නූතන සන්දර්භය තුළ, පද්ධති බලපත්‍රයක් යනු බලපත්‍රලාභියාගේ සහ බලපත්‍ර පිරිනමන්නාගේ අයිතිවාසිකම් සහ බැඳීම් නියම කරන නීතිමය මෙවලමක් වන අතර, එමගින් මහජනතාවගේ අවශ්‍යතා ද පොදුවේ නියෝජනය කරනු ලැබේ.
රාජ්‍ය ප්‍රතිපත්ති අරමුණු පිළිබිඹු කරන බලපත්‍ර කොන්දේසි තුළ, හානිය අවම කරමින් නිශ්චිත සේවා ලබා දීම සඳහා බලපත්‍රලාභීන්ගේ බැඳීම් අඩංගු වේ. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිවිපාක විඳීමට සිදු වේ.
බලපත්‍රයක් වෙනස් කිරීම, අලුත් කිරීම හෝ අලුත් නොකිරීම සහ බලපත්‍ර කොන්දේසි බලාත්මක කිරීම සම්බන්ධයෙන් බලපත්‍රය පිරිනමන්නාගේ බලතල නිර්වචනය කිරීම ඔස්සේ සහ එම ක්‍රියාමාර්ග සඳහා ක්‍රියා පටිපාටි සකස් කිරීම මගින්, මෙම නීතිමය මෙවලම විසින් නිශ්චිතභාවයක් නිර්මාණය කරනු ලැබේ. එමගින් ආයෝජන අවදානම් අඩු වේ. එය බලපත්‍රලාභි ක්‍රියාකරුවන්ට/සැපයුම්කරුවන්ට ප්‍රතිලාභයකි.
බලපත්‍ර කොන්දේසි වෙනස් කළ හැකිය. එහෙත්, එසේ කළ හැක්කේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් පමණි. ඒකපාර්ශ්විකව වෙනස් කිරීම අවිනිශ්චිතතාවයක් ඇති කරන අතර එමගින් ආයෝජකයින්ට ලබාදෙන්නේ වැරදි සංඥාවකි. ස්ටාර්ලින්ක් බලපත්‍රයට කොන්දේසි දැමිය යුතුව තුබුණේ එය නිකුත් කල අවස්ථාවේ මිස හිතෙන හිතෙන වෙලාවට නොවේ.

ස්ටාර්ලින්ක් බලපත්‍රයේ නීත්‍යානුකූල අන්තර් නිරෝධනය (interception) පිළිබඳ විධිවිධාන ඇතුළත් නොවන බව වාර්තා වේ. එම බලපත්‍රය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ තිබිය යුතුය. එහෙත්, එකදු බලපත්‍රයක් වත් එහි නැත. බලපත්‍රය කියවා නොමැති හෙයින් මට එය තහවුරු කළ නොහැකිය.
නීත්‍යානුකූල අන්තර් නිරෝධනය සම්බන්ධ කොන්දේසි බලපත්‍රවලට ඇතුළත් කිරීමේ ස්ථාවර පිළිවෙතක් නොමැත. SLT බලපත්‍රයේ එවැනි කොන්දේසියක් ඇතුළත් වේ (1990 ගණන්වල මුල් භාගයේ නිකුත් කරන ලද මුල් බලපත්‍රයේ එවැන්නක් ඇතුළත් නොවේ). එහෙත්, මොබිටෙල් බලපත්‍රයේ අඩංගු නොවේ. දෙකම 2023 දී නිකුත් කරන ලද ඒවාය.
ස්ටාර්ලින්ක් යනු සුවිශේෂ (sui generis ) ආයතනයකි. එහෙත්, යමෙකු සමානකම් සොයන්නේ නම්, ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ස්ථාවර ක්‍රියාකරුවෙකුට වඩා මොබිටෙල් වැනි ජංගම ක්‍රියාකරුවෙකුට සමීප වේ. එදිරිවාදී ලෙස බලපත්‍ර වෙනස් කිරීමෙන් තොරව, සාකච්ඡා මාර්ගයෙන් රජයට වඩා හොඳ සේවාවක් ලබාගත හැකිව තිබුණි.
