The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෝදි ගේ පැමිණීම මුල් කොට අනුරපුර සුනඛයන් ඉවත් කිරීමේ වෑයම වැලකී යයි

T

The Leader Desk

April 2, 2025 • 8:32 AM

මෝදි ගේ පැමිණීම මුල් කොට අනුරපුර සුනඛයන් ඉවත් කිරීමේ වෑයම වැලකී යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය රාජ්‍ය නායකයා වෙත යොමු කරන ලද ලිපියක් මඟින් පශු වෛද්‍ය වෘත්තිකයන් සහ සත්ව උපදේශකයන් ආදීන් ගෙන් සමන්විත කණ්ඩායමක් වන ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන සන්ධානය මෙම ඉල්ලීම කොට ඇත.
  • එම ලිපිය මඟින් මෝදිගේ සංචාරය හේතුවෙන් අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශයෙන් සියලුම අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමට සලකා බලමින් සිටින බවට පළ වන බවට ලැබී ඇති වාර්තා පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබේ.
  • එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම 2020 සිට එම කලාපය තුළ ක්‍රියාත්මක කර ඇති සුනඛ ගහන කළමනාකරණ ක්‍රමයක් වන සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය හා එන්නත් කොට යළි නියමිත ස්ථාන වලට මුදා හැරීමේ (CNVR) වැඩසටහන කෙරෙහි දැඩි ලෙස හානි කර ලෙස බලපාන බව එම සන්ධානය අවධාරණය කර ඇත.
  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන සන්ධානයේ මෙම මුල පිරීම ශ්‍රී ලංකාවේ තිරසාර ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවරක් සේ ලෙස සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය රාජ්‍ය නායකයා වෙත යොමු කරන ලද ලිපියක් මඟින් පශු වෛද්‍ය වෘත්තිකයන් සහ සත්ව උපදේශකයන් ආදීන් ගෙන් සමන්විත කණ්ඩායමක් වන ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන සන්ධානය මෙම ඉල්ලීම කොට ඇත.

එම ලිපිය මඟින් මෝදිගේ සංචාරය හේතුවෙන් අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශයෙන් සියලුම අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමට සලකා බලමින් සිටින බවට පළ වන බවට ලැබී ඇති වාර්තා පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබේ. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම 2020 සිට එම කලාපය තුළ ක්‍රියාත්මක කර ඇති සුනඛ ගහන කළමනාකරණ ක්‍රමයක් වන සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය හා එන්නත් කොට යළි නියමිත ස්ථාන වලට මුදා හැරීමේ (CNVR) වැඩසටහන කෙරෙහි දැඩි ලෙස හානි කර ලෙස බලපාන බව එම සන්ධානය අවධාරණය කර ඇත.

z p43 better 1
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන සන්ධානයේ මෙම මුල පිරීම ශ්‍රී ලංකාවේ තිරසාර ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවරක් සේ ලෙස සැලකේ.

අග්නිදිග ආසියාවේ CNVR වැඩසටහන්වල ඉන්දියාව ප්‍රමුඛයා වී ඇති බවත්, CNVR ප්‍රතිකාර කරන ලද නිවාස අහිමි සුනඛයන් කෙරෙහි මහජන ඉවසීම ඉන්දියාවේ ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන සන්ධානය වැඩිදුරටත් සඳහන් කරයි. සත්ව සුභසාධනය පිළිබඳ මෝදිගේ ප්‍රසිද්ධ ස්ථාවරය සැලකිල්ලට ගෙන,ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අනුරාධපුරයේ නිදැල්ලේ හැසිරෙන සුනඛයන් ඉවත් කිරීමට එවැනි කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ද තමන් උපකල්පනය කරන බව එම සන්ධානය පසසා හිඳියි.

modi 2මෝදි සුනඛ සුරතලකු සමඟ
“තාවකාලිකව වුවද එම සුනඛයන් ඉවත් කිරීම, සැලකිය යුතු පිරිවැයක් දරමින් අප පවත්වාගෙන යනු ලබන අති විශාල මහජන සෞඛ්‍යමය වටිනාකමක් ද ඇති මෙම ව්‍යාපෘතිය ආපසු හැරවිය නොහැකි ලෙස අනතුරේ හෙළනු ඇත,” යනුවෙන් සඳහන් එම ලිපියේ, මානුෂීය බව සහ විද්‍යාව පිටුබලය ලත් සත්ව සුභසාධන ප්‍රතිපත්ති සඳහා මෝදිගේ කැපවීම ආයාචනා කරන බව ද සඳහන් ය.

