1989 අගෝස්තු 08 වෙනිදා ලියපු ඔප්පු තියෙද්දීත්, මගේ ඉඩම් තිස්ස විහාරය ඇතුලේ හමුදා කට්ටිය අත්පත් කරගෙන තියනවා. එතැන තියෙන ඔක්කොම පෞද්ගලික ඉඩම්. අපි කියන්නේ අපේ ඉඩම් අපිට දෙන්න කියලා .මගේ ඉඩම ඉස්සරහා දෙමළ කෝවිල තියනවා. ඒ කෝවිලට යන පාරත් බ්ලොක් කරලා තියන්නේ. මේ පාරත් නිදහස් කරලා දෙන්න කියලා තමයි මගේ ඉල්ලීම.''
අප්පුතුරෙයි සුරේෂ් කුමාර්
අප්පුතුරෙයි සුරේෂ් කුමාර්, යාපනේ සරසවියට අනුබද්ධව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකි. දශක තුනක් පුරාවට අවතැන්ව සිටින ඔහු ඉකුත් මාර්තු 20 වැනිදා කොළඹ පැමිණියේ තම අවනඩුව දකුණේ මාධ්‍යයට කියන්නටය. සිව් වසක් තිස්සේ තමන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් අරගල කරන තයියට්ටි මුල් පදිංචි කරුවන් 14 දෙනෙකුගේ ඉඩම් ඔවුන්ට අහිමි කර තිබේ. ඉන් කිහිප දෙනෙකුට කොළඹට ඇරයුම් කොට මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුනේ ඉඩම් අයිතිය සදහා වන ජනතා සන්ධානය මගිනි.
යාපන නගරයට කිලෝමීටර් 25 ක් පමණ දුරින් පිහිටි තයියට්ටි, කන්කසන්තුරෙයි වරාය ආසන්නයේ පිහිටි පවුල් 380 ක් පමණ පදිංචිව සිටී ගමකි. 2016 වසර උදාවන තෙක් අධි ආරක්ෂක කලාපයක් ලෙස පැවති තයියට්ටි, 51 වැනි සේනාංකයේ නිවහන විය.
ප්‍රතිසංස්කරණය කළ චෛත්‍ය
හමුදාව විසින් තිස්ස විහාරය යළි ඉදි කිරීමේදී විහාරස්ථානයට අයත් ඉඩමට වඩා විශාල භූමියක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට මෙම මුල් පදිංචිකරුවෝ චෝදනා කරති. සිය ඉඩම් නිදහස් කරන ලෙස අඛණ්ඩව අරගලයේ යෙදෙන ඔව්හු සෑම පෝය දිනකම විහාරය ඉදිරිපිට විරෝධතා දක්වති.
උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ වාරණ නියෝග නිකුත් කළ ද විරෝධය සමනය කළ නොහැකි තත්වයකට පත්ව ඇත.
''අපේ ඉඩම් අපිට දෙන්න''
අයි.ආර්. ඒ. රවින්ද්‍රන්
''පන්සලක් තිබුණු බව ඇත්ත. අපි ඒකත් එක්ක ගනු දෙනු කරලාත් තියෙනවා. ඒත් 2017 අපි මෙහෙ එනකොට පන්සල තිබුණු බිමේ නොවේ. නැවත ඉදි කිරීම් කරලා තිබුනේ අපේ ඉඩම් අල්ල ගෙන. අපි ඒකට විරුද්ධ වුණා. කොරෝනා කාලේ මේ පැත්තට එන්න බැහැ.අධි ආරක්ෂක කලාපයක් නේ. මේ කාලේ පන්සල ලොකු කරලා හදලා. අපිට සින්නක්කර ඔප්පු තියෙනවා අපේ මුතුන් මිත්තෝ අවුරුදු 100 ට වැඩි කාලයක් ජිවත් වුනු ඉඩම් මේවා.'' යැයි කොළඹ පැමිණි තයියට්ටි ඉඩම් අහිමි වුනු මුල් පදිංචිකරුවෙකු වූ අයි.ආර්. ඒ. රවින්ද්‍රන් පැවසිය.
1926 දී ඉතිහාසඥ සී.රාසනායගම් සිය ඉතිහාසමය ගවේෂණයක තිස්ස විහාරය ගැන සදහන් කොට ඇත.