හුවමාරුව හෝ ද්වාරය (gateway) රට තුළ පිහිටා ඇති විට, ඇතැම් සන්නිවේදනයන් පටිගත කිරීමට අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීමට සහ එම වාර්තා එම රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලබා දීමට හැකියාව තිබේ. නීත්‍යානුකූල අන්තර් නිරෝධනය යන්නෙන් අදහස් කරන්නේ හුවමාරු වන පණිවිඩ රහසින් බැලීමට ආණ්ඩුවට පහසුකම් සැලසීමයි. මෙය ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය පිලිබඳ අපේක්ෂාවන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.
ටෙලිකොම් පනතේ සහ අනෙකුත් නීතිවල දක්වා ඇති තත්වයන් තුළදී හැර, ක්‍රියාකරුවන්ට පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පවත්වා ගැනීමට අවශ්‍ය කොන්දේසි සියලුම බලපත්‍රවල අඩංගු වේ (සමහර විට Starlink බලපත්‍රයේ ද තිබිය හැකිය). සාමාන්‍යයෙන්, මෙම ව්‍යතිරේක යටතේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකරණ නියෝග අවශ්‍ය වේ.
ස්ටාර්ලින්ක් සම්බන්ධයෙන් ගත් කල, ද්වාරය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නොවේ. ඔවුන් බොහෝ රටවලින් ලැබෙන පණිවුඩ එකට ගෙන සකසනු ලබන බව පෙනේ. මෙම පසුබිම තුළ නීත්‍යානුකූල අන්තර් නිරෝධන මෘදුකාංග ස්ථාපනය කිරීම සැහෙන සංකීර්ණ කටයුත්තකි.
වඩා විශාල හා වඩා ලාභදායී වෙළඳපොළක් සහ වැඩි ආරක්ෂක අවධානයක් ඇති රටක් වන ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වීමට ස්ටාර්ලින්ක් ආයතනයට අවසර දීමේදී ආරක්ෂිතභාවය පිළිබඳ සාකච්ඡා මතු වෙමින් පවතී.
මෙහිදී පහත දැක්වෙන ආකාරයේ ගැටලුවක් මතු කර තිබේ. “අවසර ලත් සේවාවන් සඳහා පමණක් චන්ද්‍රිකා භාවිතා කිරීමේදී, ඉල්ලා සිටින විට ආරක්ෂක ආයතනවලට ඇමතුම් දත්ත වාර්තා සැපයිය යුතුය. සමාගම ඉන්දියාවේ ජාත්‍යන්තර දේශසීමා තුළ ස්වාරක්ෂක කලාපයක් (buffer zone) ස්ථාපිත කළ යුතු අතර, ඉන්දියාවෙන් ආරම්භ වන හෝ අවසන් වන සියලුම ඇමතුම් රට තුළ GMPCS ද්වාරයක් හරහා ගමන් කරන බව සහතික කළ යුතුය.”
ඉන්දියාවට විශේෂිත ද්වාරයක් තුළ ස්ථාපිත කළ පසු, ආරක්ෂක ආයතනවලට ඇමතුම් විස්තර වාර්තා සැපයීමට වඩා දේ සිදු විය හැකිය. සැලකීමට ගත යුත්තේ ඉන්දියාව ඉල්ලන්නේ දත්ත වාර්තා පමණක් බවයි. එනම්, A පුද්ගලයා B පුද්ගලයාට යම් වෙලාවක සන්නිවේදන කටයුත්තක යෙදුනු බව මිස, එම පණිවිඩ වල පිටපත් නොවේ. ලංකාව දෙකම ඉල්ලන බවක් පෙනේ.

ශ්‍රී ලංකාව ඉතා කුඩා වෙළඳපොළක් වන බැවින්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සහ අමාත්‍යවරයාට ඉන්දියානු බලධාරීන්ට ඇති ආකාරයේ බලවත්භාවයක් ඇතැයි සිතිය නොහැක. එබැවින්, වත්මන් ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ස්ටාර්ලින්ක් ඉවත් කර ගැනීම සහ/හෝ ඇමරිකානු සමාගමකට එරෙහිව දඬුවම් පියවර ගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව ට්‍රම්ප් පරිපාලනයේ අවධානයට ලක් වීම විය හැකිය.
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net