ඉහත සඳහන් අනුරාධපුරයෙන් සුනඛයන් ඉවත් කිරීම කට කතාවක් හෝ ඕපාදූපයක් නොවේ. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතමයකු ගේ නියෝගයක් අනුව උතුරු මැද පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ගැනීමට සූදානම් ව තිබූ අමනෝඥ තීරණයකි. නමුත් එම පුවත එම පාර්ශවය නියෝජනය කරන සත්ව ලෝලීන් සහ අහිංසාවාදීන් විසින් පෞද්ගලික හා රහසිගත මට්ටමින් අනුරාධපුර සත්ව හිමිකම් හා සුභසාධන සංවිධාන වෙත ලබා දී තිබේ.

 

පශුවෛද් ය චමිත් නානායක්කාර මහතාචමිත් නානායක්කාර
මේ අතර මෙම කුරිරු ව්‍යසනයෙන් අසරණ සතුන් මුදා ගන්නා ලෙස අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකා සාමාජික පිරිසක් සත්‍යග්‍රහයක් සිදු කිර්‍රමට කටයුතු යොදා තිබූ බව එහි ක්‍රියාකාරී කමිටු සාමාජික ඩී.එම් මුතු බණ්ඩා කීය. එමෙන්ම මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකතුවේ (Association of Veterinarians for Humane Management of Animal Population) නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර පසුගිය දා මතු දැක්වෙන ප්‍රකාශය කොට ඇත්තේ එම අනතුර හා සම්බන්ධ සැකය තහවුරු කර ගැනීමෙන් පසුව ය.

“අප්‍රේල් මුල් දවස්වල ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට එනව. ඒ මෝදි එනකොට අනුරාධපුර නගර සීමාවෙ මෝදි යන මාර්ගයෙ ඉන්න සේරම සුනඛයො ඉවත් කරන්න ආණ්ඩුකාර්ය මණ්ඩල කාර්යාලයේ තීන්දුවක් අරගෙන. ඒ අනුව නගර සභාවෙන් කටයුතු යොදන්න යනවා කියල අපිට දැන් අහන්න ලැබිල තියෙනව. අපි අනුරාධපුර මහ නගර සීමාව ඇතුලෙ සුනඛ ගහණය කළමණාකරණය කරන්න පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරලා තියෙන්නෙ; නගර සභාවත් එක්ක අපි එකතු වෙලා.ඒක ඉතාම සාර්ථකයි. ඉතාම පැහැදිලිව කිව්වොත් මේක තමයි දැනට ලංකාවෙ තියෙන හොඳම ව්‍යාපෘතිය. නගර සභාවට අමතරව අනුරාධපුර, මිහින්තලය කියන වටේම ප්‍රදේශ තුනත් අපි ආවරණය කරමින් ඉතාම හොඳ ක්‍රමයක් දැන් මේ වෙන කොට ක්‍රියාත්මක කරනව.

මේ වෙන කොට ඒකෙ පස්වෙනි අවුරුද්ද. පස්වෙනි අවුරුද්දෙ හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඉතින් මේ වගේ වැඩසටහනක් තියෙද්දි ඒ කිසිම දෙයක් ගැන අධ්‍යයනය කරන්නෙ නැතුව මේ කිසිම දෙයක් ගැන හොයල බලන්නෙ නැතුව හිතූ මනාපෙට එක් කෙනෙක් දෙන්නෙක් කියන මේ කතාවලට මේ වගේ මෝඩ තීන්දු තීරණ ගන්න එකට අපි දැඩි විරෝධයක් දක්වනවා. ඒ වගේම මේ යන විදිහට ගියොත් මං හිතන්නෙ මේ ආණ්ඩුව වටේ ඉන්න මෝඩ උගතුන්ගෙ උපදෙස් අහන්න ගියොත් එහෙම මේ ආණ්ඩුව ඉතාම ඉක්මනින් බරපතල අර්බුදයකට යනව කියල තමයි. අපිට ඇත්තටම කියන්න තියෙන්න”.

dogs 250330
නමුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ මෙම විරෝධාත්මක හඬ නැඟීමත් සමඟ. කිසිදු හේතුවක් නිසා අනුරාධපුර නගරයෙන් සුනඛයන් ඉවත් නොකරන බව උතුරුමැද පලාත් සභා ආණ්ඩුකාර ලේකම් වරයා දන්වා සිටියේ සත්ව අහිංසාවාදීන් සත්ව ලෝලීන් සේම සත්ව හිමිකම් ක්‍රියාධරයන් ගේ නෙත් වලට සතුටු කඳුළු නංවමිනි.