''කන්දස්වාමි කෝවිලට යාර සියයක් පමණ ප්‍රතිවිරුද්ධව පිහිටි තිස්ස මළුව නම් ස්ථානය, සමහර විට තිස්ස මහා විහාරය පිහිටි ස්ථානයේ සලකුණු විය යුතුය. ජම්බුකොල සිට තිස්ස මහා විහාරය දක්වා වූ පුරාණ පළල් මාර්ගය තවමත් පවතින නමුත් කිසිදු ප්‍රයෝජනවත් අරමුණක් ඉටු නොකරයි.''
[Rasanayagam, C. (1984) Ancient Jaffna : Being a research into the history of Jaffna, from very early times to the Portuguese period (reprint 1926 .). New Delhi: Asian Educational Services]
පත්මනාදන් සාරුජන්
1990 දී අවතැන් වුනු පත්මනාදන් සාරුජන් නැවතත් තම උපන් බිම වුනු තයියට්ටි වෙත එන්නේ 2017 දී යහපාලන ආණ්ඩුව යටතේ දී ඉඩම් නිදහස් කිරීමෙන් අනතුරුවය. කොළඹ මාධ්‍ය හමුවට එක්වූ ඔහු පැවසුවේ ඒ වන විටත් පරප්පු 150 [පරප්පු 01 = පර්චස් 10 ] පමණ වපසරියක් රජයේ හමුදා පාලනය යටතේ පැවති බවය.
''2018 අවුරුද්දෙදි නාගදීප පන්සලේ හාමුදුරුවෝ ඇවිත්, කලින් පන්සල තිබුණු තැන කියල පරප්පු 20 ට වැඩි ඉඩම් මැනලා ඔප්පු හදා ගත්ත. ඒ කාලේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ දැන් ඉන්න වේදනායගම් එකතුවෙලා හාමුදුරුවන්ගේ ඉඩමේ පන්සලක් හදන්න 2019 අවුරුද්දේ දී මුල් ගල් තිබ්බා. 2021 ජනවාරි 31 කොරෝනා කාලේදී පන්සල හැදුවේ පවුල් 14 කට අයිති පරප්පු 100 කට වැඩි අපේ ඉඩම් වල. මේ වැඩේ වැරදි කියල ප්‍රාදේශීය ලේකම් තීරණය කරලා 2022 ජූලියේදී ජනාධිපතිට ලිව්වා. පන්සල හදන එක වැරදියි කියල ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දුන්නත්, හමුදාව නවත්වන්නේ නැතුව හැදුව.''

මෙම විහාරස්ථානය ඉදි කිරීමට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය නොවුණු බව ද තයියට්ටි ඉඩම් අහිමි මුල් පදිංචි කරුවෝ පවසති.
මහාවංශයේ 20 වැනි පරිච්ජේදයට අනුව බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව දේවානම්ප්‍රිය තිස්ස රජු විසින් දඹකොළ වෙහෙර, තිස්ස මහ වෙහෙර සහ පාවීනාරාමය කරවා ඇත. ඒ අනුව තිස්ස විහාරයේ ප්‍රතිසංස්කරණය කළ චෛතයේ කොත 2023 වසරේ අප්‍රියෙල් 27 වැනිදා තැන්පත් කෙරිණි.
ආණ්ඩුවේ මුල් තැන බුද්ධාගමට

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දී තියෙනවා. ඒ අනුව ආණ්ඩුව බුදු දහම ආරක්ෂා කරන්නටත්, පෝෂණය කරන්නත් බැඳී ඉන්නවා. ඉතිං අනිත් අය ප්‍රමුඛ නැහැ. පන්සලට අයිති ඉඩම් ප්‍රමාණයට වඩා වැඩි ඉඩම් අල්ලාගෙන වෙනත් තැනක මුල් ගල් තිබ්බේ හමුදාව. මේ ඉදිකිරීම් වලට මුදල් ප්‍රතිපාදන එන්නේ කොහෙන්ද. බෞද්ධ කටයුතු අමාත්‍යංශයෙන් ද.. රජය, හමුදාව, පන්සල මේ ඔක්කොම මැදිහත් වෙලා මේවා කරන්නේ ඉතිං අපි කාට විරුද්ධව ද නඩු කියන්නේ..''
