇතැමුන් ගේ ඇහි බැමි ඉහළට එසවෙන්නට ඇත. මිහින්‍තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දඬු ලේන් ගහණය පමණක් 11,531 කි. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති වරයා අතිශය සාර්ථක බව පවසන මෙම සත්ව ගණනය යළි කළ යුතු බව වන වගා බිම් වලට එන වන සතුන්ට වින කැටිය යුතු බව පාර්ලිමේන්තුවේ දී ම පැවසූ කෘෂිකර්ම අමාත්‍ය වරයා පවා කීයේ එබැවිනි.


මේ රටේ කෘෂිකර්මාන්‍තයට අදාලව දත්‍ත පවත්වාගෙන යන රාජ්‍ය ආයතන තුනක් තිබේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ ආයතන තුනයි.

මුලුමනින්ම කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වූ අම්පාර දිස්ත්‍රික්කයේ දිසාපති වරයා ලෙස මා රාජකාරි කළ සමයේදී මේ දෙපාර්තමේන්‍තු තුනේ කෘෂිකාර්මික සංඛ්‍යාලේඛන වල බරපතල වෙනස්කම් පවතින බව නිරීක්ෂණය කළ මම” හරි එක කෝක දැ”යි විමසීමට ඒ සියලු නිලධාරීන් කැඳවා සාකච්ඡා කළෙමි. මගේ උපදෙස වූයේ රජයේ දෙපාර්තමේන්තු තුනක් එකම කරුණක් ගැන රැස් කළ දත්ත අතර බරපතල වෙනස්කම් පැවතීම පිළිගත නොහැකි බැවින් දෙපාර්තමේන්තු තුනේ ග්‍රාමීය දත්ත එක්‍ රැස් කිරීම වහාම සමාලෝචනය කර ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් දත්ත එක් රැස් කර ඒ පිළිබඳව පොදු අවසාන එකඟතාවයක් ඇති කර ගන්නා ලෙස ය. ඒඅනුව පළමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දත්ත නිවැරදි දත්ත ඒකරාශී විය යුතු බවත් මා ඒ සියල්ල අධීක්ෂණය කරන බවත් මම ඔවුනට කීවෙමි. දීර්ඝ උත්සාහයක ප්‍රතිඵල ලෙස අවසානයේ ආයතන තුනම කෘෂිකාර්මික බෝග අනුව වගා ඉඩම් ප්‍රමාණය ඇතුලු දත්ත නිවැරදි කර දක්වා තිබිණ . ඒඅනුව කෘෂි සංවර්ධන වාර්ෂික සැලැස්ම ද වඩාත් ප්‍රායෝගික වන සේ යාවත්කාලීන කෙරිණි. ඒ සඳහා මාස හය හතක කාලයක් තිස්සේම අදාල නිලධාරීන්ගේ මේ කාර්ය අධීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් දීමට සිදුවූ බව ද මතක ය.

ඒ අන්දමින් තොරතුරු යම් අන්දමකින් නිවැරදි ලෙස ලබා ගැනීමට හැකි වුණත් වෙනත් දිස්ත්‍රික්කයක කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යාවත්කාලීන කරන්නට ක්‍රියා කළ උප දිසාපති වරයකු මුහුණ දුන් අර්බුදයක්ද මෙහි දී සිහිපත් කරනු වටී. එවක ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයක් භාරව අලුතින් පත්ව හා ඒ තරුණ උප දිසාපති වරයා තම කොට්ඨාශයේ කෘෂි සංවර්ධන සැලැස්ම සැකසීම සඳහා ග්‍රාමීය මට්ටමෙන් දත්ත එක් කළ යුතුයැයි අදහස් කළේ ඊට පෙර තිබූ කෘෂි සැලසුම් වල වගා ඉඩම් පිළිබඳව වූ තොරතුරු අතිශෝක්තියෙන් සටහන් කෙරුණු ඒවා බව පෙනී ගිය නිසා ය.