අප රටේ වෙසෙන නිවාස අහිමි සුනඛයන් කෲර ලෙස ඝාතනය කරන “බලු වෑන් එක” ශ්‍රී ලාංකේය ජනතා බුද්ධි පරිනාමයත් සමඟ අතුරුදන් විය.නමුත් නිල නොලත් ලෙස කෲර අමානුෂික ක්‍රියා සිදු වූ අවස්ථා ද මෑත ඉතිහාසයට එක් ව තිබේ.ඒ 2011 වසරට යෙදී තිබූ 2600 සම්බුද්ධත්ව ජයන්තිය මුල් කොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2006 වසරේ සිට සුනඛ ඝාතන තහනම් කරමින් චක්‍රලේඛයක් පවා නිකුත් කළ පසුබිමක ය.

 

ear tip

වර්ෂ 2013 නොවැම්බර් මස 15 වෙනි දින සිට 17 වෙනි දින දක්වා කොළඹ දි 23 වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියයි. එහි මූලිකත්වය එවක ආරක්ෂක ලේකම් පදවිය හෙබවූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දරන ලදී. මෙහිදී කොළඹ නගරයේ සිටි සුනඛයන් 300කට ආසන්න සංඛ්‍යාවක් එක් පුද්ගල නියෝගයක් මත අවතැන් කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව අවසන් වන තුරු මෙම සුනඛයන් රඳවා තිබුණේ දෙමටගොඩ ගව ඝාතනාගාරයේ ය. මෙම සුනඛයන්ගේ තත්වය පිරික්සීම සඳහා එම ස්ථානයට ගිය සත්ව මිත්‍ර සංගමයේ සභාපතිනී සාගරිකා රාජකරුණානායක, සත්ව සුභසාධන භාරයේ සභාපතිනී අයිරාංගනී ද සිල්වා ඇතුළු පිරිස දුටුවේ අතිශය ඛෙදනීය දර්ශනයකි. ඔවුන් එහි රඳවා තබා තිබුණේ ද එකෙකු මත එකෙක් ගොඩගැසෙන ආකාරයෙන් වූ බවත්, සුනඛයන්ට නිසි පරිදි කෑම තබා ජලය වත් එහිදී නොලැබෙන බවත් එහි දී නිරීක්ෂණය විය.

එමෙන්ම අයිතිකරුවන් ඇති සුනඛයන් ද එහි සිටි අතර, ඔවුන් රැගෙන යාම සදහා අයිතිකරුවන් පැමිණි අවස්ථාවලදී ඇතැම් සේවකයින් හා නිලධාරීන් ඒ සදහා අල්ලස් පවා ඉල්ලා ඇති බව දැනගන්නට ලැබිණි. මේ පිළිබඳ සත්ව හිමිකම් සහ සුබසාධන, අවිහිංසා සංවිධාන විසින් කරන ලද විමසීම්වලදී කොළඹ මහ නගර සභාවෙන් දැනගන්නට ලැබුණේ මෙම සමුළුවෙන් අනතුරුව සුනඛයන් ඔවුන් පෙර සිටි ස්ථානවලටම ගෙන ගොස් මුදාහරින්නට සැළසුම් කොට ඇති බවකි.

 

sl dogs
එහිදී පොලීසිය ද එම ස්ථානයට කැඳවනු ලැබූ අතර, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන එම අවස්ථාවෙදී පවසා ඇත්තේ මෙම සුනඛයන් අනුරාධපුරයට රැගෙන ගොස් නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවකි. ඒ බොහෝ විට අනුරාධපුර මහ නගර සභාවෙන් පාලනය වන සුනඛ අනාථාගාරයකට විය හැකි මුත් අනුරාධපුර මහ නගර සභාවෙන් ඒ පිළිබඳව කළ විමසීමේදී එවැනි දෙයක් හෝ එවැනි කිසිදු වැඩපිළිවෙලක් යොදා නොමැති බැව් දැනගන්නට ලැබිණි. මේ පිළිබද සැක පහළ කළ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් ඉල්ලා සිටියේ මෙම සුනඛයන් ඔවුනට සුපුරුදු වාස කලාපයන්ටම ගෙන ගොස් දමන ලෙස ය. පසුව එසේ කරන බවට ඇය පොරොන්දු වී තිබේ.

සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක හා සත්ව ආරක්ෂක භාරයේ ලේකම් ශාමිනී රත්නායක එම වසරේ සැප්තැම්බර් 5 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ද සඳහන්කොට සිටියේ සමුළුවෙන් පසුව සුනඛයන්, ඔවුනට සුපුරුදු ස්ථානවලටම ගෙනගොස් දැමීමට නාගරික කොමසාරිස්වරිය පොරොන්දු වූ බවය.

DSC 3202 1 e1671029973809

නමුත් සත්ව අවිහිංසා භාරයේ සභාපතිනී අයිරාංගනී සිල්වා ඉන් පසුව මාධ්‍යවේදීන් හමුවේ හෙළිකළ තොරතුර ඊට වඩා බෙහෙවින් බිහිසුණු ඛේදනීය එකකි. එනම් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර කොළඹ නගරයෙන් අල්ලා ගත් සුනඛයන් 280ක් පමණ හමුදා වාහනවලින් හලාවත ප්‍රදේශයට රැගෙන ගොස් රහසිගතව මරා දමා ඇති බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවකි. එහි දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝග පවා පිළිනොගන්නා පුද්ගලයකු විසින් පාලනය සියතට ගෙන ඇති කොළඹ මහ නගර සභාව අද වනවිට අහිංසක සතෙකුට පවා නගරයේ ජීවත්වීමට ඉඩලබා නොදෙන බව සඳහන් කළාය.

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ජනාධිපතිවරයා 2006 වසරේ නිකුත් කළ චක්‍රලේඛයක් මගින් පළාත් පාලන ආයතන මඟින් සුනඛයන් මැරීම සපුරා නතර කර තිබුණ ද කොළඹ නගර සභාවට එය අදාළ වී නොමැති බව පෙන්වා දුන් ඇය ඒ අනුව මෙම සියලු සුනඛ ඝාතන නීතිවිරෝධී බව ද සඳහන් කළා ය.

එමෙන්ම සියලූ සුනඛයන් සුරක්ෂිතව තබා ගනිමින් සමුළුවෙන් අනතුරුව මුදා හරින බවට කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන තම සංවිධානයට පොරොන්දු වූ බවත් පසුව මේ පිළිබද විමසීමට ගිය අවස්ථා ගණනාවකදී ඇය තමන් රැවටීමකට ලක් කළ බවත් සභාපතිවරිය පැවසුවාය.

srilankareisen.ch streetdog prasoon raj 1043320 unsplash fx2qjd

පසුව මේ සම්බන්ධයෙන් අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානය කළ විමසීමකදී කොළඹ මහනගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුණේ භද්‍රානි ජයවර්ධන කොළඹ නාගරික කොමසාරිස් වරිය ගේ භාරයේ රඳවාගෙන සිටි මෙම සුනඛයින් ඇගේ කිසිදු එකඟත්වයකින් තොරව කොළඹ මහනගර සභා පාලනය සියතට ගෙන හිඳින එක්තරා බලවතකුගේ නියෝගය මත ආරක්ෂක හමුදා සාමාජිකයන් විසින් මෙසේ පැහැරගෙන ගොස් කෲර ලෙස මරා දමා ඇති බවය.

නමුත් අද වන විට ඒ යුගය ඉතිහාසයට එක් වී හමාරය. ඒවාට සම්බන්ධ වූවෝ අද වන විට කිසිදු සමාජමය පිළිගැනීමක් නොමැති තත්වයනට පත් ව සිටිති. අපේ ගම්බද ව්‍යවහාරයට අනුව “බලු වීම්” කියන්නේ මේවාට ය. ඒ අනුව වත්මන් ආන්ඩුව ද එසේ බලු නොවීමට වග බලා ගත යුතු ය.

Renuka Damayanthi
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


සබැඳි ලිපි :

මෝදි එන එකට අනුරපුර සුනඛයන් ඉවත් කරන්නෙ නෑ ලු !

මෝදි එන එකට අනුරාධපුරේ බල්ලෝ ඉවත් කරන එක මෝඩ වැඩක්!  | පශු වෛද්‍ය චමිත් නානායක්කාර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...