සුකුමාරි සාරුජන්
සුකුමාරි සාරුජන් පැවසුවේ මාධ්‍ය සාකච්ජාවට එක්ව සිටී මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු වශයෙනි. සියලු ලියකියවිලි හා සාක්ෂි ඇත්නම් ඇයි ඔබලාගේ ඉඩම් අයිතිය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු නොවන්නේ යැයි කොළඹ මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
''නඩු මගට ගියාම අපිට අපේ ප්‍රශ්නය ගැන කිසිම තැනක කතා කරන්න බැහැ. වව්නියාවේ වෙඩික්කනාරි, මුලතිව් කුරුන්දිමලේ නඩුවලට ගිහින් අපිට අත්දැකීම් තියෙනවා. මෙතනදී ජනාධිපතිගේ ලියුමටවත් එකඟව වැඩ කළේ නැහැනේ. නමුත් රාජ්‍ය නිලධාරීන්, හාමුදුරුවරු අපිත් එක්ක කතා කරද්දී අපි කියන දේ හරි කිව්වත්, පොදු තැන්වලදී වෙනස් වෙනවා. ආණ්ඩුව මැදිහත් වෙලා මේ පන්සල ඉවත් කරන්න ඕනේ. අපි කඩන්න යන්නේ නැහැ.''
සුකුමාරි විමසන්නේ ඔවුන් වැරදි නම් ඔවුන්ට එරෙහිව නඩු පවරන්න පසුබට වන්නේ ඇයි ද කියා ය.
ඒ.මුරලිදරන්
''කුරුන්දිමලේ ගැන නඩු තීන්දුවක් දුන්නු විනිසුරුතුමාට රටින් යන්නත් වුණා. වඩුක්කනාරිමලේ දී ආරක්ෂක අංශ දරුණු විදිහට බලපෑම් කරා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් නැතිව මේ තියෙන විදිහට අපිට නඩු මගින් නම් විසදුමක් සොයා ගන්න බැහැ.'' යැයි ඒ.මුරලිදරන් අදහස් දක්වමින් නීතිය ගැන ඔවුන්ගේ විශ්වාසය පලදු වී ඇති බව ද මාධ්‍යවේදීන් හමුවේ කියා සිටින්නට අමතක නොකළේය.
''නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙමළ මිනිස්සුන්ට එක විදිහකටයි. සිංහල මිනිස්සුන්ට තව විදිහකටයි.''
ඔප්පු පිටපතක්
''මේ සැරේ අපි අවංක වෙනවා''
උතුරු හා නැගෙනහිර පළාත් වල රජයේ හමුදා වාඩිලා සිටින දෙමළ ජනයා සතු ඉඩම් නිදහස් කරන බව ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දුවකි. ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා ද විටින් විට අවධාරණය කර තිබිණි.

තයියට්ටි ඉඩම් අහිමි වූ මුල් පදිංචිකරුවන් කොළඹදී හමුවූ බෞද්ධ ශාසන ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි ඉඩම් ගැටලුව විසඳන බවට පොරොන්දු විය. අනතුරුව සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සාහිත්‍ය උත්සහයක් අමතා ඔහු ඒ බව ප්‍රසිද්ධියේ කියා සිටියේය.
``යාපනෙන් ආපු පිරිසක් එක්ක මම කතා කළා උතුරේ පන්සල් ගැන. ඒගොල්ලෝ ඉලන්නේ පන්සල තිබුණා අවුරුදු සීයක් විතර තිස්සේ. හැබැයි මෙච්චර ලොකු ඉඩම් ප්‍රමාණයක් ඉස්සර හමුදාවට තිබුනේ නැහැ. ඒ හින්දා අපේ ඉඩම් අපට දෙන්න සහෝදරයා කියල ඉල්ලුව. මම කිව්වා මේ සැරේ අපි මේකට අවංක වෙනවා.
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com
[මෙම ලිපිය 'අනිද්දා' සතිඅන්ත පුවත් පතේ පළ වුවකි]
සබැඳි ලිපි :
පදුමගල කිත්ති තිස්ස හිමි කියන තිස්ස විහාරයේ ඇත්ත කතාව
යාපනය තිස්ස විහාරය ඉදිකිරීමට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන ඇති බවට චෝදනාවක්
විහාර හැදීමට ඉඩම් කොල්ලකෑම ගැන දෙමළ පිරිස් කොළඹදී සිංහලෙන්ම විස්තර කරති
තිස්ස විහාරයට අල්ලාගත් උතුරේ ඉඩම් ඉල්ලන අරගලය පුළුල් කෙරෙන ලකුණු