 

150331174800 lanka rice 512x288 afp nocredit
ග්‍රාම සේවා නිලධාරීන් මගින් ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් බෝග වවන ඉඩම් ප්‍රමාණය නිවැරදිව ලබා ගෙන මුලු උප දිසාපති කොට්ඨාශයේම කන්න දෙකට වගා කරන වී ඇතුලු ආහාර බෝග අතිරේක බෝග එළවළු පිළිබඳව නිවැරදි තොරතුරු ඇතුලත් වන සේ කෘෂි සංවර්ධන සැලැස්ම යාවත්කාලීන කළ ඔහු එය දිස්ත්‍රික්කයේ දිසාපති කාර්යාලය වෙත යැව්වේ තම උත්සාහය මත නිවැරදි සැලැස්මක් පිළියෙල කළා යන තෘප්තියෙනි. එහෙත්, ඔහුට හැරෙන තැපෑලෙන් දිසාපති වරයාගෙන් ලැබුණු ලිපියෙන් පැවසුණේ එතෙක් එම උප දිසාපති කොටසේ කෘෂි සැලසුම්වල පෙන් වූ ප්‍රගතිය සෘණ අගයක් බවට පත් කරමින් ඔහු සැකසූ කෘෂි සැලැස්ම පිළිබඳව ය. එම කෘෂි සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය බොහෝ සේ පහලට ඒම ගැන වහාම කරුණු දක්වන ලෙස දිසාපති වරයා ඔහුට දන්වා තිබුණි.

ඒ අනුව අදාල දත්ත නිවැරදි කරමින් යථාර්ථවාදී කෘෂි සැලැස්ම යාවත්කාලීන කිරීම නිසාම බෙල්ල ගහලා යාමටද ඉඩ ඇති බව අනිකුත් ප්‍රාදේශීය උප දිසාපතිවරුන් පෙන්වා දුන් පසුව මේ තරුණ උප දිසාපතිවරයා කළේ අසම්පූර්ණ වාර්තාවක් එවීම ගැන සමාව අයදිමින් ලිපියක් ද සමග නිවැරදි කළ වාර්තාව ලෙස ඊට ඉහත වර්ෂයේ සකසා තිබූ වාර්තාව සුලු සංශෝධනයක් සහිතව නැවත යැවීම ය. ඒ සැලැස්ම ඉලක්කයට එකඟ වුණාට මේ මහ පොළොවේ යථාර්තයට එකඟ නැත.

monkey 2025.03.21

මේ මහ පොළොවේ යතාර්ථයට ගැලපෙන වැඩසටහන් සැලසුම් කරන්න යන නිලධාරීන්ට එදා මෙදා තුර මුහුණ දෙන්න සිදුවන දෙයයි. ඒ අනුව නොදැන කතරගම යාමක් බඳු මේ සත්ව සංගණනයෙන් ද අන්තිමේදී පුස්ස බින්දා වැනි ප්‍රතිපලයක් මිස වෙනත් දෙයක් අපේක්ෂා කළ නොහැක. ඒ අනුව මෙය ක්ලීන් ශ්‍රී ලංකා 2 ලෙස නම් කළ හැකි වනු නියත ය. අපේ ගම්වැසියන් “අන්තිමේදී නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත” කියන්නේ මේ රිලා සංගනනය බඳු වැඩ වලට ය.


sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


සබැඳි ලිපි :

මොනාද ඕයි මේ විකාර ?

සත්ව ගණනයේ ප්‍රතිඵල විමසන්න ජනතාවටත් ඉඩක් දෙමු නේද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

'රිළා වඳුරු සංගණනය'ට සිනාසීමෙන් පමණක් ඵලක් වේ ද? | රේණුකා දමයන්ති

තරම දැන කළ යුතු 'උඩින් පල්ලෙන්' සත්ව සංගණනය | රේණුකා දමයන්ති ගමගේ

සතුන් ගණන් කිරීමෙන් වගා හානි වැලැක්විය හැකිද? | සුනිල් කන්නන්ගර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...