The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'උනුත් එකයි මුණුත් එකයි' : සීලය බිඳුණ කොළඹ මහ නගර සභා නාම යෝජනා | ලසන්ත රුහුණගේ

T

The Leader Desk

April 2, 2025 • 9:27 AM

'උනුත් එකයි මුණුත් එකයි' : සීලය බිඳුණ කොළඹ මහ නගර සභා නාම යෝජනා | ලසන්ත රුහුණගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෝදනාවකට හෝ ලක්නොවූ ශුද්ධවූ පුද්ගලයන් ලෝකයේ ඉන්නවාදැයි දන්නේ නැත.
  • පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේදී ජාතික ජන බලවේගය කියූ එක් කරුණක් වූයේ හැත්තෑ හය වසරක මේ රටේ පාලනයේ සාපයට හවුල් වූ කිසිවකු ඔවුන්ගේ ලැයිස්තුවලින් එම මැතිවරණයට ඉදිරිපත් නොකරන බවයි.
  • ජාතික ජන බලවේගය ඒ සියල්ලන් හැඳින්වූයේ දූෂිතයන් ලෙසය.
  • එහෙත් ජනාධිපතිවරණයේ සිට මාස හයක් ගතවෙන හෝ පාර්ලිමේන්තු මැතිවරණයේ සිට මාස හතරක් ගතවන විට එළැඹී ඇති පළාත් පාලන මැතිවරණය දක්වා ජාතික ජන බලවේගයට උනුත් එකයි මුනුත් එකයි යන එම ශීලය රැක ගන්නට බැරිවී ඇති අයුරක් දිස්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

චෝදනාවකට හෝ ලක්නොවූ ශුද්ධවූ පුද්ගලයන් ලෝකයේ ඉන්නවාදැයි දන්නේ නැත. ඒ සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකයේ නැති නිසාය. ඒ නිසාම කිසිදු ආයතනයක්ද ශුද්ධවූ වන්නේ නැත. ඒ එම ආයතන සමන්විත වන්නේද පුද්ගලයන්ගෙන් වන නිසාය. මේ නිසා මිනිසුන් සුදු හෝ කළු යනුවෙන් වර්ගීකරණයට ලක්කළ හැකි වන්නේ නැත. කළු යැයි කියන මිනිසුන් තුළ පවා සුදු ලක්ෂණ තිබිය හැකිය. සුදු යැයි කියන මිනිසුන් තුළද කළු ලක්ෂණ තිබිය හැකිය. ඒ නිසා කළු හෝ සුදු මිනිසුන් වෙනුවට සිටිය හැක්කේ සුදුවලට කළු වැටීම නිසා ඊට වැඩිය අවපැහැ මිනිසුන් මෙන්ම කළුවලට සුදු වැටීම නිසා අළු පාට වැනි මිනිසුන්ය.

ඉහත විස්තරය කිරීමට හේතු වූයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ නාම යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීමේදීය.


පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේදී ජාතික ජන බලවේගය කියූ එක් කරුණක් වූයේ හැත්තෑ හය වසරක මේ රටේ පාලනයේ සාපයට හවුල් වූ කිසිවකු ඔවුන්ගේ ලැයිස්තුවලින් එම මැතිවරණයට ඉදිරිපත් නොකරන බවයි. ජාතික ජන බලවේගය ඒ සියල්ලන් හැඳින්වූයේ දූෂිතයන් ලෙසය.

 

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) | ලයනල් බෝපගේ
ඒ නිසාම දකින්නට ලැබුණ දෙය වූයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි හා ඒ නිසාම එම බලවේගය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කළ සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා එම බලවේගය යටතේ නාම යෝජනා නොලැබී ගිය ආකාරයයි. එමෙන්ම වෙනත් දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තුවට පවා පිවිසුණ ‘දූෂිත’ යන ලේබලය නොවැදුණ වෘත්තීය මට්ටමක් තිබුණ සමහර දේශපාලනඥයින්ද ඔවුන්ගේ අලුත් දේශපාලන ගමන ජාතික ජන බලවේගය යටතේ යළි ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ජාතික ජන බලවේගයේ ඉහත සඳහන් කළ ආස්ථානය නිසා එම අවස්ථා ඔවුන්ට ලැබුණේ නැත.

එසේ අවස්ථා නොලැබුණ සමහරුන්ට පුද්ගලික වශයෙන්ම දේශපාලනික මෙන්ම දේශපාලනික නොවන චෝදනා තිබුණ අතර සමහරුන්ට එසේ තිබුණේ නැත. තිබුණ එකම චෝදනාව වූයේ දූෂිත දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයෙකු හෝ ආධාරකරුවකු වශයෙන් කටයුතු කිරීමේ අතීතයක් තිබීමයි.

 Colombo Municipal Council 1200px 25 01 18 1000x600

එහෙත් ජනාධිපතිවරණයේ සිට මාස හයක් ගතවෙන හෝ පාර්ලිමේන්තු මැතිවරණයේ සිට මාස හතරක් ගතවන විට එළැඹී ඇති පළාත් පාලන මැතිවරණය දක්වා ජාතික ජන බලවේගයට උනුත් එකයි මුනුත් එකයි යන එම ශීලය රැක ගන්නට බැරිවී ඇති අයුරක් දිස්වේ. ඒ ජාතික ජන බලවේගය නාම යෝජනා බාරදී ඇති රටේ ප්‍රධානම නගර සභාව වන කොළඹ මහ නගර සභාවේ නාම යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීමේදීය.

එහිදී පසුගිය වර කොළඹ මහ නගර සභාව පාලනය කළ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ ගයාත්‍රී වික්‍රමසිංහ නාගරික මන්ත්‍රීවරියට මෙවර ජාතික ජන බලවේගය යටතේ කොට්ඨාසයකට තරග කිරීමට අවස්ථාව ලැබී ඇත.

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් පසුගිය වර කොළඹ මහ නගර සභාව නියෝජනය කළ යෝගරාජන් පිල්ලෙයි මන්ත්‍රීවරයාටද කොට්ඨාසයකට තරග කිරීමට අවස්ථාව ලැබී ඇත.

 

j5856
එක්සත් ජාතික පක්ෂය හා පසුව සමගි ජන බලවේගය ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිත්වයේ සිටි හා මනෝ ගනේෂන් මහතාගේ පක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස සිටි කිහිප දෙනෙකුටද ජාතික ජන බලවේගය යටතේ කොළඹ මහ නගර සභාවට නාම යෝජනා ලැබී ඇත.

එය ජාතික ජන බලවේගයේ ශීලය අනුව නැතත් දේශපාලනය සම්බන්ධයෙන් වන පොදු තත්වයකදී හොඳ ප්‍රවණතාවකි. මන්ද මහජන නියෝජිතයින් විය යුත්තේ අදූෂිත මෙන්ම ගම් මට්ටමෙන් මහජනයා සමඟ ක්‍රියාකාරීව සිටින පිරිස් වන හෙයින්ය.

සිය ශීලය වෙනස් වී ඇත්තේ පළාත් පාලන මට්ටම වන පහළම මට්ටමේ දේශපාලනයේදී යැයි මෙහිදී ජාතික ජන බලවේගයට කිව හැකිය. එහෙත් එම තත්වය ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ශීලය අනුව නම් එසේ සාධාරණය කළ හැකි එකක් නොවේ.

සුප්පයියා ආනන්ද කුමාර්

suppaiah ananda
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ශීලය තවදුරටත් ප්‍රශ්නයට ලක්වන කොළඹ මහ නගර සභාවට නාම යෝජනා බාර දී ඇති තවත් අපේක්ෂකයෙක් සිටියි. ඔහු වන්නේ සුප්පයියා ආනන්ද කුමාර්ය. ජාතික ජන බලවේග ලැයිස්තුවේ කොළඹ මහ නගර සභාවේ නැගෙනහිර කොටහේන නාගරික ආසනයට ඔහු නාම යෝජනා බාරදී ඇත. ඔහුගේ ජීව දත්ත තොරතුරු ගත් කල 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදුණු අයෙකි. එමෙන්ම ඔහු එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇත. ඊටත් අමතරව ඔහු එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වද්දී ඒ සම්බන්ධයෙන් දෙමළ භාෂාවෙන් කරුණු ඉදිරිපත් කරන්නේ ඔහුයි. එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩා පිටිය ඉදිරිපිට පාර වසා එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ 2024 මැයි දින සැමරුමේදී ඒ පිළිබඳ එම පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සමඟ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඔහුයි. පසුගිය ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරණ අවස්ථාවලට සහභාගි වෙමින් ඔහු කියා තිබුණේ ද රට ආර්ථික වශයෙන් ගොඩගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ඔහු හැර වෙන කිසිවකුට එය සිදුකළ නොහැකි බවත්ය.

 

එහෙව් ආනන්ද කුමාර් ජාතික ජන බලවේගයෙන් රටේ ප්‍රධානතම මහ නගර සභාවට තරග කිරීම යනු ලෙහෙසියෙන් සුළුපටුව ගත හැක්කක් නොවේ. මන්ද ඔහු මීට පෙර සඳහන් කරන ලද වෙනත් පක්ෂවල ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන චරිතයක්ද නොවන හෙයිනි. ඒ මගින් තවදුරටත් ජාතික ජන බලවේගයේ උනුත් එකයි මුනුත් එකයි යන සටන් පාඨයට අර්ථයක් නොලැබෙන බැවිනි. එය ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලි බල්තසාර්ගේ සහෝදරයෙකු කොළඹ මහ නගර සභාවට පොහොට්ටු පක්ෂයෙන් තරග කරනවා යැයි කියන චෝදනාව මෙන් එකක් වන්නේ ද නැත. එකම පවුලේ සහෝදර සහෝදරියන් පමණක් නොව සැමියා හා බිරිඳ ප්‍රතිවාදීන් ලෙස දෙපිලට බෙදී ඡන්දය ඉල්ලූ ඉතිහාසයක් අපට ඇති අතර එහි ප්‍රශ්නයක්ද නැත. දේශපාලන අදහස අනුව සහෝදර සහෝදරියන්ට මෙන්ම සැමියා හා බිරිඳටද වෙනස්ව කටයුතු කළ හැකි නිසාය.

 487241022 1072809788217326 7222280233915295735 n

 

මෙම පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවට තරග කරන තත්වය එසේ වුවද, අනෙකුත් පලාත් පාලන ආයතන සඳහා ඔවුන් තරග කරන තත්වය මේ ආකාරයට තවම අපට වාර්තා වී නැත. ඒවායේ තත්වයත් මෙය නම් හෝ මීට සමාන නම් ජාතික ජන බලවේගය මෙතෙක් රැකගෙන ආ ශීලය බිඳ වැටී ඇති බව ඉන් පෙන්නුම් කරයි. එම ශීලය ජාතික ජන බලවේගය බිඳ දැමීමෙන් පෙන්නුම් කරන්නේ මිනිසුන් පිළිබඳ යථාර්ථය එම බලවේගය පිළිගනිමින් සිටින බවද? නැත්නම් කෙසේ හෝ ඡන්ද දිනීම සඳහා ඔවුන් ප්‍රතික්ෂේප කළ කඳවුරුවල පුද්ගලයින්ට අවස්ථාව ලබාදීමද? අන්තවාදී නොවන එවන් තත්වයකට ජාතික ජන බලවේගය පැමිණීම ඉතා යහපත් ප්‍රවණතාවකි. එය තවත් අතකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජාතික ජන බලවේග ආණ්ඩුව එක්ව ගමන් කිරීම හා සමාන යැයිද කිව හැකිය.

ඒ අනුව අනෙක් අය කළු වී ජාතික ජන බලවේගය පමණක් සුදු යන්න හිස් ප්‍රලාපයක් බවට කොළඹ මහ නගර සභාවේ නාම යෝජනාවලින් පෙන්නුම් කරයි. ඉන් සිදුවී ඇත්තේ ජාතික ජන බලවේගයද අවපැහැ ගැන්වීමය. ඒ ඔවුන් මෙතෙක් ප්‍රතික්ෂේප කඳවුරේ චරිතද ඊට එක්වීම නිසාය.

lasantha ruhunage(සටහන | ලසන්ත රුහුණගේ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasaruhunu@gmail.com

උපුටා ගැනීම - අනිද්දා පුවත්පතින්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'උනුත් එකයි මුණුත් එකයි' : සීලය බිඳුණ කොළඹ මහ නගර සභා නාම යෝජනා | ලසන්ත රුහුණගේ | The Leader